Thursday, July 29, 2010

කුමුදු ලාල් පින්තු සිරිමතානනි

ඔබගේ ශිෂ්‍ය පරම්පරාව සේ මම ඔබ ඇසුරු කොට නැත. නමුත් අපි දෙදෙනාටම , කාටත් පොදුවූ ධර්මතාවයක් ඔස්සේ සංසදය ඇතුලතදීත් පිටතදීත් සාකච්ඡා කෙලෙමු. අද ඔබ මෙහි නොමැති නිසා අපි දෙදෙනා බෙදා ගදා ගත් දැනුම, සියල්ල්ලන්ගේම පහසුව තකා මම පල කරන්නෙමි. එහි වරදක් ඇතිනම් මට සමා වෙන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මරණය ගැන ඔබ පලකල සටහන් කෙරෙහි මගේ සිත් ඇදී ගියේ නිතැතිනි.

මෙය කාටත් පොදු වු , කාටවත් ගැලවිය නොහැකි ධර්මතාවයකි. කොපමන කල් තැබුවත්, පසු පසම එන, අපි සූදානම්ව සිටිය යුතු ධර්මතාවයකි. ඔබේ හදිසි වියොව අපට විශාල කම්පනයක් වූ වත්, එය ඔබට විශාල සිද්ධියක් වූ බවට සාක්ෂි නොමැත. "මරණය" ගැන ඔබ පවසා ඇති දේ ඊට සාක්ෂි දරයි.

Tue, 29 June, 2010 8:05:16 PM
Re: මරණය
From: Sarath Gunatunga
To: Kumudu Lal Pinto
--------------------------------------------------------------
http://www.forestsangha.org/ අජාන් චා හිමි
http://www.aimwell.org/ මහාසි සයදෝව් හිමි
-------------------------------------------------------------
form: Kumudu Lal Pinto 
To: Sarath Gunatunga 
Sent: Tue, 29 June, 2010
Subject: Re: මරණය

සම්මා සම්බුදු සරණයි.
හිතවත් සරත් ගුණතුංග මහතා වෙත,

එවන ලද විස්තරයට ස්තුතියි. මා පෞද්ගලිකව සිතන දෙයක් නම් අප ඍජුවම භාවිතා කරන බෞද්ධ ප්‍රතිපත්තිවලට වඩා යමක් බුදු දහමේ සැඟවී ඇති බවයි. උදාහරණ වශයෙන් අප ලෞකික දියුණුව සඳහා සිඟාලෝවාද පරාභව ආදී සූත්‍ර උදාහරණයට ගත්තත් අභිධර්මයේ එන සෝභණ චෛතසික ද ලෞකික වූ යම් දෙයකින් දියුණුව ලබා ගැනීමට යොදා ගත හැකි බව පෙනී ගොස් ඇත.

මා මරණය ගැන උනන්දුවක් දක්වන්නේ දැන් ජීවත් වූ ප්‍රමාණය ඇතැයි බොහෝ විට සිතෙන නිසා ත් මා කිසිවකුගෙන් යැපෙන්නේ නැති අතර මගෙන් ද කිසිවෙකු යැපෙන්නේ නැති බව ද අවබෝධ වී ඇති නිසාත් ය. මහාසි සයදෝව් ස්වාමීන් වහන්සේ වෙබ් අඩවිය ද සොයා ගත නොහැකි විය. Buddhanet වෙබ් අඩවිය ඉතා විශාල තොරතුරු ගබඩාවක් බැවින් කාලය අරගෙන එය හැදෑරීම වඩා සුදුසු යැයි සිතමි.
මෙසේ ඊ-මේල් මඟින් හෝ අදහස් හුවමාරු කර ගැනීමට පින්වත් අය සිටීම අපගේ වාසනාවක් බව හඟිමි.

නවතිමි. ඔබට තෙරුවන් සරණයි.

කුමුදු පින්තු
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
2010/6/29 
From: Sarath Gunatunga 
සම්මා සම්බුදු සරණයි
හිතවත් මහත්මයාණනි

මේ මාතෘකාව යටතේ ඔබ දෙවරක් බ්ලොග් අඩවියේ සටහන් ඉදිරිපත් කර ඇති නිසා ඔබට මේ ලිපිය ලිවීමට මට සිත් විය. අවුරුදු ගනනක් පටන් බුදු දහම පිලිබඳව මම ඉතා විශ්වාසයකින් හා කැප වීමකින් යුතුව කටයුතු කරන්නෙමි. ලංකාවෙන් පිට සිටි නිසා, මම ලාංකික බුදු දහමෙන් ඈත්ව සිටියෙමි. මට උපකාරී වුයේ Buddhanet, තායිලන්තයේ සහ මියන්මාරයේ ඇති ථේරවාද පොත් පත්ය. මගේ වාසනාවකට මේ පොත පත ඒ රටවල වෙසෙන ස්වාමීන් වහන්සේලා විසින් නොමිලයේ බෙදා දීම පිනිස අන්තර්ජාලයේ තැන්පත් කොට ඇත. මගේ දැනුම පෝෂණය වූයේ එසේය. මේ පොත් වල සම්පාදකයන් වූයේ ථේරවාද විශේෂඥයන් ලෙසින් ලොව සලකන ස්වාමීන් වහන්සේලාය. මරණය පිලිබඳව මා කියවා ඇති හොඳම පොත රචනය කොට ඇත්තේ මහාසි සයදෝව් ස්වාමීන් වහන්සේ විසිනි. ඒ පොත නොමිලයේ බෙදා හැරීම පිනිස උන්වහන්සේගේ වෙබ් අඩවියේ ඇත. උන්වහන්සේගේ පටිච්ච සමුප්පාදය නම් පොතේ මෙය ඉතා විස්තර සහිතව දක්වා ඇත. උන්වහන්සේ දක්වා ඇති විපස්සනා භාවනා ක්‍රමය බුදු රජානන් වහන්සේ විසින් දේශනා නොකල ක්‍රමයක් බව 1959 වසරේ බුරුම ධර්ම දූත පිරිසක් මෙරටට වැඩම කල අවස්ථාවේදී එක්තරා ලාංකික භික්ෂූන් පිරිසක් හඬ නැගූහ. ඊට වසර 30කට පසුව ජර්මන් ජාතික ඤාණපොනීක ස්වාමීන් වහන්සේ (මහනුවර forest hermitage හි වැඩ විසූ) ඒ ක්‍රමය බුදු රජාණන් වහන්සේ විසින් අනුමත කරන ලද ක්‍රමයක් බව ප්‍රකාශ කලේය. මේ බව ඤාණපොනීක ස්වාමීන් වහන්සේ ගේ Four Foundations of Mindfulness යන පොතේ දක්වා ඇත. 

කෙසේ හෝ මහාසි ස්වාමීන් වහන්සේ විපස්සනා භාවනාව පුහුනුවේදී එක්වරම කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා සහ ධම්මනුපස්සනා වශයෙන් හතරම නිරීක්ෂනය කරන අන්දම පහදා දී ඇත. මේ අන්දමට පුහුනු කරන විට 'මම' කියා කෙනෙක් නැති බවත්, එහි ඇත්තේ මේ ස්කන්ධ පමණක් බවත් විටින් විට පැහැදිලිව පෙනේ. තවද මහාසි හිමියන්ගේ පොතේ සඳහන් පරිදි විඤ්ඤාණය ඛන්ඩ වශයෙන් ඇති වී නැතිවී යයි. යමෙකු මිය යාමට ආසන්නව, මෙසේ ඇති වන විඤ්ඤානය, ශරීරය බිඳී ගිය පසු වෙනත් තැනක ලැඟුම් ගනියි.
ගිය වසරේ මම විශාල ශල්‍ය කර්මයකට භාජනය වුනා. මගේ ශල්‍ය වෛද්‍ය මන්ඩලය සියල්ලම කේරල දේශයෙන් මේ රටට පැමිනි අය වූහ. ශල්‍ය කර්මයට පෙර මට සිදුවිය හැකී ආපදා සියල්ලම ඔවුන් මට විස්තර වශයෙන් පැවසීය. ඒ අතර මියයාම මුල් තැනක් ගත්තේය. මම මරණයට බිය නොවීමි. ඒ වන විට මට අඩි දහයකට වඩා හති නොවැටී ගමන් කිරීම පවා අසීරු විය. මම සිනහ මුසු මුහුනකින් carry on regarless වශයෙන් පැවසුවෙමි.

මගේ හදවත පොටෑසියම් ක්ලෝරයිඩ් ද්‍රාවනයක් මගින් ක්‍රියා විරහිත කොට කෘතීම හදවත්කින් රුධිරය ශරීරයේ ධාවනය කරවන බව මම කල් තියා දැන සිටියෙමි. ශල්‍ය කර්මය පිලිබඳව කිසිම මතකයක් මට තිබුනේ නැත. සත්‍යවශයෙන් එය කල බවවත් මා දැන සිටියේ නැත. මම එය සලකන්නේ තාවකාලික මරනය ලෙසටය. විඤ්ඤානය ආපසු ඒ ශරීරය හා එකතුව ක්‍රියා කල අන්දම මටම පුදුම සහගත විය. යම් විදියකින් මා මිය ගියේ නම් විඤ්ඤාණය වෙන තැනකට යනු ඇත. ඒ පිලිබඳ මතකයක් මට තිබේද යන්න මට අවිනිශ්චිතය.
මේ පිලිබඳව ප්‍රසිද්ධ වශයෙන් හඬ නගා කීමට තරම් මට ශක්තියක් නොමැත. නමුත් ඔබ මේ පිලිබඳව උනන්දුවෙන් සලකා බලන බැවින් ඔබට දන්වන්නට සිතුවෙමි.

29/07/2010: මගේ ශල්‍ය කර්මයට අදට වසරක් පිරෙයි. කුමුදු මහතා නොපෙනී ගොස් ඇත. මට තවම කථා කල හැක. නමුත් හෙට ... ඒ මා විය හැක. අපගේ ජීවිත ඉතාම අවිනිශ්චිතය. නමුත් සොබාදහම එසේමය. එය කිසිදාක වෙනස් නොවනු ඇත. අප එය පිලිගත යුතුය. එයින් සැඟවිය නොහැක. තෙරුවන් සරණයි

සරත් ගුණතුංග
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඔබ විසින් රචිත සටහනකුත්, ඊට අඩාල වන මවිසින් රචිත සටහනකුත් මෙහි ලියැවී ඇත. ලාල් මහතානනි, ඔබට යහපතක්ම වේවා.

3 comments:

NUWAN"s lane said...

ඈත්තටම සරත් මහත්මයා ජීවිතය හරියට වේදිකා නාට්‍යයක් වගේ.අපි නලුවො වගේ රංගනයක නිරතවෙනවා.අපි කාටත් පොදු දෙයක් මොන විදියට ජිවත් උනත්......මරණය එක විදියකට.

NUWAN"s lane said...

ඈත්තටම සරත් මහත්මයා ජීවිතය හරියට වේදිකා නාට්‍යයක් වගේ.අපි නලුවො වගේ රංගනයක නිරතවෙනවා.අපි කාටත් පොදු දෙයක් මොන විදියට ජිවත් උනත්......මරණය එක විදියකට.

දේදුනු ධනංජය said...

ඇන්නටම මගේ විශාල දුකක් ඔය පිලිබදව තිලුනට මම ඔය සර්ව දැකලවත් නෑ
http://dedunumaxa.blogspot.com/2010/08/blog-post_27.html