Wednesday, May 18, 2011

ආනන්ද මහ රහතන් වහන්සේ …9

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු මහා කස්සප තෙරුන් ආනන්ද තෙරුන් අමතා, “…. මේ වස්සාන සමයේ අපි රජගහ නුවර වස් වසමු, ඉන්පසු අපි ධර්ම සංඝයනාවක් පවත්වමු…” යයි පැවසූ සේක.    ඒ නිසා වනාන්තරයකට ගොස්, ඔබගේ ඉතිරි මාර්ග ඵල තුන  (සකදාගාමී, අනාගාමී, අර්හත් වශයෙන් ) සම්පූර්ණ කර ගත මැනැවැයි වදාල සේක .  එම යෝජනාවට ප්‍රතිචාරයක් වශයෙන්, ආනන්ද තෙරුන් වහන්සේ සිවුරු හා පාත්‍රයද රැගෙන කොසොල් රට බලා නික්මුනේය.  එහි වනගත ආරාමයකට එළඹ උන්වහන්සේ භාවනා යෝගී වූ සේක.  මේ ආරාමයට පැමිනි දෙවන දිනයේදීම උන්වහන්සේ සකදාගාමී ඵලයට සැපත් වූ සේක.  ආනන්ද තෙරුන් වහන්සේගේ පැමිණීම ගන ඇසූ කොසොල් ජනපදයේ වැස්සෝ, උන්වහන්සේ වෙත එළඹ බුදු රජාණන් වහන්සේ ගැන විපරම් කොට හඬා වැලපෙන්නට වූහ.  තවමත් රහත් බව නොලැබූ ආනන්ද තෙරුන්ටද බුදු හිමියන් පිලිබඳ මතකයන් යලි සිහියට නැගුණි. එයින් උන්වහන්සේගේ භාවනාවට බාධා පැන නැගුණි.  මෙය දුටු වනගතව වෙසෙන දිව්‍ය රාජයෙක් මේ තෙරුන් නොමැතිව සංඝායනාවක් පැවැත්විය නොහැකි බව දුටහ.   දෙව් තෙමේ ආනන්ද තෙරුන් වෙත ගොස්, "ස්වාමීනි, ඔබ වහන්සේ බුදු රජාණන් වහන්සේ නැති සොවින් මෙසේ වැලපෙද්දී වෙනත් කෙනෙක් අස්වසා ලන්නේ කෙලෙසදැ….”යි අසා සිටියහ.  තවද,” ස්වාමීනි ගෝතම වංශයට අයත් ඔබ වහන්සේ, මේ වනයට සැපත් වූයේ නිර්වානය ඉලක්කය ලෙස තබාගෙනය.  ඒ නිසා  පැමිණෙන මේ මිනිසුන් ගැන නොසිතා ඔබ වහන්සේ පැමිණි කාරණය පෙරටු කොට ගෙන භාවනා කරනු මැනැවැ..”යි ඉල්ලා සිටියහ.  ඒ දිව්‍ය පුත්‍රයාගේ වදනින් ආනන්ද තෙරුන් වහන්සේ තමා පැමිණි කාරණය කෙරෙහි යලිත් සිත යොමු කල සේක.  බුදු රජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් අනතුරුව ආනන්ද තෙරුන් වහන්සේ යම්කිසි ශාරීරික වෙහෙසකට පැමිණ   සිටියහ.  උන්වහන්සේ ජේතවනාරාමයට ගොස් එය පිලිසකර කොට ගත්හ.  වාස්සාන සමය එළඹෙත්ම, තනිවම රජගහ නුවරට ගොස්, සඞඝායනාව සඳහා සූදානම් විය.  අජාතසත්ත රජතුමා සංඝායනා මණ්ඩපය කරවා එහි කටයුතු අවසන් බව සංඝායනා කටයුතු භාර භික්ෂූන්ට දැන්වීය. සමහර භික්ෂූන් වහන්සේලා "ආනන්ද හිමියන් බුදු හිමි සමගම සිටි නිසා ආනන්ද හිමි නොමැතිව කුමන සංඝායනාවක්දැයි" ප්‍රශ්න කරන්නට වූහ.  එය කන වැකුනු ආනන්ද තෙරුන් වහන්සේට මහත් ශෝකයක් ඇතිවිය.  ඊට පසුවදා ධර්ම සංඝායනාව ආරම්භ කිරීමට පෙර රහත් බව ලබා ගැනීමට උන්වහන්සේ අදිටන් කර ගත්හ.   ආනන්ද තෙරුන් වහන්සේ වහාම විදර්ශනා භාවනාව වඩන්නට පටන් ගත්හ.  රාත්‍රියේ බොහෝ වේලාවක් උන්වහන්සේ ශරීරය පිලිබඳව සිහිය යොමු කොට ඒ ගැනම මණස යොමු කලහ.  නමුත් කිසිම ආධ්‍යාත්මික සමාපත්තියක් ලබා ගත නොහැකි වූ සේක.  මේ අවස්ථාවේදී උන්වහන්සේට බුද්ධ වචනය සිහියට පැමිණියේය.  ".. ආනන්දයෙනි, ඔබ මහත් වූ කුසලයකට හිමිකම් කියයි.  මා වැනි බුදු කෙනෙකුට උපස්ථාන කිරීම නිරර්ථක වැඩක් නොවේ.  මා විසින් මගේ මණස ඉතා බැරෑරුම් අන්දමට මෙහෙයවා ඇත.  නමුත් අවසානයේ මා ජය ගත්තෙමි.  ඒ නිසා අන්ත වලට නොගොස් කමටහන් වඩන්න..."  ආනන්ද තෙරුන් වහන්සේට සක්මන් භාවනාවෙන් ප්‍රමාණවත් ලෙස සිහිය යොමු කිරීමක් කිරීමට නොහැකි විය.  ඒ නිසා උන්වහන්සේ සිරුරට ටිකක් විවේක දීම සුදුසුයයි තීරණය කලේය.  එසේ කොට, දෙපා දොවාගෙන, ආරාමයට ඇතුලු වූ සේක.  සිය යහන ලඟට ගොස් ටිකක් සයනය  කරන්නෙමැයි සිතා ගෙන ඇලවීමට තැත් කලේය. 

නමුත් එකෙනෙහිම උන්වහන්සේගේ දෙපා පොලොවෙන් ඉහලට ඇදී ගියේය.  හිස කොට්ටයට පතිත වූයේද නැත.   ඒ අවස්ථාවේදීම උන්වහන්සේගේ සිත රාග , තණ්හා ආදී සියලු ක්ලේශයන්ගෙන් මිදී අර්හත් භාවයට පත් වූ සේක. 
බුදු රජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක  ආනන්ද තෙරුන් වහන්සේ අර්හත් භාවයට පත් වූයේ එසේය. 

සම්බුද්ධ සාසනයේ කිසිම ඉරියාපථ භාවනාවක නොයෙදුන අවස්ථාවක අර්හත් භාවය ලැබූ එකම බික්ෂූන් වහන්සේද ආනන්ද රහතන් වහන්සේය.
ඊට පසුවදා එනම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමස් සිවු දිනකින්, දහවල් දානයෙන් අනතුරුව සංඝායනවට සහභාගි වන භික්ෂූන් වහන්සේලා සංඝයනා මණඩපයට එක් රැස් වන්නට වූහ. 

ආනන්ද මහ රහතන් වහන්සේද, උදෑසන හිරු එලියෙන් පිබිදූන මහනෙල් මලක් සේ, සෘද්ධි බලයෙන් සප්තපන්නී ගුහාව වෙත වැඩම කොට උන්වහන්සේට උදෙසා පනවන ලද අසුනෙහි හිඳ ගත්හ. 
මේ සඳහා ආනන්ද රහතන් වහන්සේ දිරිමත් කල මහා කස්සප තෙරුන් වහන්සේ ආනන්ද තෙරුන්ගේ අර්හත් භාවය බුදු රජාණන් වහන්සේ සාධු, සාධු කියමින් සතුටු වන බව සිතූහ.  බුදු රජාණන් වහන්සේ නැති නිසා ඒ වෙනුවෙන් මහ කස්සප තෙරුන් තෙවරක් සාධු කියමින් ආනන්ද මහ රහතන් වහන්සේගේ අර්හත් භාවය සභාවට ප්‍රකාශ කලහ.  කෙසේ හෝ පිලිබඳව මත දෙකක් ඇත.  අනෙක් මතයට අනුව.  ආනන්ද තෙරුන් වහන්සේ අනෙක් භික්ෂූන් සමග ශාලාවට ඇතුල් වූයේ   නැත.  උන්වහන්සේ උදෙසා පනවන ලද ආසනය හිස්ව තිබියදී ඒ හිස් අසුන පිලිබඳව ප්‍රශ්න පැනනැංහේය. 

ආනන්ද තෙරුන් වහන්සේ කොයිදැයි ප්‍රශ්න ඇසෙද්දී ආනන්ද රහතන් වහන්සේ ශාලාවේ භූමිය තුලින් සෘද්ධියෙන් වැඩම කල බව පැවසේ.  කුම්න මහයක් සත්‍යදැයි මට කිව නොහැක.  කෙසේ හෝ ආනන්ද රහතන් වහන්සේ සප්තපන්නී ගුහාවට සෘද්ධි බලයෙන් වැඩමකල බව පමණක් ප්‍රකාශ කල හැක. ආනන්ද මහ රහතන් වහන්සේ අර්හත් භාවය ලබාගත් පසු සුද්ධාවාස බඹ ලෝ වාසී (සුද්ධාවාස බඹ ලොව වනාහී අනාගාමී වූවන් පිවිසෙන බඹලොවයි.  ඔවුන් ඒ බඹලොවේදීම යලි උපතක් කරා නොගොස් පිරිනිවෙන්නේය. )එක්තරා බලවත් බ්‍රහ්මයෙක් "ශාක්‍ය කුලයෙහි උපත ලද්දාවු  සම්බුද්ධ ධර්මයෙහි භාණඩාගාරික වන්නාවූ ආනන්ද මහ රහතන්වහන්සේ නිවන් අවබෝධ කොට ගෙන ඇත   යනුවෙන් ප්‍රකාශයක් කොට ඇත.
ප්‍රථම ධර්ම සංඝායනාවට පැමිණිනු  ජ්‍යේෂ්ඨ භික්ෂූන් වහන්සේලා ආනන්ද හිමියන් වෙත දෝශාරෝපණ පහක් එල්ල කලහ.

1. ආනනද තෙරුන් බුදු රජාණන් වහන්සේගෙන් භික්ෂූන්ට වෙනස් කල හැකි සුළු විනය නීති රීති ගැන නොවිමසීම.  ආනන්ද තෙරුන් වහන්සේ වරද පිලිගත් සේක. 
2. බුදු රජාණන් වහන්සේගේ සිවුර එලලන වේලෙහි ආනන්ද තෙරුන් වහන්සේ ඒ සිවුර පාගන ලද බවට චෝදනාවක් මතු විය.    ආනන්ද තෙරුන් වහන්සේ " ඒ සිවුර එලලන වේලෙහි මට උදව් කිරීමට කිසිවෙක් නොසිටියේය. ඒ නිසා එසේ කිරීමට මට සිදු විය.  ඒ බුදු රජාණන් වහන්සේ කෙරෙහි ඇති අප්‍රසාදයකින් හෝ අගෞරවයකින් නොව වෙන දෙයක් නොමැති නිසා එසේ කලෙමි" යයි ආනන්ද තෙරුන් වහන්සේ පිලිතුරු දුන්නේය.  ඒ සඳහා මම පාපෝච්චාරණය කරන්නෙමි.

3. බුදු රජාණන් වහන්සේ පිරිනිවි අවස්ථාවේ ආනන්ද තෙරුන් ප්‍රථමයෙන් කාන්තා පක්ෂයට බුද්ධ සිරුර වන්දනා කිරීමට ඉඩ සලසා දුන්නේය.ඔවුන්ගේ කඳුලු වලින් බුද්ධ සිරුර අපවිත්‍ර විය.  මේ වරද පිලිබඳව පාපෝච්චාරණය කරන්නැයි ජ්‍යේෂ්ඨ  භික්ෂූන් ආනන්ද තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ.  කාන්තාවන්ට යුහුසුලුව නිවෙස් වලට යා යුතු බැවින් මම එසේ කලෙමි.  එහි වරදක් මට නම් නොපෙනේ.  නමුත් මෙහි වැඩ සිටින ඔබ වහන්සේලාට ගෞරව කිරීමක් වශයෙන් මම පාපොච්චාරණය කරන්නෙමි. 
4. බුදු රජාණන් වහන්සේ චාපාල ස්ථූපය ආදී නොයෙක් ස්ථාන වලදී උන්වහන්සේගේ පරිනිර්වානය පිලිබඳව ප්‍රකාශයන් කරන ලදී.  එවන් අවස්ථාවක වසර සියයක් දක්වා ලෝකයාගේ හිත සුව පිණිස ජීවත් වන්නැයි ඔබ ඇරයුම් නොකෙලෙහිය.  මෙයත් ඔබේම වරදකැයි භික්ෂූන් කියා සිටියහ.  ඒ සෑම අවස්ථාවකම මාරයා විසින් මා ග්‍රහණය කොට සිටි බව මගේ විශ්වාසයයි.  ඒ නිසා මා අත වරදක් නැත.  නමුත් ඔබ හැමගේ අභිප්‍රාය පරිදි මම පාපෝච්චාරණය කරන්නෙමි.

5. ආනන්ද, ඔබ කාන්තා පක්ෂයට පැවිද්ද ලබා දීමට බොහෝ සෙයින් ක්‍රියා කලේය. මෙයද ඔබේම වරදකි. මේ සඳහා පාපොච්චාරණය කරන්න.  මහා ප්‍රජාපතී ගෝතමී, බුදු රජාණන් වහන්සේ බිලිඳෙකුව සිටි අවස්ථාවේදී සිය පුත් නන්ද කුමරු පසෙක තබා උන්වහන්සේට සිය කිරි පොවා ඇතිදැඩි කල සේක.  ඒ පිලිබඳව පැන නැගුනු කෘතඥතාවය නිසා මම එසි කලෙමි.  එහි මගේ වරදක් ඇතැයි නොසලකමි.  නමුත් ඔබේ ඉල්ලීම පරිදි මම පාපොච්චාරණය කරන්නෙමි.


 ආනන්ද මහ රහතන් වහන්සේගේ පරිනිර්වානය.
ආනන්ද මහ රහතන් වහන්සේ වසර 120ක් ජීවත් වූ සේක.   සිය ආයු කාලය අවසාන වී ඇති බව දැනගත් ආනන්ද හිමි පිරිනිවන් පාන්නට කල් පැමිණ ඇති බව දැන ගත්තේය.   රෝහිනී නදිය අසබඩ ගංගා ඉවුරු දෙකේම ජනයා ඔවුන්ගේ ඉවුරේ පිරිනිවෙන්නැයි ආනන්ද රහතන් වහන්සේට ඇවිටිලි කරන්නට වූහ.  එය සත්‍යයකි.  ආනන්ද රහතන් වහන්සේ උන්වහන්සේගේ ශාරීරික ධාතූන් සම්බන්ධයෙන් විශාල කෝලාහලයක් ඇතිවිය හැකි බව වටහා ගත්තේය.  එක් එක් පාර්ශවයේ ජනී ජනයා ඔවුන්ගේ ගංඉවුර වෙතට  යන ලෙස අවවාද කල  ආනන්ද රහතන් වහන්සේ, සත් වන දිනයේ ගඟ මධ්‍යයේ බඹ හතක් ඉහල අහසේ පලක් බැඳ හිඳ ගත් සේක.  එතැනදී ධර්ම දේශනයක් පැවැත්වූ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ සිය අදිෂ්ඨානය පරිද්දෙන්  පිරිනිවී සිරුර ගිනිජාලාවකින් භෂ්මාවශේෂ බවට පත්විය.  එසේම උන්වහන්සේගේ අධිෂ්ඨානය පරිද්දෙන් ශාරීරික ධාතුන් හරියටම අඩක් එක් ඉවුරක්ටත්, අනෙක් කොටස අනෙක් ඉවුරටත් පතිත විය.  ජනයා බුදු රජාණන් වහන්සේ පිරිනිවි දාට වඩා ශෝක වූ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.  බුදු හිමි පිරිනිවි කල අපට ආනන්ද තෙරුන් සිටියහ.  දැන් උන්වහන්සේද පිරිනිවී ඇත යනුවෙන් මාස ගනනක් ශෝක වූහ. 

1 comment:

Sujeewa Hemantha said...

ඔබට බොහෝ පින්. ඔබට ආයුබෝ වේවා.