Sunday, February 8, 2009

මරණය..... පිලිගැනීම සහ නොගැනීම

ජීවත්වන බොහෝ දෙනා මරණය ගැන කථා කරන්නේ ඉතාමත් කලාතුරකින්ය. ඒ ඉතා අප්‍රසන්න දුක්මුසු, බිය උපදවන මාතෘකාවක් බැවිනි. අපි ජීවත් වන්නේද නොමැරෙන්නවුන් ලෙසිනි. හෙට කලයුතු වැඩ, ඊලඟට කුමක් කලයුතුද යනාදී මිස හදිසියේ සුව කල නොහැකි ලෙඩක් හැදුනොත් යනුවෙන් අපි කල්පනා නොකරමු. ඒ අපේ සමාජයේ හැටිය. අපි මරණයෙන් ඈතට දුවන්නෙමු. එක අතකින් ඒ බටහිර සංස්කෘතියෙන් අපිට උරුම උනු රටාවකි. බටහිර ජනතාව මරණය ගැන කථා කිරීමට පවා බියක් දක්වති. රෝහලක මරණයක් සිදු වූ විට මෙයට සාක්ෂි දැකිය හැකිය. රෝගියා අවසන් හුස්ම හෙලීමට ආසන්න වූ විට ඔහු හෝ ඇය වෙන් කොට සමහර විට වෙන කාමරයකට පවා ගෙන යනු ලැබේ. මිය ගිය පසු මෘතශරීරාගාරයට මෘත ශරීරය ගෙන යනු ලැබේ. ඊට පසු රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වෙන්නෙකුට සේ මෘත ශරීරයට ඇඳුම් අන්දවති. එයින් අපි තැත්කරන්නේ මිය ගිය බව නොපිලිගැනීමක් නොවේද? කලකට පෙර ලංකාවේ ජනයා, මෘත දේහය ගෙදරට ගෙනැවිත් ජීවිතයේ අවිනිශ්චිත භාවය පිලිබිඹු වෙන ලෙස ඒ අබියස ශෝක වෙති. එයින් සිය ඥාතියාගේ වියෝව විඳ දරා ගැනීමට රුකුලක් වෙන බව පැහැදිලිය. හදිසියේ මිය ගිය හොත් මිය ගිය තැනැත්තාට හෝ තැනැත්තියට එය ගැන එතරම් දෙයක් නොදැනෙනු ඇත. දැනට ඇති සාක්ෂි අනුව (මරණාසන්න අත් දැකීම්) මිය ගිය තැනැත්තා/තී වික්ෂිප්තව කුමක් සිදුවූයේදැයි නොදැන බොහෝ විට සිය මලසිරුර අසල, නෑදෑයින් අසල අදෘශ්‍යමානව ගැවසෙන බව සොයා ගෙන ඇත. මේ පිලිබඳව අපවත් වී වදාල බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය ස්වාමීන් වහන්සේ දීර්ඝ වශයෙන් පවසා ඇත. අපි කවුරුත් දන්නා පරිදි මියයාමට නියමිත වයසක් හෝ කාල සීමාවක් නැත. බෞද්ධයින් කර්මානුකූලව උපදින බවත් මිය යන බවත් විශ්වාස කරති. විශ්වාසය කෙසේ වුවත්, එය එසේ වූ විට අපි ඉමහත් කම්පනයකට පත්වෙමු. යම්කිසි සුලු අසනීපයකට රෝහලකට ගොස් ඔබේ රෝගය පිලිකාවක්යැයි පවසා ජීවත් විය හැක්කේ මාස කිහිපයක් පමණක් බව වෛද්‍යවරයා පැවසුවොත් ඔබට කුමක් වෙයිද? මෙවන් දේවල් සාමාන්‍ය ජීවිතයේ සිදුවන සිද්ධීන්ය. ජීවිතයේ බලාපොරොත්තු නොවූ මොහොතක මිය යාමට සිදුවෙන බව කවුරුන් හෝ කිව්වොත් ජීවිතය පිලිබඳව ගොඩ නගාගත් ඒ සොඳුරු අනාගතය බිඳවැටෙනු ඇත. මේ තත්වයට මුහුන දෙන්නේත් එක් එක්කෙනා එක් එක් විදියටය. සමහරු තරුණ වයසේදීම පිලිකාවලින් මිය යති. සමහරු වෙනයම් රෝගයකට ගොදුරුව මිය යති. බොහෝ දෙනෙක් තමාට එවැනි රෝගයක් නැති බව වසන් කිරීමට තැත් කරති. එවැනි ශෝකාත්මක පුවතක් දැනගත් වහාම ප්‍රථමයෙන් සිදුවන්නේ එයින් 'පලා යාමයි.'. එයින් අදහස් කරන්නේ සිය මනස පවසන පරිදි 'එය එසේ නොවෙයි' කියා නොයෙක් කරුණු ඉදිරිපත් කිරීමයි. මේ අවස්ථාව ඉතාමත් ශෝකජනක අවස්ථාවකි. මේ රෝගීන්ට ඉතාමත්ම කාරුණික විය යුතුය. ඔවුන් මිය යන බව සැබෑය. නමුත් මිය යන තෙක් ඔවුන් මනුශ්‍යයන් මෙන් හැකි තරම් සන්තොසින් ජීවත් විය යුතුය. පසුගිය අවුරුදු 33 තුල මම ලබා ඇති අත්දැකීම් බොහෝය. බෞද්ධයෙක් වන මා මේ රෝගීන් ඇසුරෙන් තවතවත් මිනිස්කමට ලංවුනෙමි. එක් අවස්ථාවක වයස අවුරුදු හයක ලදැරියක් සිරුරේ උඩ කොටසේ ලේ පැහැති කුඩා ලප සමූහයක් මතුවීම නිසා වෛද්‍ය සායනයට සිය මව සමග පැමිණියාය. ඇය පරීක්ෂා කොට ඇයගේ රුධිර පරීක්ෂණයක් කල යුතු බවට නිගමනය විය. කුඩා ලදැරියක් වන ඇයගේ රුධිරය ලබාගැනීම පවා ඉතා දුශ්කර කරුණක් විය. එදාම හවස වෛද්‍ය පරීක්ෂණාගාරයෙන් මේ ලදැරිය වහාම රෝහලට ඇතුල් කරන ලෙස දන්වා පණිවුඩයක් ලැබුණි. මට දැන ගන්නට ලැබුනේ මේ දැරියට ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙන ලියුකීමියා රෝගයක් වැලඳී ඇති බවයි. වැඩි විස්තර මවට පැවසීමට මට ධෛර්යයක් නොවීය. "එපමණ හොඳ නැහැ, නමුත් රෝහලට යන්න...." පමණක් පවසා ඇය රෝහලට යැව්වෙමි. ඒ ලදැරියට සිදුවන්නේ කුමක්දැයි නොදැනුනත් ඇයගේ මව සම්පූර්ණයෙන්ම වෙනස් විය. රෝහලේදී ඇයගේ හැසිරීම අනෙක් රෝහල් සේවකයින්ට ආක්‍රමණශීලී විය. ඇයට සියල්ලෝම නුරුස්සන සුලු විය. රුධිර පරීක්ෂාවකට රුධිරය ගත්තත් ඇය සිය දුවනියට හිංසා කල බවට චෝදනා කලේය. මේ සිය එකම දුවනියට සුව කල නොහැකි රෝගයක් වැලඳී ඇති නිසා ඒ සඳහා මවගේ ප්‍රතික්‍රියාවය. සමහර රෝහල් සේවිකාවෝ ඇයට අනුකම්පාවක් නොදැක්වූහ. රෝහලෙන් ගෙදර එවූ මේ ලදැරියට නිතර නිතර ආපසු රෝහලට ඇතුලත් වීමට සිදුවිය. ඇයගේ මවට සිදුවූයේ ඇයගේ දුවණියගේ රෝගී ස්වභාවය පිලිගත නොහැකි වීමයි. ඇය ගෙදර ආ පසු නිතර නිතර ඇය බැලීමට ගියෙමි. ක්‍රමයෙන් කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඇය සිදුවී ඇතිදෙය පිලිගත් බවක් පෙනුනි. රෝගය හඳුනාගෙන මාසයකට පසු ඒ ලදැරිය අවසන් හුස්ම හෙලීය. තවත් අවුරුදු හැටක් පමණ වූ කාන්තාවක් පියයුරුවක ගැටයක් සමග පැමිණියාය. එය පිලිකාවක් බව හැඳිනගෙන දින දෙකක් ඇතුලත ශල්‍ය කර්මයකට භාජනය කරන ලදී. ශල්‍ය කර්මයෙන් මාසයක් ගතවූ තැන ඇයගේ දෑත් වල අස්වාභාවික චලන දක්නට ලැබුනි. ඒ පිලිකාව ඇයගේ මොලයට ගොස් ඇති බවට CT ස්කෑන් පරීක්ෂණය පෙන්වීය. වෛද්‍යවරු ඇයට වෙනත් පිලියමක් යෝජනා කලහ. මේ අවස්ථාවේදී මේ කාන්තාව මා හමුවීමට පැමිණියාය. මා හමුවට පැමිණි ඇය, ඇයගේ රෝගය පිලිබඳව සම්පූර්ණ සත්‍යය ඇයට පවසන ලෙස ඉල්ලා සිටියාය. ඇයගේ ඉල්ලීම පරිදි මම ඇයට සම්පූර්ණ විස්තරය හෙලිකර නිෂ්චිත පිලියමක් නැති බවත් සිදුවන්නේ ජීවිතය දික් ගැස්සීමක් පමණක් බවත් පැවසුවෙමි. ඊලඟට ඇය ඇසුවේ ඒ දික්ගැසෙන ජීවිතයේ වේදනාවක් ඇත්දැයි ඇසුවාය. එය එසේ විය හැකි බව කී විට එසේ නම් ඒ පිලියම අවශ්‍ය නැති බවත් ඇය මරණයට සූදානම් බවත් නොබියව පැවසුවාය. සුමාන දෙකකට පසු ඒ කාන්තාව අවසන් හුස්ම හෙලුවාය. ඒ කාන්තාව ඉතා ලැදි ක්‍රිස්තු භක්තිකාවක් වූවාය. අභීතව මරණයට මුහුන දුන් වෙනත් රෝගියෙක් ගැන මට කිව නොහැකි තරම්ය. බලාපොරොත්තු නොවූ පරිද්දෙන් මිය යන රෝගීන් අතර එක් රෝගියෙක් ඔහුට වයස 70ක් පමණක් බවත් මිය යාමට තරම් වයසක් නැති බවත් පවසා ඇත. නමුත් ඒ අවස්ථාවේදී එය පැහැදිලි කර දීමට තරම් ඔහුගේ මනස ප්‍රබල නොවීය. මේ අතර තවත් සමහරු මිය යාමට පෙර දවස් ගනන් හුස්ම අදින්නෝද වෙති. ජීවත්ව සිටිද්දී ගත් කල ජීවිතයද, ඒ ජීවිතයේ පිරිසිදු බවද මියයන මොහොතට බලපාන් බව මගේ විශ්වාසයයි.

1 comment:

තම තම නැණ පමණින් said...

ඇත්තම කියනව නම් ජීවිතයේ ලබන අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් එක්ක ජීවත් වෙන හුඟාක් දෙනෙකුට මරණය සැපක් සේ දැනෙන්න පුළුවන්. ඒත් ටික කාලයක් යනකොට ඒ බව අමතක වෙන එක නෙ පුදුමෙ.