Sunday, February 15, 2009

කරුණා දයා මෛත්‍රී උපේක්ෂා.....

ඒ 1999 නත්තල් දවසයි. මගේ මව හදිසියේ අසනීපව ඕක්ලන්ඩ් හි මිඩ්ල්මෝ රෝහලට ඇතුල් කල බව මගේ සහෝදරිය දන්වා එවීය. ඊට පහුවදා මම ඇය බැලීමට රෝහලට ගියෙමි. ඇයගේ තත්වය සතුටුදායක වූයේ නැත. අවුරුදු 72ක් වූ ඇයට හෘදයාබාදයක් වැලඳී තිබුණි. හෘදයවස්තුවේ ලේ නහරයක ලේ කැටි ගැසී ඒ නහරයෙන් ඔබ්බට හෘදයවස්තුව ක්‍රියා විරහිත වී තිබුණි. කැටි ගැසුනු ලේ දිය වීමට රෝහලෙන් ඖෂධ ශරීර ගත කල නමුත් එයින් පලක් නොවීය. දැන් මිනිස් කමේ සංකේත ක්‍රියාත්මක වීමට ආසන්නය. මගේ සොයුරියන් දෙදෙනෙක් රෝහල හරියට ක්‍රියා නොකල බවට කියවන්නට වූහ. ඔවුන් ඇඟිලි දිගු කිරීමට ආසන්නව සිටියහ. සිදුවී ඇති දේ හරියාකාරව සොයා බැලූවිට කාගේවත් වරදක් ඇතිබවක් නොපෙනෙයි. ඔවුන් ඇඟිලි දිගු කිරීමට පෙර මම ඇඟිල්ල ඔසවා නිශ්ශබ්දව වෙන ලෙස කියා සිටියෙමි. මම සියල්ල සොයා බැලූ බවත් කිසි කෙනෙක් අත වරදක් නැති බවත් අපේ අම්මාගේ අවසානය ලඟා වී ඇති බවත් බෞද්ධයින් හැටියට අපිට එය පිලිගැනීමට සිදුවී ඇති බවත් මම පැවසුවෙමි. වයස 72ක් වුවද, පියා නැති අපට මැණියන්ගේ වියෝව දරා ගත නොහැකි විය. ඇය ජීවත් කල නොහැකි බව වෛද්‍ය මණ්ඩලය කියා සිටියි. අම්මාද ඇයට සිදුවන්නේ කුමක්දැයි අසන්නීය. ඒ වෙන විට අපේ පියා මිය ගොස් අවුරුදු 41ක් විය. අම්මාගේ අවසාන කාලය ඇය පින් දහම් කරමින් නිදහසේ ජීවත් වූ බව මම දනිමි. අවුරුදු දෙකකට පෙර ඇය දඹදිව වන්දනාවේ යාමට ආශාවක් දැක්වීය. හැකි පමණ සුව පහසුවට දඹදිව යාමට මම ඇයට ඉඩකඩ සලසා දුනිමි. මහාපරිනිර්වාන සූත්‍රයේ බුදුරදුන් ආනන්ද හිමිට වදාල දැය මම අම්මාට හැම විටම මතක් කර දුන්නෙමි. "... ආනන්දය, තථාගතයන් වහන්සේ උපන් ස්ථානය, බුදු වූ ස්ථානය, ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ ස්ථානය සහ පිරිනිවන් පෑ ස්ථානය, යන මේ සිවු වැදෑරුම් ස්ථානයන් යමෙක් සැදැහි සිතින් වන්දනා කරයිද, ඒ සිහියෙන්ම මේ කය බිඳී යයිද, ඒ අය දුගතියක නොඉපදෙනු ඇත......." අම්මා දඹදිව ගොස් පැමිණ දිග ලියුමක් ලියා මට පින් අනුමෝදන් කරවීය. ඇයගේ ලියුම මම කියවූයේ මහත් ආශාවෙනි. මා මෙලොවට බිහිකල මගේ අම්මාට දඹදිව වන්දනාවේ යාමට ඉඩ සලසා දුන් හෙයින් මා තුල මහත් සොම්නසක් ඇතිවිය. දැන් අම්මාට ආයුබෝවන් කීමට සිදුව ඇත. ඇයට සත්‍යය වසන් කිරීමට මට කිසිම කැමැත්තක්ද නැත. මගේ සහෝදර සහෝදරියන්ගෙන් එක් අයෙක් හැරුනු විට අනෙක් දරුවන් අම්මා අවට සිටියහ. ඉතාමත් හෙමින්, පැහැදිලිව, අම්මා සුව කල නොහැකි බව මම පවුලේ වැඩිමලා හැටියට ඇයට පැවසුවෙමි. මගේ ජීවිතයේ මේවැනි අවස්ථා බොහෝ ගනනකට මම මුහුණ දී ඇත්තෙමි. නමුත් මගේම මැණියන්ට එය පැවසීම තරමක් අපහසු විය. පිරිසිදු ආගමික දිවියක් ගත කල අම්මා තමාගේ අවසානය ලඟ බව සාවදානව අසා සිටියාය. ඇය කිසිම කැලඹීමක් නොදැක්වූවාය. එතැන් සිට ඇය අවසන් හුස්ම හෙලන තෙක්ම ඇයගේ දරුවන් අඩු වශයෙන් එක්කෙනෙක් වත් ඇය ලඟ සිට ඇය කරන ලද පුණ්‍ය ක්‍රියා සිහිකර දීමට වග බලා ගත්හ.. විශේෂයෙන් අම්මාගේ දඹදිව වන්දනා ගමන ගැන සිහි කිරීමට මතක තබා ගත්තෙමු. නේරංජනා ගංගා තීරය අම්මාට හොඳට මතක තිබුණි. අම්මාට කිසිම වේදනාවක් දැනුනු බවක් පැවසුවේ නැත. 2000 වසරත් ලබා දින කිහිපයක් ගෙවී ගියේය. අපි බලාපොරොත්තු වූ පරිදි අම්මාගේ සිහිය කෙමෙන් කෙමෙන් බොඳ වී ගොස් ඇය අවසාන හුස්ම හෙලුවාය. අම්මාගේ වියෝවත් සමගම මට ඉතා විශාල පාලුවක් දැනෙන්නට විය. මෙය මම බලාපොරොත්තු නොවූ දෙයකි. ශෝකය වාවා ගත නොහැකි තරම් දරුණු විය. ආගමික වතාවත් කිරීමට සංඝයා වහන්සේලා තුන් නමක් අපට ලැබුණි. එක නමක් ඉංග්‍රිසි ජාතික ස්වාමීන් වහන්සේ නමකි. ඒ ස්වාමීන් වහන්සේ වෙලිංටන් පන්සලේ වැඩවසති. තව නමක් ඕක්ලන්ඩ් තායි පන්සලෙන් වැඩියහ. උන්වහහන්සේ තායි ජාතිකයෙකි. අනෙක් නම ලාඕස් ජාතිකයෙකි. උන්වහන්සේ දුත්ථංග කම්මත්ථාන හික්ෂූන් වහන්සේ නමක් හැටියට මට හඳුන්වා දුන්නේය. ඒ වෙනතෙක් දුත්ථංග කම්මත්ථාන භික්ෂූන් වහන්සේලා ගැන මම අසා තිබුනේ නම වශයෙන් පමණි. ඒත් ඉතා ස්වල්ප වශයෙනි. මීකොං ගඟ ආශ්‍රිතව, තායිලන්තය, ලාඕස්, වියට්නාමය යන ප්‍රදේශවල වනගතව වෙසෙන සිල්වත් භික්ෂූන් වහන්සේලා හැටියට කම්මත්ථාන භික්ෂූන් වහන්සේලා මම දැන සිටියෙමි. එපමණකි. ආගමික වතාවත් වලින් පසු ස්වාමීන් වහන්සේලාට මම වැන්දෙමි. අවසාන වශයෙන් මම ලාඕස් ජාතික ස්වාමීන් වහන්සේට වැඳ, දනින් සිටියදීම උන්වහන්සේ ලඟ සිටගත්තෙමි. උන්වහන්සේ වැඳගෙන සිටි මගේ අත්දෙක උන්වහන්සේගේ දෑතින්ම අල්ලා ගත්තේය. මම උන්වහන්සේගේ දෙඇස දෙස බලා ගෙනම සිටියෙමි. මම කොපමණ වේලාවක් එසේ සිටියාදැයි මතක නැත. අඩු වශයෙන් විනාඩි දහයක් වත් සිටින්නට ඇත. ඉත සොවින් සිත් වේහනාවෙන් සිටි මගේ ශෝකය ක්‍රමයෙන් පහව ගොස් සැනසුමක් මතුවිය. මට මේ ස්වාමීන් වහන්සේ ලඟ දැනෙන්නේ පුදුම සැනසුමකි. උන්වහන්සේ අතහැර යාමට නොහැක. උන්වහන්සේ මැදිවිය ඉක්මවූ මහලුවියට පාතබා ඇති කෙනෙකි. උන්වහන්සේ මට වචනයක් වත් කථාකලේ නැත. ඒ උන්වහන්සේට ඉංග්‍රිසිත්, මට ලාඕස් භාෂාවත් බැරි නිසාය. උන්වහන්සේගේ මුවෙහි සිනා රැල්ලක්ද මතුවී ඇත. අවසානයේ උන්වහන්සේ මගේ හිසද අතගා මගේ දෙ අත් අත හැරියේය. මාතුල තිබූ ශෝකය සම්පූර්ණයෙන්ම පහව ගොසිනි. අම්මාගේ දේහය ආදාහනාගාරය වෙත රැගෙන ගියද, මා තුල තිබූ දරුණු ශෝකය දැන් නැත. දින දෙකකට පසු තායි පන්සලට මම ගියේ අර ලාඕස් ජාතික ස්වාමීන් වහන්සේ හමු වීමටය. ඒ ස්වාමීන් වහන්සේ ඊට පසුවදා යලිත් පන්සලෙන් පිටව ගොස් ඇත. උන්වහන්සේ ගැන අනෙක් ස්වාමීන් වහන්සේලා පවා නොදනිති. දුත්ථංග හිමි කෙනෙකුගේ වෙසින් පැමින මගේ ශෝකය තුනී කල ඒ උත්තමයා කවරෙක්දැයි මම අද පවා නොදනිමි.

Wednesday, February 11, 2009

දිය නෑම.................

කුරුලු දිය බඳුනක ස්නානය කරන මේ ගේ කුරුල්ලාගේ පින්තූර පහ එකම තත්පරයක් තුල ඡායාරූප ගතකරන ලදී. (In continuous firing mode- 5 fps)
ඡායාරූප දත්ත මෙසේය.
Lens 80 – 400 mm ISO – 400 Shutter 1/200 F=13 Focal length 400 mm Focal length (35) 600 mm Date 10/02/09 1:51: pm (all five frames) Processed Photoshop CS2 කාචය 1.2 Kg බැවින් තෙපා-ආධාරකයක් මත කැමරාව රැඳවීමට සිදුවිය. Cable release used.
1
2 3 4 5
ඔබේ විවේචනාත්මක ප්‍රතිචාර අගය කරන්නෙමි.

Sunday, February 8, 2009

මරණය..... පිලිගැනීම සහ නොගැනීම

ජීවත්වන බොහෝ දෙනා මරණය ගැන කථා කරන්නේ ඉතාමත් කලාතුරකින්ය. ඒ ඉතා අප්‍රසන්න දුක්මුසු, බිය උපදවන මාතෘකාවක් බැවිනි. අපි ජීවත් වන්නේද නොමැරෙන්නවුන් ලෙසිනි. හෙට කලයුතු වැඩ, ඊලඟට කුමක් කලයුතුද යනාදී මිස හදිසියේ සුව කල නොහැකි ලෙඩක් හැදුනොත් යනුවෙන් අපි කල්පනා නොකරමු. ඒ අපේ සමාජයේ හැටිය. අපි මරණයෙන් ඈතට දුවන්නෙමු. එක අතකින් ඒ බටහිර සංස්කෘතියෙන් අපිට උරුම උනු රටාවකි. බටහිර ජනතාව මරණය ගැන කථා කිරීමට පවා බියක් දක්වති. රෝහලක මරණයක් සිදු වූ විට මෙයට සාක්ෂි දැකිය හැකිය. රෝගියා අවසන් හුස්ම හෙලීමට ආසන්න වූ විට ඔහු හෝ ඇය වෙන් කොට සමහර විට වෙන කාමරයකට පවා ගෙන යනු ලැබේ. මිය ගිය පසු මෘතශරීරාගාරයට මෘත ශරීරය ගෙන යනු ලැබේ. ඊට පසු රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වෙන්නෙකුට සේ මෘත ශරීරයට ඇඳුම් අන්දවති. එයින් අපි තැත්කරන්නේ මිය ගිය බව නොපිලිගැනීමක් නොවේද? කලකට පෙර ලංකාවේ ජනයා, මෘත දේහය ගෙදරට ගෙනැවිත් ජීවිතයේ අවිනිශ්චිත භාවය පිලිබිඹු වෙන ලෙස ඒ අබියස ශෝක වෙති. එයින් සිය ඥාතියාගේ වියෝව විඳ දරා ගැනීමට රුකුලක් වෙන බව පැහැදිලිය. හදිසියේ මිය ගිය හොත් මිය ගිය තැනැත්තාට හෝ තැනැත්තියට එය ගැන එතරම් දෙයක් නොදැනෙනු ඇත. දැනට ඇති සාක්ෂි අනුව (මරණාසන්න අත් දැකීම්) මිය ගිය තැනැත්තා/තී වික්ෂිප්තව කුමක් සිදුවූයේදැයි නොදැන බොහෝ විට සිය මලසිරුර අසල, නෑදෑයින් අසල අදෘශ්‍යමානව ගැවසෙන බව සොයා ගෙන ඇත. මේ පිලිබඳව අපවත් වී වදාල බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය ස්වාමීන් වහන්සේ දීර්ඝ වශයෙන් පවසා ඇත. අපි කවුරුත් දන්නා පරිදි මියයාමට නියමිත වයසක් හෝ කාල සීමාවක් නැත. බෞද්ධයින් කර්මානුකූලව උපදින බවත් මිය යන බවත් විශ්වාස කරති. විශ්වාසය කෙසේ වුවත්, එය එසේ වූ විට අපි ඉමහත් කම්පනයකට පත්වෙමු. යම්කිසි සුලු අසනීපයකට රෝහලකට ගොස් ඔබේ රෝගය පිලිකාවක්යැයි පවසා ජීවත් විය හැක්කේ මාස කිහිපයක් පමණක් බව වෛද්‍යවරයා පැවසුවොත් ඔබට කුමක් වෙයිද? මෙවන් දේවල් සාමාන්‍ය ජීවිතයේ සිදුවන සිද්ධීන්ය. ජීවිතයේ බලාපොරොත්තු නොවූ මොහොතක මිය යාමට සිදුවෙන බව කවුරුන් හෝ කිව්වොත් ජීවිතය පිලිබඳව ගොඩ නගාගත් ඒ සොඳුරු අනාගතය බිඳවැටෙනු ඇත. මේ තත්වයට මුහුන දෙන්නේත් එක් එක්කෙනා එක් එක් විදියටය. සමහරු තරුණ වයසේදීම පිලිකාවලින් මිය යති. සමහරු වෙනයම් රෝගයකට ගොදුරුව මිය යති. බොහෝ දෙනෙක් තමාට එවැනි රෝගයක් නැති බව වසන් කිරීමට තැත් කරති. එවැනි ශෝකාත්මක පුවතක් දැනගත් වහාම ප්‍රථමයෙන් සිදුවන්නේ එයින් 'පලා යාමයි.'. එයින් අදහස් කරන්නේ සිය මනස පවසන පරිදි 'එය එසේ නොවෙයි' කියා නොයෙක් කරුණු ඉදිරිපත් කිරීමයි. මේ අවස්ථාව ඉතාමත් ශෝකජනක අවස්ථාවකි. මේ රෝගීන්ට ඉතාමත්ම කාරුණික විය යුතුය. ඔවුන් මිය යන බව සැබෑය. නමුත් මිය යන තෙක් ඔවුන් මනුශ්‍යයන් මෙන් හැකි තරම් සන්තොසින් ජීවත් විය යුතුය. පසුගිය අවුරුදු 33 තුල මම ලබා ඇති අත්දැකීම් බොහෝය. බෞද්ධයෙක් වන මා මේ රෝගීන් ඇසුරෙන් තවතවත් මිනිස්කමට ලංවුනෙමි. එක් අවස්ථාවක වයස අවුරුදු හයක ලදැරියක් සිරුරේ උඩ කොටසේ ලේ පැහැති කුඩා ලප සමූහයක් මතුවීම නිසා වෛද්‍ය සායනයට සිය මව සමග පැමිණියාය. ඇය පරීක්ෂා කොට ඇයගේ රුධිර පරීක්ෂණයක් කල යුතු බවට නිගමනය විය. කුඩා ලදැරියක් වන ඇයගේ රුධිරය ලබාගැනීම පවා ඉතා දුශ්කර කරුණක් විය. එදාම හවස වෛද්‍ය පරීක්ෂණාගාරයෙන් මේ ලදැරිය වහාම රෝහලට ඇතුල් කරන ලෙස දන්වා පණිවුඩයක් ලැබුණි. මට දැන ගන්නට ලැබුනේ මේ දැරියට ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙන ලියුකීමියා රෝගයක් වැලඳී ඇති බවයි. වැඩි විස්තර මවට පැවසීමට මට ධෛර්යයක් නොවීය. "එපමණ හොඳ නැහැ, නමුත් රෝහලට යන්න...." පමණක් පවසා ඇය රෝහලට යැව්වෙමි. ඒ ලදැරියට සිදුවන්නේ කුමක්දැයි නොදැනුනත් ඇයගේ මව සම්පූර්ණයෙන්ම වෙනස් විය. රෝහලේදී ඇයගේ හැසිරීම අනෙක් රෝහල් සේවකයින්ට ආක්‍රමණශීලී විය. ඇයට සියල්ලෝම නුරුස්සන සුලු විය. රුධිර පරීක්ෂාවකට රුධිරය ගත්තත් ඇය සිය දුවනියට හිංසා කල බවට චෝදනා කලේය. මේ සිය එකම දුවනියට සුව කල නොහැකි රෝගයක් වැලඳී ඇති නිසා ඒ සඳහා මවගේ ප්‍රතික්‍රියාවය. සමහර රෝහල් සේවිකාවෝ ඇයට අනුකම්පාවක් නොදැක්වූහ. රෝහලෙන් ගෙදර එවූ මේ ලදැරියට නිතර නිතර ආපසු රෝහලට ඇතුලත් වීමට සිදුවිය. ඇයගේ මවට සිදුවූයේ ඇයගේ දුවණියගේ රෝගී ස්වභාවය පිලිගත නොහැකි වීමයි. ඇය ගෙදර ආ පසු නිතර නිතර ඇය බැලීමට ගියෙමි. ක්‍රමයෙන් කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඇය සිදුවී ඇතිදෙය පිලිගත් බවක් පෙනුනි. රෝගය හඳුනාගෙන මාසයකට පසු ඒ ලදැරිය අවසන් හුස්ම හෙලීය. තවත් අවුරුදු හැටක් පමණ වූ කාන්තාවක් පියයුරුවක ගැටයක් සමග පැමිණියාය. එය පිලිකාවක් බව හැඳිනගෙන දින දෙකක් ඇතුලත ශල්‍ය කර්මයකට භාජනය කරන ලදී. ශල්‍ය කර්මයෙන් මාසයක් ගතවූ තැන ඇයගේ දෑත් වල අස්වාභාවික චලන දක්නට ලැබුනි. ඒ පිලිකාව ඇයගේ මොලයට ගොස් ඇති බවට CT ස්කෑන් පරීක්ෂණය පෙන්වීය. වෛද්‍යවරු ඇයට වෙනත් පිලියමක් යෝජනා කලහ. මේ අවස්ථාවේදී මේ කාන්තාව මා හමුවීමට පැමිණියාය. මා හමුවට පැමිණි ඇය, ඇයගේ රෝගය පිලිබඳව සම්පූර්ණ සත්‍යය ඇයට පවසන ලෙස ඉල්ලා සිටියාය. ඇයගේ ඉල්ලීම පරිදි මම ඇයට සම්පූර්ණ විස්තරය හෙලිකර නිෂ්චිත පිලියමක් නැති බවත් සිදුවන්නේ ජීවිතය දික් ගැස්සීමක් පමණක් බවත් පැවසුවෙමි. ඊලඟට ඇය ඇසුවේ ඒ දික්ගැසෙන ජීවිතයේ වේදනාවක් ඇත්දැයි ඇසුවාය. එය එසේ විය හැකි බව කී විට එසේ නම් ඒ පිලියම අවශ්‍ය නැති බවත් ඇය මරණයට සූදානම් බවත් නොබියව පැවසුවාය. සුමාන දෙකකට පසු ඒ කාන්තාව අවසන් හුස්ම හෙලුවාය. ඒ කාන්තාව ඉතා ලැදි ක්‍රිස්තු භක්තිකාවක් වූවාය. අභීතව මරණයට මුහුන දුන් වෙනත් රෝගියෙක් ගැන මට කිව නොහැකි තරම්ය. බලාපොරොත්තු නොවූ පරිද්දෙන් මිය යන රෝගීන් අතර එක් රෝගියෙක් ඔහුට වයස 70ක් පමණක් බවත් මිය යාමට තරම් වයසක් නැති බවත් පවසා ඇත. නමුත් ඒ අවස්ථාවේදී එය පැහැදිලි කර දීමට තරම් ඔහුගේ මනස ප්‍රබල නොවීය. මේ අතර තවත් සමහරු මිය යාමට පෙර දවස් ගනන් හුස්ම අදින්නෝද වෙති. ජීවත්ව සිටිද්දී ගත් කල ජීවිතයද, ඒ ජීවිතයේ පිරිසිදු බවද මියයන මොහොතට බලපාන් බව මගේ විශ්වාසයයි.

Friday, February 6, 2009

සුද්දගෙ වැඩ

අපේ රටේ නිදහසත් සුද්ද අතරත් ඇත්තෙ එක්තරා විදියක සම්බන්ධයක්. ඒ සම්බන්ධය අපේ රටටම විශේෂයි. සිදු වුන දේවල් බැලුවම මමත් හිතුවෙ මේ සුද්දගෙ හැසිරීම් රටාව ලංකාව වගේ දුප්පත් රටකට පමණයි කියල. ලංකාවටත් ඉන්දියාවටත් සුද්දා කල හදිය අපේ ඉතිහාසය හොඳට පෙන්නුම් කරනව. ඉන්දියාව අපිට වැඩිය දුක් වින්ද. සුද්දා හොඳ දේවල් කරා, ඒ අපට ආදරේටද? නැහැ. ඔවුන් කල දේවල් වලින් අන්තිමට යහපතක් වුනේ ඔවුන්ටමයි. වික්ටෝරියා රැජිණගෙ කාලෙ මහා බ්‍රිතාඤ්ඤය තම ආධිපත්‍යය පතුරුවා ගැනීම පිණිස ලෝකය සිය යටතට ගන්න හැදුව. එහි ප්‍රතිඵලයක් විදියට තමයි අපි යටත් විජිතවාදීන් ලෙස කල් ගෙව්වෙ. අප්‍රිකානු ජනතාව වහලුන් ලෙස දම් වැල්වලින් බැඳගෙන ගිහින් විකිණුවා. අපේ රටේ උඩරට ගිවිසුම කියල ගිවිසුමක් අත්සන් කරල, 1815 මාර්තු දෙවැනිදා මුලු රටම බ්‍රිතාඤ්ඤයට යටත් කියල හදා ගත්ත. ඊට පස්සෙ ගිවිසුම කඩ කලා. අපිට විතරක් නෙවෙයි, සුද්ද මේ බෙර පදේම නවසීලන්තෙ ආදිවාසීන්ටත් වයල තියෙනව. 1840 පෙබරවාරි 6 වැනිද අපේ වගේම ගිවිසුමක් නවසීලන්ත ආදිවාසී මෞරි ජනතාව සහ කිරීටය අතර අත්සන් කලා. ඒක අත්සන් කලේ වෛතන්ගි කියන ස්ථානයෙ, ඒ නිසා වෛතන්ගි ගිවිසුම කියල කියනව. ඊට පස්සෙ ගිවිසුම කඩ කලා. ලංකාවෙන් සුද්දට යන්න වුනා. මෞරි ජනතාව බොහොම ටික දෙනයි හිටියෙ. සුද්දො ඇවිදින් අඩු ජනගහණයක් වූ මෞරි ජනතාවට වඩා බලයක් ලබා ගත්ත. අන්තිමට නවසීලන්තය සුද්දගෙම රටක් වුනා. ඕස්ට්‍රේලියාවෙත් එහෙමයි. ආදිවාසී ඇබොර්ජීන් ජාතිකයන්ට තවමත් සලකන්නෙ නැහැ. ඒ රටටත් සුද්ද නිකම් කඩා වැටුන. නවසීලන්තයේ ඉතිහාසය අවුරුදු 200ක්වත් පැරණි නැත.. මෞරි ජනතාව ජීවත් වුනේ සාමූහිකව, ගෝත්‍ර වශයෙන්. ඒ නිසා ඔවුන්ගේ ඉඩකඩම්, වස්තුව අයිති සාමූහික වශයෙන් ගෝත්‍රයට මිස තනි තනිව පුද්ගලයින් සතුව නොවේ. . කලකට පෙර මිනී මස් බුදිමින් ම්ලේච්ඡයින් ලෙස ජීවත් වුවද, ඔවුන් අතර ඉතා වටිනා ගුණදම් පැවතී ඇත. මෞරි ජනයා රණකාමීන්ය. එක් එක් ගෝත්‍ර අතර යුද්ධ පවතින විට විරුද්ධ පාර්ශවයට ආහාර අඩු බවක් හෝයුද උපකරණ හිඟ බවක් දැනෙයි නම් සටන වහා නවතනු ලැබේ. සටන නවතා විරුද්ධ වාදීන්ට ආහාර නැතිනම් , ආහාර සපයනු ලැබේ. එසේ නැතහොත් පතරොම් නැතිනම් පතරොම් පවා සපයනු ලැබේ. අඩුපාඩු සප්පායම් කල පසු නැවත සටන් ආරම්භ කරති. පසු කලෙක මේ අන්දමට ඉංග්‍රිසින් හා සටන් කරන විටද ඒ ක්‍රමය අනුගමණය කොට ඇත. එසේ නොකල හොත් ඒ සටන අසාධාරණ බව ඔවුන්ගේ විශ්වාසයයි. කරුණු මෙසේ වුවද, ශීලාචාර යයි සම්මත සුද්දා එතරම් ශීලාචාර වූ බවක් ඉතිහාසයෙන් නොපෙනෙයි. සුද්දා මෞරි ජනයාගේ ඉඩම් වලට කෑදර කමක් දක්වා ඇත. ගිවිසුම අත්සන් කොට, නවසීලන්තය බ්‍රිතාඤ්ඤ අධිරාජ්‍යයේ කොටසක් ලෙස සනාථ වූ පසුව ඔවුන්ගේ ක්‍රියා පටිපාටිය රහසිගත ලෙස නීතිගත විය. මෞරි ජනයාගේ සුලු වරදකට වුවද, ඔවුන්ගේ ඉඩම් රාජසන්තක කෙරිණි. අදටත් රජයේ ඉඩම් ලේඛනාගාරයේ ඇත්තේ ඉඩම රාජසන්තක වූ බවයි. මෞරි ජනයාට සලකනු ලැබුවේ සත්තුන්ට මෙනි. ඉංග්‍රීසින් සහ මෞරි ජනයා අතර යුද්ධ පවතින කාලයේ එක්තරා ඉංග්‍රිසි නිලධාරියෙක්, මෞරි නායකයෙක් මරා, ඔහුගේ සමෙන් පසුම්බියක් තනා ගත් බවක් වාර්තා වී ඇත[1]. ශීලාචාර මිනිසා කවුද? ඇත්ත වශයෙන් දැන් කලවම් නොවූ මෞරි ජනයා නැත. ආදි වාසීන් කවුරුත් පාහේ පවසන්නේ “ I got English blood not by choice but by rape…” කියාය. සුද්දා මෞරි ජනයාට බ්ලැන්කට්, ආදී දේවල් දී ඔවුන්ගේ ඉඩම් ලියා ගත් බවට සාක්ෂි ඇත. මා හමුවට පැමිණි වයසක මෞරි මාතාවක්, ඇයගේ දෙමාපියන් ඇය කුඩා කල අසනීපව රෝහලට යාම සඳහා අසල්වාසී යුරෝපීය ජාතිකයෙකුගෙන් ඔහුගේ මෝටර් රථය ඉල්ලූ විට එය ලබා දුන්නේ ඉඩම් කෑල්ලකට බව ඇය මා සමග පවසා ඇත. මේ නයින් බලන කල සුද්දා අපට පමණක් නොව ලොව තවත් රටවල් වල ජනයා රවටා ඇති බව පැහැදිලිය. දැන් දැන් නවසීලන්තයේ මෞරි ජනයා ඔවුන්ගේ ඉඩම් රවටා ගත් බවට චෝදනා රජයට පවරති. කලකෝලාහල නැතිවුවද, කවදා හෝ මේ චෝදනා යටපත් කිරීම ඉතා අසීරු වෙනු ඇත. [1] Scott Derek; ASK THAT MOUTAIN, 1950

Monday, February 2, 2009

මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ !!! 9

භූරිදත්ත හිමියන්ගේ ජීවිත කථාවෙන් ලොව තුල ආන්දෝලනයක් ඇති විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන් හා තායිලන්තයෙන් විරෝධය මතුවිය. මේ පොත පරිවරතනය කිරීමේදී මටත් ඒ විරෝධතා මතු වූ තැන් පැහැදිලි විය. ඒ පිරිණිවන් පාන ලද රහතුන් වහන්සේලා සහ තථාගතයන් වහන්සේලා අර්හත් ඵලය ලබාගත් භූරිදත්ත හිමියන්ට ආශීර්වාද කිරීමට පැමිණි බවක් පොතේ සඳහන් වීමයි. පොතේ සඳහන් වන්නේ අර්හත් භාවය ලබාගත් රහතුන් වහන්සේ නමකගේ මුවින් පිටවූ කථාවකි. උන්වහන්සේ පිරිනිවියේ 1949 වසරේදීය. උන්වහන්සේගේ කථාවට සවන් දුන්නේ උන්වහන්සේගේ ශිෂ්‍ය නමක් වන හවමත් ජීවතුන් අතර සිටින අචාර්ය මහා බූව ඥාණසම්පන්නෝ වහන්සේ විසිනි. (වයස අවුරුදු 94 කි). ඒ පොත තායි භාෂාවෙන් රචනය කලේද උන්වහන්සේය. ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය කලේ භික්ෂු ඩික් සීලරතනෝය. අපිට පාරම්පරික ලෙස උරුමව ඇති ත්‍රිපිටකය ඉතා උතුම් කොට සලකමු. උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුන දුන් මා මේ සම්බන්ධව ඥාණසම්පන්නෝ හිමියන් වැඩසිටින ආරාමය සොයා ගියෙමි. උන්වහන්සේට විද්‍යුත් ලිපියක් ලියා මේ ප්‍රශ්නයට පිලිතුරු සපයන ලෙස ඉල්ලා සිටියෙමි. දින කිහිපයකින් මට පිලිතුරක් පැමිණියේය. මේ පොත මුද්‍රණයෙන් පසු ඇති වූ විරෝධය නිසා සංශෝධනයක් සහිතව මේ පොත යලිත් මුද්‍රණය කල බවත් එහි සඳහන් වී තිබුණි. කුමක් පිලිගන්නදැයි විමසුම ඔබ සතුය. කරුණු පැහැදිලිවම දක්වා ඇත. මම සලකා බැලූ කරුණු මේවාය. භූරිදත්ත හිමියන්ගේ භාවනා ක්‍රමය: උන්වහන්සේ නිමිත්ත පහල වූ පසු ඒ පිටුපස ගොස් අතර මංවූ බව පොතේ කියැවෙයි. ඊට පසු මේ ශරීරයේ ඇති කොටස් ගැන භාවනා කිරීමෙන් උන්වහන්සේ මග සොයා ගත් බව පොතේ සඳහන් වී ඇත. මේ ලඟදී ලංකාවට පැමිණි අචාර්ය බ්‍රහ්මවන්සෝ ස්වාමීන් වහන්සේගේ භාවනා ක්‍රමය මීට වෙනස්ය. උන්වහන්සේගේ ක්‍රමය ප්‍රථමයෙන් සමථ විය යුතු බවයි. ක්‍රමයෙන් නිමිත්ත දිස් වන විට ඒ නිමිත්ත පැහැදිලි වූ පසු විදර්ශනා භාවනාව පටන් ගත යුතු බව උන්වහන්සේ පවසයි. එසේ නම් නියම ක්‍රමය කුමක්ද? නියම ක්‍රම කිහිපයක් ඇති බව පෙනෙයි. භූරිදත්ත හිමි පසු කලෙක භාවනා කිරීමේදී හිස් මුදුනෙන් ඉහලට පිටව ගොස් දෙව් විමන් අතර සැරිසරා ඇති බවක් පොතේ සඳහන් වී ඇත. භූරිදත්ත හිමි පවසන් අන්දමට නිවණට සැපත් උත්තමයින් වහන්සේලා නිවන් අවබෝධ කර ගැනීම පිනිස වෙහෙසන කෙනෙකුට පිහිට වෙන බව පැහැදිලිය. මරුවා පැරදවීමෙන් අදහස් කෙරෙන්නේ සදහටම මරුවා පැරදවීමද? මම කියවා ඇත්තේ පරණ මුද්‍රණයයි. අලුත් මුද්‍රණය මම බා ගත්තෙමි. පරණ මුද්‍රණය සංසදයේ භවතුන් කිහිප දෙනෙකුට යවා ඇත්තෙමි. මට ඊමේල් එකක් එවන්න, අලුත් මුද්‍රණය මට එවිය හැක. ----- Forwarded Message ----From: Webenglish To: Sarath Gunatunga Sent: Friday, 30 January, 2009 10:04:33 PMSubject: Re: With great respect for you sir Dear Sarath, when this book came out 2519 and then an english translation travelled to Sri Lank an storm of protest came from Sri Lanka and Thailand, that this is not possible, so in the next publication of the Biography a letter in which Than Acharn Maha Boowa addressed this problem was included with the publication, you can find the translation of this in the appendix answering the sceptics. If you still have questions you are free to ask. Metta Than Martin On Mon, Jan 12, 2009 at 4:58 AM, Sarath Gunatunga <ramanee@xtra.co.nz> wrote: May the noble Triple Gem bless you. Dear Rev Sir I wish to get a point verified. It is with regard to a book written by Rev Maha Boowa Gnanasampanno. The title of the book is "Acharya Mun Bhuridaththa." In that book, in page 63, he states that, " ……..Acharya Mun said listening to a discourse delivered by one of Lord Buddha's arahant disciples made him feel that he is in the presence of the Buddha himself, though he had no prior recollection of meeting the Buddha….." The way I understand is, Buddha though attained parinibbana, is not in human form, lost the body composed of the four great elements (apo thejo vayo pathawi) but still available to advise to any one to instruct and guide in deep religious matters.such as attaining arahantship etc. I would be most thankful to you if you can enlighten me on this subject. Kind regards With Meththa Sarath Gunatunga

මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ !!! 8

භූරිදත්ත හිමි දුට්ඨංග භික්ෂුවක් ලෙස බොහෝ කාලයක් චියෑංමායි ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ ගත කල සේක. එක් එක් ස්ථානයන්හි උන්වහන්සේ වස්සානය ගත කලහ. බොහෝ අවස්ථාවලදී උන්වහන්සේ අති බිහිසුණු වනසතුන් මධ්‍යයේ කිසිදු බියක් නොමැතිව වනාන්තර වල ගත කලහ. නමුත් බිහිසුණු වනාන්තරවලදී උන්වහන්සේට ඉතා පහසුවෙන් 'චිත්ත දමනය' කර ගෙන විදර්ශනා වැඩීම පහසු විය. සාමාන්‍යයෙන් මේ අන්දමේ ජීවිත රටාවක් ඉතා දුශ්කර වුවත් භූරිදත්ත හිමියන්ගේ ජීවිතය ලොවට ආදර්ශයක් වන්නේ උන්වහන්සේගේ අධිෂ්ඨාන ශක්තියත්, වීර්යයත් නිසාය. මිනී කන කොටින්ගෙන් හා අනෙක් වනගත සතුන්ගෙන් උන්වහන්සේට කිසිදු හිරිහැරයක් නොවීය. ඇසට පෙනෙන නොපෙනෙන සත්ව කොට්ඨශයන්ගෙන් කරදරයක්ද නොවීය. කෙලෙස් නැසීමට මෙවන් පරිසරයක් උන්වහන්සේට මහෝපකාරී විය. ඒ නිසාම උන්වහන්සේ වනගතව විසීමට ප්‍රියමනාප බවක් ලොවට පෙන්වූ සේක. උන්වහන්සේගේ ශිෂ්‍යයන් පවා උන්වහන්සේගේ ඇසුරට පැමිණියේ ඉතා සුලුකාලයකි. ආරාමයේ පුහුනුවෙන් පසු උන්වහන්සේ තම සිසුන්ට වනගතව භාවනා පුහුනු කිරීමට උපදෙස් දුන්නේ ඒ ක්‍රමය ඉතා ප්‍රතිඵලදායී නිසාය. බොහෝ අවස්ථාවල උන්වහන්සේ තම සිසුන් ගම්මාන වලින් ඈත් වූ දුශ්කර තැන් වලට යන ලෙස පෙලඹ වීය. ඒ අවට ගම්වල ගෙවල් හතරකට පහකට වඩා නොතිබිණි. වැඩිම වුවහොත් ගෙවල් දහයක් තිබිණි. මේ නිසාම භූරිදත්ත හිමියන්ගේ ශිෂ්‍යයෝ ඉතා සිල්වත්, දහමෙහි මනා ලෙස පිහිටන ලද භික්ෂු කොටසක් විය. වන සතුන් ගහන වනාන්තරවල පුහුනු වීම තුලින් චිත්ත සන්සුන්තාවය මනාලෙස වැඩෙන බැව් වැඩි කල් නොගොස්ම ඔවුන් වටහා ගත්හ. වනගතව වෙසෙන භූරිදත්ත හිමියන්ට මිනිස් ඇසුර නැතිවුවත්, දේව, බ්‍රහ්ම, නාග (සර්පයින් නොවේ) ආදී වශයෙන් වෙනත් සත්ව කොට්ඨාශයන්ගෙන් අඩුවක් නොවීය. ලෝකයේ වෙසෙන සත්වයින් ගැන මනා දැනුමක් ඇති උන්වහන්සේ තමන් වහන්සේ පවා ස්වභාව ධර්මයේ කොටසක් බව බොහෝ විට පසා ඇත. උන්වහන්සේගේ ඇසුර අන් සත්ව කොට්ඨාශ වලට ඉතාමත් උපකාරී විය. ඒ ඒ කඳුකර ප්‍රදේශ වල වෙසෙන ගැමියන්ටද උන්වහන්සේගේ ඇසුර ඉතාමත් ප්‍රයෝජන විය. ඒ කඳුකර ගැමියෝ සත්‍යවාදී, අහිංසක මිනිසුන්ය. බුද්ධ ධර්මය තේරුම් ගත් පසු භූරිදත්ත හිමියන්ට ඔවුන් දැක්වුයේ සුහද ගෞරවයකි. සමහර කඳුකර ගෝත්‍රිකයෝ රලු සැරපරුෂ අයව්ලුන් ලෙස ප්‍රසිද්ධව සිටියහ. භූරිදත්ත හිමි වෙනුවෙන් ඔවුන් සිය දිවි පවා පිදීමට සූදනමින් සිටියහ. බූරිදත්ත හිමියන්, ඔවුන් යුක්තිගරුක, වැඩිහිටියන්ට සලකන, සත්‍යවාදී මිනිස් කොට්ඨාශයක් බව පවසති. ගම් ප්‍රධානියාගේ නියෝග පිලිපදින, සාමූහික ජීවිතය පිලිබඳව මනා දැනුමක් ඇති ඔවුන්ට ඉගැන්වීම ඉතා පහසු බව භූරිදත්ත හිමි පවසා ඇත. සොරකම් මැරකම් කෝලාහල මේ පලාත්වල අසන්නටවත් නොමැත. ශීලාචාරයයි සම්මත නාගරික පරිසරයට වඩා මේ පිටිසර බද පෙදෙස් ශීලාචාරය. වන සතුන් කිසිම හිරිහැරයක් නොකරති. වනසතුන් ආශ්‍රයෙන් කෙලෙස් උපදින්නේ නැත. කෙලෙස් උපදින්නේ මිනිසා ඇසුරෙන්ය. වනගත වූ විට කෙලෙස් නූපදින නිසා, භාවනා කිරීමට වනගත වීමට උන්වහන්සේ ප්‍රිය කරන්නේ ඒ නිසාය. පරචිත්ත විජානන ඥාණය උපදවා ගෙන ඇති භූරිදත්ත තෙරුන්ට, උන්වහන්සේගේ සිසුන්ගේ 'චිත්තය' මංමුලා වෙන කොට එයට පිලියමක් යෙදීමට වග බලා ගත්තේය. මේ නිසා උන්වහන්සේගේ සිසුන් උන්වහන්සේ අසලදී විනයානුකූලව හැසිරීමට වග බලා ගත්තෝය. දිනක් සැන්දෑවක භූරිදත්ත හිමි සහ එක්තරා ජ්‍යෙෂඨ භික්ෂුවක් ගම අසල වූ දොලකට ස්නානය සඳහා ගියහ. ස්නානය කරන අතර අනෙක් භික්ෂුවට දිස්වූයේ වැඩ අවසන් වී ගෙදර යන තරුණියන් පිරිසකි. ඒ තරුනියන් දුටු අනෙක් භික්ෂුවට රාගාත්මක සිතිවිලි ඉපදී මැඩ පවත්වා ගැනීමට නොහැකි විය. උන්වහන්සේ ව්‍යාකූල ස්වභාවයකට පත්විය. එකක්, භූරිදත්ත හිමිට ඇති බිය ය. අනෙක ලැජ්ජාවය. මේ භික්ෂුව නිදිවර්ජිත රාත්‍රියක් ගත කලේය. භූරිදත්ත හිමි සියල්ල දැනසිටියහ. උන්වහන්සේ කලබල වුවහොත් ඉතා බැරෑරුම් තත්වයක් උද්ගත වන බවද දැනසිටියහ. පසුදින උදෑසන අර භික්ෂූන්වහන්සේ භුරිදත්ත හිමි හමුවන විට වෙවුලන ස්වභාවයකින් යුක්ත විය. භූරිදත්ත හිමියන් උන්වහන්සේට අහිංසක සිනාවකින් සංග්‍රහ කලේය. ඊට පසු ඒ භික්ෂුව අමතා "ඔබ ඉතා උත්සාහවන්තව කටයුතු කරන බව පෙනේ... අද පිණ්ඩපාතය සඳහා යාමට උවමනා නැත. අපි ඔබ සඳහා පිඬු සිඟා වඩින්නෙමු. ඔබ භාවනා කරන්නැයි" වදාලහ. මෙතෙක් ගැහි ගැහී සිටි ඒ භික්ෂූන් වහන්සේගේ සිතට සැනසිල්ලක් පැමිණියේ එවිටය.