Tuesday, October 4, 2011

භව පච්චයා ජාති... පටිච්ච සමුප්පාදය 11


භව පච්චයා ජාති... පටිච්ච සමුප්පාදය 11
අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !

අතීතයේ කරන ලද්දා වූ කුසල කර්ම හෝ අකුසල කර්ම අනුව, සත්වයෝ මනුශ්‍ය ලෝකයේ හෝ, දිව්‍ය ලෝකයේ හෝ, ප්‍රේත, තිරිසන් ආදී මනුශ්‍ය ලොවට පහලින් ඇති ලෝක වල උපත ලබති.  පුනරුත්පත්තියට හේතු සාධක වන්නේ මේ පූර්ව ජාතියක  කරන ලද්දා වූ කර්මය හැර වෙන දෙයක් නොවේ.    ලෝ තතු නොදැනීම හේතුවෙන් අවිද්‍යාව ඇති වේ.  අවිද්‍යාව හේතුවෙන් තණ්හාව ඇති වේ.  තණ්හාව වැඩි වූකල එහි බැස දැඩිව අල්වා ගැනීම ඇති වේ.  ඒ උපාදානයයි.  උපාදානය හේතු කොට ගෙන නොයෙක් නොයෙක් ක්‍රියාවන් කිරීමට සිත පෙලඹෙයි.  මේ ක්‍රියාවන් නිසා කර්මයෝ උපදී.  එසේ නැතිව සර්ව බලධාරී කෙනෙකුගේ කැමැත්ත හෝ අකැමැත්ත මත කෙනෙකුට නපුරු සුව කල නොහැකි රෝග, අනෙකුත් ව්‍යසන ආදී දේවල් කිසි කලෙක සිදු නොවේ.    මේ භවයේ ඇති වන්නා වු විඤ්ඤාණයත්, මනෝ භෞතික ධාතූන් සමූහයත්, ඵස්ස වේදනා ආදී වූ සිතිවිලි පරම්පරාවත් ඇති වන්නේ පෙර භවයෙකදී ඇති වූ අවිද්‍යාව හේතු කොට ගෙනය.  එපමණක් නොවේ; මේ භවයේදීද අවිද්‍යාව නිසා ඇතිවන්නාවු තණ්හාව ප්‍රමුඛ අමනෝඥ සන්තානයන් නිසා දස දහස් කර්මයන් ඇති වේ.  බුදු රජාණන් වහන්සේ සසරෙහි බියකරු බව දේශනා කලේ උන්වහන්සේ සත්වයින් විඳින්නා වූ දුක දුටු බැවිනි.  මේ එකතු කර ගන්නා වූ කර්ම වල බලවත් කම අනුව, විපාකයන්හි ඵල දීම සිදු වේ.  ඉතාම බලසම්පන්න කර්ම ඉතා ඉක්මනින් ඵල දරනු ඇත.  කර්මය එතරම් බරපතල  නැත්නම් විපාක දීමට කල් ගත වෙයි.  සමහර කර්ම බොහෝ කල් ගොස් භව කීපයක් ඉක්මවා ඵල දරනු ඇත.  මේ ලෝක නියාම ධර්මයයි.  එයින් ගැලවෙනු කිසිවකුටවත් අපහසුය. බරපතල කම අනුව එකෙක් පසුපස එන කර්මය ඊලඟට විපාක දෙන කර්මයට අනුව මරණාසන දර්ශන ඇතිකරවා ඒ ඒ භවයට සත්වයා යොමු කරනු ඇත.  මේ බෞද්ධයන්ට පමණක් උරුම වූ  බුදු අජාණන් වහන්සේගේ නියමයක් නොවන අතර උන්වහ්න්සේ ප්‍රඥාවෙන්ම අවබෝධ කර ගත් ලෝකයේ සිදු වන්නා වූ නියාම ධර්මයන්ය.
ඵල දැරීම වශයෙන් කර්මය සතරාකාරය. 

1. ඉතා බරපතල කර්ම ගරුකම්ම වෙයි: .  

2. පුරුද්දෙන් ඇති කරගත් කර්ම බහුල හෝ ආචින්න කර්ම වෙයි.  

3. මරණාසන්න කර්ම ආසන්න කර්ම වෙයි.  

4. අවශේෂ කර්ම යනු ඉතිරි වූ කර්ම වෙති.  

ගරුකම්ම වශයෙන් දැක්වෙනුයේ පංචානංතර්ය කර්මමය.  මේ අන්දමේ බරපතල කර්ම අන්සියලු කර්ම පරයා ඉදිරියටම පැමිණෙයි.  අජාත සත්ත රජතුමා බිම්බිසාර රජු මැරවීමෙන් පීතෘ ඝාතක කර්මය සිදු කරගත්තේය. ඔහු නොමඟ යාමට හේතු වූයේ දේව දත්තයන්ගේ නොමඟ යැවීමය. දේව දත්ත සෘද්ධි බල පෙන්වා තරුණ අජාතසත්තගේ සිත් දිනා ගත්තේය.   දේවදත්තගේ මෙහෙයීමෙන් සිදු කල පීතෘ ඝාතක පාපය නිසා ඔහු බොහෝ සෙයින් සිතින් දුක් වින්දේය. අවසානයේ අපාගත විය.  බිම්සර රජතුමා මැරෙන විට වයස 67ක් පමණ ඇත.  උත්පත්තියෙන් අජාත සත්තු රජ අධාර්මිකයෙක් නොවේ.  පසුව බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකු වශයෙන් ඔහු කල සේවාව මීට සාක්ෂි දරයි.  ප්‍රථම ධර්ම සංඝායනාව උදෙසා අජාතසත්ත රජතුමා මූලිකත්වය ගෙන කටයුතු කලේය.  නමුත් පීතෘ ඝාතක කර්මය නිසා හේ අපාගත විය.  හේ පීතෘඝාතක නොවී නම් බුදු රජාණන් වහන්සේ අබියස ප්‍රථම ධර්ම දේශනාවෙන්ම සෝතා පන්නවන බව බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාල සේක. 
විභංග පාලියෙහි භව පච්චයා ජාති යන පාඨයේ අර්ථ දැක්වීම මෙසේ විග්‍රහ කොට ඇත.  

එක් එක් සත්ව නිකායෙක ඒ ඒ සත්වයින්ගේ යම්කිසි ප්‍රථ්ම ඉපදීමක් වෙයිද, පරිපූර්ණ වූ ඉපදීමක් වෙයිද, මවු කුසයට ඇතුලු වීමක් හෝ ස්කන්ධයන්ගේ පහල වීමක් හෝ ආයතනයන්ගේ පහල වීමක් හෝ ඇතිවෙයිද, මේ භව ප්‍රත්‍යයෙන් හටගන්නා ජාතිය වන්නේය.  

වෙනත් අන්දමකින් කියත හොත්, ඒ ඒ භවයන්ගේ පලමුකොට ඉපදීම ජාති යනුයි.  ස්කන්ධ පලමුවෙන් පහල වීම ජාති නම් වෙයි.  භව ප්‍රත්‍යයෙන්ම හටගන්නා වූ මේ ජාතිය උපපත්ති භවයේම කොටසකි.  සත්වයින්ගේ උත්පත්තියට කර්මයන්ගේ බලපෑම ඉතාමත්ම බලගතුය.  විචාරාත්මක බුද්ධියකින් යුතුව එක් එක් සත්වයා දෙස බලන විට ඔවුනොවුන්ගේ මාණසික වෙනස් කම් පැහැදිලිව දර්ශනය වෙයි.  සමහරු උත්පත්තියෙන්ම අධික ලෝභයෙන් යුක්තය. සමහරු අධික මෝහයෙන් යුක්තය, සමහරු අධික මෛත්‍රියකින් යුක්තය.  මෙසේ බලන කල එක් එක් සත්වයා එක් එක් ගතිගුණ සහිතව උත්පත්තිය ලබති.      ඒ රැගෙන එන්නේ පැරණි පුරුදු කරන ලද ගතිගුණය.  එකම පියෙකුට දාව එකම මව් කුසකින් උපත ලබා එකම පරිසරයෙක, එකම ඉගෙනීමක් හා එකම අනුශාසනා ලබන ලද එකම පුද්ගල කොටසක් ඇසුරුකල නිවුන් සොයුරියන් / සොහොවුරන් දෙදෙනෙක් කිසිදා එක හා සමාන නොවෙති.  ඔවුන්ගේ ගති ගුණ වෙනස් බව ඔවුන් සමීපව ඇසුරු කරන්නෙකුට පැහැදිලිව අවබෝධ වෙයි. සියල්ල සමානව සිදු වී ඇතත්, යම්කිසි දෙයක් අසමාන බවත්, එය පියවි ඇසට නොපෙනෙන බවත් දැකිය හැක.  ඒ ඔවුන් පූර්ව ජන්ම වල සිදු කරන ලද එකිනෙකාට වෙනස් වු  අසමාන වූ කර්මයයි.   මෙය පිලිගත හැකිය, සිත ඉතාමත්ම විචිත්‍රය.  ලොව අන් සියලු දේටම වඩා විචිත්‍රය.  උත්පත්තියට හේතු වූ විචිතත්‍රවයෙන් සත්වයාගේ සිතද විචිත්‍ර වේ.           
                                
  යම් කිසි සත්වයෙක් උත්පත්තියට හේතුවන කර්මයක් කරන අවස්ථාවේ, ඔහුගේ /ඇයගේ සිතෙහි ලෝභය බලවත් වී අලෝභය දුබල වේද, ද්වේශ මෝහයෝ දුබලව අද්වේශ අමෝහයෝ බලවත් වෙයිද, ඒ තැනැත්තා / තැනැත්තී යම්කිසි භවයෙක උපත ලද කල්හි අධික ලෝභයෙන් යුක්ත වූ, මෛත්‍රී සහගත, ඥාණවන්ත තියුණු නුවන ඇති පුද්ගලයෙකු වේ. 

       යම්කිසි කෙනෙක් කර්මය කරන අවස්ථාවේ ලෝභය බලවත්ව, අලෝභය දුබලව, අද්වේශය බලවත්ව, ද්වේශය දුබලව, ප්‍රඥාව බලවත්ව, මෝහය දුබලව සිට වෙනත් උපතක් ලද කල්හි, ධර්ම ශාස්ත්‍ර ඉගෙන පණ්ඩිත වුවද, ලෝභය නිසා අපරාධයක් වුවද කරන්නට මැලි නොවෙති. 
          මේ අන්දමට කර්මයක් සිදු කරන අවස්ථාවේදී චිත්ත සන්තානයෙහි උපදින්නා වූ ලෝභ ද්වේශ මෝහ යන අකුසල ත්‍රයෙන් වඩා බලවත් වන කොටස ඊලඟ භවයෙහි උත්පත්තියට හේතු කාරක වන්නේයය.

අවසාන කොටස ලඟදීම........
                                                                                                                                                                                                       

Sunday, October 2, 2011

උපාදාන පච්චයා භවෝ... පටිච්ච සමුප්පාදය 10


උපාදාන පච්චයා භවෝ... පටිච්ච සමුප්පාදය 10
අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !
උපාදාන හේතුවෙන් භවය හටගනී.  භවය දෙයාකාරය.  කර්ම භවයක් හා උපපත්ති වශයෙන් මෙය දෙකොටසකට බෙදිය හැක.  පුඤ්ඤාභිසංඛාරය, අපුඤ්ඤාභිසංඛාරය, ආනෙඤ්ජාභිසංඛාරය කර්ම භව වශයෙන් හඳුන්වනු ලැබේ.  සියලු භවගාමී කර්මයෝ කර්ම භව වෙති.  වෙනත් අන්දමකින් කිවහොත්, භවයක් ඉපදවීමෙහි ශක්තියක් ඇත්තා වූ කර්මයෝ, කර්ම භවයන් වෙති.  උපපත්ති භව වර්ග වශයෙන් නමයකට බෙදා දැක්විය හැක.  

1. කාම භව:  එනම් මනෝ භෞතික සංයෝගයෙන් පරිපූර්ණ කාම ලෝකය කරා දිව යන භවයන්ය. මේ භවයන් වනාහී අපාය, මිනිස්, තිරිසන්, මනුශ්‍ය ලෝක,  සහ ප්‍රෙත ලෝක යනාදීහු වෙති.  මොවුන්ගෙන් සමහර ජීවීහු මිනිස් ඇස්ට දෘෂ්‍යමාන වේ.  සමහරු එසේ දෘශ්‍යමාන නොවේ. නවීන පඬිවරු මිනිස් ඇසට නොපෙනෙන දේ පවතින දේවල් නොවන බව  සලකති.  නමුත් සත්‍යය  වන්නේ සමහර දේවල් මිනිස් ඇසට දෘශ්‍යමාන නොවීමේ ස්වභාවයයි. .  

2. රූප භව: යනු රූප ස්කන්ධයක් ඇති බ්‍රහ්ම (එක්තරා බ්‍රහ්ම කොට්ඨාසයකට රූප ස්කන්ධයක් ඇත.) ආදී ජීවීන්ය. 

 3. අරූපභව:  සර්ව මනෝ ධාතූන්ගෙන් සමන්විත රූපස්කන්ධයක් නොමැති මනෝ ධාතූන්ගෙන් පමණක් සැදුම් ලත් ජීවී කොට්ඨාසයකටය.(මෙවැනි ජීවීයෙකු හා සන්නි වෙදනය කල එක්තරා වෛද්‍ය ශිෂ්‍යාවකට (Schizophrenia ) නම් වූ රෝගයක් ඇති බවට නිගමනය කල එක්තරා විශේෂඥයෙක් ඒ ශිෂ්‍යාවගේ සම්පූර්ණ අනාගතයම් විනාශ කලේය.)    මෙවැනි භව කිහිපයක් බ්‍රහ්මයින්ගෙන් සමන්විත බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. 

4. සංඥා භවය.  

5. අසංඥා භවය 

6. නේවසංඥානාසංඥාභවය
 
7. ඒක වෝකාරභවය
 
8. චතුවෝකාරභවය 

9. පංචවෝකාර භවය.    

උපාදාන ප්‍රත්‍යයෙන් උපන්නා වූ භව මෙසේ පාලි විභංගයේ දක්වා ඇත.  එය මෙසේ තේරුම් ගත යුතුය.  සත්වයින්ගේ සන්තානයන්හි උපාදානයක් ඇති වූ විට එය ලිය ලා වැඩෙන්නට පටන් ගනී. (උපාදානය යනු ක්ලේශයන්ට ව්‍යවහාර කරන තවත් නමකි. ) එසේ ලියලා වැඩෙන විට තවත් දේ උපත ලබයි.  උපාදානයන් නිසා ඇති වන ඒ දෙවල් භව නම් වේ.    ප්‍රාණඝාතය අදත්තා දානය ආදී වූ දශ විධ අකුසල, දානාදී වශයෙන් වූ දශ විධ කුසල, එක් එක් කුසලාකුසලයන් නිසා නොයෙක් නොයෙක් භූමි වල හටගන්නා වූ ස්කන්ධ යන මේවා භව වශයෙන් හැඳින් වේ.  දශ ප්‍රභේද වූ අකුසලය, දශ ප්‍රභේද වූ ලෞකික කුසලය යන පින් පවු වලට කර්ම භවයයි කියනු ලැබේ.  ඒ කර්මයන් සිදුකල නිසා ඇති වන්නා වූ සත්ව සන්තානයන්ට  උපපත්ති  භවය යයි කියනු ලැබේ.  

උපපත්ති භවය එක් වර්ගී කරණයකට අනුව කාම් භවය, රූප භවය, අරූප භවය වශයෙන් තෙවැදෑරුම් වෙයි. 

 තවත් වර්ගී කරණයකට අනුව සංඥා භවය අසංඥා භවය සහ නේවසංඥා භවයයයි තෙවැදෑරුම් වෙයි.  

තවත් ආකාරයකට ඒකවෝකාරභවය, චතුවෝකාර භවය, පංචවෝකාරභවය වශයෙන්ද තෙවැදෑරුම්ය.  

ඒ අන්දමට භව නවයක් සකස් වෙයි.  සතර අපායය, මිනිස් ලොවය දෙව් ලොව සයය වශයෙන් කාම භූමි එකොලොසක් වෙයි.  සොලොස් රූප භවයන්ගේ උපාදින්න ස්කන්ධයෝ රූප භව නම් වෙති.  අරූපතල සතරෙහි උපාදින්නාවූ සත්වයෝ අරූප භව නම් වෙති.  කාම භූමි එකොලහ, රූපාවචර භූමි පහලොවක් ( අසංඥ භූමිය හැර )හා අරූප භූමි තුනක උපාදින්නා වු ස්කන්ධයෝ සංඥා භව නම් වෙති.   අසංඥ භූමියෙහි උපාදින්න වන ස්කන්ධයෝ අසංඥ භව වෙති.  අන්තිම අරූප භූමියෙහි උපදින්නා වූ සත්වයින්ගේ ස්කන්ධ නේවසංඥානාසංඥා භව වෙති.  අන්තිම අරූප භූමියට භවාග්‍රය යයිද කියනු ලැබේ.   වෝකාර යනු ස්කන්ධයන්ට කියන නම්කි.  අසංඥ භූමියෙහි ඇත්තේ රූප ස්කන්ධය පමණකි.  ඒක වෝකාර වශයෙන් හැඳින් වෙන්නේ එයයි.  චතුවෝකාර යනු නාම ස්කන්ධ හතරටය.  පංච වෝකාර යනු පංචස්කන්ධය සහිත සත්වයින්ටය.  උපාදින්න ස්කන්ධ වශයෙන් හඳුන්වන්නේ කර්මය නිසා හට ගන්නා යන අදහස අනුවය.  කර්ම භවය කුසල කර්ම භවය හා අකුසල කර්ම භවය වශයෙන් දෙවෑරුම්ය.  තෘෂ්ණාව රූප තෘෂ්ණාව, ශබ්ද තෘෂ්නාව, ගන්ධ තෘෂ්ණාව ආදී වශයෙන් සවැදැරුම් වන්නා සේ කාමුපාදානයද සවැදෑරුම් වන්නේය.  මස් රසයට ගිජු වූ තැනැත්තා ඒ පසු පසම යයි.  ඒ කාමුපාදානයේ ප්‍රතිඵලයයි.  සතුන් මැරීමටත්, මැරවීමටත් අනුබල දෙයි. ඇතැම් මිත්‍යාදෘෂ්ටිකයෝ  දෙවියන් සතුටු කොට දෙව් ලොව යන රිසියෙන් සතුන් මරති.  ඒ සතුන් දෙවියන්ට පූජා කොට ඒ පිනෙන් දෙව් ලොව උපත ලැබීමට හෝ ඊට වඩා සැප සම්පත් බලාපොරොත්තුවෙන් ප්‍රාණඝාතය සිදු කරති. මහා යාග පවත්වති.  මේ දිට්ඨුපාදානය නිසා ප්‍රාණඝාතය සිදුවන අන්දමය.   ඇතැම්හු ආත්මය මනා ලෙස පවත්වා තබා ගැනීම සඳහා කුකුල් ආදී සත්වයින්ගේ බිත්තර අනුභව කරති.  ආත්මය ආරක්ෂා කර ගනු පිණිස වෙනත් සතුන් මරා දමති.  සර්පයින්, පත්තෑයන් ගෝනුස්සන් ආදී සතුන් මිනිස් ඇසට අසුවූ පමණින් උන්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක වේ.  උන් කල වරද මිනිස් ඇසට දෘශ්‍යමාන වීමය.   
  
දන් දීම ආදී කුසල ක්‍රියාවන් හේතුවෙන් පරලොව නොයෙක් සැප සම්පත් ලැබිය හැකි බව ඇසූ පමණින් සමහරුන්ට කාමුපාදානය පහල වේ.  ඒ නිසා බොහෝදෙනා පින් කරන්නේ ඒ කාමුපාදානය නිසාය.  ඒ හේතුවෙන් දානමාන පූජාව, ලිං අම්බලම් සෑදවීම මල් පූජාව, පහන් පූජාව, සිල් රැකීම ආදී කුසලයන්හි නිරත වේ.  භාවනා කිරීමෙන් ලැබිය හැකි සැපසම්පත් ගැන ඇසූ කල්හි, භාවනාදී පුණ්‍ය ක්‍රියාවන්හිද නිරත වේ.    උපාදානයන් කුසල අකුසල යන දෙපාර්ශවයටම බලපාන අන්දම මෙයින් තේරුම් ගත යුතුය.  සාමාන්‍ය පෘතග්ජනයා උන්මත්තකයෙකි.  උපාදානයන් නිසා කරන්නා වූ සමහර කර්මයෝ දුබල වූ ඒවා වෙති.  සමහර කර්මයෝ බලවත් වෙති.  ඒ බලවත් කර්ම භවයක් ගෙන දීමට තරම් සමත් වෙති.  දුබල කර්මයෝ අභාවප්‍රාප්ත වෙති.  භවයක් ගෙන දීමට තරම් බලවත් වූ කර්මයන්ට කර්ම පථය යයි ද කියනු ලැබේ.  

ක්ලේශයෝ වනාහී සා පිපාසාවන් මෙන් සත්ව සන්තානයන් දවන්නා වූ ස්වභාවයාන්ගෙන්යුක්ත වේ.  සාගින්න නිවා ගැනීමට ආහාරද, පිපාසය නිවා ගැනීමට පාණ වර්ගද අවශ්‍යය.  උපාදාන වශයෙන් දැක්වෙන්නේද ක්ලේශයෝමය.  උපාදානද සත්වයින්ගේ සන්තානයන් දවන තවන ස්වාභාවය ඇත්තේය. කාමුපාදානය සංසිඳවීමට අවශ්‍ය කාම වස්තූන්මය.   

තවත් කොටසක් ලඟදීම............

Monday, September 19, 2011

තණ්හා පච්චයා උපාදානං .... පටිච්ච සමුප්පාදය 9


තණ්හා පච්චයා උපාදානං .... පටිච්ච සමුප්පාදය 9

අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !

පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙනුත්, ප්‍රතිලෝම වශයෙනුත් මෙනෙහි කරන බුදු රජාණන් වහන්සේ, තණ්හාව හේතුපාදක කොටගෙන උපාදානය උපදින බව අවබෝධ කල සේක.  තණ්හාව නිරුද්ධ වූ කල උපාදානයද නිරුද්ධ වන බව උන්වහන්සේ පැහැදිලිවම දුටු සේක.  උපාදාන යන වචනය උප යන්නෙන් ඉතාමත්, අධික වශයෙන් යන තේරුමද, ආදාන යන වචනයෙන් බඳා අල්ලා ගැනීම, එහි බැස ගැනීම යන අර්ථයද ගෙන දෙයි.  සිතේ හට ගන්නා වූ යම් ස්වභාවයක්, හෝ යම් ධර්මයක් යම් කිසි දෙයක්, කෙනෙක් තදින් අල්ලා බඳා ගනියිද, එය උපාදානය වශයෙන් හැඳින්වෙයි.  එය කොටස් හතරකට බෙදා දක්වා ඇත.  

1.කාමුපාදානය

2.දිට්ඨිඋපාදානය

3. සීලබ්බත උපාදානය

4. අත්තුවාද  උපාදානය යනු මේ හහරයි.

තෘෂ්ණාව දුරු නොකල සෑම කෙනෙකුටම ආශාවන් ඇති  වේ. මේ ආශාවන් නොයෙක් අන්දමට වර්ගී කරණය කල හැක.  අඹු දරුවන්, නෑදෑයින්, හිත මිතුරන් ආදී පුද්ගලයන්ද, ඇත් අස් ගව අදී සත්වයින්ද, ආහාර පාන ගෙවල් දොරවල් ඉඩ කඩම් ආදී පණ නැති වස්තූන්ද, කෙරෙහි ඇති වන, මේවා මට අවශ්‍යමය යන අධික තණ්හාව කාමුපාදානය වශයෙන් හඳුන්වනු ලැබේ.    ස්ත්‍රී පුරුෂ දෙපක්ශයම විරුද්ධ පාර්ශවයට ඇලුම් කරති. ආකර්ශනයක් දක්වති.   මේ දෙපක්ශයම ඇඳුම් පැලඳුම්, රන් රිදී ආභරණ,  යාන වාහන මිල මුදල් ආදී දේවල්, වලට ඇල්මක් දක්වති.  එක් එක් පුද්ගලයාගේ ඇල්ම ඒ පුද්ගලයාගේ ව්‍යක්තය (persona ) අනුව වෙනස් වේ.  සමහරු මඳ ඇල්මක් දක්වන අතර සමහරු විශාල කෑදර කමක් දක්වති.  ඒ ඔවුනොවුන්ගේ කර්මයේ ස්වභාවයයි.  වෙළඳ පොලේ ඇති වෙළඳ භාණ්ඩ නිපදවන්නා එක් එක් පුද්ගලයාගේ අභිලාශයන්ගේ තරම අනුව  ඒ ඒ භාණඩ විකිනෙන අන්දමට ඒවා සකස් කරති.  ඒ ලෝකස්වභාවයය.  වෙළෙන්දාට අවශ්‍ය,  භාණ්ඩ සැපයීමේ ආශාව නොව , ඒ භාණඩ විකිනීමෙන් ලැබෙන මුදල් වැඩි වැඩියෙන් උපයා ගැනීමේ ආශාවය.  .  මෙසේ බලන කල ලොව සියල්ලම විශාල වංචාවක් පසුපස දුවන බව පෙනෙයි.    මිහිරි ශබ්ද ද එසේමය.  සමහර  සංගීතමය ශබ්ද, මියුරු වාදන, ඇසූ විට එය නැවත ඇසීමට ආශාවක් ඇති වේ.  ගොරහැඬි නාදයක් ඇසූ විට ඒය කෙරෙහි කෝපයක් ඇති වේ.  සුවඳ විලවුන් ගැල්වීමෙන් ඒ සුවඳ විඳින්නා ආස්වාදයක් ලබයි.  ඒ සුවඳ ගල්වන ලද තැනැත්තා/තී කෙරෙහි පවා ආශාවක් උපදී.  සුවඳ විලවුන් ගැල්වීමෙන් ඒ සුවඳ පමණක් නොව, සිය පෞරුෂත්වයද වඩාත් ආකර්ශණීය වෙන බව නොරහසකි.  රසැති ආහාරවල රසය පමණක් නොව, එය පිලිවෙල කරන්නා ගැනද ප්‍රසාදයක් ඇති වේ.  රසයක් මතුවේ.  ස්පර්ශයද මේ ගනයට අයත්ය.  ස්පර්ශය නිසා ඇතිවන ආශාවන් ඒ මුලු සිරුරම අයිති කර ගැනීම දක්වා විහිද යයි.  දුම් පානය සහ මත්පැන් භාවිතය පුරුද්දක් බවට පත් වී ජීවිතයත්, මිල මුදලුත් සිය පවුල ආදී සියලු දේත් සියල්ල නැතිවෙන තරමටම උග්‍ර විය හැක. 

බීජයක් පැලවෙන කල්හි එය ඉතා පහසුවෙන් නසා දැමිය හැක.  එය මුලිනුපුටා දැමිය හැක.  එය කල් ගත වීමෙන් ලොකු මහත් වී විශාල ගසක් බවට පැමිනෙයි.  එවිට ඇතෙකුට වුව සොලවන්නට නොහැකි විය හැක.  තෘෂ්ණාවද එසේමය.  ප්‍රථමයෙන් උපදින තෘෂ්ණාව එතරම් ප්‍රබල නැත. පහසුවෙන් නැති කර දැමිය හැක.  නමුත් බලවත් වූ කල මුල් දසත ඇදී ගිය ගසක් මෙන් නැති කරලීම අපහසුය.  බලවත් තෘෂ්ණාවක් උපන් විට එය විනාශ කර ලීම එතරම් පහසු නැත.  නන්ද කුමරුන්ගේ තෘෂ්ණාව දුරු කරලීමට බුදු රජාණන් වහන්සේට පවා වෙහෙසීමට සිදු වුන බව අපට බෞද්ධ සාහිත්‍යයෙන් පෙනෙයි.  යම් අරමුණක නැවත නැවත තෘෂ්ණාව බලවත් වුවොත් එය වඩ වඩා බලවත් වීම අනිවාර්ය්යෙන්ම සිදුවන්නකි.  යම්කිසි භාණ්ඩයක් ප්‍රථම වරට දුටු කල්හි එය ලස්සනය, මනහරය, ප්‍රියංකරය ආදී වශයෙන් සිතුවිලි (සංස්කාර ) උපදී.  නැවත නැවතත් ඒ අරමුණ කරා සිත දුවන කල්හි එය අයිති කර ගැනීමේ ආශාව උපදී.  එය අන්‍යයන්ට අයිති නොවී සතු කර ගැනීම ආරක්ෂා කර ගැනීම වශයෙන් උපාදානය උපදියි.   සූදුව, මත්පැන්, ලිංගික ආශාවන්, ආහාර, මිලමුදල් ආදී ලෞකික දේ පිලිබඳ අසීමිත ආශාවන් හට ගන්නේ මෙසේය.  ප්‍රථමයෙන් උපදින්නේ වෙදනා පච්චයා තණ්හා පමණය.  ඒ අර්මුණ දැඩි ලෙස බඳා ගැනීමෙන් එහි බැස ගැනීමෙන් තණහා පච්චයා උපාදානං පහල වේ. 

දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, සහ අත්ත වාදුපාදාන වශයෙන් තුනක් සඳහන් වුවද, ධර්මයක් වශයෙන් ඒ එකක් වශයෙන් සැලකිය හැක.  ඒ තුනේම උපත දෘෂ්ටිය මත රඳා පවත්නා හෙයිනි.  දෘෂ්ටිය වශයෙන් හඳුන්වන්නේ  දෙයක්, යම්කිසි විෂයයක් පිලිබඳව තමා දරන මතය හෙවත් දැකීමයි.  දෘෂ්ටිය හෙවත් දැකීම දෙයාකාරය.  ඒ සම්‍යක් දෘෂ්ටිය ( සම්මාදිට්ඨි ) සහ මිථ්‍යා දෘෂ්ටිය (ම්ච්චා දිට්ඨි ) වශයෙනි.  සම්මා දිට්ඨි නම් යම්කිසි දෙයක ඇති සැටි ඒ ආකාරයටම දැකීමය.  ඒ දෙයම වෙනස් අන්දමට දැකීම්ට මිච්චා දිට්ඨියයි කියනු ලැබේ.  ඇති දෙයක් නැති සැටියට දැකීමත්, නැති දෙයක් ඇති සැටියට දැකීමත් යම්කිසි හේතුවක් නිසා සිදුවන්නක් වෙනත් අන්දමකට දැකීමත් මෙ ගණයට අයත් වේ.  සමහරු පිනට දීම හෙලා දකිති.  එයින් සිදුවන වැඩක් නැතැයි සිතති.  දන් දීමෙන් ඒ දෙන තැනැත්තා ගේ සිත පිරිසිදු වේ.   පිරිසිදු සිතින් දානමය කටයුතු වලට සහභාගි වන්නෝ දිව්‍යමය භවයන්හි උපත ලබති.  භාවනා කොට අභිඥා ලත් භවතුන්ට මේ බව සිය ඤණයෙන්ම දැකිය හැක.  අභිඥා නැති වුවත් භාවනාවේදී චිත්ත ඒකග්‍රතාව හොඳින් වඩන විට එබඳු දසුන් දුටු අය පිලිබඳව මෑත අතීතයේ බුරුමය සහ තායිලන්තය වැනි රටව්ලින් වාර්තා වී ඇත.  අශ්‍රද්ධාවන්තයින් මේ කරුණු පිලි නොගන්නා අතර ඔවුන්ට දහම් ඇස පහල කරවීමටද අපහසුය.   සමහරු කර්මයක් හෝ කර්මයක විපාකයක් පිලිගන්නේද නැත.  ලෝකයේ ජීවත්වන බොහො දෙනෙක් අද පංචේන්ද්‍රියයන් පිනවීමට වෙහෙස දරත්.  එය ජීවත් වීමේ පරමාර්ථය ලෙස දකින්නෝද බෞද්ධයන් අතර ඇත.  ඔවුන් සාරධර්ම අප්‍රිය කරති.  ඔවුන්ගේ ද්‍රව්‍යමය භෞතික දියුණුවට බාධාවක් ලෙසට සාරධර්ම දකිති.  අද ලොවේ ඇති ඉතාමත් කනගාටුදායක දෙයක් වන්නේ දෙමාපියන්ට නිසි සැලකිල්ලක් නොදැක්වීමයි.  සමහර ගුරුවරු පවා, දරුවන් උපන්නේ මාපියන්ගේම සතුට නිසා මිස, ඔවුන්ට ඉපදීම්ට තිබූ අවශ්‍යතාවයක් නැති බව පවසමින් දෙමාපියන්ට නොසලකා හැරීමට උල්පන්දම් දෙති.  බටහිර රටවල් වල මහලු අයට ඇත්තේ ඉතාමත් දුක්ඛිත ජීවිතයකි.  ඔවුන්ගේම දරුවන් ඔවුන්ට පිටුපා ඇත.  දෙමාපියන්ගේ අගය බුදු රජාණන් වහන්සේ නිරතුරුවම ප්‍රකාශ කොට ඇත.  සමහර අය ඇසට පෙනෙන්නා වූ මනුශ්‍යයින් සහ සතුන් හැර වෙනත් භවයන් ඇති බව නොපිලි ගනිති.    බුදු දහමේ සත්‍ය තාවය තර්කයකින් හෝ බුද්ධියෙන් විස්ඳිය නොහැක.  ඒ සඳහා අභිඥා සහිත විදර්ශනාවක් අවශ්‍යය.  බුදු රජාණන් වහන්සේ  ජීවත් වූ කාලයේද අජිත කේසකම්බල නමින් පව් පින් නොමැත, සතෙක් මැරීමෙන් සිදුවන දෙයක් නැත, එය කෙසෙල් ගසක් කැපීම හා සමානයයි පැවසූ පුද්ගලයෙක් විය.  බුදු රජාණන් වහන්සේගේ ධර්මයට අනුව 'මම' මගේය' කියා කිසිවෙක් නැත.  බුදු රජාණන් වහන්සේ යම් අවස්ථාවල 'මම' යන වචනය භාවිතා කොට ඇත.  උන්වහන්සේගේ දේශනා දෙයාකාරය.  එකක් සම්මුති සච්ච වශයෙන් හැඳින්වේ.  එනම් සාමාන්‍ය භාවිතයේ පෘතග්ජනයින්ට තේරුම් ගත හැකි වචන භාවිතාවය.  අනෙක පරමාර්ථ (පරමත්ත ) සච්චයයි.  එනම් පරම සත්‍යයයි.  පරම සත්‍යයට අනුව.  සත්වයෙක්, ආත්මයක්, හෝ වෙන අන්දමේ පිරිමියෙක් හෝ ගැහැනියක්ද නැත.   
 සත්‍ය වශයෙන් නැත්තා වූ 'මමය' මගේය, මගේ ආත්මයය වශයෙන් හඳුනා ගෙන එය කෙරෙහි තදින් බැඳී, එය කෙරෙහි තණ්හා උපදවා ගෙන සිටීම අත්ත උපාදානයයි. 
 සැප දුක් විඳිමින් සිතමින්, කියමින්, උපදින්නා වූ නොයෙක් නොයෙක් සන්තානයන්ට වහල් වෙමින්, අධිපති කම් කරමින් පවත් වන්නා වූ දෙයට ආත්මයයයි කියනු ලැබේ.   බුදු රජාණන් වහන්සේ 'මම' යයි සම්මත දෙය ඒ ඒ කොටස් වලට බෙදා බැලූ විට එය නාම රූප යන කොටස් දෙකට බෙදිය හැකි බව අවබෝධ කරගත් සේක. ඒ නාම යනු වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාණ වශයෙන් කොටස් හතරකට බෙදිය හැකි බව දුටු සේක. ඒ සියල්ල අතට හසු නොවන, ඇසට නොපෙනෙන මනෝමය කොටස් බව වටහා ගත යුතුය.  රූප යනු මේ ශරීරය බවත්, එහි අඩංගු ආපෝ, තේජෝ, වායෝ සහ පඨවි යන මහා භූත සතර පමණක් බවත් 'මම'ය මගේය කියා කිසිවක් නැති බවත් පැහැදිලිවම අවබෝධ කර ගත් සේක.  මේ බව පැහැදිලි කිරීමක් වශයෙන් රේරුකානේ නාහිමියෝ මේ උදාහරණය දක්වා ඇත.  සාමාන්‍ය ව්‍යවහාරයේ අපි ගඟ වශයෙන් ගලා යන විශාල දිය පහරකට නම් තබමු.. ඒ අදහස අනුව ගඟ යනු, ජලය නම් කලයේ තිබෙන ජලයත් ගඟ විය යුතුය.    ජලය ගලා යන බිම ගඟ නම් ජලය නැති බිමත් ගඟ විය යුතුය.  එගොඩ ඉවුර හෝ මෙගොඩ ඉවුර ගඟ නම් අනෙක් බිම් කඩවලුත් ගඟ විය යුතුය.  මෙසේ බලන විට ගඟ යනු අපේම සිතේ පවතින්නක් මිස සත්‍ය වශයෙන් පවතින්නක් නොවේ.    

යම් කෙනෙක් මේ පංචස්කන්ධයට ආශාවක් ඇල්මක් දැක්වුවහොත්, එය මගේය, මගේ ආත්මයය වශයෙන් තෘෂ්ණාවක් උපදී.  මේ දෘෂ්ටිය සත්කාය දෘෂ්ටිය  හෙවත් සක්කාය දිට්ඨි වශයෙන් හැඳින් වේ.  සක්කාය දිට්ඨිය නැති වූ විට සියලුම දෘෂ්ටි දුරු වන්නේය.    මේ අතර අබෞද්ධ වූ සමහරු 'පිරිසිදු' බව ලබා ගැනීම පිණිස නොයෙක් නොයෙක් ව්‍රත සමාදන් වී සිටිති.  දඹදිව මෙවන් අය තවමත් සිටිති.  ඔවුන් එක් එක් ව්‍රත සමාදන්ව, සුනඛ, ගව ආදී සතුන් අනුකරණය කරති.  ගවයා අනුකරණය කරන්නේ ගෝව්‍රත නමි.  සුනඛයා අනුකරණය කරන්නෝ කුක්කුර ව්‍රත නම් වේ. ඔවුන් එයින් බලාපොරොත්තු වන්නේ ශුද්ධ්ත්වයයි.   මෙය මිථ්‍යාවකි.  සීලබ්බ්බතුපාදනය කියන්නේ මෙයටය.

තව කොටසක් ලඟදීම....