Sunday, April 12, 2009

මාර්ග, ඵල, සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ - 11

භූරිදත්ත හිමි සිය අත්දැකීම් සිය සිසුන්ට පහදා දෙන් කල්හි, ඒ සිසුන් නොසෙල්වී විශ්මයජනක ලෙස භූරිදත්ත හිමියන්ට කන් දුන්හ. නිවණට දොර විවෘත කොට එබී බලන්නැයි සිය සිසුන්ට පැවසුවාක් මෙන් ඔවුන් මින් පෙර කිසිම අන්දමක නොසිතූ විරූ අත්දැකීමක් අත්වින්දහ. ඒ අවස්ථාවේදී භූරිදත්ත හිමි තමා අනාගාමී ඵලයට සම්ප්‍රාප්තව බොහෝ කල ගත වුවද, ඉන් ඔබ්බට පිවිසීම සිය සිසුන් නිසා අතපසු වූ බව පැවසූ සේක. චියෑං මායි ප්‍රදේශයේ වනගත පරිසරය සිය දියුණුවට මහත් රුකුලක් වූ බව උන්වහන්සේ පවසා ඇත. ශාරීරික වශයෙන් උන්වහන්සේ ඉතා යහපත් තත්වයක පසුවිය. මානසික වශයෙන් සිය 'චිත්තය' මනා සේ හසුරුවා ගෙන රශ්මි විහිදෙන හිරු මඬළ සේ බබලන්නට විය. ක්ලේශයන් හා ධර්මයත් අතර සිදුවුනු අභ්‍යන්තර සටන දඩයම් කරන සුනඛයන්ට උන්වහන්සේ උපමා කල සේක. දඩයම් කරන සුනඛයින් සිය ගොදුර මුල්ලකට කොට සිය ශක්තිමත් හකු පාඩා වලින් තීරු තීරු ඉරා ගිල දමන්නාක් මෙන් කෙලෙස් විනාශ කිරීමට උන්වහන්සේට හැකිවිය. 'චිත්තයද', මහා සති-මහා ප්‍රඥා වශයෙන් ඉතාමත් සූදානම් වී පැවතුනි. චින්තනය, නොහොත් චිත්තයේ ක්‍රියා කාරිත්වය විමැසීමට භාජන කල විට, උන්වහන්සේට පෙනී ගියේ රූප ස්ක්න්ධය ප්‍රථමයෙන්ම ප්‍රඥාව වර්ධනය වීමත් සමගම චිත්තයට බලපාන්නේ නැති බව දර්ශනය වීමයි. නමුත් අනෙක් ස්කන්ධ හතර, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, ආදී නාම ස්කන්ධ ඉතා ප්‍රවේශමෙන් විචාරාත්මක ලෙස කරුණු ගලපා සොයා බැලිය යුතු බව භූරිදත්ත හිමි සඳහන් කරයි.. සිද්ධාන්ත මත ගැබ්වූ දැනුමත්, තමාගේ ප්‍රඥාව මෙහෙයවා ලබා ගන්නා අත්දැකීමත් අහස හා පොලොව මෙන් පරස්පර බව භූරිදත්ත හිමියෝ පවසති. සමහර ධර්ම සාකච්ඡා වලදී මේ ගැටලුව මතු වන බව උන්වහන්සේ පෙන්වා දෙයි. මේ මාන්නක්කාර ගති සමහර සිසුන් අතර පවතින බව උන්වහන්සේ පවසා ඇත. මතභේද පවා ඇති වන්නේ එවන් අහංකාර සිසුන් ඇති විටය . බුදුන් වහන්සේ සිය අවධානයත්, ප්‍රඥාවත් යොමු කොට අර්හත් ඵලයට පත් වූ සේක. රහතන් වහන්සේලාද එසේමය. කෙලෙසුන් සමණය කිරීමට මේ දෙකම අවශ්‍යය. සිද්ධාන්ත පිලිගැනීමෙන් පමණක් අර්හත් ඵලයට සමවැදීමට කිසිසේක් නොහැක. බුදුන් වහන්සේ ප්‍රඥාව මෙහෙයවා විමැසූ විට පමණක් 'ඔබට සත්‍යය පෙනෙයි නම් පිළිගන්නයයි' ' (සන්දිට්ඨිකෝ)' වදාල සේක. භූරිදත්ත හිමි අර්හත් ඵලයට පිවිසීමට පෙර තමාට කාලය පිලිබඳව අමතක වූ බවත්, නින්ද පවා අමතක වූ බවත්, කෙලෙසුන් දමනය කිරීමට සියලුම වෙහෙස ගත් බවත් පවසයි. ප්‍රඥාවත්, සතිපට්ඨානයත් කැටි කොට සිය සියලු වීර්යය යොදා සසරින් ජය ගැනීමට වෙහෙසන භූරුදත්ත හිමි සිය 'චිත්තය' ජවසම්පන්න අශ්වයෙක් හා සමාන වූ බව පවසා ඇත. තවද, සියලු ක්ලෙශයන් එක පහරින් විනාශ කල හැකි බවක්ද හැඟුනු බව පවසා ඇත.

ඒ තීරණාත්මක දවසේ, උන්වහන්සේ අභ්‍යන්තර හා බාහිර වශයෙන් සිතට හසුවන සියලුම සංසිද්ධි විමසා බැලූ සේක. සියලුම මිත්ථායවන් සුණුවිසුනු කල උන්වහන්සේ ප්‍රීතියෙන් උද්දාම විය. විශාල මත්ස්‍යයෙක් මහ සයුරෙහි නිදහසේ පිහිනන්නාක් සේ පුබ්බේනිවාසානුස්සති ඥාණය මෙහෙයවා සිය අතීතයට එබී බැලූ සේක. තමාට වැරදුණු අඳුරු තැන් සිහි කොට යලිත් ඒ වරදම නොකිරීමට තරයේ ඉටා ගත් සේක.. උන්වහන්සේගේ හදවත වේගයෙන් ස්ඵන්දනය වන්නට වූයේ විස්තර කල නොහැකි ඉතා දීප්තිමත් ආලෝකයක් තුලට ඇතුලු වූ පසුය. (මේ පොත සම්පාදනය කල තෙරුන් වහන්සේ, භූරිදත්ත හිමියන් දුන් විස්තරය සම්පූර්ණ වශයෙන් ඒ අන්දමටම රචනය කිරීමට නොහැකි වීම ගැන මෙහිදී පාඨකයාගෙන් සමාව අයැද සිටී. පිට 155) හිර බැස යන යාමයේ භූරිදත්ත හිමි සක්මන් භාවනාවෙහි නිරත වූහ. උන්වහන්සේ පටිච්චසමුප්පාදය කෙරෙහි සිත යොමු කොට එකිනෙක අවස්ථා විමර්ශනය කරන්නට වූහ. "අවිජ්ජා පච්චයා සංඛාරා" යනාදී වශයෙන් පටන් ගෙන ප්‍රඥාව මෙහෙයවා විමැසන කල්හි, ඉපැදුනු කුතුහලය විස්තර කල නොහැකි තරම් විය. සත්වයා සසර සැරිසරන්නේ මේ පටිච්ච සමුප්පාදය හරියට නොදන්නා නිසා නොවේදැයි මෙනෙහි කල සේක. රාත්‍රී නවය පමණ වන විට උන්වහන්සේ හිඳගෙන භාවනා කල සේක. එතෙක් වේලා 'අවිද්‍යාව' ගැන මෙනෙහි කල උන්වහන්සේ පටිච්චසමුප්පාදය අනුලෝම වශයෙනුත් ප්‍රතිලෝම වශයෙනුත් එක් එක් අවස්ථා ගැන විමැසූ සේක. අලුයම තුන පමණ වෙන තෙක් නොකඩවා භාවනා කල උන්වහන්සේ අවසානයේ 'සතුරා' දුටු සේක. ඒ වෙනෙකෙක් නොව 'අවිද්‍යාවම' විය. කල්ප ගනනක් මුලුල්ලේ 'උපත-විපත' වශයෙන් සසර සැරිසැරුවේත් මේ සතුරා,- 'අවිද්‍යාවම' නිසාය. ඒ ස්වර්ණමය මොහොත ලඟා විය. උන්වහන්සේ 'අවිද්‍යාව' යලි නොනැගිටින සේ විනාශ කර දැමීය. ලොවට තවත් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක රහතන් වහන්සේ නමක් බිහිවිය. දේව සමූහයා උන්වහන්සේට ගරු කිරීමට පැමිණියහ. මුලු ලොවම සසල වන බවක් උන්වහන්සේට දැනුනි. ඒ අසල ගම්මාන වල සිටි මනුශ්‍යයෝ මේ කිසිවක් ගැන දැන නොසිටියහ. ඔවුන් පුරුදු පරිද්දෙන් සිය ලෞකික දෛනික දේවල් ගැන යෙදී සිටියහ. ඒ විශ්මයජනක මොහොත පසුවූ පසු, ඉතිරි වූයේ ඉතාමත්ම පාරිශුද්ධ වූ විසුද්ධිධර්මය පමණකි. ඒ දහම භූරිදත්ත හිමිගේ චිත්තයත් ශරීරයත් හාත්පසම වෙලාගත්තේය. එහිදී ඇති වූ විශ්මයත් ප්‍රීති සුඛයත් විස්තර කල නොහැකි බව උන්වහන්සේ පැවසීය. ඒ රාත්‍රියේ ඉතිරිව තිබූ කාලය තුල උන්වහන්සේ බුදුරජානන් වහන්සේගේ පරෝපකාරය මෙනෙහි කලේ කෘතඥපූර්වකය. මේ අතිඋත්තම ගුරුතුමා සිය ධර්මයේ කිසිම තැනක පරස්පර විරෝධී දෙයක් පවසා නොමැති බවත්, ඒදහම අති පාරිශුද්ධ බවත් මෙනෙහි කලේ බුදුහිමි කෙරෙහි පහල වුනු අචල භක්තියෙනි. වරෙක තමා පහදා ගත් ධර්මය ඉතා ගැඹුරු බවත් සාමාන්‍ය කෙනෙකුට අවබෝධ කල නොහැකි බවත් උන්වහන්සේට සිතුනි. ඒ සමගම බුදු හිමි අනුගමණය කල මග ඔස්සේ තමා අන් මනුශ්‍යයින්ට පිහිට විය යුතු බවත් වැටහුනි. ධර්මය අන් මිනිසුන්ට උගන්වන්නේ ඒ සත්වයින්ට පිහිට වී මේ සසරෙන් එතර කරවීම උදෙසාය. කරුණා පෙරදැරිව බුදුන්වහන්සේ සැතැපුම් ගනන් දෙපයින්ම ඇවිද දහම් දෙසූ බව සිහි විය.දහමෙන් නැහැවුන හදවතක ඇත්තේ සතුට පමණකි. දුකක් එහි නොමැත. රහතුන් වහන්සේලාගේ ස්කන්ධයන්ද, අනෙක් මනුශ්‍යයින්ගේ ස්කන්ධ හා සමානය. නමුත් කෙලෙස් වලින් තොරය. නිවණ අවබෝධයෙන් පසු ස්කන්ධයන්ගේ වෙනසක් දක්නට නොමැත. සිරුර බිඳී යන විට චිත්තය "යථාදීපෝ චනිබ්බුතෝ" බවට පත්වෙන්නේය. ඒ පිරිසිදු චිත්තයත්, ධර්මයත් එකමය. ස්කන්ධයන් නැසී ගියද, පිරිසිදු ධර්මය අඩංගු චිත්තය එතැනින් වෙන්වී සදාකාලික වෙනස් ම්ගක් ගනියි. බුදුන් වහන්සේ "ධර්මය දකින්නේ යමෙක්ද, හේ මා දකියි..." යනුවෙන් ප්‍රකාශ කලේ ඒ නිසාය. දිව්‍ය සමූහයා ඉතා ප්‍රීතියෙන් භූරිදත්ත හිමි හමුවට පැමිණියද, උන්වහන්සේ ඔවුනට පසුව පැමිනෙනෙ ලෙසට ඉල්ලා සිටියේය. භූර්‍රිදත්ත හිමියන්ගේ නිවන් අවබෝධයෙන් පසු මෙතෙක් ලොව පහල වූ බුදුන් වහන්සේලා සිය ශ්‍රාවක රහතන් වහන්සේලා පිරිවරා ගෙන භුරිදත්ත හිමියන්ට ආශීර්වාද කිරීමට පැමින ඇත. (ඒ පිලිබඳ විස්තර මේ සටහන දිග වැඩි නිසා ඊලඟ කොටසේ- පිට 172 – The Most Exalted Appreciation – The Biography of Acharya Mun) මේ පොත සම්පාදනය කල ආචාර්ය මහාබූව ඥාණසම්පන්නෝ හිමියන් තවමත් තායිලන්තයේ බාන් ටාඩ් සංඝාරාමයේ වැඩවසති. යම්කිසි දෙයක් තව දුරටත් පැහැදිලි කිරීම අවශ්‍ය නම් උන්වහන්සේට විද්‍යුත් ලිපියක් යොමු කරන්න. . webluangta@gmail.com

11 comments:

ඩනිෂ්ක said...

"මෙතෙක් ලොව පහල වූ බුදුන් වහන්සේලා සිය ශ්‍රාවක රහතන් වහන්සේලා පිරිවරා ගෙන භුරිදත්ත හිමියන්ට ආශීර්වාද කිරීමට පැමින ඇත." නිවන් දැක්ක බුදුවරු රහතන් වසන්සේලා ජීවත්ව සිටිය නොහැකියී නේද ?

කය නොමෑතිව හෝ සිටිය හැකිද?

:-/

සරත් ගුණතුංග said...

දයාබර පුතේ ඩනිෂ්ක,
මමත් මේ පොත් කියවන තෙක් සිතා සිටියේ එසේමයි. පිරිනිවියෙන් පසු උන්වහන්සේලාගේ කිසිම පැවැත්මක් නැති බවයි.

මේ දර්ශනය රහතන් වහන්සේ නමකගේ අත්දැකීම්, කෙලින්ම ප්‍රකාශ කල දෙයක්. තවද තායිලන්තයේ අදටත් රහතන් වහන්සේලා බිහිවන බව බෞද්ධ ලෝකයේ ප්‍රසිද්ධ කරුණක්.
මේ පොතේ ප්‍රථම මුද්‍රණයට තායිලන්තයෙන් හා ලංකාවෙන් විශාල උද්ඝෝෂණ පැන නැංගා, ඒත් ඔය කරුණු මුල් කරගෙන, මරණින් මතු රහතන් වහන්සේලාගේ පැවැත්ම ගැන. එහි දෙවන මුද්‍රණය තුල මේ සම්බන්ධව සංශෝදනයක් අඩංගුයි. (Appendix one) ඒ සංශෝදනය උපුටාගෙන මට පල කරන්න බැහැ. ඒ පොත නොමිලයේ බාගත හැකියි. ඒ සංශෝදනයේ තියෙනවා 'ග්‍රන්ථාරූඩව ඇති ත්‍රිපිටකයත්, බුදුන් වහන්සේගේ දෙතොල් වලින් කියැවුණු ධර්මයත් වතුර වීදුරුවක් හා මහා සාගරයත් හා සමානයි' කියල.
ඒ නිසා අපේ රටේ තියෙන ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වන විට නොයෙක් දෝශ ඇති වූ බවට කනගාටුවෙන් හෝ අපට පිලිගන්න සිදුවී තිබෙනව.
මේ අන්දමට බය නැතුව ප්‍රකාශ කරන්න ඉස්සර වෙලා මම චාරිකාවක ගිහින් තතු සොයා බැලුව. හෘදය සාක්ෂියට එකඟව තායිලන්තයේ බුදුදහම අපේ රටේ බුදුදහමට වඩා ආධ්‍යත්මික අතින් උසස්. අපට අවශ්‍ය නිර්මල බුදුදහමයි. එය කොතැන තිබුණත් අපි එතැනට යා යුතුයි.

ඩනිෂ්ක said...

"ඒ නිසා අපේ රටේ තියෙන ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වන විට නොයෙක් දෝශ ඇති වූ බවට කනගාටුවෙන් හෝ අපට පිලිගන්න සිදුවී තිබෙනව."

ඔව්, එවිතරක්ද, පිටපත් කිරිමෙදි අපමණ දෝෂ එන්න ඇති. අතින්නේ ලියන්නේ.
සැළලිහිණියේ වෙබ් සංස්කරණය ඉදිරිපත් කළ කෙනෙක් මට ඔය පුස්කොලපත් වල එන වෙනස කීවා.
නමුත් අරක නම් මම ඇහුවමයි.

ලංකාවේ නම් බුදුදහම ගැන කතා කරලා වැඩක් නැ :(

මෙහෙ හාමුදුරුවරු ගිහියොන්ට දේපල සඳහා නඩු දානවා. ඉතින් කොහෙද තෘෂ්ණාව නැති කරගන්නේ?

makabaas said...

මේක සම්පුර්ණයෙන්ම අනාත්මවාදයට ප්‍රති විරුද්ධ අදහසක් නේද? පරිනිර්වානයට පත් වු තථාගතයන් වහන්සේලා ආශීර්වාද කිරීමට එන්නේ කොහේ සිටද? නිර්වානය , දෙව්ලොව වැනි ස්තානයක්ද? නැතිනම් අවබෝධ කරගතයුතු සත්‍යක්ද??

හේම ජයන්ත කොළඹගේ said...

අතක්කාවචර දහමක් තර්ක කල හැකිද? නිවන යනු නිරපේක්ෂ සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිවනට පත්වන කිසියම් නාමරූපයක් වේද එය පහණක් නිවී ගියා සේ ෂේශරහිතව නිරුද්ධ වී යනවගයි. කිසියම් තැනක විඤ්ඤාණයක් රහිතද එතැන නාම රූප හට නොගනියි. කිසියම් තැනක නාමරූප නොමැතිද එතැන සලායතන හෝ වේදනා තන්හා උපාදාන භව ජාති යනාදී කිසිවක් හට නොගනී. පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසා බැලීමෙන් මෙය අවබෝධකල හැකියි.සැමට තෙරුවන් සරණයි.

සරත් ගුණතුංග said...

මේ සටහන මා කලින් කී පරිදි Biography of Acharya Mun යන පොතේ පරිවර්තනයක් බව කරුණාවෙන් සලකන්න. එහි අඩංගු කරුණු පිලිබඳව විස්තර දැනගැනීමට එහි සම්පාදක ඥාණසම්පන්නෝ ස්වාමීන් වහන්සේ වෙත යොමු කරන්න. මා කලින් කී පරිදි ඒ පොතේ Appendix one සටහනේ මේ පිලිබඳව තේරුම් කර ඇත. කරුණාකර කියවන්න.

සරත් ගුණතුංග said...

හේම ජයන්ත මහත්මයා,

සැදැහැවත් බෞද්ධයෙක් වන ඔබට පුද්ගලික වශයෙන් මා විශේෂ ලිපියක් එවා ඇත. එය කියවන්න. වෙන රටවල් වල ඇති බෞද්ධ පොත පත සමහර අවස්ථාවල අපේ ඒවාට වඩා වෙනස් ස්වරූපයක් ගනියි. වරක් නවීන ග්‍රන්ථ කතෘ වරයෙක් හා මහායාන භික්ෂුවක් වන තිට් මින් හෑන් හිමි උන්වහන්සේගේ පොතක මෙසේ ලියා තිබුනි. "ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරණ විට ලංකාවේ උන් සමහර මානාධික හිමිවරුන් ත්‍රිපිඨකය විකෘති කොට ලියා ඇත......" මේ පිලිබඳව මම ලංකාවේ සිටි ඉතා උගත් මහාචාර්ය හිමි කෙනෙකුගෙන් විමසුවෙමි. උන්වහන්සේ මට තිට් මින් හෑන් හිමියන්ගේ පොත් නොකියවන ලෙස අවවාද කලේය. කොපමණ උගතෙක් වුවත් ඒ අවවාදය හෘදය සාක්ෂියට එකඟව මම පිලිගත්තේ නැත. අපේ රටේ ඇති බුදුදහම සියයට සියයක් පිරිසිදු බවටද මට සාක්ෂි නැත. විශ්ව විද්‍යාල මගින් පිරිනමන ආචාර්ය පදවි ගැන මගේ විශ්වාසයක්ද නැත. ධර්මයද එසේමය. පටිච්ච සමුප්පාදය ගැන කියවීමෙන් පමනක් අවබෝධ කල නොහැක. ඒ ගැන ප්‍රඥාව යොමු කොට සිහියෙන්ම විමසා බැලිය යුතුය. අපේ රටේ පොතේ ගුරාලා එමටය. අවිජ්ජා පච්චයා සංඛාරා යන පදය පමණක් ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තවුන් ඇත්තේ කී දෙනාද? පටිච්ච සමුප්පාදය කට පාඩමෙන් කියාගෙන් කියාගෙන යෑමට දස දහස් ගනන සිටිති. සෑම දෙයක්ම අපි ප්‍රඥාවෙන් සොයා බැලිය යුතුය. තෙරුවන් සරණයි

makabaas said...

සරත් ගුණතුංග මහතානෙනි,

මේ කරුන සාකච්චාවට බදුන් විය යුතු එකක්. ඔබ මින් අදහස් කරන්නේ ත්‍රිලක්ෂන යේ එන අනාත්ම ලක්ෂනය ප්‍රතික්ශේප විය යුතු බවද?? වල්පොල රාහුල, පියදස්සී හිමි ආදි උගත් භික්ෂුන් පවා මේ සම්බන්දයෙන් වැරදි බවද?? අතීත බුදුවරු ආසිරි දීමට පැමිනෙන්නේ කවර නම් ලෝකයක සිටද? නිවී සැනහී යාමෙන් පසු තවත් ඉතිරිවන යමක් වෙත්ද? අහන්නේ නොදන්නා නිසාමය.

සරත් ගුණතුංග said...

හිතවත් මහත්මයානනි,
ඔබ 'මකබාස්' කියාගත්තත් එසේ ඔබට ඇමතීමට කිසිසේත් මම සූදානම් නැත. මෙහිදී එක කරුණක් අප සිහියේ තබා ගත යුතුය.

මේ පොතේ සඳහන් වන්නේ ඒක්තරා රහතන් වහන්සේ කෙනෙකුගේ අත්දැකීම් මිසක් තර්කයක් ඉදිරිපත් නොවන බවයි. පිටු 500කට අධික වන මේ පොත පරිවර්තනය කිරීම මා ඇරඹුවේ අපේ රටේ නැතිවී යන ආගමාලය නගා සිටුවීම සඳහාය. වචනයක් වචනයක් පාසා නියම තේරුම පාඨකයාට දීමට හසල බවක් මට නොමැත. කිසිම තර්කයක් බිඳහෙලීමටවත්, කිසිවෙකුට පහරක් ගැසීමටවත් මට අවශ්‍ය නැත. හෘදය සාක්ෂියට එකඟව පිරිසිදුයයි සැලකිය හැකි බුදුදහම කොතැනකද, මම එතැනට යමි.
තථාගතයන් වහන්සේලා හා භූරිදත්ත හිමි හා ඇතිවූ සංවාද දීර්ග වශයෙන් පසු පරිච්ඡේද වල ලියැවී ඇත. පසුව පලවන කොටස් වල ඒවා පලවන බැවින් ඒ ගැන පසුව කියවන්න.

Chamitha said...

ගුණතුංග මහතාණෙනි,

පළමුවෙන්ම කියන්නට ඕනෙ, මේක අති විශිෂ්ට ලිපියක්. ඉතාම සංවේදියි.

නමුත් කරුණු 2ක් සම්බන්ධව මට සැක සංකා තිබෙනවා. මුල්ම එක තමයි මෙතෙක් ලොව පහල වූ බුදුන් වහන්සේලා සිය ශ්‍රාවක රහතන් වහන්සේලා පිරිවරා ගෙන පැමිණ භුරිදත්ත හිමියන්ට ආශීර්වාද කළා කියන කරුණ. මේක නම් අප දන්නා බුදු දහමට පමණක් නොවෙයි අපේ සාමාන්‍ය වැටහීමට (common sense)ත් විරුද්ධයි. හේම ජයන්ත කොළඹගේ මහත්මයා කියන විදියටම, සංසාරය කියන්නෙ බුර බුරා නගින ගින්නක් වැනි දෙයක්. නිවන කියන්නෙ ඒ ගින්න නිවී ගිය අවස්ථාව. ගින්න නිවී ගිය පසු එහි ලකුණක් නෑ. ගින්න නැවත ඇවිලවිය හැකි වුවත් ඇවිලෙන්නේ පැරණි ගින්න නෙවෙයි. කලින් ගින්න සදාකාලිකව නිවී ගොස් අවසන්..! මම දන්නා තරමින් නිර්මල බුදු දහමේ නිවන විස්තර වෙන්නෙ ඔය විදිහට. ඒ නිසා නිවී ගිය ගිනි වැනි අතීතයේ විසූ බුදුරජාණන් වහන්සේලා පැමිණ ජීවත් වන කෙනෙකුට ආශිර්වාද කිරීම කිසි සේත්ම විය නොහැක්කක්.

උක්ත කරුණ අපේ සාමාන්‍ය බුද්ධියටත් පටහැනි වෙන්නෙ මේ විදියට. සංසාරයෙන් සමුගත් කෙනෙකුට නැවත පැමිණ තවකෙකුට ආශිර්වාද කළ හැකි නම් මුලු මහත් 'නිවන' කියන සංකල්පයම එතැනදි අභියෝගයට ලක්වෙනවා නේද? මෙතැනදි තමාගේ බුද්ධියට තමා ඉඩ දිය යුතුයි කියල මම හිතනවා.

තවත් කරුණක් තිබෙනවා. නූතන ත්‍රිපිටකය කියන්නේ 1956 වසරේ බුරුමයේ පැවති සයවැනි ධර්ම සංගායනාවේදී අනුමත වෙච්ච දෙයක්. එහිදී අපේ අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහිමි ඇතුලු යතිවරුන් පැරණි ත්‍රිපිටක වල අකුරක්, අකුරක් පාසා වාද විවාද කර අවසානයේ පොදු එකඟතාවයකට එළඹුනායින් පසුව තමයි ත්‍රිපිටක පොත් වහන්සේ ප්‍රකාශයට පත් කළේ. ඉතින් අපි උන්වහන්සේලා පිළිබඳව විශ්වාසය තැබිය යුතුයි.

දෙවැනි කරුණ තමයි තායිලන්ත බුදුදහමේ අධ්‍යාත්මික පැත්ත. මම භුරිදත්ත හිමියන් වැඩ වාසය කරපු, තායිලන්තයේ චියැං මායි නගරයට ගිහින් තියනවා. ඒ ගමනෙදි මට ඒ නගරයේ වැදගත්ම පන්සල වන Doi Suthep වලටත් යන්න හැකි වුණා. ඒත් කණගාටුයි කියන්න, ඔබ කියන තරම් අධ්‍යාත්මික දියුණුවක් නම් මම එහිදී දැක්කෙ නෑ. මම කතාකරපු, චියැං මායි විශ්ව විද්‍යාලයේ බෞද්ධ සිසුන් කිහිප දෙනෙකු අඩු තරමින් බුදුරජාණන් වහන්සේ කියන්නෙ කවුද කියා වත් දැන සිටියේ නෑ..!! ඔවුන් පන්සිල් ගන්නෙ නැහැ. මට ලොකු කම්පනයක් ඇති වුණා ඒවා දැක්කම.

සමහර විට වනගතව අප්‍රසිද්ධියේ භාවනා කරන අධ්‍යාත්මිකව උසස් තලයකට පිවිසුණු භික්ෂූන්වහන්සේලාත් එහි ඉන්න පුලුවන්. නමුත් තායිලන්තයේ වැසියන්ගෙන් බහුතරයක් අර කියපු ගණයට තමයි වැටෙන්නෙ මට තේරුණු විදියට. අපේ භික්ෂූන්වහන්සේලාගේ හා ගිහියන්ගේ මොන අඩුපාඩුකම් තිබුණත් සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාව ඒ රටට වඩා හොඳ තැනක තියෙනවා කියල මම තරයේ විශ්වාස කරනවා.

lambodara said...

Sarath Gunathunga mahathayo,

oba thuma nodanuwathwa hari karanne Nirmala budhudahama wikurthi karana ekai!a papen galawenna ba obata!

Me pissu ganayekge lanu kaala,anith ayatath ema boru kiyaladeela mohanaya karala nikam paw siddha karaganna epa,Pl.Read the ABHIDHAMMATTHA SANGAHA.....