Monday, August 22, 2011

විඤ්ඤාණ පච්චයා නාමරූපං.... පටිච්ච සමුප්පදය 4

විඤ්ඤාණ පච්චයා නාමරූපං.... පටිච්ච සමුප්පදය 4

අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !
විභංග ප්‍රකරණයේ සඳහන්  වන පරිදි, සංඥා ස්කන්දය, වේදනා ස්කන්ධය, සංස්කාර (සංඛාරා ) ස්කන්ධය යන ස්කන්ධ තුන, නාම වශයෙන්ද, සතර මහා භූතයින්ගෙන් බිහිවුන, සහ ඒවා නිසා පවතින, රූපය රූප වශයෙන්ද  සලකා මේ විඤ්ඤාණය නිසා හටගන්නා වූ දෙයට නාමරූප වශයෙන් නම් වී ඇත.  පටිසන්දි විඤ්ඤාණය සමගම සිත සහ භෞතික ද්‍රව්‍ය (Mind and matter ) වල උත්පත්තියද සිදුවේ.  සත්වයා නාම, රූප වශයෙන් දෙවැදෑරුම්ය.  මේ දෙකෙන් නාමය ප්‍රමුඛ ස්ථානයක් ගනියි.  රූප කාය සත්‍ය වශයෙන් රූකඩයක් වැනිය.  ඇසට පෙනෙන බැවින් හා එය ස්පර්ශ කල හැකි බැවින් 'මේ මමය' වශයෙන් රූප කාය උදෙසා ආත්ම සංඥාවක් ඇති කර ගැනීම පුදුමයක් නොවේ.   ඇසට පෙනෙන්නේ එය බැවිනි.  නමුත් මුලාවද එතැනමය.  එහි සත්‍ය තාවය දැනගත් වහාම ඕනෑම ප්‍රඥාවන්තයෙකුගේ අවබෝධය වෙනස් වෙයි.  .  බුදු රජාණන් වහන්සේ හමුවට ගිය සියලුම ලක්ෂ සංඛ්‍යාත ජනයාට සිදුවූයේ එයමය.  ඔවුන් අද සත්‍යය අවබෝධ කොට ගෙන සුවසේ නිවන් පුර වැඩ වසති.  නාම කාය වශයෙන් හැඳින්වෙන, අතට අසු නොවන ඇසට නොපෙනෙන බැවීන් ඒ ස්කන්ධයන්, නාම කාය වශයෙන් හඳුන්වති. රූපකාය පාලනය කෙරෙන්නේ නාම කාය මගිනි.  සිතේ උපදින චිත්ත චෛතසික පරම්පරාවෝ ඉතා වේගයෙන් ඉපදී නැසී යති. (චෛතසික යනු චිත්ත හෙවත් සිත සමග උපදින, සිත නැසෙන විට ඒ හා නැසෙන, සමූහයකි.  ) මේ බව පියවි සිහියට නොදැනේ.  ඒ චිත්ත-චෛතසික ධාරාවෝද, එකක් පසුපස එකක්, එකිනෙකට වෙනස් අන්දමින් ඇති වී නැති වී  යයි..   ධාරාවක් ලෙසින් ගමන් කරන නිසා අපට පෙනෙන්නේ අඛන්ඩ වූ එකම දෙයක් ලෙසය.  උදාහරනයක් වශයෙන්  අතක් දෙස බලන්න.  ' මේ මගේ අත.... මෙය ඊයේත් මෙසේ විය, අත එසේම ඇත..  ඊයේත් මම මගේ අත හැකිලුවෙමි, අදත් මට එසේම කලහැක.  නමුත් සිදුවන්නේ කුමක්ද?  අත සෑදී ඇත්තේ සතර මහා භූතයන්ගෙනි.  එය තව දුරටත් බෙද බෙදා බැලුවොත් අපට 'රූප කලාප වශයෙන් පරමාණුවකටත් වඩා කුඩා කොටස් සමූහයකින් අත සෑදී ඇති බව දැකිය හැක.  (මෙයට සතිපට්ඨාන භාවනාව අවශ්‍යය. ඒ භාවනාවද මේ භවයේදීම ලබාගත හැකිය. --ඕපනයිකෝ-)  .  ඒ රූප කායේ රූප කලාප සෑදී ඇත්තේ ආපෝ තේජෝ වායෝ පඨවි යන ප්‍රාථමික සහර මහා භූතයින්ගෙන්ද, දෙවනුව, වර්ණ ගන්ධ, රස ඕජා යන ද්විතීය කොටස් හතරෙන්ද, ප්‍රාථමික අෂ්ඨක රූප කලාපය (octad) නිර්මානය වී ඇත. මේ අටට ජීවිතේන්ද්‍රිය සහ ලිංගික යන කොටස් එකතු වූ විට දශකයක් බිහි වේ.  ලිංගික කොටස් පුරුෂ, ස්ත්‍රී හෝ නපුංසක විය හැකිය.  බෞද්ධ සාහිත්‍යයේ ධම්මපද අටුවාවෙහි 43 වැනි ගාථාව සම්බන්ධව මෙසේ සඳහන් වෙයි.  බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ සොරෙය්‍ය නම් වූ කුලපුත්‍රයෙක් විය.  දිනක් මහා කච්චායන රහතන් වහන්සේගේ සිරුර දැක උන්වහන්සේගේ සිරුර කෙරෙහි 'අහෝ මේ රන්වන් පැහැ සිරුර මගේ බිරියට ඇත්නම් වශයෙන්..' රාගාත්මක සිතක් ඉපදුනු මොහොතෙහිම සොරෙය්‍ය ස්ත්‍රියක් වූ බව සඳහන් වෙයි.  එපමණක්ද නොව ඒ ස්ත්‍රිය විවාහ වී දරු දෙදෙනෙක් වැදූ බවද සඳහන්ය.  අද ලෝකයේ නොයෙක් නොයෙක් දෙසින් ගැහැණු පිරිමි වන බවත්, පිරිමි ගැහැනු වන බවත් පුවත් පත් මගින් අනාවරණය වේ.  පසුව ඒ සොරෙය්‍ය නම් ස්ත්‍රිය මහා කච්චායන තෙරුන්ගෙන් සමාව අයැද, සමාව ලැබුණු පසු නැවතත් පුරුෂයෙක් වූ බවද සඳහන් වෙයි. ( විද්‍යාත්මකව මේ පිලිබඳව කිසිම හේතුවක් දක්වා නොමැත.  ) සොරෙය්‍ය පසු කලෙක සසර කලකිරී පැවිදිව, රහතන් වහන්සේ නම්ක් වූ බවද සඳහන් වෙයි. 

 මේ හැරුනු විට තවත් රූප කොටස් විස්සකි.  මේ සටහනේ මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා නොකරන්නේ අභිධර්මය මේ ඉගැන්වීම් සමග සාකච්ඡා කිරීමෙන් මේ සටහනේ හරය ඉක්මවා යන බ් ඇවිනි.  මේ ගැන පසුව සාකච්ඡා කරමු.  අරූප ලෝක වල් හැර, අනෙක් තැන්වල ඒ  භවයන්ට අනුරූප වන පරිදි,  විඤ්ඤාණයේ රූපයට හා භවයට අනුරූප වන පරිදි ඒ භවයේ වීඥ්ඥාණය පහල වේ. 

පටිසන්දි විඤ්ඤාණය සමගම කර්මානුරූපවූද, සෘතු වශයෙන් සංවේදී වූද  ආහාර මත යැපෙන්නා වුද භෞතික ද්‍රව්‍යද ඉපදෙයි.  වෙනස් වෙනස් විඤ්ඤාණයන් සමග වෙනස් වෙනස් වශයෙන් පහල වෙන මේ ද්‍රව්‍යයෝ පියවි ඇසට නොපෙනෙන "කලලයක්" ජනිත කරති. මේ අවස්ථාවන් ඉතා ඉක්මනට සිදු වෙන නිසා දිවැසකින් විනා පියවි මනසකින් මෙය නිරීක්ෂණය කල නොහැකිය. 

විඤ්ඤාණය නිසා රූපයක් උපදින්නේ මෙසේය.  අණ්ඩජ, ජලාබුජ, සංසේදජ්, ඕපපාතික වශයෙන් සත්ව ජාතීන් උපදින අයුරු  හතරක් ඇත.  අණ්ඩජ යනු බිත්තර වලින් උපදින්නා වූ සත්වයෝය.  ගර්භාෂයක උපදින්නාවූ සත්වයෝ (මනුශ්‍යාදී) ජලාබුජ වශයෙන් හැඳින්වෙයි.  කුණු මස් ආශ්‍රිතව උපදින්නාවූ සත්වයෝ සංසේදජ් වශයෙන් හැඳින් වේ.  සර්වාංග ප්‍රත්‍යංග පරිපූර්ණ පහල වන්නා වූ සත්වයෝ ඕපපාතික වශයෙන් හැඳින් වෙයි.  නරකයෙහිද, දිව්‍ය බ්‍රහ්ම ලෝක වලද උපදින්නෝ ඕපපාතිකව උපදිති. 

රූප කාය පාලනය වන්නේ නාම කාය මගින් වුවද.  නාම කාය පවතින්නේ රූපකාය මතය. ජීවිතේන්ද්‍රිය ගිලිහී ගිය පසු නාම කායද, රූප කායෙන් ඉවත් වේ. අපි මේ සිද්ධීන් වලට මරණය යයි කියමු.  රූප කාය,  යලිත් එය සෑදී තිබුනු අපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහා භූතයන්  හා එක්වෙයි.  ගිලිහී ගිය නාම කාය, එකතු වී ඇති කුසලාකුසල කර්මානුරූපව වෙන  කයක ලැගුම් ගනියි.  සියලු සංස්කාරයෝ උපදින්නේ හේතු ඵල දහමට අනුවය.  උදාහරණයක් වශයෙන් 'දැකීම' හෙවත් චක්කු විඤ්ඤාණය සලකා බලමු.  ඇසත්, ඇසට පෙනෙන වස්තුවත් දැකීමට අනුරූප වන චක්කු විඤ්ඤාණයත් ඇති වූ විට ඵස්ස හෙවත් ‘ Contact’ ඇති වේ. එවිට දැකීම සිදු  වේ.  දක්නා දෙය සුන්දර වෙයි නම් එය යලි යලි දැකීමට ආශාවක් ඇති වේ.  එය අයිති කර ගැනීමට සිත් වේ.  අකැමැති දෙයක් නම් අප්‍රසන්න තාවයක් ඇති වේ.  අප්‍රිය භාවයක් ඇති වේ.  එයින් දුරස් වීමට සිත් වේ.  මේ විඤ්ඤාණයේ ක්‍රියා කාරිත්වයයි.  ඇසීමද එසේමය.   අනෙක් විඤ්ඤානයන්ගේ උත්පත්ත්යත් පැවැත්මත් ඒ අන්දමටය.  ඒ ඒ විඤ්ඤාණයන්ගේ උත්පත්තිය හා ඇතිවන සිතිවිලි ( සංඛාර,  චිත්ත- චෛතසික )අනුව කර්ම රැස් වේ. 

රේරුකානේ චන්දවිමල නා හිමිපාණෝ උන්වහන්සේගේ පටිච්ච සමුප්පාද විවරණය සහ මහාසි සයඩෝව් හිමියන්ගේ Dependant Origination  යන පොත් වල මෙසේ සඳහන් වෙයි.  ඒ අර්ථ දැක්වීම් දෙකම  එක හා සමානය.     අතීත කර්ම හේතු කොට ගෙන ප්‍රත්සන්ධි විඤ්ඤාණය පහල වන සත්වයින්ට කාය දශකය, භාව දශකය සහ වස්තු දශකය යන දශක තුන පහල වේ.  සමහර සත්වයින්ට භාව දශකය පහල නොවේ.  භාව දශකය පහල නොවන්නෝ නපුංසකයෝය.  විඤ්ඤාණය සහිත වූ ඒ පිණ්ඩයට කලලය යයි නම් වෙයි.  කලලයෙහි ජාති වශයෙන් රූප කලාප දෙකක් හෝ තුනක් ඇත.   කලලයේ පටන් මනුශ්‍යයාගේ වැඩීමේ විස්තර යක්ෂ සංයුක්තයෙහි භාග්‍ය වතුන් වහන්සේ මෙසේ දේශනා කොට ඇත. 

පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදං

අබ්බුද ජායතේ පෙසී පෙසී නිබ්බත්තතේ ඝනෝ

ඝනා පසාඛා ජායන්ති කේසා ලෝමා නඛා පීච

ප්‍රථමයෙන් මාතෘ ගර්භයේ කලල රූපය හට ගන්නේය.  එයින් අබ්බුදය(පෙනපිඩක්) හට ගනියි.  අබ්බුදයෙන් පේශිය හට ගනියි.  ඝනයෙන් අතු පහක්ද, කෙස් ලොම් නියද හට ගන්නේය.  
අතු පහ යනු හිස, දෙ අත් හා දෙපා වල 'ගොබ' වශයෙන් හැඳින් විය හැක.
මේ වසර 2500කට අධික කාලයකට පෙර අසීමිත ප්‍රඥාවෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කල දේවල්ය.  වසර 300 ක් පමණ වන බටහිර වෛද්‍ය ශාස්ත්‍රය අන්වීක්ෂ මාර්ගයෙන් නිරීක්ෂණය කොට  එය එසේම සිදුවන බව ප්‍රකාශ කරයි. 

හය වන සතියේ පටන් එකොලොස් වැනි සතිය දක්වා කලලයේ වර්ධනය ගැන විස්තර සඳහන් නොවේ.  මහාසි සයදෝව් හිමි පවසන අන්දමට ඒ පිලිබඳව කිසිවෙක් බුදු රජාණන් වහන්සේගෙන් අසා අසා නැති බව කියැවේ.  සසර කෙලවර කර ගැනීමට ඒ දැනුම් අවශ්‍ය නැති නිසා බුදු රජානන් වහන්සේ එය විස්තර නොකර ඇති බව සඳහන්ය.  ඒ පිලිබඳව කෙනෙක් බුදු රජාණන් වහන්සේගෙන් විචාරා සිටියේ නම් උන්හහන්සේ එය විස්තර කිරීම සිදු කරනු ඇත. 
ඊලඟ කොටස ලඟදීම

2 comments:

සරත් ලංකාප්‍රිය said...

සබ්බ දානං ධම්ම දානං ජිනාති.. ඔබතුමා මෙහෙම සරලව ගැඹුරු දහමක් ලියන එක අපි වගේ යට බොහොම ප්‍රයෝජනවත්.

සරත් ගුණතුංග said...

@ සරත් ලංකාප්‍රිය මහත්මයා,
ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. මේ සක්වල බිහිවුනු සෑම බුදු වරයෙක්ම බුද්ධත්වයට පත් වූ පසු ගෞතම බුදු රජාණන් වහන්සේ වගේම පටිච්ච සමුප්පාදය මෙනෙහි කරල තිබෙනවා, අනුලෝම ප්‍රතිලෝම වශයෙන්. ඒ වගේම විසුද්ධි මාර්ගයෙත්, ශරීරයේ කුණුප කොටස් තිස් දෙක අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන්න කියල බුදු රජාණන් වහන්සේ උපදෙස් දීල තියෙනවා. මේ උපදේශය සත්‍ය වශයෙන්ම පාඩම් කරන ලමයින්ට ඉතාමත්ම වැදගත් උපදේශයක්. ඔබට තෙරුවන් සරණයි. මේ බුද්ධ සාසනය තුලදීම ඔබට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.