Thursday, August 11, 2011

ප්‍රතීත්‍ය සමුත්පාදය, ( පටිච්ච සමුප්පාදය) …..2


ප්‍රතීත්‍ය සමුත්පාදය, ( පටිච්ච සමුප්පාදය) …..2

අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !

අවිද්‍යාව හේතු කොට ගෙන සංඛාරා ඇති වේ.....

ලොව ජීවත් වන බොහෝ ජනයා ජීවත් වන්නේ ඉඳුරන් පිනවීම සඳහාය. ඔවුන් සිතා සිටින්නේ ජීවිතයේ හරය ඉඳුරන් පිණවීම බවය.  නිවණ සහ පරලොව ගැන දන්නා ස්වල්ප දෙනා පමණක් පින් දහම් කිරීමේ නියැලෙති.  මුදල් හදල් වතුපිටි එකතු කර ගැනීම ජීවිතයේ හරය කොට ගත් ඇත්තෝ බෞද්ධ රටක් වන අපේ ලංකාවේද අපමණය.  මුදල් එකතු කර ගැනීමට ඔවුන් නොයෙක් අන්දමින්., කටයුතු කරති.  ඔවුන්ට සාරධර්ම නැත.  නීතියක්ද නැත.  අනුකම්පා දයා මෛත්‍රී යන බෝසත් ගුණාංගද නැත. කෙසේ හෝ සිය මඩිය තර වීනම් අවශ්‍ය එපමණකි.  පසුවට වෙන දේ ගැන සිතන්නේද නැත. කවදා හෝ මිය යන බව සිතන්නේද නැත.   තමා සදාතනිකව ජීවත් වෙයි යන හැඟීම් වලින් යුතුව සියලු දේ කරයි.    ඒ ගැන සදාචාරවත් ලෙස කථා කිරීමට පවා අද දවසේ නොපිලිවන.  ඔවුන් අනන්ත අප්‍රමාණ ප්‍රේතාත්මවල තිරශ්චීන යෝනි, නිරය වැනි දුක් සහිත භවයන්හි   උත්පත්තිය ලබා කල්ප ගනන් දුක් විඳිති.  තන්හා සැඩ පහර තරණය නම් වූ වෙබ් අඩවියේ මෙවැනි දුෂ්චරිත වලින් යුතු දේශපාලන්ඥයින් ඇතුලු වෙනත් අධාර්මිකව විසූ අය ඉපදී දුක් විඳින අන්දම යම් කිසි ලෙසකට විස්තර කොට ඇත. 

නිදහසෙන් පසු මේ ලංකාවේ බිහි වූ කිසිම දේශපාලනඥයෙක් නොකටයුතු දේවල් නොකොට ඇතැයි කිසිවෙකුටක් කිව නොහැක.  බලය අයුතු ලෙස පාවිච්චි කරන්නෝ අනන්තයහ.  මේ සියල්ල සිදු   වන්නේ කුමක් නිසාද?  ඒ තෘෂ්ණාව නිසාය.  බල ලෝභය නිසා මුසාවාද කිය වේ.  අසාධාරණ ක්‍රියා සිදු වේ.  නොපණත් කම් සිදු වේ.  කාමුක අපරාධ සිදු වේ.  මේ සිදු වන්නේ අවිද්‍යාව නිසාය.  සංඛාරා යනු 'වෙන කිසිවක් නොව සිතිවිලිමය.  "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි...." වශයෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කලේද  මේ සිද්ධාන්තයමය  ලොව ඇති සියලු බල වේගයන්ටම වඩා බලවන්නේද සිතුවිලිමය.    සිතිවිලි පැන නැගුන පසු කයෙන් වචනයෙන් හෝ සිතෙන් තවත් දේවල් පැන නගිනු ඇත.  ප්‍රාණඝාතයක් හෝ වේවා,  දානමය කටයුත්තක් වේවා, පැන නගින්නේ එකලෙසය.  චේතනාවකට පෙරාතුව ඒ පිලිබඳව පූර්ව කල්පනයක් පහල වෙයි.  සංඛාරා කියන්නේද  ඒ පූර්ව කල්පනයටය.  ඒ පූර්ව කල්පනය, කර්මය වශයෙන්ද හැඳින් විය හැක.  එවිට ඒ පූර්ව කල්පනය ක්‍රියාන්විත කිරීම වචනයෙන්, කයෙන් හෝ සිතෙන් සිදු වෙයි.  දන් දීම් ආදී පුණ්‍ය ක්‍රියාවන්හි හෝ ප්‍රාණඝාතාදී අපුණ්‍ය ක්‍රියාවන්හිද චේතනාවන් පැනනගින්නේ මේ අන්දමටය.  පහල වන සිතිවිලි අනුව සිතිවිල තුන් වැදෑරුම් වෙයි.  1. පුඤ්ඤාභිසංඛාර 2. අපුඤ්ඤාභිසංඛාර 3. අනේඤ්ජාභිසංඛාර වශයෙන් එ විස්තර කෙරෙයි.  පුඤ්ඤ යන වචනය අපි කාටත් පුරුදු වචනයකි.  සාමාන්‍ය තේරුම 'පින' වශයෙන් වුවද හැඳින්විය හැක.  'අභිසංඛාර' යනු යම්කිසි ක්‍රියාවකට තුඩුදී ඉපදෙන සිතිවිල්ලයි.  පුඤ්ඤාභිසංඛාර යනු සිත් පිරිසිදු කරන ක්‍රියාවකට තුඩුදෙන සිතිවිල්ලයි.  දානය පුඤ්ඤාභිසංඛාර සිතිවීල්ලකි. පිරිසිදු සිතකින් දානයක් දීමෙන් සිත පිරිසිදු වේ.  චේතනාව කර්මය වන හෙයින් මෙයද කර්මයෙකි.  පුණ්‍ය කර්මයෙකි. එහි ආනිසංසද යහපත්ය.  මෙලොව වශයෙන් සැපසම්පත් ලැබීමට හෝ නොයෙක් සැපසම්පත් සහිතව දෙව් ලොවක ඉපදීමට හෝ ඒ පුණ්‍ය කර්මය හේතු වාසනා වෙයි.  ශීලය සහ භාවනාද, පුඤ්ඤාභිසංඛාර ගණයට අයත් කර්මයන්ය.  දානයක උපරිම ඵලය නෙලා ගැනීමට නම් කිසිම ද්වේශයක්, හෝ දන් දුන් දෙයට කිසිම තණ්හාවක් නැතිව එය කල යුතුය.  දානයට පෙරද, දානය දෙන අතරතුරද,  ඊට පසුවද පිරිසිදු සිතෙන් කිසි තෘෂ්ණාවක් නොමැතිව කලයුතුය.   එසේම ඒ දානය ස්වේච්ඡා සිතකින් දුනි නම් එහි ආනිසංසද බලවත්ය.  ඊට අසංඛාරික කුසලයක් වශයෙන් හැඳින්වේ.  වෙන කෙනෙක් විසින් දානය දීමට සිත යොමු කලේ නම් ඊට සසංඛාරික කුසලයක් වශයෙන් හැඳින් වේ.  සිතේ හට ගන්නා වූ සිතිවිලි අතර අකුසල කර්ම සාමාන්‍යයෙන් වැඩිය. ඒ ධර්මය හරිහැටි නොදත් අය වැඩි නිසාය.  අකුසල කර්ම කලවුන් මෙලොව ඉපදී ඇත්නම්, ඔවුහු දුප්පත්ව ඉපදෙති, විරූපිව උපදිති, රෝගීව ඉපදෙති. එසේත් නැත්නම් ප්‍රේත භවයෙක, හෝ තිරිසන් ලෝකයේ හෝ කර්මයේ බරපතල කමේ අන්දමට නිරයේ හෝ උපත ලබති. 

සියලු අකුසල කර්ම වල මූලය වන්නේ ලෝභ ද්වේශ සහ මෝහය යන කරුණු වෙයි.  සමහරු මේ මූලික කරුණු හැරුනු විට ඒ සමග වැරදි මතද හදා ගනිති.  මේ සිතුවිලි අනර්ථකාමී වෙයි.  කෝපය, අවිශ්වාසය,  බිය සැක කිරීම ආදී සිතිවිලි වල මුල ද්වේශය වෙයි.     ලෝභ මූල අකුසල් වැරදි මත සහිතවද, අසංඛාරික හෝ සසංඛාරික වද, සිතේ ඉපදිය හැක.  එසේම ඒවා ප්‍රීතිමත්වද (සෝමනස්ස සහගතම්) ප්‍රීතියක් නැතුව වුවද ඉපදිය හැක.    විචිකිච්චා හෙවත් සැකයද උද්දච්ච හෙවත් චංචල්භාවයද මෝහය නිසා ඇති වෙයි.  විචිකිච්චා යනු බුදු රජාණන් වහන්සේ ගැන හා උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන ඇති අවිශ්වාසයයි.   චංචල භාවය (උද්දච්ච ) යනු සිතේ ඇති 'වැනීමයි' (මඩේ සිටවූ ඉන්නක් මෙන් )කෙසේ හෝ චංචල භාවය අපාය, ප්‍රේත, තිරිසන් ආදී ලෝකවල උපතකට නොදමයි.    

සාමාන්‍ය මනුශ්‍යයාගේ ස්වභාවය අකුසල් කෙරෙහි නැමී පවතී.  බුදු රජාණන් වහන්සේ ජීවමාන කාලයේ එක්තරා ගිහියෙක් ශීල සම්පන්න භික්ෂූන්ට නින්දා අපහාස කලේය.   ඒ අකුසල් විපාක දීමක් වශයෙන් ඒ භික්ෂූන්ගේම වැසිකිලියේ ප්‍රේතයෙක්ව ඉපදී මුගලන් රහතන් වහන්සේ දිවැසින් දක්නා ලදුව,  අසත්පුරුෂ ආශ්‍රයෙන් තමා එසේ කල බව ඒ ප්‍රේතයා පැවසීය.  ආශ්‍රයෙන් කෙනෙක් නොමඟ ගිය හැකිය.  පවට බිය ඇති යම් කෙනෙක් යහලුවන්ගේ බල කිරීමට, නවීන පන්නයට අනුව විනෝදයට මසුන් ඇල්ලීම සඳහා යයි.  ඒ අවස්ථාවේ සිදුවන අකුසල් කිහිපයෙකි.   වෙන කෙනෙක් විසින් පවසන ලද නිසා ඒ අකුසලය අසංඛාරික වෙයි.  නමුත් මාලුවා පණ ඇති සතෙකි.  ඒ නිසා ඒ සත්වයා අල්ලාගෙන හුස්ම ගැනීමට අපහසුව සමහර විට පැය ගනණක් දුක් විඳියි. ඒ සඳහා ඇති වූ චේතනාවේ පටන් ඌ අල්වා ගන්නා උපක්‍රමය සිතේ පහල වීම් වශයෙන් අකුසල් චිත්ත පරම්පරාවක් පහල වෙයි.  ඒ අකුසල් සිත් පහල වූ සැටියේම මෙය අකුසලයකැයි දැන ක්‍රියාවට නොනැංවීම පුහුනු කරගත යුතුය.  ජීවිතය පුරා අකුසල් එකතු වී අපායට යන්නේ හෝ මිනිසත් බව ලැබුවත් අඩු පාඩු සහිතව උපදින්නේ පෙර කරන ලද පව් පලදෙන නිසාය. 

සත්‍යයත්, අසත්‍යයත් එකිනෙකට විරුද්ධය.  යමෙක් සත්‍යය පිලිගන්නේ නැත්නම් ඔහු පිලිගන්නේ අසත්‍යයයි.  චතුරාර්ය සත්‍යය ධර්මයෝ හරිහැටි නොදන්නා පෘතග්ජනයා ඒ සත්‍යයන් පිලිබඳව වැරදි නිගමන වලට එළඹෙති.   යම්කිසි දෙයකට තෘෂ්ණාව ඇතිවී ඒ වස්තුව ලද හොත් ඇති වන්නේ ප්‍රීතියකි.  මේ ප්‍රීතිය කරණ කොට ගෙන දුක්ඛ සත්‍යයේ සත්‍යය හෙවත් නියම ස්වභාවය නොපෙනී යයි.  මුලාව බිහි වන්නේ මෙලෙසය. ඒ වස්තුව නැතිවුවහොත් ඒ පිලිබඳව ශෝකයක් ඇති වේ.  එයිට වඩා වටිනා හෝ තවත් බොහෝ දේ කල හැකි තවත් වස්තුවක් වෙලඳ පොලට පැමිණි විට එය ලබා ගැනීම සඳහා වෙහෙසෙයි.  මේ කෙලවරක් නැති තන්හාවය.    සාමාන්‍ය මනුශ්‍යයාගේ මේ දුර්වලතාවය ප්‍රයෝජනයට ගෙන වෙලඳ භාණ්ඩ නිපදවන්නෝ නොයෙක් නොයෙක් මාදිලියේ වෙලඳ භාණඩ වෙලඳ පොලට එවති.  ඒ සියල්ලටම මුල තෘෂ්ණාව හැර වෙන යම් දෙයක් නොවේ.  මේ අවිද්‍යාව අභිභවා විද්‍යාව උපදවා ගත යුතුය.  ඉඳුරන් පිනවීමට උපයෝගී වන සියලු දේ අවසානයේ දුක ඇති කරන බව සිහි තබා ගත යුතුය. 

කර්මය පිලිබඳව විශ්වාසයක්, යම්කිසි සිතිවිල්ලක් නිසා ඇති කරවන ප්‍රතිඵලය දැනගත යුතුය.  අවම වශයෙන් සිතා ගත යුතුය.  බුදු රජාණන් වහන්සේගේ ගිහි උපසිකාවක් වන විශාඛා වරක් බුදු රජාණන් වහන්සේගෙන් පහත සඳහන් දානමය කටයුතු සඳහා අවසර පතා සිටියාය. 

1. ස්වාමීන් වහන්සේලාට ස්නානය  සඳහා අවශ්‍ය සළු පිලි පූජාව.

2.ආගන්තුකව පැමිණෙන ස්වාමීන් වහන්සේලාට දාන පූජාව

3. සංචාරක භික්ෂූන්ට දාන පූජාව

4. ගිලන්ව සිටින භික්ෂූන්ට දාන පූජාව

5. ගිලන් වූ භික්ෂන්ට උවටැන කරන  භික්ෂූන්ට දාන පූජාව

6. ගිලන් වූ භික්ෂූන්ට ඖෂධ

7. සංඝයා වහන්සේලාට කැඳ දානය.

8. තෙරණීන් වහන්සේලාට ස්නානය සඳහා සළුපිලි

මේ පූජාව විශාඛා උපාසිකාව ජීවත්ව සිටින තාක් කිරීමට බවත් පවසා සිටියාය.  බුදු රජාණන් වහන්සේ, මෙයින් විශාඛාව කුමක් බලාපොරොත්තු වන්නේදැයි ඇසූ විට, " ස්වාමීනි භාග්‍ය වතුන් වහන්ස, වස්සාන සමය අවසානයේ සතර දෙසින් භික්ෂු සංඝයා වහන්සේලා ඔබ වහන්සේ බැහැ දැක්මට මෙහි පැමිනෙන්නාහ.   ඒ භික්ෂූන් වහන්සේලා ඔබ වහන්සේ සම්ග සතුටු සාමීචියෙහි යෙදෙන අවස්ථා වල 'මේ මේ භික්ෂුන් වහන්සේ අප්වත්විනැයි පවසති.  එවිට ඒ භික්ෂූන් වහන්සේ කොතනක උත්පත්තිය ලද්දේදැයි ඔබ වහන්සේ වදාරන්නෙහිය.  එවිට ඒ භික්ෂ්හුන් වහන්සේ මා විසින් පුදන ලද දානය්, හෝ සළු පිලි පරිහරණය කල බව මම දන්නෙමි.  ඒ අනුස්මරණය මට ගෙනෙන්නේ ඉමහත් ප්‍රීතියකි. එයින් මගේ චිත්ත පාරිශුද්ධිය වැඩෙන්නේය. 

තවත් කොටසක් ලඟදීම.........

Sunday, August 7, 2011

ප්‍රතීත්‍ය සමුත්පාදය( පටිච්ච සමුප්පාදය) …..1


ප්‍රතීත්‍ය සමුත්පාදය, ( පටිච්ච සමුප්පාදය) …..1

අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !

ප්‍රතීත්‍ය සමුප්පාදය (පටිච්ච සමුප්පාදය, dependent origination   ) සහ චතුරාර්ය සත්‍යය යන ධර්මයෝ බුදු දහමේ අරටුව වෙති. මේ ධර්මයන් බුද්ධියෙන් හෝ තර්කයෙන් අවබෝධ කර ගත නොහැක.  ජරා, මරණ ආදී ස්වාභාවික අවස්ථා පිලිබඳව නොයෙක් නොයෙක් දාර්ශනිකයෝ, නොයෙක් නොයෙක්  තරාතිරම් වල මනුශ්‍යයෝ බොහෝ  මත පල කොට ඇත.  කෙනෙක් දෙවියන්ගේ කැමැත්ත අනුව මේ දේවල් සිදුවන බව පැවසූහ.  තවත් කෙනෙක් වෙනත් මතයක් ඉදිරිපත් කලේය.  මෙසේ බලන කල බුද්ධකාලීන සමයේ පවා නිගන්ඨ නාථ පුත්ත, සංජය බෙල්ලට්ඨිපුත්ත, පකුධ කච්චායන, මක්ඛලී ගෝසාල, අජිත කේසකම්භල  වැනි ආගමික නායකයෝ ඔවුනොවුන්ගේ මත ප්‍රචාරය කලහ.  සාමඤ්ඤඵල සූත්‍රය කියවීමෙන් එකල දඹදිව පැවති ආගමික මති මතාන්තර බොහෝ දුරට වටහා ගත හැක.  බුද්ධියක් නොමැති මනුශ්‍යයා ඕනෑම කෙනෙකුගේ මතයක එල්බ ගැනීමට මේ අනුව ඉඩකඩ තිබුණි.  එය එසේම වී ඇත.  අද පවා නග්නව සිටින නා නා ආගම් අදහන මනුශ්‍යයෝ දඹදිව ඇත.  මේ අනුව බුදු රජාණන් වහන්සේ , බුද්ධර්මය ඉතාමත් ගැඹුරු බවත් එය වටහා ගැනීම දුෂ්කර බවත් පවසා ධර්මය නො ඉගැන්වීමට ඉටාගත් අවස්ථාවකුත් බෞද්ධ ඉතිහාසයේ ඇති බව අපි දනිමු.  කෙලවරක් නොමැති සංසාරයේ සැරිසරන අපි කොපමණ බුදුවරුන් හමුවේ ඉපිද සිටියාදැයි අපිම නොදනිමු.  මේ සසර එතරම්ම දිගය.  කොපමණ කලක් අපි අපාගත වී සිටියාදැයි නොදනිමු.  අවිද්‍යාවෙන්, මෝහයෙන් වැසී ගිය සිත් දරා ගෙන සිටි අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය පවත්නා අවදියෙක ශ්‍රී ලංකාව වැනි බුද්ධාගම පවතින රටක ඉපදීමට තරම් වාසනාවන්ත වෙමු.  තථාගතයන් වහන්සේලාට හැක්කේ මග පෙන්වීම පමණය.  කටයුතු කලමනා අප විසින්ම කල යුතුය.  භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියල්ල දත් සේක.  නමුත් උන්වහන්සේ අපට ඉගැන්වූවේ නිවන් දැකීමට අවශ්‍ය ධර්මය පමණය.  බුදු රජාණන් වහන්සේ, උන්වහන්සේ වදාල ධර්මය අවබෝධ කරගත හැක්කේ බුද්ධිමත් පුද්ගලයන්ට පමණක් බව වදාල සේක.  බුද්ධියක් නොමැත්තේ නම් සසර කවර කලෙක කෙලවර වේදැයි  කිසිවෙක් නොදනී.  බොහෝ විද්‍යාඥයෝ මේ භවයේ මුල මැද අග සොයා විවිධ අදහස් පලකරති.  බුදු රජාණන් වහන්සේ එහි මුල මැද අග සෙවීමෙන් කිසිම පලක් නොමැති බවත් කල යුත්තේ හැකි පමණ ඉක්මනින් සසරෙන් ඉවත් වීම බවත් ඊට මාර්ගයත් පැහැදිලිවම වදාල සේක. 

අද දවසේ පවා බුදු රජාණන් වහන්සේ වදාල  පටිච්ච සමුත්පාදය හරිහැටි දන්නෝ අල්පය.  තේරුම් ගැනීමට දුශ්කර මේ ධර්මය පිලිබඳව ඇති පොත් පත්ද ස්වල්පයහ. මේ සටහන ලිවීමට මා උපයෝගී කර ගත්තේ අපවත් වී වදාල රේරුකානේ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේ විසින් රචිත පටිච්ච සමුත්පාද විවරණය, පූජ්‍ය බෝධී භික්ෂූන් වහන්සේ විසින් සංස්කරණය කරන ලද Visuddhi Magga සහ පිරිනිවන් පා වදාල අති  පූජ්‍ය බුරුම ජාතික මහාසි සයදෝව් හිමියන් විසින් රචිත Dependent origination යන ග්‍රන්ථයන්ය.  .   මට හැකි පමණ සරළ සිංහල භාෂාවෙන් එය විස්තර කිරීමට තැත් කරමි.  එහි යම්කිසි දෝශයක් ඇත්නම් සමාවෙන සේක්වා.  මේ ධර්මය ඉගෙන දෘෂ්ටි ජාලයෙන් මිදී සත්‍යය අවබෝධ කර ගන්නා තෙක් සසරෙන් ගැලවීමක් නැත.  එය ඉගෙන ගත හැක්කේද බුද්ධෝත්පාද කාලයෙක පමණකි.  බුද්ධ ශුන්‍ය කාලයෙක් මෙවැනි දහමක් ගැන අසන්නට පවා නොමැත. (චන්දවිමල හිමි ).  එබැවින් සසරෙන් ගැලවීමට කැමැති භවතුන්, මේ ධර්මය ඉගෙන සසර කෙලවර කරගැනීමට අදිටන් කර ගනිත්වා.   

පටිච්ච සමුප්පාදය තේරුම් ගැනීමට ඉතාමත් අපහසුය.  භාවනා කිරීමෙන් එය අවබෝධ කර ගත හැකිය, නමුත් පොත පත කියවීමෙන් ඒ පිලිබඳව යම්කිසි අවබෝධයකට පැමිණිය යුතුය.  එසේ නැත හොත් වැරදි මත වල එල්බ ගැනීමෙන් බොහෝ අකුසල් සිදු වෙයි.  චතුරාර්ය සත්යය අවබෝධ කර ගැනීම අපහසුය.  වෙන කෙනෙකුට ඉගැන්වීම ඊටත් වඩා අපහසුය.  සත්ත්වයෙක් යනු මනෝ භෞතික ස්කන්ධ පහක සංයෝගයක් බව අවබෝධ කර ගැනීම ඉතාමත් අපහසුය.  එය අවබෝධ කර ගැනීම සඳහා බුදු රජාණන් වහන්සේ සතිපට්ඨාන භාවනා ක්‍රමය උගන්වා ඇතත් එය පුහුණු කරන්නෝ විරලයහ.  'මමය, 'මාගේය' යන ආත්ම සංඥාවෙන් යුතුව සත්ත්වයා අකුසල් කර ගනියි.  පුනර්භවය ඇති වන අන්දම තේරුම් ගැනීම ඉතාමත් දුෂ්කරය.    එහෙත් එය අවබෝධ කර ගන්නා තෙක් ගැලවීමක්ද නොමැත.

ඉතා කෙටියෙන් පටිච්ච සමුප්පාදය මෙසේ සඳහන් කල හැකිය.  "මෙය ඇති කල්හි මේ දේ ඇති වේ..."

අවිද්‍යාව හේතුකොට ගෙන සංඛාරා ඇතිවේ.

සංඛාරා හේතුකොට ගෙන විඤ්ඤාණය ඇති වේ.

විඤ්ඤාණය හේතුකොට ගෙන නාමරූප ඇතිවේ.

නාමරූප හේතු කොටගෙන සලායතන ඇතිවේ

සලායතන හේතු කොට ගෙන ඵස්ස හෙවත් ස්පර්ශය ඇති වේ.

ස්පර්ශය හේතු කොට ගෙන වේදනා ඇතිවේ

වේදනා හේතු කොට ගෙන තන්හාව ඇති වේ

තන්හාව හේතු කොට ගෙන උපාදාන ඇති වේ. 

උපාදාන හේතු කොටගෙන භවය ඇති වේ

භවය හේතුකොට ගෙන ජාති ඇති වේ

ජාති හේතු කොට ගෙන ජරා මරණ, දුක්ඛ, දෝමනස්ස සෝක පරිදේව උපායාස ආදී වූ සකල දුක් සමූහයාම ඇති වේ. 

ප්‍රතීත්‍ය සමුත්පාදය හෙවත් පටිච්ච සමුප්පාදය යන වචනය රේරුකානේ චන්දවිමල තෙරුන්වහන්සේ මෙසේ අර්ථ දක්වා ඇත.  "...ගින්න නිසා දුම ඇතිවන්නාක් සේද, ගස නිසා ඵල ඇතිවන්නාක් මෙන්ද, තමන් නිසා පෙර නොතිබූ දෙයක් ඇතිවන්නා වූ ධර්මයට පටිච්ච සමුප්පාදයයි කියනු ලැබේ. 

අවිද්‍යාව හෙවත් අවිජ්ජා යනු කුමක්ද?  අවිජ්ජා යනු චතුරාර්ය සත්‍යය  පිලිබඳව නොදැනීමයි. කොටින්ම කිවහොත් මෝහයයි.  අසත්‍ය මායාකාරී දේවල් සත්‍ය ලෙස පිලිගැනීමයි.  කොලපාට කන්නාඩියක් දමා අශ්වයෙක් වියලි තණ පිටියකට යැවුව හොත් ඌ වියලි තණ  වුවද අනුභව කරනු ඇත.  මෝහය හෙවත් අවිද්‍යාවද ඒ වගේය.   ඇස් කන් නාසාදී ඉන්ද්‍රියයන්ගෙන් දැනෙන සංඤ්ඤා සුවයක් එලවන්නේ නම් කෙනෙක් එය තදින් බඳා ගනී.  ඒවා අනිත්‍ය වශයෙනුත්, දුක් වශයෙනුත් අනාත්ම වශයෙනුත් දකින තෙක් මේ සසරෙන් ගැලවිය නොහැක.  අනිත්‍ය වන්නේ කෙසේද?  හැමදාම නොපවතින බැවින් එය අනිත්‍ය වෙයි.  අනිත්‍ය නම් සිදුවන්නේ කුමක්ද?   සිතට සතුටු ගෙනදෙන දෙයක් නැති වීම ගැන දුක ඇති වෙයි.   අනාත්ම වන්නේ කෙලෙසින්ද?   තමාගේ වසඟයේ පවත්වා ගැනීමක් නොමැති බැවින් තවත් දුක ඇති වේ එයට අයිති වාසි කම් කීමද අපහසුය.    දුක්ඛ යන පාලි වචනය පැහැදිලි ලෙස වෙන හාෂාවකට පෙරලිය නොහැකි බව පාලි වියතුන් පවසති.  ඒ වචනය, දුක, නොසතුටු බව, දොම්නස, අසතුට ආදී තේරුම් සහිත විශාල අරුතක් ඇති වචනයක් ලෙස අපි තේරුම් ගත යුතුය. 

අපි ජීවත්වන මේ කාල පරිච්ඡේදය මිථ්‍යා මත වලින් ගහන වූ කාල පරිච්ඡේදයකි.  මරණින් මතු ඉපදීමක් නැත.  පින් පවු කියා දෙයක් නැත යනාදී වීශ්වාසයන්ගෙන් යුතු 'බෞද්ධයෝද' සිටිති.  සිතට සුව ගෙන දෙන්නා වූ, රූප වල,  ශබ්ද වල,  දිවට ඉතා රසවත් වූ ආහාර පාන වල, යනාදී වශයෙන් එල්බ ගෙන ඒවායේ බැස ගනිති.  ඒවා සතුට ගෙන දෙන නිසා දුකක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කරති.  ඒවා නැති වූ කල නැවත ලබා ගැනීමට් තවත් ප්‍රයත්න දරති.  නොයෙක් අන්දමේ දුෂ්චරිත කරති.  නැති වූ දේ ගැන ඇති වන තෘෂ්ණාව නිසා මේ සියල්ල සිදු වේ.  සියලු දේ අනිත්‍ය බවත්, අනිත්‍ය නිසා දුක් සහිත බවත්, මාගේය, මමය කියා එල්බ ගැනීමට නොහැකි  නිසා අනාත්ම බවත් සතිපට්ඨාන භාවනා පුහුනුවෙන් අවබෝධ කර ගත යුතුය.    බුදු රජාණන් වහන්සේගේ ධර්මය ‘ඕපනයිකෝ' වන්නේ මේ ජීවතයේදීම, ඒ ජීවිතයට පමුණුවා ගෙන අවබෝධ කිරීම බව බුදු රජාණන් වහන්සේ විසින් පැහැදිලි  ලෙස දේශනා කොට ඇත.  විපස්සනා භාවනාව පුහුනු කරන විට අවිද්‍යාව ක්‍රමයෙන් නැති වී යන බව මහාසි සයදෝව් හිමියන් ප්‍රකාශ කොට ඇත.  අවිද්‍යාව නැසෙන විට සත්‍යය අවබෝධ වන්නේය.  උන්වහන්සේ දහස් ගනන් ජනයා මේ භාවනාවට පුහුනු කොට ඇත.  උදහරණයක් වශයෙන් දුම්පානය දෙස බලන්න.  එයට පුරුදු වූ තැනැත්තාට දුම් පානය සැපයකි.  එහි අනර්ථ භාවය පෙනෙන්නේ නැත.  පෙනුනත් එය නොකර බැරි තත්වයකට පත්ව ඇත.  බුලත් සැපීමද එසේමය. සුරාපානයද  එසේමය.  තෘෂ්ණාව කෙනෙක් අන්ධ කරවා දුක සැපයක් සේ පෙන්වයි.  මෙයින් මුලාවන පෘතග්ජනයා සත්‍යය නොදැන, ඒ දුක ගෙනදෙන්නා වූ දෙයටම ඇලුම් කොට සසරෙහිම සැරිසරයි. 

මේ සිද්ධීන්හි මූලය වන්නේ තෘෂ්ණාවය.  පුනරුත්පත්තියේ මූලෝත්පාදයද, එලෙසම පියවුනු තෘෂ්ණාවයි.  මේ ගැන පොත පතින් ලද දැනුමක් ඇතත්, එය අවබෝධයෙන් වටහා ගන්නා තුරු එයින් මිදීමක් නොමැත.   සමහර දෙනෙක් නිවණ යම්කිසි පාරාදීසයක් ලෙස සලකති.  නිවණ විස්තර කල හැක්කේ නිවණට පිවිසුන කෙනෙකුට පමණකි. සම්මා සම්බුදු රජාණන් වහන්සේ සදාකාලික සුවයක් ඇති නිවණට පිවිසීමට මග කියා දුන්නේ සත්ත්වයාට ඇති අනුකම්පාව නිසාය.   ඉමහත් වූ ආත්ම සංඥාව ඇති අය නිවණට භයක් දක්වති.  ඒ අවිද්‍යාව නිසාය.  ඔවුන්ට එය මරණය හා සමානය.  නමුත් නිවණ පිලිබඳව ශාස්තෲන් වහන්සේගේ මග පෙන්වීම අවශ්‍යය.  සථාර්ථය නොදන්නා සමහරු කරුණා., මෛත්‍රී, දාන ශීල, සම්ථ භාවනා ආදී පුණ්‍ය කර්ම කිරීමෙන් පමණක් නිවණට පිවිසිය හැකි බව විශ්වාස කරති.  එවැනි පුණ්‍ය කර්ම වලින් දිව්‍ය ලෝක වල සුවසේ දිගුකල් විසීම ආදී සුවදායක ප්‍රතිඵල ලැබුණද නිවණට පිවිසීමට විපස්සනා භාවනා කිරීමෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අත්දැකීම් වශයෙන් අවබෝධ කල යුතුමය. 

ඊලඟ කොටස ලඟදීම....

Sunday, July 31, 2011

ඊළඟ භවය


ඊළඟ භවය
 මේ සටහන සකස් කරන ලද්දේ සුවන්නෝ මහා තෙරුන්  වහන්සේගේ කෘතියක් වන "31 Planes of Existence " ග්‍රන්ථය ආශ්‍රයෙනි.  තව විස්තර දැන ගැනීමට කැමැති කෙනෙක් " buddhanet.net " යන වෙබ් අඩවියෙන් නොමිලයේ ලබා ගත හැකි මේ පොත ලබා ගෙන කියවත්වා.
බුදු රජාණන් වහන්සේගේ ධර්මයට අනුව සියල්ල සිදුවන්නේ යම්කිසි හේතුවක් නිසාය.  හේතුවක් නොමැතිව කිසිවක් සිදු නොවේ. සත්ත්වයා වනාහී 'ආත්මයක්', 'පුද්ගලයෙක්', තිරිසනෙක් හෝ එවැන්නෙක් වශයෙන් හැඳින්විය හැකි කෙනෙක් නොව ස්කන්ධ පහක සංයෝගයෙන් ක්‍රියාන්විත වන අවිද්‍යාව  නිසා 'මමය' මගේය  මා සතුය යන මුලාවෙන් (හෙවත් අවිද්‍යාවෙන් (මෝහයෙන්) )  සාමාන්‍ය පෘතග්ජනයා එල්බ ගන්නා මතයෙක් පමණි.   මෙය තෝරා බේරා ගැනීම අතිශයින්ම දුෂ්කරය.  මේ නිසාම කෙලවරක් නොමැති මේ සසරේ සත්ත්වයා නිරතුරුවම සැරිසරණ බව බුදු රජාණන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රඥාවෙන් දුටු සේක.  සත්‍ය වශයෙන් උත්පත්තියත්, මරණයත් එකම  පැවැත්මක   පැති දෙකකි.  හේතු ඵල ධර්මයට අනුව, මරණය සිදුවූ වහාම විඤ්ඤාණය ඒ සිරුරෙන් ඉවත්ව, වෙන සිරුරක ලැගුම් ගනියි.  නමුත් ඒ එකම විඤ්ඤාණයද නොවේ.  එය වෙනස් වී ඇත.  මරණාසන්නව ඇති වන චිත්තයට අනුව (කුසල් අකුසල් වශයෙන්) පඨිසන්ධි විඤ්ඤාණය පහල වේ.  ඊළඟ භවය කොතැනකදැයි විසඳෙන්නේ මේ අනුවය.  බුදු දහමට අනුව ජීවීන් (සත්වයින්)වෙසෙන තල හෙවත් භූමි (පාලියෙන් ලෝක )  31 කි.   මේ සියල්ල සිදුවන්නේ ජීවත්ව සිටියදී සිදු කරන ලද කර්මයන්ට අනුවය.  කර්ම වශයෙන් හඳුන්වන්නේ කයින් වචනයෙන් හා සිතෙන් සිදු කරණ ක්‍රියාවන්ය. මේ ක්‍රියා කුසල අකුසල වශයෙන් කොටස් දෙකකට බෙදෙයි.  යම් කිසි කෙනෙක් කෙරෙහි ද්වේශ සහගත සිතින් ක්‍රියා කල හොත්, ඒ සිතිවිල්ල පවා අකුසල වශයෙන් සටහන් වෙයි.
මේ සන්දර්හයට  (context) අනුව  පැවැත්ම යනු ජීවිත්වීමයි.   භූමිය, තලය, (plane, realm) යනුවෙන් හැඳින්වෙන්නේ එක්තරා රාජ්‍යයක් වශයෙන් අර්ථ දැක්විය හැක. පාලි භාෂාවෙන් 'ලෝක' වශයෙන් මෙය හඳුන්වනු ලබයි.  ප්‍රාර්ථනාවෙන් පමණක් මේ ලෝක වලට පිවිසිය නොහැක.  ජීවත්ව සිටියදී කරන ලද ක්‍රියාවන් අනුව  මේ ලෝකවල උත්පත්තිය සිදුවේ.  යමෙක් ප්‍රාණඝාත, සොරකම්, කාමයන්හි වරදවා හැසිරීම්, මුසාවාද, පරුශ වචන, ආදී වූ අකුසල කර්මයන් කොට ඇත්නම් නිසැකයෙන්ම දුගතියක උත්පත්තිය ලබයි.  එසේම දාන සීල භාවනාදී කුසල කර්ම හේතු කොට ගෙන සත්ත්වයා සුගතියක උත්පත්තිය ලබයි.  මේ විශ්ව නියාම ධර්මය (law of kamma) සියලුම සත්ත්වයින්ටම බලපාන, බෞද්ධයන්ට පමණක් නොව  සියලු සත්ත්වයින්ටම පොදු ධර්මතාවයක් බව බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇත.  මේ ධර්මතාවය බුදු රජාණන් වහන්සේ විසින් නිෂ්පාදනය කරන ලද්දක් නොව, අදත් එදත් කවදත්, පැවතුනු, හා පවතින ධර්මතාවයකි.  මෙපමණ කලක් මෙලොව පහල වූ බුදු රජාණන් වහන්සේලා විසින් මෙය ප්‍රකාශ කල සේම, ගෞතම බුදු රජාණන් වහන්සේද බෝ මැඩදී උන්වහන්සේගේ අසීමිත ප්‍රඥාවෙන් මේ ධර්මය  අවබෝධ කොට යලිත් ලොවට කියා දුන් සේක. 
මේ කිසිම භවයෙක පැවැත්ම ස්ථිර නැත. ඒ කියන්නේ අනිත්‍යතාවයයි.   එක් එක් භවයන්හි ජීවිතය එකිනෙකට වෙනස් වේ.  සමහර භවයන්හි පැවැත්ම කල්ප වලින් ප්‍රකාශ වෙයි. මිනිස් ලොව පැවැත්ම ශත වර්ශයක් පමණ වෙයි, බොහෝ විට ඊට වඩා අඩුය.  නිවන් අවබෝධ කොට මේ චක්‍රයෙන් ගැලවෙන තුරු මේ භව තරණය සිදු වේ.  වරෙක බඹ ලොව ඉපදුණු සත්ත්වයෙක් ඊලඟ භවයේ දුගතියක ඉපදීමට පිලිවන.  උදාහරණ බෞද්ධ සාහිත්‍යයේ අති මහත් ප්‍රමාණයක් ඇත.   කර්මය නම් වූ නියාම ධර්මයෙන් කිසිවෙකුට ගැලවිය නොහැක.   බුදු රජාණන් වහන්සේට පවා කර්ම පලදුන් අවස්ථා ඉතිහාසයේ සඳහන්ය.  (චිංචි මාණවිකාවගේ අපහාසය වැනී) සමහර කර්ම මේ භවයේදී පල නොදී වෙනත් භවයන්හිදී පල දේ.  මේ භවයේදීම පල දෙන කර්ම දිට්ඨධම්ම වේදනීය කර්ම වශයෙන් හැඳින් වේ.  අභාවප්‍රාප්ත මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින්, එතුමා විසින් කරන ලද සමීක්ෂනයක ප්‍රතිඵල වශයෙන් දිට්ඨ ධම්ම වේදනීය කර්ම යන පොත  සිංහල සාහිත්‍යයට එක් වී ඇත.  සාමාන්‍යයෙන් දිට්ඨධම්ම වේදනීය කර්ම බරපතල කර්ම වශයෙන් සැලකෙනු ලබයි.  සත්ත්වයා එක් එක් ලෝක වල ජනිත වන්නේ ඔවුනොවුන්ගේ කර්මය අනුවය.  අපි කර්මය දායාද කොට සිටින්නෙමු.  .
මේ අනුව බුදු දහමේ තල, භූමි හෙවත් ලෝක 31ක් දක්වා තිබේ.  ඉන් එකොලොහක් ඇස් කන් නාසාදී පංචේන්ද්‍රියයන්ගේ බලපෑම මත  පිහිටා ඇත.  මේ එකොලහ ඇතුලත මනුශ්‍ය ලෝකයද වෙයි.  පහලින්ම ඇත්තේ නිරයයි.  ඊලඟට සත්ව ලෝකයද, ප්‍රේත ලෝකයද, අසුර ලෝකයද වෙයි.  මේ දුගති ලෝක වල ඇත්තේම දුකමය.  මේ එකොලහ හැරුණු විට තව ලෝක 16ක් සුගති ගණයට අයත් වේ.  ඒවායේ නා නා ප්‍රකාර, දෙවි දේවතාවුන් වෙසෙති.  ඉන් ඔබ්බෙහි ශරීරයක් නැති සිත පමණක් ඇති ලෝක හතරකි.  මෙහි ආයු කාලය ඉතාමත් දිගය.    බුදු රජාණන් වහන්සේ මේ ලෝක පතින්නේ මේ චක්‍රවාලය තුල පමණක් නොව කෝටි සංඛ්‍යාත වූ අනෙක් චක්‍රවාල තුලද මෙවැනි ලෝක පවතින බව වදාල සේක.   නවීන විද්‍යාවට අනුව මෙය දැන් සනාථ වී ඇත.  පැට්‍රික් මුවර් මහතා ගේ (Atlas of the World – 1998: Cambridge University Press: Page 206 )යන පොතේ මෙසේ සඳහන් වී ඇත.  “…There are 100,000 stars in our galaxy. Many of which are many like the sun ; we can see 1000 million galaxies and it does not seem  reasonable that in all this host, our Sun is attended by a system of planets
මේ ලෝක වල උත්පත්තිය සිදුවන්නේ කෙනෙකුගේ කර්ම ශක්තිය අනුවය.  යමෙක් බොහෝ  කුසල් කොට ඇත්නම් සුගතියක උපත ලබයි.  බොහෝ කොට අකුසල් කොට ඇත්නම් දුගතියක උපත ලබයි.  මේ මනුශ්‍ය ලෝකයෙහි පවා සමහරු දුප්පත්වද, සමහරු පොහොසත්වද, සමහරු රෝගීවද, සමහරු විරූපීවද සමහරු මන්ද ආයුෂ ඇතිවද උපත ලබයි.  මේ සියල්ලම සිදුවන්නේ හේතුඵල දහම අනුවය.  හේතුඵල දහම හැරුනු විට බලපාන වෙන කිසිම බලවේගයක් නැත.  සමහරු ප්‍රේතයන්ව ඉපිද සිය පෙර භවයන්හි ඥාතීන්ට විපත් කරවන අවස්ථා සාහිත්‍ය්යේ සඳහන්ය.  එවැනි විපත් වලට භාජනය වන්නේද පෙර කල කර්මය අනුවය.  පෙර පින් කොට ඇත්නම් ප්‍රේතයාට පවා කිසිවක් කල නොහැකිය.  http://rightmindfulness.wordpress.com/
ඉන්ද්‍රිය ගෝචර ලෝක කාම දුගති සහ කාම සුගති වශයෙන් ප්‍රධාන වශයෙන් දෙකොටසකට බෙදේ.    
මජ්ජිම නිකායේ 129 සහ 130 කොටස් වල විස්තර සහිතව මෙය දක්වා ඇත. 
1. නිරය - ආනන්තර්ය පාපකර්ම කලවුන් මේ නිරයේ කල්ප ගනන් පැසෙන බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. 
2. තිරච්චන යෝනි - මිනිස් ඇසට පෙනෙන මිනිස් නොවන සත්වයින් මේ නමි හැඳින් වෙයි
3. ප්‍රේත ලෝකය - මේ ලෝක වාසීන් මිනිස් ඇසට සාමාන්ය‍යෙන් නොපෙනෙන නමුදු, ඔවුන්ගේ පැවැත්ම දැනගත හැක.  විශාල ආමාශයන් හා ඉතා කුඩා කටවල් සහිත් මේ සත්ත්ව විශේෂයෝ ඔවුනොවුන්ගේ කර්ම අනුව එක් එක් ස්වරූප ගනිති.  මියගිය දේශපාලනඥයින්ද මොවුන් අතර සිටින බව හඳුනා ගෙන ඇත. 
4. අසුරයෝ - අසුරයෝද (titans) නිතරම පාහේ නොයෙක් අන්දමේ ඝට්ඨන, කලහ යුද්ධ වල පට ලැවෙන දුක්ඛිත අන්දමට ජීවත්වන සත්ව කොට්ඨාසයකි.
5.  ඊලඟට ඇත්තේ මනුශ්‍ය ලෝකයයි.  මෙහි වසන්නෝ සිය කර්මය අනුව නොයෙක් අන්දමට උත්පත්තිය ලබති.  සැප දුක මිශ්‍රව පවතී. 
6. මීලඟට ඇත්තේ චාතුර්මහරාජික දෙව් ලොවයි. ගාන්ධර්වයින්, සතරවරම් රජ දරුවන් ඇතුලු  එක්තරා යක්ෂ ක්ටසක්ද මෙහි වෙසෙන බව සඳහන්ය. 
7.තාවතිංසය ශක්‍රයා ඇතුලු දෙවියන් මෙහි වාසය කරති. 


8. යාම දෙව් ලොව

9. තුසිත දෙව් ලොව

10. නිම්මානරති දෙව් ලොව

11. පරනිම්මිත වසව්ත්ති දෙව් ලොව.

රූපී බ්‍රහ්ම ලෝක

12.පාරිසජ්ජ බ්‍රහ්ම ලෝක

13. පුරෝහිත බ්‍රහ්ම ලෝක

14. මහා බ්‍රහ්ම

15. පරේත්තාබ දේව

16. අප්පමානාභ දේව

17. ආභස්සර දේව

18. පරිත්තාසුභ දේව

19. අප්පමාන සුභ දේව

20. සුභකින්න දේව

21. වේහප්ඵල දේව

22. අසඤ්ඤ සත්තා

23.අවිහා දේව

24. අතප්පා දේව

25. සුදස්ස දේව

26. සුදස්සී දේව

27. අකනිටා දේව

අරූපී ලෝක

28. ආකාසඤ්ඤායතානුපග්ග දේව

29. විඤ්ඤානාචායතානුපග්ග දේව

30. ආකිංචානංයාතානුපග්ග දේව

31. නේවසංඤ්ඤානාසඤ්ඤායතානුපග දේව

දොලොස්වැනි ලෝකයේ සිට විසිහත්වැනි ලෝකය දක්වා ඇති ලෝක දහසයේ ඇත්තේ පුරුෂ දේවයින් පමණි. ඒ නිසා සියලු රාග ද්වේශ මෝහ ව්ලින් මිදුනු දේව කොට්ඨාස ඒ ලෝක වල වාසය කරති.  ඉතා ශාන්තව ජීවත්වන, ඉතාම්ත් සතුටින් බොහෝ කල් වසන දේව කොට්ඨාස මෙහි ඇත.  මනු ලොව වසද්දී භාවනාදී ආගමික කටයුතු වල යෙදුනු භවතුන් මේ ලෝක වල උත්පත්තිය ලබති.    බුදු දහමට අනුව දෙවියන් කිහිප වර්ගයක් ඇත.  ඔවුන්ගේ අණසක මිනිස් ලොවට නොමැත.  මුගලන් මහ රහතන් වහන්සේ මේ ලෝක වල සැරිසරා එක් එක් දේවතාවන්ගෙන් දෙව් ලොව ඉපදීමට හේතුපාදක වූ පින්කම් ඔවුන්ගෙන්ම අසා මනුශ්‍යයන්ට ඇසීමට සැලැස්වූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය.  28, 29, 30 සහ 31 යන දේව ලෝක වල වෙසෙන දෙවිවරුන්ට කයක් නොමැත.  කයක් නොමැති බැවින් ධර්මය ශ්‍රවනය කිරීමටද නොහැක.  මිනිස් ලොවේදී භාවනා කොට ධ්‍යාන ලබාගත් පින්වතුන් මේ ලෝක වල උපත ලබති.  නමුත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කලේ විපස්සනා භාවනාව දියුණු කොට සසර කෙලවර කර ගැනීමටය. 

සාමාන්‍ය වශයෙන් අවිද්‍යාවෙන් අන්ධවූ පෘතග්ජනයා මෝහය නිසාම රාග ද්වේශ මෝහ වශයෙන් සියලුම අකුසල වල යෙදෙයි.. කරන කලට අකුසල් ඉතාමත් ප්‍රීතිජනකය.  එහි විපාක පලදෙන විට අතිශයින්ම ශෝක ජනකය.  බොහෝ දෙනෙක් ඒ ගැන සිහිකරන්නේ නැත.  මිය යාමට ප්‍රථම ඊලඟ භවය ගැන ඉඟියක් ඕනෑම කෙනෙකුට දැනෙයි.  http://sgunatunga.blogspot.com/2011/02/blog-post.html  මේ සටහන බලන්න. 

මගේ වෘත්තීය ජීවිතයේ මරණාසන්න රෝගීන්ගේ ප්‍රකාශවලින් මම නොදත් දේ ගැන අත්දැකීම් ලබා ඇත්තෙමි.  වෛද්‍ය මතය වූයේ 'සිහි විකල්ලෙන් ඔවුන් නන් දොඩවන' බවයි.  නමුත් හොඳට සිහිය ඇති බව හෝ නැති බව රෝගියා හා කථා කිරීමෙන් වටහා ගත හැක.  මට හමු වූ බොහෝ රෝගීන් සතුන් මරා කන අබෞද්ධයෝය.  ඔවුන් බොහෝ දෙනෙක් අපා ගත වූ බව ඔවුන් දුටු දර්ශන වලින් පැහැදිලිය. 

වෙනත් ආගම් වල සර්ව බලධාරී දෙවි කෙනෙක් ගැන සඳහන් වන අතර බෞද්ධ  මතයට අනුව 'දේව' යන සත්ව කොට්ඨාසය ඊට ඉඳුරාම වෙනස්ය.  මනුශ්‍යන් සේම නාම රූප හෝ නාම පමණක් වූ ස්කන්ධයෝ වෙති.  ඒපෙර කරන ලද්දාවූ කර්මයන්ගේ විපාක වශයෙනි.  එඋ විපාක අවසන් වූ පසු ඒ සත්වයින්ද අපාය ආදී වූ දුගති ලොවක ඉපදීමට පිලිවන.  මේ කර්ම නියාමයේ පිලිවෙතය. එයින් ගැලවීමට කිසිවෙකුට නොපිලිවන.  සියලුම දේව කොට්ඨාස නිවන් මගට නොපිලිවන් සත්වයින්මය.  යම් අන්දමකට ද්වේශ සහ මෝහ යන අන්ධකාරයන් දුරු කල සත්වය්යින් මේ ලෝක වල උත්පත්තිය ලබති.  මිනිස් සිත ඉතා ඉක්මනින් කිලිටි වෙයි.  රාග ද්වේශ මෝහ යන අකුසල් සාමාන්‍ය ජනයා පටලවා ගනියි.  මේ නිසා සිදුවන අකුසල කර්ම වල විපාක සිහි වන්නේ මරණාසන්නවය.  එවිට පසුතැවිලි වුවද, මරණාසන්න දර්ශන වලින් දුගතියකට යන බව පැහැදිලිවම පෙනෙයි.   බුදු රජාණන් වහන්සේ වදාල හේතු ඵල දහමට අනුව මෙලොව වසන මිනිසුන් නා නා ප්‍රකාරය.  සමහරු උපන් දා පටන්ම ශාන්ත ගති පැවතුම් ඇත්තෝය.  සමහරු ඉතා දූෂිත සිත් ඇතිව අන් අයට අපහාසාත්මකව ක්‍රෝධව, නා නා අකුසල් ක්‍රියා කරති.  මේ ගති පැවතුම් පෙර ගතකල භවයන්ගේ ස්වරූපය කියාපායි.  මේ භවයේදී ඒ අඩුපාඩු නොසලකා හරින්නා යලිත් ඒ අකුස්ල්ම කොට අපාගත වී බොහෝ කාලයක් ගත කරයි.   බොහෝ විට එය සිදුවන්නේ 'මමංකාරය හෙවත් egotism නිසාය.  'මම' වශයෙන් සත්ත්වයෙක් ඇති බවට වැරදි දෘෂ්ටියක් ඇති වේ.  මේ 'මම' රැක ගැනීම සඳහා ඒ තැනැත්තා සියලු අකුසල් උපදවා ගනියි.  සක්කාය දිට්ඨි හෙවත් සත්කාය දෘෂ්ටිය වශයෙන් හැඳින් වෙන්නේද මේ සිද්ධාන්තයමය.