Wednesday, August 24, 2011

නාම රූප පච්චයා සලායතනං ... පටිච්ච සමුප්පාදය 5


නාම රූප පච්චයා සලායතනං ... පටිච්ච සමුප්පාදය 5
අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !

විභංග ප්‍රකරණයේ මෙසේ සඳහන් වෙයි.  ".. තත්ථ කතමං නාමරූප පච්චයා සලායතනං ? චක්ඛායතනං, සෝතායතනං, ඝාණායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං, ඉදං වුච්චති නාම රූප පච්චයා සලායතනං..."
එහි තේරුම මෙසේය. "... චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය, සහ මනායතනය යන් මේ හය නාමරූප නිසා හට ගන්නා ආයතන වේ.."     වෙනත් අන්දමකට මේ ගැඹුරු දහම ප්‍රකාශ කරන්නේ නම්,  සිතත්, භෞතික ද්‍රව්‍යත් (Mind and matter ) නිසා ආයතන හය උපදියි.  (පූජ්ය මහාසි සයදෝව් හිමිපාණෝ - dependant origination page 60) මෙතැන සිත කියන්නේ වේදනා, සංඥා, සහ සිතිවිලි වශයෙන් දත යුතුය.  රූප ලෝකයේ ජීවින් ආයතන හය මගින් දැකීම, ඇසීම ආදී  වූ  එක් එක් විඤ්ඤාණය උපදවා ගනිති.  මේ ආයතනයෝ කියන්නා වූ දේවල් ඒ ආයතන වලට දැනෙන්නාවූ සංඥා හේතුවෙන් චිත්ත-චෛතසිකයෝ ඇති කොට  ගෙන සසර දික් කරති.  නාම රූපයන් හේතු කොට ගෙන කාම ලෝකයෙහි ආයතන සයම පහල වෙයි.  නාමරූප නැත්තේ නම් ඒ ආයතතන වලද පහල වීමක් නොමැත්තේය.  චක්ඛු විඤ්ඤාණය තනිවම නොඋපදියි.  ඒ සඳහා තවත් දෑ අවශ්‍යය.  පූර්ව කල්පනයක් ලෙසට මනසිකාරයද, දකින වස්තුව උදෙසා ඵස්ස හෙවත් ස්පර්ශයද ඒ දෙස බලා සිටීමේ චේතනාවද ( volition ) අවශ්‍යය.  මේ නිසා, වෙනත් වෙනත් ධර්මතාවයන්ගේ ඇතිබව "සහජාත පච්චයා” වශයෙන් හඳුන්වනු ලැබේ.  මිනිස්සු හතර දෙනෙක් විසින් එසවිය යුතු විශාල වස්තුවක් එක මිනිසෙකු විසින් එසවිය නොහැකි සේ මේ බව තේරුම් ගත යුතුය.   

සාමාන්‍යයෙන් මෙය වටහා ගැනීම් තරමක් දුෂ්කරය.  උත්පෝත්පාදනය වන අන්දමට, අණ්ඩජය, ජලාබුජය, යන දෙකොටසට ප්‍රතිසන්ධිය සමගින්, කායායතනය සහ මනායතනය යන ආයතන දෙක පහල වේ.  ප්‍රතිසන්ධිය සමග පහල වූ මේ කුඩා රූප පිණ්ඩය, ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගනී.  ඒ රූප පිණ්ඩය වැඩෙන්නා සේම ඇස්, කන් , නාසා දිව යන මේ අවයවයෝ පහල වෙති.  ඒ අවයව පහල වීමත් සමගම ඒ ඒ අවයව වලට අනුරූප වන පරිදි ආයතනද පහල වෙයි.  රූපය නොමැති නම් මේ ආයතන වලට පහල වීමට විධියක්ද නැත.  එමනිසා ආයතන වල ඇති වීමට හේතුව රූපයම වන්නේය.  ඉතා කුඩා කොස් ගැටයක් කපා පරීක්ෂා කොට බැලුව හොත් එහි ඇට හෝ මදුලු වෙන් වශයෙන් දකින්නට නොලැබෙයි.  ගෙඩිය වැඩෙන කල්හි කොස් ඇට, කොස් මදුලු වශයෙන් වැඩෙන බව පැහැදිලිවම දත හැක.  එසේම කුඩා ඇට්ටිගෙඩියක කටුවය, පොල් මදය කියා දෙයක් දැකිය නොහැක.  කල් යාමේදී පොල් ගෙඩිය වැඩෙනු සමගම කටුව , පොල් මදය වශයෙන් බෙදී වෙන් වෙන් වශයෙන් හඳුනා ගත හැක.  සංසේදජ, ඕපපාතික සත්වයින්ට උත්පත්තිය සමග සියලුම ආයතනයෝ පහල වෙති.  ඉන්පසු නාමරූපයන් නිසා ඒවා ජීවත් වන කාලය මුලුල්ලෙහි නැවත නැවත පහල වෙයි. 
මේ ආයතන හයට හේතු, භාව  වශයෙන් පවසන්නේ නම් ඒ චෛතසිකයෝ පනස්දෙක වන්නේය.  චිත්ත චෛතසික දෙකෙන් සිත ප්‍රධාන තැනක් ගනියි.  නමුත් චෛතසික ධර්මයක්, අධික වේගයෙන්, අධික වීර්යයෙන්, අධික උත්සන්නත්වයෙන් උපන් කල්හි, ඒ චෛතසිකය නිසා ලක්ෂ කෝටි ගනන් සිත් උපදියි.  සත්වයින්ට හමුවන්නා වූ යම් අරමුණු නිසාද, සිදුවන්නාවූ ඇතැම් කරුණු නිසාද, සමහර විට අධික ඊර්ෂ්‍යාවෙන් යුක්තව බලවත් ලෝභයද උපදී. ද්වේශයද, මානයද, මෛත්‍රීයද, කරුණාවද, ශ්‍රද්ධාවද, ප්‍රඥාවද, ප්‍රීතියද උපදී.   තවත් චෛතසිකයෝද උපදී.  රාගය යනු ලෝභ චෛතසිකයේ ප්‍රභේදයකි.    ගෙයක් තුල වෙසෙන්නවුන් ගෙයින් පිටතට යාම් ඊම් කරන්නා වූද, පිටත සිටින්නවුන් ගෙතුලට යාම් ඊම් කරන්නා වූද ස්ථානයට අපි ද්වාරයයි කියමු.  ශරීරයද, ද්වාර සයක් ඇති ගෙයක් හා සමානය. හරීරය සැරසී තිබෙන්නේ මේ ද්වාර හයෙනි.   චක්ඛු, ශ්‍රෝත ආදී පිටත ඇති අරමුණු ඒ ගෙතුලට ගැනීමට උපකාර වන නිසා ඒ ආයතනවලට ද්වාරයයි කියනු ලැබේ.    එසේම ශරීරය වටිනා කමක් ඇති, ඇලුම් කල යුතු දෙයක් වී තිබෙන්නේද මේ ආයතන-ද්වාර නිසා සිතට උපදින්නා වූ සිතිවිලි (සංඛාරා ) නිසාය.  ආයතන-ද්වාර නැති කල්හි ශරීරය ක්‍රියා විරහිත වන්නේය.  මේ ආයතන එකිනෙකට සම්බන්ධයක් නොමැති වෙන් වෙන් වශයෙන් උපදින්නා වූ ධර්ම කොටස් වශයෙන් තේරුම් ගත යුතුය.  එසේ තේරුම් නොගත හොත් සිදු වන්නේ ඉමහත් වූ මුලාවකි. 

 සතර මහා භූතයන්ගෙන් උත්පාදනය වූ මේ ශරීරය තුල ආයතන හටගනියි.  ඒ ශරීරයත්, ආයතන හයත් එකක් හැටියට සලකා වැරදි දෘෂ්ටියකට, 'මමය',’ මාගේය’,’ මා සතුය’, වශයෙන් සක්කා දිට්ඨිය ඇතිකර ගැනීමෙන් නිවනට යා නොහැකිව  සත්වයා සසර පුරා සැරිසරයි.  බොහෝ දෙනෙකුට මේ බව පොත පතින් උගත හැකිය.  නමුත් අවබෝධයෙන් දකින තුරු එය පැහැදිලිව නොවැටහෙයි. 
චක්ඛායතනය නිසා 'මම දකිමියි' යන සක්කාය (සත්කාය ) දෘෂ්ටිය ඇතිවේ.

සෝතායතනය නිසා ‘මම අසමිය’ යන සක්කාය දෘෂ්ටිය ඇති වේ.
ඝාණායතනය නිසා ‘මම ආඝ්‍රාණය කරමි ‘යයි යන සක්කාය දෘෂ්ටිය ඇති වේ

ජිව්හායතනය නිසා ‘මම රස විඳිමි’ යයි යන සක්කාය දෘෂ්ටිය ඇති වේ.
කායායතනය නිසා මම සුව දුක් විඳිමි යයි යන  සක්කාය දෘෂ්ටිය ඇති වේ.

මනායතනය නිසා ‘මම දනිමි’  යයි යන සක්කාය දෘෂ්ටිය ඇති වේ. 
ආයතනයන් ආයතනයන් හැටියට දැකිය යුතුය.  එසේ නැතිනම් එය අපාය බීජයක් සහ සංසාර බීජයක් වන්නේය. පටිච්ච සමුප්පාදය දත යුත්තේ ඒ නිසාය.  

කෙසේ වුවද පටිච්ච සමුප්පාදය තේරුම් ගැනීම අපහසුය.  ආනන්ද තෙරුන් වහන්සේ සසර පුරා භාග්‍යවතුන් වහන්සේ සමග සැරිසරා ලද තියුණු නුවන නිසා එක වරටම ඒ ගැඹුරු දහම වටහා ගත්තේය.  ඒ නිසා උන්වහන්සේ බුදු රජාණන් වහන්සේ හමුවේම පටිච්ච සමුප්පාදය තේරුම් ගැනීමට පහසු දහමකැයි ප්‍රකාශ කල සේක. එය එසේ නොවන බව බුදු රජාණන් වහන්සේ පෙරලා පිලිතුරු දුන් සේක. 
ආනන්ද තෙරුන් වහන්සේ පදුමුත්තර බුදුන් සමයයෙහී  බුදු රජාණන් වහන්සේගේ සහෝදරයෙක්ව, සුමන නමින් යුතු කුමාරයෙක්ව ඉපදුනි.  ඒ සමයේ ඒ කුමාරයා ප්‍රාදේශීය රාජ තනතුරක්ද හෙබවීය.  එක්තරා කැරැල්ලක් සාර්ථක ලෙස මැඩ පැවැත්වීම පිලිබඳව සුමන කුමාරයා  රාජ්‍ය ගෞරව ලැබීය. තමන්ට කැමති දෙයක් ඉල්ලීමට වරය ලද සුමන කුමරා ඉල්ලා සිටියේ වස් කාලය පුරා වට පදුමුත්තර බුදු රජාණන් වහන්සේට උපස්ථාන  කිරීමේ වරයයි.   පදුමුත්තර බුදු රජාණන් වහන්සේ සුමන කුමරුගේ අනාගතය දිවැසින් දැක, ඒ කුමරුගේ ඉල්ලීම ඉවසා වදාල සේක. සුමන කුමාරයා විශාල මාලිගා සාදවා බුදු රජාණන් වහ්න්සේටත් උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලාටත් පූජාකොට සිය බිසෝවරුන්ද කැඳවා, 'බුදු රජාණන් වහන්සේ කිසිම ලෞකික වස්තුවකට ප්‍රිය නොකරන්නාහ. උන්වහන්සේ අගය කරන්නේ ශීලය සහ අනෙක් කුසල් පමණකි.' යයි පවසා සිටි සේක.  මේ නයින් සුමන කුමාරයා දසසිල් සමාදන්ව ඒ තෙමස පුරා ශීලයෙහි පිහිටා සිටියේය.  

 බුදු රජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ කෝලිත (මුගලන්) සහ උපතිස්ස (සාරිපුත්ත ) යන යහලුවන් දෙදෙනා පවා සෝතාපන්න වීමට පෙර පටිච්ච සමුප්පාදය පිලිබඳව හරිහැටි නොදැන සිටියහ.  අස්සජි තෙරුන් දේශනා කල "යේ ධම්මා හේතුප්පභවා තේසම් හේතූම් තථාගතෝ ආහ - තේසංච යෝ නිරෝධෝ එවම් වාදී මහා සමනෝ... " මේ ගාථා ඛන්ඩයෙන් කියැවෙන්නේ සියලුම 'සංසිද්ධි', (සංස්කාරයෝ) වෙනත් සංස්කාර නිසා සිදු වෙන බවයි. ඒ යහලුවන් දෙදෙනාගේ පුණ්‍ය මහිමය නිසාම මේ ගාථා ඛණ්ඩය ශ්‍රවණය කිරීමෙන්ම සෝතාපන්න වූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය.    බුදු රජාණන් වහන්සේ මේ ගැඹුරු ධර්මය එක් එක් සත්වයාගේ ප්‍රඥා මහිමය දිවැසින් දැක ධර්මය දේශනා කරන සේක.  උපතිස්ස සහ කෝලිත යන මිතුරන් දෙදෙනා දීර්ඝ කාලීන සසර බැමි අනුව දහම තේරුම් ගන්නා බව උන්වහන්සේ දුටු සේක.   මේ ගාථා පිලිබඳව ලියැවී ඇති අටුවා වල සියලු සංස්කාරයෝ හේතූන් නිසා උපදින්නාහ, යන  ඛණ්ඩය දුක්ඛ සත්‍යය පිලිබඳව පැහැදිලි කරන බව පෙන්වයි.  'හේතූන්' වශයෙන් පෙන්වන්නේ සමුදය සත්‍යයයි.  එබැවින් මේ ගාථාවේ යමක ප්‍රතිමූර්තිය (epitomize)වන්නේ චතුරාර්ය සත්‍යයම බව පෙනෙයි.  බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන විට දඹදිව පුරා 'ආත්මය' පිලිබඳ විශ්වාසය ඉතා තදින් පැතිරී තිබුනි.  ආත්මය අමරණීය බවත්, එය දෙවියන් විසින් මවන ලද බවත් පිලිගත් සමයෙක ඊට විරුද්ධ මතයක් ඉදිරිපත් කිරීම භාරදූර කාර්යයකි. නුවණ මුහුකුරා ගිය ඇත්තන්ට එය අවබෝධ කිරීම අපහසු නොවීය.  හේතුඵල දහම, මැවුම් කාර වාදය අභිභවා නැග සිටියේය.    දඹදිව තලයම කසාවතින් බැබලුනු සමයයි ඒ.

Monday, August 22, 2011

විඤ්ඤාණ පච්චයා නාමරූපං.... පටිච්ච සමුප්පදය 4

විඤ්ඤාණ පච්චයා නාමරූපං.... පටිච්ච සමුප්පදය 4

අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !
විභංග ප්‍රකරණයේ සඳහන්  වන පරිදි, සංඥා ස්කන්දය, වේදනා ස්කන්ධය, සංස්කාර (සංඛාරා ) ස්කන්ධය යන ස්කන්ධ තුන, නාම වශයෙන්ද, සතර මහා භූතයින්ගෙන් බිහිවුන, සහ ඒවා නිසා පවතින, රූපය රූප වශයෙන්ද  සලකා මේ විඤ්ඤාණය නිසා හටගන්නා වූ දෙයට නාමරූප වශයෙන් නම් වී ඇත.  පටිසන්දි විඤ්ඤාණය සමගම සිත සහ භෞතික ද්‍රව්‍ය (Mind and matter ) වල උත්පත්තියද සිදුවේ.  සත්වයා නාම, රූප වශයෙන් දෙවැදෑරුම්ය.  මේ දෙකෙන් නාමය ප්‍රමුඛ ස්ථානයක් ගනියි.  රූප කාය සත්‍ය වශයෙන් රූකඩයක් වැනිය.  ඇසට පෙනෙන බැවින් හා එය ස්පර්ශ කල හැකි බැවින් 'මේ මමය' වශයෙන් රූප කාය උදෙසා ආත්ම සංඥාවක් ඇති කර ගැනීම පුදුමයක් නොවේ.   ඇසට පෙනෙන්නේ එය බැවිනි.  නමුත් මුලාවද එතැනමය.  එහි සත්‍ය තාවය දැනගත් වහාම ඕනෑම ප්‍රඥාවන්තයෙකුගේ අවබෝධය වෙනස් වෙයි.  .  බුදු රජාණන් වහන්සේ හමුවට ගිය සියලුම ලක්ෂ සංඛ්‍යාත ජනයාට සිදුවූයේ එයමය.  ඔවුන් අද සත්‍යය අවබෝධ කොට ගෙන සුවසේ නිවන් පුර වැඩ වසති.  නාම කාය වශයෙන් හැඳින්වෙන, අතට අසු නොවන ඇසට නොපෙනෙන බැවීන් ඒ ස්කන්ධයන්, නාම කාය වශයෙන් හඳුන්වති. රූපකාය පාලනය කෙරෙන්නේ නාම කාය මගිනි.  සිතේ උපදින චිත්ත චෛතසික පරම්පරාවෝ ඉතා වේගයෙන් ඉපදී නැසී යති. (චෛතසික යනු චිත්ත හෙවත් සිත සමග උපදින, සිත නැසෙන විට ඒ හා නැසෙන, සමූහයකි.  ) මේ බව පියවි සිහියට නොදැනේ.  ඒ චිත්ත-චෛතසික ධාරාවෝද, එකක් පසුපස එකක්, එකිනෙකට වෙනස් අන්දමින් ඇති වී නැති වී  යයි..   ධාරාවක් ලෙසින් ගමන් කරන නිසා අපට පෙනෙන්නේ අඛන්ඩ වූ එකම දෙයක් ලෙසය.  උදාහරනයක් වශයෙන්  අතක් දෙස බලන්න.  ' මේ මගේ අත.... මෙය ඊයේත් මෙසේ විය, අත එසේම ඇත..  ඊයේත් මම මගේ අත හැකිලුවෙමි, අදත් මට එසේම කලහැක.  නමුත් සිදුවන්නේ කුමක්ද?  අත සෑදී ඇත්තේ සතර මහා භූතයන්ගෙනි.  එය තව දුරටත් බෙද බෙදා බැලුවොත් අපට 'රූප කලාප වශයෙන් පරමාණුවකටත් වඩා කුඩා කොටස් සමූහයකින් අත සෑදී ඇති බව දැකිය හැක.  (මෙයට සතිපට්ඨාන භාවනාව අවශ්‍යය. ඒ භාවනාවද මේ භවයේදීම ලබාගත හැකිය. --ඕපනයිකෝ-)  .  ඒ රූප කායේ රූප කලාප සෑදී ඇත්තේ ආපෝ තේජෝ වායෝ පඨවි යන ප්‍රාථමික සහර මහා භූතයින්ගෙන්ද, දෙවනුව, වර්ණ ගන්ධ, රස ඕජා යන ද්විතීය කොටස් හතරෙන්ද, ප්‍රාථමික අෂ්ඨක රූප කලාපය (octad) නිර්මානය වී ඇත. මේ අටට ජීවිතේන්ද්‍රිය සහ ලිංගික යන කොටස් එකතු වූ විට දශකයක් බිහි වේ.  ලිංගික කොටස් පුරුෂ, ස්ත්‍රී හෝ නපුංසක විය හැකිය.  බෞද්ධ සාහිත්‍යයේ ධම්මපද අටුවාවෙහි 43 වැනි ගාථාව සම්බන්ධව මෙසේ සඳහන් වෙයි.  බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ සොරෙය්‍ය නම් වූ කුලපුත්‍රයෙක් විය.  දිනක් මහා කච්චායන රහතන් වහන්සේගේ සිරුර දැක උන්වහන්සේගේ සිරුර කෙරෙහි 'අහෝ මේ රන්වන් පැහැ සිරුර මගේ බිරියට ඇත්නම් වශයෙන්..' රාගාත්මක සිතක් ඉපදුනු මොහොතෙහිම සොරෙය්‍ය ස්ත්‍රියක් වූ බව සඳහන් වෙයි.  එපමණක්ද නොව ඒ ස්ත්‍රිය විවාහ වී දරු දෙදෙනෙක් වැදූ බවද සඳහන්ය.  අද ලෝකයේ නොයෙක් නොයෙක් දෙසින් ගැහැණු පිරිමි වන බවත්, පිරිමි ගැහැනු වන බවත් පුවත් පත් මගින් අනාවරණය වේ.  පසුව ඒ සොරෙය්‍ය නම් ස්ත්‍රිය මහා කච්චායන තෙරුන්ගෙන් සමාව අයැද, සමාව ලැබුණු පසු නැවතත් පුරුෂයෙක් වූ බවද සඳහන් වෙයි. ( විද්‍යාත්මකව මේ පිලිබඳව කිසිම හේතුවක් දක්වා නොමැත.  ) සොරෙය්‍ය පසු කලෙක සසර කලකිරී පැවිදිව, රහතන් වහන්සේ නම්ක් වූ බවද සඳහන් වෙයි. 

 මේ හැරුනු විට තවත් රූප කොටස් විස්සකි.  මේ සටහනේ මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා නොකරන්නේ අභිධර්මය මේ ඉගැන්වීම් සමග සාකච්ඡා කිරීමෙන් මේ සටහනේ හරය ඉක්මවා යන බ් ඇවිනි.  මේ ගැන පසුව සාකච්ඡා කරමු.  අරූප ලෝක වල් හැර, අනෙක් තැන්වල ඒ  භවයන්ට අනුරූප වන පරිදි,  විඤ්ඤාණයේ රූපයට හා භවයට අනුරූප වන පරිදි ඒ භවයේ වීඥ්ඥාණය පහල වේ. 

පටිසන්දි විඤ්ඤාණය සමගම කර්මානුරූපවූද, සෘතු වශයෙන් සංවේදී වූද  ආහාර මත යැපෙන්නා වුද භෞතික ද්‍රව්‍යද ඉපදෙයි.  වෙනස් වෙනස් විඤ්ඤාණයන් සමග වෙනස් වෙනස් වශයෙන් පහල වෙන මේ ද්‍රව්‍යයෝ පියවි ඇසට නොපෙනෙන "කලලයක්" ජනිත කරති. මේ අවස්ථාවන් ඉතා ඉක්මනට සිදු වෙන නිසා දිවැසකින් විනා පියවි මනසකින් මෙය නිරීක්ෂණය කල නොහැකිය. 

විඤ්ඤාණය නිසා රූපයක් උපදින්නේ මෙසේය.  අණ්ඩජ, ජලාබුජ, සංසේදජ්, ඕපපාතික වශයෙන් සත්ව ජාතීන් උපදින අයුරු  හතරක් ඇත.  අණ්ඩජ යනු බිත්තර වලින් උපදින්නා වූ සත්වයෝය.  ගර්භාෂයක උපදින්නාවූ සත්වයෝ (මනුශ්‍යාදී) ජලාබුජ වශයෙන් හැඳින්වෙයි.  කුණු මස් ආශ්‍රිතව උපදින්නාවූ සත්වයෝ සංසේදජ් වශයෙන් හැඳින් වේ.  සර්වාංග ප්‍රත්‍යංග පරිපූර්ණ පහල වන්නා වූ සත්වයෝ ඕපපාතික වශයෙන් හැඳින් වෙයි.  නරකයෙහිද, දිව්‍ය බ්‍රහ්ම ලෝක වලද උපදින්නෝ ඕපපාතිකව උපදිති. 

රූප කාය පාලනය වන්නේ නාම කාය මගින් වුවද.  නාම කාය පවතින්නේ රූපකාය මතය. ජීවිතේන්ද්‍රිය ගිලිහී ගිය පසු නාම කායද, රූප කායෙන් ඉවත් වේ. අපි මේ සිද්ධීන් වලට “මරණය” යයි කියමු.  රූප කාය,  යලිත් එය සෑදී තිබුනු අපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහා භූතයන්  හා එක්වෙයි.  ගිලිහී ගිය නාම කාය, එකතු වී ඇති කුසලාකුසල කර්මානුරූපව වෙන  කයක ලැගුම් ගනියි.  සියලු සංස්කාරයෝ උපදින්නේ හේතු ඵල දහමට අනුවය.  උදාහරණයක් වශයෙන් 'දැකීම' හෙවත් චක්කු විඤ්ඤාණය සලකා බලමු.  ඇසත්, ඇසට පෙනෙන වස්තුවත් දැකීමට අනුරූප වන චක්කු විඤ්ඤාණයත් ඇති වූ විට ඵස්ස හෙවත් ‘ Contact’ ඇති වේ. එවිට දැකීම සිදු  වේ.  දක්නා දෙය සුන්දර වෙයි නම් එය යලි යලි දැකීමට ආශාවක් ඇති වේ.  එය අයිති කර ගැනීමට සිත් වේ.  අකැමැති දෙයක් නම් අප්‍රසන්න තාවයක් ඇති වේ.  අප්‍රිය භාවයක් ඇති වේ.  එයින් දුරස් වීමට සිත් වේ.  මේ විඤ්ඤාණයේ ක්‍රියා කාරිත්වයයි.  ඇසීමද එසේමය.   අනෙක් විඤ්ඤානයන්ගේ උත්පත්ත්යත් පැවැත්මත් ඒ අන්දමටය.  ඒ ඒ විඤ්ඤාණයන්ගේ උත්පත්තිය හා ඇතිවන සිතිවිලි ( සංඛාර,  චිත්ත- චෛතසික )අනුව කර්ම රැස් වේ. 

රේරුකානේ චන්දවිමල නා හිමිපාණෝ උන්වහන්සේගේ පටිච්ච සමුප්පාද විවරණය සහ මහාසි සයඩෝව් හිමියන්ගේ Dependant Origination  යන පොත් වල මෙසේ සඳහන් වෙයි.  ඒ අර්ථ දැක්වීම් දෙකම  එක හා සමානය.     අතීත කර්ම හේතු කොට ගෙන ප්‍රත්සන්ධි විඤ්ඤාණය පහල වන සත්වයින්ට කාය දශකය, භාව දශකය සහ වස්තු දශකය යන දශක තුන පහල වේ.  සමහර සත්වයින්ට භාව දශකය පහල නොවේ.  භාව දශකය පහල නොවන්නෝ නපුංසකයෝය.  විඤ්ඤාණය සහිත වූ ඒ පිණ්ඩයට කලලය යයි නම් වෙයි.  කලලයෙහි ජාති වශයෙන් රූප කලාප දෙකක් හෝ තුනක් ඇත.   කලලයේ පටන් මනුශ්‍යයාගේ වැඩීමේ විස්තර යක්ෂ සංයුක්තයෙහි භාග්‍ය වතුන් වහන්සේ මෙසේ දේශනා කොට ඇත. 

පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදං

අබ්බුද ජායතේ පෙසී පෙසී නිබ්බත්තතේ ඝනෝ

ඝනා පසාඛා ජායන්ති කේසා ලෝමා නඛා පීච

ප්‍රථමයෙන් මාතෘ ගර්භයේ කලල රූපය හට ගන්නේය.  එයින් අබ්බුදය(පෙනපිඩක්) හට ගනියි.  අබ්බුදයෙන් පේශිය හට ගනියි.  ඝනයෙන් අතු පහක්ද, කෙස් ලොම් නියද හට ගන්නේය.  
අතු පහ යනු හිස, දෙ අත් හා දෙපා වල 'ගොබ' වශයෙන් හැඳින් විය හැක.
මේ වසර 2500කට අධික කාලයකට පෙර අසීමිත ප්‍රඥාවෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කල දේවල්ය.  වසර 300 ක් පමණ වන බටහිර වෛද්‍ය ශාස්ත්‍රය අන්වීක්ෂ මාර්ගයෙන් නිරීක්ෂණය කොට  එය එසේම සිදුවන බව ප්‍රකාශ කරයි. 

හය වන සතියේ පටන් එකොලොස් වැනි සතිය දක්වා කලලයේ වර්ධනය ගැන විස්තර සඳහන් නොවේ.  මහාසි සයදෝව් හිමි පවසන අන්දමට ඒ පිලිබඳව කිසිවෙක් බුදු රජාණන් වහන්සේගෙන් අසා අසා නැති බව කියැවේ.  සසර කෙලවර කර ගැනීමට ඒ දැනුම් අවශ්‍ය නැති නිසා බුදු රජානන් වහන්සේ එය විස්තර නොකර ඇති බව සඳහන්ය.  ඒ පිලිබඳව කෙනෙක් බුදු රජාණන් වහන්සේගෙන් විචාරා සිටියේ නම් උන්හහන්සේ එය විස්තර කිරීම සිදු කරනු ඇත. 
ඊලඟ කොටස ලඟදීම

Wednesday, August 17, 2011

සංඛාර පච්චයා විඤ්ඤානං.... පටිච්ච සමුප්පදය 3


සංඛාර පච්චයා විඤ්ඤානං.... පටිච්ච සමුප්පදය 3

අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !

සංඛාරා (සිතුවිලි ) පච්චයා (හේතුකොට ගෙන ) විඤ්ඤානං (විඤ්ඤානය ඇති වේ.)   ජීවිතයක විඤ්ඤාණය ඒ ජීවිතයේ ප්‍රතිසන්ධි විඤ්ඤාණය සමග ඉපදේ.  ප්‍රතිසන්ධි විඤ්ඤාණය යනු ඊට පෙර ගත කල ජීවිතයේ අවසාන විඤ්ඤාණය, ඒ ජීවිතයෙන් චුතව නව ජීවිතයක් පටන්ගැනීමට වෙන භවයක් කරා ගමන්  කිරීමේ ආරම්භයේ ඇතිවන විඤ්ඤාණයයි..  එයින් චුතව යන නිසා චුති විඤ්ඤාණය වශයෙන්ද, විඤ්ඤාණයේ  ඒ කොටස හඳුන්වනු ලැබේ.  මේ සියල්ල වෙන් වෙන් වශයෙන් හැඳින්වුවද, එකම විඤ්ඤාණයක් ව වශයෙන්  සිහි තබා ගහ යුතුය.  එකම විඤ්ඤාණය වුවද එකම අන්දමට පැවැත්මක් නොමැති බවද දත යුතුය.    කෙනෙක් ගත කල ජීවිතයේ ක්‍රියා කාරිත්වය අනුව නව භවය සකස් වේ.  යම් කෙනෙක් අකුසල් කොට පාපකාරී ජීවිතයක් ගත කලේ නම් ඊලඟට යන භවය දුගති ගනයට අයත් භවයක් වේ.  එසේම කුසල් සහිත යහපත් ජීවිතයක් ගත  කලේ නම් යහපත් භවයකට විඤ්ඤාණය යොමු වෙයි.  ප්‍රාර්ථනාවෙන් යහපත් භවයකට සැපත් වීම කිසිදාක කවරෙකු හට වුවද කල නොහැකිය.  බොහෝදෙනා මේ ධර්මය පිලිගැනීමට මැලිවෙති.  එය එසේ ම සිදුවන බව සමහර දෙනා පිලි නොගනිති.  කවුරු කෙසේ සිතුවත්, කවුරු කෙසේ පැවසුවත් , බුද්ධත්වය ලබා ගත් පසු ශ්‍රී මහා බෝධීන් මුල හිඳගත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මුල සිට අගටත්, අග සිට මුලටත් මේ පරම ගාම්භීර,   පටිච්ච සමුප්පාදය  යන ධර්මය මෙනෙහි කොට,  මේ සක්වල උපදින සෑම සත්වයෙකුටම  පොදු ධරමයක් බව දේශනා කොට ඇත.  පියවි ඇසට නොපෙනෙන දේ බොහෝ දෙනා විශ්වාස නොකරන නිසා උන්වහන්සේ මේ දහම උගැන්වීමට ප්‍රථමයෙන් මැලි වූ සේක.  සහම්පතී  බ්‍රහ්ම රාජයාණන්ගේ පෙරැත්තය නිසා, 'ඇසේ දූවිලි ස්වල්පයක් ඇති අය' උදෙසා මේ දහම දේශනා කරන ලෙස කරන ලද්දා වූ සානුකම්පික ආරාධනාව උන්වහන්සේ ඉවසා වදාල සේක.  උන්වහන්සේ ජීවමානව සිටිකල්හි පවා ධර්මය තේරුම් ගැනීමට  අපහසු අඥාණ ජනී ජනයා නොයෙක් ආකාරවල ප්‍රශ්න බුදු රජාණන් වහන්සේගෙන් අසා සිටි බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි.    කෙනෙක් උන්වහන්සේ වෙත පැමිණෙන විට ඒ තැනැත්තාගේ ධර්මය අවබෝධ කිරීමේ හැකියාව උන්වහන්සේ දිවැසින් දැක, ඒ අනුව ධර්මය දේශනා කරන සේක.    මේ සටහන කියවන සැම කෙනෙක්ම මේ ධර්මය අවබෝධ කොට ගනිත්වා යනු මගේ එකම පැතුමයි.  ඒ ධරමය වැටහෙයි නම් සසරෙහි ඇති බියකරු බව වටහා ගන්නෙහිය.   ඉන් ගැලවීමට සිත් සකස් වන්නේ එවිටය.  මෙහි හාස්‍ය ජනක දේ නැත.  පබැඳුම් නැත.  සංවේදී ජනක හැඟුම් නැගිටවන බොලඳ දේ නැත.  ඇත්තේ තේරුම් ගැනීමට අපහසු, නමුත් බෞද්ධයෙකු වශයෙන් තේරුම් ගතයුතු බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද්දා වූ ධර්මයය.   සංඛාරා  හෙවත් සිතුවිලි ගමන් කරන්නේ එකක් පසුපස එකකි.  .  එය ගංගාවක් සේ  ගමන් කරයි.  එක සිතුවිල්ලක කාල සීමාව ඉතාමත් කෙටිය.  ඒ  හා සමාන තවත් සිතුවිල්ලක් හෝ ඊට ස්වල්ප වශයෙන් වෙනස් වූ තවත් සිතුවිල්ලක් පසු පසින් එන බැවින් අපට එය වැටහෙන්නේ එකම සිතුවිල්ලක් ලෙසිනි. 

පෙර භවයේ හෝ ඊටත් ඈත භවයෙක කරන ලද්දා වූ කුසල හා අකුසල කර්ම හේතු කොට ගෙන, ගංගාවක් සේ ගලන සිතුවිලි පරපුරක් උපදියි. දුරාචාරවත් දුස්සීල ජීවිතයක් ගත කලේ නම් අපාය තිරිසන් හෝ ප්‍රේත භවයෙක දුක් සහිතව පැවැත්මට උත්පත්තියක් ලබයි.  මේ සඳහා  සත්‍ය සිද්ධීන් අලලා ලියැවුනු උදාහරණ බොහෝ ගනණක්  ඇත.  සමහරු ප්‍රේතාත්මව ඉපිද එයින් මිදීම සඳහා සිය නැදෑයින් වෙත පැමිනෙති.  ඔවුන් විසින් කරන ලද්දදාවු අකුසල්ද ප්‍රකාශ කරති.  (මේ වෙබ් අඩවීයේ උදාහරණ බොහෝ ගනණක් වාර්තා කොට ඇත.  http://rightmindfulness.wordpress.com/ කියවන්න. )






මෙහි දක්වා ඇත්තේ අකුසල් නිසා ප්‍රේතාත්ම වල උපත ලද උදාහරණ තුනක් පමනි. 

තන්හා සැඩ පහර තරණය යන වෙබ් අඩවියේ අවසාන කොටසේ, වෙනස් වෙනස් මාතෘකා වලින් යුතුව සත්‍ය සිද්ධීන් ගණනාවක් වාර්තා කොට ඇත.  මේ හැරුනු විට බටහිර රටවල පවා සිදු වූ සත්‍ය සිද්ධීන් වාර්තා වී ඇත.  මහාචාර්ය බ්‍රයන් වයිස්ගේ සාක්ෂි අනුව චිත්තය හෙවත් සිත භවයෙන් භවයට එක් එක් අන්දමට වෙනස් වී යන අන්දම එතුමාගේ පොත් පත් වලින් පැහැදිලිය. 

 ප්‍රතිසන්ධි ( පටිසන්ධී) විඤ්ඤාණයට පසුව, පැන නැගෙන විඤ්ඤාණය  භවාංග විඤ්ඤාණය (subconscious mind) වශයෙන් හඳුන්වා දී ඇත.  භවාංග චිත්තය යනු අප නිදන අවස්ථාවේ ඇති වන චිත්තයමයි.   අපි මිය යන අවස්ථාවේහීද පවතින්නේ මේ චිත්තයමය.  නමුත් මිය යන අවස්ථාවේ ඇති වන චිත්තය හඳුන්වා දීම සහ විස්තර කිරීමේ පහසුව තකා එයට චුති චිත්තය වශයෙන් නම් කොට ඇත.  මේ අනුසාරයෙන්, චුති චිත්තයත්, භවාංග චිත්තයත්, පටිසන්ධි චිත්තයත් පෙර භවයේ කර්ම අනුව නිර්මානය වන බව සිතා ගත හැකිය.    එක භවයෙක චුති චිත්තය ඒ භවයෙන් නික්මී යෑම සමගම කර්මානුරූපව නිර්මානය වුනු  වෙනත් භවයෙක ප්‍රතිසන්ධි චිත්තය පහල වේ.  තේරුම් ගැනීමට අපහසු ගැඹුරු තැනක් වශයෙන් බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දැක්වූ එක තැනක් මෙය වන්නේය.  සත්වයා නැවත නැවත උපදියිද, නැතහොත් මරණයෙන් කෙලවර වෙයිද යනු ධර්මය නොදත් කෙනෙකුට ඇතිවිය හැකි ප්‍රශ්නයකි.  අද ලෝකයේ සිටින බොහෝ දෙනා "අනුන්ට පෙනෙන දැනෙන සියලු දේ තමාටත් පෙනිය යුතුය, දැනිය යුතුය..." යන පුහු මානයෙන් උඩඟු වූවෝ වෙති.  ශාස්තෲන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට අකැමැති වෙති.  "පුනරුත්පත්තියක් ඇත..." යන ශාස්තෲන් වහන්සේගේ වචනය ගෞරවයෙන් පිලිගෙන ලෝකය දෙස බලන්නා හට පුනරුත්පත්තිය උදෙසා සාක්ෂි ලෝකයෙන්ම ලබා ගත හැක.  ඔවුහු ඉක්මනින් සසර කෙලවර කර ගනිති.  පුනරුත්පත්තියක් නැත යන මිසදිටු  අදහස ගත්තහුටද, ඒ සඳහා සාක්ෂි ලෝකයෙන්ම සොයා ගත හැක.  මේ සිතෙහි පවත්නා ගුප්ත ස්වභාවයකි.  වෛද්‍ය වරයා පවසන දේ නොපිලිගෙන එහි ගුණාගුන තමන් ප්‍රත්‍යක්ෂ කොට ගෙන බෙහෙත ගැනීමට සිටිය හොත් මරණය නිසැකයෙන්ම තමා කරා පැමිණෙනු ඇත.  මේ කරුණු හරිහැටි තේරුම් නොගැනීම නිසා සස්සතදිට්ඨි සහ උච්චේදදිට්ඨි වැනි මත වල එල්බ ගන්නා අයද සිටිති. (ලෙඩී සයදෝව් ස්වාමීන් වහන්සේ )  හේතුඵල ක්‍රියාදාමය පිලිබඳව නොදැනීම නිසා මෙය සිදු වෙයි.  කෙනෙක් මිය ගිය පසු පියවි ඇසට හෝ මණසට ඒ මිය ගිය තැනැත්තා පිලිබඳව කිසිවක් නොදැනීම නිසා මේ වැරදි නිගමනයට ඔවුන් එලඹෙති. 

විදර්ශනා භාවනාව පුහුණු කරන්නෙකුට මෙය වටහා ගැනීම අපහසු කරුණක් නොවේ.  විදර්ශනා භාවනාව පුහුණු කරන විට විඤ්ඤාණය ඇති වී මොහොතකින් නැති වී යන අන්දම ප්‍රායෝගික වශයෙන් නිරීක්ෂණය කල හැකිය.  පොත පතින් මෙය ප්‍රථමයෙන් උගත්තද, ප්‍රායෝගික වශයෙන් අත්දැකිය හැකිය.    මෙම  නිරීක්ෂනය අවබෝධවන්නේ සම්මාසන ඥාණය සහ උදයබ්බය ඥාණය පහල වූ විටය.  විදර්ශනා භාවනා මාවතේ ඇති මේ ඥාණ, විදර්ශනා භාවනාව ප්‍රගුන කිරීම පටන් ගෙන දින කිහිපයක ඇවෑමෙන් ලබා ගතහැකි බව මහාසි සයදෝව් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කොට ඇත.  .  පච්චයා පරිග්ගහ ඥාණාවබෝධයෙන් පසු, විඤ්ඤාණයේ ඒකකයන් වූ විඤ්ඤාණ ඛණ්ඩ ඉපදී මියැදෙන අන්දම පැහැදිලි වුවද, සම්මාසන ඥාණයේ අනුග්‍රහයෙන් විඤ්ඤාණයේ නැතිවීමත්, වෙන භවයෙක එහි ඇති වීමත් නිරීක්ෂණය කල හැකිය.   විදසුන් වඩා නැතිනම් මේ දර්ශනය සහමුලින්ම පිලිකෙව් කරන්නෝ බොහෝය.  බුදුරජාණන් වහන්සේ ධර්මය ගැඹුරු බව ප්‍රකාශ කලේද ඒ නිසාය.  මෙය පිලිකෙව් කරන්නන්ට සසර ඉතාමත්ම දිගය.  ඔවුන් සදාකාලිකව පවතින ආත්මයක් ඇත යන මතයේ එල්බ චිත්තය එය හා ඈඳා ගනිති.  අභිධර්මය හදාරා ඇති අය මේ මතය කිසිදාක පිලි නොගනිති.  සසර පුරා මේ මතය දරා ඇත්නම් ඒ පුරුද්ද අත හැර ගැනීමද අසීරු වනු ඇත.  සම්බුද්ධ පරිනිර්වණයෙන් පසු, චන්න තෙරුන් වහන්සේ ආත්ම සංඥාවකින් යුතුව විදරශනා භාවනාව ප්‍රගුන කල නමුදු කිසිම දියුණුවක් සිදු නොවීය.  උන්වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේගේ පටිච්ච සමුප්පාදය පිලිබඳ දේශනාවකට සවන් දීමෙන් පසුව, ආත්ම සංඥාව අතහැර භාවනා කිරීමෙන් අර්හත් භාවය ලබාගත්හ. 

මරණයෙන් පසු සිදුවන දේ පියවි ඇසට නොපෙනෙන නිසා මණසට නොදැනෙන නිසා නොයෙක් නොයෙක් මත බඳා ගැනීම සිදුවේ.  අවිද්‍යාවත් සැකයත් ඒ මත වලට බැසීමට හේතු සාධක වෙයි.  සදා මිය නොයන 'ආත්මයක්' සිරුරෙන් සිරුරට මාරුවෙන ආත්මයක් ඇත, යන විශ්වාසය වැරදි බව ඒත්තු ගැන්වීම ඉතාමත් දුෂ්කරය.  බෞද්ධ ඉගැන්වීමේ හැටියට මරණින් මතු ඇත්තේ ජීවිතයක් නොව, මනෝභෞතික සංයෝග කිහිපයක පැවැත්මක් පමනි.  කෙලෙස් සියල්ල නසන තුරු මේ මනෝභෞතික සංයෝගවල පැවැත්ම කෙලවර නොවේ.   විදර්ශනා භාවනාව ප්‍රගුණ කිරීමෙන් සෘද්ධිවිධ  ආදී ඥාණ ලබා ගත හැක.  මේ ඥාණ ලබා ගත් පසු මිය ගිය කෙනෙකුගේ නව භවය කොතනක සිදුවූයේදැයි නිසැකවම දැන ගත හැක.  සාරාංශය වශයෙන් මෙසේ පැවසිය හැක.  විඤ්ඤානය ධාරාවක් වශයෙන් කෙනෙකුගේ මනෝද්වාරයෙන් කඩින් කඩ ගලායයි.  මිය ගිය පසු ඒ විඤ්ඤානය කරන ලද කුසල අකුසල කර්මානුරූපයන්ට අනුව නව නාමරූප කයකට පිවිසෙයි.  ඒ පිවිසෙන්නේ පෙර තිබූ විඤ්ඤානය වුවද , වෙනස් කම් ඇතිවය.  මෙය එක පහනකින් තවත් පහනක් දැල්වීම හා සමානය.  දෙවැනිවට දැල්වූ පහන පලමු පහනද නොවේ.  නමුත් සමාන කම් හා අසමාන කම්ද දැකිය හැකිය.

තෙරුවන් සරණයි.

තව කොටසක් ලඟදීම......