Wednesday, August 17, 2011

සංඛාර පච්චයා විඤ්ඤානං.... පටිච්ච සමුප්පදය 3


සංඛාර පච්චයා විඤ්ඤානං.... පටිච්ච සමුප්පදය 3

අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !

සංඛාරා (සිතුවිලි ) පච්චයා (හේතුකොට ගෙන ) විඤ්ඤානං (විඤ්ඤානය ඇති වේ.)   ජීවිතයක විඤ්ඤාණය ඒ ජීවිතයේ ප්‍රතිසන්ධි විඤ්ඤාණය සමග ඉපදේ.  ප්‍රතිසන්ධි විඤ්ඤාණය යනු ඊට පෙර ගත කල ජීවිතයේ අවසාන විඤ්ඤාණය, ඒ ජීවිතයෙන් චුතව නව ජීවිතයක් පටන්ගැනීමට වෙන භවයක් කරා ගමන්  කිරීමේ ආරම්භයේ ඇතිවන විඤ්ඤාණයයි..  එයින් චුතව යන නිසා චුති විඤ්ඤාණය වශයෙන්ද, විඤ්ඤාණයේ  ඒ කොටස හඳුන්වනු ලැබේ.  මේ සියල්ල වෙන් වෙන් වශයෙන් හැඳින්වුවද, එකම විඤ්ඤාණයක් ව වශයෙන්  සිහි තබා ගහ යුතුය.  එකම විඤ්ඤාණය වුවද එකම අන්දමට පැවැත්මක් නොමැති බවද දත යුතුය.    කෙනෙක් ගත කල ජීවිතයේ ක්‍රියා කාරිත්වය අනුව නව භවය සකස් වේ.  යම් කෙනෙක් අකුසල් කොට පාපකාරී ජීවිතයක් ගත කලේ නම් ඊලඟට යන භවය දුගති ගනයට අයත් භවයක් වේ.  එසේම කුසල් සහිත යහපත් ජීවිතයක් ගත  කලේ නම් යහපත් භවයකට විඤ්ඤාණය යොමු වෙයි.  ප්‍රාර්ථනාවෙන් යහපත් භවයකට සැපත් වීම කිසිදාක කවරෙකු හට වුවද කල නොහැකිය.  බොහෝදෙනා මේ ධර්මය පිලිගැනීමට මැලිවෙති.  එය එසේ ම සිදුවන බව සමහර දෙනා පිලි නොගනිති.  කවුරු කෙසේ සිතුවත්, කවුරු කෙසේ පැවසුවත් , බුද්ධත්වය ලබා ගත් පසු ශ්‍රී මහා බෝධීන් මුල හිඳගත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මුල සිට අගටත්, අග සිට මුලටත් මේ පරම ගාම්භීර,   පටිච්ච සමුප්පාදය  යන ධර්මය මෙනෙහි කොට,  මේ සක්වල උපදින සෑම සත්වයෙකුටම  පොදු ධරමයක් බව දේශනා කොට ඇත.  පියවි ඇසට නොපෙනෙන දේ බොහෝ දෙනා විශ්වාස නොකරන නිසා උන්වහන්සේ මේ දහම උගැන්වීමට ප්‍රථමයෙන් මැලි වූ සේක.  සහම්පතී  බ්‍රහ්ම රාජයාණන්ගේ පෙරැත්තය නිසා, 'ඇසේ දූවිලි ස්වල්පයක් ඇති අය' උදෙසා මේ දහම දේශනා කරන ලෙස කරන ලද්දා වූ සානුකම්පික ආරාධනාව උන්වහන්සේ ඉවසා වදාල සේක.  උන්වහන්සේ ජීවමානව සිටිකල්හි පවා ධර්මය තේරුම් ගැනීමට  අපහසු අඥාණ ජනී ජනයා නොයෙක් ආකාරවල ප්‍රශ්න බුදු රජාණන් වහන්සේගෙන් අසා සිටි බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි.    කෙනෙක් උන්වහන්සේ වෙත පැමිණෙන විට ඒ තැනැත්තාගේ ධර්මය අවබෝධ කිරීමේ හැකියාව උන්වහන්සේ දිවැසින් දැක, ඒ අනුව ධර්මය දේශනා කරන සේක.    මේ සටහන කියවන සැම කෙනෙක්ම මේ ධර්මය අවබෝධ කොට ගනිත්වා යනු මගේ එකම පැතුමයි.  ඒ ධරමය වැටහෙයි නම් සසරෙහි ඇති බියකරු බව වටහා ගන්නෙහිය.   ඉන් ගැලවීමට සිත් සකස් වන්නේ එවිටය.  මෙහි හාස්‍ය ජනක දේ නැත.  පබැඳුම් නැත.  සංවේදී ජනක හැඟුම් නැගිටවන බොලඳ දේ නැත.  ඇත්තේ තේරුම් ගැනීමට අපහසු, නමුත් බෞද්ධයෙකු වශයෙන් තේරුම් ගතයුතු බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද්දා වූ ධර්මයය.   සංඛාරා  හෙවත් සිතුවිලි ගමන් කරන්නේ එකක් පසුපස එකකි.  .  එය ගංගාවක් සේ  ගමන් කරයි.  එක සිතුවිල්ලක කාල සීමාව ඉතාමත් කෙටිය.    හා සමාන තවත් සිතුවිල්ලක් හෝ ඊට ස්වල්ප වශයෙන් වෙනස් වූ තවත් සිතුවිල්ලක් පසු පසින් එන බැවින් අපට එය වැටහෙන්නේ එකම සිතුවිල්ලක් ලෙසිනි. 

පෙර භවයේ හෝ ඊටත් ඈත භවයෙක කරන ලද්දා වූ කුසල හා අකුසල කර්ම හේතු කොට ගෙන, ගංගාවක් සේ ගලන සිතුවිලි පරපුරක් උපදියි. දුරාචාරවත් දුස්සීල ජීවිතයක් ගත කලේ නම් අපාය තිරිසන් හෝ ප්‍රේත භවයෙක දුක් සහිතව පැවැත්මට උත්පත්තියක් ලබයි.  මේ සඳහා  සත්‍ය සිද්ධීන් අලලා ලියැවුනු උදාහරණ බොහෝ ගනණක්  ඇත.  සමහරු ප්‍රේතාත්මව ඉපිද එයින් මිදීම සඳහා සිය නැදෑයින් වෙත පැමිනෙති.  ඔවුන් විසින් කරන ලද්දදාවු අකුසල්ද ප්‍රකාශ කරති.  (මේ වෙබ් අඩවීයේ උදාහරණ බොහෝ ගනණක් වාර්තා කොට ඇත.  http://rightmindfulness.wordpress.com/ කියවන්න. )






මෙහි දක්වා ඇත්තේ අකුසල් නිසා ප්‍රේතාත්ම වල උපත ලද උදාහරණ තුනක් පමනි. 

තන්හා සැඩ පහර තරණය යන වෙබ් අඩවියේ අවසාන කොටසේ, වෙනස් වෙනස් මාතෘකා වලින් යුතුව සත්‍ය සිද්ධීන් ගණනාවක් වාර්තා කොට ඇත.  මේ හැරුනු විට බටහිර රටවල පවා සිදු වූ සත්‍ය සිද්ධීන් වාර්තා වී ඇත.  මහාචාර්ය බ්‍රයන් වයිස්ගේ සාක්ෂි අනුව චිත්තය හෙවත් සිත භවයෙන් භවයට එක් එක් අන්දමට වෙනස් වී යන අන්දම එතුමාගේ පොත් පත් වලින් පැහැදිලිය. 

 ප්‍රතිසන්ධි ( පටිසන්ධී) විඤ්ඤාණයට පසුව, පැන නැගෙන විඤ්ඤාණය  භවාංග විඤ්ඤාණය (subconscious mind) වශයෙන් හඳුන්වා දී ඇත.  භවාංග චිත්තය යනු අප නිදන අවස්ථාවේ ඇති වන චිත්තයමයි.   අපි මිය යන අවස්ථාවේහීද පවතින්නේ මේ චිත්තයමය.  නමුත් මිය යන අවස්ථාවේ ඇති වන චිත්තය හඳුන්වා දීම සහ විස්තර කිරීමේ පහසුව තකා එයට චුති චිත්තය වශයෙන් නම් කොට ඇත.  මේ අනුසාරයෙන්, චුති චිත්තයත්, භවාංග චිත්තයත්, පටිසන්ධි චිත්තයත් පෙර භවයේ කර්ම අනුව නිර්මානය වන බව සිතා ගත හැකිය.    එක භවයෙක චුති චිත්තය ඒ භවයෙන් නික්මී යෑම සමගම කර්මානුරූපව නිර්මානය වුනු  වෙනත් භවයෙක ප්‍රතිසන්ධි චිත්තය පහල වේ.  තේරුම් ගැනීමට අපහසු ගැඹුරු තැනක් වශයෙන් බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දැක්වූ එක තැනක් මෙය වන්නේය.  සත්වයා නැවත නැවත උපදියිද, නැතහොත් මරණයෙන් කෙලවර වෙයිද යනු ධර්මය නොදත් කෙනෙකුට ඇතිවිය හැකි ප්‍රශ්නයකි.  අද ලෝකයේ සිටින බොහෝ දෙනා "අනුන්ට පෙනෙන දැනෙන සියලු දේ තමාටත් පෙනිය යුතුය, දැනිය යුතුය..." යන පුහු මානයෙන් උඩඟු වූවෝ වෙති.  ශාස්තෲන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට අකැමැති වෙති.  "පුනරුත්පත්තියක් ඇත..." යන ශාස්තෲන් වහන්සේගේ වචනය ගෞරවයෙන් පිලිගෙන ලෝකය දෙස බලන්නා හට පුනරුත්පත්තිය උදෙසා සාක්ෂි ලෝකයෙන්ම ලබා ගත හැක.  ඔවුහු ඉක්මනින් සසර කෙලවර කර ගනිති.  පුනරුත්පත්තියක් නැත යන මිසදිටු  අදහස ගත්තහුටද, ඒ සඳහා සාක්ෂි ලෝකයෙන්ම සොයා ගත හැක.  මේ සිතෙහි පවත්නා ගුප්ත ස්වභාවයකි.  වෛද්‍ය වරයා පවසන දේ නොපිලිගෙන එහි ගුණාගුන තමන් ප්‍රත්‍යක්ෂ කොට ගෙන බෙහෙත ගැනීමට සිටිය හොත් මරණය නිසැකයෙන්ම තමා කරා පැමිණෙනු ඇත.  මේ කරුණු හරිහැටි තේරුම් නොගැනීම නිසා සස්සතදිට්ඨි සහ උච්චේදදිට්ඨි වැනි මත වල එල්බ ගන්නා අයද සිටිති. (ලෙඩී සයදෝව් ස්වාමීන් වහන්සේ )  හේතුඵල ක්‍රියාදාමය පිලිබඳව නොදැනීම නිසා මෙය සිදු වෙයි.  කෙනෙක් මිය ගිය පසු පියවි ඇසට හෝ මණසට ඒ මිය ගිය තැනැත්තා පිලිබඳව කිසිවක් නොදැනීම නිසා මේ වැරදි නිගමනයට ඔවුන් එලඹෙති. 

විදර්ශනා භාවනාව පුහුණු කරන්නෙකුට මෙය වටහා ගැනීම අපහසු කරුණක් නොවේ.  විදර්ශනා භාවනාව පුහුණු කරන විට විඤ්ඤාණය ඇති වී මොහොතකින් නැති වී යන අන්දම ප්‍රායෝගික වශයෙන් නිරීක්ෂණය කල හැකිය.  පොත පතින් මෙය ප්‍රථමයෙන් උගත්තද, ප්‍රායෝගික වශයෙන් අත්දැකිය හැකිය.    මෙම  නිරීක්ෂනය අවබෝධවන්නේ සම්මාසන ඥාණය සහ උදයබ්බය ඥාණය පහල වූ විටය.  විදර්ශනා භාවනා මාවතේ ඇති මේ ඥාණ, විදර්ශනා භාවනාව ප්‍රගුන කිරීම පටන් ගෙන දින කිහිපයක ඇවෑමෙන් ලබා ගතහැකි බව මහාසි සයදෝව් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කොට ඇත.  .  පච්චයා පරිග්ගහ ඥාණාවබෝධයෙන් පසු, විඤ්ඤාණයේ ඒකකයන් වූ විඤ්ඤාණ ඛණ්ඩ ඉපදී මියැදෙන අන්දම පැහැදිලි වුවද, සම්මාසන ඥාණයේ අනුග්‍රහයෙන් විඤ්ඤාණයේ නැතිවීමත්, වෙන භවයෙක එහි ඇති වීමත් නිරීක්ෂණය කල හැකිය.   විදසුන් වඩා නැතිනම් මේ දර්ශනය සහමුලින්ම පිලිකෙව් කරන්නෝ බොහෝය.  බුදුරජාණන් වහන්සේ ධර්මය ගැඹුරු බව ප්‍රකාශ කලේද ඒ නිසාය.  මෙය පිලිකෙව් කරන්නන්ට සසර ඉතාමත්ම දිගය.  ඔවුන් සදාකාලිකව පවතින ආත්මයක් ඇත යන මතයේ එල්බ චිත්තය එය හා ඈඳා ගනිති.  අභිධර්මය හදාරා ඇති අය මේ මතය කිසිදාක පිලි නොගනිති.  සසර පුරා මේ මතය දරා ඇත්නම් ඒ පුරුද්ද අත හැර ගැනීමද අසීරු වනු ඇත.  සම්බුද්ධ පරිනිර්වණයෙන් පසු, චන්න තෙරුන් වහන්සේ ආත්ම සංඥාවකින් යුතුව විදරශනා භාවනාව ප්‍රගුන කල නමුදු කිසිම දියුණුවක් සිදු නොවීය.  උන්වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේගේ පටිච්ච සමුප්පාදය පිලිබඳ දේශනාවකට සවන් දීමෙන් පසුව, ආත්ම සංඥාව අතහැර භාවනා කිරීමෙන් අර්හත් භාවය ලබාගත්හ. 

මරණයෙන් පසු සිදුවන දේ පියවි ඇසට නොපෙනෙන නිසා මණසට නොදැනෙන නිසා නොයෙක් නොයෙක් මත බඳා ගැනීම සිදුවේ.  අවිද්‍යාවත් සැකයත් ඒ මත වලට බැසීමට හේතු සාධක වෙයි.  සදා මිය නොයන 'ආත්මයක්' සිරුරෙන් සිරුරට මාරුවෙන ආත්මයක් ඇත, යන විශ්වාසය වැරදි බව ඒත්තු ගැන්වීම ඉතාමත් දුෂ්කරය.  බෞද්ධ ඉගැන්වීමේ හැටියට මරණින් මතු ඇත්තේ ජීවිතයක් නොව, මනෝභෞතික සංයෝග කිහිපයක පැවැත්මක් පමනි.  කෙලෙස් සියල්ල නසන තුරු මේ මනෝභෞතික සංයෝගවල පැවැත්ම කෙලවර නොවේ.   විදර්ශනා භාවනාව ප්‍රගුණ කිරීමෙන් සෘද්ධිවිධ  ආදී ඥාණ ලබා ගත හැක.  මේ ඥාණ ලබා ගත් පසු මිය ගිය කෙනෙකුගේ නව භවය කොතනක සිදුවූයේදැයි නිසැකවම දැන ගත හැක.  සාරාංශය වශයෙන් මෙසේ පැවසිය හැක.  විඤ්ඤානය ධාරාවක් වශයෙන් කෙනෙකුගේ මනෝද්වාරයෙන් කඩින් කඩ ගලායයි.  මිය ගිය පසු ඒ විඤ්ඤානය කරන ලද කුසල අකුසල කර්මානුරූපයන්ට අනුව නව නාමරූප කයකට පිවිසෙයි.  ඒ පිවිසෙන්නේ පෙර තිබූ විඤ්ඤානය වුවද , වෙනස් කම් ඇතිවය.  මෙය එක පහනකින් තවත් පහනක් දැල්වීම හා සමානය.  දෙවැනිවට දැල්වූ පහන පලමු පහනද නොවේ.  නමුත් සමාන කම් හා අසමාන කම්ද දැකිය හැකිය.

තෙරුවන් සරණයි.

තව කොටසක් ලඟදීම......

2 comments:

Chanaka Aruna Munasinghe said...

විඤ්ඤාණය කියන වචනය පැහැදිළි කරන්න පුළුවන්ද ?
අවිද්‍යා = සත්‍ය නොදැනීම
සංඛාර = සිතුවිලි ( සත්‍ය නොදැනීම නිසා ඇතිවන වැරදි සිතුවිලි )

විඤ්ඤාණය සිතුවිලි වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?
විඤ්ඤාණය කියන්නේ අපිඅපේ යටිසිතේ තැන්පත් වෙලා තියෙන මතකය/දැනුම වගේ දෙයක්ද ?

සරත් ගුණතුංග said...

විඤ්ඤාණය අර්ථ දැක්වීම එතරම් පහසු කාර්යයක් නොවේ. නමුත් මම හැකි පමණ උත්සාහ කරන්නෙමි. නාම රූප ධර්ම සමූහය (රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ )කොටස් පහකට බෙදා වෙන් කොට දක්වා ඇත්තේ 'මමය', 'මාගේය', යන ආත්ම සංඥාව දුරු කර ගැනීමට පහසු වීමටය. (රේරුකානේ චන්දවිමල නා හිමි ) මම 'උසය', 'කෙට්ටුය', 'ලස්සනය', 'මම සැප විඳිමි', 'මම දුක් විඳිමි' වශයෙන් ආත්ම සංඥාව ගන්නේ එක් එක් සංස්කාරයන් ආත්ම වශයෙන් ගැනීම නිසාය. පංචස්කන්ධය අවබෝධ කොට ගත් කල්හි ආත්ම සංඥාව දුරු වන්නේය. ඇත්ත වශයෙන් විඤ්ඤාණය අභිධර්මය හා බැඳීමක් ඇත. මෙහි ඒ සියල්ල ලිවීමට අපහසුය. පහත සඳහන් යොමුව ඔස්සේ ගොස් (http://www.ogatharana.org/ ) රේරුකානා චන්ද විමල හිමියන්ගේ පොත් අඩංගු අඩවියකට පිවිසිය හැක. ඉතා වටිනා ග්‍රන්ථ කිහිපයක් එහි ඇත. එයින් අභිධර්ම මාර්ගය යන පොත බාගත් කර ගන්න. ඒ පොතේ 240 වැනි පිටුවේ, (නව වැනි පාඩම ) කියවීමෙන් ඔබට යම් කිසි අවබෝධයක් ලබා ගත හැකිය.