Friday, April 1, 2011

සම්මා සම්බුදු ශ්රා වකයන් වහන්සේලා......3

සම්මා සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා......3
ආනන්ද මහ රහතන් වහන්සේ ……3        

දිනක් පිඬු සිඟා වැඩි අනඳ තෙරනුවෝ මහ මගදීම දහවල් දානය වැලඳූ සේක.  ඉන්පසු දිය පොදක් සොයා අසල ඇති ලිඳක් කරා වැඩි සේක.  දිය අදින්නේ රූමත් තරුණියකි.  උන්වහන්සේ බිම බලාගෙන හිස් පාත්‍රය අල්ලා ගෙන ලිඳ ලඟ වැඩ සිටි සේක.
ප්‍රකීර්ති (තරුණිය ): ස්වාමීනි, ඔබ වහන්සේට කුමක් අවශ්‍ය දැයි විචාලාය.
ආනන්ද තෙරුන් වහන්සේ: නැගණියනි, මට දිය ටිකක් දුන මැනවි. 
ප්‍රකීර්ති: මම හීන කුලයකට අයත් වෙමි ස්වාමීනි.

ආනන්ද තෙරුන් වහන්සේ: මට අවශ්‍ය බීමට ජලය පමණකි, නැගණියනි. 

ප්‍රකීර්ති: කුල හීනයන් වූ අපේ ලිඳෙන් කිසිවෙක් වතුර නොබොන්නේය, ස්වාමීනි.

ආනන්ද තෙරුන් වහන්සේ:   මට අවශ්‍ය පිපාසය සංසිඳුවා ගැනීමට ජලය පමණකි.  ජලයෙන් ඕනෑම කෙනෙකුගේ පිපාසය සංසිඳෙන්නේය.

ප්‍රකීර්ති: මේ ලිඳේ ජලය පිරිසිදු වුවත් ඒ අප වැනි කුල හීනයන්ට පමනි.  උසස් කුලවන්තයින්ට මේ ලිඳේ ජලය අපිරිසිදු වන්නේය.  අපි වැනි කුල හීනයන් හැරුනු විට වෙන කිසි කෙනෙක් මේ ලිඳේ ජලය පානය කොට නැත ස්වාමීනි. 
ආනන්ද තෙරුන් වහන්සේ:  නැගනිය මම ඔබගේ කුලය ගැන ඇසුවේ නැත.  මට අවශ්‍ය ජලය ටිකක් පමණකි. 
ප්‍රකීර්ති: ස්වාමීනි, මේ රටේ ඇති උසස් කුල හා හීන කුල ගැන ඔබ වහන්සේ නොදන්නෙහිද?  මම හීන කුලයකට අයිති වෙමි
ආනන්ද තෙරුන් වහන්සේ: මට ඔබගේ කුලයෙන් කම් නැත. මට බීමට ජලය ටිකක් දුන මැනවි.
ප්‍රකීර්ති: ස්වාමීනි ඔබ වහන්සේට ජලය කෙසේ දෙම්ද? අර පෙනෙන මාලිගාවල සිටින්නේ උසස් කුලවන්තයින්ය.  ඔවුන් අප දුටු විගස සැඟවෙති. සැඟවී මුහුණ පවා සෝදා ගනිති. ජලය දීමට මම කෙසේ නම් ලංවෙම්ද? මගේ සෙවනැල්ල ඔබ වහන්සේගේ සිරුරට වැටුනොත් ඔබ වහන්සේ පවා හීන කුලයට වැටෙන්නේය. 
ආනන්ද තෙරුන් වහන්සේ:  මම කුල ගැන නොදනිමි නැගනියනි. ඔබත් මා වැනි මනුශ්‍යයෙක් වන්නේය. මා දන්නේ එපමණකි.  කුලය මනුශ්‍යයින් වෙන් කරන බවක් මා පිලිගන්නේ නැත. සියලුම මනුශ්‍යයෝ එක හා සමානය.  සැමෝටම නැගෙනහිරින් හිරු පායයි.  බටහිරෙන් බැසයයි.  හැම මනුශ්‍යයෙකුටම හිසක් අත් දෙකක් කකුල් දෙකක් කටක් නාසයක් ඇස් දෙකක් කන් දෙකක් ඇති බව දනිමි. දුකත් වේදනාවත් සැම කෙනෙකුටම එකසේ දැනෙන බවත් දන්නෙමි. ආහාර ගත් විට සැම කෙනෙකුගේම කුස පිරෙන බවත් දනිමි. කරුණු මෙසේ වන විට මනුශ්‍යයෝ එකිනෙකාට වෙනස් වන්නේ කෙසේද?

ප්‍රකීර්ති: ස්වාමීනි, උසස් කුලයක උපදින්නේ පෙර පින් කල අයයි.  අපි පව් කොට ඉපදී ඇත.  පින් කල අය මහාබ්‍රහ්මයාගේ මුඛයෙන් උපදිති.  පව් කල අය මහා බ්‍රහ්මයාගේ පා වලින් උපදිති.  අපට ශුද්ධ වූ වේද ධර්මය ඉගෙනීමට අවසර නැත.  ඒ නිසා අපි අතිශයින්ම හීන කුලයට අයත් වෙමු. 
ආනන්ද තෙරුන් වහන්සේ: නැගණිය, මාගේ ශාස්තෲන් වහන්සේ මෙසේ පවසා ඇත.

            " නජච්චා වසලෝ හෝති - න ජච්චා හෝති බ්‍රාහ්මණෝ
               කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රහ්මණෝ"
කිසිවෙක් උත්පත්තියෙන් වසලයෙක් නොවේ, උත්පත්තියෙන් බ්‍රාහ්මණයෙක්ද නොවේ. ... ඒ නිසා මට ඔබේ කුලයෙන් කිසිදු පලක් නැත. ජලය ස්වල්පයක් දුන මැනැවි..

තරුණිය බිය මුසු අති මහත් ගෞරවයෙන් යුතුව තෙරුන් වහන්සේ දෙසට නැඹුරුව උන්වහන්සේගේ පාත්‍රයට ජලය වත් කලාය.  ඇයට සෙත් පැතූ ආනන්ද තෙරුන් වහන්සේ ආපසු හැරී ක්‍රමයෙන් නොපෙනී ගිය සේක. 
අනද  තෙරුන්ගේ නොපෙනී යන ශරීරය දෙස බලා සිටි තරුණියගේ සිතෙහි නා නා අදහස් මතු වන්නට විය.  ශ්‍රාවස්තියේ ඇති එකම ලිඳ මෙයද?  ඔහු යලිත් දිය සොයා ගෙන මෙතැනටම පැමිණෙයිද?  ඔහුගේ ස්වරය කොතරම් මධුරද? රුව කොතරම් ශෝබනද?  මම
මනුශ්‍යයෙක් බව දැනගත්තේ ඔහුගෙනි.
   ප්‍රකීර්ති ආලයෙන් මුසපත් වී ඇත.  මේ අතර ප්‍රකීර්තිගේ මව සිය දුව ප්‍රමාද වීම ගැන කණස්සලු විය. 

මව:  ප්‍රකීර්ති ප්‍රකීර්ති, ඔබ කොහේද?
ප්‍රකීර්ති:   මෑණියනි මම මෙහේය, ලිඳ ලඟ.

මව: ඔබ කුමක් කරන්නේද? මේ මද්දහනේ පොලොවට පා තැබීමටවත් අපහසුය. 

ප්‍රකීර්ති:  මට ජලය ටිකක් දුන මැනවි……….”කොතරම් මධුර ස්වරයක්ද?
මව : ඔබගෙන් ජලය ඉල්ලුවේ කවරෙක්ද?

ප්‍රකීර්ති:  ඔහු ශෝභන සිරුරකින් හෙබි තරුණයෙකි.  හිස මුඩු කොට කහ පැහැති සිවුරක් හැඳ පාත්‍රයක් අතේ ඇතිව ජලය ඉල්ලා ගෙන ලිඳ ලඟට පැමිණියේය.

මව: තරුණයෙක් හිස මුඩු කොට ඇත්නම් කෙසේ නම් ශෝභන වෙයිද?  හිස මුඩු කරන්නේ ශෝභනත්වය නැති කිරීමට නොවේද? 

ප්‍රකීර්ති:  මට නම් ඔහු ඉතාමත් ශෝභනය.  සිරුර රන් පැහැයෙන් බබලන්නේය. 

මව: ඔහු අපේ කුලයේද?
ප්‍රකීර්ති:  ඔවු,ඔහු අපි එකම කුලයේ බව බව පැවසුවා.

මව: ඒ කිනම් කුලයේද?

ප්‍රකීර්ති:  මනුශ්‍ය කුලයේය මැණියනි.

මව:  ඔබ අපේ කුලය ඔහුට සැඟවුවා නොවේද?

ප්‍රකීර්ති:  නොමැත මෑණියනි මම අපේ කුලය පැවසූ විට ඔහු ගාථාවකින් උත්පත්තියෙන් කිසිවෙක් වසලයෙක්වත් බ්‍රාහ්මණයෙක් වත් නොවන බව ඔහුගේ ගුරුතුමා පැවසූ බව කිව්වා. 

මව: ඔහු වෙන කුමක් පැවසුවේද? මම මොහු ගැන සොයා බලන්නෙමි...

ප්‍රකීර්තිගේ මැණියෝ සිය දුවණියගේ සිත් ඇදී ගිය මේ අමුත්තා ගැන විපරම් කොට බැලීය.  ඔහුගේ නම ආනන්දය.  ඔහු බුද්ධශ්‍රාවකයෙක් බවත් ශාක්‍ය වංශයට අයත් බවත් ඇය සිය දියණියට පැවසූවේ ඉමහත් භීතියකිනි.

අපේ රජතුමා, කොසොල් රජතුමා, බුදුරජාණන් වහන්සේ හමුවට සෑමදාම පැමිණෙයි.  එතුමා මෙය දැනගත්තොත් අපේ මුලු ගමම විනාශ කර දමාවි. මෑණියෙනි එසේ නම් බලගතු මන්ත්‍රයක් ජප කොට කෙසේ හෝ ආනන්ද මට ගෙන්වා දුන මැනවි.  නැත්නම් මම දිවි නසා ගන්නෙමි. 

මව: බුදු රජාණන් වහන්සේගේ මන්ත්‍රය ඉතාම බලගතුය.  සියලුම මන්ත්‍ර වල බලයට වඩා එය බලගතුය.  ඒ කෙසේ වෙතත් මම මන්ත්‍රය ජප කරමි.  ප්‍රකීර්තිගේ මෑණියෝ ගෙමිදුලේ ගිනි ගොඩක් ගසා, මන්ත්‍රය ජප කිරීමට පටන් ගත්හ.  

මන්ත්‍රය ජප වීම සමගම ක්‍රමයෙන් ආනන්ද තෙරුන් වහන්සේගේ සිත වික්ෂිප්ත වන්නට විය.  තෙරුන් වහන්සේ ඒ කුල හීනයන්ගේ ග්‍රාමය දෙසට පියනගන්නට වූයේ නිතැතින්මය. ආනන්ද තෙරුන් ඈත එනු දුටු ප්‍රකීර්තිගේ මෑණියෝ වහාම ආසනයක් පණවන ලෙස
දියණියට අණ කලාය.  ප්‍රකීර්තිද අතිශයින්ම ප්‍රීතියෙන් ආසණයක් පිලිවෙල කලාය.
  

වික්ෂිප්ත වූ සිතකින් පැමිණි ආනන්ද තෙරුන් වහන්සේ තරුණියගේ අඟරදඟර හා ඇයගේ මැණියන්ගේ කපටි කමද වටහා ගත්හ.  බුදුරජාණන් වහන්සේ දිවැසින් ආනන්ද තෙරුන් අපසුතාවයක වැටී ඇති බව වටහාගෙන බුද්ධ මන්ත්‍රය සජ්ජායනා කිරීමට පටන් ගත් සේක.  බුද්ධ මන්ත්‍රයේ සත්‍යයේ බලයෙන් ආනන්ද තෙරුන් වහන්සේ පියවි සිහිය ලැබූ සේක.  

ආනන්ද තෙරුන් වහන්සේ ආපසු ජේතවනාරාමයට වැඩම කොට බුදු රජාණන් වහන්සේට නමස්කාර කොට එකත් පස්ව සිටි සේක.  එවිට බුදු රජාණන් වහන්සේ, "ආනන්දය ඔබ සදක්ෂර විද්‍යා ඉගෙන ගත යුතුය.  එය බුදුවරු සය නමක් හා සතර වරම් දෙවි, සහ සහම්පතී බ්‍රහ්ම රාජයාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී.  එය උගත් කෙනෙක් කිසිම බන්ධනයකට අසු නොවන්නේය. බුදු රජාණන් වහන්සේ සදක්ෂර විද්‍යාව ආනන්ද තෙරුන්ට කට පාඩම් කරගන්නා ලෙස ඔවදන් දුන්නේය. 

එවක් පටන් ප්‍රකීර්ති ආනන්ද තෙරුන් වහන්සේ පසුපස යාමට පටන් ගත්තාය.  මෙයින් අතිශයින් ලජ්ජාවට පත් ආනන්ද තෙරුන් වහන්සේ පිඬුසිඟ යාම පසෙක තබා ආපසු ජේතවනාරාමයට ගොස් බුදු රජාණන් වහන්සේට මෙපුවත් සැලකර සිටියහ.
ප්‍රකීර්ති ජේතවනාරාමය ඇතුලට නොගොස් එහි ද්වාරය අසල නතර වූවාය.  බුදු රජාණන් වහන්සේ ඇය කැඳවා ආනන්ද තෙරුන් පසුපස යන බව සැබෑවක්දැයි විමසා සිටි සේක. 


ප්‍රකීර්ති:  එසේය ස්වාමීනි.

බුදු රජාණන් වහන්සේ: කුමන කරුණක් උදෙසාද?
ප්‍රකීර්ති:  මගේ ස්වාමි පුරුෂයා කර ගැනීම්ටය ස්වාමීනි.

බුදු රජාණන් වහන්සේ:  ඔබගේ දෙමා පියන් කැමතිද?

ප්‍රකීර්ති:   එසේය ස්වාමීනි.

බුදු රජාණන් වහන්සේ:    මට එය පිලිගත නොහැක.. ඔබගේ දෙමාපියන් කැඳවා ගෙන එන්න.
ප්‍රකීර්ති:   වහාම ගෙදර දිව ගිය ප්‍රකීර්ති දෙමාපියන් කැඳවා ගෙන පැමිණියාය. 

බුදු රජාණන් වහන්සේ:   ඔබගේ දියණිය ආනන්ද තෙරුන් අවශ්‍ය බව පවසයි.  ඔබ ඊට කැමතිදැයි ඇසූ සේක. 
දෙමාපියෝ: එසේය ස්වාමීනි, ආනන්ද තෙරුන් නොමැති නම් ඇය දිවි නසා ගන්නා බව පවසයි. 

දෙමාපියන්ට ආපසු යාමට සමුදුන් බුදු රජාණන් වහන්සේ ප්‍රකීර්ති කැඳවා " මේ ශ්‍රාවස්ති නුවර දහසක් තරුණයන් සිටිති.  ඔබ ආනන්දට පමණක් ඇලුම් කරන්නේ කිමදැයි විචාල සේක. 

ප්‍රකීර්ති:    ආනන්ද ශෝභන සිරුරක් ඇත්තෙකි.  ඔහු නිසා මම නිදහසේ සිතන්නට ඉගෙන ගත්තෙමි.  මම නිදහස් මනුශ්‍ය දුවක් බව මම ඔහුගෙන් ඉගෙන් ගත්තෙමි.  සමාජයේ මුල්ලකට තල්ලු වී සිටි මා ඔහු නිසා ආලෝකය ලද්දෙමි. ඒ නිසා මම ඔහුට කැමැත්තෙමි.
බුදු රජාණන් වහන්සේ:    එසේ නම් ඔබට ආනන්ද පවරා දෙන්නෙමි.  මා කියන දේ ඔබ කලයුතු වෙයි. 

ප්‍රකීර්ති:     ඔබ වහන්සේ කියන ඕනම දෙයක් කරන්නෙමි.

බුදු රජාණන් වහන්සේ:    ඔබ ආනන්ද ඇඳ සිටින්නා වූ වැනි සිවුරක් ඇඳිය යුතුය.  ඔහු මෙන් හිස මුඩු කල යුතුය. 
වහාම ගෙදර දුව ගිය ප්‍රකීර්ති මවට මේ බව සැලකොට ඔවුන්ගේ විරෝධතාවය මධ්‍යයේ හිස මුඩු කොට කසාවත් හැඳ පැමිණියාය.  

ඇය පැමිණෙන විට බුදු රජාණන් වහන්සේ සිය ගනනක් භික්ෂූන් පිරිවරා ගෙන වැඩ සිටි සේක.  ආනන්ද තෙරුන් වහන්සේද ඒ අතර සිටි සේක. 
ප්‍රකීර්ති:     බුදු රජාණන් වහන්ස, ඔබ අන කල ලෙස මම පැමිණියෙමි.

බුදු රජාණන් වහන්සේ:     ඔබ දැන් ආනන්ද පිලි ගැනීමට සුදුසුය.  මම ඔබගෙන් ප්‍රශ්නයක් අසමි.

ප්‍රකීර්ති:    අසනු මැනවි ස්වාමීනි...

බුදු රජාණන් වහන්සේ:    ඔබ කැමති ආනන්දගේ කුමන ස්වභාවයටද?  නාසයද? ඇස් වලටද? ඇවිදින විලාශයටද? කථා කරන විලාශයටද? 

බුදු රජාණන් වහන්සේ මිනිස් සිරුරෙහි සෑදී ඇත්තේ කුණුප තිස් දෙකක් එකතු වීමෙන් බවත් එහි ඇති සුන්දරත්වයක් නොමැති බවත්, ඇය දුවන්නේ මායාවක් පසුපස බවත් ඇයට වැටහෙන සේ ධර්ම දේශනා කලහ.  දේශනාව අවසානයේ ප්‍රකීර්ති, බුදු රජාණන් වහන්ස, ඔබගේ දේශනාවෙන් මම පියවි සිහිය ලද්දෙමි.  ඔබ වහන්සේ දේශනා කරන දෙය මම වටහා ගත්තෙමි. 
බුදු රජාණන් වහන්සේ:     එසේ නම් ඔබට දැන් ආනන්ද සමග යා හැක. 

ප්‍රකීර්ති:      දැන් මට ආනන්ද අවශ්‍ය නැත.  ඔබගේ ඔවදන් මගේ මානසික රෝගය සුව කලේය. 

ඇය සසුන් ගත වීමට අවසර පතා සිටියාය. 

මේ බුද්ධ සාසනය, සිවු දිගින් ගලන්නා වූ මහා ගංගාවන් එකතු වී සැදෙන්නා වූ මහ සයුර සේය. කුමන ගංගාවක් එක් වුවත් එක්වන්නේ මහ සයුරටය.  පෙර තිබූ සියලු භේද නැතිවී ඔබ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වන්නේය. 

ප්‍රකීර්ති මෙහෙණිය නොබෝ කලකින් රහත් භාවය ලබා ගත්තීය. 
හීන කුලයක කාන්තාවක් මහණ වී ඇති බව ශ්‍රාවස්තිය පුරා ලැව් ගින්නක් මෙන් පැතිර ගියේය.  රාජ, මහා මාත්‍යාදීන් නොයෙක්
ප්‍රශ්න අසන්නට වූහ.  කුල හීන කාන්තාවක්
 උසස් කුලයේ නිවසකට දානයකට වඩින්නේ කෙසේදැයි සියල්ලන්ටම පාහේ බරපතල ප්‍රශ්නයක් විය.  අවසානයේ මේ ප්‍රශ්නය කොසොල් රජතුමාගේ කණටද වැටුනේය.  කොසොල් රජතුමා වහාම බුදු රජාණන් වහන්සේ බැහැදැකීමට පැමිණියේය. බුදු රජාණන් වහන්සේ ප්‍රකීර්ති මෙහෙණියගේ අතීතය මෙසේ හෙලි කල සේක. 

ඈත දිනක ගංගා නම් ගං ඉවුරු අසබඩ, ත්‍රිශංක නම් වූ හීන කුලයෙක ගම් ප්‍රධානියෙක් විය.  ඔහුට ශර්දුල කර්න නම් වූ අතිශයින් රූමත් පුතනුවෙක් විය.  මේ තරුණයා ත්‍රිවේද ඉතාමත් චතුර ලෙස උගත්තේය.  ඒ සමයේම පුශ්කාර් ශාරී නමි බ්‍රහ්මණයෙක්ද විය.  තම පුතු විවාහ වන වයස් වන විට මේ පුශ්කාර් ශාරී නම් බ්‍රාහ්මණයාගෙන් ඔහුගේ දියණිය වූ ප්‍රකීර්ති, ශර්දුල කර්නට සරණ පාවා
දිය හැකිදැයි ත්‍රිශංක විචාලේය.  මුලදී විරුද්ධ වූ පුශ්කාර් ශාරී කුලය ගැන ත්‍රිශංක පැවසූ වදන් අසා පසුව එම විවාහයට කැමැත්ත දුන්නේය. 
එදා ඒ රූමත් ප්‍රකීර්ති අද ප්‍රකීර්ති මෙහෙණිය වන්නේය.  හීන කුලයක උපන් ත්‍රිශංකගේ පුතනුවන් වූ ශර්දුල කර්න අද ආනන්ද තෙරණුවන් වන්නේය.  අද බුද්ධත්වය ලබා සිටින මා එදා ත්‍රිශංක විය. 

දිව්‍යාවදාන - ශිරාදූල කර්නාවදාන














Tuesday, March 29, 2011

ආනන්ද මහ රහතන් වහන්සේ ……2

සම්මා සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා......2
ආනන්ද මහ රහතන් වහන්සේ ……2

බුදු රජාණන් වහන්සේගේ කීර්තිය දඹදිව් තලය පුරා පැතිර යාමත් සමගම උන්වහන්සේ හමුවට නොයෙක් තරාතිරම් වල ජනයා පැමිණියහ.  සමහරු රාජකීය අමුත්තෝ වූහ. සමහරු සම්භාවනීය මැති ඇමතිවරු වූහ.  සමහරු බුදුරජාණන් වහන්සේ තර්කයෙන් පරදවනු රිසියෙන් මානයෙන් හිස උදුම්මා ගත් බමුණෝ වූහ.  සාමාන්‍ය මහා ජනයාද ඒ අතර වූහ.  තමන්ට විසඳා ගත නොහැකි ප්‍රශ්න රැගෙන සමහරු පැමිණියහ.  යම්කිසි සන්ධි ස්ථානයකට පැමිණ, කොයි අතට ගියහොත් හරිදැයි නොදැන පැමිණියවුන් අතර රජවරුද වූහ. සමහර අමුත්තෝ පිටරටවල සිට  බොහෝ දුරු කතර ගෙවා ගෙන පැමිණියහ.  බුදු රජාණන් වහන්සේ ඒ සියල්ලන්ටම එක සේ සැලකුවද,  හුදකලාව ප්‍රියකල සේක.  තතු මෙසේ වූ කල වැල නොකැඩී පැමිණෙන ජනයා පාලනය කිරීම අවශ්‍ය බව උන්වහන්සේට වැටහුණි.  පැමිණෙන අමුත්තන්ගේ තරාතිරමට, ඔවුන්ගේ උසස් සමාජ තත්වයට නොව, ඔවුන් පැමිණෙන ආකාරයට ඔවුන්ට සැලකුම් ලැබුණි.  මේ කටයුතු උදෙසා උපස්ථායකයෙක් අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේට වැටහුණි.  බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණෙන ජනයා පිලිගෙන ඔවුන් හැසිරවීමටත්, වෙනත් ප්‍රදේශ වල සංචාරය කරන විට බුදු රජාණන් වහන්සේ කැටුව යාමටත් උපස්ථායකයෙක් අවශ්‍ය විය.   බුද්ධත්වයට පත්වී ගත වූ ප්‍රථම වසර විස්ස තුල නාගසමාල, නාගිත, උපවන, චුන්ද, සමනුද්දේස, සාගත, රාධ සහ මේඝීය යන තෙරණුවෝ එක් එක් අවස්ථාවල බුදු රජාණන් වහන්සේට උපස්ථායක වූ බව බෞද්ධ ඉතිහාසයේ
සඳහන්ය.  බුදු රජාණන් වහන්සේගේ පාත්‍රයත් සිවුරුත් රැගෙන යාම උපස්ථායකගේ වගකීමකි.  ඉහත සඳහන් තෙරණුවන්
කිසි කෙනෙක් බුදු රජාණන් වහන්සේ තෘප්තිමත් වන පරිද්දෙන් උපස්ථායක තනතුර ඉටු නොකළහ.  වරක් නාගසමාල තෙරණුවන් උපස්ථායක තනතුර හොබවන අවදියෙහි
, ගම් නියම් ගම් වල සැරිසරණ බුදු රජාණන් වහන්සේ එක්තරා හන්දියකට සම්ප්‍රාප්ත වූ සේක.  උන්වහන්සේට අභිමත වූ පරිද්දෙන් එක් පාරකින් යාමට අකැමැති වූ නාගසමාල තෙරණුවන් බුදු රජාණන් වහන්සේගේ පාත්‍රය හා සිවුරු මහ මග දමා බුදු රදුන් තනිකොට වෙන මගකින් ගිය බව  බුද්ධ චරිතයෙහි සඳහන් වෙයි.  මෙසේ අර්බුද පැනගින විට බුදු රජාණන් වහන්සේ, ශ්‍රාවක සංඝයා රැස් කරවා,ඒ ගැන සංඝයා වහන්සේලා සමග සාකච්ඡා කල සේක. සාරිපුත්ත තෙරුන් වහන්සේ එක්වරම නැගී සිටි සේක.. 'ස්වාමීනි මම ඔබ වහන්සේගේ උපස්ථායක වෙමැයි' එකහෙලාම ප්‍රකාශ කල සේක. "සාරිපුත්තය ඔබ මගේ උපස්ථායක නොවූයේ නම් මැනැවි.. ඔබ යම් තැනක සිටීම මා සිටීම වැනිය.  ඒ නිසා ඔබ  ඒ ධුරය භාර නොගත මැනැවි.." යයි බුදු රජාණන් වහන්සේ වදාල සේක.  ඊළඟට මොගල්ලාන තෙරුන් නැගී සිටි සේක.  බුදු රජාණන් වහන්සේ ඒ තෙරුන්ද ප්‍රතික්ෂේප
කල සේක.  මේ අන්දමට අසූවක් පමණ වූ තෙරුන් වහන්සේලා බුදු හිමි
විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ආනන්ද හිමියන් නිශ්ශබ්දව සිටින කල අනෙක් භික්ෂූන් වහන්සේලා ආනන්ද තෙරුන් වහන්සේ නිශ්ශබ්ද කුමන කරුණක් නිසාදැයි අසන්නට වූහ. ආනන්ද හිමි " බුදු රජාණන් වහන්සේ මා ගැන හොඳින් දන්නා සේක.  උන්වහන්සේ මට කැමති නම් මා උපස්ථායක තනතුරට පත් කරනු ඇත..." යයි පැවසීය. 

තවද, ආනන්ද හිමි කැමති කරුණු හතරක් හා අකැමැති කරුණු හතරක් ඇති බවත් බුදු හිමියන් ඒ කරුණු අට පිලිගනියි නම් උන්වහන්සේ උප්ස්ථායක තනතුර පිලිගන්නා බවත් ආනන්ද හිමි ප්‍රකාශ කල සේක. එසේ නම් ඔබ අකැමැති කරුණු ප්‍රකාශ කල මැනැවයි බුදු හිමි වදාලහ. එවිට මේ කරුණු හතර ආනන්ද හිමියන් ප්‍රකාශ කලහ. 

1. ඔබ වහන්සේට ලැබෙන වටිනා සිවුරු මට නොදිය යුතුය.
2. ඔබ වහන්සේට ලැබෙන ප්‍රනීත ආහාර මට නොදිය යුතුය. 
3. ඔබ වහන්සේගේ ගඳකුටිය තුල මට වාසය කිරීමට නොසැලැස්විය යුතුය.
4. දානයකට ඔබ වහන්සේට ආරාධනාවක් ලැබුණ විට මා කැඳවා නොයා යුතුය. 
    ඒ කරුණු හතරට එකඟ වූ බුදු රජාණන් වහන්සේ කැමැති කරුණු හතර විමසා සිටි සේක. 
5. ආනන්ද තෙරණුවන් විසින් බුදු හිමි වෙනුවෙන් භාරගන්නා ලද ආරාධනා (දානයකට ආදී වශයෙන් ) බුදු හිමි පිලිගත යුතුය. 
6. දුරු රට වල සිට පැමිණෙන්නාවූ නොයෙක් ජනයා ඔබ වහන්සේ හමුවට ගෙන ඒමට මට අවසර තිබිය යුතුය. 
7. මට සැකයක් ඇති සෑම අවස්ථාවකම ඔබ වහන්සේ හමුවට පැමිණ සැක හැර ගැනීමට ඉඩ දිය යුතුය.
8. මම නොමැතිව කරන ලද දේශනාවන්, දහම් දෙසුම් සහ සිදු වූ සියලු දෑ මට පැවසිය යුතුය. 

බුදු රජාණන් වහන්සේ කුමන කරුනක් නිසා මේ ඉල්ලීම් කරන්නේදැයි විචාලහ.  "... මම ඔබ වහන්සේගේ උපස්ථායක වී ඔබ වහන්සේට ලැබෙන ආහාර සිවුරු පරිහරනය කරයි නම් ඒ සම්බන්ධව කට කථා පැතිර යා හැකි බැවින් එසේ ඉල්ලූ බව ආනන්ද තෙරුන් වහන්සේ ප්‍රකාශ කල සේක. 
ඔබ වහන්සේගේ අනුගාමිකයෙක්, යම්කිසි හේතුවක් නිසා ඔබවහන්සේ හමු වීමට නොහැකිව, ඔබවහන්සේද කැටිව දනට වඩින ලෙස ආරාධනා කල විට එය පිලිගන්නේ ඔබ වහන්සේ වෙනුවෙනි.  ඔබ වහන්සේ එය අනුමත කල යුතුය.  ධර්මයේ ගැඹුරු තැන් සැක හැර මා දැනගත යුතුය.  යම්කිසි කෙනෙක් අසවල් දින, අසවල් සූත්‍රය දේශනා කිරීමේදී බුදු රජාණන් වහන්සේ මෙසේ වදාල සේක.  එයට හේතුව කිමෙක්දැයි, මගෙන් විමසුවොත් මා ඒ සූත්‍රය දැන ගත යුතුය.   "...ආනන්දය ඔබගේ ඉල්ලීම් සියල්ල හේතු සහිතය සාධාරණය.. මම ඉතා කැමැත්තෙන් ඒ ඉල්ලීම් සමග එකඟ වෙමි.." යයි බුදු රජාණන් වහන්සේ වදාල සේක.  ආනන්ද තෙරුන් වහන්සේ බුදු රජාණන් වහන්සේගේ ස්ථිර උපස්ථායක වශයෙන් මෙසේ පත් වූ සේක.   බුදු රජාණන් වහන්සේ කවදාවත් මුහුණ දෙස බලා තනතුරු නොදුන් සේක.  සුදුස්සාට සුදුසු තනතුර උන්වහන්සේ භාරදුන් සේක.  " න භික්ඛවෙ ඔලොකෙත්වා දම්මී.." යන ප්‍රතිපත්තිය වසර දෙදහස් පන්සියයකට පෙර බුදු හිමියන් විසින් ස්ථාපිත 'සුදුස්සාට සුදුසු තැන දීම' අගනා ඔවදනකි. 

 ආනන්ද තෙරුන්ගේ ක්‍රියාවලිය මේ ලෝකයේ සෑම ජන කොටසකටම උගන්වන්නේ මහඟු පාඩමකි.  කිසිවෙක් තනතුරු ඉල්ලාගෙන පත් නොවිය යුතුය.  සුදුස්සා පත් කිරීමට හරම් පාලක පක්ෂය අවංක විය යුතුය.  සෑම සූත්‍ර දේශනාවක්ම, මා විසින් මෙසේ අසන ලදී.. "ඒවම් මේ සුතම්..." යනුවෙන් සඳහන් වන්නේ ආනන්ද මහ තෙරුන් වහන්සේගේ එම සූත්‍රයේ සත්‍ය භාවයේ රන්
මුද්‍රාවයි.  ත්‍රිපිටිකයම මතකයේ තබාගත් ආනන්ද මහ තෙරුන් වහන්සේට මුලු ලොවම නයගැතිය. 
ස්ථිර උපස්ථායක තනතුරට පත්වීමට කලින් ආනන්ද තෙරුන් වහන්සේ විටින් විට බුද්ධ උපස්ථායකව සිට ඇත.  තනතුර ස්ථිර වූ පසු උන්වහන්සේ ඉතාමත් හරියාකාර ලෙස සිය යුතුකම ඉටු කල සේක.  බුදු රජාණන් වහන්සේට ඇල් වතුර අවශ්‍ය වූ විට එය ලබා දීමටත්, උණුවතුර අවශ්‍ය වූ විට එය ලබා දීමටත් ආදී වශයෙන් ආනන්ද හිමි කටයුතු කල සේක.  බුදු රජානන් වහන්සේගේ ගඳ කුටිය ඉතා පිරිසිදුව තබා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීය.  බුදු රජාණන් වහන්සේට දෙවරක් ආමන්ත්‍රණය කිරීමට ඉඩක් නොතබා ප්‍රථම ආමන්ත්‍රණයෙන්ම උන්වහන්සේ හමුවට යාමට ආනන්ද හිමි වග බලාගත්තේය.   බුදු රජාණන් වහන්සේගේ දෛනික ජීවිතය ඉතාමත්ම කාර්ය බහුල විය.  දිවා රෑ නොබලා වැල නොකැඩී නා නා තරාතිරම් වල අමුත්තෝ උන්වහන්සේ බැහැදැක්මට පැමිණියහ.  මෙසේ පැමිණෙන්නවුන් පිලිගැනීමටත්, ඔවුන්ගේ සිත් නොරිදවා බුදු රජාණන් වහන්සේ හමුවීමටත් කටයුතු කිරීමට ආනන්ද තෙරුන් වහන්සේ වග බලා ගත්තේය. බුදු රජාණන් වහන්සේ වෙහෙසට පත් නොවන අයුරින් කටයුතු යෙදීමටත්, අමුත්තන්ගේ
සිත් නොරිදවීමටත් ආනන්ද තෙරුන් වහන්සේ ගත් උත්සාහය මනා සේ සඵල විය.  බුදු රජාණන් වහන්සේගේ ගඳ කුටිය වටා රාත්‍රියකට පහනක් අතැතිව නව වාරයක් ආනන්ද තෙරුන් වහන්සේ ගමන් කරන බව බෞද්ධ සාහිත්‍යයේ ලියැවී ඇත.

Monday, March 28, 2011

ආනන්ද මහ රහතන් වහන්සේ

සම්මා සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා......1


ආනන්ද මහ රහතන් වහන්සේ
සම්බුදු සසුන දෙස බලන විට, අති ශ්‍රේෂ්ට වූ චරිතාපදානයන් දෙකක් කෙරෙහි නිතැතින්ම නෙත ගැටී යයි.  එයින් එක් චරිතයක් වන්නේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේය.  අනෙක් චරිතය වන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කල සෑම සූත්‍රයක්ම මානව සංහතිය උදෙසා සිය මතකයෙහි තබා ගෙන සිටි, බුදු
රජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ වන ආනන්ද තෙරණුවෝය.
 උන්වහන්සේගේ මතකයට පින්සිදු වන්නට අපිට උතුම් වු බුද්ධ ධර්මය අදටත් පිරිසිදුව අසන්නට ලැබේ.  පුද්ගලික, ආත්මාථ්ර්‍කාමී අපේක්ෂාවන්ගෙන් තොරවූ ආනන්ද තෙරුණ්වහන්සේ ඕනැම අවස්ථාවක අවශ්‍ය කෙනෙකුට පිහිට වීමට ඉදිරිපත් වූ සේක.    අද දින මෙන් නොව, ලිඛිත සටහන් තබා නොගත්  බුද්ධකාලීන සමයේ, සංවිධානාත්මක සහ පරිපාලනාත්මක කටයුතු අතර බුදු සමිඳුන් හමුවීමට පැමිණෙන  රාජකීය හා මහාමාත්‍යාදීන් ආදී සම්භාවනීය අමුත්තන් මෙන්ම, සාමාන්‍ය මහා ජනයාද එකසේ පිලිගෙන ඔවුන් බුදුන් වහන්සේ හමුවට පැමිනවීමට ආනන්ද තෙරුණ් වහන්සේ  කටයුතු යෙදූහ. පටිච්ච සමුප්පාදය වැනි ගැඹුරු අරුත්
ඇති සිද්ධාන්ත උන්වහන්සේ එකවරටම තේරුම් ගත් සේක.
      බුදු රජාණන් වහන්සේට උපස්ථායක ලෙසින් ඉටුකල සේවය නිසාම උන්වහන්සේට අර්හත් ඵලය ලබා ගැනීමට් බොහෝ කලක් ගත විය.  මේ අතරතුර, බුද්ධ ශරීරය වයස් ගත වීමේ සලකුණු පහල කල විට උන්වහන්සේ අතිශයින්ම දුකට පත් වූ සේක. එසේම ශාක්‍ය කුල කුමරියන්, බිසෝවරුන් සසුනේ මහණබව අපේක්ෂාවෙන් බොහෝ දුර පයින් ගමන්කිරීම පවා උන්වහන්සේට අතිශයින්ම සංවේගාත්මක වූ බවද ඉතිහාසයේ සඳහන්ය.  ආනන්ද තෙරුන් වහන්සේ ගේ මතකයෙහි, සම්මා සම්බුදු රජාණන් වහන්සේ හා බැඳුණු සිද්ධීන් අපමණය.  මේ නයින් බලන කල, උතුම් වූ සම්මා සම්බුදු චරිතය මෙන්ම ආනන්ද තෙරුන් වහන්සේගේ චරිතයද බෞද්ධ වන අපට ශ්‍රේෂ්ඨය.


  සිද්ධාර්ථ කුමාරයා උපන් දින, සුද්ධෝදන රජතුමාගේ බාල සොහොයුරු අමිතෝදන රජතුමාගේ  අග බිසොවටද කුමාරයෙක් උපන්නේය.  ඒ කුමරුන්ගේ උපත සියල්ලන්ටම 'ආනන්දයක්' දුන් බැවින් නමින් ඔහු ආනන්ද නම් විය.  මේ කුමරුන්ද, සියලු යස ඉසිරු මධ්‍යයේ ඇති දැඩි විය.   සිදුහත් කුමරු මහාභිනිෂ්ක්‍රමනය කිරීමෙන් පසුවද ආනන්ද කුමරුවන් සියලු යස ඉසුරෙන් පිරි ජීවිතයක් ගත කෙලේය.  සිදුහත් කුමරු සිය බලපරාක්‍රමය ශාක්‍යයන් හට පෙන්වූ
දා "මගේ පුත් සිදුහත් කුමරු චක්‍රවර්ති අධිරාජයෙක් වුව මේ රැස්ව සිටින කුමාරවරු
දහසක් ඔහුගේ පිරිවර විය යුතුය. සම්මා සම්බුදු බව ලබා ගත හොත් උන්වහන්සේගේ පිරිවර ශ්‍රාවක සංඝයා වශයෙන් මේ කුමාරවරු දහසක් සසුන් ගත විය යුතුය." යනාදී වශයෙන් පවසා ඇත.
 ('ශ්‍රාවක චරිත' යන පොතේ මෙසේ සඳහන් වෙයි). ඒ අනුව කුමාරවරු බොහෝ ගනනක් සසුන් ගත වූහ.  සමහර පවුල්වලින් කිසිවෙකුදු පැවිදි නොවූහ. ඒ අතරින් ශාක්‍ය කුමාරවරු සය දෙනෙක්, (ආනන්ද, භද්දිය, අනුරුද්ධ, භගු, කිම්බිල සහ දේවදත්ත යන කුමාරවරු), බුදු රජානන් වහන්සේ කපිලවස්තු පුර සිට ආපසු වඩින විට මල්ල රජවරුන්ගේ අනුපිය නම් අඹ වනයේදී  හමුවට පැමින බුදු සසුනෙහි පැවිදි වූහ.  දෛවෝපගත සිද්ධියක් ලෙස උපාලි නම් කපුවාද ඒ සමග මහණ විය.  ආනන්ද තෙරුන්වහන්සේගේ ගුරුවරයා වූයේ මන්තානිපුත්ත පුඤ්ඤ  තෙරුන් වහන්සේය.  උපදේශකයානන් වහන්සේ වූයේ බෙල්ලත්තිසිස තෙරුන්වහන්සේය. 


ආනන්ද සාමණේරයන් වහන්සේ පුඤ්ඤ තෙරුන් වහන්සේ දේශනා කල දම් දෙසුමක් ශ්‍රවණය කොට සෝතාපත්ති වූ සේක.  ඒ දම් දෙසුම ස්කන්ධ පහ සම්බන්ධ කොට ගෙනය.  ඒ ධර්මය වහා තේරුම් ගැනීමට තරම් ආනන්ද
තෙරුන් වහන්සේ පින් කොට ඇති බව එකහෙලාම පෙනී යයි.  


පුඤ්ඤ තෙරුන් වහන්සේ: ආනන්දය මම, මාගේ,යන ආත්මභරිත්වය සිදුවන්නේ
කුමක් නිසාද
?  


ආනන්ද තෙරුන් වහන්සේ: රූපස්කන්ධය නිසාය ස්වාමීනි, වේදනා ස්කන්ධය නිසාය සංඥා නිසාය, ස්කන්ධය නිසාය, සංඛාර ස්කන්ධය නිසාය, විඤ්ඤාණ
ස්කන්ධය නිසාය ස්වාමීනි.
තව දුරටත් කරුණු පහදන පුඤ්ඤ තෙරුන් වහන්සේ,  හොඳට ඇඳ පැළඳ ගත් පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් කැඩපතකින් පිලිරුව දෙස බලන්නේ මේ මමයයි යන මුලාව සිතේ මුල් කොට ගෙනය.   එයින් පිලිබිඹු වන්නේ රූපස්කන්ධයේ ඡායාවක් පමණි, එනම් ද්‍රව්යත්වය පමණය.  ද්‍රව්යත්වය (corporeality) නිත්‍යද? අනිත්‍යද?

ආනන්ද තෙරුන් වහන්සේ: අනිත්‍යය ස්වාමීනි. 

පුඤ්ඤ තෙරුන් වහන්සේ:  අනිත්‍ය දෙයක් ගෙන එන්නේ සොම්නසද? දොම්නසද?

ආනන්ද තෙරුන් වහන්සේ: අනිත්‍ය දෙයකට, නිතර වෙනස් වන ස්වභාවයෙන් යුතු දෙයකට  සොම්නසක් ගෙන ආ නොහැක. එවැනි දෙයක් මගේය, මගේ ආත්මයයි යනුවෙන් ග්‍රහණය කර ගැනීම සුදුසුද ස්වාමීනි?

පුඤ්ඤ තෙරුන් වහන්සේ:   එසේ සිතීම කෙසේවත් සුදුසු නැත.  වෙනස් වන ස්වභාවයෙන් යුතු කිසිම දෙයක් තමාගේ ග්‍රහණයේ තබා ගත නොහැක.  වෙනස් වෙන සියලුම දේවල් විනාශ වෙනු ඇත. එය විනාශ වූ කල දුකක් උපදී.  වේදනා, සංඥා, සංඛාරා විඤ්ඤාණ යන මේ ස්කන්ධ නිත්‍යද? අනිත්‍යද?

ආනන්ද තෙරුන් වහන්සේ:  ඒවාද අනිත්‍යය ස්වාමීනි. 

පුඤ්ඤ තෙරුන් වහන්සේ:  නිතර වෙනස් වන ස්වාභාවයෙන් යුතු අනිත්‍ය දෙයක ගැබ් වී ඇත්තේ දුක, සංවේගය, උපදවන ස්වභාවයමය.  එසේ සංවේගදායක දෙයක් මමය, මගේය වශයෙන් ග්‍රහණය කරගැනීම සුදුසුද?
ආනන්ද තෙරුන් වහන්සේ:  නුසුදුසය ස්වාමීනි.   එසේනම් ස්වාමීනි, තමන්ගේ හෝ වෙනයම් කෙනෙකුගේ රූපයක් (ද්‍රව්‍යත්වයක්) දුටුවිට ඒ දෙස බැලිය යුත්තේ ප්‍රඥාව මුල්කොටගෙනය; පියවි ඇසට පෙනෙන්නේ ද්‍රව්‍යත්වය පමණකි.  සියලුම ස්කන්ධ
ඇතිවූවා සේම නැතිවී යන හෙයින් ඇල්මක් හට නොගැනේ. 

මේ ධර්මානුසාසනාව මනාව තේරුම් ගත් ආනන්ද තෙරුන් වහන්සේ සෝථාපන්න බවට පත් වූ සේක.

 (සංයුක්ත නිකාය - කන්ධ සංයුක්තිය - ථේරවග්ග)

මතු සම්බන්ධයි….

Sunday, February 13, 2011

සරණාගමනය

බෞද්ධ අපි අඩුවශයෙන් දවසකට එක වතාවක්වත් තිසරණ සහිත පංචශීලය සමාදන් වන්නෙමු.  මෙය සිරිතක් වශයෙන් සිදු වුවද, එසේ කරන්නේ කුමන හේතුවක් නිසාදැයි යන්න බොහෝ දෙනෙකුට පැහැදිලි නැත.  කාවේ බහුතරයක් උත්පත්තියෙන්ම බෞද්ධයෝය.  බෞද්ධ රටක් වශයෙන් ලොව ප්‍රචලිත වුවද, බෞද්ධ වත් පිලිවෙත් බොහෝ දෙනා නොදනිති.  ගතානුගතික ලෙස පලපුරුද්දෙන් පන්සිල් සමාදන් වුවද පන්සිල් රකින්නෝද විරලයහ. බුදු රජාණන් වහන්සේ ලොව බිහි වූ අති උත්තම ගුරුවරයාය.  උන්වහන්සේ පහදා දුන් සත්‍යය ධර්‍මය වශයෙන් හැඳින් වේ.  උන්වහන්සේ ආරම්භ කල ශ්‍රාවක පිරිස සංඝයා වශයෙන් හැඳින් වේ.  අපි ශ්‍රාවක සංඝයා වශයෙන් හඳුන් වන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කල  ධර්මය ඒ ආකාරයෙන්මමහ ජනයාට දේශනා කරන (සාමීචි පටි පන්නෝ) බුදු රජානන් වහන්සේ දේශනා කල මගෙහි ගමන් කරන ශ්‍රේෂ්ට පුද්ගලයින්ටය.  බුද්ධකාලීන වකවානුවේ සිට අද දක්වා ගිහියන් වශයෙන් බුදු රජානන් වහන්සේගේ  ධර්මයට
අවතීර්ණ වූයේ තිසරණ සහිත පංච ශීලය සමාදන් වීමෙනි
අපි සරණ යා යුත්තේ කුමන කරුණක් නිසාදැයි නිතැනින්ම ඊලඟට සිහියට නැගෙයි.  මේ ප්‍රශ්නයට පිලිතුරු සැපයීමට අපි, අපි ගැනම සලකා බැලිය යුතුය.   යම් කෙනෙක්  හොඳ රක්ෂාවක් කරයි නම්, හොඳ ආදායමක් ඇත්නම්,යහපත් පවුල් ජීවිතයක් ගත කරයි නම්, ආරක්ෂා වීමට කුමණ බියක් ඇත්දැයි කෙනෙකුට සිතෙනු ඇත. බෞද්ධ චින්තනයට අනුව මනුෂ්‍ය ජීවිතය පාවෙන අයිස් කන්දක් හා සමානය.  මතුපිටට පෙනෙන්නේ දහයෙන් එකක් හා සමාන සුලු කොටසකි.  දහයෙන් නමයක් නොපෙනෙයි.  අපේ දර්ශනය සීමා සහිතය.  පියවි ඇසට පෙනෙන දේ එපමනය.  නොපෙනෙන දේ අපමණය. අපේ විභවනය (perception) දෝශ සහිතය.  අපේ ආශාවන් අනුව ඒ විභවනයන් හැඩ ගැස්වී යයි.  මෙයින් සිදු වන්නේ මායාකාරී දෙයකි.  ස්ථිර වශයෙන් තිබූ දෙයක් අපට නොපෙනෙන හේතූන් නිසා බලාපොරොත්තු නොවූ පරිද්දෙන් අස්ථිර වෙයි.  එයින් අපි තදබල ලෙස කම්පාවෙමු.    අපට නොපෙනෙන දේ දැකීමට නම් අපේ විභවනය හොඳට තියුණු විය යුතුය.  එසේ වීමට පියවි ඇස පමණක් ප්‍රමාණවත් නොවේ.  අපි ගමන් කරන්නේ දෙපස භයානක ප්‍රපාතයන්ගෙන් යුතු පටු අඩිපාරක බව බුදු පියාණෝ වදාල සේක. අප සරණ යායුත්තේ මේ භයානක විපත් වලින් ප්‍රවේසම් වීමටය.
බුදු
රජාණන් වහන්සේ මේ භයානක විපත්
, කොටස් තුනකට බෙදා ගෙන හැර දැක්වූ සේක. 1. මේ භවයේදී සිදු විය හැකි විපත්   2.මතු භවයන්හිදී සිදුවිය හැකි විපත් සහ   3. සාමාන්‍යයෙන් සංසාරය තුල සිදුවිය හැකි විපත් වශයෙන් මේ ආපදා හැඳින්විය හැක.   මේ භවයේදී සිදුවන ආපදා අතුරෙන් අපේ ශරීරයේ අස්ථිරභාවය ප්‍රධාන තැනක් ගනී.  හොඳ සුවයෙන් සිටින අය හදිසියේම මිය යති.  එසේම ඉතා දරුණු සුව කල නොහැකි ලෙඩ රෝග වලට ගොදුරු වෙති.  එසේම ස්වාභාවික ආපදා එමටය.  භූමි කම්පා,  මුහුද ගොඩ ගැලීම්,  ජල ගැලීම්, දේශපාලනමය වශයෙන් සිදුවන කෝලාහල සහ මිනීමැරුම් ආදී වශයෙන් කිසිම පාලනයක් නොකල හැකි අන්දමට මේ ආපදා සිදු වේ.  මේ සියල්ලෙන්ම ගැලවී සිටියත් මරණයෙන් ගැලවිය නොහැක.    අප ඉපදුනේම මරණය උරුම කොට ගෙනය.    අපේ ව්‍යාපාර අසාර්ථක විය හැක.  අපේ මිතුරන් අපට විරුද්ධ විය හැක.  ජීවිතය සම්පූණ්ර්‍යෙන්ම අවදානම් ස්වභාවයක් උසුලයි.  මිය යන බව දන්නා නමුත් මිය යන්නේ කවදාද යනු අවිනිශ්චිතය.  මේ ලෝක ස්වභාවයයි.  අවිනිශ්චිත භාවය අපේ සිත් තුල ඇති කරන්නේද එක්තරා උද්වේගකාරී (anxiety) තත්වයකි.   ජීවිතයේ ඇති අවිනිශ්චිතභාවය සිත් තුල ඇති කරවන්නේ නොසන්සුන්භාවයකි.  මේ නොසන්සුන්භාවය කුමක් නිසා සිදුවන්නේදැයි කිව නොහැකි තරමට එය ව්‍යාකූලය.  මේ නයින් නොයෙක්
මානසික රෝග සිත් තුල හට ගනියි.  ව්‍යාකූලත්වයේ බරපතල කම අනුව සිත එක් එක් ස්වභාව ගනියි.  වරෙක
තරහ
, වෛරය ඇති කරයි.  වරෙක දුක, සන්තාපය, ආදී නොයෙක් ශෝක ජනක දේවල් ඇතිකරයි.  අපේ අශාවන් හා ලෝකයේ සිදුවන දේවල් අතර  ඇති විශමතාවය නිසා අපි තවත් පසු තැවීම් වලට භාජනය වෙමු.   අපට කල හැක්කේ ලෝකයේ ඇති යම් යම් දේවල් කෙරෙහි ඇති ලොල් බව,උපාදානය
අතහැරීමයි.  බුදු දහමෙන් කියැවෙන්නේ එයයි.
  ලෝකයේ සිදුවන ස්වාභාවික විපත් පාලනය කිරීමට
නුපුලුවන. නමුත් මානසික අසහනය උදෙසා බුදු රජානන් වහන්සේ පිලියම් දේශනා කර ඇත. 
  
මතු භවයන්හි සිදුවිය හැකි ආපදා සලකා බලන විට බුදු රජානන් වහන්සේ දේශනා කල ධම්ර්‍ය අනුව මරණයෙන් ජීවිතය කෙලවර නොවේ.  පටිච්ච සමුප්පාදයේ දක්වන පරිදි විඤ්ඤාණය, මිය ගිය සැනෙකින් ශරීරය හැරදමා ඉවත් වී යයි. මේ යන විඤ්ඤාණය යනු "ආත්මය" නොවේ.  ගත වූ ජීවිතයේ කරන ලද කුසල් / අකුසල් අනුව යම්කිසි තලයෙක උපත සිදුවෙයි.  කලින් ගත කල ජීවිතයට අනුව කරදර සිත් තැවුල් දුක් දොම්නස් කෙලවර වී නොමැත. යලිත් ඒවා වෙනස් ස්වරූපයකින් තමා කරා පැමිණෙනු ඇත.  අවිද්‍යාවත් තණ්හාවත් ඇති තාක් මේ චක්‍රය කැරකෙයි.  භවයෙන් භවයට 'ගමන් කරන' ආත්මයක් කිසිසේත් නොමැත.  ඇත්තේ විඤ්ඤාණය පමණි.  මේ විඤ්ඤාණය, පෙර තිබූ විඤ්ඤාණයද නොවේ.  එයද නව භවයට සම්ප්‍රාප්ත වන විට වෙනස් වී ඇත.  දුගතියක උපත ලද හොත් ඉන් මිදෙන තුරු සැනසීමක් අත් නොවනු ඇත.  එව්න් උත්පත්තියක් සිය කම්ර්‍ය නිසා
සිදු වේ.  චේතනාහං භික්ඛවේ කම්මං වදාමි......වශයෙන් බුදු රජාණන් වහන්සේ වදාල සේක.  කර්ම කයින් වචනයෙන් හා සිතෙන් සිදු වෙයි.  කුසල හෝ අකුසල වශයෙන් කර්ම බෙදිය හැක. තවද ලෝභ ද්වේශ මෝහ යනු අකුසල ගාමී චිත්ත ස්වභාවයන්ය.  මේ සිතිවිලි වලින් දුරු වෙන ලෙසට බුදු රජාණන් වහන්සේ
වදාල සේක. 
සසරෙහි සිදුවන විපත්ද එසේමය.  අපි සසරට එකතු වූයේ කවදාදැයි කිව නොහැක.  සියලු කෙලෙස් සිඳ දමා නිවන් අවබෝධ කරන තුරු අපි සසරෙහි සැරි සරමු.  මෙය දුක්ඛිත ස්වභාවයක් ලෙස බුදු රජාණන් වහන්සේ පහදා දී ඇත.  ඉපදීම දුකකි.  ජරාවට යාම දුකකි.  මරණය දුකකි. අනිත්‍යය විදහා දක්වන භවය ඊට කැමති
පරිද්දෙන් සැරිසරයි.
   ප්‍රඥාගෝචරව  විමසන කල්හි සසර තුල සැරි සැරීම දුක් සහිත බව සටහන් වෙයි.   මෙයින් මිදෙන මාග්ර්‍ය පෙන්වා දුන්නේ බුදු රජාණන් වහන්සේය.  බුදු රජාණන් වහන්සේඋන්වහන්සේගේ ධම්ර්‍ය සහ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා ත්‍රිවිධ රත්නය වශයෙන් හැඳින් වෙයි.  එක් එක් රත්නය වෙන් වෙන් වශයෙන් නොව ත්‍රිවිධ රත්නය එකම එක වස්තුවක් ලෙසට හැඳින්වෙන්නේ ඒ නිසාය. බුදු රජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෙක් ලෙස ඇතුලුවන්නේ මේ සරණාගමණයෙනි.

Wednesday, February 9, 2011

මරණාසන්න දර්ශන

උපදින සෑම්  සත්වයෙකුටම මරණය නියතය.  මරණයෙන් ගැලවිය නොහැක.  එහි සුන්දරත්වයක්ද නොමැත.  සියලුම සත්වයෝ මරණයට බියක් දක්වති.  මේ බියට හේතූන් බොහෝ වෙති.  මරණයට නියත වයසක් හෝ කාලයක් නොමැත.  බෞද්ධ ත්‍රිපිටකයේමරණාසන්න තැනැත්තෙකුට යම්කිසි දර්ශන මගින් ඊලඟ උත්පත්තිය සිදුවන තලය ගැන දර්ශන පෙනෙන බව සඳහන් වෙයි.  ඒ අනුව, නිරයට යන තැනැත්තා අග්නි ජාලාවන්ද, ප්‍රේත ලෝකයට යන තැනැත්තා ප්‍රේතයින් සහ අන්ධකාරයදමනුශ්‍ය ලෝකයට යන තැනැත්තා මියගිය සිය නෑදෑයින්, ප්‍රේතයින් සහ භූතාත්මයන්ද, දිව්‍යලෝකයට යන තැනැත්තා දිව්‍යමය මන්දිර ආදී දර්ශන මරණාසන්නව දකින බව සඳහන් වෙයි.  සම්මා සම්බුද්ධත්වය ලබා ගත් බුදු රජානන් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදීම පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙන් හා ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කල සේක.  " මෙය ඇති කල්හි මෙය ඇති වේ... මෙය  නිරුද්ධ වූ කල්හි මෙය නිරුද්ධ වේ....." වශයෙන් සත්වයා සසරෙහි සැරිසරණ අන්දම උන්වහන්සේ පැහැදිලිව අවබෝධ කරගත් සේක. කර්මාණුකූලව සත්වයා වෙන භවයකට යන බවත්, මෙය සිදු වන්නේ තමන්ගේ කර්ම ශක්තිය අනුව බවත්, මෙය වෙන කිසිවෙකුගේ ශාපයක් වශයෙන් හෝ මැවුම් කරුවෙකුගේ බලයෙන් නොවන බවත් ස්ථිර වශයෙන් උන්වහන්සේ ප්‍රකාශ කොට වදාල සේක.    ඒ අනුව උපදින සෑම මනුශ්‍යයෙකුටම මේ ධර්මතාවය පොදුය. 
මහනුවර බෞද්ධ ප්‍රකාශක සංගමයේ " Buddhist Publication Society – Bodhi Leaves No: 150" දඹදිව
බුද්ධගයාවේ අධිපති රස්ත්‍රපාල් හිමියන්ගේ රචනයක් වන "
Five Visions of a Dying Man " යන සටහන අනුසාරයෙන් පහත සඳහන් පරිච්ඡේද සකස් වී ඇත. 
පහත සඳහන් සිද්ධිය සිදුවූයේ 1957 වසරේදීය.  රස්ත්‍රපාල් තෙරුන්වහන්සේ එකල බංගලාදේශයේ චිතගොං නුවර සමීපයේ තෙකොතා නම් වූ ගම්මානයේ විහාරයේ වැඩවිසූ සේක.  දිනක් අසල ගමක එක්තරා පුද්ගලයෙක් මේ ස්වාමීන්  වහන්සේ බැහැදැකීමට පැමිණියේ හදිසියේය. ඔහුගේ 56 හැවිරිදි ඥාති සහෝදරයා, අභිනාශ් චන්ද්‍රා චවුද්‍රි මහතා අතිශයින් රෝගාතුරව මරණාසන්නව සිටින බව දන්වා සිටියේය.  චවුද්‍රි මහතා ඉතාමත් ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙකි.  රස්ත්‍රපාල් හිමියෝ වහාම මරණාසන්න රෝගියා බැලීමට නික්මුනහ.  ඒ යනවිට ඔහුගේ නිවස ඥාති මිත්‍රාදීන්ගෙන් පිරී පැවතිණ. රෝගියා බිම අතුරන ලද මෙට්ටයක වැතිරී සිටියේය.  වේලාව රාත්‍රී 8.30ට පමණ ඇත.  පනවන ලද අසුනෙහි හිඳ ගත් හිමි සූත්‍ර කිහිපයක් සජ්ජායනා කලහ.   චවුද්‍රි මහතා ඉතාම දුබල හඬකින් "බුද්ධ, ධම්ම, සංඝඅනිච්ච දුක්ඛ, අනත්තා, මෙත්තා කරුනා මුදිතා උපේක්කා" වශයෙන් යම් යම් දෑ දුබල හඬකින් මුමුණමින් සිටියේය.  ස්වාමීන් වහන්සේ රෝගියා කියන දේවල් අසා ගැනීමට බිම අසුනක් පනවන ලෙස ඉල්ලා සිටි සේක.   රෝගියා අසලින් බිම හිඳගත් ස්වාමීන් වහන්සේ රෝගියාගෙන් තතු විමසූ සේක.  තමා තව ස්වල්ප වේලාවකින් මිය යන බව රෝගියා පැවසීය. ස්වාමීන් වහන්සේ රෝගියාගෙන් විමසා සිටියේ කිසියම් දෙයක් දර්ශනය වේද යන බවයි.  ඒ අවස්ථාවේ කිසිම විශේෂ දර්ශනයක් නැති බව හේ පැවසීය.  යම්කිසි දසුනක් පෙනෙයි නම් දන්වන ලෙස වදාල තෙරුන් වහන්සේ සූත්‍ර කිහිපයක් දේශනා කල සේක.  .
 රාත්‍රී 11.30ට පමණ රෝගියා යම් කිසිවක් පැවසීමට උත්සාහ දැරීය.  ස්වාමීන් වහන්සේ ඔහුගෙන් ඒ පිලිබඳව විමසා සිටියහ.  සිය මියගිය දෙමාපියන් බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේට මල් පූජා කරනු පෙනේයයි ඔහු ප්‍රකාශ කලේය.  ඒ දෙමවුපියන් පන්සිල් සමාදන් වීමට කැමතිදැයි ස්වාමීන් වහන්සේ විමසූ විට,  කැමති බවත් ඔවුන් දෙ අත් එක් කොටගෙන සිටින බවත් පැවසීය.  වෙනත් තලයෙක් සිටින ඔහුගේ දෙමව්පියන්ට
පංචසීලය සමාදන් කරවූ රස්ත්‍රපාල් තෙරුන් වහන්සේට චවුද්‍රි මහතාගේ කර්ම ශක්තිය අනුව
, මිනිස් ලොව උසස් උපතක් ලැබීමට හේතු වාසනාව ඇති බව පැහැදිලි විය.  මිනිස් සිත ඉතා ඉක්මනින් වෙනස් වෙයි.  ඒ මිනිස් සිතේ ස්වභාවයය.  මොහොතින් මොහොත එය වෙනස් වෙයි.  සිතුවිලි ඉපදී යලි නැසී යයි.  පිරිසිදු කුසල චිත්තයක් තිබූ චවුද්‍රි මහතාගේ සිත ලෞකික දේ වලට යොමු විය.  තමාට කිරීමට, අපහසු වූ,  අසම්පූර්ණ කටයුතු නිමකරන ලෙස සිය දරුවන්ට උපදෙස් දෙනු ඇසිනි.  ලෞකික දේ ගැන සාකච්ඡා කිරීම සමගම තෙරුන් වහන්සේ පෙනෙන දර්ශන ගැන ඔහුගෙන් විමසීය.  ඒ අකුසල චිත්ත චවුද්‍රි මහතා ප්‍රේත භවයක් හෝ
යම් පහත් භවයකට යොමු කර ඇති බව රස්ත්‍රපාල් හිමිට වැටහිනි.  ඉතා දිග ලොම් සහිත ඇස් නොපෙනෙන තරමට දික් වූ ලොම් වලින් යුතු සත්වයින් තමා අවට සිටින බව ඔහු පැවසීය.
   ඒ අවස්ථාවේ හෙතෙම මරණයට පත්වී නම් නොවරදවාම පහත් භවයකට යන බව රස්ත්‍රපාල් හිමි දැනගත්හ.  යහපත් ජීවිතයක් ගත්කල චවුද්‍රි මහතාට එසේ නොවිය යුතුය.  ආසන්න කර්මයක හැටි! මේ ලෝකයේ ස්වභාවයය.  මෙය ඉක්මවා යාමට කිසිවෙකුටත් නොහැක.   තෙරුන් වහන්සේ වහාම සූත්‍ර දේශනාවන් පටන් ගත් සේක.  ටික වේලාවකින්
ඉක්බිතිව දර්ශන ගැන තෙරුන් වහන්සේට කිසිම දර්ශනයක් නොමැති බව චවුද්‍රි මහතා ප්‍රකාශ  කලේය.   
.  තව ස්වල්ප වේලාව්ක් ගිය පසු ඔහුගේ ලෞකික ආශාවන් තවමත් පවතින බව පැහැදිලි විය.  ච්තගොං
සම්ප්‍රදාය අනුව මියගිය පසු වැතිරී සිටින මෙට්ටය ශරීරය සමග ආදාහන කලයුතුය.  නමුත් ඒ මෙට්ටය ඔහුගේ පුත්‍රයාටදෙන්නැයි ඉල්ලීමක් කලේය.  ඒ අවස්ථාවේදී රස්ත්‍රපාල්  හිමි දරශන ගැන යලිත් විමසා සිටියහ.   කලු පැහැති පරෙවියන් දෙදෙනෙක් පෙනෙන බව ඔහු  පැවසීය.
    එයද යහපත් ජීවිතයක් ගතකල චවුද්‍රි මහතාට
අයෝග්‍යය.  මීට වඩා හොඳ උපතක් ලබා ගැනීමට  තරම් කුසල කර්ම සිදු කර ඇත.  කලු පරෙවියන් දෙදෙනා මොහු සත්ව ලෝකය කරා යොමු වන බවට සලකුනකි. කර්ම පල දෙන ආකාරය විශ්මය ජනකය. රස්ත්‍රපාල් ස්වාමීන් වහන්සේ රෝගියාට අනුකම්පාවෙන් යලිත් පිරිත් සජ්ජායනාව පටන් ගත්හ.  සෑහෙන වේලාවක් පිරිත් සජ්ජායනා කල තෙරුන් වහන්සේ දර්ශන ගැන විමසා සිටි සේක. දිව්‍යමය රථයක් තමාට ලංවී ඇති බව හෙතෙම ප්‍රකාශ කලේය.  ඒ රථය කොතරම් දුරදැයි ඇසූ විට
තමාගේ යහන ලඟින් එය ඇතිබව ඔහු පැවසීය.    ඒ රථයෙහි සිටින්නේ කවුරුන්දැයි විමසූ විට  දිව්‍යමය දෙවියන් හා දේවතාවියන් සිටින බව රෝගියා
පැවසීය. 
   ත්‍රිපිටකයේ සඳහන් පරිදි දෙවිවරු සිල්වත් ස්වාමීන් වහන්සේලාට සහ ගිහියන්ට ගරු කරති.  (මේ බව මහා මොගල්ලාන සහ කාශ්‍යප රහතන් වහන්සේලා ප්‍රකාශ කොට ඇත.  මේ රහතන් වහන්සේලා දෙදෙනාම දෙවියන් අතර නිතර නිතර සංචාරය කොට තොරතුරු සොයා ගත් ශ්‍රේෂ්ට බුද්ධ ශ්‍රාවකයන් දෙදෙනෙකි.  තවමත් ජීවතුන් අතර සිටින, දැනට වයස අවුරුදු 99ක් වන තායිලන්තයේ වෙසෙන මහා බූව ඤාණසම්පන්නෝ හිමියන්ද මෙය අත්දැකීමෙන් ප්‍රකාශ කොට ඇත.)      පංචශීලය සමාදන් වීමට කැමැති දැයි දේව සමූහයාගෙන් විමසන ලෙස රස්ත්‍රපාල් හිමි රෝගියාට දැන්වීය.  දේවසමූහයා ඊට කැමති බව දැන්වූ පසු රස්ත්‍රපාල් හිම් ඔවු පංචශීලයෙහි පිහිට වූහ. එසේම දෙවියන්ගේ කැමැත්ත පරිදි කරණීය සූත්‍රයද, මංගල සූත්‍රයද සජ්ජායනා කල සේක.  .  රතන සූත්‍රය සජ්ජායනා කිරීමට කැමැත්ත ඇසූවිට දෙවි වරු ස්වාමීන් වහන්සේට ආපසු විහාරයට යන ලෙස ඉල්ලා සිටින බව රෝගියා පැවසීය.  
 මේ අවස්ථාවේදී රස්ත්‍රපාල් හිමි චවුද්‍රි මහතාගේ ජීවිතය තවත් දිගු කර ගැනීමට හැකිදැයි දෙවියන් හා රෝගියා හරහා සාකච්ඡා කල බව  සටහනේ වාර්තා වේ. 
රස්ත්‍රපාල් හිමි
සිතන අන්දමට මේ රෝගියාට තවත් මේ ලෝකයේ ජීවත් වීමට හැකියාව ඇත.  රෝගියාගේ වයස සලකා බලා ආපසු යන ලෙස දෙවිවරුන්ගෙන් රස්ත්‍රපාල් හිමියෝ ඉල්ලා සිටියහ. එහි රැස්ව සිටි සියල්ලම ඒ දෙවි වරුන්ට පිං පැමිනවූහ.  මෙයින් ඉක්බිතිව
, දෙවිවරු ආපසු ගියාද  නැද්ද යනු සඳහන් නොවේ.  නමුත් ඉන්පසු සඳහන්
කරුණු අනුව ඔවුන් ගිය බව සිතා ගත හැක. ස්වල්ප වේලාවකින් ද ර්ශන ගැන විමසූ විට තම දෙමාපියන් තවමත් ශ්‍රී මහා  බෝධීන් වහන්සේ අබියස සිටින බව රෝගියා පැවසීය. 
  දෙවිවරුන්ගෙන් ඉල්ලා සිටි පරිදි
දෙමාපියන්ගෙන්ද ආපහු යන ලෙස රස්ත්‍රපාල් හිමි ඉල්ලා සිටියහ.  ඔවුන් අතරෙන් පියානන් කැමැති වුවත් මෑනියන් කැමති නොවීය.  කිහප වරක් ඉල්ලා සිටීමෙන් අනතුරුව ඊට හරස් කැපීමෙන් වන අනතුර පහදා දීමෙන් පසු ඔවුන් යාමට කැමති විය.  ඉන් පසු කිසිම දර්ශනයක් නොමැති බව චවුද්‍රි මහතා පැවසීය.
    .   රස්ත්‍රපාල් ස්වාමීන් වහන්සේ, මේ රෝගියාගේ ආකර්ෂනය මේ ලෝකය කෙරෙහි බලවත් බව වටහා ගත්හ  
 එසේම අදහා ගත් නොහැකි වෙනසක්ද සිදුවිය.  මෙතෙක් මරණාසන්නව සිටි චවුද්‍රි මහතා යලිත් නව පනක් ලද්දාක් මෙන් පිබිදී සිටීමය.  එවිට වේලාව උදෑසන පහට පමන ඇත.  සියල්ලෝම ප්‍රීතියට පත් වූහ.  රස්ත්‍රපාල් හිමියන් ආපසු පන්සලට  වැඩියහ. 
රාත්‍රිය මුලුල්ලේ නිදිවර්ජිතව සිටීමෙන් වෙහෙසට පත්ව සිටි රස්ත්‍රපාල් හිමි ස්නානය කොට ටික වේලාවක් සයනය කල සේක.  දහවල් 10.30 වන විට ඊයේ පැමිණි අමුත්තා යලිත් පැමිණියේය.  පැය පහක් පමණ හොඳ සනීපයෙන් පසුවුනු රෝගියා යලිත් උත්සන්න වී ඇති බව පැවසීය. වහාම් රෝගියා හමුවට ගිය රස්ත්‍රපාල් හිමියන්ට ඔහු පැවසූවේ තව නොබෝ වේලාවකින් මේ ජීවිතයෙන් සමු ගන්නා බවයි.  එසේම යම්කිසි දර්ශනයක් පෙනේදැයි විමසූ විට දේව රථය ආපසු පැමින ඇති බව දැන්වීය.    පන්සිල් දුන් ස්වාමීන් වහන්සේ හමුවේ රෝගියා රැගෙන යාමට දෙවි වරු මැලිබවක් දක්වන බව රස්ත්‍රපාල් හිමියන්ට වැටහුනි.    
.  රෝගියා රැගෙන යාමට අවසර දෙන බව ස්වාමීන් වහන්සේ පැවසූ සේක.  ඔහු ගත කල ජීවිතය අනුව දෙව්ලොවට පිවිසෙන බව ස්වාමීන් වහන්සේ වටහා ගත්හ. තව ස්වල්ප වේලාවකින් චවුද්‍රි මහතා අවසන් හුස්ම හෙලීය.  රැස්ව සිටි කිසිවෙක්වත් කිසිම ශබ්දයක් නොකෙලේය.  ඒ මියයන තැනැත්තාගේ සිත ලෞකික
දේවල් කෙරෙහි යොමු වීම වැලැක්වීමටය. කිසිවෙක් හෝ හඬන වැලපෙන ශබදයක් ඇසී නම් තන්හාව ඉපදී යලිත් ප්‍රේත භවයක් කරා යොමු වීමට ඉඩ තිබුනි..
ලෞකික වශයෙන් අපට මෙයින් කරුණු කිහිපයක් පැහැදිලි වේ.. මරණාසන්න නෑදෑයින් අතරට අපට යාමට සිදුව්නු නියතය.  මරණාසන්න වූ විට කෙනෙකුට සිය ජීවිතයේ කරණ ලද කුසල් ක්‍රියා සිහි කර විය යුතුය.  හැඬීම් වැලපීම් නොකල යුතුය. අඳෝනා ඇසීමෙන් මරණාසන්න තැනැත්තාගේ සිත චංචල වී අකුසල චිත්ත
පහල වේ.  මේ අකුසල චිත්ත මිය යන තැනැත්තා ප්‍රේත භවයකට නිසැකවම යොමු කරවයි.  
මේ සටහන් කියවන්න.  මේ අපේ රටේ වාර්තා වී ඇති සත්‍ය සිදුවීම්ය. 
මරණාසන්න දර්ශන බෞද්ධයින්ට පමණක් සීමා නොවේ.  බෞද්ධ නොවන අයටද ඒ දර්ශන පෙනෙයි.  මරණාසන්න රෝගීන් බැලීමට මට බොහෝ අවස්ථා වල යාමට සිදු වී ඇත. ඒ රෝගීන් නොයෙක් දර්ශන මට විස්තර වශයෙන් පවසා ඇත.  බටහිර වෛද්‍ය මතයට අනුව ඒවා මඳ සිහියෙන් රෝගියා කරන නන් දෙඩවිලියය.  නමුත් වෛද්‍ය වරයා විචාරාත්මකව බලන්නේ නම්,  ඒ නන් දෙඩවිලි නොව සත්‍ය වශයෙන් රෝගියාට පෙනෙන දර්ශනයන්ය. 
එක් අවුරුදු 80 ඉක්මවූ මහත්මයෙක් මරණාසන්නව සිටිද්දී  මට පැවසුවේ ඔහුගේ ඇඳ අවට කකුල් නැති පුද්ගලයින් කිහිප දෙනෙක් සිටින බවයි.  තවද ඒ වගේම පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් සාලයේ අසුන් ගෙන සිටින බවයි.  
තවත් එක් මරණාසන්න කාන්තාවක් ඇයගේ මිය ගිය සැමියා පිරිවර සමගින් ඇය රැගෙන යාමට පැමින ඇති බවයි. ඔවුන් හොඳට ඇඳ පැලඳගෙන සිටින බවත් ඇයට යාමට සූදානම් වෙන ලෙස සැමියා පැසූ බවත් මට පවසා ඇත.   එකල ඊට වඩා විමසීමට මට නුපුලුවන් විය.