Sunday, August 7, 2011

ප්‍රතීත්‍ය සමුත්පාදය( පටිච්ච සමුප්පාදය) …..1


ප්‍රතීත්‍ය සමුත්පාදය, ( පටිච්ච සමුප්පාදය) …..1

අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !

ප්‍රතීත්‍ය සමුප්පාදය (පටිච්ච සමුප්පාදය, dependent origination   ) සහ චතුරාර්ය සත්‍යය යන ධර්මයෝ බුදු දහමේ අරටුව වෙති. මේ ධර්මයන් බුද්ධියෙන් හෝ තර්කයෙන් අවබෝධ කර ගත නොහැක.  ජරා, මරණ ආදී ස්වාභාවික අවස්ථා පිලිබඳව නොයෙක් නොයෙක් දාර්ශනිකයෝ, නොයෙක් නොයෙක්  තරාතිරම් වල මනුශ්‍යයෝ බොහෝ  මත පල කොට ඇත.  කෙනෙක් දෙවියන්ගේ කැමැත්ත අනුව මේ දේවල් සිදුවන බව පැවසූහ.  තවත් කෙනෙක් වෙනත් මතයක් ඉදිරිපත් කලේය.  මෙසේ බලන කල බුද්ධකාලීන සමයේ පවා නිගන්ඨ නාථ පුත්ත, සංජය බෙල්ලට්ඨිපුත්ත, පකුධ කච්චායන, මක්ඛලී ගෝසාල, අජිත කේසකම්භල  වැනි ආගමික නායකයෝ ඔවුනොවුන්ගේ මත ප්‍රචාරය කලහ.  සාමඤ්ඤඵල සූත්‍රය කියවීමෙන් එකල දඹදිව පැවති ආගමික මති මතාන්තර බොහෝ දුරට වටහා ගත හැක.  බුද්ධියක් නොමැති මනුශ්‍යයා ඕනෑම කෙනෙකුගේ මතයක එල්බ ගැනීමට මේ අනුව ඉඩකඩ තිබුණි.  එය එසේම වී ඇත.  අද පවා නග්නව සිටින නා නා ආගම් අදහන මනුශ්‍යයෝ දඹදිව ඇත.  මේ අනුව බුදු රජාණන් වහන්සේ , බුද්ධර්මය ඉතාමත් ගැඹුරු බවත් එය වටහා ගැනීම දුෂ්කර බවත් පවසා ධර්මය නො ඉගැන්වීමට ඉටාගත් අවස්ථාවකුත් බෞද්ධ ඉතිහාසයේ ඇති බව අපි දනිමු.  කෙලවරක් නොමැති සංසාරයේ සැරිසරන අපි කොපමණ බුදුවරුන් හමුවේ ඉපිද සිටියාදැයි අපිම නොදනිමු.  මේ සසර එතරම්ම දිගය.  කොපමණ කලක් අපි අපාගත වී සිටියාදැයි නොදනිමු.  අවිද්‍යාවෙන්, මෝහයෙන් වැසී ගිය සිත් දරා ගෙන සිටි අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය පවත්නා අවදියෙක ශ්‍රී ලංකාව වැනි බුද්ධාගම පවතින රටක ඉපදීමට තරම් වාසනාවන්ත වෙමු.  තථාගතයන් වහන්සේලාට හැක්කේ මග පෙන්වීම පමණය.  කටයුතු කලමනා අප විසින්ම කල යුතුය.  භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියල්ල දත් සේක.  නමුත් උන්වහන්සේ අපට ඉගැන්වූවේ නිවන් දැකීමට අවශ්‍ය ධර්මය පමණය.  බුදු රජාණන් වහන්සේ, උන්වහන්සේ වදාල ධර්මය අවබෝධ කරගත හැක්කේ බුද්ධිමත් පුද්ගලයන්ට පමණක් බව වදාල සේක.  බුද්ධියක් නොමැත්තේ නම් සසර කවර කලෙක කෙලවර වේදැයි  කිසිවෙක් නොදනී.  බොහෝ විද්‍යාඥයෝ මේ භවයේ මුල මැද අග සොයා විවිධ අදහස් පලකරති.  බුදු රජාණන් වහන්සේ එහි මුල මැද අග සෙවීමෙන් කිසිම පලක් නොමැති බවත් කල යුත්තේ හැකි පමණ ඉක්මනින් සසරෙන් ඉවත් වීම බවත් ඊට මාර්ගයත් පැහැදිලිවම වදාල සේක. 

අද දවසේ පවා බුදු රජාණන් වහන්සේ වදාල  පටිච්ච සමුත්පාදය හරිහැටි දන්නෝ අල්පය.  තේරුම් ගැනීමට දුශ්කර මේ ධර්මය පිලිබඳව ඇති පොත් පත්ද ස්වල්පයහ. මේ සටහන ලිවීමට මා උපයෝගී කර ගත්තේ අපවත් වී වදාල රේරුකානේ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේ විසින් රචිත පටිච්ච සමුත්පාද විවරණය, පූජ්‍ය බෝධී භික්ෂූන් වහන්සේ විසින් සංස්කරණය කරන ලද Visuddhi Magga සහ පිරිනිවන් පා වදාල අති  පූජ්‍ය බුරුම ජාතික මහාසි සයදෝව් හිමියන් විසින් රචිත Dependent origination යන ග්‍රන්ථයන්ය.  .   මට හැකි පමණ සරළ සිංහල භාෂාවෙන් එය විස්තර කිරීමට තැත් කරමි.  එහි යම්කිසි දෝශයක් ඇත්නම් සමාවෙන සේක්වා.  මේ ධර්මය ඉගෙන දෘෂ්ටි ජාලයෙන් මිදී සත්‍යය අවබෝධ කර ගන්නා තෙක් සසරෙන් ගැලවීමක් නැත.  එය ඉගෙන ගත හැක්කේද බුද්ධෝත්පාද කාලයෙක පමණකි.  බුද්ධ ශුන්‍ය කාලයෙක් මෙවැනි දහමක් ගැන අසන්නට පවා නොමැත. (චන්දවිමල හිමි ).  එබැවින් සසරෙන් ගැලවීමට කැමැති භවතුන්, මේ ධර්මය ඉගෙන සසර කෙලවර කරගැනීමට අදිටන් කර ගනිත්වා.   

පටිච්ච සමුප්පාදය තේරුම් ගැනීමට ඉතාමත් අපහසුය.  භාවනා කිරීමෙන් එය අවබෝධ කර ගත හැකිය, නමුත් පොත පත කියවීමෙන් ඒ පිලිබඳව යම්කිසි අවබෝධයකට පැමිණිය යුතුය.  එසේ නැත හොත් වැරදි මත වල එල්බ ගැනීමෙන් බොහෝ අකුසල් සිදු වෙයි.  චතුරාර්ය සත්යය අවබෝධ කර ගැනීම අපහසුය.  වෙන කෙනෙකුට ඉගැන්වීම ඊටත් වඩා අපහසුය.  සත්ත්වයෙක් යනු මනෝ භෞතික ස්කන්ධ පහක සංයෝගයක් බව අවබෝධ කර ගැනීම ඉතාමත් අපහසුය.  එය අවබෝධ කර ගැනීම සඳහා බුදු රජාණන් වහන්සේ සතිපට්ඨාන භාවනා ක්‍රමය උගන්වා ඇතත් එය පුහුණු කරන්නෝ විරලයහ.  'මමය, 'මාගේය' යන ආත්ම සංඥාවෙන් යුතුව සත්ත්වයා අකුසල් කර ගනියි.  පුනර්භවය ඇති වන අන්දම තේරුම් ගැනීම ඉතාමත් දුෂ්කරය.    එහෙත් එය අවබෝධ කර ගන්නා තෙක් ගැලවීමක්ද නොමැත.

ඉතා කෙටියෙන් පටිච්ච සමුප්පාදය මෙසේ සඳහන් කල හැකිය.  "මෙය ඇති කල්හි මේ දේ ඇති වේ..."

අවිද්‍යාව හේතුකොට ගෙන සංඛාරා ඇතිවේ.

සංඛාරා හේතුකොට ගෙන විඤ්ඤාණය ඇති වේ.

විඤ්ඤාණය හේතුකොට ගෙන නාමරූප ඇතිවේ.

නාමරූප හේතු කොටගෙන සලායතන ඇතිවේ

සලායතන හේතු කොට ගෙන ඵස්ස හෙවත් ස්පර්ශය ඇති වේ.

ස්පර්ශය හේතු කොට ගෙන වේදනා ඇතිවේ

වේදනා හේතු කොට ගෙන තන්හාව ඇති වේ

තන්හාව හේතු කොට ගෙන උපාදාන ඇති වේ. 

උපාදාන හේතු කොටගෙන භවය ඇති වේ

භවය හේතුකොට ගෙන ජාති ඇති වේ

ජාති හේතු කොට ගෙන ජරා මරණ, දුක්ඛ, දෝමනස්ස සෝක පරිදේව උපායාස ආදී වූ සකල දුක් සමූහයාම ඇති වේ. 

ප්‍රතීත්‍ය සමුත්පාදය හෙවත් පටිච්ච සමුප්පාදය යන වචනය රේරුකානේ චන්දවිමල තෙරුන්වහන්සේ මෙසේ අර්ථ දක්වා ඇත.  "...ගින්න නිසා දුම ඇතිවන්නාක් සේද, ගස නිසා ඵල ඇතිවන්නාක් මෙන්ද, තමන් නිසා පෙර නොතිබූ දෙයක් ඇතිවන්නා වූ ධර්මයට පටිච්ච සමුප්පාදයයි කියනු ලැබේ. 

අවිද්‍යාව හෙවත් අවිජ්ජා යනු කුමක්ද?  අවිජ්ජා යනු චතුරාර්ය සත්‍යය  පිලිබඳව නොදැනීමයි. කොටින්ම කිවහොත් මෝහයයි.  අසත්‍ය මායාකාරී දේවල් සත්‍ය ලෙස පිලිගැනීමයි.  කොලපාට කන්නාඩියක් දමා අශ්වයෙක් වියලි තණ පිටියකට යැවුව හොත් ඌ වියලි තණ  වුවද අනුභව කරනු ඇත.  මෝහය හෙවත් අවිද්‍යාවද ඒ වගේය.   ඇස් කන් නාසාදී ඉන්ද්‍රියයන්ගෙන් දැනෙන සංඤ්ඤා සුවයක් එලවන්නේ නම් කෙනෙක් එය තදින් බඳා ගනී.  ඒවා අනිත්‍ය වශයෙනුත්, දුක් වශයෙනුත් අනාත්ම වශයෙනුත් දකින තෙක් මේ සසරෙන් ගැලවිය නොහැක.  අනිත්‍ය වන්නේ කෙසේද?  හැමදාම නොපවතින බැවින් එය අනිත්‍ය වෙයි.  අනිත්‍ය නම් සිදුවන්නේ කුමක්ද?   සිතට සතුටු ගෙනදෙන දෙයක් නැති වීම ගැන දුක ඇති වෙයි.   අනාත්ම වන්නේ කෙලෙසින්ද?   තමාගේ වසඟයේ පවත්වා ගැනීමක් නොමැති බැවින් තවත් දුක ඇති වේ එයට අයිති වාසි කම් කීමද අපහසුය.    දුක්ඛ යන පාලි වචනය පැහැදිලි ලෙස වෙන හාෂාවකට පෙරලිය නොහැකි බව පාලි වියතුන් පවසති.  ඒ වචනය, දුක, නොසතුටු බව, දොම්නස, අසතුට ආදී තේරුම් සහිත විශාල අරුතක් ඇති වචනයක් ලෙස අපි තේරුම් ගත යුතුය. 

අපි ජීවත්වන මේ කාල පරිච්ඡේදය මිථ්‍යා මත වලින් ගහන වූ කාල පරිච්ඡේදයකි.  මරණින් මතු ඉපදීමක් නැත.  පින් පවු කියා දෙයක් නැත යනාදී වීශ්වාසයන්ගෙන් යුතු 'බෞද්ධයෝද' සිටිති.  සිතට සුව ගෙන දෙන්නා වූ, රූප වල,  ශබ්ද වල,  දිවට ඉතා රසවත් වූ ආහාර පාන වල, යනාදී වශයෙන් එල්බ ගෙන ඒවායේ බැස ගනිති.  ඒවා සතුට ගෙන දෙන නිසා දුකක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කරති.  ඒවා නැති වූ කල නැවත ලබා ගැනීමට් තවත් ප්‍රයත්න දරති.  නොයෙක් අන්දමේ දුෂ්චරිත කරති.  නැති වූ දේ ගැන ඇති වන තෘෂ්ණාව නිසා මේ සියල්ල සිදු වේ.  සියලු දේ අනිත්‍ය බවත්, අනිත්‍ය නිසා දුක් සහිත බවත්, මාගේය, මමය කියා එල්බ ගැනීමට නොහැකි  නිසා අනාත්ම බවත් සතිපට්ඨාන භාවනා පුහුනුවෙන් අවබෝධ කර ගත යුතුය.    බුදු රජාණන් වහන්සේගේ ධර්මය ඕපනයිකෝ' වන්නේ මේ ජීවතයේදීම, ඒ ජීවිතයට පමුණුවා ගෙන අවබෝධ කිරීම බව බුදු රජාණන් වහන්සේ විසින් පැහැදිලි  ලෙස දේශනා කොට ඇත.  විපස්සනා භාවනාව පුහුනු කරන විට අවිද්‍යාව ක්‍රමයෙන් නැති වී යන බව මහාසි සයදෝව් හිමියන් ප්‍රකාශ කොට ඇත.  අවිද්‍යාව නැසෙන විට සත්‍යය අවබෝධ වන්නේය.  උන්වහන්සේ දහස් ගනන් ජනයා මේ භාවනාවට පුහුනු කොට ඇත.  උදහරණයක් වශයෙන් දුම්පානය දෙස බලන්න.  එයට පුරුදු වූ තැනැත්තාට දුම් පානය සැපයකි.  එහි අනර්ථ භාවය පෙනෙන්නේ නැත.  පෙනුනත් එය නොකර බැරි තත්වයකට පත්ව ඇත.  බුලත් සැපීමද එසේමය. සුරාපානයද  එසේමය.  තෘෂ්ණාව කෙනෙක් අන්ධ කරවා දුක සැපයක් සේ පෙන්වයි.  මෙයින් මුලාවන පෘතග්ජනයා සත්‍යය නොදැන, ඒ දුක ගෙනදෙන්නා වූ දෙයටම ඇලුම් කොට සසරෙහිම සැරිසරයි. 

මේ සිද්ධීන්හි මූලය වන්නේ තෘෂ්ණාවය.  පුනරුත්පත්තියේ මූලෝත්පාදයද, එලෙසම පියවුනු තෘෂ්ණාවයි.  මේ ගැන පොත පතින් ලද දැනුමක් ඇතත්, එය අවබෝධයෙන් වටහා ගන්නා තුරු එයින් මිදීමක් නොමැත.   සමහර දෙනෙක් නිවණ යම්කිසි පාරාදීසයක් ලෙස සලකති.  නිවණ විස්තර කල හැක්කේ නිවණට පිවිසුන කෙනෙකුට පමණකි. සම්මා සම්බුදු රජාණන් වහන්සේ සදාකාලික සුවයක් ඇති නිවණට පිවිසීමට මග කියා දුන්නේ සත්ත්වයාට ඇති අනුකම්පාව නිසාය.   ඉමහත් වූ ආත්ම සංඥාව ඇති අය නිවණට භයක් දක්වති.  ඒ අවිද්‍යාව නිසාය.  ඔවුන්ට එය මරණය හා සමානය.  නමුත් නිවණ පිලිබඳව ශාස්තෲන් වහන්සේගේ මග පෙන්වීම අවශ්‍යය.  සථාර්ථය නොදන්නා සමහරු කරුණා., මෛත්‍රී, දාන ශීල, සම්ථ භාවනා ආදී පුණ්‍ය කර්ම කිරීමෙන් පමණක් නිවණට පිවිසිය හැකි බව විශ්වාස කරති.  එවැනි පුණ්‍ය කර්ම වලින් දිව්‍ය ලෝක වල සුවසේ දිගුකල් විසීම ආදී සුවදායක ප්‍රතිඵල ලැබුණද නිවණට පිවිසීමට විපස්සනා භාවනා කිරීමෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අත්දැකීම් වශයෙන් අවබෝධ කල යුතුමය. 

ඊලඟ කොටස ලඟදීම....

7 comments:

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

ඉතාම ආශාවෙන් කියවූවා. අද ටිකක් වෙලාව මදි. පස්සේ නැවතත් කියවනවා. මේ වැනි ලිපි තවත් ලියන්න. ඔබ වැනි වෛද්‍යවරයෙක් මේ ගැන සිතීමම මට මහත් සතුටක්.

සරත් ගුණතුංග said...

@මහ වෙදනා තුමා,

ඔබගේ ප්‍රතිචාරය මට විශාල ධෛර්යයක්. අද දවසේ සාකච්ඡා වන සාමාන්‍ය දේවල් හාස්‍ය ජනක විය යුතුය, නැතහොත් ශෘංගාර රසයකින් විය යුතුය, එසේත් නැතහොත් නොසිදු වූ දෙයක්, අලලා ගෙතුනු ප්‍රබන්ධයක් විය යුතුය. (චිත්‍රපටියක් නවකතාවක් වැනි.) මේ කොටස් වලට ඇතුලත් නොවේ නම් ප්‍රතිචාර දැක්වීමද අඩුය. ඒ ලෝකයේ ස්වභාවය ය. ඒ මදිවාට මගේ සටහන් පුද්ගල සංඥාවක් ගෙන සිංහල සංසදයෙන් කපා හරින 'දේවදත්තයෙක්ද" ඇත. මම ප්‍රකාශ කරන්නේ බුදු රජාණන් වහන්සේ වදාල ධර්මයමය. පුද්ගල වශයෙන් 'මම' නොමැත. ඉදිරියටත් පටිච්ච සමුත්පාදය පිලිබඳව මම සටහන් ලියා පල කිරීමට බලාපොරොත්තු වෙමි. ඔබට තෙරුවන් සරණයි.

Rasika Dissanayake said...

මහත් අගනේය.

ජීවිතේ මල් said...

නොදන්නා කෙනෙකුට නොදන්නාදේ වැටහෙන අයුරෙන් කියා දෙන්නට හැක්කේ, දන්නා කෙනෙකුටම පමණි...
පීයාණෙනි, ඔබට මහත්ම කුසලයක් වේවා ! පොතපත තරම් ගැඹුරුත් නොවී , හුදෙක් මත පමණක් කියන අය මෙන් කියවන්නා අතරමං නොකොට, ඔබ තුමා මේ දුන්නේ සොයා යමින් සිටි දෙයක් ! බොහොමත්ම පින්!

සරත් ගුණතුංග said...

@ජීවිතේ මල්,
දුව ඔබට ගෞතම බුදු සසුන තුලදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. සෝතාපන්නව සිටි අනඳ තෙරුන් රහත් වූවා සේ, ඔබට එය පහල වේවා.

lak said...

obe me sathkriyawa digatama karagena yanna shakthiya labewa..mehi sighn up wena ayata wadaa huga denek meya kiyawana bawa amathaka karanna epa..oba weni mithuran asurata labeema pinak..me mage facebook link eka https://www.facebook.com/damindralakmal

lak said...

obe me sathkiryaawa sigatama karagena yamata awasthawa labewaa..obata hgak pin..me mage facebook link eka..oba weni mithuran asurukireemata labeema pinak
https://www.facebook.com/damindralakmal