Monday, April 25, 2011

ආනන්ද මහ රහතන් වහන්සේ...7

ආනන්ද මහ රහතන් වහන්සේ...7
වරක් ආනන්ද තෙරුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරමයෙහි වැඩ සිටින සේක.  එකල එක්තරා භික්ෂුණියක් ආනන්ද තෙරුන්ගේ රූපශ්‍රීයෙන් උන්වහන්සේට වශී වී, පිළිබඳ සිත් ඇති කර ගත්තේය.  ඒ සිත කෙරෙහි යොමු වූ සිත් ඇති භික්ෂුණිය උපායක්ද සකසා ගත්තේය.  ඒ සම්බන්ධයෙන් ඒ තෙරණිය තමන් දන්නා කෙනෙක් කැඳවා "එක්තරා තෙරණියක් ඉතා බලගතු ලෙස රෝගාතුරව තෙරණියන් වසන්නා වූ සංඝාරාමයේ මරණාසන්නව වාසය කරයි.  ඇය කෙරෙහි අනුකම්පාවෙන් පැමිණ ඇය  අස්වසනු මැනැවැයි" පවසන්න.
 අනඳ තෙරණුවෝද, ඒ තෙරණියන් කෙරෙහි අනුකම්පාවෙන් යුතුව, සිවුරු හැඳ පැළඳ, පාත්‍රයද ගෙන තෙරණිය වසන්නා වූ ආරාමයට වැඩම කලහ.   දුර සිට ආනන්ද තෙරණුවන් පැමිණෙනු දුටු ඒ තෙරණිය වහාම සයනාගතව, හිසේ සිට පා තෙක් වසා ගෙන රෝගී කතකගේ ස්වරූපය ආරූඪ කරගත්තාය.  ආනන්ද තෙරුන් වහන්සේ ඇයගේ අසපුවට ඇතුල් වූ විටම සිදු වී ඇති දෙය තේරුම් ගත්තේය.   ඇය අසල වූ අසුනක හිඳ ගත් ආනන්ද තෙරුන් වහන්සේ ධර්ම දේශනාවක් දේශනා කිරීමට පටන් ගත්තේය. 
 නැගනියෙනි, මේ පිලිකුල් සහගත ශරීරය පෝෂණය වන්නේ ආහාර ප්‍රත්‍යයෙනි.  ඒ ආහාර ප්‍රත්‍යයේ ඇති පිලිකුල් බව නිසාම අපි ආහාර කෙරෙහි ඇති ආශාව නැති කර ගත යුතුය.  සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සසුනේ පැවිදි බව ලබා ඇති අපි ආහාර ගන්නේ ඒ කෙරෙහි ඇති විනිවිද දක්නා ඤාණයකින් යුතුව විය යුතුය.  අපි ආහාර ගන්නේ මේ ශරීරය පුෂ්ටිමත් කර ගැනීමටවත්, කාමාශාවන් වර්ධනය කර ගැනීමටවත් නොව මේ ශරීරය පවත්වා ගැනීම පිනිසය.  මේ ශරීරය නිර්මාණය වී ඇත්තේ තණ්හාව නිසාය.  ඒ තණ්හාව අපි නැති කරගත යුතුය.  මේ ශරීරය තුල මමංකාරයද ගැබ් වී ඇත.  ඒ සියල්ල අපි නැති කර ගත යුතුය.  අපට සැනසීම ලැබෙන්නේ ඉන් පසුවය.  බුදු රජාණන් වහන්සේ දේශනා කල පරිදි මේ ශරීරය නිර්මාණය වී ඇත්තේ කාමාශාවන් නිසාය. ඒ සියල්ල නැති කර ගත යුතුය. 

 මේ ධර්ම දේශනාව ශ්‍රවණය කල ඒ තෙරණිය ආනන්ද තෙරණුවන් දෙපා ලඟ වැඳ  වැටී "මා කල දෙය වැරදිය.  මට සමා වෙනු මැනැවැ"  යි සමාව අයැද සිටියාය.  අනඳ තෙරණුවෝ ඇයට සමාව දුන්නේය. 

ත්‍රිපිටකය පුරා ආනන්ද තෙරුන් වහන්සේ පිලිබඳව සඳහන් වී ඇති සටහන් බලන කල උන්වහන්සේ කෙරෙහි කාන්තාවන් විශේෂ ස්නේහ භරිත ගෞරවාදරයක් තුබූ බව සනාථ වෙයි.  එය මෙසේ සඳහන් වී ඇත...

" ආයස්මා ආනන්දෝ මහා පුඤ්ඤෝ සම්භාවිතෝ - තම් රාජරාජ මහාමච්චාදයෝ නිමවන්තෙත්වා අන්තෝ නිවෙසනේ නිසීදාපේති.  සබ්බාලංකාරා පටිමන්දිපාති ඉත්තියෝ තේරම් උපසංකමිත්වා වන්දිත්වා තාල වන්දේන වීජෙන්ති උපනිසිද්වා පංචම් පුච්චන්ති, ධම්මංම් සුනංති..."  
අනඳ තෙරුන් වනාහී අතිශයින් වාසනාවන්ත වූද සම්මානනීය වූද පුද්ගල රත්නයකි.  උතුම් කුල කාන්තාවෝ උන්වහන්සේ හමුවට පැමිණ උන්වහන්සේ වන්දනාමාන කරති, උන්වහන්සේට පවන් ගසති. එහෙත් උන්වහන්සේ සිහිනෙන්වත් තමා ලද්දාවූ දෙයින් අයුතු ප්‍රයෝජනයක් ගන්නට සිතුවේ නැති බව පවසා ඇත.   උදේනී රජ සහ කොසොල් රජ ඔවුන්ගේ අන්තඃ පුර වලට පැමිණ ධර්මය දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් එවන ලෙස බුදු රජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටි කල බුදු රජාණන් වහන්සේ සැරියුත් සහ මුගලන් වැනි රහතන් වහන්සේලා සිටියදී ඒ දුශ්කර කාර්යය ඒ වන විට රහත් පදවිය නොලබා සිටි ආනන්ද තෙරුන්ට පැවරූ සේක.  ඒ බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ  කෙරෙහි තිබුණු විශ්වාසයයි 
වසර දෙදහස් පන්සියයකට පමණ පෙර බ්‍රාහ්මණ ආධිත්‍යයෙන් පරිපූර්ණ වූ දඹදිව් තලයේ කාන්තාවන්ට තිබුනු සමාජ තත්වය බුදු රජාණන් වහන්සේ පැහැදිලිවම දුටු සේක.  එයින් ඔවුන් මුදවා ගනු වස් ආනන්ද තෙරුන් වහන්සේ බුදු රජාණන් වහන්සේට දුන් සහාය කාන්තා පක්ෂය කිසිදා අමතක නොකල යුතුය. 

No comments: