Thursday, September 1, 2011

ඵස්ස පච්චයා වේදනා.... පටිච්ච සමුප්පාදය 7

ඵස්ස පච්චයා වේදනා.... පටිච්ච සමුප්පාදය 7

අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !

සංවේද ඉන්ද්‍රියයක්  (sense organ ) සමග විඤ්ඤාණය (consciousness ) ගැටුණු විට  (contact ) සිදුවන ක්‍රියාවලිය නිසා යම්කිසි මාණසික හැඟීම් එකක් (feelings) හෝ සමූහයක් සිතට එයි.    මෙයට පාලි භාෂාවෙන් "වේදනා " කියල සඳහන් වුනත්, මේ අවස්ථාවෙදි ඒ වචනය පාවිච්චි කරන්නෙ නැත්තෙ තේරුම් පැහැදිලි වීම පිණිසයි.  උදාහරණයක් වශයෙන් බැලුවොත්... ඒ කියන්නෙ, ඇසට නවීන පන්නයේ නා නා ප්‍රකාර අංග සහිත ජංගම දුර කථනයක් වෙලඳ සැලක  දුටුවොත්, ඒ උපකරනය ගැන ඇති වන මාණසික හැඟීමට  පාලි භාෂාවෙන් කියන්නෙ වේදනා කියල.  මේ වේදනා යන වචනය සිංහලට පරිවර්තනය වන කල බුදු රජාණන් වහන්සේගේ උපදෙස් අනුගමනය කලේ නම් ඉතා හොඳය.  උන්වහන්සේ "...එකම දෙය විවිධ ජනපද වල නාම කිහිපයකින් හඳුන්වනු ලබන කල, ඒ එක නාමයක් දැඩිව අල්වා නොගෙන ඒ ඒ ලෙසට ව්‍යවහාර කලයුතු බවත්, ලෝක ව්‍යවහාරය නො ඉක්මවියයුතු බවත් අරණ විභංග සූත්‍රයෙහි දක්වා ඇත.  ඒ නිසා සිංහලෙන් වේදනා වශයෙන් දක්වන විට එකවරටම සිතට දැනෙන්නේ කැක්කුමක් ඇත යන තේරුමයි.  නමුත් එය එසේ නොවේ.  මෙසේ සඳහන් කරන්නේ තේරුම පැහැදිලි කිරීම සඳහාය. 

සිංහලෙන් අපි වේදනාව කියන්නෙ කැක්කුමට.  මෙතන වේදනාව කියන්නෙ   කැක්කුම,  දුක් වේදනාවට,  විතරක් නෙවෙයි.  වේදනා කියන්නෙ සුඛ වේදනා, දුක් වේදනා සහ දුකත් නැති සැපත් නැති උපේක්ෂා වේදනා යන තුන් වර්ගයටම  වේ.   ඒ වගේම නුරුස්නා පුද්ගලයෙක්, ආසා නොකරන වස්තුවක් දුටුවොත් විරුද්ධ, නොරුස්සන සිතිවිලි පහල වනු ඇත..  ඒවාත් අයිති වේදනා යන කොටසටයි.    ලස්සන රූපයක් දුටුවොත් ඒ රූපය කෙරෙහි ඇතිවන්නෙත් ඒ රූපය තමන් සතු කර ගැනීමේ ආසාවක්,  කථා කිරීමේ ආසාවක්, ආශ්‍රය කිරීමේ ආසාවක්.  වෙන කෙනෙක් ඒ රූපය කෙරෙහි උනන්දුවක් දවනව නම් ඒ අය සමග ද්වේශයක් ආදී වශයෙන්  ඇති වෙනව.  විඤ්ඤාණය කරණකොට ගෙන දැන ගන්නාවූ දේ වලට ආරම්මණය යයි කියමු.  අරමුණ යනුද එයමය.  ඕනෑම අරමුණක හොඳ බවක් (සුඛ, නරක බවක් (දුක්ඛ ) හෝ මධ්‍යස්ථ බවක් (උපේක්ෂා) ඇත්තේය.  අරමුණු වල ඇති ඒ ස්වභාවයන් තුනට අරමුණු රසය යයි කියති.  අරමුණ වහාහී එකකි, අරමුණු රසය වෙනකෙකි. මේ දෙක පටලවා නොගත යුතුය. 

විඤ්ඤාණයෙන් ආරම්මණය දැන ගනී.  නමුත් එහි රසය විඤ්ඤාණයට නොදැනේ.  යම් කිසිවක් අරමුණු කොට විඤ්ඤාණය උපදින විට ඒ හා සම්ග ස්පර්ශ චෛතසිකයද උපදියි. (චෛතසික යනු සිතක් හා උපදින්නා වූද, සිත සමගම නැසෙන්නා වුද, සිත හා සමග එකම අරමුණක එල්බ ගන්නා වූද මාණසික ධර්ම කොට්ඨාසයකටයි.  අභිධර්මයේ චෛතසිකයෝ දීර්ඝ වශයෙන් විස්තර කෙරෙති.  )  ස්පර්ශයෙන් තොර විඤ්ඤාණයක් නොමැත, කිසිකලෙක උපදින්නේද නැත.  අරමුණක් ගැනීමට විඤ්ඤාණයට උපකාර වන්නේ ස්පර්ශයයි.  ස්පර්ශය නිසා ආරම්මණයේ රසය මතුවෙයි.  ආරම්මණ රසය මතු කිරීම  ස්පර්ශයාගේ විශේෂ කෘත්‍යයකි.    අතට හසු නොවන, ඇසට නොපෙනෙන, ධර්මයක් වන මේ කරුණු රේරුකානේ චන්දවිමල නාහිමි මෙසේ අර්ථවත් කරති.  ආරම්මණ රසය මතු කර දෙන්නා වූ ඒ ස්පර්ශ චෛතසිකය, යුෂය මිරිකා ගැනීමට දොඩම් ගෙඩියක් මිරිකන්නා වූ අත මෙන්ද, රසය දිවට ගැල්වීමට ආහාර කැබලි වලට තලන්නා වූ දත් මෙන්ද සැලකිය යුතුය.  ස්පර්ශයෙන් ආරම්මණ රසය මතු කෙරෙන  කල්හි ඒ රසය විඳින්නා වූ ස්වභවයක් ඇති වේ.  මෙහි වේදනා යයි කියනු ලබන්නේ ඒ රසය විඳින්නා වූ ස්වභාවයටය. 

නිශ්චිත වශයෙන් ආරම්මණයන්ගේ හොඳ බවක් හෝ නරක බවක් නැත.  කෙනෙකුට නරක දෙය තවත් කෙනෙකුට සුන්දර දෙයකි.  නයාට හැපින්න සුන්දරය.  මැඩියාට නම් හැපින්න මරණ භය ගෙන දෙයි. 

මේ අන්දමට, ඵස්ස නිසා සංවේද ඉන්ද්‍රියයන් තුල 'වේදනා' උපදියි. මේ වේදනා තෙවැදෑරුම්ය.  එනම් සුඛ, දුක්ඛ, සහ උපේක්ෂා වශයෙනි.  පටිච්ච සමුප්පාදය තේරුම් ගැනීමෙන් සමහර අය දරන්නා වූ වැරදි මත බැහැර කිරීමට පිහිටක් වෙයි.  පටිච්ච සමුප්පාදය ගැන ඇති වන අවිද්‍යාව නිසා නා නා අන්දමේ සැක ඇති විය හැක.  තෙරුවන් පිලිබඳ සැකය, අතීත භව පිලිබඳ සැකය, අනාගතයේදී සත්‍ය වශයෙන්ම යලිත් මා උපදින්නේද? කුසල් අකුසල් සත්‍ය වශයෙන් පවතියිද? විනෝදයට මසුන් ඇල්ලෙමෙන් පවක් සිදු වෙයිද? යනාදී වශයෙන් මේ සැකය විවිධාකාර වෙයි.  අවසානයේ මේ සැක සංකා සියල්ල නිසා වැරදි මත නිර්මානය කොට ගෙන, මිථ්‍යා මත ධාරියෙක් බිහි වෙයි.  ඒ හේතුවෙන් හේ තවත් අකුසල කර්මයන් කරන්නේ ඒ අකුසල කර්මයෙන් සිතට සුවයක් ගෙන දෙන නිසාය.  සචේතනික සත්වයා හේතුඵල දහමේ ප්‍රතිඵලයකි.  අසේචතනික වස්තූන්ද එසේමය.  මේ මුලු මහත් විශ්වයද එසේමය. එහි නිමැවුම් කරුවෙක් නොමැත.  කිසිවෙක් හෝ කිසිවක් ඉබේම පහල වන්නේද නැත. 

බුදු රජාණන් වහන්සේ අචේතනික වස්තූන් ගැන දීර්ඝ විග්‍රහයක් කොට නොමැත.  ඒ අචේතනික වස්තූන් වල සචේතනික වස්තූන් මෙන් පුනරුත්පත්තියක්, භවයේ දුක් සහිත බවක් නැති බැවිනි.  නමුත් සචේතනික සත්වයින් පිලිබඳව දීර්ඝ ලෙස කරුණු දක්වා ඇත.  සචේතනික සත්වයෝ පුනරුත්පත්තියටත්, එක් එක් ලෝක වල ඉමහත් දුකටත් භාජන වන නිසා ඔවුන් මේ දුක් කන්දරාවෙන් නිදහස් කිරීමට උන්වහන්සේ ක්‍රියාකල සේක.  ඒ නිසා පටිච්ච සමුප්පාදය පිලිබඳව පැහැදිලි අවබෝධයක් අවශ්‍ය වන්නේ ඇත්ත වශයෙන් ලොව සිදුවන්නේ කුමක්දැයි වටහා ගැනීමටත්, පැමිණිය හැකි දුක් කන්දරාවෙන් මිදීමටත්ය.  අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේ කර්මය සශ්‍රීක කෙතකටත්, විඤ්ඤාණය බීජයටත්, තණහාව කෙතට ගලා එන ජලයටත් උපමා කොට දේශනා කොට ඇත.  පටිසන්ධි විඤ්ඤාණය ඇතිවීම සඳහා,  කර්මය අත්‍යාවශ්‍යය.   එසේම වැඩෙන පැලෑටියක් සේ ක්‍රම ක්‍රමයෙන් අතු රිකිලි සැදී මල් ඵල හටගන්නාක් මෙන් කර්මයේ බලවත්බව අනුව වැඩෙන්නේය.   කුසල හා අකුසල චිත්ත ඉපදි ඉපදී නැසී යයි.  නමුත් ඒ චිත්ත පරම්පරාව එක්තරා අඛණඩ ධාරාවක් මෙන් කර්මානුරූපව ඉපදීම නිසා පටිසන්දි විඤ්ඤාණය පහලවෙයි.  මේ සඳහා පෙර භවයන්හිදී කරන ලද කර්මයන්ද ඉවහල් වෙයි.  ඒ නිසා පටිසන්ධි විඤ්ඤාණය උප්දින අන්දම ඉතාමත් ගැඹුරුය.  පුබ්බිනිවාසානුස්සති ඥාණයෙන් මිස එය තේරුම් ගැනීම ඉතාමත් දුෂ්කරය.   කරුණු මෙසේ තිබියදී කිසිම විශේෂ ඥාණයක් නොමැතිව විශ්ව විද්‍යාල බුද්ධිමත්හු මතුපිටින් අතගා යම් යම් අස්වාභාවික වූ තර්ක ඉදිරිපත් කිරීමද හාස්‍යජනකය.  මෙයින් ඉතාම වැදගත් වන්නේ මරණාසන්නව උපදින්නාවූ කම්ම නිමිත්තයි. මේ හා සමග ඊලඟ භවයේ පෙරනිමිති වශයෙන් ගති නිමිත්ත වුවද පහල විය හැක.  මේ විඤ්ඤාණයේ පෙරහුරුව 'උපත්ථානසමංගිතා' වහයෙන් විභංගයේ දැක්වෙයි.  සත්‍ය වශයෙන් පුනරුත්පත්තිය ඉතාමත් සංකීර්ණය.  ඒ සඳහා බොහෝ කරුණු බලපායි.  භාවනා යෝගීව සිට පුබ්බේනිවාසානුස්සති ඤාණය වඩා කරුණු සත්‍ය වශයෙන් ප්‍රකාශ කරණු හැර මේ උදෙසා තර්ක ඉදිරිපත් කරන්නෝද මෝඩයෝය.  තණහාව හැමෝටම ආවේනික වූ සසර පුරුද්දකි.  රහතුන් වහන්සේලා තණහාව යලි නොනැගිටින සේ විනාශ කොට ඇත.  සාමාන්‍ය පෘතග්ජනයා තණ්හාව නිසා එක් එක් වස්තූන් ආකර්ශ්ණීය ලෙසටද, ඒවා අයිති කර ගැනීම සතුට උපදවන දෙයක් ලෙසටද කල්පනා කරති.  තවද එයින් නිරතුරුවම සතුට උපදවන්නේයයි මුලාවක්ද ඇති කරයි.  මේ සියලු සංස්කාරයෝ (සිතුවිලි ) ජනිත කරන්නේ කර්මයයි.  මරණාසන්න වන විට ජනිත වන්නාවූ මේ කර්ම මරණාසන්න දර්ශන ඉදිරිපත් කරයි.  මේ කර්ම බීජයේ පැලය මතුවීමයි.  සමහර විට මේ දර්ශන කරණ ලද්දාවු  ක්‍රියා අනුව. අප්‍රසන්න වෙනු ඇත.  

ඵස්ස පච්චයා වේදනා වශයෙන් බුදු රජාණන් වහන්සේ වදාලේ කරුණු මෙසේ බැවිනි. 

No comments: