Tuesday, April 26, 2011

සිත (සිහිය, මනස ) අකීකරු සිත

බුද්ධ ධර්මයට අනුව, ආරම්භයත්, නාභිගත කේන්ද්‍රයත් සිත හෙවත් මනස වන්නා සේම විමුක්තිය කරා සම්ප්‍රාප්ත වූ රහතන් වහන්සේගේ  මනැසේ  අවසානයත් ඒ සිතම වන්නේය...  ( ඥාණපොනීක ස්වාමීන් වහන්සේ - The Heart of Buddhist Meditation B.P.S).

බටහිර විද්‍යාඥයෝ 'මනස' ගැන නොයෙක් නොයෙක් මත පහල කොට ඇත. වෛද්‍ය විද්‍යාවද මේ මත ඔස්සේ ගොස් මානසික රෝග වර්ගීකරණය කොට ඇත.   ඒ රෝග ලක්ෂණ අනුවය. නමුත් මේ රෝගීන්ගේ සිරුරු තුල කිසිම වෙනසක් අණ්වීක්ෂයකින් පවා සොයා ගැනීමට නොහැකිය.   අද වන තුරු කිසි විද්‍යාඥයෙක්  (ව්‍යවච්ඡේදනයෙන් පවා ) ශරීරය පිලිබඳව කිසිම අමුත්තක් මේ රෝගීන්ට ඇති බවක් පවසා නොමැත.  ඒ නිසා මානසික වෛද්‍යවරුන්ගේ පිලියම මොලයේ ක්‍රියා කාරිත්වය වෙනස් කිරීමට, සෛලවල ක්‍රියාකාරිත්වය වෙනස් කිරීමට රසායනික ද්‍රව්‍ය රෝගියාට නිර්දේශ කිරීමයි.  ඒ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන අනර්ථකර අතුරුඵලයන් ගැන සාමාන්‍යයෙන් වෛද්‍ය වරු නිශ්ශබ්දය.   මේ සටහනේ අරමුණ බටහිර මානසික වෛද්‍ය ක්‍රමය විවේචනය කිරීම නොවේ. 
1970 දශකයේ මුල භාගයේ පමණ බ්‍රයන් වයිස් නම් වන මනෝ වෛද්‍යවරයා අහම්බෙන් නව දෙයක් සොයා ගත්තේය.  ඔහු විසින් වශ්‍රීකරණය (hypnotize)  කරන ලද රෝගියෙක් ඔහු පිලිබඳව පැවසූ දෙයක් සත්‍ය පුවතක් වීම ඔහුගේම මවිතයට හේතු විය.  ඒ සත්‍ය පුවත කිසිවෙක් නොදන්නා බව ඔහු හොඳාකාරව දැන සිටියේය.  ඒ සමගම ඒ රෝගියාගේ ආබාධය පෙර භවයන් හා සම්බන්ධ බවත්  ඔහු වටහා ගත්තේය.  භාවනා ක්‍රම භාවිතයෙන් රෝගය සුව කල හැකි බවද ඔහු වටහා ගත්තේය.  මේ පිලිබඳව ලොවට කියා පෑමට ඔහු මුලදී මැලි වූවේය. 

 ලෝකයේ සෑම රටකම පාහේ පවතින බලගතු  වූ වෛද්‍ය සමාජයේ කුහක කම නිසාය.  වෛද්‍ය සමාජය අමුතුම සමාජයකි.   අලුත් මතයක් ඉදිරිපත් කරන්නෙක් "නීත්‍යානුකූලව" වැරදි බව ඔප්පු කරන්නට නීතිය යටතේ ඔවුන්ට බලය ඇත.  එක් එක් අංශයේ සිටින්නා වූ විශේෂඥයෝ "රට / ලොව පිලිගත් විශේෂඥයෝ" වීම ඊට හේතුවය.  ඕනෑම රටක නීතියට අනුව ප්‍රවීණයන් (experts) කොටසක් ඇත.  ඔවුන්ගේ මතය නීතිය අනුව අවසාන මතය වේ.   

ඔවුන් කරන දෙය "නීත්‍යානුකූලය".   පිලිගත් සම්ප්‍රදායික දේවල් හැර වෙන යමක් ප්‍රකාශ කිරීමෙන් ඒ ප්‍රකාශ කරන්නා පිස්සෙක් හැටියට  සැලකීමට වෛද්‍ය සමාජය පුරුදුව සිටිති.  එයින් වෘත්තීය වශයෙන් කොන් වීමට බයෙන් බොහෝ වෛද්‍යවරු, සම්මත වූ  එතෙක් පිලිගත් මතයට බැහැරව කිසි දෙයක් කීමට මැලි වෙති. 

 වෛද්‍ය මතයට අනුව  පුනරුත්පත්තියක් නැත.  මිය ගිය පසු සියල්ල හමාරය.  පුනර්භවය පිළිබඳ මතකයන් පිලිගැනෙන්නේ මේ මෑතක සිටය.

මේ අභියෝග හමුවේ බ්‍රයන් වයිස් මහතා මුහුණ පෑවේ වෘත්තීය වශයෙන් ඉතා අන්තරාදයක ප්‍රශ්නයකටය.  කෙසේ හෝ ධෛර්ය උපදවා ගෙන සාක්ෂි සහිතව තමා සොයා ගත් දේවල් ඔහු ලොවට ඉදිරිපත් කලේය.  ඉන් වූයේ බටහිර මනෝ වෛද්‍ය ශාස්ත්‍රය කොටස් දෙකකට බෙදීමය.  බ්‍රයන් වයිස් මහතා කියන දෙය පිලිගන්නා සහ නොපිලිගන්නා කොටස් වශයෙන් එය බෙදී ගියේය.  එයින් සිදු වූ හානියක් නැත.    කොටින්ම කියනවා නම් වයිස් මහතා උගන්වන්නේ වෙන කිසිවක් නොව වසර  2500 කටත් පෙර බුදු රජාණන් වහන්සේ ඉගැන්වූ සමථ භාවනා ක්‍රමයයේ මූලික කොටස පමණය.    ඔහු එය කෙලවරටම නොගොස් මෙලොවදී පමනක් සැනසුමක් ලබන අන්දමට එය අවසන් කරයි. 

අද ලෝකයේ හැටියට වයිස් මහතා ඉතා ප්‍රසිද්ධය. අද මහාචාර්ය පදවියකින් පවා පිදුම් ලබා ඇත.   ආනාපාන සති භාවනාව පුහුනු කිරීමෙන් මානසික රෝග මෙන්ම ශාරීරික ආබාධද  ඔහු  සුව කරන බවට ලොව පිලිගෙන ඇත.  එතුමාගේ අත්දැකීම් පිළිබඳව වටිනා ග්‍රන්ථ කිහිපයක්ද එතුමා එලිදක්වා ඇත.   ඒ මහතා විසින් රචිත සංයුක්ත තැටි කිහිපයක්ද වෙයි.  ඒ සංයුක්ත තැටි වල අඩංගු වන්නේ මොහොතින් මොහොත මග පෙන්වා, රෝගියාගේ සිත සන්සුන් කරන දේශන  මාලාවකි.    සිහි කල්පනාවෙන් එය ශ්‍රවනය කල හොත් මානසික සුවයක් ලැබෙන බව නොරහසකි.  එතනින් එය කෙලවර වෙයි. ඒ පිලිබඳව විස්තර මෙතැනින් බලන්න. 

 සිතට එක වරකට ඇතුලු විය හැක්කේ එක අදහසකට පමනි.  සිතට එන අදහස්  ඉතා කුඩා කාල පරිච්ඡේදයකින් වෙන්වී ඇත.  ඉක්මනින් අදහස් සිතට ඇතුලු වන විට මේ කාලය තවත් කුඩා වී පසුව එක් එක් අදහස් පටලැවෙන්නට පටන් ගනී.  මේ පටලැවීම නිසා සිත වික්ෂිප්ත වෙයි.   නොයෙක් මානසික රෝග ඇති වෙයි.  .  මේ රෝගීන්ගේ චර්යාව අනුව ඒ ඒ රෝගයට නමක් බටහිර විද්‍යාවට අනුව යෙදෙයි.    

නමුත්  අප තිලෝගුරු  සම්මා සම්බුදු රජාණන් වහන්සේ උගන්වා වදාල භාවනා ක්‍රම ඊට වඩා ප්‍රතිඵල සහිතය.  සම්පූර්ණය. පියවි මිනිස් සිත ඉක්මවූ අතුරු ඵල ලැබුණද එය භාවනාවේ අරමුණ නොවන බව බුදු රජාණන් වහන්සේ වදාල සේක.  අවසානය දක්වා සිත මෙහෙයවන අන්දම උන්වහන්සේ අපට උගන්වා ඇත.  අවාසනාවකට මෙන් අපි ඒවා පිලි පදින්නේ නැත.  ක්ලේශයන්ගෙන් තොර වූ නිර්මල සම්බුදු සිත අපට නොපෙනෙයි.  ශාරීරික වශයෙන් බුදුන් වහන්සේ ජීවමානව සිටි කල රූපය දැකිය හැකි වුවද, උන්වහන්සේගේ සිත දැකිය නොහැක.  සත්‍යය මේ යයි..”  බුදු රජාණන් වහන්සේ අපට ලොව පවත්නා සත්‍ය වූ ධර්මයන් උගන්වා ඇත.  එනම් සත්‍යය  යනු ලොව පවත්නා ධර්මයමය.  ධර්මය යනු සත්‍යයමය.  ".. යමෙක් ධර්මය දකින්නේ නම් හේ මා දකියි…” යනුවෙන්  උන්වහන්සේ  ප්‍රකාශ කලේ ඒ නිසාය.    බුදු රජාණන් වහන්සේ  'සිත' පිරිසිදු කිරීමේ කාර්යය පටන් ගන්නේ සීලයෙනි.   විසුද්ධි මාර්ගයේ මෙය විස්තර සහිතව දක්වා ඇත.  සීලය යනු කය, වචනය, සිත යන තුන් දොර පිරිසිදු කර ගැනීමයි.     සීලය නොයෙක් නොයෙක් මානසික තත්වයන්ට සුදුසු ලෙස බුදු රජාණන් වහන්සේ පෙන්වා දී ඇත.  සාමාන්‍ය මහා ජනයාට පංච සීලයත්, ඊට වඩා සීලයක් රැක ගන්නා කෙනෙකුට අට සීලයත්, දස සීලයත්, සාමණේර සික්ශා පද සහ අංග  227 කින් යුත් පැවිදි සීලයත් වෙන් වෙන් වශයෙන් බුදු රජාණන් වහන්සේ දහමෙහි දක්වා ඇත.  මේ සියල්ල ගමන් කරන්නේ එකම දිශාවකටය.  එනම් සසර කෙලවර කර ගැනීමටය.  එසේ කිරීමට  ප්‍රථමයෙන්  සිත පිරිසිදු කර ගැනීම අත්‍යාවශ්‍යය.    සිත කිලිටි කරන අකුසල් ප්‍රධාන වශයෙන් තුනකි... ඒ තුන  රාග, ද්වේශ, මෝහ යනුවෙන් නම් වෙයි.   මේ අකුසල් වලින් මිදී සසර කෙලවර කර ගැනීමට නම් බුදු රජාණන් වහන්සේ පහදා දුන් ගමන් මාර්ගයේ ගමන් කල යුතුය.
 සිත ඉතාමත් අද්භූතය.  එය ගමන් කරන්නේ විදුලියටත් වඩා වැඩි වේගයකිනි.  සුව උපදවන තැන් තදින් අල්ලා ගැනීමේ බලයක් සිතෙහි තිබේ.  මේ නිසාම මනුෂ්‍යයා කරදර පොදි බැඳ ගනියි.    

එක තැනක එක අරමුණක සිත තබා ගැනීම ඉතාමහ් අසීරු කාර්යයකි.  කායික වශයෙන් මාංශ පේශීන් වර්ධනය වීමට ඒ මාංශ පේශීන් ව්‍යායාම කරන්නා සේම සිත වර්ධනය වීමට සිත එක අරමුණක දීර්ඝ කාලයක් තබා ගත යුතුය.  හික්මවන ලද සිත ඉතාමත්ම බලසම්පන්නය.  විශ්වයේ ඇති ඉතාම තේජවත් බලය හික්මවන ලද සිතය.   මේ බව බුදු රජාණන් වහන්සේ ධර්ම දේශනා ඔස්සේ කිහිප අවස්ථාවක  වදාල සේක.  ".. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.." වශයෙන් දේශනා කලේ සිතිවිලි නිසා කර්මය ඇතිවෙයි යන අර්ථය ඇතිවය.  පටිච්ච සමුප්පාදයෙහි " අවිජ්ජා පච්චයා සංඛාරා.. සංඛාරා පච්චයා විඤ්ඤාණ.." වශයෙන් සිත මුල් කොට ගෙන මේ සසරෙහි සත්වයා සැරි සරණ අන්දම බුදු හිමි පැහැදිලි කොට ඇත.  රූප ස්කන්ධය වශයෙන් හඳුන්වන මේ ශරීරයෙහි හටගැන්මද සිත නිසා ඇති වී ආහාර ප්‍රත්‍යයෙන් පෝෂණය වන බව බුදු හිමි දේශනා කොට ඇත.   සිල් රැකීමෙහි අභිමතාර්ථය වන්නේ දමනය වූ සිතක් උපදවා ගැනීමයි. දමනය වූ සිතක් ඇති කල සීලය තවත් වර්ධනය වෙයි.   සීලය රැක ගැනීමට සංවේද ඉන්ද්‍රියයන් සංවර කර ගැනීම අත්‍යාවශ්‍යය.  සිත් ඇද ගන්නා සුලු දේවල් කෙරෙහි ඇදී යන සිත ඒවා අයිති කර ගැනීමට  පෙලඹෙයි.  "සත්‍යය ඇති සැටි දැකීමෙන්" හෙවත් විදර්ශනාවෙන් එය වලක්වා ගත හැකිය. බුදු රජාණන් වහන්සේ පන් සාලිස් වසක් මුලුල්ලේ දේශනා කරේ මේ ධර්මයය. 
තෙරුවන් සරණයි....
මතු සම්බන්ධයි.....                   

අකීකරු සිත

අත්තෙන් අත්තට පැනයන වඳුරු නාම්බෙක් සේ සිතද නොයෙක් නොයෙක් අරමුණු වල එල්බ ගනියි. සුව දායක නැතහොත් සිතට සුව උපදවන අරමුණු තුල තුල සිත බොහෝ වේලාවක් රැඳීමට පිලිවන. සුව ජනක අරමුණුවල ඇලීගැලී සිටීමටත් අප්‍රියජනක අරමුණුවලින් ඉවත්ව යාමටත් සිත පුරුදුව ඇත. එක් එක් අරමුණුවල එල්ලෙන  සිත ඒ ඒ අරමුණු අනුව විවිධ අන්දමේ ප්‍රතිචාරද දක්වන්නට පටන්ගනියි.  මේ ප්‍රතිචාර (reactions) හේතුවෙන් ඒ සිත තුල කර්ම ජනිත වීමට පටන් ගනියි.   චේතනාහං භික්ඛවේ කම්මං වදාමි වශයෙන් බුදු රජාණන් වහන්සේ මේ බව දේශනා කොට ඇත.   පිරිසිදු සිතකින් යුතුව ප්‍රතික්‍රියාව ඇති වුවහොත් එය කුසල කර්මයක් වේ අපිරිසිදු සිතකින් යුතුව ප්‍රතික්‍රියා ඇතිවුවහොත් එය අකුසල කර්මයක් වෙයි.  මනෝ පුබ්බං ගමා දම්මා - මනෝ සෙට්ඨං මනෝමයා... වශයෙන් බුදු රජාණන් වහන්සේ සඳහන් කලේ සිත ඕනෑම දෙයකට මුල් වන හෙයිනි.  ව්‍යාකූල වූ අවුල් වූ සිතක් තුලට මානසික රෝග පැමිණීම වැලැක්විය නොහැක.  "සබ්බේ පුතජ්ජනා උම්මත්තිකා..." වශයෙන් පාලියෙන් ලියැවුනු සිද්ධාන්තයක් ඇත.  එයින් අදහස් වන්නේ සියලුම පෘතග්ජනයින් උමතු වී ඇති බව නොහොත් ලොව තතු හරි හැටි නොදන්නා බවයි.  සිතේ ක්‍රියා කාරිත්වය හරි හැටි නොදැන වැරදි නිගමණ වලට එළඹ සසර දිගු කර ගන්නා බවයි.    සිතට එන සිතිවිලි, අදහස්, පැමිණෙන්නා සේම ඒවා නැති වී යයි. අපට ඒ අදහස් අඛණ්ඩ ධාරාවක් ලෙස දැනෙන නමුත් එය එසේ නොවේ.  ඒ අදහස් ඉතා කුඩා කොටස් වශයෙන් ශ්‍රේණි ගතව සිතට ඇතුලු වෙයි.  ඒ චිත්ත කොටස් දෙකක් අතර තත්පරයකින්  10 -12 පමණ විරාමයක් ඇත.  පියවි ඇසට මේ විරාමය නොපෙනෙයි. මේ විරාමය සමථ භාවනා කිරීමෙන් දික් වෙයි.  විරාමය දික් වන්නා සේම සිතට සුවයක්ද ලැබෙයි.  සමථ භාවනාවේදී ඇති වන ' පීති  සුඛ' මෙයයි. සිතට ඉක්මනින් සිතිවිලි ගලා එන විට මේ විරාමය තවත් කෙටි වෙයි. සීතිවිලි තවත් වේගවත් ව එනවිට විරාමය ඒ විරාමයද නැති වෙයි.  එවිට මානසික රෝග ඇති වීමට පටන් ගනියි.  මනසික රෝග මොලයේ සෛල වල ආබාධයක් නොව සිතේ ක්‍රියා කාරිත්වයේ සිදුවන විපර්යාසයකි.  බුදු රජාණන් වහන්සේ සිහි විකල්ව පැමිණි කිසිවෙකුටත් ඖෂධ නිර්දේශ කලේ නැත (කිසා ගෝතමී වැනි ).  උන්වහන්සේ ඔවුන්ට නියම තතු පහදා දීමට උදව් කල සේක. 

විරාමය කෙටි නිසා පියවි ඇසට හා සිතට එය නොපෙනෙයි.  සියල්ල පෙනෙන්නේ අඛණ්ඩ ධාරාවක් ලෙසටය.  මුලාව පටන් ගන්නේ මේ පෙනෙන අඛණඩත්වය නිසාය. 

අඛණඩ ධාරාවක් ලෙස පෙනෙන නිසා අපේ සිතට 'සදා කල් පවතින දේ' ලෙසට සියල්ල පෙනෙන්නට පටන් ගනියි. සියල්ල එසේය.  අපට ඇහෙන ශබ්දය පවා එසේය.  පෙනෙන දේවල්ද එසේය.   මේ මුලාවෙන් ගැලවී සත්‍යය අවබෝධ කර ගැනීමට බුදු රජාණන් වහන්සේ විදර්ශනා භාවනාව ලෝකයාට ඉගැන්වූ සේක.   විදර්ශනා භාවනාව ප්‍රගුණ කරන විට ක්‍රමයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයන්හි සත්‍යය තමාටම අවබෝධ කර ගත හැක.  විදර්ශනා භාවනාව ප්‍රගුණ කරන්නේ බුදු රජාණන්  වහන්සේගේ ධර්මයෙහි සත්‍ය තාවය තමාටම අත් දැකීමක් ලෙස ප්‍රගුණ කර ගැනීමටය.

මේ වනාහී ආගම් භේදයකින් තොරව කාටත් පොදුවේ සිදුවන ධර්මතාවයකි.  මෙය හඳුනා ගත් තැනැත්තා තුල  මෝහය සහ අවිද්‍යාව නැත.  කෙනෙක් මිය යන විට පැරණි ජීවිතයේ චුති විඤ්ඤාණය සහ නව ජීවිතයේ ප්‍රතිසන්ධි විඤ්ඤාණය එකම දෙයක් වුවද ඒ දෙක අතර වෙනසක් ඇත.  ඒ පෙර භවයේ කරන ලද කුසල කර්ම හා අකුසල කර්ම නව ජීවිතයට බලපාන අන්දමටය. මේ පිලිබඳ දැනුමක් නැති කෙනෙක් එක්කෝ සස්සතදිට්ඨි (eternalist)  හෝ උච්චේදදිට්ඨි  ගත වූවෙකි. මේ දෘෂ්ටි දෙකම අවිද්‍යාව නිසා ඇතිවෙයි.  විදර්ශනා භාවනාව පුහුණු කරන්නෙකුට පුනර්භවය ඇතිවන අන්දම තේරුම් ගැනීම අපහසු නොවේ.  භාවනාව පුහුණු කරන යෝගියා විඤ්ඤාණයේ ඇතිවීමත් තව මොහොතකින් නැති වීමත් සිය අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරගනියි. මීට කලින් සිය ගුරුවරුන්ගෙන්, හෝ කියවීමෙන් මෙය දැන සිටියද, අත්දැකීමෙන් දැනගත් දෙයක් සිතේ ඉතා  තදට කා වදියි.    මේ හා සම්බන්ධව සම්මාසන ඤාණ, උදයබ්භය ඤාණ, ආදී වශයෙන් ඤාණ දර්ශන කිහිපයක් විදර්ශනා භාවනාව වඩන යෝගියාට පහල වෙයි.  මේ ඤාණ දර්ශන නොකඩවා භාවනාව වඩන්නෙකුට දින කිහිපයක් ඇතුලත් පහල වෙයි.  එවැන්නෙකුට මරණය යනු එක ජීවිතයක විඤ්ඤාණය නතරවී නව ජීවිතයක විඤ්ඤාණය හට ගැනීම බව පැහැදිලිවම  පෙනී යයි.     මේ පිලිබඳව අධ්‍යයනය කිරීමට අන්තර්ජාලයෙන් නොමිලයේ ලබා ගත හැකි මේ පොත කියවන්න.  (Dependant Origination – Mahasi Sayadaw. ) 
චන්න තෙරුන් වහන්සේ 'පුද්ගලයෙක් ඇත' යන වැරදි දෘශ්ටිය නිසා අර්හත් ඵලය ලබා ගත නොහැකිව සිටියහ.  සම්බුද්ධ පරිනිර්වානයෙන් ටික වේලාවකට පසු ආනන්ද තෙරුන් වහන්සේ චන්න තෙරුන් කැඳවා පච්ච සමුප්පාදය පැහැදිලි කර දීමෙන් පසු උන්වහන්සේ අර්හත් ඵලය ලබාගත් බව සඳහන්ය.  බුදු රජාණන් වහන්සේ ජීවමානව සිටි කල යමක හෙරුන්ද මේ වැනි වැරදි දෘශ්ටියක සිටියහ.  රහතන් වහන්සේ මරණින් පසු සම්පූර්ණයෙන්ම ශුන්‍ය වන බව ඒ තෙරුන් විශ්වාස කලේය.  සැරියුත් මහ රහතන් වහන්සේ යමක තෙරුන්ට කරුණු පැහැදිලි කොට ධර්ම දේශනා කලහ.   ධර්ම දේශනාවෙන් පසු භාවනා කොට යමක තෙරුන්ද අර්හත් ඵලයට පත් වූ සේක.  මරණාසන්න දර්ශන ඇති වන්නේ සිය පව් පින් අනුව ඊලඟට යන භවය පිලිබඳවය.   මහාසි සයදෝව් හිමියන්ගේ පොතේ (dependant origination) මේ පිලිබඳව සම්පූර්ණ විස්තරයක් ලියැවී ඇත.  1950 දශකයේදී මහාසි සයදෝව් හිමියන් ලංකාවටද වැඩම කලේය.  උන්වහන්සේ බුරුමයේ පවත්වන ලද සයවන ධර්ම සංඝායනාවේ 'පුච්චක' වශයෙන් ක්‍රියාකලේය.  පලමුවන සංඝායනාවේදී එම තනතුර දැරුවේ මහා කස්සප රහතන් වහන්සේ විසිනි.  ලංකාවට වැඩම කල අවස්ථාවේදී විදර්ශනා භාවනා මධ්‍යස්ථාන පිහිටුවීමට උන්වහන්සේ කැමැත්ත පලකලේය.  නමුත් ඊට විරෝධතාවයක්ද එල්ල විය.  බුරුමයේ වෙබ් අඩවියකින් මේ පහත සඳහන් පරිච්ඡේදය උපුටා ගන්නා ලදී.   විදර්ශනාව පිලිබඳව සම්පූර්ණ විස්තර මේ වෙබ් අඩවියෙන් බලා ගත හැක.  (  http://www.aimwell.org/Books/Mahasi/mahasi.html )

“…At one time, Mahāsi Sayādaw was severely criticised in certain quarters for his advocacy of the allegedly unorthodox method of noting the rising and falling of the abdomen in vipassanā meditation. It was mistakenly assumed that this method was an innovation of the Sayādaw’s, whereas it had been approved several years before Mahāsi Sayādaw adopted it, by no less an authority than the Mūla (original) Mingun Jetavan Sayādaw, and that it is in no way contrary to the Buddha’s teaching on the subject. The reason for Mahāsi Sayādaw’s preference for this method is that the average meditator finds it easy to note this manifestation of the element of motion (vayodhātu). It is not, however, imposed on all who come to practise at any of the Mahāsi meditation centres. One may, if one likes, practise Ānāpānasati. Mahāsi Sayādaw himself refrained from joining issue with his critics on this point, but two learned Sayādaws brought out a book each in defence of the Sayādaw’s method, thus enabling those who are interested in the controversy to judge for themselves.

This controversy arose in Sri Lanka where some members of the Sangha, inexperienced and unknowledgeable in practical meditation, publicly assailed Mahāsi Sayādaw’s method in newspapers and journals. Since this criticism was voiced in the English language with world-wide coverage, silence could no longer be maintained, and so Sayādaw U Ñanuttara of Kaba-aye (World Peace Pagoda campus) forcefully responded to the criticisms in the pages of the Sri Lankan Buddhist periodical ‘World Buddhism.’

Mahāsi Sayādaw’s international reputation has attracted numerous visitors and meditators from abroad, some seeking enlightenment for their religious problems and others intent on practising meditation under the Sayādaw’s personal guidance. Among the first meditators from abroad was former British Rear-Admiral E.H. Shattock who came on leave from Singapore and practised meditation at Sāsana Yeikthā in 1952. On his return to England he published the book, »» An Experiment in Mindfulness relating his experiences in generally appreciative terms. Another foreigner was Mr. Robert Duvo, a French-born American from California. He came and practised meditation at the Centre first as a lay meditator and later as a bhikkhu. He later published a book in France about his experiences and the Satipatthāna Vipassanā method.

Particular mention should be made of Anāgarika Shri Munindra of Buddha Gaya in India, who became a close disciple of Mahāsi Sayādaw, spending several years with him, learning scripture and practising vipassanā. Afterwards he directed the International Meditation Centre at Buddha Gaya, where many people from the West came to meditate. Among them was a young American, Joseph Goldstein, who has written a perceptive book on vipassanā titled »» The Experience of Insight: A Natural Unfolding.   (http://www.aimwell.org/Books/Mahasi/mahasi.html) ….”

මා දන්නා තරමින් විදර්ශනා භාවනාව පිලිබඳව සම්පූර්ණ උපදෙස් සහිත  වැඩ සටහන් මාලාවක් මේ හිමියන් විසින් ඉදිරිපත් කොට ඇත.  වෙබ් අඩවියේ බලන්න.  කෙසේ වුවද භාවනා කිරීමේදී අපහසු අවස්ථා ඇතිවිය හැක. එවිට උපදෙස් ගැනීමට පලපුරුදු ආචාර්ය වරයෙක් සිටිය යුතුය.  පස්වග තෙරුන් අතරින් වප්ප තෙරුන් භාවනා කරන අවස්ථාවේ බුදු රජාණන් වහන්සේ දහවල් පිඬුසිඟා නොගොස් වප්ප තෙරුන්ට අපහසුවක් වුවහොත් උදව් කිරීමට නතර වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි.  එදා දවස බාධා පැමිණවීමට සිටියේ මාරයාගේ නියෝජිත පිරිසය.  අද අපිට සතුරෝ වැඩියෙන් සිටිති.  අද දවසේ වැඩි දෙනෙක් මරණින් පසු ප්‍රේත භවයන්හි උපදින බවට සාක්ෂි ඇත.  මේ සටහන් කියවන්න.   (http://rightmindfulness.wordpress.com/)  අපේම ඥාතීන් මේ අතර සිටිති.  ඔවුන් අප සසරින් මිදී යාමට ඊර්ෂ්‍යාසහගත වෙති.  අපේ ප්‍රථම හතුරෝ ඔවුන්ය.  නමුත් ඔවුන්ට කිසිම ද්වෙශයක් හෝ වෛරයක් නොකල යුතුය. භාවනාව දියුනු වන විට මාර සේනාද හමු වෙයි.   මේ ප්‍රේත භවවල සිටින අවාසනාවන්ත අයවලුන්ගෙන් ගැලවීම සඳහා ආරක්ෂක ගාථාවක් මේ වෙබ් අඩ්වියේ විකාශනය වෙයි. http://firstlanka.com/english/firstlanka-daham-radio/  විකාශනය වන සජ්ජායනා අතර ආරක්ෂක ගාථාව නම් කරන ලද ගාථාවක් ඇත. 

   භාවනාවට පෙර ඒ ගාථාව භක්තියකින් යුතුව තෙවරක් සජ්ජායනා කල යුතුය.   

තෙරුවන් සරණයි….

ආනන්ද මහ රහතන් වහන්සේ ……5

වර්තමානයේදී මෙන්ම, බුදු රජාණන් වහන්සේ ජීවත්ව සිටි කාලයේදීත් ගංගාවක බැසයන ජලය උදෙසා, එමෙන්ම යම්කිසි භූමියක මායිම් උදෙසා ආරාවුල් පැන නැගුනු බවට ඉතිහාසය සාක්ෂි දරයි.  ශාක්‍ය හා කෝලිය වංශිකයින් රෝහිනී නදියේ ජලය බෙදාගත නොහැකිව අරගලයක් ඇරඹූහ.  මේ අරගලය දුරදිග ගොස් ඔවුනොවුන් ඇණකොටා ගන්නා තරමටම උණුසුම් විය.  බුදු රජාණන් වහන්සේ මැදිහත්ව, වඩා වටිනා කමක් ඇත්තේ ජලයටද, මිනිස් ජීවිතවලටද වශයෙන් කරුණු පැහැදිලි කොට දහම් දෙසා වදාල සේක.  කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව දෙපක්ෂයම බුදු රජාණන් වහන්සේගේ අවවාද පිලිගත්හ.  දෙපක්ෂයෙන්ම පන්සියයක් පමණ වූ කුමාරවරු පැවිදි බවද ලබා ගත්හ.  මෙසේ සිය සැමියන්, විවාහ ගිවිස ගත් කුමාරවරු ගිහිගෙය හැරගිය පසු, ඔවුන්ගේ බිරින්දෑ වරු, විවාහ වීමට බලාපොරොත්තුව සිටි කුමරියන් මහා ප්‍රජාපතී ගෝතමී බිසොවුන් වහන්සේ වෙත එළඹ සිය කනස්සල්ල ප්‍රකාශ කලහ.  දේවීන් වහන්ස, ඔබගේ සැමියා, ශුද්ධෝදන රජතුමා පිරිනිවන් පා ඇත.  ඔබ තුමිය දැන් ස්වාමියෙකු නැති ස්ත්‍රියකි.  අපගේ ස්වාමියෝද අපව හැර දමා පැවිදි වී ඇත.  අපි මෙසේ සිටිනවාට වඩා බුදු රජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි වුවහොත් යෙහෙකියයි පැවසූහ.   මහා ප්‍රජාපතී දේවීන් වහන්සේද එකහෙලාම ඒ අදහස අනුමත කලාය.  ඉන්පසු පන්සියයක් පමණ වූ රාජකීය කුලකාන්තාවන් සමග මහා ප්‍රජාපතී ගෝතමී බිසොවුන් බුදු රජාණන් වහන්සේ හමුවට ගොස්, "ස්වාමීනි බුදු රජාණන් වහන්ස, මගේ සැමියා ශුද්ධෝදන රජතුමා අර්හත් ඵලය ලබාගෙන පිරිනිවන් පා ඇත.  රාහුල කුමාරයාත් නන්ද කුමාරයාත් ඔබ හා සමග පැවිදි වී ඇත.  මට මාලිගයේ තනිව සිටිනු නොහැකිය.  මේ සමග සිටින මේ කුල කාන්තාවන්ටද සැමියන් නැත, ඔවුන් ඔබ වහන්සේගේ සසුනේ පැවිදි වී ඇත.  අපිට අනුකම්පා කොට අපටද පැවිද්ද ලබා දෙනු මැනැවැයි ආයාචනා කලහ.  බුදු රජාණන් වහන්සේ වෙන කාටවත් වඩා හොඳින් එකල දඹදිව කාන්තාවන්ට තිබුණු සමාජ තත්වය ගැන දැන සිටියහ.  සමාජයේ ඔවුන්ගේ තත්වය උසස් කිරීමට උන්වහන්සේ නිතරම ක්‍රියා කලහ.  පසු කලෙක ඇති විය හැකි ගැටලු ගැන සලකා ඒ අවස්ථාවේ කාන්තාවන්ට පැවිද්ද ලබා නොදීමට උන්වහන්සේ තීරනය කල සේක.  මහා ප්‍රජාපතී ගෝතමී බිසව කිහිප වතාවක්ම බුදු රජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියාය. නමුත් ඒ අවස්ථාවේ එය ඉටු වූයේ නැත.   ඉන් ඉක්බිති  බුදු රජාණන් වහන්සේ කපිලවස්තු පුර නිග්‍රෝධාරාමයෙන් නික්ම විසාලා මහනුවර දෙසට වැඩම කලහ. 

ඒ තීරණයෙන් අතිශය ශෝකයට පත් ඒ කුල කාන්තාවෝ, පසු දිනෙක ඔවුන්ගේම කැමැත්තෙන් හිස මුඩු කොට ගෙන, කසාවතින් සැරසී විසාලා මහනුවර දිසාවට ගමන් කලහ.  ශුද්ධෝදන රජ මාලිගයේ ප්‍රථම පෙරලිය වූයේ බුදු රජාණන් වහන්සේ ගිහි කල විසූ සුඛෝපභෝගී ජීවිතය හැරදමා බුද්ධත්වය ලැබ, කපිලවස්තුපුරයෙහිම, වීදිවල පිඬු සිඟා වැඩීමය. මෙයින් අතිශයින්ම කම්පාවට පත් වූයේ ශුද්ධෝදන රජතුමාය.    ඊලඟ පෙරලිය වූයේ රාජකීය කුල කාන්තාවෝ කසාවතින් සැරසී හිස මුඩු කොට ගෙන ඉතාමත් සංවර ලීලාවෙන් බිම බලාගෙන විසාලා නුවර දෙසට ගමන් කරන විටදීය.
 අද මෙන් එදා ඔවුන් මිට මොලවාගෙන  සටන් පාඨ කියවූයේ නැත. 

“….අපට පැවිද්ද දෙනු. නැතහොත් අපේ සැමියන් දෙනු ….”  යන වශයෙන් දැන්වීම් පුවරු අල්ලා ගෙන සිටියේද නැත. 
මේ කුල කාන්තාවන්ගේ ගමන ලැව් ගින්නක් මෙන් පැතිර ගියේය.  ශාක්‍ය හා කෝලිය රාජ වංශිකයෝ ඔවුන්ගේ රථ රැගෙන පැමිණ ඒ කාන්තාවන්ට ඒ රථවලට නගින ලෙස ඉල්ලා සිටියහ.  නමුත් ඔවුන් පයින්ම ගමන් කලහ.   ඔවුන්ගේ සිල්වත් බවින් වශී වූ මග දෙපස සිටියවුන් ඔවුන්ට වන්දනාමාන කලහ.  සියුමැලි සිරුරු ඇති ඒ කාන්තාවෝ යොදුන් පනස් එකක් මග ගෙවා විසාලා මහනුවර කූටාගාර ශාලාවට සැපත් වූහ.  ඔවුන් එකවරටම බුදු රජාණන් වහන්සේ හමුවට නොගොස් ආනන්ද තෙරුන් වහන්සේ හමුවූහ.  ලේ ගලන දිය බුබුලු සහිත ඔවුන්ගේ පා දැකීමෙන්  ආනන්ද තෙරුන් වහන්සේ මහත් සේ කම්පාවට පත්වූහ.  "මෑණියෙනි කුමක් සිදු වූයෙහිද?.." ඔබ ක්ෂත්‍රිය කුලයෙන් නෙරපණු ලැබීද නැතහොත වෙන යම්කිසි ආපදාවක් ඔබට සිදුවීදැයි ආනන්ද තෙරුන් වහන්සේ විචාලහ.  පුතනුවනි, ආනන්ද තෙරුන් වහන්ස, අපට එසේ ආපදාවක් සිදූ වී නොමැත. අපි කුලයෙන් නෙරපන ලද්දේද නැත.  මම තුන් වතාවක් පැවිද්ද ඉල්ලා බුදු රජාණන් වහන්සේට බැගෑපත් වුනෙමි.  නමුත් මට පැවිද්ද ලැබුණේ නැත.  පැවිදි වූවෙකු සේ ජීවිතය ගත කිරීමට සිතාගෙන මේ කුල කාන්තාවන් සමග පැමිණියෙමි.   ආනන්ද තෙරුන් වහන්සේ ඔවුන්ට මඳක් සිටින සේ අවවාද කොට බුදු රජාණන් වහන්සේ හමු වීමට ගියහ.  " ස්වාමීනි බුදු රජාණන් වහන්ස, ඔබ වහන්සේගේ සුලු මව වන ප්‍රජාපතී ගෝතමී බිසොවුන් වහන්සේ ඇතුලු පන්සියයක් පමන වූ කාන්තාවෝ කසාවතින් සැරසී පැවිද්ද පතා මෙහි පැමින සිටිති.  යොදුන් පනස් එකක් ගමන් කොට ඔවුන්ගේ පා වල දිය බුබුලු ඇත.  සමහරුන්ගේ පාවලින් රුධිරය වෑහේ.  ඔවුන්ට අනුකම්පා කල මැනවි...." සසුනට කාන්තාවන් ඇතුලත් කර නොගන්නා ලෙස දෙවරක් බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට අවවාද කල සේක.  නමුත් බුදු රජාණන් වහන්ස, කාන්තාවක් පැවිදිව භාවනා කොට සකෘදාගාමී අනාගාමී වශයෙන් ඵල ලබා ගත හැකිදැයි ආනන්ද තෙරුන් බුදු රජාණන් වහන්සේ ගෙන් විචාලේය. ".. එසේය එය සිදුවිය හැකියයි බුදු රජාණන් වහන්සේ පිලිතුරු දුනි.   "බුදු රජාණන් වහන්ස, ප්‍රජාපතී ගෝතමී බිසොවුන් වහන්සේ ඔබ වහන්සේගේ මෑණියන් මිය ගිය පසු ඇයගේම පුත් නන්ද කුමරු වෙන කාන්තාවන් භාරයේ තබා, ඇයගේම කිරි දී ඔබවහන්සේ ඇතිදැඩි කලාය.  ඇයට අනුකම්පා කොට පැවිදි කල මැනැවැයි තවත් වරක් ඉල්ලා සිටියේය.  ආනන්ද, එසේ නම් පෙර සිටි බුදු වරුන් භික්ෂූනී සාසනය පටන් ගැනීමට පෙර පනවන ලද නීති අටක් ඇත.  ප්‍රජාපතී ගෝතමී ඒ නීති වලට එකඟ වෙයි නම් ඇයව පැවිදි කරවමි යයි පැව්සූ සේක.  ප්‍රජා පතී ගෝතමී එකහෙලාම ඒ නීති වලට එකඟ වූවාය.  ඒ සමග සිටි අනෙක් කුල කාන්තාවන්ද ගෞතම බුද්ධ සාසනයේ මෙහෙණියන් වූහ. 

පැවිද්ද ලබා නොබෝ දිනකින් ප්‍රජාපතී ගෝතමී තෙරණිය රහත් වූවාය.
එකරටම කෙනෙකුට පෙනීයන්නේ බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ට නොසලකා හැරී බවකි.  එය එසේ නොවේ.  උන්වහන්සේ එදා කාන්තාවන්ට දඹදිව තිබූ සමාජ තත්වය ඉතා හොඳින් දැන සිටි සේක.  කාන්තාව උසස් තත්වයක තැබීමට උන්වහන්සේ කිසි විටෙක අතපසු නොකල සේක.  අපට නොපෙනෙන දේවල් උන්වහන්සේ දැන සිටි සේක.  මහා ප්‍රජාපතී ගෝතමී අර්හත් තෙරණිය පිරිනිවි පසු ඒ තෙරණියන්ගේ ආදාහන පෙරහැරේ බුදු රජාණන් වහන්සේ ගමන් ගත් සේක.  ඒ තෙරණියන් ආදාහන කල පසු ඒ භෂ්මාවශේෂ සිය පාත්‍රයේ බහා ලිච්චවි රජ දරුවන්ට දී සෑයක් කරවන ලෙසට බුදු රජාණන් වහන්සේ කටයුතු සලසන ලදී.  ඒ සෑය බුදු රජාණන් වහන්සේ විසින් වන්දනා කරන ලද බවට බෞද්ධ ඉතිහාසය සාක්ෂි දරයි.

Monday, April 25, 2011

ආනන්ද මහ රහතන් වහන්සේ...7

ආනන්ද මහ රහතන් වහන්සේ...7
වරක් ආනන්ද තෙරුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරමයෙහි වැඩ සිටින සේක.  එකල එක්තරා භික්ෂුණියක් ආනන්ද තෙරුන්ගේ රූපශ්‍රීයෙන් උන්වහන්සේට වශී වී, පිළිබඳ සිත් ඇති කර ගත්තේය.  ඒ සිත කෙරෙහි යොමු වූ සිත් ඇති භික්ෂුණිය උපායක්ද සකසා ගත්තේය.  ඒ සම්බන්ධයෙන් ඒ තෙරණිය තමන් දන්නා කෙනෙක් කැඳවා "එක්තරා තෙරණියක් ඉතා බලගතු ලෙස රෝගාතුරව තෙරණියන් වසන්නා වූ සංඝාරාමයේ මරණාසන්නව වාසය කරයි.  ඇය කෙරෙහි අනුකම්පාවෙන් පැමිණ ඇය  අස්වසනු මැනැවැයි" පවසන්න.
 අනඳ තෙරණුවෝද, ඒ තෙරණියන් කෙරෙහි අනුකම්පාවෙන් යුතුව, සිවුරු හැඳ පැළඳ, පාත්‍රයද ගෙන තෙරණිය වසන්නා වූ ආරාමයට වැඩම කලහ.   දුර සිට ආනන්ද තෙරණුවන් පැමිණෙනු දුටු ඒ තෙරණිය වහාම සයනාගතව, හිසේ සිට පා තෙක් වසා ගෙන රෝගී කතකගේ ස්වරූපය ආරූඪ කරගත්තාය.  ආනන්ද තෙරුන් වහන්සේ ඇයගේ අසපුවට ඇතුල් වූ විටම සිදු වී ඇති දෙය තේරුම් ගත්තේය.   ඇය අසල වූ අසුනක හිඳ ගත් ආනන්ද තෙරුන් වහන්සේ ධර්ම දේශනාවක් දේශනා කිරීමට පටන් ගත්තේය. 
 නැගනියෙනි, මේ පිලිකුල් සහගත ශරීරය පෝෂණය වන්නේ ආහාර ප්‍රත්‍යයෙනි.  ඒ ආහාර ප්‍රත්‍යයේ ඇති පිලිකුල් බව නිසාම අපි ආහාර කෙරෙහි ඇති ආශාව නැති කර ගත යුතුය.  සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සසුනේ පැවිදි බව ලබා ඇති අපි ආහාර ගන්නේ ඒ කෙරෙහි ඇති විනිවිද දක්නා ඤාණයකින් යුතුව විය යුතුය.  අපි ආහාර ගන්නේ මේ ශරීරය පුෂ්ටිමත් කර ගැනීමටවත්, කාමාශාවන් වර්ධනය කර ගැනීමටවත් නොව මේ ශරීරය පවත්වා ගැනීම පිනිසය.  මේ ශරීරය නිර්මාණය වී ඇත්තේ තණ්හාව නිසාය.  ඒ තණ්හාව අපි නැති කරගත යුතුය.  මේ ශරීරය තුල මමංකාරයද ගැබ් වී ඇත.  ඒ සියල්ල අපි නැති කර ගත යුතුය.  අපට සැනසීම ලැබෙන්නේ ඉන් පසුවය.  බුදු රජාණන් වහන්සේ දේශනා කල පරිදි මේ ශරීරය නිර්මාණය වී ඇත්තේ කාමාශාවන් නිසාය. ඒ සියල්ල නැති කර ගත යුතුය. 

 මේ ධර්ම දේශනාව ශ්‍රවණය කල ඒ තෙරණිය ආනන්ද තෙරණුවන් දෙපා ලඟ වැඳ  වැටී "මා කල දෙය වැරදිය.  මට සමා වෙනු මැනැවැ"  යි සමාව අයැද සිටියාය.  අනඳ තෙරණුවෝ ඇයට සමාව දුන්නේය. 

ත්‍රිපිටකය පුරා ආනන්ද තෙරුන් වහන්සේ පිලිබඳව සඳහන් වී ඇති සටහන් බලන කල උන්වහන්සේ කෙරෙහි කාන්තාවන් විශේෂ ස්නේහ භරිත ගෞරවාදරයක් තුබූ බව සනාථ වෙයි.  එය මෙසේ සඳහන් වී ඇත...

" ආයස්මා ආනන්දෝ මහා පුඤ්ඤෝ සම්භාවිතෝ - තම් රාජරාජ මහාමච්චාදයෝ නිමවන්තෙත්වා අන්තෝ නිවෙසනේ නිසීදාපේති.  සබ්බාලංකාරා පටිමන්දිපාති ඉත්තියෝ තේරම් උපසංකමිත්වා වන්දිත්වා තාල වන්දේන වීජෙන්ති උපනිසිද්වා පංචම් පුච්චන්ති, ධම්මංම් සුනංති..."  
අනඳ තෙරුන් වනාහී අතිශයින් වාසනාවන්ත වූද සම්මානනීය වූද පුද්ගල රත්නයකි.  උතුම් කුල කාන්තාවෝ උන්වහන්සේ හමුවට පැමිණ උන්වහන්සේ වන්දනාමාන කරති, උන්වහන්සේට පවන් ගසති. එහෙත් උන්වහන්සේ සිහිනෙන්වත් තමා ලද්දාවූ දෙයින් අයුතු ප්‍රයෝජනයක් ගන්නට සිතුවේ නැති බව පවසා ඇත.   උදේනී රජ සහ කොසොල් රජ ඔවුන්ගේ අන්තඃ පුර වලට පැමිණ ධර්මය දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් එවන ලෙස බුදු රජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටි කල බුදු රජාණන් වහන්සේ සැරියුත් සහ මුගලන් වැනි රහතන් වහන්සේලා සිටියදී ඒ දුශ්කර කාර්යය ඒ වන විට රහත් පදවිය නොලබා සිටි ආනන්ද තෙරුන්ට පැවරූ සේක.  ඒ බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ  කෙරෙහි තිබුණු විශ්වාසයයි 
වසර දෙදහස් පන්සියයකට පමණ පෙර බ්‍රාහ්මණ ආධිත්‍යයෙන් පරිපූර්ණ වූ දඹදිව් තලයේ කාන්තාවන්ට තිබුනු සමාජ තත්වය බුදු රජාණන් වහන්සේ පැහැදිලිවම දුටු සේක.  එයින් ඔවුන් මුදවා ගනු වස් ආනන්ද තෙරුන් වහන්සේ බුදු රජාණන් වහන්සේට දුන් සහාය කාන්තා පක්ෂය කිසිදා අමතක නොකල යුතුය. 

Sunday, April 10, 2011

සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා 4

ආනන්ද මහ රහතන් වහන්සේ ……4

වරක් බුදු රජාණන් වහන්සේ මෙසේ වදාල සේක.  "... මාගේ සාසනයේ බහුශ්‍රැත වූද, අධික ධාරණ ශක්තියක් ඇත්තා වූද, උතුම් වූ පිරිසිදු චරිතයක් ඇත්තා වූද, අතිශයින් කාර්යක්ෂම වූද, අතිශයින් විනීත උපස්ථායක කෙනෙක් වූද, එක් භික්ෂුවක් ඇත.  අන් කවරෙක් වත් නොව  ආනන්ද තෙරණුවෝය    දිනක් ගෝපක මොගල්ලාන නම් වූ භ්‍රාහ්මණයෙක් ආනන්ද තෙරුන් වහන්සේ වෙත පැමිණ, ඔබ වහන්සේ ඉතා ශ්‍රේෂ්ඨ තෙරුන් වහන්සේ කෙනෙක් වශයෙන් බුදු රජාණන් වහන්සේ සඳහන් කරයි.  එසේ වීමට බුදු රජාණන් වහන්සේ කොපමණ තරම් ධර්මයක් ඔබට දේශනා කොට ඇත්ද? ඊට පිළිතුරු වශයෙන් බ්‍රාහ්මණය, මම 82,000ක් තරම් වූ දේශනා බුදු රජාණන් වහන්සේගෙන් අසා ඇත්තෙමි.  සාරිපුත්ත ආදී වූ තෙරුන් ගෙන් දෙදහසක් පමණ වූ දේශනා අසා ඇත්තෙමි. සම්පූර්ණ වශයෙන් මම දේශනා අසූහාරදහසක් පමණ උගත්තෙමි යයි වදාල සේක..  ධාරණ ශක්තිය අතින් සසුනෙහි වෙනත් භික්ෂූන් සිටියද ආනන්ද තෙරුන් පමණ ධාරණ ශක්තියක් ඇති වෙන භික්ෂුවක් නොසිටියේය.  ආනන්ද තෙරුන්ගේ ධාරණ ශක්තිය අතීත භවයන්හිදී උන්වහන්සේ විසින් කරන ලද කුසල් සම්භාරයෙන්  ශක්තිමත් වී ඇත.  ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීමට, බුදු රජාණන් වහන්සේ දෙන උපදෙස් (සුතා, ධතා, වචසා පරිචිතා, මනසානු පේක්ඛිතා, දිට්ඨියා සුප්පටි විද්ධා) ආනන්ද තෙරුන් වහන්සේ අකුරටම පිලිපැදි සේක.  බුදු රජාණන් වහන්සේගේත් ආනන්ද තෙරුන් වහන්සේගේත් සසර සබැඳියාව අතිශයින්ම දීර්ග වන්නේය.  ආනන්ද තෙරුන් වහන්සේ ඕනෑම වේලාවක ඕනෑම කෙනෙකුට පිහිට වීමට සූදානම්ව සිටියහ.  මධුර ස්වරයකින් හා පියකරු ශරීර ශෝභාවකින් යුතු වූ උන්වහන්සේ සිත් ඇද ගන්නා සුලු ගති පැවතුම් වලින් යුක්ත විය.  කාරුණික නිහතමානී ගති පැවතුම් නිසා කාන්තා පක්ෂය ආනන්ද තෙරුන් වහන්සේට වැඩි ඇල්මක් දක්වන්නට වූහ.  එසේම ශාක්‍ය රාජ පවුලකින් පැවත එන, පිරිසිදු චරිතයකට හිමිකම් කියන උන්වහන්සේ තමා අති පූජ්‍ය බුදු රජාණන් වහන්සේගේ පුද්ගලික උපස්ථායකයානන් බවත් තමාට පැවරී ඇති භාර දූර වගකීමත් කිසිවිටෙක අම්තක නොකෙලේය.    ආනන්ද හිමියන්ට අනුරාගයෙන් බැඳුනු කාන්තාවන් බොහෝ සේ සිටින්නට ඇත.  උන්වහන්සේ හා බැඳුනු තෙරණියන්ද සිටින්නට ඇත.  නමුත් උන්වහන්සේ කිසි දිනක කිසි විටෙක චරිතය කිලිටි වන පරිදි කටයුතු කොට නැත.  මේ වෙනුවෙන් සාක්ෂි දරන්නේ බුදු හිමියන්මය.

කොසොල් රජතුමාගේ බිසෝවරු වරෙක් කොසොල් රජතුමාට මෙසේ පැවසූහ.  රජතුමනි, ඔබ වහන්සේ බුදු රජාණන් වහන්සේ බැහැ දැකීමට දිනකට තුන් වරක්  යන්නේය.  උන්වහන්සේගෙන් ධර්මය නිතරම ශ්‍රවණය කරන්නේය.  විශාකා වැනි කුල කාන්තාවන් පවා දිනපතා විහාරස්ථානයට ගොස් කුසල් රැස් කර ගනිති.  නමුත් අපි කාන්තාරයක අතර මං වී සිටින පිපාසාවෙන් පෙලෙන දුගීන් වැන්න. 
ඔබ වහන්සේ ආරාමයට යන විට, බුදු බණ ශ්‍රවනය කිරීමට අපවද කැටුව යන මැනවි. 

කාන්තාවන් කැටිව විහාරයට දිනපතා ගමන් කිරීම විහාරස්ථානයේ කටයුතු වලට, විශේෂයෙන් බුදු රජාණන් වහන්සේට බාධාවක් විය හැක.  ඒ නිසා ඔබ වෙනුවෙන් මම සුදුසු යමක් කරන්නෙමි යයි කොසොල් රජතුමා අන්තඃ පුරයේ බිසවුන්ට පැවසුවේය.   දිනක් කොසොල් රජතුමා බුදු රජාණන් වහන්සේ සමග සතුටු සාමීචි බස් පවසන අවස්ථාවෙක චත්තපානී නම් වූ අනාගාමී වූ ගිහි පුද්ගලයෙක් ගැන කොසොල් රජ තුමාට අසන්නට ලැබින.  කොසොල් රජතුමා චත්තපානී මාලිගයට කැඳවා අන්තඃ පුරයේ බිසෝ වරුන්ට ධර්මය උගන්වනු මැනැවැයි ආරාධනා කලේය.    මහ රජ තුමනි, අප වැනි ගිහියන්ට එය අකැපය.  ඒ නිසා බුදු රජාණන් වහන්සේගේ අනුග්‍රහයෙන් තෙරුන් වහන්සේ නමක් මෙම කටයුත්ත සඳහා යොදා ගන්නේ නම් මැනැවැයි පැවසීය.  එසේ රජතුමා ඒත්තු ගන්වා චත්තපානී, ඒ භාරදූර කාර්යයෙන් ගැලවුනේය.  රජතුමාද, මේ සිද්ධිය බිසෝවරුන්ට පවසා, මම බුදු රජාණන් වහන්සේ හමුවී තෙරුන් වහන්සේ නමක් මාලිගයට එවන ලෙස ඉල්ලා සිටින්නෙමැයි පැවසීය.  බිසෝ වරුනි, ඔබ කැමති මොන තෙරුන් වහන්සේගෙන් ධර්මය ඉගෙනීමටදැයි රජතුමා විචාලේය.  ආනන්ද තෙරුන් වහන්සේ බුදු රජාණන් වහන්සේගේ සාසනයෙහි ඇති ඉතාමත් සිරිමත් තෙරුන් වහන්සේය.  එසේම උන්වහන්සේගේ ස්වරයද මධුරය, විනීත ගති පැවතුම් ඇත්තේය.  අපි ආනන්ද තෙරුන් වහන්සේගෙන් ධර්මය ඉගෙනීමට කැමැත්තෙමු.  මේ බව බුදු රජාණන් වහන්සේට සැළ කිරීමෙන් පසු බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ කැඳවා රජ මාලිගයට ගොස් බිසෝවරුන්ට ධර්මය උගන්වන ලෙසට අණ කලේය.  

බුදු රජාණන් වහන්සේ එසේ වදාල ද කොසොල් රජතුමාට සැක ඇති වූ තැන්ද තිබුණි.  බුදු රජාණන් වහන්සේ කොසොල් රජ තුමාගේ සැක දුරු කලේ ආනන්ද තෙරුන් වහන්සේගේ ගුණ වර්ණනා කරමිනි.  උන්වහන්සේ සෝථාපන්න වූ තෙරුන් වහන්සේ නමක් බවත් කවදාවත් උන්වහන්සේගෙන් වරදක් සිදු නොවන බවත් වදාල සේක.  අන්තඃ පුරයෙහි බිසෝවරු පන්සියයක් පමණ වූහ.  ඒ බිසෝවරු ආනන්ද තෙරුන් වහන්සේගේ සුමධුර කට හඬට වශී වූහ.  ඒ සියල්ලම ධර්මය හොඳින් ඉගෙන ගත්හ.  ඒ බිසොවුන්ද, ඔවුන්ගේ නොසිඳී ඇති කාමාශාවන් නිසා ආනන්ද තෙරුන්ගේ කටහඬ ශ්‍රවණය කිරීමෙන්, ආනන්ද තෙරුන්ගේ රුව ඇති පුතුන් බිහි කලහ. අන්‍යාගමිකයෝ මේ සිද්ධියෙන් කොසොල් රජතුමාගේ සිත වෙනස් කිරීමට තැත් කලහ.  කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ හමුව මේ සිද්ධිය සැල කොට සිටියේය.  භාග්‍යවතුන් වහන්සේ කරුණු දක්වා කොසොල් රජතුමාගේ සිතෙහි ඇති වික්ෂිප්ත භාවය දුරු කලේය.    කොසොල් රජතුමාගේ සැකය දුරු වූ පසු, ඒ බිසෝවරුන්ගේ කුමාරවරු ආනන්ද තෙරුන් වහන්සේගේ භාරයේ තබන ලද්දේ කොසොල් රජතුමා විසිනි.  ඒ කුමාරවරු පන්සියයක් පමණ දෙනා වැඩිවියට එළඹෙත්ම ආනන්ද තෙරුන්ගෙන් පැවිද්ද ලබාගෙන අරහත් ඵලය ලබා ගත්හ.  
වරක් කොසොල් රජතුමාට කසී රටෙන් වටිනා සලු දහසක් පමණ ත්‍යාග වශයෙන් ලැබුණි.  මෙයින් පන්සියයක් පමණ සිය අන්තඃ පුරයේ බිසෝවරුන්ට රජතුමා ත්‍යාග වශයෙන් පිරිනැමීය.  බිසෝවරුන් ඒ සළු ආනන්ද තෙරුන්ට පූජා කලහ.  එයින් ඉක්බිති ඔවුන් පැරණි වස්ත්‍රම හැඳගෙන රජතුමා බොජුන් වලඳන ශාලාවට ගියහ.  රජතුමා අලුතෙන් එවන ලද වස්ත්‍ර තිබියදී පරණ වස්ත්‍ර ඇන්දේ කුමක් නිසාදැයි බිසෝවරුන්ගෙන් විචාලේය.    එදා ධර්ම දේශනය ඉතාමත්ම සුන්දර වූ බවත් ඒ නිසා ධර්ම ත්‍යාගයක් වශයෙන් ඒ සළු සියල්ලම ආනන්ද තෙරුන්ට පූජා කල බව බිසෝ වරු පැවසූහ.  ආනන්ද තෙරුන් වහන්සේ ඒ සලු පිලිගත්තේදැයි රජතුමා විමසීය.  එසේය ස්වාමීනි බිසෝවරු පිලිතුරු දුන්හ.  කොසොල් රජතුමාට, මේ ස්වාමීන් වහන්සේලා යම්කිසි සළුපිලි වෙලඳාමක් කරත්දැයි රජතුමාට සැක සිතින.  එතුමා කෑමෙන් පසු අතේ වතුර වියලීමටත් පෙර වහාම ආරාමයට ගියේය. 
කොසොල් රජතුමා භාග්‍ය වතුන් වහන්සේ බැහැ දැකීමට පෙර ප්‍රධාන ශාලාවට ගොස් ආනන්ද තෙරුන් වහන්සේ හමුවූහ.  තෙරුන් වහන්සේට නමස්කාර කොට එකත් පස්ව හිඳ, ප්‍රශ්න කීපයක් ඇසූහ.

කොසොල් රජතුමා: තෙරුන් වහන්ස, මගේ බිසවුන් හොඳින් ධර්මය ඉගෙන් ගනිත්ද?
ආනන්ද තෙරුන් වහන්සේ: එසේය මහ රජ ඔවුන් හොඳින් ධර්මය ඉගෙන ගනිති.

කොසොල් රජතුමා:  ඔවුන් ප්‍රශ්න අසයිද?
ආනන්ද තෙරුන් වහන්සේ:   එසේය මහරජ, අවශ්‍ය ප්‍රශ්නයක් ඇත්නම් ඔවුන් ඒය අසත්.

කොසොල් රජතුමා:    ඔබවහන්සේගේ සුව දුක් ඔවුන් විචාරයිද? ඔබවහන්සේට සළුපිලි පූජා කරත්ද?
 ආනන්ද තෙරුන් වහන්සේ:     එසේය මහරජ, මට සළු පන්සියයක් පමණ ඔවුන් මට පූජා කලෝය.

කොසොල් රජතුමා:      ඔබ වහන්සේ ඒ සියල්ල පිලිගත්තෙහිද?
ආනන්ද තෙරුන් වහන්සේ:    එසේය මහ රජ මම පිලිගත්තෙමි.

කොසොල් රජතුමා:     ස්වමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබට පිලි ගැනීමට නියම කොට ඇත්තේ සළු තුනක් පමණක් නොවේද?
ආනන්ද තෙරුන් වහන්සේ:    එසේය මහරජ භික්ෂුවකගේ පුද්ගලික භාවිතයට බුදු රජාණන් වහන්සේ සිවුරු තුනක් පමණක් නියම කොට ඇතත් ඊට වඩා පිලිගැනීමට නියමයක් කොට නොමැත.  වනගතව වෙසෙන තිස්ස තෙරුන් වහන්සේ වයස අවුරුදු හතේදී   කිරිපිඬු සහිත පාත්‍රා දහසක් එක දිනකදී  පූජා වශයෙන් ලද්දේය.  උන්වහන්සේ ඒ පාත්‍රා දහසම එය අවශ්‍ය වූ දහසක් භික්ෂූන්ට පූජා කලේය.  එසේම උන්වහන්සේ බුමුතුරුණු දහසක්ද ලද්දේය.  ඒ බුමුතුරුණුද උන්වහන්සේ එය අවශ්‍ය බික්ෂූන්ට පූජා කලේය.  මම පූජා වශයෙන් ලබාගත් සලුද එසේමය.  ඒ සලු ඉරී ගිය සිවුරු ඇති භික්ෂූන්ට මමද පූජා කලෙමි. 

කොසොල් රජතුමා:    ඒ භික්ෂූන් වහන්සේලා අලුත් සිවිරු ලද කල්හි පැරණි ඉරී ගිය සිවුරු වලට කුමක් කරන්නේද?
ආනන්ද තෙරුන් වහන්සේ:   ඒ ඉරීගිය සිවුරු පිලිසකර කොට පෙරවන වස්ත්‍ර මෙන් ඔව්න් පාවිච්චි කරති. 

කොසොල් රජතුමා:   ඒ වස්ත්‍රද ඉරී ගිය කල්හි ඔවුන් කුමක් කරත්ද?
ආනන්ද තෙරුන් වහන්සේ:  මහරජ එවිට ඔවුන් ඒ ඉරී ගිය තැන් කපා අස් කොට අඳන සිවුරු වශයෙන් පරිහරණය කරති. 

කොසොල් රජතුමා:    අඳන සිවුරු ඉරෙන කොට ඔවුන් කුමක් කරත්ද?
ආනන්ද තෙරුන් වහන්සේ:   එවිට ඒ වස්ත්‍ර ඇඳ ඇතිරිලි මෙන් ඔව්න් පාවිච්චි කරති.

කොසොල් රජතුමා:   ඒ වස්ත්‍රද ඉරී යන විට කුමක් කරත්ද?
ආනන්ද තෙරුන් වහන්සේ:  මහරජ එවිට ඔවුන් ඒ වස්ත්‍ර බිමට අතුරන වස්ත්‍ර ලෙස පරිහරණය කරති.

කොසොල් රජතුමා:  ඒවා ඉරෙන විට?
ආනන්ද තෙරුන් වහන්සේ:   එවිට පා පිස දැමීම සඳහා ඒවා පරිහරණය කරති.

කොසොල් රජතුමා:   එසේ කිරීමෙන් පසු කුමක් කරයිද?
ආනන්ද තෙරුන් වහන්සේ:  මහරජ, පහන් වූ සිතෙන් ශ්‍රද්ධාවන්ත කෙනෙක් පූජා කරන කිසිම දෙයක් විනාශ කිරීම අකැපය.  ඉරුනු පා පිස දමන රෙදි පසුව මැටි හා මිශ්‍ර කොට බිත්ති හා කුටිවල බිම පිලිසකර කිරීමට පාවිච්චි කරන්නෙමු. 

කොසොල් රජතුමා ආනන්ද තෙරුන් වහන්සේ කෙරෙහි අතිශයින්ම පැහැදුනේය. ඔබවහන්සේ සැක කිරීම ගැන මම පසුතැවෙන්නෙමි.  මම ඒ වෙනුවට යමක් කරන්නෙමි යයි සිතා ආරාමයෙහිම හිඳගෙන  මාලිගයට අනෙක් සලු පන්සියයත් එවන ලෙස පණිවුඩයක් යැවීය.  ඒ සළු පන්සියයද ආනන්ද තෙරුන් වහන්සේට කොසොල් රජතුමා පූජා කලේය. 
මේ අන්දමට ආනන්ද තෙරණුවෝ පූජා භාණඩ වශයෙන් බොහෝ අවස්ථාවලදී සළුපිලි ලබා ඇත.  වෙනත් භාණ්ඩද උන්වහන්සේට පූජා කල අය අපමණය.