Tuesday, October 18, 2011

ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සපුයාවාසා සම්භවන්තී

ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සපුයාවාසා සම්භවන්තී
පටිච්ච සමුප්පාදය - අවසාන කොටස (12)
අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !

ජාතිය නිසා ජරා මරණය කෙසේ සිදු වේද?  ඒ ඒ සත්ව වර්ගයාගේ දිරා යන බවක්, කඩතොලු වන බවක්, සම රැලි වැටී හිසකෙස් පැසී යන බවක්, ඉන්ද්‍රියයන්ගේ මේරීමක් හා ඉන්ද්‍රියයන්ගේ ක්‍රියා කාරිත්වයේ දුර්වල වීමක් වෙයිද එය ජරාව වශයෙන් හැඳින්වෙයි.   මරණය යන වචනයේ තේරුම පැහැදිලිය.  එයට නව හඳුන්වා දීමක් අව්ශ්‍ය නොවේ.  ජරාවත්, මරණයත් පියවි ඇසට පෙනෙන්නා වූ දේවල්ය. උදේ හවස අපි එය දකින්නෙමු.   අත් පා නැති අංග විකල රෝගීන්ද, කිසි වැඩක් පලක් කර ගත නොහැකි සිඟමනේ යන ගැහැණු සහ පිරිමින්ද දිනපතා හමු වේ.  ඒ ඔවුන් ගෙවන්නේ පූර්ව භව වල හෝ මේ භවයේ දී හෝ කරන ලද්දා වූ කර්ම  නිසා ඇති වූ  විපාක වෙයි. එසේම මේ කිසිම දෙයක් නැති එහෙත් වයස් ගත වූ අයද දින පතා හමු වේ.. එසේ වන්නේ කෙසේදැයි ඔබ මොහොතකට වත් සිතා බලා ඇත්ද ?     එසේ වීමට හේතු මතු පිටින් නොපෙනුනද, අදෘෂ්‍යමානව සැඟවී ඇත.  එය පසුපස  ගැබ් වී ඇති දේවල් පියවි ඇසට නොපෙනෙන නිසා බොහෝ දෙනා මුලා වී සිටිති.
  ස්කන්ධයන්ගේ බිඳී යාම, ජීවිතේන්ද්‍රියයන්ගේ සිඳී යාම මරණය වශයෙන් හඳුන්වමු.  ජාතිය සිදු වූ බැවින් ජරාවත් මරණයත් සිදු වේ.  කිසිවෙකුට වයස් ගත වීමෙන් හෝ මරණයෙන් ගැලවිය නොහැක. මරණය සැමටම පොදුය.  
ලොව වෙසෙන කිසිවෙකුගේ ජීවිතය ඒකාකාර නොවේ. රාජ මහා අමාත්‍ය ආදීහුද ජීවත් වන විට නොයෙක් ප්‍රශ්න වලට, නොයෙක් ගැටලු වලට මුහුන දෙන අවස්ථා බහුලය.  මේ ගැටලු පූර්ව භවයෙක කරන ලද්දා වූ කර්මයන්හි  විපාක වෙයි.  කෙනෙක් රෝගයකින් පෙලෙනු විය හැක.  කෙනෙකු හිත මිත්‍රාදීන්ගෙන් වෙන් වීම නිසා ශෝක විය හැක.  ඔවුන් මෙලොව හැරයාම නිසා ශෝක විය හැක.  මේ අන්දමට නා නා හේතූන් නිසා  ශෝක වීම්, සිත තැවෙන ස්වභාව ඇතිවිය හැක.    තිරිසන් සතුන් ගැන, ඔවුන්ට පැමිණෙන දුක් හිරිහැර අපි නිතර දෙවේලේ දැක  ඇත්තෙමු.  මනුශ්‍යයා පවා නොයෙක් දුක් හිරිහැර වලට භාජන වන්නේ ඔවුන්ගේ පූර්ව කර්මය නිසාය.  කෙනෙක් රැකියාව කරන ස්ථානයේ නොයෙක් හිරිහැර ගැටලු වලට භාජනය වේ.  මරණාසන්න දර්ශන අනුව නැගෙන සිතුවිලි නිසා කම්මභවය පහල වේ.
හේතුව, ආසාව හෙවත් තෘෂ්ණාවයි.  පුනරුත්පත්තියට හේතු පාදක වූයේ පෙරභවයෙක ඇති වූ තෘෂ්ණාවයි.  ඒ තෘෂ්ණාව සමග සිදු වූ ක්‍රියාවන් අකුසල වශයෙන් සිදු වී නම් මේ භවයේ දුක් සහිත දේවල් උපතින් ලබා දුක් විඳීමට සිදු වේ.  කුසල වශයෙන් සිදු වූ ක්‍රියා අනුව මේ භවයේ ජීවිතය ප්‍රීති සහගත, දුක් දොම්නස් වලින් තොර වූ යහපත් ජීවිතයක් වෙයි. මේ භවයේදී තෘෂ්ණාව නිසා සිදු කර ගන්නා කුසලාකුසලයන් හේතුවෙන් අනාගත උත්පත්තිය  සකස් වේ.
මිනීමැරුම් ස්ත්‍රී දූෂණ ආදී අපරාධ කලවුන්ට නිසැක වශයෙන් කල්ප ගනන් අපාගත වීමට සිදු වෙයි.   දුක් වේදනා පටන් ගන්නේ මව් කුස තුලදීම බව බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාල සේක.  දෙමා පියන්ගේ සෛල දෙකක් එක්වීමෙන් සෑදෙන කලලය පටන් ගත් දා සිටම ජරාව කරා ක්‍රමයෙන් ගමන් කරයි.  කෙනෙක් කුසල කර්ම හේතුවෙන් සුව, වෙනත් දුක් වේදනා වන් ගෙන් තොර, පහසු ජීවිතයක් ගත කලත් හිසකෙස් පැසී දත් වැටී සම රැලි ගැසී ලෙඩ රෝග නොසෑදුනත් ජරාවට පත් වීම වැලැක්විය නොහැක.  උත්පත්තියක් සිදුවුව හොත් ව්‍යාධි කෙසේ වෙතත්, ජරාවට පැමිණීමත්, මරණයත් අනිවාර්යය.  පූර්වයේ කරන ලද අකුසල කර්මයක් හේතුවෙන් ව්‍යාධි වලට භාජනය වී ජරාවට පැමිණීමට පෙර මරණය සිදු විය හැක.  මේ හැර අප්‍රසන්න වූ තවත් දේවල් උත්පත්තියක් ලද කල්හි සිදු විය හැක.  දුක්ඛ දෝමනස්ස සෝක පරිදේව වශයෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කලේ ඒ අප්‍රසන්න නමුත් සත්‍ය වශයෙන් සිදුවන දේවල්ය. 
දල වශයෙන් මේ අප්‍රසන්න සිදුවීම් මෙසේ දැක්විය හැක.  තවත් බොහෝ දේවල් සිදු කරන ලද්දා වූ කරමයට අනුව විපාක දිය හැකි බැවින්  පහත සඳහන් ලේඛනය සම්පූර්ණ නොවේ. 
v පුත්‍රයෙකුගේ, දුවකගේ අකල් මරණය, දයාබර ඥාතියෙකුගේ හෝ සමීපතම මිතුරෙකුගේ මරණය.
v තමා සතු ධනය නැති වීම (කපටියෙක් පැහැර ගැනීම, රාජසන්තක වීම, ජල ගැලීම් භූමි කම්පා වැනි ස්වාභාවික ව්‍යසන නිසා නැති වීම )
v ලෙඩ රෝග වලින් පෙලීම නිසා සෞඛ්‍යයට හානි වීම
v සිල්වත් මහණුන්ගේ සීලය පලුදු වීම
v සිදු වූ අප්‍රසන්න දේවල් ගැන සිත සිතා පසු තැවීම
බුදු රජාණන් වහන්සේගේ පටිච්ච සමුප්පාද ධර්මය සාමාන්‍ය මනුශ්‍යයාට තේරුම් ගැනීමට අපහසුය.  ඒ ඔවුන් 'මම වශයෙන් කෙනෙක් ඇත' යන සංකල්පයට ඇලී ගැලී වාසය කරමින් ජීවිතය ප්‍රීතිමත්ය යන මිත්‍යාවට බැස ඇති හෙයිනි. 
දිව්‍යමය ජීවීන් පවා මේ අන්දමට දුකට පත් වෙති.  දෙව් භූමි තලයේ පහලම වෙසෙන විනිපාතික දෙවිවරු, පිශාචයින්, සහ හොල්මන් සහ අවතාර වශයෙන් හැඳින්වෙන ජීවින් පවා තුල පවා මේ අප්‍රසන්න භාවය දක්නට ඇත.  (මහාසි සයදෝව් හිමි )    සමහර දෙවි වරු අනෙක් දෙවි වරුන්ට වඩා සුවපහසු විශාල මන්දිර නැති නිසා දුක් දොම්නස්ව ජීවත්වෙති.  ශක්‍රයා පවා තමාගේ දර්ශනීයත්වය අඩු නිසා අප්‍රසන්නව ජීවත් වන බව මහා කස්සප තෙරුන්ට වදාල බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි.  ඒ ශක්‍රයා බුද්ධෝත්පත්තියට පෙර කරණ ලද කුසල කර්ම නිසා එම පදවිය ලද බැවින් යයි සඳහන් වේ.  සක් දෙවිඳුන්ට වඩා ආලෝකමත් දේවතාවියන් අතර සක් දෙවිඳුගේ ආලෝකය එතරම් බලවත් නොවීම   නිසා  මේ අප්‍රසන්න තාවය ඇති වූ බව සක් දෙවිඳු පිලිගෙන ඇත.  මේ මනුශ්‍ය ලෝකයෙන් පිටත වුවද දුක්ඛ යන සත්‍යය බලපවත්වන්නේ එසේය.  පෙර කරන ලද්දා වූ කුසල වල විපාක වශයෙන් දෙවිවරු බොහෝ අවස්ථාවල ප්‍රීති සහගතව ජීවත් වෙති.  ඔවුන්ගේ චුත වීම ලංවත්ම මරණ භය මගින් ඔවුන් පෙලා දමයි.  බ්‍රහ්ම ලෝක වල වුවද එසේමය.  අරූප බ්‍රහ්ම ලෝක වල ලිංගික හෝ අනෙක් ඉන්ද්‍රියයන් පිනවීමේ ආස්වාදයක් නැත.  ශරීරයක් නොමැති බැවින් ශාරීරික වශයෙන් වේදනාවක් (කැක්කුමක් ) අරූප ලෝක වාසී බ්‍රහ්මයින්ට නොදැනෙයි.  නමුත් ඔවුන්ට පවා ජරාවට පත් වීමත්, මරණයත් යන දේවලින් ගැලවිය නොහැක.     ඔවුන් ජරාවට පත් වීම මිනිස් ශරීරයේ මෙන් පැහැදිලි නොවුවද, එය ආයුෂ ගෙවුන කල්හි පැමිණෙනු ඇත.   

පටිච්ච සමුප්පාදය රූපසටහනක් වශයෙන්...
මේ රූප සටහන මහාසි සයදෝව් ස්වාමීන් වහන්සේගේ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
 පටිච්ච සමුප්පාදය එකට බද්ධ වී ඇති චක්‍ර දෙකක අනුසාරයෙන් මහාසි සයදෝව් හිමි විස්තර කොට ඇත.  පූර්ව සහ පසු භාග වශයෙන් මෙය නම් වේ.    රූප සටහන බලන්න.  පූර්ව භාගය අවිද්‍යාවෙන් (ignorance) ආරම්භ වී වේදනාවෙන් (feelings) අවසාන වේ.  එතැනින් ආරම්භ වන පසු භාගය තණ්හාවෙන් (craving) ආරම්භ වී ජරා මරණයෙන් (death and aging) අවසන් වේ.  නමුත් පුනරුත්පත්තිය අවසන් නොවේ.  පුනරුත්පත්තිය අවසන් වන්නේ එක් පුරුකක් සිඳ ලූ විටය.  මේ රූප සටහනේ කව දෙකක් ඇත. පසුගිය උත්පත්ති වලදී කරන ලද්දා වූ කුසලා කුසල බලපාන අන්දම  ඇතුලත කවයෙන් විස්තර වේ.  මෙහි අවසානයක් සිදු වීමට මේ චක්‍රයම යම්කිසි තැනකින් සිඳලිය යුතුමය.  යම් කිසි කෙනෙකුට මේ චක්‍රය පෙර දුටු බව පෙනී යා හැක.  එසේනම් නිසැකවම ඔබ මෙය පෙර භවයක ඉගෙන ගෙන ඇත.  මෙය තව කියවා බැලීමට තරම් ආශාවක් ඇතිවිය හැක.  එය ඔබගේ වාසනාව අවාසනාව අනුව ඇති වන දෙයකි.  ලොව සිදුවන දේවල් ඒ අයුරින් දුටු විට තෘෂ්ණාව නැති වේ.  එයට ඇති මාර්ගය ආර්යෂ්ඨාංගික මාර්ගයයි.  ඊට පිවිසිය හැක්කේ විදර්ශනා භාවනාව මගිනි.  මහාසි සයදෝව් හිමියන්ගේ වෙබ් අඩවියේ (http://www.aimwell.org/Books/Mahasi/mahasi.html )විදර්ශනා භාවනා ක්‍රමය විස්තර කොට ඇත.  මේ ක්‍රමයම රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ "බුරුමයේ පුහුණු කරණ සතිපට්ඨාන භාවනා ක්‍රමය" යන නමින් පලකොට ඇත. (http://www.ogatharana.org/ ) ඉතා ස්වල්ප වශයෙන් හෝ මේ භාවනාව නිති පතා පුහුණු කල හොත් එය ඔබගේම දියුණුවට හේතුපාදක වෙනු ඇත.  ඔබ සැමට තෙරුවන් සරණයි.  

No comments: