Monday, December 1, 2008

ගැටලුව කොතැනද ?

අද උදේ පත්තරේ තිබුන ප්‍රවෘත්තියක් ගැන මම කල්පනා කරල බැලුව කොතනද ගැටලුව කියල.... මට හිතෙන්නෙ මෙහෙමයි වෙන්න ඇත්තෙ. ප්‍රවෘත්තිය, අවුරුදු තුනක ගෑනු ලමයෙක් කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කරල. ඒ ලමයගෙ අම්ම කියන හැටියට අමාරුව තිබිල තියෙන්නෙ වම් කනේ, හැබැයි දකුනු කනට ශල්‍ය කර්මය කරල තියෙන්නෙ. මේ වගේ දේවල් ලෝකයේ නොයෙක් දෙසින් ඇහෙන කාලයක් මේක. පත්තරේ තියෙන කරුනු හැටියට පහත සඳහන් කරුනු සිදු වූ බවයි පෙනෙන්නෙ. 1. රෝගී දැරියගේ මව හා ශල්‍ය වෛද්‍යවරයා අතර සන්නිවේදනය බිඳ වැටීම. 2. රෝගී දැරිය පිළිබඳව ඇයගේ මව හා සාකච්ඡා නොකිරීම හා කරුනු පැහැදිලි නොකිරීම 3. ඉවසිලිවන්ත නොවීම - වරදක් සිදුවී ඇත්දැයි නොසෙවීම ඇත්ත වශයෙන්ම මෙය සන්නිවේදනය බිඳ වැටීමෙන් සිදු වූ දෙයක් බව පැහැදිලියි. වැරදි ශල්‍ය කර්මයක් සිදුකල බවක් සඳහන් නොවේ. ශල්‍ය කර්මය හරිය, නමුත් දැරියගේ මව කියන විදියට පැත්ත වැරදිය. ශල්‍ය වෛද්‍ය වරයා කියන අන්දමට කන් දෙකේම ආබාධය තිබී ඇත. මවද ඉක්මන් වී ඇඟිලි දිගු කිරීම කලාවිය හැක. දරු කැක්කුම ඇය සතුය. ඒ නිසා ඇයට වරදක් කිව නොහැක. සාමාන්‍යයෙන් ප්‍රතිපත්තියක් වශයෙන් ශල්‍ය කර්මයක් එක වරකට එක පසෙකට පමණක් කරනු ලබයි. එනිසා ශල්‍ය වෛද්‍යවරයාගේද වරදක් නැත. කරුණු එසේ නම් ගැටලුව කොතැනද? ගැටලුව ඇති තැන ඇසූ විට ඔබ පුදුම විය හැක. නමුත් සත්‍යය එයය. මේ මුලු ලොවටම පොදුය. වෙනත් රටවල මේ සඳහා පිලියම්ද යොදාගෙන ඇත. අපේ රටේ තවම නැත. ගැටලුව ඇත්තේ අපේ වෛද්‍යවරුන් පුහුණු කිරීමේ ක්‍රමය තුලය. අවුරුදු දෙසීයක් පමන පැරණි ක්‍රමයක් සංශෝදනයක් නොමැතිව තවමත් ලංකාවේ අන්ධානුකරනයෙන් ඉගැන්වෙයි. වෛද්‍ය විද්‍යලයීය පීඨාදිපතීන්වත්, අධ්‍යාපන ඇමතිතුමාවත්, Sri Lanka College of General Practitioners (http://www.cgp.lk/) වත් මේ පිළිබඳව වගකියයුත්තන් වන අතර කිසිවෙක්වත් මේ තත්වය ගැන උනන්දුවක් දැක්වූ බවක්වත් නොපෙනෙයි. (මේ අදහස් ප්‍රකාශ කිරීම නිසා මා ගෙදර යවන්නට කිසිවෙක් නැත!!! ) ඇමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය කැනඩාව ආදී රටවල වෛද්‍යවරු සහ රෝගීන් ඝට්ඨනය වන විට අධ්‍යාපනඥයින්, වෛද්‍යවරුන් ඊට හේතුව සොයා බැලූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒදෙස (වෙද හමුව දෙස ) වෙනත් අන්දමකින් බලන්නට හැකිවිය. අවාසනාවකට තවමත් මේ රටේ පැරණි ක්‍රමයම දිගින්දිගටම ක්‍රයාත්මක කරනු විනා ප්‍රශ්නය විසඳෙන පාටක් නැත. වෛද්‍ය ශාස්ත්‍රය දියුනු වූයේ නව සොයාගැනීම්, නව නිපැයුම් තුලිණි. දහ හත්වැනි ශතවර්ෂය යුරෝපයේ පිබිදීම (European Enlightenment) වශයෙන් ඉතිහාසයේ සඳහන් වී ඇත. හිපොක්‍රටීස් විසින් හඳුන්වා දුන් වෛද්‍ය ශාස්ත්‍රයට බැකොන් නව පිබිදීමක් දුන්නේය. මෘතශරීරවල ග්‍රන්තීන් තුල ඇති ස්වාභාවික සහ රෝග නිසා ඇතිවන වෙනස්කම් අධ්‍යානය කල ඔහු, රෝගීන් පිලිබඳව සටහන් ලියා තැබීම ආදී ක්‍රමානුකූල වැඩසටහනක් ඉදිරිපත් කරමින් හිපෝක්‍රටීස් ලොවට හඳුන්වා දුන් වෛද්‍ය ශාස්ත්‍රයට නව ජීවනයක් දුන්නේය. මේ ගැලීලියෝ, නිව්ටන්, ඩෙකා(ර්)ටීස්ගේ ශතවර්ෂයයි. ඩෙකාර්ටීස් මේ අතර 'මනස' හා 'ශරීරය' වශයෙන් මිනිස් ව්‍යුහයේ කොටස් දෙකක් විස්තර කලේය. ඊට පසුව තෝමස් සිඩෙන්හැම් නමැත්තෙක් රෝග වර්ගීකරනයක් වෛද්‍යශාස්ත්‍රයට යෝජනා කලේය. ඔහු විස්තර කල රෝගයක් (Sydenham’s chorea )වශයෙන් අදත් පවතියි. ඊට පසු ලියැනෙක් ( දොස්තර නලාවේ නිර්මාතෘ ) රෝග ලක්ෂණ (signs and symptoms) හා රෝග සසඳා බැලීමෙන් වෛද්‍ය ශාස්ත්‍රය ලොකයේ පිලිගත හැකි තත්වයකට පත් කලේය. නව නිපැදවීම්, නව රෝග විනිශ්චය කිරීමේ උපකරණ ආදී වශයෙන් වෛද්‍ය ශාස්ත්‍රය හැම අතටම දියුණුවිය. නමුත් මේ සියල්ල මිනිස් ශරීරයත්, ඒ සිරුරට සිදුවන භෞතික වෙනස්වීම් නිසා ඇතිවන රෝගත් ඒ රෝග පිලිබඳව සොයාබලන විද්‍යාත්මක පරීක්ෂණ වලට පමණක් සීමාවිය. මිනිස් මනැස සහමුලින්ම විද්‍යාඥයින්ට අමතක විය. ගැටලුව එතැනය........... වෛද්‍ය විද්‍යාලයේ පුහුනුවේදී රෝගී තැනැත්තෙකුගෙන් ඒ රෝගය ගැන විමසන විට ඒ රෝගියාගෙන් ප්‍රශ්න අසා රෝගියාට සැලකෙන්නේ රෝගයක් සහිත ශරීරයකට මෙනි. ඔහුගේ/ඇයගේ සිතේ ඇති දෑ, (රෝගය ගැන කුමක් සිතයිද? කිසියම් බියක් ඇත්ද? සිදුවී ඇති දෑ ගැන ඇති අදහස් මොනවාද? ) ආදී දහසක් දේවල් වෛද්‍යවරයාට පවසන්නට අවස්ථාවක් රෝගියාට (අපේ ඉගැන්වීමේ ක්‍රමයේ හැටියට) නොලැබෙයි. ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් නොදුන් නිසා රෝගියා තමාට මුහුන දීමට සිදුවී ඇති රෝගී තත්වය ගැන සම්පූර්ණ විස්තර නොදැන හිස් අතින් ගෙදර යයි. සන්නිවේදනය බිඳ වැටෙන්නේ එලෙසින්ය. අපේ වෛද්‍ය පුහුනුව (doctor-centred medicine ) කිව හැක. වෛද්‍ය වරයා කියන දෙය රෝගියා සාවදානව අසා සිටිය යුතුය. ප්‍රශ්න ඇසීමට කාලයක් නොමැත. ඇසුවත් උත්තරය බොහෝවිට ලැබෙන්නේ නැත. "දුවගේ කඳුලු" blog සටහනෙන් ඒ බව මොනවට පැහැදිලි විය. http://nilantha-piyasiri.blogspot.com/2008/11/blog-post_24.html දුවගේ කඳුලු වෙද හමුවේදී වෛද්‍යවරයා කෙසේ වෙදහමුව මෙහෙයවිය යුතුද යන ආකාරය මා පෙන්වා දී ඇත. වෙද හමුව (consultation) මෙහෙයවන්නේ වෛද්‍යවරයාය. රෝගියාට තැනක් නැත. රෝගීන්ගේ අප්‍රසාද හටගන්නේ මෙතැන්හිදී බව පසුගිය වසර තිහ තුල කරණ ලද සමීක්ෂණ මගින් හෙලි වී ඇත. ඒ නිසා අනෙක් රට වල රෝගියා කේන්ද්‍ර කොට ගෙන (patient-centred medicine) වෙද හමුව (consultation) මෙහෙයවීමට ක්‍රමයක් ඇත. මේ ක්‍රමයෙහි සම්පූර්ණයෙන්ම රෝගියා දෙස වෛද්‍යවරයා බලන ආකාරය වෙනස්ය. අපේ සමහර වෛද්‍යවරු පොලවට අඩි හයක් උඩින් දොස්තර නලාව කරේ දාගෙන ගමන් කරති. එවැන්නන් බොහෝ විට උගුර රිදෙන නිසා කථා නොකර සිටීමට පවා පුලුවන. මේ අනුව බලන කල ගැටලු සහගත තැන්වලින් සෞඛ්‍ය ක්ෂේත්‍රය පිරී ඇති බවක් පෙනී යයි.

8 comments:

gayankt said...

මගේ අදහස අනුව නම් ලංකාවේ වෛද්‍ය විද්‍යාල වල ඉඩකඩ මදවීමත් මෙයට හේතුවක්. සීමිත ඉඩකඩ නිසා වෛද්‍ය විද්‍යාල වලට බඳවා ගන්නෙ සීමිත පිරිසක් නිසා නිරායාසයෙන්ම ඔවුනට ඉතා ඉහළ වටිනා කමක් ලැබෙනවා.

SweetuPooh said...

අන්තිමට කියලා තියෙන එක නම් ගොඩක්‌ වෙලාවට ඇත්ත!! :D

අමල් ඉෂාන්ත said...

සන්නිවේදනය නම් බිංදුවයි තමා. මං පහුගිය සති දෙකේම හොඳටම අනීප වෙලා හිටියේ. දොස්තර ගාවට ගිහින් විස්තර කියලා බෙහෙත් ගන්නම් කියලා ගියාට දොස්තරට ඕන විදිහට වැඩේ වුණා. අඩුම තරමේ මන් දන්නේ නැ සති දෙකක් තිස්සේ මට තිබ්බ අසනීපය වත් මොකද්ද කියලා?.

T.Kanch said...

Ane ithin asarana minissunta Deyiyangema pihitai!!!!

නිලන්ත පියසිරි said...

දැනුම බෙදන සටහනක්. හරිම අපූරුයි. වෙද මහත්තයෝ තව ලියන්න.

ආගන්තුකයා said...

සරත් මහත්තයට අද ඉඳන් වෙද මාමා කිව්වනම් හරි... තරහා නෑනේ... හැබැයි වෙද මාමේ බොහෝ වෛද්‍යවරු ළමයින්ට නම් කරුනාවෙන් සලකනවා... තව මම දැකපු දෙයක් තමා තත්වයක් තියෙන කෙනෙක් ආවොත් එයටත් හොඳින් සලකනවා.... වැරැද්දක් නෑනේ වෛද්‍යවරු ලංකාවෙනෙ ඉන්නේ... ඉතින් ඔවුනුත් ලංකාවේ විදිහට හැඩ ගැහිලා...

malee_msg said...

ආගන්තුකයෝ වෙද සීයා කිව්වත් කම්ක් නෑ කියලා ඕං දවසක් මට නම් කිව්වා :P

වෛද්‍ය විද්‍යාල වල විතරක් නෙවෙයි තවත් ගොඩාක් තැන් වල අපේ රටේ පවතින ක්‍රම වෙනස් වෙන්න ඕනා..ඒත් වෙන්නෙ නැති එකනෙ ප්‍රශ්නේ.. ඉන්න අය වෙනස් කරන්න දෙන්නෙත් නෑ.. ඒකෙන් තමන්ගේ තත්වෙට හානි වෙයි කියලා ඒකනෙ ගැටළුව

සරත් ගුණතුංග said...

මට කොහොම කිව්වත් කමක් නැහැ. යථාර්තය බැලුවම මට පේන්නෙ මෙහෙමයි. රූපයක් තියෙනව, මගේ නෙවෙයි. නාකි වෙන්න එපා කිව්වට අහන්නෙ නැහැ, ඒ නිසා මගේ නෙවෙයි. දැනටම ඒක වැහැරිලා ඇවිදින කොට ටක ටක ගානව. වේදනා, ඒව දැනෙනව, සංඥා සංස්කාර ඒවත් තියෙනව, විඥ්ඥාණය? ඕක තමයි මම පරෙස්සම් කරගන්න හදන්නෙ. ඒකෙ කොටසක් මට මැරුනම අරගෙන යන්න පුලුවන්. බුදු හාමුදුරුවො කියපු විදිහට ජීවත් වෙන්නෙ ඒක නිසා. අසාධාරණ විදියට සල්ලි හම්බ කරන්නෙ නැත්තෙ ඒක නිසා. ඒක නිසා 'මම' කියල කෙනෙක් නැහැ. ලෝකෙ හැටියට නමක් දාපු ශරීරයක් නම් තියෙනව. අර අජාන් චා හාමුදුරුවන්ගෙ පොත්ටික කියවන්නකො, ඔය්ගොල්ලන්ටත් පුලුවන් ඔහොම හිතන්න. වයසක පලහිල්ලව්වක් ඔතන නැහැ