Tuesday, March 29, 2011

ආනන්ද මහ රහතන් වහන්සේ ……2

සම්මා සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා......2
ආනන්ද මහ රහතන් වහන්සේ ……2

බුදු රජාණන් වහන්සේගේ කීර්තිය දඹදිව් තලය පුරා පැතිර යාමත් සමගම උන්වහන්සේ හමුවට නොයෙක් තරාතිරම් වල ජනයා පැමිණියහ.  සමහරු රාජකීය අමුත්තෝ වූහ. සමහරු සම්භාවනීය මැති ඇමතිවරු වූහ.  සමහරු බුදුරජාණන් වහන්සේ තර්කයෙන් පරදවනු රිසියෙන් මානයෙන් හිස උදුම්මා ගත් බමුණෝ වූහ.  සාමාන්‍ය මහා ජනයාද ඒ අතර වූහ.  තමන්ට විසඳා ගත නොහැකි ප්‍රශ්න රැගෙන සමහරු පැමිණියහ.  යම්කිසි සන්ධි ස්ථානයකට පැමිණ, කොයි අතට ගියහොත් හරිදැයි නොදැන පැමිණියවුන් අතර රජවරුද වූහ. සමහර අමුත්තෝ පිටරටවල සිට  බොහෝ දුරු කතර ගෙවා ගෙන පැමිණියහ.  බුදු රජාණන් වහන්සේ ඒ සියල්ලන්ටම එක සේ සැලකුවද,  හුදකලාව ප්‍රියකල සේක.  තතු මෙසේ වූ කල වැල නොකැඩී පැමිණෙන ජනයා පාලනය කිරීම අවශ්‍ය බව උන්වහන්සේට වැටහුණි.  පැමිණෙන අමුත්තන්ගේ තරාතිරමට, ඔවුන්ගේ උසස් සමාජ තත්වයට නොව, ඔවුන් පැමිණෙන ආකාරයට ඔවුන්ට සැලකුම් ලැබුණි.  මේ කටයුතු උදෙසා උපස්ථායකයෙක් අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේට වැටහුණි.  බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණෙන ජනයා පිලිගෙන ඔවුන් හැසිරවීමටත්, වෙනත් ප්‍රදේශ වල සංචාරය කරන විට බුදු රජාණන් වහන්සේ කැටුව යාමටත් උපස්ථායකයෙක් අවශ්‍ය විය.   බුද්ධත්වයට පත්වී ගත වූ ප්‍රථම වසර විස්ස තුල නාගසමාල, නාගිත, උපවන, චුන්ද, සමනුද්දේස, සාගත, රාධ සහ මේඝීය යන තෙරණුවෝ එක් එක් අවස්ථාවල බුදු රජාණන් වහන්සේට උපස්ථායක වූ බව බෞද්ධ ඉතිහාසයේ
සඳහන්ය.  බුදු රජාණන් වහන්සේගේ පාත්‍රයත් සිවුරුත් රැගෙන යාම උපස්ථායකගේ වගකීමකි.  ඉහත සඳහන් තෙරණුවන්
කිසි කෙනෙක් බුදු රජාණන් වහන්සේ තෘප්තිමත් වන පරිද්දෙන් උපස්ථායක තනතුර ඉටු නොකළහ.  වරක් නාගසමාල තෙරණුවන් උපස්ථායක තනතුර හොබවන අවදියෙහි
, ගම් නියම් ගම් වල සැරිසරණ බුදු රජාණන් වහන්සේ එක්තරා හන්දියකට සම්ප්‍රාප්ත වූ සේක.  උන්වහන්සේට අභිමත වූ පරිද්දෙන් එක් පාරකින් යාමට අකැමැති වූ නාගසමාල තෙරණුවන් බුදු රජාණන් වහන්සේගේ පාත්‍රය හා සිවුරු මහ මග දමා බුදු රදුන් තනිකොට වෙන මගකින් ගිය බව  බුද්ධ චරිතයෙහි සඳහන් වෙයි.  මෙසේ අර්බුද පැනගින විට බුදු රජාණන් වහන්සේ, ශ්‍රාවක සංඝයා රැස් කරවා,ඒ ගැන සංඝයා වහන්සේලා සමග සාකච්ඡා කල සේක. සාරිපුත්ත තෙරුන් වහන්සේ එක්වරම නැගී සිටි සේක.. 'ස්වාමීනි මම ඔබ වහන්සේගේ උපස්ථායක වෙමැයි' එකහෙලාම ප්‍රකාශ කල සේක. "සාරිපුත්තය ඔබ මගේ උපස්ථායක නොවූයේ නම් මැනැවි.. ඔබ යම් තැනක සිටීම මා සිටීම වැනිය.  ඒ නිසා ඔබ  ඒ ධුරය භාර නොගත මැනැවි.." යයි බුදු රජාණන් වහන්සේ වදාල සේක.  ඊළඟට මොගල්ලාන තෙරුන් නැගී සිටි සේක.  බුදු රජාණන් වහන්සේ ඒ තෙරුන්ද ප්‍රතික්ෂේප
කල සේක.  මේ අන්දමට අසූවක් පමණ වූ තෙරුන් වහන්සේලා බුදු හිමි
විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ආනන්ද හිමියන් නිශ්ශබ්දව සිටින කල අනෙක් භික්ෂූන් වහන්සේලා ආනන්ද තෙරුන් වහන්සේ නිශ්ශබ්ද කුමන කරුණක් නිසාදැයි අසන්නට වූහ. ආනන්ද හිමි " බුදු රජාණන් වහන්සේ මා ගැන හොඳින් දන්නා සේක.  උන්වහන්සේ මට කැමති නම් මා උපස්ථායක තනතුරට පත් කරනු ඇත..." යයි පැවසීය. 

තවද, ආනන්ද හිමි කැමති කරුණු හතරක් හා අකැමැති කරුණු හතරක් ඇති බවත් බුදු හිමියන් ඒ කරුණු අට පිලිගනියි නම් උන්වහන්සේ උප්ස්ථායක තනතුර පිලිගන්නා බවත් ආනන්ද හිමි ප්‍රකාශ කල සේක. එසේ නම් ඔබ අකැමැති කරුණු ප්‍රකාශ කල මැනැවයි බුදු හිමි වදාලහ. එවිට මේ කරුණු හතර ආනන්ද හිමියන් ප්‍රකාශ කලහ. 

1. ඔබ වහන්සේට ලැබෙන වටිනා සිවුරු මට නොදිය යුතුය.
2. ඔබ වහන්සේට ලැබෙන ප්‍රනීත ආහාර මට නොදිය යුතුය. 
3. ඔබ වහන්සේගේ ගඳකුටිය තුල මට වාසය කිරීමට නොසැලැස්විය යුතුය.
4. දානයකට ඔබ වහන්සේට ආරාධනාවක් ලැබුණ විට මා කැඳවා නොයා යුතුය. 
    ඒ කරුණු හතරට එකඟ වූ බුදු රජාණන් වහන්සේ කැමැති කරුණු හතර විමසා සිටි සේක. 
5. ආනන්ද තෙරණුවන් විසින් බුදු හිමි වෙනුවෙන් භාරගන්නා ලද ආරාධනා (දානයකට ආදී වශයෙන් ) බුදු හිමි පිලිගත යුතුය. 
6. දුරු රට වල සිට පැමිණෙන්නාවූ නොයෙක් ජනයා ඔබ වහන්සේ හමුවට ගෙන ඒමට මට අවසර තිබිය යුතුය. 
7. මට සැකයක් ඇති සෑම අවස්ථාවකම ඔබ වහන්සේ හමුවට පැමිණ සැක හැර ගැනීමට ඉඩ දිය යුතුය.
8. මම නොමැතිව කරන ලද දේශනාවන්, දහම් දෙසුම් සහ සිදු වූ සියලු දෑ මට පැවසිය යුතුය. 

බුදු රජාණන් වහන්සේ කුමන කරුනක් නිසා මේ ඉල්ලීම් කරන්නේදැයි විචාලහ.  "... මම ඔබ වහන්සේගේ උපස්ථායක වී ඔබ වහන්සේට ලැබෙන ආහාර සිවුරු පරිහරනය කරයි නම් ඒ සම්බන්ධව කට කථා පැතිර යා හැකි බැවින් එසේ ඉල්ලූ බව ආනන්ද තෙරුන් වහන්සේ ප්‍රකාශ කල සේක. 
ඔබ වහන්සේගේ අනුගාමිකයෙක්, යම්කිසි හේතුවක් නිසා ඔබවහන්සේ හමු වීමට නොහැකිව, ඔබවහන්සේද කැටිව දනට වඩින ලෙස ආරාධනා කල විට එය පිලිගන්නේ ඔබ වහන්සේ වෙනුවෙනි.  ඔබ වහන්සේ එය අනුමත කල යුතුය.  ධර්මයේ ගැඹුරු තැන් සැක හැර මා දැනගත යුතුය.  යම්කිසි කෙනෙක් අසවල් දින, අසවල් සූත්‍රය දේශනා කිරීමේදී බුදු රජාණන් වහන්සේ මෙසේ වදාල සේක.  එයට හේතුව කිමෙක්දැයි, මගෙන් විමසුවොත් මා ඒ සූත්‍රය දැන ගත යුතුය.   "...ආනන්දය ඔබගේ ඉල්ලීම් සියල්ල හේතු සහිතය සාධාරණය.. මම ඉතා කැමැත්තෙන් ඒ ඉල්ලීම් සමග එකඟ වෙමි.." යයි බුදු රජාණන් වහන්සේ වදාල සේක.  ආනන්ද තෙරුන් වහන්සේ බුදු රජාණන් වහන්සේගේ ස්ථිර උපස්ථායක වශයෙන් මෙසේ පත් වූ සේක.   බුදු රජාණන් වහන්සේ කවදාවත් මුහුණ දෙස බලා තනතුරු නොදුන් සේක.  සුදුස්සාට සුදුසු තනතුර උන්වහන්සේ භාරදුන් සේක.  " න භික්ඛවෙ ඔලොකෙත්වා දම්මී.." යන ප්‍රතිපත්තිය වසර දෙදහස් පන්සියයකට පෙර බුදු හිමියන් විසින් ස්ථාපිත 'සුදුස්සාට සුදුසු තැන දීම' අගනා ඔවදනකි. 

 ආනන්ද තෙරුන්ගේ ක්‍රියාවලිය මේ ලෝකයේ සෑම ජන කොටසකටම උගන්වන්නේ මහඟු පාඩමකි.  කිසිවෙක් තනතුරු ඉල්ලාගෙන පත් නොවිය යුතුය.  සුදුස්සා පත් කිරීමට හරම් පාලක පක්ෂය අවංක විය යුතුය.  සෑම සූත්‍ර දේශනාවක්ම, මා විසින් මෙසේ අසන ලදී.. "ඒවම් මේ සුතම්..." යනුවෙන් සඳහන් වන්නේ ආනන්ද මහ තෙරුන් වහන්සේගේ එම සූත්‍රයේ සත්‍ය භාවයේ රන්
මුද්‍රාවයි.  ත්‍රිපිටිකයම මතකයේ තබාගත් ආනන්ද මහ තෙරුන් වහන්සේට මුලු ලොවම නයගැතිය. 
ස්ථිර උපස්ථායක තනතුරට පත්වීමට කලින් ආනන්ද තෙරුන් වහන්සේ විටින් විට බුද්ධ උපස්ථායකව සිට ඇත.  තනතුර ස්ථිර වූ පසු උන්වහන්සේ ඉතාමත් හරියාකාර ලෙස සිය යුතුකම ඉටු කල සේක.  බුදු රජාණන් වහන්සේට ඇල් වතුර අවශ්‍ය වූ විට එය ලබා දීමටත්, උණුවතුර අවශ්‍ය වූ විට එය ලබා දීමටත් ආදී වශයෙන් ආනන්ද හිමි කටයුතු කල සේක.  බුදු රජානන් වහන්සේගේ ගඳ කුටිය ඉතා පිරිසිදුව තබා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීය.  බුදු රජාණන් වහන්සේට දෙවරක් ආමන්ත්‍රණය කිරීමට ඉඩක් නොතබා ප්‍රථම ආමන්ත්‍රණයෙන්ම උන්වහන්සේ හමුවට යාමට ආනන්ද හිමි වග බලාගත්තේය.   බුදු රජාණන් වහන්සේගේ දෛනික ජීවිතය ඉතාමත්ම කාර්ය බහුල විය.  දිවා රෑ නොබලා වැල නොකැඩී නා නා තරාතිරම් වල අමුත්තෝ උන්වහන්සේ බැහැදැක්මට පැමිණියහ.  මෙසේ පැමිණෙන්නවුන් පිලිගැනීමටත්, ඔවුන්ගේ සිත් නොරිදවා බුදු රජාණන් වහන්සේ හමුවීමටත් කටයුතු කිරීමට ආනන්ද තෙරුන් වහන්සේ වග බලා ගත්තේය. බුදු රජාණන් වහන්සේ වෙහෙසට පත් නොවන අයුරින් කටයුතු යෙදීමටත්, අමුත්තන්ගේ
සිත් නොරිදවීමටත් ආනන්ද තෙරුන් වහන්සේ ගත් උත්සාහය මනා සේ සඵල විය.  බුදු රජාණන් වහන්සේගේ ගඳ කුටිය වටා රාත්‍රියකට පහනක් අතැතිව නව වාරයක් ආනන්ද තෙරුන් වහන්සේ ගමන් කරන බව බෞද්ධ සාහිත්‍යයේ ලියැවී ඇත.

No comments: