Wednesday, August 17, 2011

සංඛාර පච්චයා විඤ්ඤානං.... පටිච්ච සමුප්පදය 3


සංඛාර පච්චයා විඤ්ඤානං.... පටිච්ච සමුප්පදය 3

අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !

සංඛාරා (සිතුවිලි ) පච්චයා (හේතුකොට ගෙන ) විඤ්ඤානං (විඤ්ඤානය ඇති වේ.)   ජීවිතයක විඤ්ඤාණය ඒ ජීවිතයේ ප්‍රතිසන්ධි විඤ්ඤාණය සමග ඉපදේ.  ප්‍රතිසන්ධි විඤ්ඤාණය යනු ඊට පෙර ගත කල ජීවිතයේ අවසාන විඤ්ඤාණය, ඒ ජීවිතයෙන් චුතව නව ජීවිතයක් පටන්ගැනීමට වෙන භවයක් කරා ගමන්  කිරීමේ ආරම්භයේ ඇතිවන විඤ්ඤාණයයි..  එයින් චුතව යන නිසා චුති විඤ්ඤාණය වශයෙන්ද, විඤ්ඤාණයේ  ඒ කොටස හඳුන්වනු ලැබේ.  මේ සියල්ල වෙන් වෙන් වශයෙන් හැඳින්වුවද, එකම විඤ්ඤාණයක් ව වශයෙන්  සිහි තබා ගහ යුතුය.  එකම විඤ්ඤාණය වුවද එකම අන්දමට පැවැත්මක් නොමැති බවද දත යුතුය.    කෙනෙක් ගත කල ජීවිතයේ ක්‍රියා කාරිත්වය අනුව නව භවය සකස් වේ.  යම් කෙනෙක් අකුසල් කොට පාපකාරී ජීවිතයක් ගත කලේ නම් ඊලඟට යන භවය දුගති ගනයට අයත් භවයක් වේ.  එසේම කුසල් සහිත යහපත් ජීවිතයක් ගත  කලේ නම් යහපත් භවයකට විඤ්ඤාණය යොමු වෙයි.  ප්‍රාර්ථනාවෙන් යහපත් භවයකට සැපත් වීම කිසිදාක කවරෙකු හට වුවද කල නොහැකිය.  බොහෝදෙනා මේ ධර්මය පිලිගැනීමට මැලිවෙති.  එය එසේ ම සිදුවන බව සමහර දෙනා පිලි නොගනිති.  කවුරු කෙසේ සිතුවත්, කවුරු කෙසේ පැවසුවත් , බුද්ධත්වය ලබා ගත් පසු ශ්‍රී මහා බෝධීන් මුල හිඳගත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මුල සිට අගටත්, අග සිට මුලටත් මේ පරම ගාම්භීර,   පටිච්ච සමුප්පාදය  යන ධර්මය මෙනෙහි කොට,  මේ සක්වල උපදින සෑම සත්වයෙකුටම  පොදු ධරමයක් බව දේශනා කොට ඇත.  පියවි ඇසට නොපෙනෙන දේ බොහෝ දෙනා විශ්වාස නොකරන නිසා උන්වහන්සේ මේ දහම උගැන්වීමට ප්‍රථමයෙන් මැලි වූ සේක.  සහම්පතී  බ්‍රහ්ම රාජයාණන්ගේ පෙරැත්තය නිසා, 'ඇසේ දූවිලි ස්වල්පයක් ඇති අය' උදෙසා මේ දහම දේශනා කරන ලෙස කරන ලද්දා වූ සානුකම්පික ආරාධනාව උන්වහන්සේ ඉවසා වදාල සේක.  උන්වහන්සේ ජීවමානව සිටිකල්හි පවා ධර්මය තේරුම් ගැනීමට  අපහසු අඥාණ ජනී ජනයා නොයෙක් ආකාරවල ප්‍රශ්න බුදු රජාණන් වහන්සේගෙන් අසා සිටි බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි.    කෙනෙක් උන්වහන්සේ වෙත පැමිණෙන විට ඒ තැනැත්තාගේ ධර්මය අවබෝධ කිරීමේ හැකියාව උන්වහන්සේ දිවැසින් දැක, ඒ අනුව ධර්මය දේශනා කරන සේක.    මේ සටහන කියවන සැම කෙනෙක්ම මේ ධර්මය අවබෝධ කොට ගනිත්වා යනු මගේ එකම පැතුමයි.  ඒ ධරමය වැටහෙයි නම් සසරෙහි ඇති බියකරු බව වටහා ගන්නෙහිය.   ඉන් ගැලවීමට සිත් සකස් වන්නේ එවිටය.  මෙහි හාස්‍ය ජනක දේ නැත.  පබැඳුම් නැත.  සංවේදී ජනක හැඟුම් නැගිටවන බොලඳ දේ නැත.  ඇත්තේ තේරුම් ගැනීමට අපහසු, නමුත් බෞද්ධයෙකු වශයෙන් තේරුම් ගතයුතු බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද්දා වූ ධර්මයය.   සංඛාරා  හෙවත් සිතුවිලි ගමන් කරන්නේ එකක් පසුපස එකකි.  .  එය ගංගාවක් සේ  ගමන් කරයි.  එක සිතුවිල්ලක කාල සීමාව ඉතාමත් කෙටිය.    හා සමාන තවත් සිතුවිල්ලක් හෝ ඊට ස්වල්ප වශයෙන් වෙනස් වූ තවත් සිතුවිල්ලක් පසු පසින් එන බැවින් අපට එය වැටහෙන්නේ එකම සිතුවිල්ලක් ලෙසිනි. 

පෙර භවයේ හෝ ඊටත් ඈත භවයෙක කරන ලද්දා වූ කුසල හා අකුසල කර්ම හේතු කොට ගෙන, ගංගාවක් සේ ගලන සිතුවිලි පරපුරක් උපදියි. දුරාචාරවත් දුස්සීල ජීවිතයක් ගත කලේ නම් අපාය තිරිසන් හෝ ප්‍රේත භවයෙක දුක් සහිතව පැවැත්මට උත්පත්තියක් ලබයි.  මේ සඳහා  සත්‍ය සිද්ධීන් අලලා ලියැවුනු උදාහරණ බොහෝ ගනණක්  ඇත.  සමහරු ප්‍රේතාත්මව ඉපිද එයින් මිදීම සඳහා සිය නැදෑයින් වෙත පැමිනෙති.  ඔවුන් විසින් කරන ලද්දදාවු අකුසල්ද ප්‍රකාශ කරති.  (මේ වෙබ් අඩවීයේ උදාහරණ බොහෝ ගනණක් වාර්තා කොට ඇත.  http://rightmindfulness.wordpress.com/ කියවන්න. )






මෙහි දක්වා ඇත්තේ අකුසල් නිසා ප්‍රේතාත්ම වල උපත ලද උදාහරණ තුනක් පමනි. 

තන්හා සැඩ පහර තරණය යන වෙබ් අඩවියේ අවසාන කොටසේ, වෙනස් වෙනස් මාතෘකා වලින් යුතුව සත්‍ය සිද්ධීන් ගණනාවක් වාර්තා කොට ඇත.  මේ හැරුනු විට බටහිර රටවල පවා සිදු වූ සත්‍ය සිද්ධීන් වාර්තා වී ඇත.  මහාචාර්ය බ්‍රයන් වයිස්ගේ සාක්ෂි අනුව චිත්තය හෙවත් සිත භවයෙන් භවයට එක් එක් අන්දමට වෙනස් වී යන අන්දම එතුමාගේ පොත් පත් වලින් පැහැදිලිය. 

 ප්‍රතිසන්ධි ( පටිසන්ධී) විඤ්ඤාණයට පසුව, පැන නැගෙන විඤ්ඤාණය  භවාංග විඤ්ඤාණය (subconscious mind) වශයෙන් හඳුන්වා දී ඇත.  භවාංග චිත්තය යනු අප නිදන අවස්ථාවේ ඇති වන චිත්තයමයි.   අපි මිය යන අවස්ථාවේහීද පවතින්නේ මේ චිත්තයමය.  නමුත් මිය යන අවස්ථාවේ ඇති වන චිත්තය හඳුන්වා දීම සහ විස්තර කිරීමේ පහසුව තකා එයට චුති චිත්තය වශයෙන් නම් කොට ඇත.  මේ අනුසාරයෙන්, චුති චිත්තයත්, භවාංග චිත්තයත්, පටිසන්ධි චිත්තයත් පෙර භවයේ කර්ම අනුව නිර්මානය වන බව සිතා ගත හැකිය.    එක භවයෙක චුති චිත්තය ඒ භවයෙන් නික්මී යෑම සමගම කර්මානුරූපව නිර්මානය වුනු  වෙනත් භවයෙක ප්‍රතිසන්ධි චිත්තය පහල වේ.  තේරුම් ගැනීමට අපහසු ගැඹුරු තැනක් වශයෙන් බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දැක්වූ එක තැනක් මෙය වන්නේය.  සත්වයා නැවත නැවත උපදියිද, නැතහොත් මරණයෙන් කෙලවර වෙයිද යනු ධර්මය නොදත් කෙනෙකුට ඇතිවිය හැකි ප්‍රශ්නයකි.  අද ලෝකයේ සිටින බොහෝ දෙනා "අනුන්ට පෙනෙන දැනෙන සියලු දේ තමාටත් පෙනිය යුතුය, දැනිය යුතුය..." යන පුහු මානයෙන් උඩඟු වූවෝ වෙති.  ශාස්තෲන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට අකැමැති වෙති.  "පුනරුත්පත්තියක් ඇත..." යන ශාස්තෲන් වහන්සේගේ වචනය ගෞරවයෙන් පිලිගෙන ලෝකය දෙස බලන්නා හට පුනරුත්පත්තිය උදෙසා සාක්ෂි ලෝකයෙන්ම ලබා ගත හැක.  ඔවුහු ඉක්මනින් සසර කෙලවර කර ගනිති.  පුනරුත්පත්තියක් නැත යන මිසදිටු  අදහස ගත්තහුටද, ඒ සඳහා සාක්ෂි ලෝකයෙන්ම සොයා ගත හැක.  මේ සිතෙහි පවත්නා ගුප්ත ස්වභාවයකි.  වෛද්‍ය වරයා පවසන දේ නොපිලිගෙන එහි ගුණාගුන තමන් ප්‍රත්‍යක්ෂ කොට ගෙන බෙහෙත ගැනීමට සිටිය හොත් මරණය නිසැකයෙන්ම තමා කරා පැමිණෙනු ඇත.  මේ කරුණු හරිහැටි තේරුම් නොගැනීම නිසා සස්සතදිට්ඨි සහ උච්චේදදිට්ඨි වැනි මත වල එල්බ ගන්නා අයද සිටිති. (ලෙඩී සයදෝව් ස්වාමීන් වහන්සේ )  හේතුඵල ක්‍රියාදාමය පිලිබඳව නොදැනීම නිසා මෙය සිදු වෙයි.  කෙනෙක් මිය ගිය පසු පියවි ඇසට හෝ මණසට ඒ මිය ගිය තැනැත්තා පිලිබඳව කිසිවක් නොදැනීම නිසා මේ වැරදි නිගමනයට ඔවුන් එලඹෙති. 

විදර්ශනා භාවනාව පුහුණු කරන්නෙකුට මෙය වටහා ගැනීම අපහසු කරුණක් නොවේ.  විදර්ශනා භාවනාව පුහුණු කරන විට විඤ්ඤාණය ඇති වී මොහොතකින් නැති වී යන අන්දම ප්‍රායෝගික වශයෙන් නිරීක්ෂණය කල හැකිය.  පොත පතින් මෙය ප්‍රථමයෙන් උගත්තද, ප්‍රායෝගික වශයෙන් අත්දැකිය හැකිය.    මෙම  නිරීක්ෂනය අවබෝධවන්නේ සම්මාසන ඥාණය සහ උදයබ්බය ඥාණය පහල වූ විටය.  විදර්ශනා භාවනා මාවතේ ඇති මේ ඥාණ, විදර්ශනා භාවනාව ප්‍රගුන කිරීම පටන් ගෙන දින කිහිපයක ඇවෑමෙන් ලබා ගතහැකි බව මහාසි සයදෝව් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කොට ඇත.  .  පච්චයා පරිග්ගහ ඥාණාවබෝධයෙන් පසු, විඤ්ඤාණයේ ඒකකයන් වූ විඤ්ඤාණ ඛණ්ඩ ඉපදී මියැදෙන අන්දම පැහැදිලි වුවද, සම්මාසන ඥාණයේ අනුග්‍රහයෙන් විඤ්ඤාණයේ නැතිවීමත්, වෙන භවයෙක එහි ඇති වීමත් නිරීක්ෂණය කල හැකිය.   විදසුන් වඩා නැතිනම් මේ දර්ශනය සහමුලින්ම පිලිකෙව් කරන්නෝ බොහෝය.  බුදුරජාණන් වහන්සේ ධර්මය ගැඹුරු බව ප්‍රකාශ කලේද ඒ නිසාය.  මෙය පිලිකෙව් කරන්නන්ට සසර ඉතාමත්ම දිගය.  ඔවුන් සදාකාලිකව පවතින ආත්මයක් ඇත යන මතයේ එල්බ චිත්තය එය හා ඈඳා ගනිති.  අභිධර්මය හදාරා ඇති අය මේ මතය කිසිදාක පිලි නොගනිති.  සසර පුරා මේ මතය දරා ඇත්නම් ඒ පුරුද්ද අත හැර ගැනීමද අසීරු වනු ඇත.  සම්බුද්ධ පරිනිර්වණයෙන් පසු, චන්න තෙරුන් වහන්සේ ආත්ම සංඥාවකින් යුතුව විදරශනා භාවනාව ප්‍රගුන කල නමුදු කිසිම දියුණුවක් සිදු නොවීය.  උන්වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේගේ පටිච්ච සමුප්පාදය පිලිබඳ දේශනාවකට සවන් දීමෙන් පසුව, ආත්ම සංඥාව අතහැර භාවනා කිරීමෙන් අර්හත් භාවය ලබාගත්හ. 

මරණයෙන් පසු සිදුවන දේ පියවි ඇසට නොපෙනෙන නිසා මණසට නොදැනෙන නිසා නොයෙක් නොයෙක් මත බඳා ගැනීම සිදුවේ.  අවිද්‍යාවත් සැකයත් ඒ මත වලට බැසීමට හේතු සාධක වෙයි.  සදා මිය නොයන 'ආත්මයක්' සිරුරෙන් සිරුරට මාරුවෙන ආත්මයක් ඇත, යන විශ්වාසය වැරදි බව ඒත්තු ගැන්වීම ඉතාමත් දුෂ්කරය.  බෞද්ධ ඉගැන්වීමේ හැටියට මරණින් මතු ඇත්තේ ජීවිතයක් නොව, මනෝභෞතික සංයෝග කිහිපයක පැවැත්මක් පමනි.  කෙලෙස් සියල්ල නසන තුරු මේ මනෝභෞතික සංයෝගවල පැවැත්ම කෙලවර නොවේ.   විදර්ශනා භාවනාව ප්‍රගුණ කිරීමෙන් සෘද්ධිවිධ  ආදී ඥාණ ලබා ගත හැක.  මේ ඥාණ ලබා ගත් පසු මිය ගිය කෙනෙකුගේ නව භවය කොතනක සිදුවූයේදැයි නිසැකවම දැන ගත හැක.  සාරාංශය වශයෙන් මෙසේ පැවසිය හැක.  විඤ්ඤානය ධාරාවක් වශයෙන් කෙනෙකුගේ මනෝද්වාරයෙන් කඩින් කඩ ගලායයි.  මිය ගිය පසු ඒ විඤ්ඤානය කරන ලද කුසල අකුසල කර්මානුරූපයන්ට අනුව නව නාමරූප කයකට පිවිසෙයි.  ඒ පිවිසෙන්නේ පෙර තිබූ විඤ්ඤානය වුවද , වෙනස් කම් ඇතිවය.  මෙය එක පහනකින් තවත් පහනක් දැල්වීම හා සමානය.  දෙවැනිවට දැල්වූ පහන පලමු පහනද නොවේ.  නමුත් සමාන කම් හා අසමාන කම්ද දැකිය හැකිය.

තෙරුවන් සරණයි.

තව කොටසක් ලඟදීම......

Thursday, August 11, 2011

ප්‍රතීත්‍ය සමුත්පාදය, ( පටිච්ච සමුප්පාදය) …..2


ප්‍රතීත්‍ය සමුත්පාදය, ( පටිච්ච සමුප්පාදය) …..2

අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !

අවිද්‍යාව හේතු කොට ගෙන සංඛාරා ඇති වේ.....

ලොව ජීවත් වන බොහෝ ජනයා ජීවත් වන්නේ ඉඳුරන් පිනවීම සඳහාය. ඔවුන් සිතා සිටින්නේ ජීවිතයේ හරය ඉඳුරන් පිණවීම බවය.  නිවණ සහ පරලොව ගැන දන්නා ස්වල්ප දෙනා පමණක් පින් දහම් කිරීමේ නියැලෙති.  මුදල් හදල් වතුපිටි එකතු කර ගැනීම ජීවිතයේ හරය කොට ගත් ඇත්තෝ බෞද්ධ රටක් වන අපේ ලංකාවේද අපමණය.  මුදල් එකතු කර ගැනීමට ඔවුන් නොයෙක් අන්දමින්., කටයුතු කරති.  ඔවුන්ට සාරධර්ම නැත.  නීතියක්ද නැත.  අනුකම්පා දයා මෛත්‍රී යන බෝසත් ගුණාංගද නැත. කෙසේ හෝ සිය මඩිය තර වීනම් අවශ්‍ය එපමණකි.  පසුවට වෙන දේ ගැන සිතන්නේද නැත. කවදා හෝ මිය යන බව සිතන්නේද නැත.   තමා සදාතනිකව ජීවත් වෙයි යන හැඟීම් වලින් යුතුව සියලු දේ කරයි.    ඒ ගැන සදාචාරවත් ලෙස කථා කිරීමට පවා අද දවසේ නොපිලිවන.  ඔවුන් අනන්ත අප්‍රමාණ ප්‍රේතාත්මවල තිරශ්චීන යෝනි, නිරය වැනි දුක් සහිත භවයන්හි   උත්පත්තිය ලබා කල්ප ගනන් දුක් විඳිති.  තන්හා සැඩ පහර තරණය නම් වූ වෙබ් අඩවියේ මෙවැනි දුෂ්චරිත වලින් යුතු දේශපාලන්ඥයින් ඇතුලු වෙනත් අධාර්මිකව විසූ අය ඉපදී දුක් විඳින අන්දම යම් කිසි ලෙසකට විස්තර කොට ඇත. 

නිදහසෙන් පසු මේ ලංකාවේ බිහි වූ කිසිම දේශපාලනඥයෙක් නොකටයුතු දේවල් නොකොට ඇතැයි කිසිවෙකුටක් කිව නොහැක.  බලය අයුතු ලෙස පාවිච්චි කරන්නෝ අනන්තයහ.  මේ සියල්ල සිදු   වන්නේ කුමක් නිසාද?  ඒ තෘෂ්ණාව නිසාය.  බල ලෝභය නිසා මුසාවාද කිය වේ.  අසාධාරණ ක්‍රියා සිදු වේ.  නොපණත් කම් සිදු වේ.  කාමුක අපරාධ සිදු වේ.  මේ සිදු වන්නේ අවිද්‍යාව නිසාය.  සංඛාරා යනු 'වෙන කිසිවක් නොව සිතිවිලිමය.  "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි...." වශයෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කලේද  මේ සිද්ධාන්තයමය  ලොව ඇති සියලු බල වේගයන්ටම වඩා බලවන්නේද සිතුවිලිමය.    සිතිවිලි පැන නැගුන පසු කයෙන් වචනයෙන් හෝ සිතෙන් තවත් දේවල් පැන නගිනු ඇත.  ප්‍රාණඝාතයක් හෝ වේවා,  දානමය කටයුත්තක් වේවා, පැන නගින්නේ එකලෙසය.  චේතනාවකට පෙරාතුව ඒ පිලිබඳව පූර්ව කල්පනයක් පහල වෙයි.  සංඛාරා කියන්නේද  ඒ පූර්ව කල්පනයටය.  ඒ පූර්ව කල්පනය, කර්මය වශයෙන්ද හැඳින් විය හැක.  එවිට ඒ පූර්ව කල්පනය ක්‍රියාන්විත කිරීම වචනයෙන්, කයෙන් හෝ සිතෙන් සිදු වෙයි.  දන් දීම් ආදී පුණ්‍ය ක්‍රියාවන්හි හෝ ප්‍රාණඝාතාදී අපුණ්‍ය ක්‍රියාවන්හිද චේතනාවන් පැනනගින්නේ මේ අන්දමටය.  පහල වන සිතිවිලි අනුව සිතිවිල තුන් වැදෑරුම් වෙයි.  1. පුඤ්ඤාභිසංඛාර 2. අපුඤ්ඤාභිසංඛාර 3. අනේඤ්ජාභිසංඛාර වශයෙන් එ විස්තර කෙරෙයි.  පුඤ්ඤ යන වචනය අපි කාටත් පුරුදු වචනයකි.  සාමාන්‍ය තේරුම 'පින' වශයෙන් වුවද හැඳින්විය හැක.  'අභිසංඛාර' යනු යම්කිසි ක්‍රියාවකට තුඩුදී ඉපදෙන සිතිවිල්ලයි.  පුඤ්ඤාභිසංඛාර යනු සිත් පිරිසිදු කරන ක්‍රියාවකට තුඩුදෙන සිතිවිල්ලයි.  දානය පුඤ්ඤාභිසංඛාර සිතිවීල්ලකි. පිරිසිදු සිතකින් දානයක් දීමෙන් සිත පිරිසිදු වේ.  චේතනාව කර්මය වන හෙයින් මෙයද කර්මයෙකි.  පුණ්‍ය කර්මයෙකි. එහි ආනිසංසද යහපත්ය.  මෙලොව වශයෙන් සැපසම්පත් ලැබීමට හෝ නොයෙක් සැපසම්පත් සහිතව දෙව් ලොවක ඉපදීමට හෝ ඒ පුණ්‍ය කර්මය හේතු වාසනා වෙයි.  ශීලය සහ භාවනාද, පුඤ්ඤාභිසංඛාර ගණයට අයත් කර්මයන්ය.  දානයක උපරිම ඵලය නෙලා ගැනීමට නම් කිසිම ද්වේශයක්, හෝ දන් දුන් දෙයට කිසිම තණ්හාවක් නැතිව එය කල යුතුය.  දානයට පෙරද, දානය දෙන අතරතුරද,  ඊට පසුවද පිරිසිදු සිතෙන් කිසි තෘෂ්ණාවක් නොමැතිව කලයුතුය.   එසේම ඒ දානය ස්වේච්ඡා සිතකින් දුනි නම් එහි ආනිසංසද බලවත්ය.  ඊට අසංඛාරික කුසලයක් වශයෙන් හැඳින්වේ.  වෙන කෙනෙක් විසින් දානය දීමට සිත යොමු කලේ නම් ඊට සසංඛාරික කුසලයක් වශයෙන් හැඳින් වේ.  සිතේ හට ගන්නා වූ සිතිවිලි අතර අකුසල කර්ම සාමාන්‍යයෙන් වැඩිය. ඒ ධර්මය හරිහැටි නොදත් අය වැඩි නිසාය.  අකුසල කර්ම කලවුන් මෙලොව ඉපදී ඇත්නම්, ඔවුහු දුප්පත්ව ඉපදෙති, විරූපිව උපදිති, රෝගීව ඉපදෙති. එසේත් නැත්නම් ප්‍රේත භවයෙක, හෝ තිරිසන් ලෝකයේ හෝ කර්මයේ බරපතල කමේ අන්දමට නිරයේ හෝ උපත ලබති. 

සියලු අකුසල කර්ම වල මූලය වන්නේ ලෝභ ද්වේශ සහ මෝහය යන කරුණු වෙයි.  සමහරු මේ මූලික කරුණු හැරුනු විට ඒ සමග වැරදි මතද හදා ගනිති.  මේ සිතුවිලි අනර්ථකාමී වෙයි.  කෝපය, අවිශ්වාසය,  බිය සැක කිරීම ආදී සිතිවිලි වල මුල ද්වේශය වෙයි.     ලෝභ මූල අකුසල් වැරදි මත සහිතවද, අසංඛාරික හෝ සසංඛාරික වද, සිතේ ඉපදිය හැක.  එසේම ඒවා ප්‍රීතිමත්වද (සෝමනස්ස සහගතම්) ප්‍රීතියක් නැතුව වුවද ඉපදිය හැක.    විචිකිච්චා හෙවත් සැකයද උද්දච්ච හෙවත් චංචල්භාවයද මෝහය නිසා ඇති වෙයි.  විචිකිච්චා යනු බුදු රජාණන් වහන්සේ ගැන හා උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන ඇති අවිශ්වාසයයි.   චංචල භාවය (උද්දච්ච ) යනු සිතේ ඇති 'වැනීමයි' (මඩේ සිටවූ ඉන්නක් මෙන් )කෙසේ හෝ චංචල භාවය අපාය, ප්‍රේත, තිරිසන් ආදී ලෝකවල උපතකට නොදමයි.    

සාමාන්‍ය මනුශ්‍යයාගේ ස්වභාවය අකුසල් කෙරෙහි නැමී පවතී.  බුදු රජාණන් වහන්සේ ජීවමාන කාලයේ එක්තරා ගිහියෙක් ශීල සම්පන්න භික්ෂූන්ට නින්දා අපහාස කලේය.   ඒ අකුසල් විපාක දීමක් වශයෙන් ඒ භික්ෂූන්ගේම වැසිකිලියේ ප්‍රේතයෙක්ව ඉපදී මුගලන් රහතන් වහන්සේ දිවැසින් දක්නා ලදුව,  අසත්පුරුෂ ආශ්‍රයෙන් තමා එසේ කල බව ඒ ප්‍රේතයා පැවසීය.  ආශ්‍රයෙන් කෙනෙක් නොමඟ ගිය හැකිය.  පවට බිය ඇති යම් කෙනෙක් යහලුවන්ගේ බල කිරීමට, නවීන පන්නයට අනුව විනෝදයට මසුන් ඇල්ලීම සඳහා යයි.  ඒ අවස්ථාවේ සිදුවන අකුසල් කිහිපයෙකි.   වෙන කෙනෙක් විසින් පවසන ලද නිසා ඒ අකුසලය අසංඛාරික වෙයි.  නමුත් මාලුවා පණ ඇති සතෙකි.  ඒ නිසා ඒ සත්වයා අල්ලාගෙන හුස්ම ගැනීමට අපහසුව සමහර විට පැය ගනණක් දුක් විඳියි. ඒ සඳහා ඇති වූ චේතනාවේ පටන් ඌ අල්වා ගන්නා උපක්‍රමය සිතේ පහල වීම් වශයෙන් අකුසල් චිත්ත පරම්පරාවක් පහල වෙයි.  ඒ අකුසල් සිත් පහල වූ සැටියේම මෙය අකුසලයකැයි දැන ක්‍රියාවට නොනැංවීම පුහුනු කරගත යුතුය.  ජීවිතය පුරා අකුසල් එකතු වී අපායට යන්නේ හෝ මිනිසත් බව ලැබුවත් අඩු පාඩු සහිතව උපදින්නේ පෙර කරන ලද පව් පලදෙන නිසාය. 

සත්‍යයත්, අසත්‍යයත් එකිනෙකට විරුද්ධය.  යමෙක් සත්‍යය පිලිගන්නේ නැත්නම් ඔහු පිලිගන්නේ අසත්‍යයයි.  චතුරාර්ය සත්‍යය ධර්මයෝ හරිහැටි නොදන්නා පෘතග්ජනයා ඒ සත්‍යයන් පිලිබඳව වැරදි නිගමන වලට එළඹෙති.   යම්කිසි දෙයකට තෘෂ්ණාව ඇතිවී ඒ වස්තුව ලද හොත් ඇති වන්නේ ප්‍රීතියකි.  මේ ප්‍රීතිය කරණ කොට ගෙන දුක්ඛ සත්‍යයේ සත්‍යය හෙවත් නියම ස්වභාවය නොපෙනී යයි.  මුලාව බිහි වන්නේ මෙලෙසය. ඒ වස්තුව නැතිවුවහොත් ඒ පිලිබඳව ශෝකයක් ඇති වේ.  එයිට වඩා වටිනා හෝ තවත් බොහෝ දේ කල හැකි තවත් වස්තුවක් වෙලඳ පොලට පැමිණි විට එය ලබා ගැනීම සඳහා වෙහෙසෙයි.  මේ කෙලවරක් නැති තන්හාවය.    සාමාන්‍ය මනුශ්‍යයාගේ මේ දුර්වලතාවය ප්‍රයෝජනයට ගෙන වෙලඳ භාණ්ඩ නිපදවන්නෝ නොයෙක් නොයෙක් මාදිලියේ වෙලඳ භාණඩ වෙලඳ පොලට එවති.  ඒ සියල්ලටම මුල තෘෂ්ණාව හැර වෙන යම් දෙයක් නොවේ.  මේ අවිද්‍යාව අභිභවා විද්‍යාව උපදවා ගත යුතුය.  ඉඳුරන් පිනවීමට උපයෝගී වන සියලු දේ අවසානයේ දුක ඇති කරන බව සිහි තබා ගත යුතුය. 

කර්මය පිලිබඳව විශ්වාසයක්, යම්කිසි සිතිවිල්ලක් නිසා ඇති කරවන ප්‍රතිඵලය දැනගත යුතුය.  අවම වශයෙන් සිතා ගත යුතුය.  බුදු රජාණන් වහන්සේගේ ගිහි උපසිකාවක් වන විශාඛා වරක් බුදු රජාණන් වහන්සේගෙන් පහත සඳහන් දානමය කටයුතු සඳහා අවසර පතා සිටියාය. 

1. ස්වාමීන් වහන්සේලාට ස්නානය  සඳහා අවශ්‍ය සළු පිලි පූජාව.

2.ආගන්තුකව පැමිණෙන ස්වාමීන් වහන්සේලාට දාන පූජාව

3. සංචාරක භික්ෂූන්ට දාන පූජාව

4. ගිලන්ව සිටින භික්ෂූන්ට දාන පූජාව

5. ගිලන් වූ භික්ෂන්ට උවටැන කරන  භික්ෂූන්ට දාන පූජාව

6. ගිලන් වූ භික්ෂූන්ට ඖෂධ

7. සංඝයා වහන්සේලාට කැඳ දානය.

8. තෙරණීන් වහන්සේලාට ස්නානය සඳහා සළුපිලි

මේ පූජාව විශාඛා උපාසිකාව ජීවත්ව සිටින තාක් කිරීමට බවත් පවසා සිටියාය.  බුදු රජාණන් වහන්සේ, මෙයින් විශාඛාව කුමක් බලාපොරොත්තු වන්නේදැයි ඇසූ විට, " ස්වාමීනි භාග්‍ය වතුන් වහන්ස, වස්සාන සමය අවසානයේ සතර දෙසින් භික්ෂු සංඝයා වහන්සේලා ඔබ වහන්සේ බැහැ දැක්මට මෙහි පැමිනෙන්නාහ.   ඒ භික්ෂූන් වහන්සේලා ඔබ වහන්සේ සම්ග සතුටු සාමීචියෙහි යෙදෙන අවස්ථා වල 'මේ මේ භික්ෂුන් වහන්සේ අප්වත්විනැයි පවසති.  එවිට ඒ භික්ෂූන් වහන්සේ කොතනක උත්පත්තිය ලද්දේදැයි ඔබ වහන්සේ වදාරන්නෙහිය.  එවිට ඒ භික්ෂ්හුන් වහන්සේ මා විසින් පුදන ලද දානය්, හෝ සළු පිලි පරිහරණය කල බව මම දන්නෙමි.  ඒ අනුස්මරණය මට ගෙනෙන්නේ ඉමහත් ප්‍රීතියකි. එයින් මගේ චිත්ත පාරිශුද්ධිය වැඩෙන්නේය. 

තවත් කොටසක් ලඟදීම.........

Sunday, August 7, 2011

ප්‍රතීත්‍ය සමුත්පාදය( පටිච්ච සමුප්පාදය) …..1


ප්‍රතීත්‍ය සමුත්පාදය, ( පටිච්ච සමුප්පාදය) …..1

අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !

ප්‍රතීත්‍ය සමුප්පාදය (පටිච්ච සමුප්පාදය, dependent origination   ) සහ චතුරාර්ය සත්‍යය යන ධර්මයෝ බුදු දහමේ අරටුව වෙති. මේ ධර්මයන් බුද්ධියෙන් හෝ තර්කයෙන් අවබෝධ කර ගත නොහැක.  ජරා, මරණ ආදී ස්වාභාවික අවස්ථා පිලිබඳව නොයෙක් නොයෙක් දාර්ශනිකයෝ, නොයෙක් නොයෙක්  තරාතිරම් වල මනුශ්‍යයෝ බොහෝ  මත පල කොට ඇත.  කෙනෙක් දෙවියන්ගේ කැමැත්ත අනුව මේ දේවල් සිදුවන බව පැවසූහ.  තවත් කෙනෙක් වෙනත් මතයක් ඉදිරිපත් කලේය.  මෙසේ බලන කල බුද්ධකාලීන සමයේ පවා නිගන්ඨ නාථ පුත්ත, සංජය බෙල්ලට්ඨිපුත්ත, පකුධ කච්චායන, මක්ඛලී ගෝසාල, අජිත කේසකම්භල  වැනි ආගමික නායකයෝ ඔවුනොවුන්ගේ මත ප්‍රචාරය කලහ.  සාමඤ්ඤඵල සූත්‍රය කියවීමෙන් එකල දඹදිව පැවති ආගමික මති මතාන්තර බොහෝ දුරට වටහා ගත හැක.  බුද්ධියක් නොමැති මනුශ්‍යයා ඕනෑම කෙනෙකුගේ මතයක එල්බ ගැනීමට මේ අනුව ඉඩකඩ තිබුණි.  එය එසේම වී ඇත.  අද පවා නග්නව සිටින නා නා ආගම් අදහන මනුශ්‍යයෝ දඹදිව ඇත.  මේ අනුව බුදු රජාණන් වහන්සේ , බුද්ධර්මය ඉතාමත් ගැඹුරු බවත් එය වටහා ගැනීම දුෂ්කර බවත් පවසා ධර්මය නො ඉගැන්වීමට ඉටාගත් අවස්ථාවකුත් බෞද්ධ ඉතිහාසයේ ඇති බව අපි දනිමු.  කෙලවරක් නොමැති සංසාරයේ සැරිසරන අපි කොපමණ බුදුවරුන් හමුවේ ඉපිද සිටියාදැයි අපිම නොදනිමු.  මේ සසර එතරම්ම දිගය.  කොපමණ කලක් අපි අපාගත වී සිටියාදැයි නොදනිමු.  අවිද්‍යාවෙන්, මෝහයෙන් වැසී ගිය සිත් දරා ගෙන සිටි අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය පවත්නා අවදියෙක ශ්‍රී ලංකාව වැනි බුද්ධාගම පවතින රටක ඉපදීමට තරම් වාසනාවන්ත වෙමු.  තථාගතයන් වහන්සේලාට හැක්කේ මග පෙන්වීම පමණය.  කටයුතු කලමනා අප විසින්ම කල යුතුය.  භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියල්ල දත් සේක.  නමුත් උන්වහන්සේ අපට ඉගැන්වූවේ නිවන් දැකීමට අවශ්‍ය ධර්මය පමණය.  බුදු රජාණන් වහන්සේ, උන්වහන්සේ වදාල ධර්මය අවබෝධ කරගත හැක්කේ බුද්ධිමත් පුද්ගලයන්ට පමණක් බව වදාල සේක.  බුද්ධියක් නොමැත්තේ නම් සසර කවර කලෙක කෙලවර වේදැයි  කිසිවෙක් නොදනී.  බොහෝ විද්‍යාඥයෝ මේ භවයේ මුල මැද අග සොයා විවිධ අදහස් පලකරති.  බුදු රජාණන් වහන්සේ එහි මුල මැද අග සෙවීමෙන් කිසිම පලක් නොමැති බවත් කල යුත්තේ හැකි පමණ ඉක්මනින් සසරෙන් ඉවත් වීම බවත් ඊට මාර්ගයත් පැහැදිලිවම වදාල සේක. 

අද දවසේ පවා බුදු රජාණන් වහන්සේ වදාල  පටිච්ච සමුත්පාදය හරිහැටි දන්නෝ අල්පය.  තේරුම් ගැනීමට දුශ්කර මේ ධර්මය පිලිබඳව ඇති පොත් පත්ද ස්වල්පයහ. මේ සටහන ලිවීමට මා උපයෝගී කර ගත්තේ අපවත් වී වදාල රේරුකානේ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේ විසින් රචිත පටිච්ච සමුත්පාද විවරණය, පූජ්‍ය බෝධී භික්ෂූන් වහන්සේ විසින් සංස්කරණය කරන ලද Visuddhi Magga සහ පිරිනිවන් පා වදාල අති  පූජ්‍ය බුරුම ජාතික මහාසි සයදෝව් හිමියන් විසින් රචිත Dependent origination යන ග්‍රන්ථයන්ය.  .   මට හැකි පමණ සරළ සිංහල භාෂාවෙන් එය විස්තර කිරීමට තැත් කරමි.  එහි යම්කිසි දෝශයක් ඇත්නම් සමාවෙන සේක්වා.  මේ ධර්මය ඉගෙන දෘෂ්ටි ජාලයෙන් මිදී සත්‍යය අවබෝධ කර ගන්නා තෙක් සසරෙන් ගැලවීමක් නැත.  එය ඉගෙන ගත හැක්කේද බුද්ධෝත්පාද කාලයෙක පමණකි.  බුද්ධ ශුන්‍ය කාලයෙක් මෙවැනි දහමක් ගැන අසන්නට පවා නොමැත. (චන්දවිමල හිමි ).  එබැවින් සසරෙන් ගැලවීමට කැමැති භවතුන්, මේ ධර්මය ඉගෙන සසර කෙලවර කරගැනීමට අදිටන් කර ගනිත්වා.   

පටිච්ච සමුප්පාදය තේරුම් ගැනීමට ඉතාමත් අපහසුය.  භාවනා කිරීමෙන් එය අවබෝධ කර ගත හැකිය, නමුත් පොත පත කියවීමෙන් ඒ පිලිබඳව යම්කිසි අවබෝධයකට පැමිණිය යුතුය.  එසේ නැත හොත් වැරදි මත වල එල්බ ගැනීමෙන් බොහෝ අකුසල් සිදු වෙයි.  චතුරාර්ය සත්යය අවබෝධ කර ගැනීම අපහසුය.  වෙන කෙනෙකුට ඉගැන්වීම ඊටත් වඩා අපහසුය.  සත්ත්වයෙක් යනු මනෝ භෞතික ස්කන්ධ පහක සංයෝගයක් බව අවබෝධ කර ගැනීම ඉතාමත් අපහසුය.  එය අවබෝධ කර ගැනීම සඳහා බුදු රජාණන් වහන්සේ සතිපට්ඨාන භාවනා ක්‍රමය උගන්වා ඇතත් එය පුහුණු කරන්නෝ විරලයහ.  'මමය, 'මාගේය' යන ආත්ම සංඥාවෙන් යුතුව සත්ත්වයා අකුසල් කර ගනියි.  පුනර්භවය ඇති වන අන්දම තේරුම් ගැනීම ඉතාමත් දුෂ්කරය.    එහෙත් එය අවබෝධ කර ගන්නා තෙක් ගැලවීමක්ද නොමැත.

ඉතා කෙටියෙන් පටිච්ච සමුප්පාදය මෙසේ සඳහන් කල හැකිය.  "මෙය ඇති කල්හි මේ දේ ඇති වේ..."

අවිද්‍යාව හේතුකොට ගෙන සංඛාරා ඇතිවේ.

සංඛාරා හේතුකොට ගෙන විඤ්ඤාණය ඇති වේ.

විඤ්ඤාණය හේතුකොට ගෙන නාමරූප ඇතිවේ.

නාමරූප හේතු කොටගෙන සලායතන ඇතිවේ

සලායතන හේතු කොට ගෙන ඵස්ස හෙවත් ස්පර්ශය ඇති වේ.

ස්පර්ශය හේතු කොට ගෙන වේදනා ඇතිවේ

වේදනා හේතු කොට ගෙන තන්හාව ඇති වේ

තන්හාව හේතු කොට ගෙන උපාදාන ඇති වේ. 

උපාදාන හේතු කොටගෙන භවය ඇති වේ

භවය හේතුකොට ගෙන ජාති ඇති වේ

ජාති හේතු කොට ගෙන ජරා මරණ, දුක්ඛ, දෝමනස්ස සෝක පරිදේව උපායාස ආදී වූ සකල දුක් සමූහයාම ඇති වේ. 

ප්‍රතීත්‍ය සමුත්පාදය හෙවත් පටිච්ච සමුප්පාදය යන වචනය රේරුකානේ චන්දවිමල තෙරුන්වහන්සේ මෙසේ අර්ථ දක්වා ඇත.  "...ගින්න නිසා දුම ඇතිවන්නාක් සේද, ගස නිසා ඵල ඇතිවන්නාක් මෙන්ද, තමන් නිසා පෙර නොතිබූ දෙයක් ඇතිවන්නා වූ ධර්මයට පටිච්ච සමුප්පාදයයි කියනු ලැබේ. 

අවිද්‍යාව හෙවත් අවිජ්ජා යනු කුමක්ද?  අවිජ්ජා යනු චතුරාර්ය සත්‍යය  පිලිබඳව නොදැනීමයි. කොටින්ම කිවහොත් මෝහයයි.  අසත්‍ය මායාකාරී දේවල් සත්‍ය ලෙස පිලිගැනීමයි.  කොලපාට කන්නාඩියක් දමා අශ්වයෙක් වියලි තණ පිටියකට යැවුව හොත් ඌ වියලි තණ  වුවද අනුභව කරනු ඇත.  මෝහය හෙවත් අවිද්‍යාවද ඒ වගේය.   ඇස් කන් නාසාදී ඉන්ද්‍රියයන්ගෙන් දැනෙන සංඤ්ඤා සුවයක් එලවන්නේ නම් කෙනෙක් එය තදින් බඳා ගනී.  ඒවා අනිත්‍ය වශයෙනුත්, දුක් වශයෙනුත් අනාත්ම වශයෙනුත් දකින තෙක් මේ සසරෙන් ගැලවිය නොහැක.  අනිත්‍ය වන්නේ කෙසේද?  හැමදාම නොපවතින බැවින් එය අනිත්‍ය වෙයි.  අනිත්‍ය නම් සිදුවන්නේ කුමක්ද?   සිතට සතුටු ගෙනදෙන දෙයක් නැති වීම ගැන දුක ඇති වෙයි.   අනාත්ම වන්නේ කෙලෙසින්ද?   තමාගේ වසඟයේ පවත්වා ගැනීමක් නොමැති බැවින් තවත් දුක ඇති වේ එයට අයිති වාසි කම් කීමද අපහසුය.    දුක්ඛ යන පාලි වචනය පැහැදිලි ලෙස වෙන හාෂාවකට පෙරලිය නොහැකි බව පාලි වියතුන් පවසති.  ඒ වචනය, දුක, නොසතුටු බව, දොම්නස, අසතුට ආදී තේරුම් සහිත විශාල අරුතක් ඇති වචනයක් ලෙස අපි තේරුම් ගත යුතුය. 

අපි ජීවත්වන මේ කාල පරිච්ඡේදය මිථ්‍යා මත වලින් ගහන වූ කාල පරිච්ඡේදයකි.  මරණින් මතු ඉපදීමක් නැත.  පින් පවු කියා දෙයක් නැත යනාදී වීශ්වාසයන්ගෙන් යුතු 'බෞද්ධයෝද' සිටිති.  සිතට සුව ගෙන දෙන්නා වූ, රූප වල,  ශබ්ද වල,  දිවට ඉතා රසවත් වූ ආහාර පාන වල, යනාදී වශයෙන් එල්බ ගෙන ඒවායේ බැස ගනිති.  ඒවා සතුට ගෙන දෙන නිසා දුකක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කරති.  ඒවා නැති වූ කල නැවත ලබා ගැනීමට් තවත් ප්‍රයත්න දරති.  නොයෙක් අන්දමේ දුෂ්චරිත කරති.  නැති වූ දේ ගැන ඇති වන තෘෂ්ණාව නිසා මේ සියල්ල සිදු වේ.  සියලු දේ අනිත්‍ය බවත්, අනිත්‍ය නිසා දුක් සහිත බවත්, මාගේය, මමය කියා එල්බ ගැනීමට නොහැකි  නිසා අනාත්ම බවත් සතිපට්ඨාන භාවනා පුහුනුවෙන් අවබෝධ කර ගත යුතුය.    බුදු රජාණන් වහන්සේගේ ධර්මය ඕපනයිකෝ' වන්නේ මේ ජීවතයේදීම, ඒ ජීවිතයට පමුණුවා ගෙන අවබෝධ කිරීම බව බුදු රජාණන් වහන්සේ විසින් පැහැදිලි  ලෙස දේශනා කොට ඇත.  විපස්සනා භාවනාව පුහුනු කරන විට අවිද්‍යාව ක්‍රමයෙන් නැති වී යන බව මහාසි සයදෝව් හිමියන් ප්‍රකාශ කොට ඇත.  අවිද්‍යාව නැසෙන විට සත්‍යය අවබෝධ වන්නේය.  උන්වහන්සේ දහස් ගනන් ජනයා මේ භාවනාවට පුහුනු කොට ඇත.  උදහරණයක් වශයෙන් දුම්පානය දෙස බලන්න.  එයට පුරුදු වූ තැනැත්තාට දුම් පානය සැපයකි.  එහි අනර්ථ භාවය පෙනෙන්නේ නැත.  පෙනුනත් එය නොකර බැරි තත්වයකට පත්ව ඇත.  බුලත් සැපීමද එසේමය. සුරාපානයද  එසේමය.  තෘෂ්ණාව කෙනෙක් අන්ධ කරවා දුක සැපයක් සේ පෙන්වයි.  මෙයින් මුලාවන පෘතග්ජනයා සත්‍යය නොදැන, ඒ දුක ගෙනදෙන්නා වූ දෙයටම ඇලුම් කොට සසරෙහිම සැරිසරයි. 

මේ සිද්ධීන්හි මූලය වන්නේ තෘෂ්ණාවය.  පුනරුත්පත්තියේ මූලෝත්පාදයද, එලෙසම පියවුනු තෘෂ්ණාවයි.  මේ ගැන පොත පතින් ලද දැනුමක් ඇතත්, එය අවබෝධයෙන් වටහා ගන්නා තුරු එයින් මිදීමක් නොමැත.   සමහර දෙනෙක් නිවණ යම්කිසි පාරාදීසයක් ලෙස සලකති.  නිවණ විස්තර කල හැක්කේ නිවණට පිවිසුන කෙනෙකුට පමණකි. සම්මා සම්බුදු රජාණන් වහන්සේ සදාකාලික සුවයක් ඇති නිවණට පිවිසීමට මග කියා දුන්නේ සත්ත්වයාට ඇති අනුකම්පාව නිසාය.   ඉමහත් වූ ආත්ම සංඥාව ඇති අය නිවණට භයක් දක්වති.  ඒ අවිද්‍යාව නිසාය.  ඔවුන්ට එය මරණය හා සමානය.  නමුත් නිවණ පිලිබඳව ශාස්තෲන් වහන්සේගේ මග පෙන්වීම අවශ්‍යය.  සථාර්ථය නොදන්නා සමහරු කරුණා., මෛත්‍රී, දාන ශීල, සම්ථ භාවනා ආදී පුණ්‍ය කර්ම කිරීමෙන් පමණක් නිවණට පිවිසිය හැකි බව විශ්වාස කරති.  එවැනි පුණ්‍ය කර්ම වලින් දිව්‍ය ලෝක වල සුවසේ දිගුකල් විසීම ආදී සුවදායක ප්‍රතිඵල ලැබුණද නිවණට පිවිසීමට විපස්සනා භාවනා කිරීමෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අත්දැකීම් වශයෙන් අවබෝධ කල යුතුමය. 

ඊලඟ කොටස ලඟදීම....