Saturday, January 31, 2009

DEPTH OF FIELD

Shooting data: Shutter 1/640, f=13, ISO=400
PLEASE CLICK ON THE PHOTOS
Lens opening is medium and the photograph is in satisfactory focus.
What is seen at a distance is the southern border of the city of New Plymouth NZ. The chimney of the power station is visible, which is a land mark. The mount next to the chimney is called Paritutu Island. If you click on it you can see more details such as some cows grazing at a distance, vineyards on the front left and grass paddocks of a typical New Zealand scene
There is no photographic value in this photo, but to demonstrate the depth of field.
Shooting data; shutter 1/400, f=14, ISO=320
This rose is about 4.5" in diameter. As the aperture is of the medium range it is in satisfactory focus.

Pom-pom flower Shooting data: shutter 1/2000 f=3.5 ISO=400 As the aperture is wide at 3.5, only part of the flower is in focus. Shooting data: shutter 1/90, f=40, ISO=800 As the aperture is small the whole flower is in focus. Had to increase the sensitivity of the CCD to ISO 800 to increase the clarity of the photo.

THERE IS NO ROYALTY: ANYONE CAN USE THESE PHOTOS.

Saturday, January 24, 2009

මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ !!! 7

පසු ගිය සටහනේ භූරිදත්ත හිමි හා දේව සංවාදයක් පැවතුනු බවත් ඒ සංවාදය අවසන් කිරීමට නොහැකි වූ බව ඔබට මතක ඇත. අද එතැන් සිට............. "දෙවියන් හා සන්නිවේදනය කල හැකි වෙනත් අය සිටීදැයි" භූරිදත්ත හිමි ඒ දේව සභාවෙන් විමසා සිටි සේක. "එසේය, ස්වාමීනි, බොහෝම ටික දෙනෙකුට එසේ අප හා සාකච්ඡා කල හැක. ඒ ස්වාමීන් වහන්සේලා ඔබ වහන්සේ මෙන් ඉතාමත් සිල්වත් වන්නාහුය." ඔවුන්ද ඔබ වහන්සේ මෙන් වනාන්තර ගතව දිවි ගෙවති. ඔබ හා සාකච්ඡා කලහැකි ගිහි භවතුන් ඇත්දැයි භූරිදත්ත හිමි දේව සභාවෙන් විමසා සිටියහ. ඉතාමත් අල්ප ප්‍රමාණයකට එසේ පිලිවනැයි ඔවුන් පිලිතුරු දුන්හ. මනුශ්‍යයින් වෙතින් දුර්ගන්ධය පිටවෙන නිසා දෙවි වරු ඔවුන් සමීපයට පැමිණීමට අකැමැති බව බෞද්ධ පොත් පත්වල සඳහන්ය. එසේ තිබියදී ඔබ මා වෙත පැමිණෙන්නේ මන්දැයි භූරිදත්ත හිමි විචාලහ. ඒ දුර්ගන්ධය ඇත්තේ අසිල්වත් මනුශ්‍යයන් අතරය. ඔබ වහන්සේ වැනි සිල්වන්තයින් අතර ඇත්තේ සුගන්ධයක් මිස දුර්ගන්ධයක් නොවේ, යයි ඔවුහු පිලිතුරු දුන්හ. බොහෝ මනුශ්‍යයෝ දුසිරිත් වල ඇලී ගැලී වාසය කරති. ඔවුන් ඉතාමත් අප්‍රියජනකය. ඔවුන් සමග කිසිම සම්බන්ධයක් පැවැත්විය නොහැක. දෙවියන් මනුශ්‍යයින්ට අකමැත්තක් නැත. ඔවුන්ගේ දුර්ගන්ධය නිසා මනුශ්‍යයන් මග හැර සිටීම විනා වෙන කරුණක් නොමැත. භූරිදත්ත හිමි දෙවියන් හා වෙනත් භවයන්හි පසුවන අයවලුන් ගැන පැවසූ විට උන්වහන්සේගේ ශිෂ්‍යයින් ඉතා ආශාවෙන් ඒ ගැන අසා සිටියහ. මේ ප්‍රකාශය ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ අභිවෘද්ධිය සඳහා හේතු වන බව භූරිදත්ත හිමි දැන සිටියහ. එසේම භූරිදත්ත හිමියන්ගේ අතීත ජීවිත ගැන පවා විස්තර උන්වහන්සේ තම ශිෂ්‍යයින්ට දේශනා කලසේක. භූත ලෝකය ගැන උන්වහන්සේගේ දේශනා පුදුම උපදවන සුලුය. භූත ලෝකය වශයෙන් මෙහි හඳුන්වන්නේ හොල්මන් සහ අවතාර වශයෙන් හඳුන්වනු ලබන ජීවීන්ය. මේ කොට්ඨාශය තුල ගැහැණු පිරිමි වශයෙන් දෙකොටසක්ද, ඒ අතර නපුරු, ඉතා නපුරු, සහ ඉතාමත්ම නපුරු වශයෙන් වර්ගී කරණයක් සිදුවන බව භූරිදත්ත හිමි පෙන්වා දී ඇත. අපේ මනුශ්‍ය ලෝකයේ හිර ගෙවල් ඇත්තා සේම භූත ලෝකයේත් හිරගෙවල් හා සමාන බන්ධනාගාර ඇත. මේ සත්ව කොට්ඨාශයන්ගේ ඇස්වල ඇති රෞද්‍රතාවය තුලින් ඔවුන් අනුකම්පාවට හෝ කරුණාවට කම්පා නොවන බව දැකිය හැකි බවත් සඳහන් වෙයි. මොවුන් මනුශ්‍යයින් මෙන් වාසය කරන්නේ විශාල 'නගරවලය.' මොවුන් පාලනය කිරීමට පාලකයෝද සිටින බව භූරිදත්ත හිමි සඳහන් කර ඇත. සමහර භූතාත්ම අනෙක් අයට වඩා බලයකින් යුක්තය. බලසම්පන්න භූතාත්ම කෙරෙහි අනෙක් අයවලුන් දක්වන්නේ ඉමහත් වූ ගෞරවයකි. භූරිදත්ත හිමි සමාධිය තුලින් භූතාත්ම හමු වන බව ප්‍රකාශ කර ඇත. උන්වහන්සේ දිස් වන්නා වූ සෑම අවස්ථාවකම, භූතාත්ම උන්වහන්සේට දක්වන්නේ ඉමහත් ගෞරවයකි. මෙලොව ජීවත්ව සිටියදී කරන ලද්දා වූ කර්මයන්ට අනුව මෙසේ උත්පත්තිය ලබන භූතාත්ම ඔවුනොවුන්ගේ කර්මය අනුව විපාක ලබන්නාහ. එයින් කිසිදු ගැලවීමක් නොමැත.

Wednesday, January 14, 2009

මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ !!! 6

(භූරිදත්ත හිමි සහ බුදු හිමි හමුවක් ගැන ප්‍රශ්නයක් පැන නැගී ඇත. වෙනත් සටහන් වල දේවල් හා සැසඳෙන්නේ නැති බවට මට ප්‍රතිචාර පවා ලැබී ඇත. මම මෙහි ලියන්නේ පොතක පරිවර්තනය පමණක් බව කරුණාවෙන් සලකන්න. මේ පොත ඇති භවතුන් කරුණාකර " The Most Exalted Appreciation " පරිච්ඡේදය (238 පිටුව) කියවන්න. ඒ පරිච්ඡේදයේ පරිවර්තනය ලියන්නට සිතුන නමුත් එයින් පොතේ ලියැවීම අවුල් වන නිසා පසුවට මේ පරිච්ඡේදය පරිවර්තනය කරන්නෙමි.) සාරිකා ගුහාවෙන් පිටත් වූ භූරිදත්ත හිමි, බුරුමයටත්, ඉන් පසු ලාඕස් දේශයටත්, එහි ලුඇං ප්‍රබාං දේශයේ භාවනා යෝගීව ටික කලක් වැඩ සිටි සේක. උන්වහන්සේ මී කොං ගඟෙන් එතරව ලාඕස් කඳුකර ප්‍රදේශයේ වැඩ වසන කල්හි විශාල බෙංගාල කොටියෙක් උන්වහන්සේගේ වැඩසිටි ස්ථානයට පැමිණ සක්මන් භාවණාවේ යෙදෙන උන්වහන්සේ දෙස බොහෝ වේලා බලා බලා සිටි බව සඳහන් කර ඇත. ඒ කොටියා සන්සුන්ව උන්වහන්සේ දෙස බලා සිටියා මිස කිසිම උවදුරක් කිරීමට නොපැමිනි බව උගේ හැසිරීමෙන් පැහැදිලි විය. භූරිදත්ත හිමි, තම ශිෂ්‍යයින්ට ඉගැන්වූයේ වන සතුන්ට බිය නොවිය යුතු බවය. උන් දුට්ඨංග ශ්‍රමනයන්ගෙන් උන්ට උවදුරක් නැති බව විශ්වාස කරන බැවින් ඒ ශ්‍රමනයන් අවට නිදැල්ලේ හැසිරෙන බව පවසන්නේය. දඩයක්කාරයින් පවා දුට්ඨංග ශ්‍රමණයින් සිටින කැලෑවක දඩයම් කිරීමට ඉතාමත් බිය වූහ. ඔවුන්ගේ තුවක්කු ඔවුන් අතේදීම පුපුරා ඔවුන්ම මිය යන බවට විශ්වාසයක් එකල පැවතුනි. එක්තරා දේව සමූහයක් භූරිදත්ත හිමියන් හමුවට ආ කල්හි සිදු වූ සිද්ධියක් උන්වහන්සේ විස්තර සහිතව සඳහන් කොට ඇත. ඒ දේව සමූහයාගේ ප්‍රධානියා භූරිදත්ත හිමි අමතා "... ඔබවහන්සේ මෙහි වැඩ සිටීම මේ දේව සභාවේ දෙවියන්ට ඉමහත් ප්‍රීතියක් ගෙන දෙන්නේය. ඔබේ කරුණාභරිත ආලෝකය දෙව් ලොවත් මේ ලොවත් පුරා විදී ඇත. ඒ ආලෝකය විස්තර කිරීමට නොහැක. ඒ මගින් ඔබ වහන්සේ සිටිනා තැන අපි හඳුනා ගන්නෙමු. ඔබ වහන්සේ ධර්මය දේශනා කරන කල්හි ඒ ධර්මය, ශ්‍රමණයන් වහන්සේලාටත් අපිටත් හොඳාකාරවම ඇසෙන්නාහුය. නොඇසෙන්නේ මිය ගියවුන්ට පමණි. මෙතැන්හිදී මේ පොත රචනය කල ඥාණසම්පන්නෝ හිමි මෙසේ ප්‍රකාශයක් කොට ඇත. "... මේ සිද්ධියේ සත්‍යතාවය මට තහවුරු කල නොහැක. නමුත් මේ සිද්ධීන් මට වාර්තා කල හිමියන් ඉතා විශ්වාස දායක සත්‍යවාදී පුද්ගලයන්ය...." භූරිදත්ත හිමි ඒ දේව සභාවේ නායකයාගෙන් පෙරලා ප්‍රශ්නයක් ඇසූ සේක. "... මම කථාකරන දේවල් එසේ ඇසෙයි නම් මනුශ්‍යයින්ට නොඇසෙන්නේ මන්ද? ස්වාමීන් වහන්ස, මනුශ්‍යයින් දන්නා ශීලයක් කොයින්ද? ඔවුන් සෑම විටකම සිටින්නේ නපුරු කම් කරමිනි. ඇස, කන, නාසාදී දොරටු සයම හසුරවන්නේ ඔවුන්ගේම ආත්මාර්ථකාමී අදහස් සපුරා ගැනීම පිණිසය. ශීලාචාර බවක් ඔවුන්ට නොමැත. සදාචාරබවක් ඔවුන්ට නොමැත. ඔවුන් නිරයෙ දොරටුව ලඟ සිටිති. උපන් දා සිට ඔවුන් මිය යන තෙක්ම අකුසල කර්ම කරති. ඉතාම ස්වල්ප දෙනෙක් සදාචාරවත් හා සිල්වත් ලෙස ජීවත් වෙති. මනුශ්‍යයෝ බුද්ධ සාසනය භාරව කටයුතු කල යුතු බව සඳහන් කොට ඇත. නමුත් එවැන්නක් සිදු නොවේ. නරක මිනිසුන් දන්නේ නපුරු කම් පමණකි. ඔවුන්ට මනුශ්‍යයන්ය කීමට ඉතිරිව ඇත්තේ හුස්ම ගැනීම පමණකි. එය නතර වූ දාට ඔවුන්ගේ බරට වඩා බර වූ අකුසල් කඳක් සමග වෑලලී යනු ඇත. දෙවියන් මේ බව දන්නාහුය. නොදැන සිටින්නෝ නොවෙති. එය රහසක් නොවේ. මේ මිනිසුන් මිය යන විට මොවුන්ට ධර්මය දේශනා කිරීමට සංඝයා වහන්සේලා පමුනුවති. ජීවත්ව සිටියදී ධරමය නොඇසූ මොවුන්ට මිය යන විට ධර්මය ඇසෙයිද? මේ අධම මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් සමහර වන සතුන් පවා පිලිකුල් කරති. මරණය පෙනි පෙනී පවා මේ මිනිසුන් අකුසල්ම කරති. දෙවියන් වන අපි, මිනිසුන් අප ගැන දන්නවාට වඩා අපි මිනිසුන් ගැන දන්නෙමු. ස්වමීනි, ඔබ වහන්සේ මනුශ්‍ය, දේව, සුර, අසුර, නිරය අදී ලෝකවල් සත්වයින් ගැන හොඳට දන්නෙහිය. ඔබ වහන්සේට අපි ගරු කරන්නේ ඒ නිසාය. මේ දේව ප්‍රධානියා කථා කොට අවසන් වූ පසු භූරිදත්ත හිමි ඔහුගෙන් පෙරලා ප්‍රශ්නයක් ඇසූ සේක. "....දෙවියන්ට මිනිසුන් වගේ නොව, ඉතා ඈත දුර දැකීමටත්, ඈත දුර තිබෙන ශබ්ද ඇසීමටත් පිලිවන. මනුශ්‍ය ගුරුවරයෙක් වූ මට වඩා ඔබට මේ මනුශ්‍යයින්ට ඉගැන්විය හැකි නොවේද? ඒ නිසා ඔබට මනුශ්‍යයින්ට හොඳ, නරක පෙන්වා දීමට පුලුවන් නොවේදැයි..." ඇසූ සේක. ස්වාමීනි, ඔබ වහන්සේ විශේෂ උත්තමයෙකි. අපට වඩා ඔබ වහන්සේ දක්ෂය. මේ මනුශ්‍යයින්ට, ඔබවහන්සේ වෙනත් සත්ව කොට්ඨාශ ලොව සිටින බවත් ඒ සත්ව කොට්ඨශ නොයෙක් නොයෙක් ස්වරූප ගන්නා බවත් මේ මනුශ්‍යයින්ට උගන්වා ඇත. මනුශ්‍යයින් අප දුටු වහාම අවතාරයක් දුටු බව කියති. මහා බියක් දක්වති. තව කොටසක් ලඟදීම...

Saturday, January 10, 2009

මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ !!! 5

රහතන් වහන්සේලාගේ ධර්මදේශනා, උන්වහන්සේලා නික්ම ගිය පසු ඉතාමත් ගෞරවයෙන් සෑම කරුණක්ම පිරික්සා බැලීම භූරිදත්ත හිමියන්ගේ සිරිතක් විය. රහතන් වහන්සේලා අභියස සිටීම, බුදුන් වහන්සේ අභියස සිටීම හා සමාන බැව් භූරිදත්ත හිමි පවසා ඇත. ඒ සෑම ධර්ම දේශනාවක්ම භූරිදත්ත හිමියන්ගේ දහම් ඇස තව දීප්තිමත් කලේය. ඒ මහඟු දම් දෙසුම් තව තවත් බවුන් වැඩීම උදෙසා උන්වහන්සේට පිහිට විය. අර්හත් ඵලය ලබා ගත් පසු බුදු වරු, භූරිදත්ත හිමියන්ට ආශීර්වාද කිරීමට පැමිනි නමුත් ඊට පෙර බුදු වරු පැමිණි බවක් සඳහන් නොවේ. ධර්ම දේශනාවකදී, උන්වහන්සේගේ සම්පූර්ණ අවධානය ඒ ධර්ම දේශනාවට යොමු වන අතර උන්වහන්සේට තම ශරීරය පවා නොදැනෙන බවත්, සිත ධර්මයෙන්ම නැහැවී යන බවත් සඳහන් කර ඇත. දේශනාව අවසානයේ යලිත් තම සිරුරත්, ඒ සමගම අනෙක් ස්කන්ධ හතරත් දැනෙන්නට පටන් ගත් විට මේ පංචස්කන්ධයම මහා දුක් ගොඩක් බව පැහැදිලිවම වැටහෙන බව භූරිදත්ත හිමියෝ පවසති. රහතන් වහන්සේලාගේ ධර්ම දේශනා වලින් උද්‍යෝගමත් වූ භූරිදත්ත හිමි සාරිකා ගුහාවේදීම අනාගාමී ඵලයට සැපත් වූ සේක. ආපෝ, තේජෝ, වායෝ, පථවි යන සතර මහා ධාතුන්ගෙන් සැකැසුණු සිරුරක් උන්වහන්සේට යලිත් හිමි නොවන්නේය. ලෝක ධර්මතාවයන්ට අනුව අවිහා, අතප්පා, සුදස්ස, සුදස්සි හෝ අකනිථා යන බඹලොවින් එකක උන්වහන්සේට උපතක් ලැබීමට නියමිතව ඇත. මේ පොත සම්පාදනය කල ආචාර්ය මහාබූව ඥාණසම්පන්නෝ හිමියෝ මේ අන්දමට මෙසේ ප්‍රකාශයක් කර ඇත. "භූරිදත්ත හිමියන් අනාගාමී ඵලයට සැපත් වූ බව දැන්වූයේ උන්වහන්සේගේ සමීපතම ශිෂ්‍යයින්ට පමණකි. මෙහිදී මේ පොතේ ඒ බව ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම මගේ තීරණයක් සේම එහි වගකීමද මා විසින්ම භාරගනු ලබයි." මාස ගණනක් මෙසේ භාවනා යෝගීව වැඩ හුන් පසු එක් දිනෙක්, භූරිදත්ත හිමියන්ට උන්වහන්සේගේ ශිෂ්‍යයින් ගැන ඉමහත් කරුණාවක් හටගත්තේය. ඒ කරුණාව නිසාම උන්වහන්සේගේ දෙනෙතට කඳුලු පිරුනි. සමාධිගතව ඒ ගැන විමසා බලන විට තමාගේම අවිද්‍යාව හේතු කොට ගෙන මෑත අතීතයේ සිදුව ඇති ප්‍රමාද දෝෂ, සහ උන්වහන්සේගේ ශිෂ්‍යයින් අතින් සිදුවන දෝෂද දිස් විය. කර්මයෙහි ඇති සංකීර්ණ භාවයත්, බුදු දහමේ ඇති සත්‍යතාවයත් ගැන සිහි කරණ සෑම විටකම බුදු රජානන් වහන්සේ කෙරෙහි ඇති වන භක්තියෙන් භූරිදත්ත හිමියෝ නැහැවී ගියේය. ලොව ජීවත් වන සියල්ලෝම කර්මයම දායාද කොට ගෙන ඉපිද, කර්මයකටම දායාද වී ජීවත්ව සිට කර්මානුකූලව මියගොස් කර්මානුකූලව උත්පත්තියක් කරා යන්නාහ. බුදු රජානන් වහන්සේ මේ බව අවබෝධ කොට ඉන් නොපමාව නිදහස් වන ලෙස අපට වදාලේ ඒ නිසාය. කෙසේ හෝ මේ දුක් කන්දරාවෙන් එතර වීමට තවත් දුර යායුතු බවත්, තමා හරි මග ගමන් කරන බවත් උන්වහන්සේ වටහා ගත්තේය. මේ ජීවිතය නිමාවීමට පෙර නිවණ අවබෝධ කිරීමට හැකි බව දැනුන විට උන්වහන්සේට ඇතිවූයේ මහත් සතුටකි. මේ වන විට උන්වහන්සේට වැලඳී තිබුණ ආමාශගත රෝගය සම්පූර්ණයෙන්ම සුව වී තිබුණි. දිවා රෑ නොබලා සමාධගතව ප්‍රඥාව වැඩූ උන්වහන්සේ ඉතාමත් ශක්තිමත් පදනමකට සම්ප්‍රාප්ත වී සිටියහ. විනාශ කිරීමට තවත් ක්ලේශයන් ඉතිරිව තිබූ නමුත් තමා ඇත්තේ නියම මග බව ස්ථිර වශයෙන් උන්වහන්සේ දැන සිටියේය. නිතර නිතර උන්වහන්සේගේ ශිෂ්‍යයින් කෙරෙහි මහත් වූ අනුකම්පාවක් උන්වහන්සේ තුල පහල වන්නට විය. ඒ අනුව සාරිකා ගුහාවෙන් නික්ම යාමට උන්වහන්සේ තීරණය කලේය. සාරිකා ගුහාවෙන් පිටත් වීමට කලින් දවසක, රාත්‍රී 10ට පමණ උන්වහන්සේ දන්නා චාවෝ කුන් උපාලි ගුණූපමාචාර්ය නම් වූ ස්වාමීන් වහන්සේ නමක් ( 1856 - 1932) ගැන සිත යොමු කලේය. එවිට උපාලි තෙරනුවෝ පටිච්ච සමුප්පාදය මෙනෙහි කරමින් සිටින බව උන්වහන්සේ දැන ගත්තේය. පසු දවසක උපාලි තෙරුන් හමුවූ විට උපාලි තෙරුන්ගෙන් භූරිදත්ත තෙරුන් ඒ ගැන විමසූහ. එවිට උපාලි තෙරුන් "... මම ඔබට වඩා වැඩි මහලු වෙමි, මමත් පිලිගත් ගුරුවරයෙක්මි. නමුත් ඔබවහන්සේ බුදු රජානන් වහන්සේගේ නියමම ශ්‍රාවකයෙකි. නවීන ලෝකයේ මංමුලා නොවී බුද්ධ ධර්මයේ අකාලික ස්වභාවය ඔබ ලොවට ප්‍රදර්ශනය කොට ඇත...." දිනක් සිරිත් පරිදි ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට මුලදී සාරිකා ගුහාවේදී හමුවූ අසුරයා ඇතුලු වෙනත් අසුරයින්ද, වෙනත් දේවතා සමූහයක්ද වූහ. ධර්ම දේශනාවෙන් පසු උන්වහන්සේ තමා ගුහාවෙන් නික්ම යන බව පැවසූහ. අසුරයෝද, දේවතාවන්ද ඉන් මහත් සේ කැලඹුණහ. තමා ගුහාවට පැමිණියේ යම්කිසි කරුණක් නිසාත් යන්නේ එවැනිම කරුණක් නිසාත්, සිත්මනාපයට කටයුතු නොකලයුතු බවත් උන්වහන්සේ වදාලහ. අසුරයන්ගේත් වෙනත් දෙවි දේවතාවන්ගේත් ගෞරව හරසර මධ්‍යයේ උන්වහන්සේ සාරිකා ගුහාවෙන් නික්ම ගියහ. තවත් කොටසක් ලඟදීම මෙය පලවන්නේ කොටස් වශයෙනි. ඒ අනුව මාතෘකාවද නොවෙනස්ව, පවතී. සම්බන්දත්වය සඳහා පසුගිය කොටස් බලන්න.

Friday, January 9, 2009

මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ !!! 4

භූරිදත්ත හිමි සාරිකා ගුහාවේ වැඩ සිටි සමයේ උන්වහන්සේ හමුවට නොයෙක් ආකාරයේ දේව කොට්ඨාශ, අසුරයින් ආදී මනුශ්‍ය නොවන අය පැමිණිය බව පසු ගිය සටහන් වල ලියැවුනි. සමාධිගතව සිටින අවස්ථාවල විශේෂයෙන් උපචාර සමාධිගත වූ විට නිවණට ලඟා වූ රහතන් වහන්සේලා උන්වහන්සේට ධර්මදේශනා කිරීමට පැමිණෙන බවත් උන්වහන්සේ සඳහන් කොට ඇත. මේ පුවත ඉතාමත්ම වැදගත් වන්නේ නිවණ ශුන්‍ය අවස්ථාවක් බව පවසන හා ඒ බව ව්ශ්වාස කරන අයටත්ය. මේ සංසදයේ පවා එවැන්නෝ සිටිති. නිවණට පිවිසි පසු නැවත ඉපදීමක් නැත. නැවත වැනසීමකුත් නැත. ශරීරයකුත් නැත. එසේම විනාශ වීමකුත් නැත. මාරයාට කිරීමට කිසිම කටයුත්තක්ද නැත. බුදු රජානන් වහන්සේ මාරයා පැරද වූයේ එසේය. මාරයා නිශ්ප්‍රභා විය. එමනිසා බුදු රදුන් ඇතුලු කෝටි සංඛ්‍යාත ඒ රහතන් වහන්සේලා තවමත් ජීවමානව වැඩ වෙසෙන්නේ අවශ්‍ය වූ විටෙක පිහිට වීමටය. භූරිදත්ත හිමිගේ නිවන් මග, බුදුදහම පිලිබඳව නොයෙක් මත ගොඩ නැගී තිබෙන මෙව්න් සමයෙක, අපට ඉතාම්ත් වටිනා උදාහරණයක් වෙනු ඇත. අමාරුවෙන් හෝ ඔබ වෙත මේ දැනුම පිලිගන්වන්නට සිත් වූයේ ඒ නිසාය. එක අතකින් මේ පනිවුඩය විශේෂය. බොහෝ විට ආධ්‍යාමිත වශයෙන් තමන් ලබා ගන්නා දේවල් පිලිබඳව සාකච්ඡා කරන්නෝ බෞද්ධ ඉතිහාසයේ නොමැති තරම්ය. මේ එවන් රහතන් වහන්සේ නමක විසින් දේශනා කරන ලද ධර්ම දේශනාවක සාරාංශයයි. "....සක්මන් භාවනාව කල යුත්තේ ශාන්තව, ඉතාමත්ම හික්මුනු අන්දමකටය. සක්මන් කරන අවස්ථාවේ ඒ පිලිබඳව සිහිය සම්පූර්ණයෙන්ම යොමු කල යුතුය. ඔබ කරන්නා වූ කාර්යය පිලිබඳව සම්පූර්ණයෙන්ම සිහිය පිහිටුවා ගත යුතුය. ඔබගේ අවධානය වෙන කිසිම දෙයකට යොමු නොවීමට වග බලාගන්න. අවධානය හැම දෙසටම යොමු වේ නම් ඒ තැනැත්තාට නියම ආධ්‍යාත්මයක් නොමැත. ඔහුට කිසිම පිටිවහලක්ද නොමැත. ඔබේ දිනපතා ජීවිතයේ කරන කියන සෑම දෙයකටම ඔබගේ සම්පූර්ණ අවධානය යොමු විය යුතුය. පිඬුසිඟා වඩින විටද ඒ ගැන සිහියෙන් පිඬු සිඟා වඩින්න. ඒ ආහාර අනුභව කරන විටද ඒ බව සිහියෙන් ඉන්න. වැසිකිලි, කැසිකිලි යන විටදී ඒ ගැන සිහියෙන් ඉන්න. මෙවන් දෛනික කටයුතුවලදී සම්පූර්ණ සිහිය ඒ කරන කටයුත්තටම යොමු විය යුතු බව සලකන්න. සෑම දෛනික කටයුත්තක්ම බුදු රජානන් වහන්සේගේ සසුනෙහි පැවිද්ද ලත් උතුම් ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් මෙන් සපුරා ලන්න. ඒ කියන්නේ සෑම ඉරියව්වක්ම සිහියෙන් කල යුතු බවයි. කිසි දිනෙක නිසි පුහුනුවක් නොලද්දෙක් මෙන් නොහැසිරෙන්න. ප්‍රඥාව දියුනු කර ගන්න. සිහියෙන් සිටින්න. ආහාර ගැනීමේදී ඉතාම පරෙස්සම් වන්න. රසවත් ආහාර අනුභවයෙන් ශරීරය පෝෂණය වුවත්, සිත දුර්වල කරයි, ඒ ආහාර කෙරෙහි තණ්හාව ඉපැදීමෙනි. එමනිසා අහාර ගැනීමේදී ඉතාමත් විමසිලි වන්න. ගන්නා වූ ආහාර මනා ලෙස පරීක්ෂා කර බලන්න. රසවත් ආහාර රසවත් වුවත් සිතට විෂ එකතු කරන බව දැනගන්න, සිහියෙන් ඉන්න. සෑම අවස්ථාවකම ක්ලේශයන්ට සිතට ඇතුල් වීමට ඉඩක් නොතබන්න. ක්ලේශ සිතට ඇතුල් වූ විට ලැව් ගින්නක් සේ පැතිරී යයි. ඒ ක්ලේශයින් මුලින්ම සිඳ බිඳ දමන්න. නැතහොත් ඒ ක්ලේශ වලින් ඔබ තවත් උපතක් කරා ගෙන යනු ඇත. සැම විටම සිහි බුද්ධියෙන් සිටීමෙන් මේ ක්ලේශයන්ගේ ආක්‍රමණයෙන් වැලකිය හෑක. එවිට ඔබ පාරිශුද්ධ බෞද්ධ ශ්‍රමණයෙක් වන්නේය. ලොව ඇති සැම දෙයකින්ම, ඉතාම වැදගත් දෙය වන්නේ තමාගේ සිතයි. ඇත්ත වශයෙන්ම සිත, ඔබට ඇති එකම වස්තුවයි. එය රැක ගන්න. ධර්මය දන්නා විට ඔබට සිත ගැන අවබෝධ වනු ඇත. සිත ගැන දැන ගන්නා විට ඔබට ධර්මය අවබෝධ වනු ඇත. ඔබේ සිත ගැන සත්‍යය දැන ගන්නා විට ඔබ නිවණ අවබෝධ කර ගෙන ඇත. සිත නම් වූ මේ මනුශ්‍යයාට ඇති මහඟු වස්තුව නොසලකා හැරීමෙන් කල්ප ගනන් වූ ඉපදීම - මරණය යන චක්‍රය තුල සත්වයා දුක් විඳිනු ඇත ඇත. මේ පොලෝ තලයේ ජීවත් වන සත්වයන් අතරෙන් මනුශ්‍යයා ඉතාමත්ම ඥාණවන්ත වෙයි. නමුත් අවිද්‍යාවෙන් සිත වැසී ඇත. ශ්‍රමණයෙක් අවිද්‍යාව දුර ලා අන්ධකාරය ඉවත් කොට, ලෝකයාට ආදර්ශයෙක් වන ලෙස ජීවත් විය යුතුය. ඔබට මම මේ දෙන අවවාද, සියලු බැමි බිඳ සසර දුකෙන් නිදහස්ව බුදු රජානන් වහන්සේ වැඩම කල නිවණට පිවිසීමට හේතු වෙයි. සියලු ක්ලේශයන් දුරු කොට, සසර දුකෙන් නිදහස් වීමට මේ ධර්මය ඔබට පිහිට වෙනු ඇත........." බුදුන් වහන්සේ දේශනා කරන ලද සූත්‍රයකත්, මේ ධර්ම දේශනා වලත් ඇත්තේ සමානාත්මතාවයකි. නමුත් මේ ධර්ම දේශනාවල සඳහන් ආහාර ගැනීමේදී සිහිය පවත්වා ගත යුතු සැටි, මීට පෙර මා කියවා නැත. කෙසේ හෝ බොහෝ දෙනෙක් බුදුදහම ගැන නොදන්නා, ඒ කෙරෙහි සැක පහල කරන සමයෙක මෙවන් දේශනා ඉතාමත් ප්‍රයෝජනවත්ය. (තව කොටසක් ලඟදීම)

Thursday, January 8, 2009

මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ !!! 3

භූරිදත්ත හිමි, අමනුශ්‍යයෙක් දමණය කල අයුරුත් ඒ අමනුශ්‍යයා තිසරණ සරණ කර වූ සැටිත් පසුගිය සටහනෙන් විස්තර විය. උන්වහන්සේ මැදියම් රාත්‍රී සිට උදේ හතර දක්වා ඒ අසුරයා සමග සාකච්ඡා කල බව සඳහන් වේ. එතරම් දිග සංවාදයක් මෙවන් සටහනක ලියා දැක්වීම අපහසුය. කෙසේ හෝ භූරිදත්ත හිමි පවසන්නේ බුදුරජානන් වහන්සේගේ ධර්මය කොපමණ බලගතුද යන බවය. අසුරයෙක් බුද්ධර්මයේ බලයෙන් මෙල්ල වී තිසරණ සරණ යාමට පෙලඹීම කොපමණ ආශ්චර්යයක්දැයි උන්වහන්සේ ශිෂ්‍යයින්ගෙන් විමසා ඇත. ඒ පිලිබඳ සම්පූර්ණ විස්තරය මේ පොත සංස්කරණය කල ආචාර්ය මහා බූව ඥාණසම්පන්නෝ හිමියන් පවා තමා සම්පූර්ණයෙන්ම තේරුම් නොගත් බව පවසා ඇත. මිනිස් නොවන ශරීර තුල මිනිස් සිරුර මෙන් අපහසුතා, සිදුවන බව සාරිකා ගුහාවේදී හමුවූ අසුරයා පවසා ඇත. නමුත් අසුරයා සහ භූරිදත්ත හිමියන් අතර වූ සංවාදය තමා හරි හැටි පරවර්තනය කලාදැයි නොදන්නා බව ඥාණසම්ම්පන්නෝ හිමියෝ පවසති. ඒ සාකච්ඡා වූ සමහර කරුණු තමා හරි හැටි නොදන්නා බවත් ඒවා තේරුම් ගැනීමට ප්‍රඥාව බොහෝ දියුණු විය යුතු බවත් උන්වහන්සේ පවසයි. ඒ පොත සිංහලට පරිවර්තනය කිරීම මට කල නොහැක. කවුරුන් හෝ මෙය භාර ගන්නේ නම් එය ඉතාමත්ම හොඳ පුණ්‍ය ක්‍රියාවකි. සිය පැවිදි ජීවිතයේ මුල් අවදියේදීම භූරිදත්ත හිමි පරචිත්තවිජානන ඥාණය ලබාගෙන තිබූ බව ඉන් පැහැදිලිය. එසේම 'චිත්ත' හෙවත් සිත වන සතුන් හා වෙනත් මනුශ්‍යයින්ගේ සිත් තුලට යොමු කල අවස්ථා ගැන පවා උන්වහන්සේ සඳහන් කර ඇත. උන්වහන්සේ සාරිකා ගුහාවේ ගත කල සමය තුල ආධ්‍යාත්මික වශයෙන් විශාල දියුණුවක් ලද බව පවසා ඇත. භාවනා යෝගීව දින ගනන් වැඩ සිටීමට උන්වහන්සේට ඉඩ ලැබුණි. සාරිකා ගුහාවට යන කඳු පාමුල වයස්ගත වී පැවිදි වුනු ස්වාමීන් වහන්සේ නමක් විය. උන්වහන්සේ ගිහි ජීවිතයේ විවාහ වී සිට දරුවන් පවා සිටි බව සඳහන්ය. දිනක් භූරිදත්ත හිමි උන්වහන්සේගේ සිත මේ වයස්ගත ස්වාමීන් වහන්සේ වෙත යොමු කල සේක. මේ වයස් ගත ස්වාමීන් වහන්සේගේ සිත ඉතාමත් ව්‍යාකූල අවස්ථාවක පවතින බවත් උන්වහන්සේට දැනුනි. ඒ ගැන කල්පනා කිරීමෙන් පෙරදින නින්ද නොගිය මේ වයස් ගත හිමි, බැහැ දැකීමට භූරිදත්ත හිමි ඉටා ගත්තේය. මේ වයස් ගත හිමියන්, ආපසු ගිහි ජීවිතයට යාමට සිතන බව භූරිදත්ත හිමි පරචිත්තවිජානන ඥණය මෙහෙයවා දැන ගත්තේය. "ඔබට ඊයේ රාත්‍රී නින්ද ගියේ නැහැ නොවේදැයි" භූරිදත්ත හිමි සාකච්ඡාවට මුල පිරුවේය. වයස් ගත හිමියෝ ගල් ගැසී බලා ගත් අත බලාගෙනම සිටියේය. ටික වේලාවකට පසු "ඔබ වහන්සේ සියල්ල දන්නා සේක" යයි පැවසූවේය. භූරිදත්ත හිමි වෙන කිසිවක් ඇසුවේ නැත. අර වයස් ගත හිමි එදාම අසපුවෙන් පිට වී ගියේය. සාරිකා ගුහාවේ විවේක සුවයෙන් ගත කරන භූරිදත්ත හිමි, මරණයෙන් තම දිවි හදිසියේ කෙලවර නොවුනහොත්, මේ ජීවිතයේදීම නිවණ අවබෝධ කර හැකි බව සිතා ඉතාමත්ම ප්‍රීතිමත් වූ සේක. දිනක් උන්වහන්සේ භාවනා යෝගීව සිටින අවස්ථාවක, වනයේ සැරිසරන වඳුරු රංචුවක් උන්වහන්සේ සිටි ගුහාව අසලට පැමිණියහ. පෙර දිනක අසුර චිත්තය සමග සංවාදයක යෙදුනු උන්වහන්සේ මෙවර වඳුරු චිත්තයක් සමග සංවාදයකට එලඹුණු සේක. වඳුරු නායකයා ඉතාමත්ම සැක සහිතව උන්වහන්සේ දෙස බලන ආකාරයත්, උන්වහන්සේ වඳුරන වෙත පැතිරවූ කරුණාව උන් පිලිගත් අයුරුත් උන්වහන්සේට ඉතා සංවේගජනක දර්ශනයක් විය. වඳුරා එකම ශබ්දයකින් කෑකෝ ගැසුවත්, එහි නොයෙක් තේරුම් ගැබ්වී ඇති බවත් භූරිදත්ත හිමි වටහා ගත්තේය. ඒ ශබ්ද වල සුලු වෙනස් කම්ද ඇත. නමුත් වඳුරාට කිරීමට් පුලුවන් ශබ්දය එපමණය. උන්වහන්සේගේ කරුණාව වැටහුනු පසු ඒ වඳුරු රංචුව සාරිකා ගුහාව අබියස නිදැල්ලේ නොබියව හැසුරුණුහ. (ඊළඟ කොටස: රහතන් වහන්සේ නමකගෙන් ධර්මදේශනාවක්)

Wednesday, January 7, 2009

මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ !!! 2

භූරිදත්ත හිමි විදර්ශනා භාවනාව ප්‍රගුණ කල සේක. උන්වහන්සේ "බුද්ධෝ" යන වචනය සිය හුස්ම සමගත්, සිය ප්‍රාණය සමගත් එක් කිරීමට තැත් කලේය. බලාපොරොත්තු වූ පරිදි සිතට සැණසුමක් උන්වහන්සේට ඇතිවිය. දිනක් රාත්‍රී උන්වහන්සේ සිහිනයක් දුටු සේක. එය මෙසේය. උන්වහන්සේ ඉතා විශාල වනාන්තරයකට ඇතුල් වූ බවත් එහි විශාල ගස් ඇති බවත්, පහලින් ඉතා ඝන කටුලැහැබින් යුතු පඳුරු වලින් වැසී ඇති බවත් පැවසුව සේක. ඉතා අමාරුවෙන් මේ වනලැහැබෙන් ගොඩ වුනු පසු ඇසට පේනතෙක් මානයෙක දිස්වුනු වෙල්යායකි. උන්වහන්සේ ඒ වෙල්යාය කෙලවරට ගිය සේක. එහි කෙලවර ඇද හැලුනු විශාල තේක්ක ගසකි. උන්වහන්සේ ඒ තේක්ක ගසේ කඳ දිගේ ඇවිද්ද සේක. එහි පොත්තත්, වටේ ඇති මෘදු ලී කොටසත් දිරා ගොස් තිබුණි. එහිදී උන්වහන්සේ උන්වහන්සේගේ ශරීරයත් ඒ තේක්ක ගසත් විචාරාත්මක ඇසකින් මෙනෙහි කල සේක. කිසිදාක ඒ ගස යලිත් පන ගැන්වෙන බවක් සිතා ගත නොහැක. භාවනායෝගීව නොපසුබට උත්සාහයකින් කටයුතු කල හොත් තමාටද සසරින් මේ භවයේදීම එතෙර විය හැකි බව උන්වහන්සේට වැටහී ගිය සේක. උන්වහන්සේ ඒ ගැන මෙනෙහි කරමින් සිටින අවස්ථාවේදී ත්වේජාන්විත අශ්වයෙක් ඒ තේක්ක ගස අසලට පැමිණියේය. උන්වහන්සේට ඒ අශ්වයා පිට නගින්නට ආශාවක්ද ඇතිවිය. අශ්වයා පිට උඩ නැගි වහාම ඌ ඉතා වේගයෙන් දුවන්නට විය. කොපමණ දුර දිව්වාදැයි උන්වහන්සේට කිව නොහැකි විය. අශ්වයා ලස්සන කුඩා අල්මාරියක් ලඟ නතර විය. එහි "ත්‍රිපිටකය" යන වචනය ලියා තිබුනි. අසු පිටින් බිමට බට වහාම අසු අන්තර්ධාන විය. උන්වහන්සේ කුඩා අල්මාරිය විවෘත කිරීමට යනවාත් සමගම සිහිනය කෙලවර විය. ඒ සිහිනය නිමිත්තක් වශයෙන් උන්වහන්සේගේ සිතේ කාවැදුනි. ඉන් පසු නිරතුරුවම "බුද්ධෝ" යන වචනය උන්වහන්සේ මෙනෙහි කල සේක. භාවනාව ප්‍රගුණ කල සේක. දුට්ඨන්ග සම්ප්‍රදායට අයිති ධර්මයන් දහතුනම ඒ අයුරින් ප්‍රගුණ කල සේක. දිවා රෑ ක්ලේශයින් නැසීම පිණිස වෙහෙසුන සේක. දිනක් භාවනායෝගීව සිටි අවස්ථාවක සිත සන්සුන් වූ විට උන්වහන්සේගේ මනැසට දිස් වූයේ කුනුවෙන ඕජස් ගලන මෘත ශරීරයකි. කැනහිලුන්, කපුටන්, ආදී සතුන් ඒ මෘත ශරීරය ඒ අතටත් මේ අතටත් ඇද ඇද බුදිති. මේ දර්ශනය උන්වහන්සේ බොහෝ අවස්ථාවල සිත සන්සුන් කිරීම පිනිස යොදා ගත් සේක. දිනක් ඒ මෘත ශරීරය අදෘශ්‍යමාන වී දර්ශනීය තරමක් විනිවිද පෙනෙන වලල්ලක් උන්වහන්සේ ඉදිරිපිට දිස්විය. ඒ වලල්ල නොයෙක් නොයෙක් දේවල් වලට පෙරලී නොයෙක් දේවල් නිර්මානය වන්නනට විය. විනිවිද පෙනෙන මේ වලල්ල සහ ඉන් ඇතිවෙන දර්ශන ගැන තුන් මාසයක් තිස්සේ භාවනා කලත්, එයින් ලැබෙන සුවයක් නැති බව උන්වහන්සේට දැනුනි. ඒ ක්‍රමය වැරදි බව දැනුනේ එවිටය. ඉන්පසු බාහිර දේවල් ගැන මෙනෙහි නොකර ශරීරය ගැන භාවනා කිරීමට උන්වහන්සේ ඉටා ගත්තේය. ශරීරය ගැන මෙනෙහි කිරීම බොහෝ දුරට ප්‍රතිඵල ගෙන් දුන්නේය. දුට්ඨන්ග සම්ප්‍රදායට අනුව තැනින් තැනට ගමන් කරන භූරිදත්ත හිමි සාරිකා නම් වූ ගුහාවක් භාවනා කිරීමට යෝග්‍ය බව දැන සිටියේය. උන්වහන්සේ ඒ ගුහාවට මග පෙන්වන ලෙස ගම් වැස්සන්ගෙන් අයැද සිටිසේක. උන්වහන්සේට අසන්න ලැබුනේ ඇඟ කිලිපොලන පුවතකි. ඒ සාරිකා ගුහාව නපුරු අමනුශ්‍යයන් අරක් ගත් ගුහාවක් බවත් එහි භාවනා කිරීමට ගිය භික්ෂූන් වහන්සේලා කිහිප නමක් අපවත් වූ බවත් එහි නොයන ලෙස තරයේ අවවාද කරන බවත් ගම්මු පැවසූහ. මේ ගුහාවට අධිපති අමනුශ්‍යයා ඉතා විශාල කලු පැහැති අවතාරයක් බවත් මේ පලාතටම ඒ අවතාරය අධිපති බවත් ඌ ඉතාමත්ම නපුරු බවත් ගම්මු පැවසුවෝය. භූරිදත්ත හිමි කෙසේ හෝ සාරිකා ගුහාවට යාමට ඉටා ගත් සේක. පලමු දින කිහිපය තුල උන්වහන්සේට කිසිම කරදරයක් නොවීය. ක්‍රමයෙන් උන්වහන්සේට ආමාශගත රෝගයක් වැලඳුනේය. ලේ බඩ යාම සහ පාචනයෙන් උන්වහන්සේ පෙලෙන්නට විය. වනාන්තරයෙන් සොයා ගත් බෙහෙත් වලින් පලක් හොවීය. උන්වහන්සේ තමන්වහන්සේ රකින්නා වූ ධර්මය හේතුවෙන් සුව වේවායි පතා භාවනා යෝගීව වැඩ හුන් සේක. උන්වහන්සේ උපචාර සමාධියට සමවැදී සිටි අවස්ථාවේ 'චිත්ත' සිරුරෙන් වෙන්වන විටම හමුවූයේ අඩි තිහක් පමණ උස, අඩි දොලහක් පමණ දිග පොරොවක් කරේ තබාගත් කලු පැහැති අමනුශ්‍යයෙකි. ඌ ගුහාවේ දොරකඩ හරහට හිටගෙන සිටියේය. ඒ අමනුශ්‍යයා භූරිදත්ත හිමි වෙත ගොස් ඒ පොරවෙන් ගසා පොලවට සමතලා කිරීමට පෙර පන බේරාගෙන වහාම මේ ගුහාවෙන් පිටවෙන ලෙසට අණ කලේය. (මේ සාකච්ඡා වචනයෙන් නොව සිත තුලින් සිදු වූ බව සලකන්න.) තමා ඒ ප්‍රදේශයට අධිපති බවත් කිසිම කෙනෙකුට ඔහුගේ අධිපති බව අභිබවා යාමට ඉඩක් නැති බවත් ඒ අමනුශ්‍යයා කියා සිටියේය. මම වනාහී කෙලෙස් තවන බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්මි. කිසිවෙකුගේ අයිතිවාසිකමක් උදුරා ගැන්මට නොපැමිණියෙමියි හිමියෝ වදාලහ. බුදුන් වහන්සේගේ ධර්මයටත්, ඔබගේ කර්මයටත් ඉහලින් ක්‍රියා කිරීමට ඔබට බලයක් ඇත්දැයි හිමියෝ විමසූ විට අමනුශ්‍යයා නැත ස්වාමීනියයි පිලිතුරු දුන්නේය. මම මරා දැමීමෙන් ඔබ ඉතා විශාල කර්මයක අයිතිකාරයෙක් වන්නේය යයි හිමියෝ වදාලහ. මේ වදන් අමනුශ්‍යයා සාවදානව අසා සිටියි. භූරිදත්ත හිමි මේ අමනුශ්‍යයාට අවවාද කරන විට, ඒ අමනුශ්‍යයා පොරව බිම තබා සුදු හැඳ ගත් බෞද්ධයෙකුගේ වෙස් ගත්තේය. සමාව අයැද සිටියේය. ප්‍රථමයෙන් භූරිදත්ත හිමි දකින විට ඒ හිමි වටා විශාල ආලෝකයක් තිබූ බවත් ඒ නිසා හිමියන්ට කථා කලේ බයෙන් චකිතයෙන් බවත් අමනුශ්‍යයා දැන්වීය. ඒ අමනුශ්‍යයා අසුරයෙක් බවත් බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන් සරණ ගිය බවට සාක්ෂි දරණ ලෙසට හිමියන්ගෙන් ඉල්ලා සිටියේය. හිමියන්ට මින් පසු ඒ ගුහාවේම සිටින ලෙස ආරාධනා කලේය. ඒ අසුරයා ඉන් පසු මනුශ්‍ය නොවන සත්ව කොට්ඨාශ භූරිදත්ත හිමියන්ගෙන් ධර්මය ශ්‍රවනය කිරීමට කැඳවා ගෙන ආබවත් භූරිදත්ත හිමි පවසා ඇත. (තවත් කොටසක් ලඟදීම)

මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ !!! 1

ආධ්‍යාත්මික අතින් පිරිහුණු සමාජයක අපි ජීවත් වන්නෙමු. ලෝකයාට එකක් පවසා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් කරන නරුමයන්ගෙන් ලොව පිරී ඇත. බොරුව වංචාව ජීවිතයේ සෑම අතකින්ම අපගේ ජීවිත තුලට එබී බලයි. ලොව පාලකයින්ද එසේමය. ඔවුන් පාලන රටාවට යන්නේ තමාගේ මඩිය තර කර ගැනීමට විනා නියම පාලනයක් කිරීමට නොවේ. රැකියාවල්ද එසේමය. මෛත්‍රී කරුණා දයා පෙරදැරි කරගෙන කලයුතු වෙදකම, මුදල් ගරන ව්‍යාපාරයක් බවට පත් වී ඇත. සියල්ලටම මුල ආත්මාර්ථකාමිත්වයයි. නැතහොත් "ලෝභයයි". ලංකාවේ ඇත්තේ බහුතරයක් බෞද්ධයින්ය. බුදුන්වහන්සේ අපට නීති පනවා නැත. නමුත් යම්කිසි සීලයක් පවත්වා ගෙන යන ලෙස උපදෙස් දී ඇත. නමුත් කිසිම බලකිරීමක් නැත. ගිහියන්ට අඩු වශයෙන් පංචසීලය රැකීමට උපදෙස් දුන්නේ ඒ මගින් අපේම සුභසිද්ධිය ලඟා වෙන නිසාය. අද කීයෙන් කීදෙනෙක් පං ච සීලය රකියිද? චතුරාර්ය සත්‍යය ධර්මයන් හැර අනෙක් සියලුම සංස්කාර ධර්මයන් වෙනස් වන බව බුදු සමිඳුන් වදාල සේක. එසේම අප ජීවත්වන ලෝකයද වෙනස් වෙයි. නමුත් අපි ආධ්‍යාත්මිකව ආපස්සට යායුතුද? භාවනාව, සමාධිය, මාර්ග, ඵල, නිවණ සඳහන් වන්නේ පොත්වල පමණක්ද? අපේ ජීවිතයේ හරය මේ දුක් කන්දරාවෙන් නිදහස් වීම බව බුදු සමිඳුන් වදාලහ. ඒ සඳහා මාර්ගයද උන්වහන්සේ පහදා දුන් සේක. අපේ බෞද්ධයින් බුද්ධාගම පවා හරි හැටි නොදනිති. බොහෝ දෙනෙක් සිතා සිටින්නේ නිවණ ශුන්‍ය අවස්ථාවක් බවය. එය සත්තකින්ම එසේ නොවන්නේය. මේ ගැන මට ලියන්නට සිත් වූයේ මා කියවූ පොතක තිබූ කරුණු නිසාය. ඒ පොත පිටු 708 කින් සමන්විතය. ඒ විසි වැනි ශත වර්ශයේ ජීවත් වූ රහතන් වහන්සේ නමකගේ අත්දැකීම්ය. උන්වහන්සේ පිරිනිවී වසර විස්සක් ගියපසු උන්වහන්සේගේ ශිෂ්‍ය නමක් විසින් කරුණු එකතු කොට තායි භාෂාවෙන් ලියා ප්‍රසිද්ධ කලේ නොමිලයේ බෙදා හැරීම පිනිසය. එහි ඉංග්‍රිසි පරිවර්තනයක් මම කියවීමි. එහි සඳහන් කරුණු විශ්මය ජනකය. මේ සටහනේ මාතෘකාව වශයෙන් "මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ" වශයෙන් තෝරා ගත්තේ ඒ නිසාය. කොටස් වශයෙන් මේ පොතේ ඇති විශේෂ කරුණු ඔබට ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි. යම්කිසි කෙනෙකුට ඒ පොත කියවීමට ආශාවක් ඇත්නම් මට විද්‍යුත් ලිපියක් එකක් එවන්න. සංක්‍රමික විද්‍යුත් පොතක් වශයෙන් ගොනු කල ඇති ඒ පොත (Venerable Acariya Mun) අමුනා එවිය හැක. නොමිලයේ ධර්ම දානය පිණිස බෙදාහැරීමට ප්‍රකාශකයෝ අවසර දී ඇත. ආචාර්ය මන් භූරිදත්ත හිමිපාණෝ උපන්නේ 1870 වසරේදීය. උන්වහන්සේ පිරිනිවන් පැවේ 1949 වසරේදීය. තායිලන්තයේ දුට්ඨංග භික්ෂුවක් ලෙස වනගතව නිශ්චිත ආරණ්‍යයක් නොමැතිව උන්වහන්සේ ජීවත් වූ සේක. රුදුරු වනසතුන් මද්ධ්‍යයේ නොබියව, ඝන වන මැද අවු වැසි සුලං ආදී ස්වාභාවික පරිසරයක උන්වහන්සේ භාවනා යෝගීව වැඩහුන් සේක. බුදුසමයේ බුදුන්වහන්සේ බුද්ධත්වය දක්වා ගතකල ජීවිතයත් භූරිදත්ත හිමියන්ගේ ජීවිතයේත් සමානාත්වතාවයක් ඇති බව මේ පොත රචනය කල හිමිපානන් වහන්සේ සඳහන් කරයි. පියවි ඇසට නොපෙනෙන මනුශ්‍ය නොවන සත්වයින් සමග පවා සන්නිවේදනය කිරීමට හැකියාවක් උන්වහන්සේ සතුවිය. බොහෝ අවස්ථාවල ඒ සත්ව කොට්ඨාශ භූරිදත්ත හිමියන්ගෙන් බණ දහම් ඉගෙනීමට පැමිණි බැව් උන්වහන්සේ, උන්වහන්සේගේ ශිෂ්‍යයන්ට පෙන්වා දී ඇත.