Sunday, February 13, 2011

සරණාගමනය

බෞද්ධ අපි අඩුවශයෙන් දවසකට එක වතාවක්වත් තිසරණ සහිත පංචශීලය සමාදන් වන්නෙමු.  මෙය සිරිතක් වශයෙන් සිදු වුවද, එසේ කරන්නේ කුමන හේතුවක් නිසාදැයි යන්න බොහෝ දෙනෙකුට පැහැදිලි නැත.  කාවේ බහුතරයක් උත්පත්තියෙන්ම බෞද්ධයෝය.  බෞද්ධ රටක් වශයෙන් ලොව ප්‍රචලිත වුවද, බෞද්ධ වත් පිලිවෙත් බොහෝ දෙනා නොදනිති.  ගතානුගතික ලෙස පලපුරුද්දෙන් පන්සිල් සමාදන් වුවද පන්සිල් රකින්නෝද විරලයහ. බුදු රජාණන් වහන්සේ ලොව බිහි වූ අති උත්තම ගුරුවරයාය.  උන්වහන්සේ පහදා දුන් සත්‍යය ධර්‍මය වශයෙන් හැඳින් වේ.  උන්වහන්සේ ආරම්භ කල ශ්‍රාවක පිරිස සංඝයා වශයෙන් හැඳින් වේ.  අපි ශ්‍රාවක සංඝයා වශයෙන් හඳුන් වන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කල  ධර්මය ඒ ආකාරයෙන්මමහ ජනයාට දේශනා කරන (සාමීචි පටි පන්නෝ) බුදු රජානන් වහන්සේ දේශනා කල මගෙහි ගමන් කරන ශ්‍රේෂ්ට පුද්ගලයින්ටය.  බුද්ධකාලීන වකවානුවේ සිට අද දක්වා ගිහියන් වශයෙන් බුදු රජානන් වහන්සේගේ  ධර්මයට
අවතීර්ණ වූයේ තිසරණ සහිත පංච ශීලය සමාදන් වීමෙනි
අපි සරණ යා යුත්තේ කුමන කරුණක් නිසාදැයි නිතැනින්ම ඊලඟට සිහියට නැගෙයි.  මේ ප්‍රශ්නයට පිලිතුරු සැපයීමට අපි, අපි ගැනම සලකා බැලිය යුතුය.   යම් කෙනෙක්  හොඳ රක්ෂාවක් කරයි නම්, හොඳ ආදායමක් ඇත්නම්,යහපත් පවුල් ජීවිතයක් ගත කරයි නම්, ආරක්ෂා වීමට කුමණ බියක් ඇත්දැයි කෙනෙකුට සිතෙනු ඇත. බෞද්ධ චින්තනයට අනුව මනුෂ්‍ය ජීවිතය පාවෙන අයිස් කන්දක් හා සමානය.  මතුපිටට පෙනෙන්නේ දහයෙන් එකක් හා සමාන සුලු කොටසකි.  දහයෙන් නමයක් නොපෙනෙයි.  අපේ දර්ශනය සීමා සහිතය.  පියවි ඇසට පෙනෙන දේ එපමනය.  නොපෙනෙන දේ අපමණය. අපේ විභවනය (perception) දෝශ සහිතය.  අපේ ආශාවන් අනුව ඒ විභවනයන් හැඩ ගැස්වී යයි.  මෙයින් සිදු වන්නේ මායාකාරී දෙයකි.  ස්ථිර වශයෙන් තිබූ දෙයක් අපට නොපෙනෙන හේතූන් නිසා බලාපොරොත්තු නොවූ පරිද්දෙන් අස්ථිර වෙයි.  එයින් අපි තදබල ලෙස කම්පාවෙමු.    අපට නොපෙනෙන දේ දැකීමට නම් අපේ විභවනය හොඳට තියුණු විය යුතුය.  එසේ වීමට පියවි ඇස පමණක් ප්‍රමාණවත් නොවේ.  අපි ගමන් කරන්නේ දෙපස භයානක ප්‍රපාතයන්ගෙන් යුතු පටු අඩිපාරක බව බුදු පියාණෝ වදාල සේක. අප සරණ යායුත්තේ මේ භයානක විපත් වලින් ප්‍රවේසම් වීමටය.
බුදු
රජාණන් වහන්සේ මේ භයානක විපත්
, කොටස් තුනකට බෙදා ගෙන හැර දැක්වූ සේක. 1. මේ භවයේදී සිදු විය හැකි විපත්   2.මතු භවයන්හිදී සිදුවිය හැකි විපත් සහ   3. සාමාන්‍යයෙන් සංසාරය තුල සිදුවිය හැකි විපත් වශයෙන් මේ ආපදා හැඳින්විය හැක.   මේ භවයේදී සිදුවන ආපදා අතුරෙන් අපේ ශරීරයේ අස්ථිරභාවය ප්‍රධාන තැනක් ගනී.  හොඳ සුවයෙන් සිටින අය හදිසියේම මිය යති.  එසේම ඉතා දරුණු සුව කල නොහැකි ලෙඩ රෝග වලට ගොදුරු වෙති.  එසේම ස්වාභාවික ආපදා එමටය.  භූමි කම්පා,  මුහුද ගොඩ ගැලීම්,  ජල ගැලීම්, දේශපාලනමය වශයෙන් සිදුවන කෝලාහල සහ මිනීමැරුම් ආදී වශයෙන් කිසිම පාලනයක් නොකල හැකි අන්දමට මේ ආපදා සිදු වේ.  මේ සියල්ලෙන්ම ගැලවී සිටියත් මරණයෙන් ගැලවිය නොහැක.    අප ඉපදුනේම මරණය උරුම කොට ගෙනය.    අපේ ව්‍යාපාර අසාර්ථක විය හැක.  අපේ මිතුරන් අපට විරුද්ධ විය හැක.  ජීවිතය සම්පූණ්ර්‍යෙන්ම අවදානම් ස්වභාවයක් උසුලයි.  මිය යන බව දන්නා නමුත් මිය යන්නේ කවදාද යනු අවිනිශ්චිතය.  මේ ලෝක ස්වභාවයයි.  අවිනිශ්චිත භාවය අපේ සිත් තුල ඇති කරන්නේද එක්තරා උද්වේගකාරී (anxiety) තත්වයකි.   ජීවිතයේ ඇති අවිනිශ්චිතභාවය සිත් තුල ඇති කරවන්නේ නොසන්සුන්භාවයකි.  මේ නොසන්සුන්භාවය කුමක් නිසා සිදුවන්නේදැයි කිව නොහැකි තරමට එය ව්‍යාකූලය.  මේ නයින් නොයෙක්
මානසික රෝග සිත් තුල හට ගනියි.  ව්‍යාකූලත්වයේ බරපතල කම අනුව සිත එක් එක් ස්වභාව ගනියි.  වරෙක
තරහ
, වෛරය ඇති කරයි.  වරෙක දුක, සන්තාපය, ආදී නොයෙක් ශෝක ජනක දේවල් ඇතිකරයි.  අපේ අශාවන් හා ලෝකයේ සිදුවන දේවල් අතර  ඇති විශමතාවය නිසා අපි තවත් පසු තැවීම් වලට භාජනය වෙමු.   අපට කල හැක්කේ ලෝකයේ ඇති යම් යම් දේවල් කෙරෙහි ඇති ලොල් බව,උපාදානය
අතහැරීමයි.  බුදු දහමෙන් කියැවෙන්නේ එයයි.
  ලෝකයේ සිදුවන ස්වාභාවික විපත් පාලනය කිරීමට
නුපුලුවන. නමුත් මානසික අසහනය උදෙසා බුදු රජානන් වහන්සේ පිලියම් දේශනා කර ඇත. 
  
මතු භවයන්හි සිදුවිය හැකි ආපදා සලකා බලන විට බුදු රජානන් වහන්සේ දේශනා කල ධම්ර්‍ය අනුව මරණයෙන් ජීවිතය කෙලවර නොවේ.  පටිච්ච සමුප්පාදයේ දක්වන පරිදි විඤ්ඤාණය, මිය ගිය සැනෙකින් ශරීරය හැරදමා ඉවත් වී යයි. මේ යන විඤ්ඤාණය යනු "ආත්මය" නොවේ.  ගත වූ ජීවිතයේ කරන ලද කුසල් / අකුසල් අනුව යම්කිසි තලයෙක උපත සිදුවෙයි.  කලින් ගත කල ජීවිතයට අනුව කරදර සිත් තැවුල් දුක් දොම්නස් කෙලවර වී නොමැත. යලිත් ඒවා වෙනස් ස්වරූපයකින් තමා කරා පැමිණෙනු ඇත.  අවිද්‍යාවත් තණ්හාවත් ඇති තාක් මේ චක්‍රය කැරකෙයි.  භවයෙන් භවයට 'ගමන් කරන' ආත්මයක් කිසිසේත් නොමැත.  ඇත්තේ විඤ්ඤාණය පමණි.  මේ විඤ්ඤාණය, පෙර තිබූ විඤ්ඤාණයද නොවේ.  එයද නව භවයට සම්ප්‍රාප්ත වන විට වෙනස් වී ඇත.  දුගතියක උපත ලද හොත් ඉන් මිදෙන තුරු සැනසීමක් අත් නොවනු ඇත.  එව්න් උත්පත්තියක් සිය කම්ර්‍ය නිසා
සිදු වේ.  චේතනාහං භික්ඛවේ කම්මං වදාමි......වශයෙන් බුදු රජාණන් වහන්සේ වදාල සේක.  කර්ම කයින් වචනයෙන් හා සිතෙන් සිදු වෙයි.  කුසල හෝ අකුසල වශයෙන් කර්ම බෙදිය හැක. තවද ලෝභ ද්වේශ මෝහ යනු අකුසල ගාමී චිත්ත ස්වභාවයන්ය.  මේ සිතිවිලි වලින් දුරු වෙන ලෙසට බුදු රජාණන් වහන්සේ
වදාල සේක. 
සසරෙහි සිදුවන විපත්ද එසේමය.  අපි සසරට එකතු වූයේ කවදාදැයි කිව නොහැක.  සියලු කෙලෙස් සිඳ දමා නිවන් අවබෝධ කරන තුරු අපි සසරෙහි සැරි සරමු.  මෙය දුක්ඛිත ස්වභාවයක් ලෙස බුදු රජාණන් වහන්සේ පහදා දී ඇත.  ඉපදීම දුකකි.  ජරාවට යාම දුකකි.  මරණය දුකකි. අනිත්‍යය විදහා දක්වන භවය ඊට කැමති
පරිද්දෙන් සැරිසරයි.
   ප්‍රඥාගෝචරව  විමසන කල්හි සසර තුල සැරි සැරීම දුක් සහිත බව සටහන් වෙයි.   මෙයින් මිදෙන මාග්ර්‍ය පෙන්වා දුන්නේ බුදු රජාණන් වහන්සේය.  බුදු රජාණන් වහන්සේඋන්වහන්සේගේ ධම්ර්‍ය සහ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා ත්‍රිවිධ රත්නය වශයෙන් හැඳින් වෙයි.  එක් එක් රත්නය වෙන් වෙන් වශයෙන් නොව ත්‍රිවිධ රත්නය එකම එක වස්තුවක් ලෙසට හැඳින්වෙන්නේ ඒ නිසාය. බුදු රජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෙක් ලෙස ඇතුලුවන්නේ මේ සරණාගමණයෙනි.

No comments: