Sunday, April 19, 2009

මාර්ග, ඵල, සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ - 12

භූරිදත්ත හිමියන්ගේ විමුක්තියෙන් පසු මෙලොව බිහි වුනු බුදුවරු උන්වහන්සේලාගේ පරිවාර රහතන් වහන්සේලා සමගින් භූරිදත්ත හිමි බැහැදැකීමට පැමිනි බවත් එක් එක් රාත්‍රියකට එක් බුදු වරයෙක් දෘශ්‍යමාන වූ බවත් උන්වහන්සේ පවසා ඇත.. ඒ රහතන් වහන්සේලා අතර ලාබාළ "සාමණේර" වරු කිහිප දෙනෙක්ද වූහ. ඒ චිත්තය ඉතාමත්ම පාරිශුද්ධ වූ හිමි වරුය. ඔවුන්ද රහතුන් ගනයටම වැටෙත්. ඒ බුදුවරු භූරිදත්ත හිමියන්ට ප්‍රසංශා කිරීමට පැමිණ ඇත. ඒ එක් තථාගතයන් වහන්සේ නමක් භූරිදත්ත හිමියන්ට මෙසේ වදාල සේක. "මම තථාගතයන් වහන්සේ වම්හ. ඔබ සංසාරය නම් වූ මේ නිමක් නොමැති බන්ධනාගාරයෙන් සදහටම නිදහස් වීම ගැන මගේ සතුට ප්‍රකාශ කිරීම පිණිස පැමිණියෙමි. මේ සිපිරිගෙය ඉතා විශාලය, පහසුවෙන් බිඳ හෙලිය නොහැකිය. එය මන මුලාකරවන, මනස වරදට පොලඹවන නොයෙකුත් දේවල් වලින් ගහණය. ලොව ජීවත්වන්නෝ අතරින් මේ දුක් කන්දරාවෙන් නිදහස් වීමට වෙහෙස ගන්නෝ ඉතාමත් විරලය. ඔවුන් ජීවත්වන් ලෝකයේ රෝගයට පිලියම් ඇති නමුත් ඒ පිලියම් ගැනීමට ඔවුන් මැලි වෙති. පිලියම් බොහෝසෙයින් ඇත. නමුත් ඔවුන් ඒ ඖෂධ ගැනීම පිලිකෙව් කරති. බුද්ධ ධර්මය වනාහී ඉතා වටිනා ඖෂධයකි. සසර සැරිසරණ සත්වයෝ ඉතා පීඩාකාරී වූ කෙලෙස් නම් වූ රෝගයන්ගෙන් සීමාරහිත ලෙස දුක් විඳින්නාහ. ධර්මය නම් වූ ඖෂධයෙන් මේ රෝග නිෂ්ඨාවටම සුව කලහැක. සුව නොකල හොත් කායික හා මානසික වශයෙන් නානා විධ ආත්මභාවයන්හි දුක් විඳ සැරිසරනු ඇත. ධර්මය මේ ලෝ තලයේ ඇති වුවත් ඒ ධරමය නොපිලිපදින්නේ නම් එහි ඇති සුව දායක ගුණ කෙසේ නම් ලබන්නේද? බුද්ධ ධර්මය ඒ ධර්මයේ ස්වාභාවික අන්දමටම සදා පවතින්නේය. සසර සැරිසරන සත්වයෝ, ඉපිදී, මියැදී, චක්‍රාකාරයෙන් දුකම විඳිති. ඔවුන්ට ගැලවීමක් නැත. ධර්මානුකූලව ජීවිතය සකසා ගැනීමෙන් හැර වෙන පිලියමක් මෙයට නැත. කොපමණ බුදුවරු ලොව පහල වුවත්, ඒ බුද්ධ ධර්මය කොපමණ ගැඹුරු වුවත්, නියම කරන ලද ඖෂධය නොගන්නේ නම් කිසිම පිලියමක්ද නැත. සියලුම තථාගතයන් වහන්සේලා දේශනා කරන ලද ධර්මය එකමය. එහි වෙනසක් නොමැත. ඕනෑම හදවතක ඇති කෙලෙස් ශුද්ධ කිරීමේ හැකියාවක් ධර්මයට ඇත. ධර්මයත්, ක්ලේශයනුත් ප්‍රඥාවෙන් විමසා සටන් කිරීමේදී විමසිලිමත් විය යුතුය. . කෙලෙසුන්ට ඉඩදෙයි නම් කෙලෙසුන්ම ජය ගනී. ඔවුන්ට ධර්මය කාලය විනාශ කිරීමක් සේ පෙනීමට පුලුවන. මේ ලෝකය විශාල තෙල් කටාරමක් වැනිය. එය කෙලෙස් නමැති උෂ්ණයෙන් පැසි පැසී පවතී. මෙයින් ගැලවීමට නොහැක. තථාගතයන් වහන්සේලා සාමාන්‍ය අන්දමට දෘශ්‍යමාන වූ කල භූරිදත්ත හිමියන්ට ඇතිවූයේ විශාල කුතුහලයකි. කිසිම ශේෂයක් නොමැතිව, ආනුපාදිසේස නිවනට සැපත් වූ තථාගතයන් වහන්සේලා හා මහ රහතන් වහන්සේලා යලි දෘශ්‍යමාන වුයේ කෙසේද? යනු භූරිදත්ත හිමියන්ට විසඳාගත නොහැකි වූ ප්‍රශ්නයකි. මේ පැනය සිතට නැගෙනවාත් සමගම තථාගතයන් වහන්සේ මෙසේ කරුණු පැහැදිලි කල සේක. (පිට 174 – 175 The Biography of Acharya Mun Second Edition Lungta Website) "අනුපාදිසේස නිවන අවබෝධ කර ගත් බුදුවරු සහ රහතන් වහන්සේලා තවමත් සාමාන්‍ය මිනිස් සිරුරක් ඇති, නමුත් හදවත ඉතා පිරිසිදු රහතන් වහන්සේ කෙනෙක් සමග හමුවක් අවශ්‍ය වූ විට ඒ පිරිනිවි උත්තමයින්ට සාමාන්‍ය මිනිස් වෙසින් පෙනී සිටිය හැක. මනුශ්‍ය සිරුරක් ඇති ඔබ වැනියන්ට අපි මේ අන්දමට ස්වාභවිකව දිස් නොවන්නේ නම්, හඳුනාගැනීම අපහසු වනු ඇත. එසේම, හමුවිය යුතු රහතන් වහන්සේලා සියල්ලෝම පිරිනිවී නම් එවන් දෙයක් කිසිසේත් අවශ්‍ය නොවේ. ඒ අවස්ථාවල ක්‍රියාකාරී වන්නේ වෙනත් ධර්මයකි. සියලුම බුදුවරු අතීතයත් අනාගතයත් දන්නා සේක. නිමිති මාර්ගයෙන් ඒ උත්තමයින්ට අවශ්‍ය තැනට සිත යොමු කිරීමට හැකියාව ඇත. උදාහරණයක් වශයෙන් ලොව පහල වී ඇති බුදු කෙනෙකුට පෙර ලොව පහලව සිටි බුදු කෙනෙක් ගැන දැන ගැනීමට අවශ්‍ය වූ විට උන්වහන්සේ ඒ අතීතයේ විසූ බුදු හිමියන්ගේ නිමිත්ත මගින් කරුණු ගලපා සොයා ගනියි. පරිනිර්වාණයට පත්වූ 'චිත්ත' දෙකක හමුවක් අවශ්‍යවූ විට එය සිදු වන්නේ ඉතාම වෙනස් අන්දමකටය. එය මිනිස් චිත්තයකට අදෘශ්‍යමානය. පරිනිර්වානයට පිවිසිනු චිත්ත දෙකක් අතර සබැඳියාවක් පැවතිය යුතු නම් එහි ඇත්තේ "ඥාණාත්මක දැනුම" පමණි. (essential knowing quality of pure mind). (නිවණ අසංඛත, කිසිම දෙයකට යටත් නොවූ තත්වයක් බව මේ පොතේම විශේෂ සටහන් වල ලියැවී ඇත. එවන් නිවණක් අවබෝධ කරගත් උතුමන් මෙලොව හා කිසිම සබැඳියාවක් නැතිබව පැවසීම, අසංඛත වන නිවණ සංඛත කිරීමක් හා සමාන බව මෙහි සඳහන් වේ) කෙසේ වෙතත්, විමුක්තිය, නිවණ, සහ එහි ඇති නියම අරුත, වචනවලින් හෝ කිසිම භාෂාවකින් විස්තර කල නොහැක. එය අසීමිතය. (භූරිදත්ත හිමියන්ගේ පිරිනිවීමෙන් පසු, උන්වහන්සේගේ භෂ්මාවශේෂ දීප්තිමත් මැණික් කැට මෙන් වර්ණවත් වී ඇත. එහි ඡායාරූපයක් මේ පොතේ ඇතුලත් කර ඇත. එවැනි උත්තමයෙක් කරන ලද ප්‍රකාශයක් සත්‍ය වශයෙන් මම පිලි ගතිමි.) මෙතෙක් වේලා භූරිදත්ත හිමි හා සාකච්ඡා කලේ බුදු හිමියන් පමනකි. පරිවාර රහතන් වහන්සේලා නිශ්ශබ්දව වැඩ හුන්හ. 'සාමණේර" ස්වාමීන් වහන්සේලා පවා අති පූජනීය ලෙසටත් විශාරද ලෙසටත් වැඩ සිටියහ. සමහර සාමණේර ස්වාමීන් වහන්සේලා වයස 10ක් පමණ තරම් වූහ. ඔබට බුදුන්, දහම්, සඟුන් යන ත්‍රිවිධ රත්නය කෙරෙහි කිසියම් සැකයක් ඇත්දැයිද යනුවෙන් තථාගත්යන් වහන්සේ විචාලහ. නැත ස්වාමීනි, යයි භූරිදත්ත හිමි පිලිතුරු දුන්හ. එසේ ප්‍රශ්න කලේ ඔබට සැකයක් නැති බව මා හොඳට දන්නා නිසාය යනුවෙන් තථාගතයන් වහන්සේ පිලිතුරු දුන්හ. බුදු සමයයෙහි භාවනා ක්‍රම ගැන ව්මැසූ භූරිදත්ත හිමිට ඒ පිලිබඳව විස්තර සහිත නිරූපණයක්ද දර්ශණය විය.... බුදු හිමි හෝ ශ්‍රාවක රහතන් වහන්සේ නමක් සමාධි ගතව වැඩ හිඳින ආකාරයත්, සක්මන් භාවනා කරන විට ධර්මයට ගරුකල යුතු ආකාරයත් පැහැදිලිව නිරූපණය කල සේක. උන්වහන්සේගේ දේශනය අවසානයේ, බුදු හිමි ඇතුලු රහතන් වහන්සේලා නිමේශයකින් අදෘශ්‍යමාන වූ සේක.

2 comments:

Chamitha said...

ඉතාම ගැටලුසහගතයි. බුද්ධිය කළඹන කථාවක්.

මට නම් හිතෙන ආකාරයට මහත්මයා භෂ්මාවශේෂ යැයි ඔබ සිතන, දීප්තිමත් මැණික් කැට මෙන් වර්ණවත් යමක් අඩංගු රූපයක් දුටු පමණින් මෙවැනි දෙයක් විශ්වාස කිරීම ඔබ වැනි පුද්ගලයෙකුට සුදුසු නැහැ. බුදුරජාණන් වහන්සේ කීවේ උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් කිව් සද්ධර්මය කෙරෙහි පමණක් ශ්‍රද්ධාව ඇතිකරගන්න ලෙස. නිවනට එකම මඟ බුදුරජාණන්වහන්සේගේ දේශනය පමණයි. අනිත් සියලුම දේ වැදගත්කමින් ද්විතියිකයි. අනෙක් අතට මෙවන් වැදගත් කරුණක් සැබෑ නම් එය බුදුරදුන්ගේ පන්සාළිස් වසරක ධර්ම චාරිකාවේ කොතැනක හෝ සඳහන් වී තිබෙන්න ඕනෙ. මම හිතන ආකාරයට ත්‍රිපිටක අභිධර්මය කියවීම වඩා ප්‍රඥාගෝචරයි. අන් සෑම දේකින්ම වෙන්නේ අප සත්‍යයෙන් ඈතින් ඈතට යන එකයි...

Chanaka Aruna Munasinghe said...

වෙද මාමේ. බොහොම කාලෙකින්.
ආපහු ලියන්න පටන් ගත්ත එක ගැන සතුටුයි.