Sunday, February 15, 2009

කරුණා දයා මෛත්‍රී උපේක්ෂා.....

ඒ 1999 නත්තල් දවසයි. මගේ මව හදිසියේ අසනීපව ඕක්ලන්ඩ් හි මිඩ්ල්මෝ රෝහලට ඇතුල් කල බව මගේ සහෝදරිය දන්වා එවීය. ඊට පහුවදා මම ඇය බැලීමට රෝහලට ගියෙමි. ඇයගේ තත්වය සතුටුදායක වූයේ නැත. අවුරුදු 72ක් වූ ඇයට හෘදයාබාදයක් වැලඳී තිබුණි. හෘදයවස්තුවේ ලේ නහරයක ලේ කැටි ගැසී ඒ නහරයෙන් ඔබ්බට හෘදයවස්තුව ක්‍රියා විරහිත වී තිබුණි. කැටි ගැසුනු ලේ දිය වීමට රෝහලෙන් ඖෂධ ශරීර ගත කල නමුත් එයින් පලක් නොවීය. දැන් මිනිස් කමේ සංකේත ක්‍රියාත්මක වීමට ආසන්නය. මගේ සොයුරියන් දෙදෙනෙක් රෝහල හරියට ක්‍රියා නොකල බවට කියවන්නට වූහ. ඔවුන් ඇඟිලි දිගු කිරීමට ආසන්නව සිටියහ. සිදුවී ඇති දේ හරියාකාරව සොයා බැලූවිට කාගේවත් වරදක් ඇතිබවක් නොපෙනෙයි. ඔවුන් ඇඟිලි දිගු කිරීමට පෙර මම ඇඟිල්ල ඔසවා නිශ්ශබ්දව වෙන ලෙස කියා සිටියෙමි. මම සියල්ල සොයා බැලූ බවත් කිසි කෙනෙක් අත වරදක් නැති බවත් අපේ අම්මාගේ අවසානය ලඟා වී ඇති බවත් බෞද්ධයින් හැටියට අපිට එය පිලිගැනීමට සිදුවී ඇති බවත් මම පැවසුවෙමි. වයස 72ක් වුවද, පියා නැති අපට මැණියන්ගේ වියෝව දරා ගත නොහැකි විය. ඇය ජීවත් කල නොහැකි බව වෛද්‍ය මණ්ඩලය කියා සිටියි. අම්මාද ඇයට සිදුවන්නේ කුමක්දැයි අසන්නීය. ඒ වෙන විට අපේ පියා මිය ගොස් අවුරුදු 41ක් විය. අම්මාගේ අවසාන කාලය ඇය පින් දහම් කරමින් නිදහසේ ජීවත් වූ බව මම දනිමි. අවුරුදු දෙකකට පෙර ඇය දඹදිව වන්දනාවේ යාමට ආශාවක් දැක්වීය. හැකි පමණ සුව පහසුවට දඹදිව යාමට මම ඇයට ඉඩකඩ සලසා දුනිමි. මහාපරිනිර්වාන සූත්‍රයේ බුදුරදුන් ආනන්ද හිමිට වදාල දැය මම අම්මාට හැම විටම මතක් කර දුන්නෙමි. "... ආනන්දය, තථාගතයන් වහන්සේ උපන් ස්ථානය, බුදු වූ ස්ථානය, ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ ස්ථානය සහ පිරිනිවන් පෑ ස්ථානය, යන මේ සිවු වැදෑරුම් ස්ථානයන් යමෙක් සැදැහි සිතින් වන්දනා කරයිද, ඒ සිහියෙන්ම මේ කය බිඳී යයිද, ඒ අය දුගතියක නොඉපදෙනු ඇත......." අම්මා දඹදිව ගොස් පැමිණ දිග ලියුමක් ලියා මට පින් අනුමෝදන් කරවීය. ඇයගේ ලියුම මම කියවූයේ මහත් ආශාවෙනි. මා මෙලොවට බිහිකල මගේ අම්මාට දඹදිව වන්දනාවේ යාමට ඉඩ සලසා දුන් හෙයින් මා තුල මහත් සොම්නසක් ඇතිවිය. දැන් අම්මාට ආයුබෝවන් කීමට සිදුව ඇත. ඇයට සත්‍යය වසන් කිරීමට මට කිසිම කැමැත්තක්ද නැත. මගේ සහෝදර සහෝදරියන්ගෙන් එක් අයෙක් හැරුනු විට අනෙක් දරුවන් අම්මා අවට සිටියහ. ඉතාමත් හෙමින්, පැහැදිලිව, අම්මා සුව කල නොහැකි බව මම පවුලේ වැඩිමලා හැටියට ඇයට පැවසුවෙමි. මගේ ජීවිතයේ මේවැනි අවස්ථා බොහෝ ගනනකට මම මුහුණ දී ඇත්තෙමි. නමුත් මගේම මැණියන්ට එය පැවසීම තරමක් අපහසු විය. පිරිසිදු ආගමික දිවියක් ගත කල අම්මා තමාගේ අවසානය ලඟ බව සාවදානව අසා සිටියාය. ඇය කිසිම කැලඹීමක් නොදැක්වූවාය. එතැන් සිට ඇය අවසන් හුස්ම හෙලන තෙක්ම ඇයගේ දරුවන් අඩු වශයෙන් එක්කෙනෙක් වත් ඇය ලඟ සිට ඇය කරන ලද පුණ්‍ය ක්‍රියා සිහිකර දීමට වග බලා ගත්හ.. විශේෂයෙන් අම්මාගේ දඹදිව වන්දනා ගමන ගැන සිහි කිරීමට මතක තබා ගත්තෙමු. නේරංජනා ගංගා තීරය අම්මාට හොඳට මතක තිබුණි. අම්මාට කිසිම වේදනාවක් දැනුනු බවක් පැවසුවේ නැත. 2000 වසරත් ලබා දින කිහිපයක් ගෙවී ගියේය. අපි බලාපොරොත්තු වූ පරිදි අම්මාගේ සිහිය කෙමෙන් කෙමෙන් බොඳ වී ගොස් ඇය අවසාන හුස්ම හෙලුවාය. අම්මාගේ වියෝවත් සමගම මට ඉතා විශාල පාලුවක් දැනෙන්නට විය. මෙය මම බලාපොරොත්තු නොවූ දෙයකි. ශෝකය වාවා ගත නොහැකි තරම් දරුණු විය. ආගමික වතාවත් කිරීමට සංඝයා වහන්සේලා තුන් නමක් අපට ලැබුණි. එක නමක් ඉංග්‍රිසි ජාතික ස්වාමීන් වහන්සේ නමකි. ඒ ස්වාමීන් වහන්සේ වෙලිංටන් පන්සලේ වැඩවසති. තව නමක් ඕක්ලන්ඩ් තායි පන්සලෙන් වැඩියහ. උන්වහහන්සේ තායි ජාතිකයෙකි. අනෙක් නම ලාඕස් ජාතිකයෙකි. උන්වහන්සේ දුත්ථංග කම්මත්ථාන හික්ෂූන් වහන්සේ නමක් හැටියට මට හඳුන්වා දුන්නේය. ඒ වෙනතෙක් දුත්ථංග කම්මත්ථාන භික්ෂූන් වහන්සේලා ගැන මම අසා තිබුනේ නම වශයෙන් පමණි. ඒත් ඉතා ස්වල්ප වශයෙනි. මීකොං ගඟ ආශ්‍රිතව, තායිලන්තය, ලාඕස්, වියට්නාමය යන ප්‍රදේශවල වනගතව වෙසෙන සිල්වත් භික්ෂූන් වහන්සේලා හැටියට කම්මත්ථාන භික්ෂූන් වහන්සේලා මම දැන සිටියෙමි. එපමණකි. ආගමික වතාවත් වලින් පසු ස්වාමීන් වහන්සේලාට මම වැන්දෙමි. අවසාන වශයෙන් මම ලාඕස් ජාතික ස්වාමීන් වහන්සේට වැඳ, දනින් සිටියදීම උන්වහන්සේ ලඟ සිටගත්තෙමි. උන්වහන්සේ වැඳගෙන සිටි මගේ අත්දෙක උන්වහන්සේගේ දෑතින්ම අල්ලා ගත්තේය. මම උන්වහන්සේගේ දෙඇස දෙස බලා ගෙනම සිටියෙමි. මම කොපමණ වේලාවක් එසේ සිටියාදැයි මතක නැත. අඩු වශයෙන් විනාඩි දහයක් වත් සිටින්නට ඇත. ඉත සොවින් සිත් වේහනාවෙන් සිටි මගේ ශෝකය ක්‍රමයෙන් පහව ගොස් සැනසුමක් මතුවිය. මට මේ ස්වාමීන් වහන්සේ ලඟ දැනෙන්නේ පුදුම සැනසුමකි. උන්වහන්සේ අතහැර යාමට නොහැක. උන්වහන්සේ මැදිවිය ඉක්මවූ මහලුවියට පාතබා ඇති කෙනෙකි. උන්වහන්සේ මට වචනයක් වත් කථාකලේ නැත. ඒ උන්වහන්සේට ඉංග්‍රිසිත්, මට ලාඕස් භාෂාවත් බැරි නිසාය. උන්වහන්සේගේ මුවෙහි සිනා රැල්ලක්ද මතුවී ඇත. අවසානයේ උන්වහන්සේ මගේ හිසද අතගා මගේ දෙ අත් අත හැරියේය. මාතුල තිබූ ශෝකය සම්පූර්ණයෙන්ම පහව ගොසිනි. අම්මාගේ දේහය ආදාහනාගාරය වෙත රැගෙන ගියද, මා තුල තිබූ දරුණු ශෝකය දැන් නැත. දින දෙකකට පසු තායි පන්සලට මම ගියේ අර ලාඕස් ජාතික ස්වාමීන් වහන්සේ හමු වීමටය. ඒ ස්වාමීන් වහන්සේ ඊට පසුවදා යලිත් පන්සලෙන් පිටව ගොස් ඇත. උන්වහන්සේ ගැන අනෙක් ස්වාමීන් වහන්සේලා පවා නොදනිති. දුත්ථංග හිමි කෙනෙකුගේ වෙසින් පැමින මගේ ශෝකය තුනී කල ඒ උත්තමයා කවරෙක්දැයි මම අද පවා නොදනිමි.

6 comments:

H said...

හරිම සංවේදීයි. අර ස්වාමින් වහන්සේලා ලැබුණයි කියල කිව්වේ. ඒ පන්සල් වලින් වතාවත් කිරීමේදී අනුගමනය කරන ක්‍රම නිසාද? මොනව වුණත් අපේ විශ්වාසයන් තුලමනේ සැනසීම ති‍යෙන්නෙත්. ඒ නිසා දුත්ථංග හිමි නිසා සරත් මහත්මයටත් එක මොහොතකදි ආයෙමත් තමාවම විමසන්න ලැබිල වගේ. සමහර විට ඒ ස්වාමින් වහන්සේගේ විශේෂත්වයත් උන්වහන්සේ ගැන අනිත් අය නොදන්න එකම වෙන්න ඇති.

සරත් ගුණතුංග said...

බෞද්ධ ගෙදරක මරණයක් වුනාම ස්වාමීන් වහන්සේලා පන්සලකින් වඩම්මන එක මෙහේ සිරිතක්. අම්මගෙ කැමැත්ත නිසා අපි තායි පන්සලෙනුත් ස්වාමීන් වහන්සෙලට ආරාධනා කලේ.

ඒ දුත්ථංග ස්වාමීන් වහන්සේ තායි පන්සලටත් ආගන්තුකයෙක්. උන්වහන්සේ එහි වැඩම කරල තියෙන්නෙ අම්මා නැති වුන දවසෙ. සාමාන්‍යයෙන් තායි පන්සලේ වැඩවසන්නෙ ස්වාමීන්වහන්සේලා දෙනමයි. ඒ ස්වාමීන් වහන්සේලා කිසිවක් දැනගෙන හිටියේ නැහැ. මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම අභිරහසක්.

malee_msg said...

කොහොම උනත් අම්මා නැති වුනු දුක තුනී කරගන්න ලැබුනු එක හොදයි නේ...

සරත් මාමේ අර සිංදුවකුත් තියෙන්නෙ...

දරුවන්ගේ දුක් කදුළු දකින දා
සුර ලොව සිට අතපා..
ඒ කදුලැලි පිසිනා...

කියලා.. එහෙම දෙයක් හිතෙන්නේ නැද්ද?

Pradeep said...

ඉතාම ආසාවෙන් කියවපු බ්ලොග් එකක්. ඇයි දෑන් ඔබ නිහඩ.

Tyronne Wickramarathne said...

Great post! Why don't you continue with blogging ? Are you busy with yourself or got tired of writing ?

I think, we need more blogs from people like you .. to teach these invaluable lessons in life .. and some its untold lessons/stories like this..

Sri Lanka and its people are suffering a severe humane drought.. people are getting stubborn, evil and destructive day by day .. once a great country has now become a place with undisciplined bunch of empty fools..

People like you have to blog more .... harnessing the sources of love..kindness.. reflecting these things.. humane.. kindness and love.. to fill the vacuum ...

Thanks
Tyronne

lambodara said...
This comment has been removed by a blog administrator.