Tuesday, April 26, 2011

සිත (සිහිය, මනස ) අකීකරු සිත

බුද්ධ ධර්මයට අනුව, ආරම්භයත්, නාභිගත කේන්ද්‍රයත් සිත හෙවත් මනස වන්නා සේම විමුක්තිය කරා සම්ප්‍රාප්ත වූ රහතන් වහන්සේගේ  මනැසේ  අවසානයත් ඒ සිතම වන්නේය...  ( ඥාණපොනීක ස්වාමීන් වහන්සේ - The Heart of Buddhist Meditation B.P.S).

බටහිර විද්‍යාඥයෝ 'මනස' ගැන නොයෙක් නොයෙක් මත පහල කොට ඇත. වෛද්‍ය විද්‍යාවද මේ මත ඔස්සේ ගොස් මානසික රෝග වර්ගීකරණය කොට ඇත.   ඒ රෝග ලක්ෂණ අනුවය. නමුත් මේ රෝගීන්ගේ සිරුරු තුල කිසිම වෙනසක් අණ්වීක්ෂයකින් පවා සොයා ගැනීමට නොහැකිය.   අද වන තුරු කිසි විද්‍යාඥයෙක්  (ව්‍යවච්ඡේදනයෙන් පවා ) ශරීරය පිලිබඳව කිසිම අමුත්තක් මේ රෝගීන්ට ඇති බවක් පවසා නොමැත.  ඒ නිසා මානසික වෛද්‍යවරුන්ගේ පිලියම මොලයේ ක්‍රියා කාරිත්වය වෙනස් කිරීමට, සෛලවල ක්‍රියාකාරිත්වය වෙනස් කිරීමට රසායනික ද්‍රව්‍ය රෝගියාට නිර්දේශ කිරීමයි.  ඒ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන අනර්ථකර අතුරුඵලයන් ගැන සාමාන්‍යයෙන් වෛද්‍ය වරු නිශ්ශබ්දය.   මේ සටහනේ අරමුණ බටහිර මානසික වෛද්‍ය ක්‍රමය විවේචනය කිරීම නොවේ. 
1970 දශකයේ මුල භාගයේ පමණ බ්‍රයන් වයිස් නම් වන මනෝ වෛද්‍යවරයා අහම්බෙන් නව දෙයක් සොයා ගත්තේය.  ඔහු විසින් වශ්‍රීකරණය (hypnotize)  කරන ලද රෝගියෙක් ඔහු පිලිබඳව පැවසූ දෙයක් සත්‍ය පුවතක් වීම ඔහුගේම මවිතයට හේතු විය.  ඒ සත්‍ය පුවත කිසිවෙක් නොදන්නා බව ඔහු හොඳාකාරව දැන සිටියේය.  ඒ සමගම ඒ රෝගියාගේ ආබාධය පෙර භවයන් හා සම්බන්ධ බවත්  ඔහු වටහා ගත්තේය.  භාවනා ක්‍රම භාවිතයෙන් රෝගය සුව කල හැකි බවද ඔහු වටහා ගත්තේය.  මේ පිලිබඳව ලොවට කියා පෑමට ඔහු මුලදී මැලි වූවේය. 

 ලෝකයේ සෑම රටකම පාහේ පවතින බලගතු  වූ වෛද්‍ය සමාජයේ කුහක කම නිසාය.  වෛද්‍ය සමාජය අමුතුම සමාජයකි.   අලුත් මතයක් ඉදිරිපත් කරන්නෙක් "නීත්‍යානුකූලව" වැරදි බව ඔප්පු කරන්නට නීතිය යටතේ ඔවුන්ට බලය ඇත.  එක් එක් අංශයේ සිටින්නා වූ විශේෂඥයෝ "රට / ලොව පිලිගත් විශේෂඥයෝ" වීම ඊට හේතුවය.  ඕනෑම රටක නීතියට අනුව ප්‍රවීණයන් (experts) කොටසක් ඇත.  ඔවුන්ගේ මතය නීතිය අනුව අවසාන මතය වේ.   

ඔවුන් කරන දෙය "නීත්‍යානුකූලය".   පිලිගත් සම්ප්‍රදායික දේවල් හැර වෙන යමක් ප්‍රකාශ කිරීමෙන් ඒ ප්‍රකාශ කරන්නා පිස්සෙක් හැටියට  සැලකීමට වෛද්‍ය සමාජය පුරුදුව සිටිති.  එයින් වෘත්තීය වශයෙන් කොන් වීමට බයෙන් බොහෝ වෛද්‍යවරු, සම්මත වූ  එතෙක් පිලිගත් මතයට බැහැරව කිසි දෙයක් කීමට මැලි වෙති. 

 වෛද්‍ය මතයට අනුව  පුනරුත්පත්තියක් නැත.  මිය ගිය පසු සියල්ල හමාරය.  පුනර්භවය පිළිබඳ මතකයන් පිලිගැනෙන්නේ මේ මෑතක සිටය.

මේ අභියෝග හමුවේ බ්‍රයන් වයිස් මහතා මුහුණ පෑවේ වෘත්තීය වශයෙන් ඉතා අන්තරාදයක ප්‍රශ්නයකටය.  කෙසේ හෝ ධෛර්ය උපදවා ගෙන සාක්ෂි සහිතව තමා සොයා ගත් දේවල් ඔහු ලොවට ඉදිරිපත් කලේය.  ඉන් වූයේ බටහිර මනෝ වෛද්‍ය ශාස්ත්‍රය කොටස් දෙකකට බෙදීමය.  බ්‍රයන් වයිස් මහතා කියන දෙය පිලිගන්නා සහ නොපිලිගන්නා කොටස් වශයෙන් එය බෙදී ගියේය.  එයින් සිදු වූ හානියක් නැත.    කොටින්ම කියනවා නම් වයිස් මහතා උගන්වන්නේ වෙන කිසිවක් නොව වසර  2500 කටත් පෙර බුදු රජාණන් වහන්සේ ඉගැන්වූ සමථ භාවනා ක්‍රමයයේ මූලික කොටස පමණය.    ඔහු එය කෙලවරටම නොගොස් මෙලොවදී පමනක් සැනසුමක් ලබන අන්දමට එය අවසන් කරයි. 

අද ලෝකයේ හැටියට වයිස් මහතා ඉතා ප්‍රසිද්ධය. අද මහාචාර්ය පදවියකින් පවා පිදුම් ලබා ඇත.   ආනාපාන සති භාවනාව පුහුනු කිරීමෙන් මානසික රෝග මෙන්ම ශාරීරික ආබාධද  ඔහු  සුව කරන බවට ලොව පිලිගෙන ඇත.  එතුමාගේ අත්දැකීම් පිළිබඳව වටිනා ග්‍රන්ථ කිහිපයක්ද එතුමා එලිදක්වා ඇත.   ඒ මහතා විසින් රචිත සංයුක්ත තැටි කිහිපයක්ද වෙයි.  ඒ සංයුක්ත තැටි වල අඩංගු වන්නේ මොහොතින් මොහොත මග පෙන්වා, රෝගියාගේ සිත සන්සුන් කරන දේශන  මාලාවකි.    සිහි කල්පනාවෙන් එය ශ්‍රවනය කල හොත් මානසික සුවයක් ලැබෙන බව නොරහසකි.  එතනින් එය කෙලවර වෙයි. ඒ පිලිබඳව විස්තර මෙතැනින් බලන්න. 

 සිතට එක වරකට ඇතුලු විය හැක්කේ එක අදහසකට පමනි.  සිතට එන අදහස්  ඉතා කුඩා කාල පරිච්ඡේදයකින් වෙන්වී ඇත.  ඉක්මනින් අදහස් සිතට ඇතුලු වන විට මේ කාලය තවත් කුඩා වී පසුව එක් එක් අදහස් පටලැවෙන්නට පටන් ගනී.  මේ පටලැවීම නිසා සිත වික්ෂිප්ත වෙයි.   නොයෙක් මානසික රෝග ඇති වෙයි.  .  මේ රෝගීන්ගේ චර්යාව අනුව ඒ ඒ රෝගයට නමක් බටහිර විද්‍යාවට අනුව යෙදෙයි.    

නමුත්  අප තිලෝගුරු  සම්මා සම්බුදු රජාණන් වහන්සේ උගන්වා වදාල භාවනා ක්‍රම ඊට වඩා ප්‍රතිඵල සහිතය.  සම්පූර්ණය. පියවි මිනිස් සිත ඉක්මවූ අතුරු ඵල ලැබුණද එය භාවනාවේ අරමුණ නොවන බව බුදු රජාණන් වහන්සේ වදාල සේක.  අවසානය දක්වා සිත මෙහෙයවන අන්දම උන්වහන්සේ අපට උගන්වා ඇත.  අවාසනාවකට මෙන් අපි ඒවා පිලි පදින්නේ නැත.  ක්ලේශයන්ගෙන් තොර වූ නිර්මල සම්බුදු සිත අපට නොපෙනෙයි.  ශාරීරික වශයෙන් බුදුන් වහන්සේ ජීවමානව සිටි කල රූපය දැකිය හැකි වුවද, උන්වහන්සේගේ සිත දැකිය නොහැක.  සත්‍යය මේ යයි..”  බුදු රජාණන් වහන්සේ අපට ලොව පවත්නා සත්‍ය වූ ධර්මයන් උගන්වා ඇත.  එනම් සත්‍යය  යනු ලොව පවත්නා ධර්මයමය.  ධර්මය යනු සත්‍යයමය.  ".. යමෙක් ධර්මය දකින්නේ නම් හේ මා දකියි…” යනුවෙන්  උන්වහන්සේ  ප්‍රකාශ කලේ ඒ නිසාය.    බුදු රජාණන් වහන්සේ  'සිත' පිරිසිදු කිරීමේ කාර්යය පටන් ගන්නේ සීලයෙනි.   විසුද්ධි මාර්ගයේ මෙය විස්තර සහිතව දක්වා ඇත.  සීලය යනු කය, වචනය, සිත යන තුන් දොර පිරිසිදු කර ගැනීමයි.     සීලය නොයෙක් නොයෙක් මානසික තත්වයන්ට සුදුසු ලෙස බුදු රජාණන් වහන්සේ පෙන්වා දී ඇත.  සාමාන්‍ය මහා ජනයාට පංච සීලයත්, ඊට වඩා සීලයක් රැක ගන්නා කෙනෙකුට අට සීලයත්, දස සීලයත්, සාමණේර සික්ශා පද සහ අංග  227 කින් යුත් පැවිදි සීලයත් වෙන් වෙන් වශයෙන් බුදු රජාණන් වහන්සේ දහමෙහි දක්වා ඇත.  මේ සියල්ල ගමන් කරන්නේ එකම දිශාවකටය.  එනම් සසර කෙලවර කර ගැනීමටය.  එසේ කිරීමට  ප්‍රථමයෙන්  සිත පිරිසිදු කර ගැනීම අත්‍යාවශ්‍යය.    සිත කිලිටි කරන අකුසල් ප්‍රධාන වශයෙන් තුනකි... ඒ තුන  රාග, ද්වේශ, මෝහ යනුවෙන් නම් වෙයි.   මේ අකුසල් වලින් මිදී සසර කෙලවර කර ගැනීමට නම් බුදු රජාණන් වහන්සේ පහදා දුන් ගමන් මාර්ගයේ ගමන් කල යුතුය.
 සිත ඉතාමත් අද්භූතය.  එය ගමන් කරන්නේ විදුලියටත් වඩා වැඩි වේගයකිනි.  සුව උපදවන තැන් තදින් අල්ලා ගැනීමේ බලයක් සිතෙහි තිබේ.  මේ නිසාම මනුෂ්‍යයා කරදර පොදි බැඳ ගනියි.    

එක තැනක එක අරමුණක සිත තබා ගැනීම ඉතාමහ් අසීරු කාර්යයකි.  කායික වශයෙන් මාංශ පේශීන් වර්ධනය වීමට ඒ මාංශ පේශීන් ව්‍යායාම කරන්නා සේම සිත වර්ධනය වීමට සිත එක අරමුණක දීර්ඝ කාලයක් තබා ගත යුතුය.  හික්මවන ලද සිත ඉතාමත්ම බලසම්පන්නය.  විශ්වයේ ඇති ඉතාම තේජවත් බලය හික්මවන ලද සිතය.   මේ බව බුදු රජාණන් වහන්සේ ධර්ම දේශනා ඔස්සේ කිහිප අවස්ථාවක  වදාල සේක.  ".. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.." වශයෙන් දේශනා කලේ සිතිවිලි නිසා කර්මය ඇතිවෙයි යන අර්ථය ඇතිවය.  පටිච්ච සමුප්පාදයෙහි " අවිජ්ජා පච්චයා සංඛාරා.. සංඛාරා පච්චයා විඤ්ඤාණ.." වශයෙන් සිත මුල් කොට ගෙන මේ සසරෙහි සත්වයා සැරි සරණ අන්දම බුදු හිමි පැහැදිලි කොට ඇත.  රූප ස්කන්ධය වශයෙන් හඳුන්වන මේ ශරීරයෙහි හටගැන්මද සිත නිසා ඇති වී ආහාර ප්‍රත්‍යයෙන් පෝෂණය වන බව බුදු හිමි දේශනා කොට ඇත.   සිල් රැකීමෙහි අභිමතාර්ථය වන්නේ දමනය වූ සිතක් උපදවා ගැනීමයි. දමනය වූ සිතක් ඇති කල සීලය තවත් වර්ධනය වෙයි.   සීලය රැක ගැනීමට සංවේද ඉන්ද්‍රියයන් සංවර කර ගැනීම අත්‍යාවශ්‍යය.  සිත් ඇද ගන්නා සුලු දේවල් කෙරෙහි ඇදී යන සිත ඒවා අයිති කර ගැනීමට  පෙලඹෙයි.  "සත්‍යය ඇති සැටි දැකීමෙන්" හෙවත් විදර්ශනාවෙන් එය වලක්වා ගත හැකිය. බුදු රජාණන් වහන්සේ පන් සාලිස් වසක් මුලුල්ලේ දේශනා කරේ මේ ධර්මයය. 
තෙරුවන් සරණයි....
මතු සම්බන්ධයි.....                   

No comments: