Friday, April 10, 2009

මාර්ග, ඵල, සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ - 10

මේ මාතෘකාව යටතේ මීට පෙර සටහන් නවයක් මා පලකොට ඇත. එක්තරා සන්ධි සථානයක ඒ සටහන් පෙල නතර කිරීමට සිදුවිය. මා කියැ වූ කරුණු සැක හැර නියත වශයෙන් දැන ගැනීමට අවශ්‍ය නිසා එය තාවකාලිකව නතර කලෙමි. පසුගිය මාසය තුලදී මාගිය දීර්ඝ චාරිකාවේදී ඒ කරුණු සත්‍ය බවට මගේම හෘදය සාක්ෂියට එකඟව මම පිළිගතිමි. මා නතර කල තැන් සිට මම යලිත් මේ සටහන් පෙල ආරම්භ කරන්නෙමි. තායිලන්තයේ වැඩ වසන ධුත්තංග කම්මත්ථාන භික්ෂූන් වහන්සේ නමක් වන ආචාර්ය මහා බූව ඥාණසම්පන්නෝ හිමියන් විසින් සම්පාදිත, උන්වහන්සේගේ ආචාර්ය භූරිදත්ත හිමියන්ගේ චරිතාවදනයෙහි පරිවර්තනයක් වන "මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ" යන මාතෘකාව යටතේ කොටස් වශයෙන් සටහන් කිහිපයක් කොටස් වශයෙන් පලකල බව ඔබට මතක ඇත. මේ පොත නොමිලයේ පහත සඳහන් වෙබ් අඩවියෙන් බාගත හැක. වැඩි විස්තර සඳහා මේ වෙබ් අඩවියට පිවිසෙන ලෙසට මම ඔබෙන් ඉල්ලා සිටිමි. http://www.luangta.com/English/Index.html ඥාණසම්පන්නෝ හිමි, තවමත් ජීවතුන් අතර වැඩ වසති. දැනට වයස 94කි. උන්වහන්සේගේ දායකයින් උන්වහන්සේ වෙනුවෙන් බොහෝ විට පැන වලට පිලිතුරු සපයනු ලැබේ. සමහර විට උන්වහන්සේම විද්‍යුත් ලිපි වලට පිලිතුරු සපයයි. මේ සටහනෙහි අඩංගු කරුණු ගැන යම් කිසි කෙනෙකුට කිසිම සැකයක් හෝ අවිශ්වාසයක් ඇත්නම් පළමුවෙන් "The Biography of Acharya Mun” යන පොතේ Appendix one කියවන්න. තව දුරටත් කරුණු පැහැදිලි කිරීමට අවශ්‍ය නම් ඒ වෙබ් අඩවියට විද්‍යුත් ලිපිය යොමු කරන්න. පොතේ දෙවැන් සංස්කරණය පිටු 500කට අධික වුවද, ප්‍රථම සංස්කරණයට වඩා කුඩාය. හැකිනම් මුලුපොතම ලබා ගෙන කියවන්න. බුදුදහම දෙස, වඩා ආශාවකින් හා ලැදියාවකින් බැලීමට ඔබට හැකි වනු ඇත. ධුත්තංග සහ කම්මත්තාන යන වචන යොදා ඇත්තේ ඒ භික්ෂූන්ගේ පුහුනු වීම් ආදී දෛනික දෙවල් ආශිතවය. උන්වහන්සේලාට නියත වාසස්ථානයක් නැත. ජීවත් වන්නේ වන සතුන් මැද ගල්ගුහා, රුක්සෙවණ, ආදී ස්ථානවලය. පාංශුකූල සිවුරුම පාවිච්චි කරති. බුදුන් වහන්සේ දේශනා කල පරිදි සිවුරු අඳින්නේ විලි වසා ගැනීමටත්, උශ්ණයෙන් සහ සීතලෙන්ද, මැසි මදුරුවන්ගෙන්ද ආරක්ෂා වීම්ටත් යන සිල් පද දිවි හිමියෙන් රක්ෂා කරති. මෙවන් ශීලයක් රකින මේ භික්ෂූන් වහන්සේලා ආධ්‍යාත්මික අතින් ඉතා දියුණු තත්වයකට පැමිණීම පුදුමයක් නොවේ. භූරිදත්ත හිමි ඉතාමත් දයාවෙන් සිය ගෝලයින්ට ධර්මය ඉගැන්වූ සේක. එහි ප්‍රතිඵල ඒ වන විටද දක්නට ඇත. උන්වහන්සේට, උන්වහන්සේ කෙරෙහි දයාව ඉපදවීමට කාලය පැමිණ ඇති බව වැටහුනු සේක. වනසතුන් මැද වනගතව වාසය කිරීමෙන් අනාගත භවයක් පිළිබඳ සිතුවිලි ඇති නොවන බව උන්වහන්සේ පලපුරුද්දෙන් දුටු සේක. සියලුම බැඳීම් වලින් වෙන්ව වනගත වාසයෙන් මේ දුක් කන්දරාවෙන් නිදහස් විය හැකි බව උන්වහන්සේ දැන සිටියහ. මෙතෙක් කල අන්‍යයන් උදෙසා තිබූ කරුණාව මොහොතකට වියැලී ගියේය. උන්වහන්සේගේ කරුණාව තමන් වහන්සේ කෙරෙහි යොමු විය. "මා තථාගතයන් වහන්සේගේ අප්‍රමාද ශ්‍රාවකයෙක් වෙමි. උට්ඨාන වීර්යයෙන් යුතුව මා ධර්මයෙහි හැසිරී ඇත. මා දැන් සම්ප්‍රාප්ත වී ඇත්තේ මේ ඝෝර සසරෙන් එතරව, නිවණ අවබෝධ කර ගැනීමටයි. බුදුන් වහන්සේ ප්‍රථමයෙන් සත්‍යය අවබෝධකොට ඉන් පසුව මහ රහතන් වහන්සේලාට මග පෙන් වූ සේක. ඒ රහතන් වහන්සේලා ඉන් පසුව තවත් ලක්ෂ සංඛ්‍යාත රහතන් වහන්සේලාට මග පෙන්වා ඇත. මම තවම එතරම් උතුම් තත්වයකට පැමිණ නොමැත. මගේ ආධ්‍යාත්මික දියුණුව ගැන මා උනන්දු විය යුතුය. දහම් අවබෝධයෙහි මා තව කල් ගත් කලයුතුය. එවිට මටද ඒ අවස්ථාව ලඟා වෙනු ඇත."... දැනට මා ගෙන යන්නේ ක්ලේශයන් හා මාර්ග ඵල අතර සටනකි. එයින් ධර්මය දිනිය යුතුය. 'චිත්තය'ට නිදහස ලබා ගැනීමට ධර්මයම දිනිය යුතුය. චිත්තයට ධර්මය අවබෝධ නොවී කෙලෙස් රිංගා ගතහොත් යලිත් කෙලවරක් නොමැති උපත-විපත චක්‍රය ආරම්භ වෙයි. මගේ උට්ඨාන වීර්යයත්, ප්‍රඥාවත් යොමුකොට මේ කෙලෙස් මා විසින් පැරද විය යුතුමය. මේ කෙලෙස් පරදවා දැමීමෙට කාලය එලඹ ඇත. මේ සටනින් මා මිය ගියත්, එය එසේම වේවා. මට වෙන විකල්පයක් නොමැත................" භූරිදත්ත හිමියෝ සිය සිත් මෙහෙයවූයේ මේ අන්දමට, නොසෙල්වෙන අන්දමටය. සක්මන් කරද්දීත්, හිඳගෙන සිටිද්දීත්, සයනාගතව සිටිද්දීත්, උන්වහන්සේගේ නොපසුබස්නා උත්සාහයත්, වීර්යයත් මෙසේ විය. උන්වහන්සේගේ අවධානයත්, ප්‍රඥාවත් එකිනෙක හා එක්වී චිත්තයට හසුවූ සෑම දෙයක්ම නිරීක්ෂනය කිරීමට පුලුවන් විය..

2 comments:

Narada said...

ස්තුතියි මාමේ, තවමත් සම්ප්‍රදායික ක්‍රම වලින් තදටම සිතන්න පුරුදු වෙලා නිසාදෝ ඇතැම් අයට පිළිගන්නට අපහසු ඇති. මේ කතාව පිළිගත්තත් නැතත් කියැවිමට වටිනා බව මගේ මතයයි, නමුත් දැනට මම මේ පොතේ කියවා ඇත්තේ ටිකයි, අම්මාගෙන් ඉල්ලාගෙන කියවන්න ඕනේ. එය ලංකාවෙන් ගෙනාවාදැයි ම්ම දන්නේ නැහැ. ඔබට බොහෝ පිං සිදු වේවා මාමේ.

Unknown said...

http://www.youtube.com/watch?v=gddNFJVQbN0&feature=related