Monday, November 3, 2008

යට ගිය දවස - කිරිබත් සහ හැඳි ගෑරුප්පු

1953 අවුරුද්දෙ ඩඩ්ලි සේනානායක මහත්මය අසනීපවෙලා අගමැති කමෙන් ඉල්ලා අස්වුනා. (මේ කාලෙ වගේ එල්ලී ගෙන හිටියෙ නැහැ - බැරි නම් අස්වෙනවා ) ඊට පස්සෙ අගමැති වුනේ සර් ජෝන් කොතලාවල. කොතලාවල මහත්මයගෙ ආණ්ඩුව කාලෙ නොයෙකුත් ප්‍රශ්න මතු වුනා. ඒ මදිවට මැතිවරණයකුත් මතු වුනා. ඒ තමයි ලංකාවෙ ඉතිහාසය වෙනස් අතකට හරවපු 1956 මහා මැතිවරණය. 1948 ලංකාවට නිදහස ලැබුණට බමුණු කුලය දිගටම පැවතුනා. අධිරාජ්‍යවාදී සිරිත් විරිත් දිගටම පැවතුණා. දේශපාලනඥයො කියනව ඒව වෙනස් වෙන්නෙ හෙමිහිට කියල. මම දේශපාලනඥයෙක් නෙවෙයි. බන්ඩාරණායක මහත්තය, පංච මහා බල වේගය කියල විශාල බලවේගයක් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව දියත් කලා, - සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියල. මේ තමයි බමුණු කුලය බිමවැටීමට හේතුව. ඒ මදිවට 1955 ඇසල පෝයදා කොලඹ එක්තරා හෝටලයක උත්සවයකදි කොතලාවල මහත්තය රෝස්ට් කරපු වහු පැටියෙකුගෙන් ඉස්සෙල්ලම කෑල්ල කපනව කියල පත්තර වල තිබුන. උත්සවයක් තිබුණ බව ඇත්ත. රෝස්ට් බීෆ් කෑල්ලක් කපපු එකත් ඇත්ත. පංච මහා කල වේගය ඔන්න ඔහොමයි බමුණු කුලය පෙරලුවෙ. මඩ ගහල පත්තර වලට දාන කොට මොනවා කරන්නද? ඒ කාලෙ ගාල්ලෙ විජයානන්ද දහනායක මහත්තය ( ගාල්ලෙ මන්ත්‍රී තුමා ) , දෙවැනි පන්තියෙ ටිකට් තියාගෙන මිනිස්සුන්ගෙ හිත ගන්න කෝච්චියෙ තුන්වැනි පන්තියෙ යනව. බීඩියක් ගහගෙන අනිත් මගියො එක්ක කාඩ් සෙල්ලම් කරනව. එතකොට මන්ත්‍රීවරු ගියේ බස් වල කෝච්චිවල. අද වගේ සිකියුරිටි නැහැ, පාරවල් වහන්නෙ නැහැ. කොහොම හරි පංච මහා බලවේගය, බමුණු කුලය පෙරලුවා. ලංකාවෙ දේශපාලන ඉතිහාසය වෙනස් අතක යන්න පටන් ගත්තා. 1956 මැතිවරණයෙන් බණ්ඩාරනායක මහත්තයගෙ මහජන එක්සත් පෙරමුණ දිනුවා. බොහොම දේවල් ජාතික ස්වරූපයක් ගන්න පටන් ගත්තා. ජාතික ඇඳුම ජනප්‍රිය වුනා. ඉස්කෝල ලමයි, ගුරුවරු පවා ජාතික ඇඳුම ඇන්දා. මට මතකයි, සුදු රෙද්දයි, සුදු දිග කමිසයයි පහසුයි. මට සුදු සරමට බඳින්න පටියක් නැතිව ගුරුවරයෙකුගෙන් පරණ ටයි එකක් ඉල්ලගෙන බැන්දා මතකයි. බණ්ඩාරනායක මහත්මයගෙ රජයේ නොයෙක් නොයෙක් තරාතිරම් වල මන්ත්‍රී වරු හිටියා. එක් කෙනෙක් තමයි මැද කොලඹ තුන් වැනි මන්ත්‍රී හැටියට තේරී පත් වුනු ඇම්. ඇස්. තේමිස් මහත්මයා. මේ මහත්මයා පිලිබඳව හාස්‍යජනක සිද්දියක් ඒ කාලෙ පාර්ලිමේන්තුවෙන් අහන්න සිදුවුනා. කොතලාවල මහත්මයා කොහොම හරි, තමන්ගෙ ආසනය - දොඩම්ගස්ලන්ද දිනුවා. ඉතින් මන්ත්‍රීවරු ඔක්කොම එක සමානයි කියන යථාර්තය මත සර් ජෝන්ට තේමිස් පාර්ලිමේන්තුවෙදි 'හලෝ ජෝන්' කියපි! කොතලාවල මහත්මයා අත දිගෑරල තේමිස් මහත්මයාගෙ කම්මුලට ගහපි! තේමිස් මහත්මයා වරක් තැපැල් බෙදන්නෙක් හැටියට රැකියාව කරල තියෙනව. කොතලාවල මහත්මය ඉතින් 'සර්' කෙනෙක් නේ. මේ නඩුව තේමිස් මහත්මය බණ්ඩාරනයක මහත්මයට් ගිහින් කිව්ව. බණ්ඩාරනායක මහත්මයට වුනත් කර කියා ගන්න දෙයක් නැතිව ගියා. ඒ කම්මුල් පහර බමුණු කුලයෙන් වෙන කුලයකට එල්ල කල පහරක්. ඒකෙ ප්‍රතිඵලය අධිරාජ්‍යවාදී නම්බුනාම අපේ රටෙන් නැති වීම. ඒ කාලෙ එහෙමයි. එංගලන්තෙ මහ රැජිනගෙ උපන් දිනේට අපේ රටෙත් 'සර්ලා' හතර පස් දෙනෙක් උපදිනව. අධිරාජ්‍ය වාදී නම්බුනාම පිලිකෙව් කරාම සමහර ජාති හිතෛෂී 'සර්' ලා 'සර්' කම ආපහු බාර දුන්න. එක්තරා නවෝදයක් රට තුල බිහිවුනා. හේතුව "අපේ ආණ්ඩුව". ඉතින් ඔය අතරෙ පුවත් පත් සාකච්ඡාවකට මාධ්‍ය වේදීන්ට අගමැති බණ්ඩාරනායක ආරාධනා කලා. ඔය මාධ්‍යවේදීන් අතරෙ බමුණු කුලයට ආවඩන වසලයෙකුත් ඉන්න ඇති. මොකද, ඊට පහුවෙනිදා, පත්තරේ තිබුණා, කැවුම්, කොකිස්, සහ කිරිබත් කන්න හැඳි ගෑරුප්පු අගමැති මැදුරෙ ලෑස්ති කරල තිබුනය කියල. පුවත් පත් සාකච්ඡාව ගැන වැඩි යමක් තිබුනෙ නැහැ, කිරි බත් හැඳි ගෑරුප්පු තමයි තීම් එක!!! බණ්ඩාරනායක මහත්මයා පංචමහා බල වේගය එකතු කර ගත්තට ඔය අතරෙ ආත්මාර්ථකාමී අයත් හිටිය. ඒ අයට අවශ්‍ය වුනේ ඒ අයගෙ අවශ්‍යතාවයන් මේ නව රජය මගින් ඉටු කරවා ගන්න. එහෙම බැරි වෙන කොට ප්‍රශ්න මතු වෙන්න පටන් ගත්තා. ඒ ප්‍රශ්නවල අවාසනාවන්ත ආරම්ඹය තමයි ඔය. නව රජයට තවම සුමාන ගනනයි වයස!

12 comments:

kasun said...

සමාවෙන්න මම ඔබ තුමා සමඟ වාද කරන්න හදනවා නෙවෙයි.

මූලිකවම බණ්ඩාරනායක චරිතය ගැන අපට දීලා තියෙන චිත්‍රය සම්පූර්ණයෙන්ම ඇත්ත නෙවෙයි කියලයි මගේ අදහස. ඩී.එස් සේනානායක අගමැතිතුමාගෙන් පස්සේ අගමැති කම බණ්නාරනායක මහතාට ලැබුනා නම් ඔය ආකාරයන්ම ඔය පෙරලිය සිද්ද වෙයිද කියල සැක සහිතයි. ඒ නැතැත් අනිකුත් බොහෝ දේශපාලකයන් වගේ බණ්ඩාරනායක මහතාත් බලය වෙනුවෙන් ආගමත් ජාතියත් පටු විදියට භාවිතා කලා. එක් ආකාරයෙකට අද ලංකා‍ව තුල තියෙන අර්බුධයන්ට මුල් වූ සමහර බීජයන් ඒ තුලින් මතු වූ ඒවා.

Supun Sudaraka said...

මම බැලුවේ ඇයි මේ බ්ලොග් එක මට අහුවෙන්න මෙච්චර වෙලා ගියේ කියලා. :) ඇත්තටම අපි දන්න ඉතිහාසය තාම බොහොම ටිකයි. මේ මෑත ඉතිහාසය සම්බන්ධ පොත් පත් හිටන් බොහොම අඩුයි නෙව. ඉතින් ඒක නිසා මේ බ්ලොග් අඩවියේ නම් වටිනාකම කියලා නිම කරන්න බෑ. මහාවංශය ලියන්න මහානාම හාමුදුරුවන් අටුවා වගේ ‍මූලාශ්‍ර උපයෝගී කරගත්තා වගේ, තව අවුරුදු ගාණකට පස්සේ ලංකාවේ ඉතිහාසය ‍ලියන්න මේ බ්ලොග් එක උපයෝගී කරගත්තොත් ඒකේ පුදුමයක් නම් නැහැ. ඇත්තටම හරිම අපූරුයි. ‍ලියනවාට බොහොම ස්තූතියි. දිගටම ලියන්න ඕනේ...

Homo Erectus said...

අපූරුයි. තව එකක් අහුවුණා, මෙ වගේම. 'මගේ නිනව්ව' (http://hpr-mycertainty.blogspot.com/) මේ වැඩේනම් ඉතාමත් අගය කළ යුතු ප්‍රවනතාවයක්. දිගටම ලියන්න. ඒ වගේම තව අයත් මේ වගේ ලියන්න උත්සාහ කරන්න.

සටහනේ එක දෙයක් ගැන මගේ අදමස කියන්නද?
බණ්ඩාරනායක මහත්තයා ජෝන් කිව්වට එයාගේ කණට ගහයිද සර් ජෝන්? තවත් බමුණු කුලයකට මාරුවක් වගෙයි මමනම් හිතන්නේ.
(මෙහෙම ලිව්ව කියල බ්ලොග්කරණය නවත්වන්න එපා. ඔබේ සටහනේ අලය වඅඩි කරන්නයි අදහස් ඉදිරිපත් කරන්නේ)

Bo said...

අපි නොදත් දේශපාලනික සමාජ විපර්‍යාස රැසක් කියවන්න ලැබීම ඇත්තෙන්ම වටිනවා, දිගටම ලියන්න ඔබට සුභපැතුම්. කළු සුද්දො පිරිසක් ගෑරප්පුවෙන් ඉඳි ආප්ප කෑ සැටි මතක් වුනා.

සරත් ගුණතුංග said...

බණ්ඩාරනායක මහත්මයත් බමුණු කුලයට අයිති එක්කෙනෙක්. නමුත් දැනට තියෙන සාක්ෂි අනුව සාමාන්‍ය ජනතාව අතරට එන්න ඒ මහත්තය මහන්සි ගත්තා කියල විශ්වාස කරන්න පුලුවන්. ඔය කාලෙ අපේ පලාතේ මන්ත්‍රී තුමා ඩී. ඒ. රාජපක්ෂ මහත්මය. අපේ තාත්තා රජයේ සේවකයෙක්, ඒ නිසා දේශපාලනය කරන්න ඒ කාලෙ තහනම්. මගේ මාමා කෙනෙක් හිටිය ඩී ඒ බොහොම ලඟින් ඇසුරු කල. ඩී. ඒත් බණ්ඩාරනායක මහත්මයත් හොඳ 'ගජයො' දෙන්නෙක්. ඒ නිසා මම දන්න සමහර පුවත් විශ්වාස වන්තයි. ඩී එස් ගෙන් පස්සෙ කොතලාවල මහත්මය අගමැති පුටුවට ඇහැ ගහගෙන හිටපු බව සත්‍යයක්. "අගමැතිවරයකුගේ ජීවිත කතාව" කියල පොතක් කොතලාවල මහත්තය 1955 දී ලිව්ව. (මහජන පුස්තකාලයෙ මේ පොත තියෙන්න පුලුවන්) කොතලාවල මහත්තය '1952 අගමැති පොරය' කියල පොතකුත් ලියල ඩඩ්ලි එයා කබිනට් එකෙන් පැන්නුව 1952දිම. කොතලාවල මහත්මයාගේ පොතේ තියෙනවා මෙහෙම.. මට හරියට වචන මතක නැහැ නමුත් සාරාංශය මේකයි. "වෘධ නායකයා (ඒ කිව්වෙ ඩී. එස්ට )බොහෝ කල් ජීවත් විය. බණ්ඩාරනායක මහත්මයා වුවද වයස් ගත හෙයින් ඔහු අගමැතිකම කවදාවත් නොලැබේයයි සිතූ නිසා පක්ෂයෙන් අස්විය." නමුත් ඩී.ඒ.ගෙන් ලද සාක්ෂි අනුව එ. ජා. පයෙන් බණ්ඩාරනායක මහතාගේ ඉල්ලා අස්වීම ඒ මහතාගේ හෘදය සාක්ෂියට එකඟව ප්‍රසිද්දියේ ප්‍රකාශ කල කරුනු අනුව සිදු වූ බව මට ප්‍රකාශ කල හැක.
ඊලඟ සටහන බලන්න.

සරත් ගුණතුංග said...

'බණ්ඩා රට කෑවා' කියන කතාව මමත් අහල තියෙනව, නමුත් මිනිස්සු කියන තරමට නරකක් කරල නැහැ. රාජ්‍ය භාෂාවට කලියෙන් අත තැබූ ඒක වැරදුනා.

ඒ මහත්තය කරපු හොඳ දේවල් දිගටම කරගෙන යන්න අවංක මිනිස්සු හිටියෙ නැහැ.
දැන් බලන්න ජනවාර්ගික ප්‍රශ්නය.

මතකද බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම? ඔය ගිවිසුමේ තිබුණෙ එක්තරා බලය බෙදීමක් ගැන.. රටේ අවාසනාවකට අදූරදර්ශී ජනතා කොටසක් ඕකට විරුද්ධ වුනා. දැන් සිහියෙන් කල්පනා කරල බලන්න. දෙමල මිනිස්සුත් මේ රටේ උපන් මේ රටේ හැදුන වැඩුන මිනිස්සු කොටසක්. මේ රට ඒ මිනිස්සුන්ටත් අයිතියි. හැමදාම ඒක සත්‍යයක්. ඒ මිනිස්සුන්ට යන්න තැනක් නැහැ. අපි කරන්න ඕන, සාමයෙන් ජීවත් වන එකයි. බණ්ඩාරනායක මහත්තයා රේඩියෝ එකේ කරපු කථාවක් තවමත් මගේ හිතේ දෝංකාර දෙනවා... " තමුන්නාන්සේලා කියනව නම් මේ ගිවිසුම මම ඉරලා දානවා. නමුත් මේකෙන් වෙන්නෙ මේ රටට මහා විපත්තියක්. එතකොට මම ජීවතුන් අතර නැහැ. " ඒ කිවු දෙය ඇත්ත කියල මම දැන් දන්නව. 70000 කට අධික මේ රටේ ජනතාවකගෙ ජීවිත නැතිවුනා, ධනය විනාශ වුනා...!!!

අමල් ඉෂාන්ත said...

සරත් දෙමල මිනිසුන්ට යන්න එන්න තැනක් නැතැයි කීම සම්පූර්ණ අසත්‍යක්. බලන්න ලංකාවේ ඕනම නගරයකට ගමකට ගිහින් දෙමල මිනිසුන් එහි සිටිනවා. බොරුද? නමුත් සිංල මිනිසුන්ට සෑම තැනකටම යාමට පූළුවන්ද? උතුර විතරක් නෙවෙයි, පොතුවිල් කලවංචිකුඩි වගේ පැති වලට ගිහින් බලන්න අපිට සමහර ගම් වලට ඇතුල් වීමටවත් තහනම්. අනික බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම ඉරුවේ බණ්ඩාරනායක මහතා නොවෙයි, චෙල්වනායගම්. මොකද ඔවුනට අවශ්‍ය වුනා එමගින් ඔවුන් ලබා ගත් දේවල් තවදුරටත් වැඩි කර ගන්න.ඒකයි. අනික ඔබ කියනවානම් මෙම යුද්ධය ආරම්භයට සිංහලයින් සම්බන්ධයි කියා කියනවානම් මම එයට විරුද්ධයි. මෙය මෑත අතිතයේ සිට දෙමළ දේසපාලුවන් විසින් ඇති කරන ලද මතයක ප්‍රතිඵලයක්. ඔයට සිංහල දේසපාලුවන් උල්පන්දම් දුන්නා විය හැක

සරත් ගුණතුංග said...

අමල්, කලබල හදාගන්න එපා. මම ඒකයි සිහියෙන් බලන්න කිව්වෙ. දෙමල මිනිස්සුන්ට යන්න තැනක් නෑ කියන එකින් මම අදහස් කරේ මේ රටේ පුර වැසියෝ හැටියට සරණාගතයින් නොවී වෙන යාමට රටක් නැති බවයි. සිංහල මිනිසුන්ට දැනට උතුරට නැගෙනහිරට යාම අසීරුයි. ඒ තත්වය ඇතිවුනේ මේ නිය පොත්තෙන් කැඩීමට හැකිව තිබූ සිද්ධිය වෑයෙන් පොරවෙන් කැපීමට සිදු වීමයි.දැනට උතුරට හෝ නැගෙනහිරට යාමට අපහසු ප්‍රභාකරන් නිසා. ඔහු ඇතිවුනේ මේ ප්‍රශ්නය නොවිසඳුනු නිසා. ප්‍රශ්නය නොවිසඳුනේ බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම ක්‍රියාත්මක නොවුන නිසා. ඒක ක්‍රියාත්මක නොවුනේ සංඝයා වහන්සේලා ඇතුලු අදූරදර්ශී මහජන කොට්ඨාශයක විරෝධය නිසා. වෛද්‍ය ශිෂ්‍යයෙක් වශයෙන් මා නැවතී හිටියේ කේරි විද්‍යාලය අසල ඇති 'බ්ලොම්ෆොන්ටීන්' නමින් හැඳින්වෙන නේවාසිකාගාරයේ. ඒ දවස්වල ඒක වෛද්‍ය ශිෂ්‍යයන්ට පමනක් සීමා වූ එකක්. එහි සිටියේ 90% උතුරෙන් සහ නැගෙනහිරින් පැමිණි අපේම සහෝදර ද්‍රවිඩ ශිෂ්‍යයන්. අපි එක හැලියෙ බත් කාලා සන්තෝසෙන් හිටියා. පාඩම් කරල කරල එපා වුනාම අපි තියෙන සල්ලි ටිකක් එකතු කරගෙන රෑ යාල් දේවි දුම් රියෙන් යනව උතුරට යාලුවෙකුගෙ ගෙදර. සිංහල අපිව මහත් හරසරින් ඒ ද්‍රවිඩ මිත්‍රයගෙ දෙමව්පියො පිලිගත්තෙ. මම වැල්වෙටිතුරේ පවා ගිහින් ඉඳල තියෙනව. ඒ 1967තේ. බ-චෙ ගිවිසුම සාකච්ඡා කරන්න පවා අපහසු වුනා, විරෝධය නිසා. ගිවිසුම ඉරල දානව කියල බණ්ඩාරනායක මහත්තය කිව් කතාව මගේ කන් දෙකෙන් මම අහගෙන හිටියා. තහංචි දැම්මෙ LTTE කාරයො, දෙමල මිනිස්සු නෙවෙයි. දෙමල මිනිස්සු අතරෙයි LTTE එක අතරෙයි ලොකු වෙනසක් තියෙනව. අපට අවශ්‍ය ඇඟිලි දිගුකර ගැනීමක් නොව සාමකාමී සහජීවනයකි.

kasun said...

'ඕනෑම නායකයෙකු කැමතියි රටත් දියුණු කරල, තමනුත් හොඳ විදියට ඉතිහාස ගත වෙන්න' (මෙහෙම කවුරු හරි කියලා තිබුනා ව‍ගේ මතකයි)-- ඒත් බලය ලබාගැනීම හා එය රැක ගැනීමත් එක්ක ඕක ඔය තරම් ලේසියෙන් කරන්න පුලුවන් එකක් නෙවෙයි. බණ්ඩාරනායක වුනත් අවස්ථාවාදීව බලය ලබාගැනීම සඳහා පටු අදහස් හා මතවාද මුල් කරගත්තත්, තමන් අතින් වුනු වැරදීම් නිවැරදි කරගන්න උත්සහ නොදැරුවා කියල කියන්න බැහැ. අනික ඔහු 'දෙමල ජනයාට දෙමල වූ පමණින් සිදුවූ ආසාධාරණය කුමක්දැයි' අසන වුන් ආකාරයේ ජාතිවාදියෙකු වුනෙත් නැහැ.
--
@අමල්:
ඔය තරම් සරල ලෙස මේ සියල්ලටම වරද දෙමල මිනිසුන්ගේ හා ඔවුන්ගේ නායකයන් අතය, සිංහලයන් අතින් වරදක් නැතෙයි කියල කියන්නේ කුමන පදනමක් මතද? අද සිංහලයන්ට උතුරේ සමහර ප්‍ර‍දේශ වල ජීවත්වෙන්න බැරිව තියෙන්නේ L.T.T.E ය නිසා. ඔයා කියන්නේ L.T.T.E ය කියන්නේ නිකං ඕපපාතිකව බිහිවෙච්ච එකක් කියලද?

මෙ යුද්ධයේ ආරම්භය දෙපාර්ශ්වයේම අමන තකතීරු නායකත්වයේ අදූරදර්ශී තීරණත් ඊටත් එහා ගිය යටත්විජිත පාලනයේ බෙදා ‍වෙන් කිරීමේ ප්‍රතිපත්ති මතිනුත්, ඒ සියල්ලටම වඩා සමකාලීන සමාජ ව්‍යාපාරයන් හි අසාර්ථකත්වයන් හේතුවෙනුත් බිහිවූ එකක්. තවදුරටත් ඔය ආකාරයට ජාතිවාදයට උල්පන්දම් දීමෙන් කිසිවක් විසඳන්න හැකි වෙන එකක් නැහැ. අර්බුධය නිවැරදිව වටහා නොගෙන ජනප්‍රිය පුකාශයන් කිරීම මඟින් වෙන්නේ තව දුරටත් යථාර්තය වසා දමන එක විතරයි.

අමල් ඉෂාන්ත said...

කසුන් දෙමළ ජනතාවට නෙවෙයි මම ඇඟිල්ල දික් කරේ දේශ පාලුවන්ට එයප්‍රථමයෙන් දෙමල දිශාවටත් ඉන් පසු සිංගල දිශාවටත් එල්ල කරේ.
මම කියන්නේ නෑ දෙමළ ජනතාව අත වරදක් තිබෙනවාය කියා. මම කියන්නෙ දෙමළ දේශ පාලකයින් අත තමා මුල්ම වරද කියා. මොකද ඔවුන් තමා ලංකාව තුල වෙනම දෙමළ රාජ්‍යක් බිහි කිරීමේ සංකල්පය ඇති කෙරුවේ. උතුරේ ත්‍රස්තවාදය බිහි වුනේ ඒ අදහස් වලින්ම තමා.
අනික ඇත්තටම දෙමළ ජනයාට තිබෙන ප්‍රශ්නය කුමක්දැයි ඔබට කිව හැකිද? මම ඉන්නේ නාවලපිටිය නගරයේ මෙහි වැඩි හරියක් දෙමළ. ඔවුන්ට දෙමළ වූ නිසාවෙන් කිසිම ප්‍රශ්නයක් සිදුවී නැහැ. 77, 83 අප දෙගොල්ලනටම කරදර වුනා. නමුත් ඒ වෙනුවෙන් සිංහලයනුත් ආයුධ අතට ගත්තාද?
අනික ජනප්‍රිය පාඨ කියන්නේ සැම මුවරැව් දෙන වචන නේද? ඒවා හිස් ඒවා විය හැකිද?
මම ජාතිවාදියෙක් තමා. මම පිලිගන්නවා. මොකද මම මගේ ජාතියට ආදරෙයි. අපි ඉතිහාසය පුරාම අනෙකුත් ජාතීන් සමග සමගිව සිට තිබෙනවා. ඉදිරියටත් එසේ විය යුතුයි. නැතුව අපිව වනසන තෙක් බලා සිටිම නෙවෙයි.

සරත් දෙමළ ජනතාවට යන්න තැනක් නැති බව මම හොඳාකාරව දන්නවා. මම කියන්නේ ඔවුන් කොහේවත් යන්න ඕන නෑ. මේ රට අප සැමට ඉඩ ඇත. හැබැයි මේ යුද්ධය ඉවර වෙන්න ඕන. නැත්නම් කරන්න ඕන. ඒක දේශපාලනික වශයෙන් කරන්න දැන් දුර ගියා වැඩියි. එම නිසා එය යුධමය හා ඉන්පසු සමාජීය වශයෙන් පරාජය කල යුතුයි.

kasun said...

>අනික ජනප්‍රිය පාඨ කියන්නේ සැම මුවරැව්
>දෙන වචන නේද? ඒවා හිස් ඒවා විය හැකිද?

මේ ගැන කියනවා නම් හිට්ලර්ගේ නාසිවාදය පමණක් නොවේ.ප්‍රභාකරන්ගේ ඊනියා විමුක්තිවාදය පවා යම් යම් ජනකොටස් අතර ජනප්‍රිය මතවාදයන්/ප්‍රකාශයන් තමයි. ඒත් ඒවායේ සත්‍යතාව හා හිස් බව හා එසේ නොවීම ගැන මම වගේම ඔබත් හොඳට දන්නවා. ඒ නිසා මතවාදයක ඇති ජනප්‍රියතාවයෙන් ඒවා නිවැරදිද කියන්න පුලුවන් කමක් නැහැ.

මට තියෙන ගැටළුව මේකයි, ඔය මුල්ම වරද දෙමල දේශපාලකයන් අතය කියන එකත්, මේ අර්බුධයේ මූලයන් ගැන ඔය විදියට සරලවිදියට කියන්නෙත් කොහොමද කියන එකත් ගැන. එකෙන් අදහස් වෙන්නේ නැහැ ඔය කියන ඊනියා 'මුල්ම වරද' කියන එක සිංහල නායකයන් අතේ පමණක්ය කියල මම අදහස් කරනවාය කියලා.
ඒත් මේ ආකාරයේ සිතුවිලි වලින් වෙන්නේ අපි සිංහල දෙමල වශයෙන් තව තවත් ඈත්වන එක මිසක් අර්බුධයට සැබෑ විසඳුමක් ලැබෙන එක නොවෙයි. අර්බුධය විසඳන්න නම් සිංහල-දෙමළ ජාතීන් දෙකෙහිම වූ අන්තවාදී මතිමතාන්තර පරාජය කල යුතුයි. එය කල හැකිවෙන්නේ අපි සියල්ලෝම මේ මව්බිමෙහි සමඋරුමක්කාරයෝ ලෙස සිතීමෙන් මිස "මේක උන්ට වඩා අපට අයිතිය", "මේ අපේ නිජබිමය" යන ඊනියා මතවාදයන් තුලින් නොවේ.
--
වැරදියට හිතන්න ඕන නැහැ. මම ජාතිවාදියෙකු ලෙස හඳුන්ව්න්නේ තමන්ගේ ජාතියට ආදරය කරන්නා නෙවෙයි. ඔය කියන විදියට තමා අයිති ජන කොටසට ආදරය කරන්නා ජාතිවාදියෙකු වෙනවා නම් අපි හැමෝම ජාතිවාදීන්ම තමයි විටෙක.
මම ජාතිවාදී යැයි අදහස් කරේ, තමන්ගේ ජාතිය පමණක් උසස්ය. අනික් ජාතීන් ඒ පසුපස ආ යුතුය කියන අවරසික මානසිකත්වය මිසක් ජාතියට ඇති ආදරය හෝ හැඟීම ගැන නොවෙයි.

T.Kanch said...

Mata pahuwela hari me blog satahan hambaweema gana sathutui... ithihasaya gana api danne monawada...thawa godak dewal dana ganna thiyenawa... obata godak sthuthi...