Sunday, April 19, 2009

මාර්ග, ඵල, සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ - 12

භූරිදත්ත හිමියන්ගේ විමුක්තියෙන් පසු මෙලොව බිහි වුනු බුදුවරු උන්වහන්සේලාගේ පරිවාර රහතන් වහන්සේලා සමගින් භූරිදත්ත හිමි බැහැදැකීමට පැමිනි බවත් එක් එක් රාත්‍රියකට එක් බුදු වරයෙක් දෘශ්‍යමාන වූ බවත් උන්වහන්සේ පවසා ඇත.. ඒ රහතන් වහන්සේලා අතර ලාබාළ "සාමණේර" වරු කිහිප දෙනෙක්ද වූහ. ඒ චිත්තය ඉතාමත්ම පාරිශුද්ධ වූ හිමි වරුය. ඔවුන්ද රහතුන් ගනයටම වැටෙත්. ඒ බුදුවරු භූරිදත්ත හිමියන්ට ප්‍රසංශා කිරීමට පැමිණ ඇත. ඒ එක් තථාගතයන් වහන්සේ නමක් භූරිදත්ත හිමියන්ට මෙසේ වදාල සේක. "මම තථාගතයන් වහන්සේ වම්හ. ඔබ සංසාරය නම් වූ මේ නිමක් නොමැති බන්ධනාගාරයෙන් සදහටම නිදහස් වීම ගැන මගේ සතුට ප්‍රකාශ කිරීම පිණිස පැමිණියෙමි. මේ සිපිරිගෙය ඉතා විශාලය, පහසුවෙන් බිඳ හෙලිය නොහැකිය. එය මන මුලාකරවන, මනස වරදට පොලඹවන නොයෙකුත් දේවල් වලින් ගහණය. ලොව ජීවත්වන්නෝ අතරින් මේ දුක් කන්දරාවෙන් නිදහස් වීමට වෙහෙස ගන්නෝ ඉතාමත් විරලය. ඔවුන් ජීවත්වන් ලෝකයේ රෝගයට පිලියම් ඇති නමුත් ඒ පිලියම් ගැනීමට ඔවුන් මැලි වෙති. පිලියම් බොහෝසෙයින් ඇත. නමුත් ඔවුන් ඒ ඖෂධ ගැනීම පිලිකෙව් කරති. බුද්ධ ධර්මය වනාහී ඉතා වටිනා ඖෂධයකි. සසර සැරිසරණ සත්වයෝ ඉතා පීඩාකාරී වූ කෙලෙස් නම් වූ රෝගයන්ගෙන් සීමාරහිත ලෙස දුක් විඳින්නාහ. ධර්මය නම් වූ ඖෂධයෙන් මේ රෝග නිෂ්ඨාවටම සුව කලහැක. සුව නොකල හොත් කායික හා මානසික වශයෙන් නානා විධ ආත්මභාවයන්හි දුක් විඳ සැරිසරනු ඇත. ධර්මය මේ ලෝ තලයේ ඇති වුවත් ඒ ධරමය නොපිලිපදින්නේ නම් එහි ඇති සුව දායක ගුණ කෙසේ නම් ලබන්නේද? බුද්ධ ධර්මය ඒ ධර්මයේ ස්වාභාවික අන්දමටම සදා පවතින්නේය. සසර සැරිසරන සත්වයෝ, ඉපිදී, මියැදී, චක්‍රාකාරයෙන් දුකම විඳිති. ඔවුන්ට ගැලවීමක් නැත. ධර්මානුකූලව ජීවිතය සකසා ගැනීමෙන් හැර වෙන පිලියමක් මෙයට නැත. කොපමණ බුදුවරු ලොව පහල වුවත්, ඒ බුද්ධ ධර්මය කොපමණ ගැඹුරු වුවත්, නියම කරන ලද ඖෂධය නොගන්නේ නම් කිසිම පිලියමක්ද නැත. සියලුම තථාගතයන් වහන්සේලා දේශනා කරන ලද ධර්මය එකමය. එහි වෙනසක් නොමැත. ඕනෑම හදවතක ඇති කෙලෙස් ශුද්ධ කිරීමේ හැකියාවක් ධර්මයට ඇත. ධර්මයත්, ක්ලේශයනුත් ප්‍රඥාවෙන් විමසා සටන් කිරීමේදී විමසිලිමත් විය යුතුය. . කෙලෙසුන්ට ඉඩදෙයි නම් කෙලෙසුන්ම ජය ගනී. ඔවුන්ට ධර්මය කාලය විනාශ කිරීමක් සේ පෙනීමට පුලුවන. මේ ලෝකය විශාල තෙල් කටාරමක් වැනිය. එය කෙලෙස් නමැති උෂ්ණයෙන් පැසි පැසී පවතී. මෙයින් ගැලවීමට නොහැක. තථාගතයන් වහන්සේලා සාමාන්‍ය අන්දමට දෘශ්‍යමාන වූ කල භූරිදත්ත හිමියන්ට ඇතිවූයේ විශාල කුතුහලයකි. කිසිම ශේෂයක් නොමැතිව, ආනුපාදිසේස නිවනට සැපත් වූ තථාගතයන් වහන්සේලා හා මහ රහතන් වහන්සේලා යලි දෘශ්‍යමාන වුයේ කෙසේද? යනු භූරිදත්ත හිමියන්ට විසඳාගත නොහැකි වූ ප්‍රශ්නයකි. මේ පැනය සිතට නැගෙනවාත් සමගම තථාගතයන් වහන්සේ මෙසේ කරුණු පැහැදිලි කල සේක. (පිට 174 – 175 The Biography of Acharya Mun Second Edition Lungta Website) "අනුපාදිසේස නිවන අවබෝධ කර ගත් බුදුවරු සහ රහතන් වහන්සේලා තවමත් සාමාන්‍ය මිනිස් සිරුරක් ඇති, නමුත් හදවත ඉතා පිරිසිදු රහතන් වහන්සේ කෙනෙක් සමග හමුවක් අවශ්‍ය වූ විට ඒ පිරිනිවි උත්තමයින්ට සාමාන්‍ය මිනිස් වෙසින් පෙනී සිටිය හැක. මනුශ්‍ය සිරුරක් ඇති ඔබ වැනියන්ට අපි මේ අන්දමට ස්වාභවිකව දිස් නොවන්නේ නම්, හඳුනාගැනීම අපහසු වනු ඇත. එසේම, හමුවිය යුතු රහතන් වහන්සේලා සියල්ලෝම පිරිනිවී නම් එවන් දෙයක් කිසිසේත් අවශ්‍ය නොවේ. ඒ අවස්ථාවල ක්‍රියාකාරී වන්නේ වෙනත් ධර්මයකි. සියලුම බුදුවරු අතීතයත් අනාගතයත් දන්නා සේක. නිමිති මාර්ගයෙන් ඒ උත්තමයින්ට අවශ්‍ය තැනට සිත යොමු කිරීමට හැකියාව ඇත. උදාහරණයක් වශයෙන් ලොව පහල වී ඇති බුදු කෙනෙකුට පෙර ලොව පහලව සිටි බුදු කෙනෙක් ගැන දැන ගැනීමට අවශ්‍ය වූ විට උන්වහන්සේ ඒ අතීතයේ විසූ බුදු හිමියන්ගේ නිමිත්ත මගින් කරුණු ගලපා සොයා ගනියි. පරිනිර්වාණයට පත්වූ 'චිත්ත' දෙකක හමුවක් අවශ්‍යවූ විට එය සිදු වන්නේ ඉතාම වෙනස් අන්දමකටය. එය මිනිස් චිත්තයකට අදෘශ්‍යමානය. පරිනිර්වානයට පිවිසිනු චිත්ත දෙකක් අතර සබැඳියාවක් පැවතිය යුතු නම් එහි ඇත්තේ "ඥාණාත්මක දැනුම" පමණි. (essential knowing quality of pure mind). (නිවණ අසංඛත, කිසිම දෙයකට යටත් නොවූ තත්වයක් බව මේ පොතේම විශේෂ සටහන් වල ලියැවී ඇත. එවන් නිවණක් අවබෝධ කරගත් උතුමන් මෙලොව හා කිසිම සබැඳියාවක් නැතිබව පැවසීම, අසංඛත වන නිවණ සංඛත කිරීමක් හා සමාන බව මෙහි සඳහන් වේ) කෙසේ වෙතත්, විමුක්තිය, නිවණ, සහ එහි ඇති නියම අරුත, වචනවලින් හෝ කිසිම භාෂාවකින් විස්තර කල නොහැක. එය අසීමිතය. (භූරිදත්ත හිමියන්ගේ පිරිනිවීමෙන් පසු, උන්වහන්සේගේ භෂ්මාවශේෂ දීප්තිමත් මැණික් කැට මෙන් වර්ණවත් වී ඇත. එහි ඡායාරූපයක් මේ පොතේ ඇතුලත් කර ඇත. එවැනි උත්තමයෙක් කරන ලද ප්‍රකාශයක් සත්‍ය වශයෙන් මම පිලි ගතිමි.) මෙතෙක් වේලා භූරිදත්ත හිමි හා සාකච්ඡා කලේ බුදු හිමියන් පමනකි. පරිවාර රහතන් වහන්සේලා නිශ්ශබ්දව වැඩ හුන්හ. 'සාමණේර" ස්වාමීන් වහන්සේලා පවා අති පූජනීය ලෙසටත් විශාරද ලෙසටත් වැඩ සිටියහ. සමහර සාමණේර ස්වාමීන් වහන්සේලා වයස 10ක් පමණ තරම් වූහ. ඔබට බුදුන්, දහම්, සඟුන් යන ත්‍රිවිධ රත්නය කෙරෙහි කිසියම් සැකයක් ඇත්දැයිද යනුවෙන් තථාගත්යන් වහන්සේ විචාලහ. නැත ස්වාමීනි, යයි භූරිදත්ත හිමි පිලිතුරු දුන්හ. එසේ ප්‍රශ්න කලේ ඔබට සැකයක් නැති බව මා හොඳට දන්නා නිසාය යනුවෙන් තථාගතයන් වහන්සේ පිලිතුරු දුන්හ. බුදු සමයයෙහි භාවනා ක්‍රම ගැන ව්මැසූ භූරිදත්ත හිමිට ඒ පිලිබඳව විස්තර සහිත නිරූපණයක්ද දර්ශණය විය.... බුදු හිමි හෝ ශ්‍රාවක රහතන් වහන්සේ නමක් සමාධි ගතව වැඩ හිඳින ආකාරයත්, සක්මන් භාවනා කරන විට ධර්මයට ගරුකල යුතු ආකාරයත් පැහැදිලිව නිරූපණය කල සේක. උන්වහන්සේගේ දේශනය අවසානයේ, බුදු හිමි ඇතුලු රහතන් වහන්සේලා නිමේශයකින් අදෘශ්‍යමාන වූ සේක.

Sunday, April 12, 2009

මාර්ග, ඵල, සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ - 11

භූරිදත්ත හිමි සිය අත්දැකීම් සිය සිසුන්ට පහදා දෙන් කල්හි, ඒ සිසුන් නොසෙල්වී විශ්මයජනක ලෙස භූරිදත්ත හිමියන්ට කන් දුන්හ. නිවණට දොර විවෘත කොට එබී බලන්නැයි සිය සිසුන්ට පැවසුවාක් මෙන් ඔවුන් මින් පෙර කිසිම අන්දමක නොසිතූ විරූ අත්දැකීමක් අත්වින්දහ. ඒ අවස්ථාවේදී භූරිදත්ත හිමි තමා අනාගාමී ඵලයට සම්ප්‍රාප්තව බොහෝ කල ගත වුවද, ඉන් ඔබ්බට පිවිසීම සිය සිසුන් නිසා අතපසු වූ බව පැවසූ සේක. චියෑං මායි ප්‍රදේශයේ වනගත පරිසරය සිය දියුණුවට මහත් රුකුලක් වූ බව උන්වහන්සේ පවසා ඇත. ශාරීරික වශයෙන් උන්වහන්සේ ඉතා යහපත් තත්වයක පසුවිය. මානසික වශයෙන් සිය 'චිත්තය' මනා සේ හසුරුවා ගෙන රශ්මි විහිදෙන හිරු මඬළ සේ බබලන්නට විය. ක්ලේශයන් හා ධර්මයත් අතර සිදුවුනු අභ්‍යන්තර සටන දඩයම් කරන සුනඛයන්ට උන්වහන්සේ උපමා කල සේක. දඩයම් කරන සුනඛයින් සිය ගොදුර මුල්ලකට කොට සිය ශක්තිමත් හකු පාඩා වලින් තීරු තීරු ඉරා ගිල දමන්නාක් මෙන් කෙලෙස් විනාශ කිරීමට උන්වහන්සේට හැකිවිය. 'චිත්තයද', මහා සති-මහා ප්‍රඥා වශයෙන් ඉතාමත් සූදානම් වී පැවතුනි. චින්තනය, නොහොත් චිත්තයේ ක්‍රියා කාරිත්වය විමැසීමට භාජන කල විට, උන්වහන්සේට පෙනී ගියේ රූප ස්ක්න්ධය ප්‍රථමයෙන්ම ප්‍රඥාව වර්ධනය වීමත් සමගම චිත්තයට බලපාන්නේ නැති බව දර්ශනය වීමයි. නමුත් අනෙක් ස්කන්ධ හතර, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, ආදී නාම ස්කන්ධ ඉතා ප්‍රවේශමෙන් විචාරාත්මක ලෙස කරුණු ගලපා සොයා බැලිය යුතු බව භූරිදත්ත හිමි සඳහන් කරයි.. සිද්ධාන්ත මත ගැබ්වූ දැනුමත්, තමාගේ ප්‍රඥාව මෙහෙයවා ලබා ගන්නා අත්දැකීමත් අහස හා පොලොව මෙන් පරස්පර බව භූරිදත්ත හිමියෝ පවසති. සමහර ධර්ම සාකච්ඡා වලදී මේ ගැටලුව මතු වන බව උන්වහන්සේ පෙන්වා දෙයි. මේ මාන්නක්කාර ගති සමහර සිසුන් අතර පවතින බව උන්වහන්සේ පවසා ඇත. මතභේද පවා ඇති වන්නේ එවන් අහංකාර සිසුන් ඇති විටය . බුදුන් වහන්සේ සිය අවධානයත්, ප්‍රඥාවත් යොමු කොට අර්හත් ඵලයට පත් වූ සේක. රහතන් වහන්සේලාද එසේමය. කෙලෙසුන් සමණය කිරීමට මේ දෙකම අවශ්‍යය. සිද්ධාන්ත පිලිගැනීමෙන් පමණක් අර්හත් ඵලයට සමවැදීමට කිසිසේක් නොහැක. බුදුන් වහන්සේ ප්‍රඥාව මෙහෙයවා විමැසූ විට පමණක් 'ඔබට සත්‍යය පෙනෙයි නම් පිළිගන්නයයි' ' (සන්දිට්ඨිකෝ)' වදාල සේක. භූරිදත්ත හිමි අර්හත් ඵලයට පිවිසීමට පෙර තමාට කාලය පිලිබඳව අමතක වූ බවත්, නින්ද පවා අමතක වූ බවත්, කෙලෙසුන් දමනය කිරීමට සියලුම වෙහෙස ගත් බවත් පවසයි. ප්‍රඥාවත්, සතිපට්ඨානයත් කැටි කොට සිය සියලු වීර්යය යොදා සසරින් ජය ගැනීමට වෙහෙසන භූරුදත්ත හිමි සිය 'චිත්තය' ජවසම්පන්න අශ්වයෙක් හා සමාන වූ බව පවසා ඇත. තවද, සියලු ක්ලෙශයන් එක පහරින් විනාශ කල හැකි බවක්ද හැඟුනු බව පවසා ඇත.

ඒ තීරණාත්මක දවසේ, උන්වහන්සේ අභ්‍යන්තර හා බාහිර වශයෙන් සිතට හසුවන සියලුම සංසිද්ධි විමසා බැලූ සේක. සියලුම මිත්ථායවන් සුණුවිසුනු කල උන්වහන්සේ ප්‍රීතියෙන් උද්දාම විය. විශාල මත්ස්‍යයෙක් මහ සයුරෙහි නිදහසේ පිහිනන්නාක් සේ පුබ්බේනිවාසානුස්සති ඥාණය මෙහෙයවා සිය අතීතයට එබී බැලූ සේක. තමාට වැරදුණු අඳුරු තැන් සිහි කොට යලිත් ඒ වරදම නොකිරීමට තරයේ ඉටා ගත් සේක.. උන්වහන්සේගේ හදවත වේගයෙන් ස්ඵන්දනය වන්නට වූයේ විස්තර කල නොහැකි ඉතා දීප්තිමත් ආලෝකයක් තුලට ඇතුලු වූ පසුය. (මේ පොත සම්පාදනය කල තෙරුන් වහන්සේ, භූරිදත්ත හිමියන් දුන් විස්තරය සම්පූර්ණ වශයෙන් ඒ අන්දමටම රචනය කිරීමට නොහැකි වීම ගැන මෙහිදී පාඨකයාගෙන් සමාව අයැද සිටී. පිට 155) හිර බැස යන යාමයේ භූරිදත්ත හිමි සක්මන් භාවනාවෙහි නිරත වූහ. උන්වහන්සේ පටිච්චසමුප්පාදය කෙරෙහි සිත යොමු කොට එකිනෙක අවස්ථා විමර්ශනය කරන්නට වූහ. "අවිජ්ජා පච්චයා සංඛාරා" යනාදී වශයෙන් පටන් ගෙන ප්‍රඥාව මෙහෙයවා විමැසන කල්හි, ඉපැදුනු කුතුහලය විස්තර කල නොහැකි තරම් විය. සත්වයා සසර සැරිසරන්නේ මේ පටිච්ච සමුප්පාදය හරියට නොදන්නා නිසා නොවේදැයි මෙනෙහි කල සේක. රාත්‍රී නවය පමණ වන විට උන්වහන්සේ හිඳගෙන භාවනා කල සේක. එතෙක් වේලා 'අවිද්‍යාව' ගැන මෙනෙහි කල උන්වහන්සේ පටිච්චසමුප්පාදය අනුලෝම වශයෙනුත් ප්‍රතිලෝම වශයෙනුත් එක් එක් අවස්ථා ගැන විමැසූ සේක. අලුයම තුන පමණ වෙන තෙක් නොකඩවා භාවනා කල උන්වහන්සේ අවසානයේ 'සතුරා' දුටු සේක. ඒ වෙනෙකෙක් නොව 'අවිද්‍යාවම' විය. කල්ප ගනනක් මුලුල්ලේ 'උපත-විපත' වශයෙන් සසර සැරිසැරුවේත් මේ සතුරා,- 'අවිද්‍යාවම' නිසාය. ඒ ස්වර්ණමය මොහොත ලඟා විය. උන්වහන්සේ 'අවිද්‍යාව' යලි නොනැගිටින සේ විනාශ කර දැමීය. ලොවට තවත් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක රහතන් වහන්සේ නමක් බිහිවිය. දේව සමූහයා උන්වහන්සේට ගරු කිරීමට පැමිණියහ. මුලු ලොවම සසල වන බවක් උන්වහන්සේට දැනුනි. ඒ අසල ගම්මාන වල සිටි මනුශ්‍යයෝ මේ කිසිවක් ගැන දැන නොසිටියහ. ඔවුන් පුරුදු පරිද්දෙන් සිය ලෞකික දෛනික දේවල් ගැන යෙදී සිටියහ. ඒ විශ්මයජනක මොහොත පසුවූ පසු, ඉතිරි වූයේ ඉතාමත්ම පාරිශුද්ධ වූ විසුද්ධිධර්මය පමණකි. ඒ දහම භූරිදත්ත හිමිගේ චිත්තයත් ශරීරයත් හාත්පසම වෙලාගත්තේය. එහිදී ඇති වූ විශ්මයත් ප්‍රීති සුඛයත් විස්තර කල නොහැකි බව උන්වහන්සේ පැවසීය. ඒ රාත්‍රියේ ඉතිරිව තිබූ කාලය තුල උන්වහන්සේ බුදුරජානන් වහන්සේගේ පරෝපකාරය මෙනෙහි කලේ කෘතඥපූර්වකය. මේ අතිඋත්තම ගුරුතුමා සිය ධර්මයේ කිසිම තැනක පරස්පර විරෝධී දෙයක් පවසා නොමැති බවත්, ඒදහම අති පාරිශුද්ධ බවත් මෙනෙහි කලේ බුදුහිමි කෙරෙහි පහල වුනු අචල භක්තියෙනි. වරෙක තමා පහදා ගත් ධර්මය ඉතා ගැඹුරු බවත් සාමාන්‍ය කෙනෙකුට අවබෝධ කල නොහැකි බවත් උන්වහන්සේට සිතුනි. ඒ සමගම බුදු හිමි අනුගමණය කල මග ඔස්සේ තමා අන් මනුශ්‍යයින්ට පිහිට විය යුතු බවත් වැටහුනි. ධර්මය අන් මිනිසුන්ට උගන්වන්නේ ඒ සත්වයින්ට පිහිට වී මේ සසරෙන් එතර කරවීම උදෙසාය. කරුණා පෙරදැරිව බුදුන්වහන්සේ සැතැපුම් ගනන් දෙපයින්ම ඇවිද දහම් දෙසූ බව සිහි විය.දහමෙන් නැහැවුන හදවතක ඇත්තේ සතුට පමණකි. දුකක් එහි නොමැත. රහතුන් වහන්සේලාගේ ස්කන්ධයන්ද, අනෙක් මනුශ්‍යයින්ගේ ස්කන්ධ හා සමානය. නමුත් කෙලෙස් වලින් තොරය. නිවණ අවබෝධයෙන් පසු ස්කන්ධයන්ගේ වෙනසක් දක්නට නොමැත. සිරුර බිඳී යන විට චිත්තය "යථාදීපෝ චනිබ්බුතෝ" බවට පත්වෙන්නේය. ඒ පිරිසිදු චිත්තයත්, ධර්මයත් එකමය. ස්කන්ධයන් නැසී ගියද, පිරිසිදු ධර්මය අඩංගු චිත්තය එතැනින් වෙන්වී සදාකාලික වෙනස් ම්ගක් ගනියි. බුදුන් වහන්සේ "ධර්මය දකින්නේ යමෙක්ද, හේ මා දකියි..." යනුවෙන් ප්‍රකාශ කලේ ඒ නිසාය. දිව්‍ය සමූහයා ඉතා ප්‍රීතියෙන් භූරිදත්ත හිමි හමුවට පැමිණියද, උන්වහන්සේ ඔවුනට පසුව පැමිනෙනෙ ලෙසට ඉල්ලා සිටියේය. භූර්‍රිදත්ත හිමියන්ගේ නිවන් අවබෝධයෙන් පසු මෙතෙක් ලොව පහල වූ බුදුන් වහන්සේලා සිය ශ්‍රාවක රහතන් වහන්සේලා පිරිවරා ගෙන භුරිදත්ත හිමියන්ට ආශීර්වාද කිරීමට පැමින ඇත. (ඒ පිලිබඳ විස්තර මේ සටහන දිග වැඩි නිසා ඊලඟ කොටසේ- පිට 172 – The Most Exalted Appreciation – The Biography of Acharya Mun) මේ පොත සම්පාදනය කල ආචාර්ය මහාබූව ඥාණසම්පන්නෝ හිමියන් තවමත් තායිලන්තයේ බාන් ටාඩ් සංඝාරාමයේ වැඩවසති. යම්කිසි දෙයක් තව දුරටත් පැහැදිලි කිරීම අවශ්‍ය නම් උන්වහන්සේට විද්‍යුත් ලිපියක් යොමු කරන්න. . webluangta@gmail.com

Friday, April 10, 2009

මාර්ග, ඵල, සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ - 10

මේ මාතෘකාව යටතේ මීට පෙර සටහන් නවයක් මා පලකොට ඇත. එක්තරා සන්ධි සථානයක ඒ සටහන් පෙල නතර කිරීමට සිදුවිය. මා කියැ වූ කරුණු සැක හැර නියත වශයෙන් දැන ගැනීමට අවශ්‍ය නිසා එය තාවකාලිකව නතර කලෙමි. පසුගිය මාසය තුලදී මාගිය දීර්ඝ චාරිකාවේදී ඒ කරුණු සත්‍ය බවට මගේම හෘදය සාක්ෂියට එකඟව මම පිළිගතිමි. මා නතර කල තැන් සිට මම යලිත් මේ සටහන් පෙල ආරම්භ කරන්නෙමි. තායිලන්තයේ වැඩ වසන ධුත්තංග කම්මත්ථාන භික්ෂූන් වහන්සේ නමක් වන ආචාර්ය මහා බූව ඥාණසම්පන්නෝ හිමියන් විසින් සම්පාදිත, උන්වහන්සේගේ ආචාර්ය භූරිදත්ත හිමියන්ගේ චරිතාවදනයෙහි පරිවර්තනයක් වන "මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ" යන මාතෘකාව යටතේ කොටස් වශයෙන් සටහන් කිහිපයක් කොටස් වශයෙන් පලකල බව ඔබට මතක ඇත. මේ පොත නොමිලයේ පහත සඳහන් වෙබ් අඩවියෙන් බාගත හැක. වැඩි විස්තර සඳහා මේ වෙබ් අඩවියට පිවිසෙන ලෙසට මම ඔබෙන් ඉල්ලා සිටිමි. http://www.luangta.com/English/Index.html ඥාණසම්පන්නෝ හිමි, තවමත් ජීවතුන් අතර වැඩ වසති. දැනට වයස 94කි. උන්වහන්සේගේ දායකයින් උන්වහන්සේ වෙනුවෙන් බොහෝ විට පැන වලට පිලිතුරු සපයනු ලැබේ. සමහර විට උන්වහන්සේම විද්‍යුත් ලිපි වලට පිලිතුරු සපයයි. මේ සටහනෙහි අඩංගු කරුණු ගැන යම් කිසි කෙනෙකුට කිසිම සැකයක් හෝ අවිශ්වාසයක් ඇත්නම් පළමුවෙන් "The Biography of Acharya Mun” යන පොතේ Appendix one කියවන්න. තව දුරටත් කරුණු පැහැදිලි කිරීමට අවශ්‍ය නම් ඒ වෙබ් අඩවියට විද්‍යුත් ලිපිය යොමු කරන්න. පොතේ දෙවැන් සංස්කරණය පිටු 500කට අධික වුවද, ප්‍රථම සංස්කරණයට වඩා කුඩාය. හැකිනම් මුලුපොතම ලබා ගෙන කියවන්න. බුදුදහම දෙස, වඩා ආශාවකින් හා ලැදියාවකින් බැලීමට ඔබට හැකි වනු ඇත. ධුත්තංග සහ කම්මත්තාන යන වචන යොදා ඇත්තේ ඒ භික්ෂූන්ගේ පුහුනු වීම් ආදී දෛනික දෙවල් ආශිතවය. උන්වහන්සේලාට නියත වාසස්ථානයක් නැත. ජීවත් වන්නේ වන සතුන් මැද ගල්ගුහා, රුක්සෙවණ, ආදී ස්ථානවලය. පාංශුකූල සිවුරුම පාවිච්චි කරති. බුදුන් වහන්සේ දේශනා කල පරිදි සිවුරු අඳින්නේ විලි වසා ගැනීමටත්, උශ්ණයෙන් සහ සීතලෙන්ද, මැසි මදුරුවන්ගෙන්ද ආරක්ෂා වීම්ටත් යන සිල් පද දිවි හිමියෙන් රක්ෂා කරති. මෙවන් ශීලයක් රකින මේ භික්ෂූන් වහන්සේලා ආධ්‍යාත්මික අතින් ඉතා දියුණු තත්වයකට පැමිණීම පුදුමයක් නොවේ. භූරිදත්ත හිමි ඉතාමත් දයාවෙන් සිය ගෝලයින්ට ධර්මය ඉගැන්වූ සේක. එහි ප්‍රතිඵල ඒ වන විටද දක්නට ඇත. උන්වහන්සේට, උන්වහන්සේ කෙරෙහි දයාව ඉපදවීමට කාලය පැමිණ ඇති බව වැටහුනු සේක. වනසතුන් මැද වනගතව වාසය කිරීමෙන් අනාගත භවයක් පිළිබඳ සිතුවිලි ඇති නොවන බව උන්වහන්සේ පලපුරුද්දෙන් දුටු සේක. සියලුම බැඳීම් වලින් වෙන්ව වනගත වාසයෙන් මේ දුක් කන්දරාවෙන් නිදහස් විය හැකි බව උන්වහන්සේ දැන සිටියහ. මෙතෙක් කල අන්‍යයන් උදෙසා තිබූ කරුණාව මොහොතකට වියැලී ගියේය. උන්වහන්සේගේ කරුණාව තමන් වහන්සේ කෙරෙහි යොමු විය. "මා තථාගතයන් වහන්සේගේ අප්‍රමාද ශ්‍රාවකයෙක් වෙමි. උට්ඨාන වීර්යයෙන් යුතුව මා ධර්මයෙහි හැසිරී ඇත. මා දැන් සම්ප්‍රාප්ත වී ඇත්තේ මේ ඝෝර සසරෙන් එතරව, නිවණ අවබෝධ කර ගැනීමටයි. බුදුන් වහන්සේ ප්‍රථමයෙන් සත්‍යය අවබෝධකොට ඉන් පසුව මහ රහතන් වහන්සේලාට මග පෙන් වූ සේක. ඒ රහතන් වහන්සේලා ඉන් පසුව තවත් ලක්ෂ සංඛ්‍යාත රහතන් වහන්සේලාට මග පෙන්වා ඇත. මම තවම එතරම් උතුම් තත්වයකට පැමිණ නොමැත. මගේ ආධ්‍යාත්මික දියුණුව ගැන මා උනන්දු විය යුතුය. දහම් අවබෝධයෙහි මා තව කල් ගත් කලයුතුය. එවිට මටද ඒ අවස්ථාව ලඟා වෙනු ඇත."... දැනට මා ගෙන යන්නේ ක්ලේශයන් හා මාර්ග ඵල අතර සටනකි. එයින් ධර්මය දිනිය යුතුය. 'චිත්තය'ට නිදහස ලබා ගැනීමට ධර්මයම දිනිය යුතුය. චිත්තයට ධර්මය අවබෝධ නොවී කෙලෙස් රිංගා ගතහොත් යලිත් කෙලවරක් නොමැති උපත-විපත චක්‍රය ආරම්භ වෙයි. මගේ උට්ඨාන වීර්යයත්, ප්‍රඥාවත් යොමුකොට මේ කෙලෙස් මා විසින් පැරද විය යුතුමය. මේ කෙලෙස් පරදවා දැමීමෙට කාලය එලඹ ඇත. මේ සටනින් මා මිය ගියත්, එය එසේම වේවා. මට වෙන විකල්පයක් නොමැත................" භූරිදත්ත හිමියෝ සිය සිත් මෙහෙයවූයේ මේ අන්දමට, නොසෙල්වෙන අන්දමටය. සක්මන් කරද්දීත්, හිඳගෙන සිටිද්දීත්, සයනාගතව සිටිද්දීත්, උන්වහන්සේගේ නොපසුබස්නා උත්සාහයත්, වීර්යයත් මෙසේ විය. උන්වහන්සේගේ අවධානයත්, ප්‍රඥාවත් එකිනෙක හා එක්වී චිත්තයට හසුවූ සෑම දෙයක්ම නිරීක්ෂනය කිරීමට පුලුවන් විය..

Sunday, April 5, 2009

බුදු රදුන් තවම වැඩ වසති.......

අපේ රටේ නොයෙක් දෙසින් නොයෙක් දේවල් අපට අසන්නට ලැබේ. එයින් බොහෝ දේවල් අපරාධ හා සම්බන්ධය. මින් දශක හතරකට පෙර තිබූ ශාන්ත පරිසරය අද නැත. මේ සංසදයේ පවා නොයෙක් මාතෘකා යටතේ නොයෙක් දේවල් ලියැවෙයි. අපි යන්නේ කොහේද? අපේ අරමුණ කුමක්ද? බොහෝ අවස්ථාවල අපට අරමුණක් නැත. මී රැලක් තරඟයකට දුවන්නාක් මෙන් අපිද හැසිරෙන්නෙමු. අපි ඉන්ද්‍රියයන් පිනවීම සඳහා නොකරන දෙයක් නැත. නොයෙක් මාදිලියේ රූපවාහිනී, නොයෙක් අන්දමේ සිනමාවන්, දෙකන් පිනවීම සඳහා නොයෙක් අන්දමේ ශබ්ද, දිව පිනවීම සඳහා නොයෙක් අන්දමේ ආහාර වර්ග, කය පිනවීම සඳහා රාගාත්මක දර්ශන, අබිසරු ලියන්, මනැස පිනවීම සඳහා නොයෙකුත් විකාර, ආදී දේවල් වලින් මේ ලොව වියරු වැටී ඇත. මේ විනාශකාරී මුඛයෙන් ගැලවීමට තැත් කරන්නෝ විරලය. අපේ මුලු ජාතියම ගමන් කරන්නේ පිරිහීම දෙසටය. මෙවන් ලොවක ඔනෑම කෙනෙකුට අතර මං වීමට ඉඩ ඇත. සිදුහත් කුමරු තනි වූයේද මෙවැනි රජ දහනකය. රම්‍ය සුරම්‍ය සුභ වශයෙන් හැඳින්වුනු සිදුහත් කුමරුගේ මාලිගාවල පිරිමි පුලුටකුදු නොවීය. සිදුහත් කුමරු කම් සැපයෙහි ගිල්වා තැබීමට ශුද්ධෝදන රජතුමා මහත් ආයාසයක් ගත්තේය. නමුත් ඒ සියල්ල අතහැර දමා සිදුහත් කුමරු ශ්‍රමණ ජීවිතය ප්‍රිය කලේය. අපි ඒ උතුම් ජීවිතය පාඩමකට නොගන්නේ ඇයිදැයි සිතා ගැනීම අපහසුය.
මාර්ග ඵල හා නිවන යනු ඉතිහාසගත සිදුවීම් පමණක් බව සැලකෙන සමයෙක, තායිලන්තයේ දුත්ථංග කම්මත්තාන බික්ෂූන් ගැන ලියැවුනු පොත් වල සඳහන් පරිදි තවමත් තායිලන්තයෙන් රහතන් වහන්සේලා බිහිවන බව දැනගැනීම සොම්නස උපදවන කරුනක් විය. එයින් එක් රහතන් වහන්සේ නමක් සිය අත් දැකීම් දීර්ඝ වශයෙන් සිය ගෝල නමකට පවසා ඇත. උන්වහන්සේ අර්හත් ඵලයට පිවිසුනු මාර්ගය පවා සවිස්තරව ග්‍රන්ථාරූඪ කර ඇත. අද ලෝකයේ හැටියට ඉතා වටිනා ග්‍රන්ථයක් වන මේ පොත, නොමිලයේ පහත සඳහන් අඩවියෙන් බා ගත හැක. (http://www.luangta.com/English/site/books.php) මා කියවා තිබුනේ ප්‍රථම මුද්‍රණයයි. පසුව ශ්‍රී ලංකාවේ හා තායිලන්තයේ භික්ෂූන්ගේ උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් දෙවැනි මුද්‍රණයක් පිටවිය. මේ දෙවැනි මුද්‍රණයේ (appendix one) අතිරේකයක් ඇත. ඒ උද්ඝෝෂකයින්ට පිලිතුරුය. පරිනිර්වාණයෙන් පසු බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා ශුන්‍යත්වයට නොයන බවත්, උන්වහන්සේලා සිරුරක් නොමැතිව වැඩවසන බවත් ස්ථිර වශයෙන් පහදා දී ඇත. මේ උත්තමයින් දහමෙහි හැසිරෙන පින්වතුන්ට පිහිට වී සසරින් එතර වීමට පිහිට වන බව ස්ථිර වශයෙන් කිව හැක.
පසුගිය මාසය තුල මම චාරිකාවක යෙදුනෙමි. මට පිටරටකින් වැඩම කරන ලද එක්තරා උපාසිකාවක් හමුවිය. ඒ උපාසිකා මැණියන්ගේ ඉල්ලීම පරිදි ඇයගේ වතගොත හෙලි කිරීමට නොහැක. ඉතා ස්වල්ප වශයෙන් යමක් කිව හැක. 1980 දශකයේ අග භාගයේ මිනීමරු ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇයගේ සැමියා ඝාතනය කොට ඔහු පෙති ගසා දමා තිබෙනු ඇය දැක ඇත. ඉන් සසර කලකිරුණු ඇය විදේශ ගත විය. විදේශයක සිට බවුන් වඩන්නා වූ මේ තෙරණියෝ හමුවට දෙවි දේවතාවන් පැමිණෙති. ඔවුන් සිරිතක් වශයෙන් රාත්‍රී පෙරයමෙන් පසුව පැමිනෙන බව ඇය මට පැවසුවාය. මේ තෙරණියන්ගේ කුටියට ආලෝකධාරා පැමිනෙන බව බොහෝ දෙනෙක් දැක ඇත. රාත්‍රී දෙකට පමණ පතිත වූ නිල්වන් ධාරාවක් මමත් දුටුවෙමි. වරෙක ගෞතම බුදුහිමි ඇයට දම් දෙසීමට පැමිණි බව ඒ මෑණියෝ පවසා ඇත. අවම වශයෙන් ඒ මෑණියෝ සකෘදාගාමී ඵලයට සමවැදී ඇතිබව මගේ හැඟීමයි. බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව තමා ලබා ඇති ඵල පිලිබඳව හෙලි නොකරන අය බහුලය. අපේ රටේ බුදුදහම ආධ්‍යාත්මිකව ගරා වැටී ඇත. අවුරුදු පන්සීයක බටහිර ආධිපත්‍යයෙන් පසු අපට මෙය සිදු වූ බව අපටම සිතාගත හැක. නමුත් අපි මේ ආගාධයෙන් ගොඩ ආ යුතුය. නැතිවී වී ගිය සංවරය නැවත නගා සිටු විය යුතුය. සෑම දෙනෙක්ම මේ පිලිබඳව සිත යොමු කල යුතුය. නැතහොත් අපි ගමන් කරන්නේ විනාශමුඛය කරාය.

29/4/2011
වසර දෙකකට ප්‍රථම ලියන ලද මේ සටහනට තවමත් ප්‍රතිචාර ලැබෙමින් පවතී. කරුණු නොදැන නොයෙක් දේ ප්‍රකාශ කරන්නන් වෙත පිලිතුරු එවීමට තරම් මට කාල වේලා නොමැත.  එමනිසා මේ අතිරේකය ඉදිරිපත් කිරීමට සිත් විය. අපි දැනුම ලබා ගන්නේ කියවීමෙනි, නැතහොත් ශ්‍රවනය කිරීමෙනි.  යම්කිසි දෙයක් කියවීමෙන් පසු සියලු කරුණු සලකා බලා මෙය සිදුවිය හැකිදැයි අපි අපගෙන්ම ප්‍රශ්න කරමු. සමහර දේවල් පිලිගත හැකි බව සිතෙයි නම් අපි ඒ බව පිලිගනිමු.   සමහර දේවල් පිලි නොගනිමු.  ඒ තමාගේ හෘදය සාක්ෂියට අනුවය.  ථෙරවාද බුදු දහම පවතින්නේ අපේ රටේ පමණක් නොව තායිලන්තය, බුරුමය, ලාඕස් යනාදී රටවලද පවතින්නේ ථෙරවාද බුදු දහමය.  ආධ්යාත්මික අතින් අපේ සංඝයා වහන්සේලාට වඩා ඉහල මට්ටමක තායිලන්ත සහ බුරුම ස්වාමීන් වහන්සේලා සිටින බව මගේ පිලිගැනීමයි.  ඒ නිගමනයට මා පැමිණියේ කරුණු හොඳට සලකා බලා බව කිව යුතුය.  තායිලන්තයේ භූරිදත්ත ස්වාමීන් වහන්සේගේ ජීවිත කථාව පිලිබඳව උන්වහන්සේගේ ප්‍රධාන ගෝල නම වන ආචාර්ය ඤාණසම්පන්නෝ හිමි පොත් කිහිපයක් ලියා ඇත.  ඒ පොතක (Biography of Acharya Mun) 170 වැනි පිටුවේ පමණ මෙසේ සඳහන් වේ. 

"...Most of the Buddhas who came to show their appreciation to Ãcariya Mun addressed him in much the following manner:
I, the Tathãgata, am aware that you have escaped from the harmful effects of that monstrous suffering which you endured in the prison of saÿsãra, ......  is enormous.  I have come to express my appreciation..."

suffering which you endured in the prison......"
මේ පොත මා කියවූයේ ඉතාම විශාල වූ සැකයකිනි.  අවසානයේ ඒ පොත රචනය කල හිමි නම වෙත මම විද්‍යත් ලිපියක් යැවුයේ මට එය පිලිගත නොහැකි වූ නිසාය.  උන්වහන්සේ මට පිලිතුරු එවීමට තරම නිහතමානී විය.  උන්වහන්සේ ගේ පැහැදිලි කිරීමෙන් පසු මට කරුණු පිලිගත් හැකි විය.  ඒ නයින් බලන කල කෙනෙකුට එය පිලිගත නොහැකි නම් එයට කමක් නැත. 
මේ වසර 2011 මුල ජනවාරි මාසයේ වයස 97 ක්වූ ඤාණසම්පන්නෝ හිමි අභාවයට පත් විය.