Saturday, August 27, 2011

සලායතන පච්චයා ඵස්සෝ .... පටිච්ච සමුප්පාදය 6

සලායතන පච්චයා ඵස්සෝ .... පටිච්ච සමුප්පාදය 6

අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !

“….තත්ථ කතමෝ සලායතන පච්චයා ඵස්සෝ?  චක්ඛු සම් ඵස්සෝ, සෝත සම් ඵස්සෝ, ඝාණ සම් ඵස්සෝ, ජිව්හා සම් ඵස්සෝ, කාය සම් ඵස්සෝ, මනෝ සම් ඵස්සෝ, අයං වුච්චති සලායතන පච්චයා ඵස්සෝ….”
ආයතන හය නිසා පහලවන්නා වූ 'ඵස්සයෝ' හෙවත් ස්පර්ශයෝ වීභංග ප්‍රකරණයේ දැක්වෙන්නේ එසේය.  ඇත්ත වශයෙන් ආයතන හයක් දක්වන ලද නමුත් ආයතන දොලහක් ඇත.  (රේරුකානේ චන්ද විමල නා හිමි ).  චක්ඛාදී ආයතන හයට ආධ්‍යාත්මික ආයතනයෝ යයි කියනු ලැබේ.  නිදානවගග සංයුත්තයෙහි'...චක්ඛුංච පටිච්ච රූපේච උප්පජති චක්ඛු විඤ්ඤාණං තිණ්ණං සඞඝති ඵස්සෝ...' යනුවෙන් සඳහන් වෙයි. ඇසත් රූපයත් නිසා චක්ෂු විඤ්ඤාණය උපදනේය.  ඇසත් රූපයත් චක්ඛු විඤ්ඤාණයත් නිසා ඵස්ස ඇති වන්නේය යනු එහි තේරුමයි.   තවද, රූපායතනය, සද්දායතනය, ගන්ධායතනය, රසායතනය, පොට්ඨබ්බායතනය, ධම්මායතනය වශයෙන් ගැනෙන ආයතන හයක්ද වෙයි.  ඒවාට බාහිරායතන යයි කියනු ලැබේ.  ස්පර්ශය හෙවත් ඵස්ස ඇති වන්නේ මේ ආධ්‍යාත්මික හා බාහිර ආයතනයන්ගේ සංයෝගයෙනි.   යම් කිසිවෙකුට කෲර අන්දමින් සලකනු දකිනු කාහට වුවද ඒ ගැන ශෝකයක් ඇතිවනු නොඅනුමානය.  තිරිසන් සතෙකුට වුවද  සිදු වන්නා වූ කෲරත්වයක් දුටුව හොත් ඒ සතා ගැන උපදින්නේ අනුකම්පාවකි.  ඒ අනුකම්පාව උපදින්නේ ඒ 'දැකීම හා ඇති වුන විඤ්ඤාණය නිසාය.  විඤ්ඤාණයක් නොමැති නම් ඒ දර්ශනය දුටුවත්, ඒ පිලිබඳව හැඟීමක් නොඋපදියි.  සංවේදී චිත්‍රපටියක් නරඹන විට හෝ පොතක් කියවන විට ඒ නරඹන දෙය හෝ කියවන පොත අසත්‍ය වුවත් විඤ්ඤාණය හේතු කොට ගෙන දෑසට කඳුලු උනන බව ඔබ අත් දැකීමෙන් දන්නවා ඇත.  සමහර අවස්ථාවල විඤ්ඤණය නිසා තද කෝපයක්, හෝ රාගයක් වුවද ඇති විය හැක.  උදාහරණ බොහෝ ගනණක් බෞද්ධ සාහිත්‍යයේ ඇත.   

මුදුලක්ඛන ජාතකයේ අප මහා බෝසතුන් මහා බල ඇති තවුසෙක් විය.  එතුමා දිවා  භෝජනය ගැනීම සඳහා රජ වාසලට සෘද්ධි බලයෙන් අහසින් ගමන් කලේය.   හදිසියේ පැමිණි තවුසා දුටු රජ බිසොව නැගී සිටින විට ඇය ඇඳ සිටි සලුව බිමට වැටී ඇයගේ අඩක් නග්න වූ ශරීරය තවුසා ගේ නෙත ගැටින.  ඒ සමගම සැඟවී තිබුනු රාගයද ඇවිස්සින.  එතුමාට කිසිම ආහාරයක රුචි බවක් දැනුනේ නැත.  සෘද්ධි බලයද පහව ගියේය.  පයින්ම අසපුවට පැමිණි තවුසා රාගයෙන් මත් වී අසනීප ව හොත්තේය.  ටික දිනකින් මෙය දැනගත් රජතුමා සිය බිසොව තවුසාට පැවරීය.  ඒ තවුසා යලිත් පියවි තත්වයට පැමිනිය යුතුය යන අපේක්ෂාවෙනි.  බිසොවටද තවුසාට උදව් කරන ලෙසට ඔවදන් දුන්නේය.  මාලිගයේ දොරකඩින් නික්මුනු පසුව බිසොව තවුසා බොහෝ වරක් රජ තුමා ගෙන් නොයෙක් නොයෙක් දේ ඉල්ලා  (ගෙයක්, ගොවිතැන් උපකරන ආදී ) යැවීය.  මෙසේ කිහිප වරක් මාලිගාවට ගිය පසු තවුසාද විඩාපත් විය.  නමුත් ඔහුගේ රාග ගින්න තවමත් ඇවිලෙමින් තිබේ.  විඩා සංසිඳුවා ගැනීමට තවුසා හිඳගත්තේය.  එවිට බිසොව තවුසාගෙ රැවුලෙන් අල්ලා ඇද 'තාපස තුමානෙනි, ඔබ සිල් රකින්නා වූ තවුසෙක් නොවේදැයි...' අසත්ම රාග ගින්න ද නිවී ගියේය.  තවුසා වහාම බිසොව රජ තුමාට භාර දී හිමාල වනයට ගොස් යලිත් තපස් රැක නැති වූ සෘද්ධි බලය ලබා ගත්තේය.   මේ 'දැකීම' සමග උපදින්නා වූ විඤ්ඤාණයේ ප්‍රතිඵලයකි. 
පුණ්‍ය කර්ම හා පාප කර්මද උපදින්නේ මේ විඤ්ඤාණය හේතුවෙනි. 

ශ්‍රී ලංකාවේ වැඩ විසූ  ජර්මන් ජාතික අති පූජ්‍ය ඥාණාතිලෝක ස්වාමීන් වහන්සේගේ බුද්ධ වචනය (Word of Buddha) යන ග්‍රන්ථයේ මෙසේ සඳහන් වෙයි.  ".... විඤ්ඤාණය යනු කුමක්ද? විඤ්ඤාණය කොටස් හයක් වශයෙන් පවතියි.  දැකීම පිලිබඳ විඤ්ඤාණය, ඇසීම පිලිබඳ විඤ්ඤාණය, ගඳ සුවඳ පිලිබඳ විඤ්ඤාණය, රස පිලිබඳ විඤ්ඤාණය, කය පිලිබඳ විඤ්ඤාණය සහ සිත පිලිබඳ විඤ්ඤාණය යනු මේ හයයි.  යම් කෙනෙකුගේ ඇස සාමාන්‍ය අන්දමට තිබේනම්, දැකීමට රූපයක් නොමැති නම් දැකීමක් සිදු නොවේ.  එසේම ඇසත්, රූපයත් ඇත්නම්, නමුත් විඤ්ඤාණය නොමැති නම් දැකීමක් සිදු නොවනු ඇත.  ඇසත්, රූපයත්, චක්ඛු විඤ්ඤාණයත් යන මේ තුනම සංයෝග වීමෙන් දැකීම සිදු වේ.  අනෙක් කොටස්ද එසේමය.    මේ අනුව ඇසත් රූපයත් සමග ඇති වන විඤ්ඤාණයට චක්ඛු විඤ්ඤාණය යයි කියනු ලැබේ.  ඒ අන්දමට සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය සහ මනෝ විඤ්ඤාණය වශයෙන් විඤ්ඤාණය නම් වී ඇත. 

සාමාන්‍යයෙන් 'බුරුම ක්‍රමය' යයි සම්ම්මත වුන සතිපට්ඨාන භාවනා ක්‍රමයක් ඇත.  (Ref: මහනුවර පල්ලෙකැලේ භාවනා අසපුවෙහි වැඩ විසූ අති පූජ්‍ය ජර්මන් ජාතික ඥානපොනීක හිමි Four Foundations of Mindfullness -  සහ රේරුකානේ චන්ද විමල හිමි -සතිපට්ඨාන භාවනා ක්‍රම ) මේ භාවනා ක්‍රමය 'බුරුම ක්‍රමය' වශයෙන් ප්‍රචලිත වුවද, බුදු රජාණන් වහන්සේ විසින් උගන්වන ලද භාවනා ක්‍රමයකි.  2500 සම්බුද්ධ ජයන්තියට පෙර  ලංකාවට සැපත් වූ මහාසි සයදෝව් ස්වාමීන් වහන්සේ මේ ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නා පමණක් නොව භාවනා මධ්‍යස්ථාන පිහිටුවීමට පවා උදව් දීමට ඉදිරිපත් වූයේ බුද්ධාගමේ ප්‍රගතිය වෙනුවෙන්ය.   1950 දශකයේදී සමහර ශ්‍රී ලංකාවේ ස්වාමීන් වහන්සේලා මේ ක්‍රමය මහාසි සයදෝව් හිමියන්ගේ ක්‍රමයකැයි වරදවා තේරුම් ගෙන එයට විරුද්ධව හඬ නැගූහ.  නමුත් මේ ක්‍රමයෙන් දස දහස් ගනන් පින්වත්හු මෑත කාලයේ  ප්‍රතිඵල ලබා ඇත.  ඒ භාවනා ක්‍රමයේ සාරාංශය මෙසේය. “…. ප්‍රථමයෙන් වායෝ ධාතුවේ චලනය උදරයේ පිම්බීමෙන් හා හැකිලීමෙන් අවධාරනය කෙරේ.  ඒ සමග ඇති වන්නා වූ  අනෙක් සංඥාවන්, විඤ්ඤාණය ඉපදීමට පෙර, ඒ ඒ ඉන්ද්‍රියයන්හිදීම හඳුනාගෙන එය පිලිකෙව් කිරීම මේ භාවනා ක්‍රමය මගින් අත් දැකිය හැක.  ඒ අනුව උපදින්නා වූ ඥාණ තමන්ගේම අත්දැකීම් වන්නේය. (සම්මාසණ, නාමරූප- පරිච්චේද ඥාණ වශයෙන්) මිය ගිය පසුවද අමතක නොවන්නේය.  ඊළඟ භවයේදී යලිත් සිහිගැන්වෙන්නේය.  උදාහරණයක් වශයෙන් භාවනා කරන යෝගියා හට යම් කිසි සිත ඇදගන්නා සුලු දසුනක් දුටුවොත් ඒ පිලිබඳ සිත නොයවා "දකිමි, "දකිමි වශයෙන් සිතෙහි පමණක්  සඳහන් කොට,   සිත ඒ පසු පස නොයවා ඒ දසුන නොසලකා හැරිය යුතුය.  බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීමද මෙසේම "දොරකඩ ලඟදීම ඒ විඤ්ඤාණය අත් හැරිය යුතු බවය."  පුහුණු වූ පසු ජීවිතය ඉතා සැහැල්ලු වේ.  මේ ජීවිතයේදීම ධර්මය අවබෝධ කර ගත හැක. (ඕපනයිකෝ). 

 ඊලඟ කොටස ලඟදීම...........


No comments: