Thursday, September 8, 2011

වේදනා පච්චයා තණ්හා... පටිච්ච සමුප්පාදය 8


වේදනා පච්චයා තණ්හා... පටිච්ච සමුප්පාදය 8

අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !

සත්වයා සසරට බැඳ තබන්නේ  තණ්හාවය.  ලෝකයේ යුද්ධ ඇතිවන්නේ මේ තණ්හාව නිසාය.  අපරාධ සිද්ධවන්නේද මේ තණ්හාව නිසාය. සාමාන්‍ය පෘතග්ජනයා සිතට සුව ගෙන දෙන්නා වූ දේවල් වල එල්බ  ගැනීමේ පුරුද්දක් නිතැතින්ම ඇත. අවිද්‍යාවෙන් අන්ධ වූ සිතේ හැටි එසේය.  සිතට දුක් දෙන්නා වූ දේවලින් ඈත් වීමත් සතුට ගෙන දෙන්නාවූ දෙවල් කෙරෙහි ලංවීමත් සාමාන්‍ය මනුශ්‍ය ගතියකි.  සුඛ වේදනා, සෝමනස්ස වේදනා යන වචන වලින් අර්ථ දැක්වෙන්නේද මේ සතුට උපදවන දේ වලටය. අපි සසර කල නොකිරෙන්නේත්, මේ ලෝකයේ විසීම  නම් වූ මහා දුක් ස්කන්ධය,  සැපතක් හැටියට පෙනෙන්නේත්  එක් එක් අවස්ථාවල ඇති වන්නා වූ තාවකාලික 'සැපය' නිසාය.  තණ්හාව කවදාවත් වෙහෙසකට පත් නොවේ.  අඹු දරුවන්, නැ මිතුරන් සිතට සුවයක් ගෙන දෙන නිසා, සිතට ප්‍රබෝධයක් ගෙන දෙන නිසා හැම දෙනාම පාහේ ඔවුන්ට ඇලුම් කරති.  අඹු සැම් ප්‍රේමය වශයෙන් කියැවෙන්නේද තණ්හාවේම  ප්‍රභේදයකි.  ඇඳුම්, පැලඳුම්, යාන වාහන,  ගෘහ, ගෘහ භාණඩ, මුදල් හදල් සහ ගෘහයෙක ඇති බඩු ආදී මේ සෑම දෙයක්ම සිතට සුවයක් ගෙන දෙයි.  අපි ඒවාට ඇලුම් කරමු.  එයද තණ්හාවය.  ඒ සුවය මේ කිසිවක් නැතිව නිකම්ම ලැබේ නම් ඒවා කෙරෙහි අපේ ඇල්මක් නැති වී යා හැකිය.  එසේම තණ්හාව මෙයින් නොනවතියි.  සිය රුව ලස්සනට තබා ගැනීමේ ආශාව,  පෙනීම ඇසීම කල්පනා ශක්තිය ඉතා හොඳට තබා ගැනීමේ ආශාව,  මාණසික වශයෙන්,. හෝ වෙනත් අන්දමකින් අනුන් පරයා නැගී සිටීමේ ආශාව යනාදී අශාවන්ද තණ්හාවමය.  ආයතන හය මගින් ලබන්නා වූ වේදනාවෝ, එනම් විසිතුරු දර්ශන, මනහර ශබ්ද, පිවිතුරු සුවඳ, ඉමිහිරි රසය, සුව ගෙන දෙන ස්පර්ශය, සහ මනස්කාන්ත සිතුවිලි සුවයක් දෙන තාක් ඒ සුවයම ලබන්නට අපි පුරුදු වී සිටිමු.  ඒ සුවය නතර වූ වහාම, යලිත් ඒ සුවය ලබා ගැනීමට ඉතාමත් වෙහෙසෙමු.  සමහරු ඒ සුවය ලබා ගැනීමට අපරාධ වුවද කිරීමට පෙලඹෙනු ඇත.  සොරකම් කිරීම, ප්‍රාණඝාතය, කාම මිත්‍යාචාරය, මුසාව, සහ සිහිය වෙනස් වන ද්‍රව්‍ය පාවිච්චි කිරීම ආදී අකුසල් කරන්නේ තණ්හාව හේතු කොට ගෙනය.  තණ්හාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදිය හැක.  එනම් 1. කාම තණ්හා (මේ සය වැදෑරුම් සුඛ වේදනා යලි යලි ලබා ගැනීම,) 2. භව තණ්හා, (පැවැත්මේ තණ්හාව )සහ 3. විභව තණ්හාව (පැවැත්මේ උච්ඡේදනය ). 

අනිෂ්ට වූ අරමුණු වලින් දුක ඇති වූ විට 'අනේ මට සුවය අවශ්‍යය, සුවය කෙසේ ලබා ගනිම්දැයි  සිතෙයි. එයද  අනෙකක් නොව තණ්හාවමය.   රූප රසයට ඇලුම් කරන තැනැත්තෙක් හෝ තැනැත්තියක් විරුද්ධ ලිංගික රූපයක් දුටු විට මේ රූපය ඉතා ලස්සනය, ඉතා හොඳය, ඉතා ප්‍රියංකරය යනුවෙන් සිතා ඒ රූපයට ඇලුම් කරයි.  ශරීරය පිලිබඳ ඇතිවූ ඇල්ම නිසා ඒ ශරීරය සරසන්නා වූ ඇඳුම් පැලඳුම්,  ගල්වන්නා වූ සුවඳ විලවුන් කෙරෙහිද ඇල්ම ඇති වෙයි.   ඒ කාන්තාවක් නම් ඇය පෝෂණය කිරීමට අවශ්‍ය දෑ ගැන ඇල්ම ඇති වෙයි.  ඇය නඩත්තු කිරීම සඳහා ගේ දොර,  ගෘහ භාණ්ඩ, සුඛෝපභෝගී යාන වාහන පිලිබඳ ඇල්ම ඇති වේ.  අවශ්‍ය දේවල් මිල දී ගැනීම සඳහා අවශ්‍ය මිල මුදල් පිලිබඳව තණ්හාවක්ද ඇතිවේ.. ඒ රූප තෘෂ්ණාව නිසා මහා තණ්හා සාගරයක් බිහි වන්නේ මේ ආකාරයටය.  මෙසේ රූප තෘෂ්ණාව බිහි වන්නේ ස්ත්‍රී රූප පිලිබඳව පමණක් නොවේ.  රූප රසය ඇත්තා වූ පණ නැති වස්තූන්ද බොහෝ සෙයින් ලෝකයේ ඇත.  රූප රසය ආස්වාදනය කරන්නා වූ වේදනාව ඇති වුව හොත් කවර රූපයක් සම්බන්දයෙන් වුවත් රූප රසය වැඩෙන්නේය.  එහි කෙලවරක් දැකීම ඉතා දුෂ්කරය.    ශබ්දයන් නිසා ඇති වන රසයට ශබ්ද රසයයි කියනු ලැබේ.  ගන්ධයන්හි ඇති මිහිරි බව ගන්ධ රසයයි.  ආහාර පානයන්හි ඇති නොයෙක් රස වර්ග (ලුනු රස, ඇඹුල් රස, වශයෙන් ගත් කල )එය රස රස  රසයයි.  ශරීරයෙහි හැපෙන්නා වූ සිනිඳු බව මොලොක් බව, රලු බව, ස්පර්ශ රසය වෙයි.  මේ රස ඇති වූ විට ඒවා ගිනි කඳු මෙන් වැඩී,  සන්තානය බහුල වශයෙන් දවන්නේය.  එසේම තවන්නේය.  තණ්හා සාගරයේ සත්වයා ගිලී එහි බැස ගන්නේය.  රූප ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ සියල්ල හැරුණු විට තණ්හාව උපදවන්නා වූ අනෙක් දේවල්ද ඇත.  ඒවා සමූහ වශයෙන් 'ධර්ම' වශයෙන් හැඳින්වේ.  ජීවිතය, නොයෙක් දක්ෂතාවයන්, වීර්යය, නිර්භීත බව, කාර්ය ශූරත්වය, නුවණ, කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව, පවට බිය ඇති බව, ලෝභය, දෘෂ්ටිය, මානය, ප්‍රාණ ඝාතය අදත්තාදානය, කාම මිථ්‍යාචාරය, සුරාපානය, දාන, ශීල, භාවනා ආදියද තෘෂ්ණාවට හේතු වන ධර්ම වලින් සමහරකි. 

බුදු රජාණන් වහන්සේ පටිච්ච සමුත්පාදය මෙනෙහි කරද්දී "වේදනා පච්චයා තණ්හා" වශයෙන් දේශනා කලේ මේ කරුණු උන්වහන්සේට අවබෝධ වූ නිසාය.

3 comments:

චතුර විජේකෝන් said...

අගනා ලිපියක්. තණ්හාව නිසා බය උපදී, තණ්හාව නිසා ශෝකය උපදී, බලං ගිහාම තණ්හාව නිසා නොවැ මේ ඔක්කොම...නෑ.. නෑ... ද්වේශය, මෝඩකම හින්දත් අපිට බොහොම කරදරයි නොවැ.

ඇලීම් ගැටීම් නැතිව යුතුකම් වගකීම් හොඳට ඉටු කරන්න පුළුවං නං ඔය කාරණා තුනෙන් අත් මිදෙන්ට පුළුවං නේද?

පුළුවන්නං ඔය විභව තණ්හාව තව චුට්ටක් විස්තර කරමුද? මොකද මට උච්ඡේදනය කියන වචනය ඒ හැටි පැහැදිලි වුණේ නෑ.

සරත් ගුණතුංග said...

@චතුර විජේකෝන් මහත්මයා , බුදු රජාණන් වහන්සේගේ ගුණ කථනයේදී අපි 'අරහං' කියල වචනයක් පාවිච්චි කරනව. ඒ කියන්නෙ උන්වහන්සේ ඇසින් රූප දැක ඒ කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක ආශාවන් අත්හල සේක.... කියල. අනෙක් ආයතන සඳහාත් (ශබ්දාදී) එහෙමයි. උන්වහන්සේගෙ අර්හත් භාවය ප්‍රකාශ වෙන්නෙ එහෙමයි. ඒ නිසා ආයතන නිසා උපදින්නා වූ වේදනා වලට නොසලකා හිටියොත් ඒවා නිසා කිසි ආශාවක් හෝ ගැටීමක් ඇති වෙන්නෙත් නැහැ. විපස්සනා භාවනාවෙන් ඉගැන්වෙන්නෙත් මේ ධර්ම හටගැන්මේදීම හඳුනාගෙන ඒවා කෙරෙහි සැලකිල්ලක් නොදක්වන එකයි. මහාසි සයදෝව් ස්වාමීන් වහන්සේගේ Dependent Origianation පොත මේ අඩ්වියෙන් බාගත කොට එය කියවන්න. http://www.buddhanet.net/ ඒ පොත හරිම වටින පොතක්. මම ඒක කීප වරක් කියවල තියෙනව. කොපමන කියෙව්වත් තවත් තියෙනව ඉගෙන ගන්න දේවල්. ඒ තරමටම ලස්සනයි.

උච්ඡේදනය කියන්නෙ කපා වෙන් කිරීම. උච්ඡේද දෘෂ්ටිය බොහෝ සෙයින් තියෙන්නෙ සමහර නවීන විද්‍යාඥයින්ට. විද්‍යාවෙන් පමණක් සියල්ල විසඳීමට බලා සිටින ඔවුන් මරණයෙන් පසු සියල්ල කෙලවර වෙන බව විස්වාස කරනව. හේතුඵල වාදය ඒ ගොල්ල පිලි ගන්නෙ නැහැ. එහෙම අයට තියෙන දේවල් තමයි ඔය විභව වශයෙන් හඳුන්වන්නෙ.

Chanaka Aruna Munasinghe said...

@ Chathura Wijekoon|චතුර විජේකෝන්

විභව තණ්හාව කියන්නෙ මරණයෙන් පස්සෙ තවත් භවයක් තියෙන බව විශ්වාස නොකරන අය මේ ජීවිතයේ උපරිම සැප විඳින්න, සදාකාලික තරුණ බව රැක ගන්න වගේ දේවල් වලට ඇති කර ගන්න තණ්හාව