Monday, May 21, 2012

අසාමාන්‍ය සිදුවීම්


උත්පත්තියෙන් කතෝලිකයෙකුව ඉපිද, ප්‍රඥාව මෙහෙයවා බුදු දහමේ ඇති සත්‍යතාවයත්, එහි අඩංගු විමුක්තියත් දොහොත් මුදුන් දී පිලිගත් කිරිබත්ගොඩ ඥාණානන්ද යතිවරයාණන් වහන්සේ පිළිබඳව අමුතුවෙන් හැඳිවීමක් අනවශ්‍යය.  උන්වහන්සේ මේ දක්වා සිදුකොට ඇති බෞද්ධ ප්‍රබෝධය යොමු කොට ඇත්තේ විශේෂයෙන්ම තරුණ පරම්පරාවටය.   ඒ ගැන සකල ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවම උන්වහන්සේට කෘතඥ විය යුතුය.  උන්වහන්සේ පිළිබඳව උපහාසාත්මක අන්දමින් හඳුන්වන්නෝද නැත්තේ නොවේ.  අපි ඒ පින්වතුන්ට අනුකම්පා කරමු.   අපේ මේ රටේ මෙතෙක් නොවූ පරිද්දෙන්   සිල් සමාදන් වීමේ අගය, ආමිස පූජාවන්ට වඩා වැදගත් බව මෑතකදී ලාංකිකයන්ට පෙන්වා දුන්නේ උන්වහන්සේය.  මේ සටහනේ අභිලාෂය ඥාණානන්ද ගුණකථනයක් නොව, අපට අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දායාද කල බුද්ධ ධම්ම සංඝ යන මේ තෙරුවන්හි බලය අකාලිකව, සෑම කල්හිම අපට ලැබෙන බව ඔබට යලිත් මතක් කර දීමටය.  නවීන විද්‍යාවේ අනුසාරයෙන් නිපදවෙන මෙවලම් රාශියක් දිනපතා අද දින වෙළඳ පොලට සම්ප්‍රාප්ත වෙයි.  ඒවා අතුරෙන් නවීන මාදිලියේ රූප වාහිනී යන්ත්‍ර, ප්‍රාථමික කටයුත්ත (සන්නිවේදනය  ) ඉක්මවූ දුරකථන, ආදී වූ බොහෝ සෙයින් අනවශ්‍ය භාණඩ වෙළඳ පොලට පැමිණ ඇත්තේ පාරිභෝගිකයා රවටා ඔහුගේ මුදල් ගසා ගැනීමේ අභිලාෂයෙනි. මෙයින් මිනිසාට ඇති යහපතක් නැත.  මිනිස් සිත ඉතාමත් ඇලෙන සුළුය.  සිත පිනවන යමක් දුටු විට එහි ඇලෙන සිත එය තමා සතු කර ගැනීමේ අභිලාෂයෙන් කටයුතු කරන්නේ බොහෝවිට සහජයෙන්මය.  ඒ දුටු දෙය මිලදී ගැනීමට අපහසු නම් වෙනත් මාර්ගයකින් එය ලබා ගැනීමට උත්සාහ කරයි.  බුදු රජාණන් වහන්සේ දේශනා කල අභිධර්මයට අනුව මේ කාර්යය උදෙසා බිහිවන චිත්ත පරම්පරාව අකුසල වශයෙන් බිහි වුවත් එය උදෙසා කිසි කෙනෙක් කිසිම තැකීමක්ද නොකරයි. තමා පවක් කල බවක්වත් තමන්ට නොතේරෙයි.  බෞද්ධ යයි සම්මත රටක ඇති බෞද්ධ තාවය මෙසේය.  මේ වැනි සමයෙක උපන් කිරිබත්ගොඩ ඥාණානන්ද තෙරණුවෝ නවීන තරුණ පරම්පරාවට මුදුන් මල් කඩක් වැන්න. 
අපේ මේ කුඩා රටේ නීති විරෝධී ගිනි අවිද අධික වශයෙන් භාවිත වන බව  නොරහසකි.  ඒවායින් සිදුවන මිනී මැරුම්ද අප්‍රමාණය. මෙසේ සලකා බලන විට මේ රට අතිශයින්ම දූෂිත රටක් ලෙස නම් කරාට වරදක් ඇතැයි මම නොසිතමි.  ආසියාවේ ආශ්චර්යය මෙයදැයි වරෙක මට සිතෙයි.  නමුත් දේශපාලන විසඳුම් මට අයිති නැත.  මෙවන් සමයෙක අපේ කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ හම්බන්තොට බූන්දල මහ වන මැද පිහිටි ඥාණවීර කුටියේ රැයක් ගත කිරීමට ගත් තීරණය ඉතාම පුදුම සහගතය.  මේ අවස්ථාවේදී ඥාණවීර කුටිය පිළිබඳව ඉතා සරල හැඳින්වීමක් දක්වන්නේ ඒ පිලිබඳව නොදන්නා   අය  ඇති බැවිනි.  දෙවැනි ලෝක මහා යුද සමයේ ඉතා කුලුපග වූ නිලධාරීන් දෙදෙනෙක් විය.  එයින් කෙනෙක් බ්‍රිතාඤ්ඤ ජාතික රොබට් මුවර්  (Robert Moore) වූ අතර අනෙකා  සහ බ්‍රිතාඤ්ඤ ජාතික හැරල්ඩ් එඩවඩ් මසන් (Harold Edward Musson) විය.  මේ දෙදෙනාටම ධනයෙන් හා සැපසම්පතින් කිසිම අඩුපාඩුවක් නොතිබුනත්, ජීවිතයේ තෘප්තියක් ලද හැකි එකම මාර්ගය බුදු රජාණන් වහන්සේ විසින් උගන්වන ලද විමුක්ති මාර්ගයෙන් පමණක් බව වටහා ගැනීමට තරම් භාග්‍යයක් ඔවුන් සතු විය . යුද්ධයේ අවසානයෙන් පසුව  මේ දෙදෙනාම දෛවය විසින් මෙහෙයවන ලදුව 1949 වසරේ ලක්දිවට සැපත්ව දොඩම්දූව ආශ්‍රමයේ වැඩහුන් ජර්මන් ජාතික ඥාණාතිලෝක හිමිපානන් අතින් සාමණේර පැවැද්ද ලබා 1950 වසරේ වජිරාරාමාධිපතිව වැඩහුන් අති පූජ්‍ය වජිරඤාණ ස්වාමීන් වහන්සේ අතින් උපසම්පදා භික්ෂුත්වය ලබා ගත් සේක.   මුවර් මහතා ඤාණමෝලී නමිනද මසන් මහතා ඤාණවීර නමින්ද  ශාසනගත වූ සේක.  මේ ස්වාමීන් වහන්සේලාගෙන් බුදු දහමට වූ සේවය අපමණය.  ඤාණවීර හිමි හම්බන්තොට බූන්දල මහ වනයේ කුටියක් සාදා ගෙන වනසතුන් මැද සිය දිවි ගෙවීමට මහත් වූ ආශාවක් දැක්විය. 
ඒ ඤාණවීර කුටියේ උත්පත්තියයි.  උන්වහන්සේගෙන් පසුව මේ කුටිය තුල ජීවත් වූවන් පිලිබඳව පැහැදිලි ඉතිහාසයක් නැත.  කෙසේ හෝ ඥාණානන්ද හිමියන් විසින් රචිත පොතක සටහන් වනපරිදි මම මේ පහත සඳහන් කොටස කියවා ඇත.   ඥණානන්ද හිමි ඒ කුටියෙහි රාත්‍රිය ගත කරන අවස්ථාවෙක, අසල වනයෙහි විසූ එක්තරා අලියෙක් උන්වහන්සේට කරදර කිරීම පිණිස පැමිණ ඇත. වහාම දැල්වෙමින් තිබූ පහන නිවා දැමූ උන්වහන්සේ මින් පසු සිදු වන්නේ කුමක්දැයි නොදැන සිටියහ. අපේ ස්වාමීන් වහන්සේට රත්ණත්‍රය විනා වෙන පිලිසරණක්ද තිබුනේ නැත.  උන්වහන්සේ ශබ්ද නගා අනුලෝම ප්‍රතීලෝම වශයෙන් බුදුගුණ සජ්ජායනා කිරීමට පටන් ගත් සේක.  කුටිය කඩා දැමීමට පැමුණු අලියා බුදුගුණ ශ්‍රවණය කිරීමෙන් මෙල්ල වී ටිකෙන් ටික ඈතට ගොස්   බොහෝ ඇතට වී සිටි බව උන්වහන්සේග්ගේ විස්තරයේ සඳහන් වෙයි.  මේ තිරිසන් සතුන් පවා බුදු ගුණ ඇසීමෙන් ප්‍රචණ්ඩත්වය ඉවත දමා සංසුන් වන බව දක්වන කදිම නිදසුනකි.
තවද, මේ මෑතකදී දිඹුලාගල තෙරණුවන් අලලා පුවත් පතක පලවූ සටහනකි.  උන්වහන්සේ දිඹුලාගල සොයමින් වනයේ සැරිසරන විට අහම්බෙන් කොටියකු සිටින ගුගාවකට ලංවූසේක.  උන්වහන්සේ හා පැමිණි පිරිස (ආදි වාසී ජනතාව සහ ඒ ගම් වාසීහුහිස්ලූ ලූ අත දිව්වේ හදිසියෙ දුටු දැවැන්ත කොටියක් ගුහාවක සිටිනු දැකීමෙනි.  උන්වහන්සේ නොපැකිල කොටියාට මුහුන  දුන්නේය.  වනපෙත තුල දෝංකාර දෙන පරිද්දෙන් බුද්ධ මන්ත්‍රය සජ්ජායනා කල දිඹුලාගල තෙරණුවෝ  බුද්ධ මන්ත්‍රයේ මන්ත්‍ර බලයෙන් කොටියා පලවා හැරියේය.
බුදු දහමෙහි හරය වනුයේ පරපණ නොනැසීමත්, නොදුන් දෙය නොගැනීමත් ශීලාචාර ලෙස ජීවත් වීමත්ය. මේ ශික්ෂාපද යමෙකුන් රකින්නේද ඒ තැනැත්තා සොබා දහම විසින් රකිනු ලබයි. කොපමණ අවි ගෙන ගියත් ඒවායින් විනාශයක් මිස වැඩක් සිදු විය නොහැක.
මේ හැර වනගතව වෙසෙන ස්වාමීන් වහන්සේලා කොපමණදැයි සංගනනයක් කර නොමැත.  නමුත් කවදාවත් භික්ෂූන් වහන්සේ නමක් වන සතෙකුට බිලි වූ බවක් කවදා වත් අපට අසන්නට ලැබී නැත.  මේ මේ සිදුවන්නේ  අපේ ශ්‍රී ලංකාවේය.  ථෙරවාදී බුදු හහම පවත්නා වූ රටවලින් මීට වඩා විස්මය ජනක සත්‍ය කථාන්තර අසන්නට ලැබෙයි. තායිලන්තයේ විසූ  සිය ප්‍රාණය දෙවැනි කොට ශීලය සපිරූ ආචාර්ය මන් භූරිදත්ත තෙරණුවන්ට  සාරිකා නම් වූ ගුහාවේදී හමු වූ අසුරයා මීට නිදසුනකි. ඒ අසුරයා ඒ ගුහාවට අරක් ගත් ප්‍රදේශය භාර ජීවියෙකි.  භූරිදත්ත හිමි ඒ අසුරයාට වරදක් කිරීමට පැමිණියෙකැයි වරදවා තේරුම් ගත් ඒ අසුරයා භූරිදත්ත හිමි බිය කොට පලවා හැරීමට නොයෙක් උපාය යෙදීය. මේ බව උන්වහන්සේගේ චරිතාපදානය කියවීමෙන් අවබෝධ කරගත හැක. ප්‍රථම වරට ඒ අසුරයා උන්වහන්සේ භාවනා කරද්දී දිස් වූයේ අඩි තිහක් පමණ උස රෞද්‍ර පෙනුමෙන් යුත් කෙටේරියක් අතින් ගත් මහා යම පල්ලෙක් විලසටය.  (දැනට සිංහලට පරිවර්තනය කොට ඇති මේ පොත කියවන්න. නමුත් භූරිදත්ත හිමි තමා තෙරුවන් සරණ ගිය බෞද්ධ ශ්‍රාවකයෙක් බව දැන්වීය.   තමා මේ ගුහාවට පැමිණියේ භාවනා කිරීමට මිස එය අයිති කර ගැනීමට නොවන බව උන්වහන්සේ අසුරයාට පැවසුවේය.  එසේම තෙරුවන් සරණ ගිය උන්වහන්සේ වැනි බුද්ධ ශ්‍රාවකයෙක් නැසීමෙන් ඒ අසුරයා මහත් පාප කර්මයකත්පත් කරගන්නා බවත් එයින් අපායෙහි ඉපිද ඉමහත් දුකක් විඳිනා බවත් ඔහුට දැන්වීය. උන්වහ්න්සේගේ පිලිතුරට සාවධානව කන්දුන් අසුරයාගේ රුවද බලා සිටියදීම වෙනස් විය.  මුලදී රෞද්‍ර වේශයකින් සිටි ඔහු සුදු හැඳගත් උපාසකයෙක් වී කෙටේරියද පසෙකට ලෑවේය. භූරිදත්ත හිමි සාක්ෂියට තබා හේ තෙරුවන් සරණ ගියේය. 
   එසේම භූරිද්ත්ත හිමියන්ගෙන් ධර්මය ශ්‍රවනය කිරීමට දෙවි දේවතාවුන් පැමිණි බව උන්වහන්සේ සඳහන් කොට ඇත. ඒ දේවතා වර්ගද නා නා ප්‍රකාරය.  මෙලොව වෙසෙන වෘක්ෂ දේවතාවුන්, චාතුර්මහාරාජික, තාවතිංස ආදී දෙව් ලෝ වලින් පැමිනෙන දෙව් දේවතාවුන් වශයෙන් නොයෙක් දේව සමූහයා උන්වහන්සේ වෙත පැමිනි බව උන්වහන්සේ පවසා ඇත.   උන්වහන්සේ ඒ දෙවි දේවතාවුන්ගේ සාකච්ඡා මගින්  මනුශ්‍යයන්ගේ  ඇත් දුර්වලතාවන්ද,පැහැදිලි කොට ඇත. 
සාමාන්‍ය මනුශ්‍යයෝඉතාමත් අපිරිසිදු බව ඒ දෙවි දේවතාවන් ප්‍රකාශ කොට ඇත.  ලෝකයේ වෙසෙන මනුශ්‍යයා ඉතාමත් පාපී දිවි පෙවෙතක් ගත කරන නිසා ඔවුන්ගෙන් දුර්ඝන්ධය හමන බවත් ඉතාමත් අශිෂ්ට බවත්, විශ්වාස කල නොහැකි බවත් ඔවුන් වදාරා ඇත.  එවන් මනුශ්‍යයන් සමග කිසිම සමාගමක් පැවැත්වීමට නොහැකි බවත් ඒ නිසාම ඔවුන්ගෙන් ඈත් වී සිටින බවත් දන්වා ඇත.  ඉතාමත් කලාතුරකින් සිල්වත් මනුශ්‍යයෙක් හමුවන බවත් , එවිට ඒ මනුශ්‍යයා සමග සබඳ කම් පවත්වන බවත් ඒ දෙවිවරු දන්වා සිටියහ.  අපිරිසිදු යන්නෙන් 
අපිරිසිදු යන්නෙන් අදහස් කරන්නේ ඔවුන් බොරු කියන සත්ව ඝාතනය කරන, වැරදි සොරකම් කරන වැරදි කාම සේවනයේ යෙදෙන, මත් ද්‍රව්‍ය භාවිතා කරන අධමයින් රැලක් බවයි.  රට පාලනය කරන්නේද ඔවුන්ම නිසා කිසිදා යහපතක් නොවන බවයි. 
කරුණු මෙසේ තිබියදී ලෝක විනාශය ගැන කියනුම කවරේද?

2 comments:

Nethuki said...

වැදගත් ලිපියක්...

Anonymous said...

ඔබතුමාගේ ලිපි ඇත්තෙන්ම වටිනා ඒවාය.
ඔබ කී සේම තවමත් නිවන් මග වඩින භික්ෂූන් වහන්සේ වැඩ ඉන්නා රටක ඉපදී සිටීමට තරම් අප වාසනාවන්තය.
එහෙත් ඒ වාසනාවෙන් ප්‍රයෝජන ගන්නා අයට වඩා තෙරුවනේත් අඩු හොයන අයයි බිහි වී ඇත්තේ.
පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගෙන් අප රටට වූ සේවය අතිමහත්ය, අඳුරේ සිටි අයට එළියක් ද, අතරමං වූ අයට ආලෝකයක්ද මෙන් උන්වහන්සේ උපකාර විය.
එසේම ඔබ කී පරිදිම තවමත් දෙවියන්ගෙන් පිදුම් ලබන භික්ෂූන් මේ රටේ වැඩ සිටිති,
මෙය කියවන්න,
http://dahamvila4-1.blogspot.com/
මේ ලිපි පෙළම ඉතා අගනාය,
ඔබට අවශ්‍යය නම් මට කියන්න,
මේ ලිපි සියල්ලේ එකතුවක් මා සතුව ඇත.
තවද මගේ බ්ලොගයේ ඇති ඕඩියෝවද ඔබේ සැදැහයට හේතු වේවි.
http://mama-nodannekmi.blogspot.com/2012/06/blog-post_24.html
ඔබට තිසරණ සරණයි!