Tuesday, October 4, 2011

භව පච්චයා ජාති... පටිච්ච සමුප්පාදය 11


භව පච්චයා ජාති... පටිච්ච සමුප්පාදය 11
අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !

අතීතයේ කරන ලද්දා වූ කුසල කර්ම හෝ අකුසල කර්ම අනුව, සත්වයෝ මනුශ්‍ය ලෝකයේ හෝ, දිව්‍ය ලෝකයේ හෝ, ප්‍රේත, තිරිසන් ආදී මනුශ්‍ය ලොවට පහලින් ඇති ලෝක වල උපත ලබති.  පුනරුත්පත්තියට හේතු සාධක වන්නේ මේ පූර්ව ජාතියක  කරන ලද්දා වූ කර්මය හැර වෙන දෙයක් නොවේ.    ලෝ තතු නොදැනීම හේතුවෙන් අවිද්‍යාව ඇති වේ.  අවිද්‍යාව හේතුවෙන් තණ්හාව ඇති වේ.  තණ්හාව වැඩි වූකල එහි බැස දැඩිව අල්වා ගැනීම ඇති වේ.  ඒ උපාදානයයි.  උපාදානය හේතු කොට ගෙන නොයෙක් නොයෙක් ක්‍රියාවන් කිරීමට සිත පෙලඹෙයි.  මේ ක්‍රියාවන් නිසා කර්මයෝ උපදී.  එසේ නැතිව සර්ව බලධාරී කෙනෙකුගේ කැමැත්ත හෝ අකැමැත්ත මත කෙනෙකුට නපුරු සුව කල නොහැකි රෝග, අනෙකුත් ව්‍යසන ආදී දේවල් කිසි කලෙක සිදු නොවේ.    මේ භවයේ ඇති වන්නා වු විඤ්ඤාණයත්, මනෝ භෞතික ධාතූන් සමූහයත්, ඵස්ස වේදනා ආදී වූ සිතිවිලි පරම්පරාවත් ඇති වන්නේ පෙර භවයෙකදී ඇති වූ අවිද්‍යාව හේතු කොට ගෙනය.  එපමණක් නොවේ; මේ භවයේදීද අවිද්‍යාව නිසා ඇතිවන්නාවු තණ්හාව ප්‍රමුඛ අමනෝඥ සන්තානයන් නිසා දස දහස් කර්මයන් ඇති වේ.  බුදු රජාණන් වහන්සේ සසරෙහි බියකරු බව දේශනා කලේ උන්වහන්සේ සත්වයින් විඳින්නා වූ දුක දුටු බැවිනි.  මේ එකතු කර ගන්නා වූ කර්ම වල බලවත් කම අනුව, විපාකයන්හි ඵල දීම සිදු වේ.  ඉතාම බලසම්පන්න කර්ම ඉතා ඉක්මනින් ඵල දරනු ඇත.  කර්මය එතරම් බරපතල  නැත්නම් විපාක දීමට කල් ගත වෙයි.  සමහර කර්ම බොහෝ කල් ගොස් භව කීපයක් ඉක්මවා ඵල දරනු ඇත.  මේ ලෝක නියාම ධර්මයයි.  එයින් ගැලවෙනු කිසිවකුටවත් අපහසුය. බරපතල කම අනුව එකෙක් පසුපස එන කර්මය ඊලඟට විපාක දෙන කර්මයට අනුව මරණාසන දර්ශන ඇතිකරවා ඒ ඒ භවයට සත්වයා යොමු කරනු ඇත.  මේ බෞද්ධයන්ට පමණක් උරුම වූ  බුදු අජාණන් වහන්සේගේ නියමයක් නොවන අතර උන්වහ්න්සේ ප්‍රඥාවෙන්ම අවබෝධ කර ගත් ලෝකයේ සිදු වන්නා වූ නියාම ධර්මයන්ය.
ඵල දැරීම වශයෙන් කර්මය සතරාකාරය. 

1. ඉතා බරපතල කර්ම ගරුකම්ම වෙයි: .  

2. පුරුද්දෙන් ඇති කරගත් කර්ම බහුල හෝ ආචින්න කර්ම වෙයි.  

3. මරණාසන්න කර්ම ආසන්න කර්ම වෙයි.  

4. අවශේෂ කර්ම යනු ඉතිරි වූ කර්ම වෙති.  

ගරුකම්ම වශයෙන් දැක්වෙනුයේ පංචානංතර්ය කර්මමය.  මේ අන්දමේ බරපතල කර්ම අන්සියලු කර්ම පරයා ඉදිරියටම පැමිණෙයි.  අජාත සත්ත රජතුමා බිම්බිසාර රජු මැරවීමෙන් පීතෘ ඝාතක කර්මය සිදු කරගත්තේය. ඔහු නොමඟ යාමට හේතු වූයේ දේව දත්තයන්ගේ නොමඟ යැවීමය. දේව දත්ත සෘද්ධි බල පෙන්වා තරුණ අජාතසත්තගේ සිත් දිනා ගත්තේය.   දේවදත්තගේ මෙහෙයීමෙන් සිදු කල පීතෘ ඝාතක පාපය නිසා ඔහු බොහෝ සෙයින් සිතින් දුක් වින්දේය. අවසානයේ අපාගත විය.  බිම්සර රජතුමා මැරෙන විට වයස 67ක් පමණ ඇත.  උත්පත්තියෙන් අජාත සත්තු රජ අධාර්මිකයෙක් නොවේ.  පසුව බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකු වශයෙන් ඔහු කල සේවාව මීට සාක්ෂි දරයි.  ප්‍රථම ධර්ම සංඝායනාව උදෙසා අජාතසත්ත රජතුමා මූලිකත්වය ගෙන කටයුතු කලේය.  නමුත් පීතෘ ඝාතක කර්මය නිසා හේ අපාගත විය.  හේ පීතෘඝාතක නොවී නම් බුදු රජාණන් වහන්සේ අබියස ප්‍රථම ධර්ම දේශනාවෙන්ම සෝතා පන්නවන බව බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාල සේක. 
විභංග පාලියෙහි භව පච්චයා ජාති යන පාඨයේ අර්ථ දැක්වීම මෙසේ විග්‍රහ කොට ඇත.  

එක් එක් සත්ව නිකායෙක ඒ ඒ සත්වයින්ගේ යම්කිසි ප්‍රථ්ම ඉපදීමක් වෙයිද, පරිපූර්ණ වූ ඉපදීමක් වෙයිද, මවු කුසයට ඇතුලු වීමක් හෝ ස්කන්ධයන්ගේ පහල වීමක් හෝ ආයතනයන්ගේ පහල වීමක් හෝ ඇතිවෙයිද, මේ භව ප්‍රත්‍යයෙන් හටගන්නා ජාතිය වන්නේය.  

වෙනත් අන්දමකින් කියත හොත්, ඒ ඒ භවයන්ගේ පලමුකොට ඉපදීම ජාති යනුයි.  ස්කන්ධ පලමුවෙන් පහල වීම ජාති නම් වෙයි.  භව ප්‍රත්‍යයෙන්ම හටගන්නා වූ මේ ජාතිය උපපත්ති භවයේම කොටසකි.  සත්වයින්ගේ උත්පත්තියට කර්මයන්ගේ බලපෑම ඉතාමත්ම බලගතුය.  විචාරාත්මක බුද්ධියකින් යුතුව එක් එක් සත්වයා දෙස බලන විට ඔවුනොවුන්ගේ මාණසික වෙනස් කම් පැහැදිලිව දර්ශනය වෙයි.  සමහරු උත්පත්තියෙන්ම අධික ලෝභයෙන් යුක්තය. සමහරු අධික මෝහයෙන් යුක්තය, සමහරු අධික මෛත්‍රියකින් යුක්තය.  මෙසේ බලන කල එක් එක් සත්වයා එක් එක් ගතිගුණ සහිතව උත්පත්තිය ලබති.      ඒ රැගෙන එන්නේ පැරණි පුරුදු කරන ලද ගතිගුණය.  එකම පියෙකුට දාව එකම මව් කුසකින් උපත ලබා එකම පරිසරයෙක, එකම ඉගෙනීමක් හා එකම අනුශාසනා ලබන ලද එකම පුද්ගල කොටසක් ඇසුරුකල නිවුන් සොයුරියන් / සොහොවුරන් දෙදෙනෙක් කිසිදා එක හා සමාන නොවෙති.  ඔවුන්ගේ ගති ගුණ වෙනස් බව ඔවුන් සමීපව ඇසුරු කරන්නෙකුට පැහැදිලිව අවබෝධ වෙයි. සියල්ල සමානව සිදු වී ඇතත්, යම්කිසි දෙයක් අසමාන බවත්, එය පියවි ඇසට නොපෙනෙන බවත් දැකිය හැක.  ඒ ඔවුන් පූර්ව ජන්ම වල සිදු කරන ලද එකිනෙකාට වෙනස් වු  අසමාන වූ කර්මයයි.   මෙය පිලිගත හැකිය, සිත ඉතාමත්ම විචිත්‍රය.  ලොව අන් සියලු දේටම වඩා විචිත්‍රය.  උත්පත්තියට හේතු වූ විචිතත්‍රවයෙන් සත්වයාගේ සිතද විචිත්‍ර වේ.           
                                
  යම් කිසි සත්වයෙක් උත්පත්තියට හේතුවන කර්මයක් කරන අවස්ථාවේ, ඔහුගේ /ඇයගේ සිතෙහි ලෝභය බලවත් වී අලෝභය දුබල වේද, ද්වේශ මෝහයෝ දුබලව අද්වේශ අමෝහයෝ බලවත් වෙයිද, ඒ තැනැත්තා / තැනැත්තී යම්කිසි භවයෙක උපත ලද කල්හි අධික ලෝභයෙන් යුක්ත වූ, මෛත්‍රී සහගත, ඥාණවන්ත තියුණු නුවන ඇති පුද්ගලයෙකු වේ. 

       යම්කිසි කෙනෙක් කර්මය කරන අවස්ථාවේ ලෝභය බලවත්ව, අලෝභය දුබලව, අද්වේශය බලවත්ව, ද්වේශය දුබලව, ප්‍රඥාව බලවත්ව, මෝහය දුබලව සිට වෙනත් උපතක් ලද කල්හි, ධර්ම ශාස්ත්‍ර ඉගෙන පණ්ඩිත වුවද, ලෝභය නිසා අපරාධයක් වුවද කරන්නට මැලි නොවෙති. 
          මේ අන්දමට කර්මයක් සිදු කරන අවස්ථාවේදී චිත්ත සන්තානයෙහි උපදින්නා වූ ලෝභ ද්වේශ මෝහ යන අකුසල ත්‍රයෙන් වඩා බලවත් වන කොටස ඊලඟ භවයෙහි උත්පත්තියට හේතු කාරක වන්නේයය.

අවසාන කොටස ලඟදීම........
                                                                                                                                                                                                       

No comments: