Friday, February 6, 2009

සුද්දගෙ වැඩ

අපේ රටේ නිදහසත් සුද්ද අතරත් ඇත්තෙ එක්තරා විදියක සම්බන්ධයක්. ඒ සම්බන්ධය අපේ රටටම විශේෂයි. සිදු වුන දේවල් බැලුවම මමත් හිතුවෙ මේ සුද්දගෙ හැසිරීම් රටාව ලංකාව වගේ දුප්පත් රටකට පමණයි කියල. ලංකාවටත් ඉන්දියාවටත් සුද්දා කල හදිය අපේ ඉතිහාසය හොඳට පෙන්නුම් කරනව. ඉන්දියාව අපිට වැඩිය දුක් වින්ද. සුද්දා හොඳ දේවල් කරා, ඒ අපට ආදරේටද? නැහැ. ඔවුන් කල දේවල් වලින් අන්තිමට යහපතක් වුනේ ඔවුන්ටමයි. වික්ටෝරියා රැජිණගෙ කාලෙ මහා බ්‍රිතාඤ්ඤය තම ආධිපත්‍යය පතුරුවා ගැනීම පිණිස ලෝකය සිය යටතට ගන්න හැදුව. එහි ප්‍රතිඵලයක් විදියට තමයි අපි යටත් විජිතවාදීන් ලෙස කල් ගෙව්වෙ. අප්‍රිකානු ජනතාව වහලුන් ලෙස දම් වැල්වලින් බැඳගෙන ගිහින් විකිණුවා. අපේ රටේ උඩරට ගිවිසුම කියල ගිවිසුමක් අත්සන් කරල, 1815 මාර්තු දෙවැනිදා මුලු රටම බ්‍රිතාඤ්ඤයට යටත් කියල හදා ගත්ත. ඊට පස්සෙ ගිවිසුම කඩ කලා. අපිට විතරක් නෙවෙයි, සුද්ද මේ බෙර පදේම නවසීලන්තෙ ආදිවාසීන්ටත් වයල තියෙනව. 1840 පෙබරවාරි 6 වැනිද අපේ වගේම ගිවිසුමක් නවසීලන්ත ආදිවාසී මෞරි ජනතාව සහ කිරීටය අතර අත්සන් කලා. ඒක අත්සන් කලේ වෛතන්ගි කියන ස්ථානයෙ, ඒ නිසා වෛතන්ගි ගිවිසුම කියල කියනව. ඊට පස්සෙ ගිවිසුම කඩ කලා. ලංකාවෙන් සුද්දට යන්න වුනා. මෞරි ජනතාව බොහොම ටික දෙනයි හිටියෙ. සුද්දො ඇවිදින් අඩු ජනගහණයක් වූ මෞරි ජනතාවට වඩා බලයක් ලබා ගත්ත. අන්තිමට නවසීලන්තය සුද්දගෙම රටක් වුනා. ඕස්ට්‍රේලියාවෙත් එහෙමයි. ආදිවාසී ඇබොර්ජීන් ජාතිකයන්ට තවමත් සලකන්නෙ නැහැ. ඒ රටටත් සුද්ද නිකම් කඩා වැටුන. නවසීලන්තයේ ඉතිහාසය අවුරුදු 200ක්වත් පැරණි නැත.. මෞරි ජනතාව ජීවත් වුනේ සාමූහිකව, ගෝත්‍ර වශයෙන්. ඒ නිසා ඔවුන්ගේ ඉඩකඩම්, වස්තුව අයිති සාමූහික වශයෙන් ගෝත්‍රයට මිස තනි තනිව පුද්ගලයින් සතුව නොවේ. . කලකට පෙර මිනී මස් බුදිමින් ම්ලේච්ඡයින් ලෙස ජීවත් වුවද, ඔවුන් අතර ඉතා වටිනා ගුණදම් පැවතී ඇත. මෞරි ජනයා රණකාමීන්ය. එක් එක් ගෝත්‍ර අතර යුද්ධ පවතින විට විරුද්ධ පාර්ශවයට ආහාර අඩු බවක් හෝයුද උපකරණ හිඟ බවක් දැනෙයි නම් සටන වහා නවතනු ලැබේ. සටන නවතා විරුද්ධ වාදීන්ට ආහාර නැතිනම් , ආහාර සපයනු ලැබේ. එසේ නැතහොත් පතරොම් නැතිනම් පතරොම් පවා සපයනු ලැබේ. අඩුපාඩු සප්පායම් කල පසු නැවත සටන් ආරම්භ කරති. පසු කලෙක මේ අන්දමට ඉංග්‍රිසින් හා සටන් කරන විටද ඒ ක්‍රමය අනුගමණය කොට ඇත. එසේ නොකල හොත් ඒ සටන අසාධාරණ බව ඔවුන්ගේ විශ්වාසයයි. කරුණු මෙසේ වුවද, ශීලාචාර යයි සම්මත සුද්දා එතරම් ශීලාචාර වූ බවක් ඉතිහාසයෙන් නොපෙනෙයි. සුද්දා මෞරි ජනයාගේ ඉඩම් වලට කෑදර කමක් දක්වා ඇත. ගිවිසුම අත්සන් කොට, නවසීලන්තය බ්‍රිතාඤ්ඤ අධිරාජ්‍යයේ කොටසක් ලෙස සනාථ වූ පසුව ඔවුන්ගේ ක්‍රියා පටිපාටිය රහසිගත ලෙස නීතිගත විය. මෞරි ජනයාගේ සුලු වරදකට වුවද, ඔවුන්ගේ ඉඩම් රාජසන්තක කෙරිණි. අදටත් රජයේ ඉඩම් ලේඛනාගාරයේ ඇත්තේ ඉඩම රාජසන්තක වූ බවයි. මෞරි ජනයාට සලකනු ලැබුවේ සත්තුන්ට මෙනි. ඉංග්‍රීසින් සහ මෞරි ජනයා අතර යුද්ධ පවතින කාලයේ එක්තරා ඉංග්‍රිසි නිලධාරියෙක්, මෞරි නායකයෙක් මරා, ඔහුගේ සමෙන් පසුම්බියක් තනා ගත් බවක් වාර්තා වී ඇත[1]. ශීලාචාර මිනිසා කවුද? ඇත්ත වශයෙන් දැන් කලවම් නොවූ මෞරි ජනයා නැත. ආදි වාසීන් කවුරුත් පාහේ පවසන්නේ “ I got English blood not by choice but by rape…” කියාය. සුද්දා මෞරි ජනයාට බ්ලැන්කට්, ආදී දේවල් දී ඔවුන්ගේ ඉඩම් ලියා ගත් බවට සාක්ෂි ඇත. මා හමුවට පැමිණි වයසක මෞරි මාතාවක්, ඇයගේ දෙමාපියන් ඇය කුඩා කල අසනීපව රෝහලට යාම සඳහා අසල්වාසී යුරෝපීය ජාතිකයෙකුගෙන් ඔහුගේ මෝටර් රථය ඉල්ලූ විට එය ලබා දුන්නේ ඉඩම් කෑල්ලකට බව ඇය මා සමග පවසා ඇත. මේ නයින් බලන කල සුද්දා අපට පමණක් නොව ලොව තවත් රටවල් වල ජනයා රවටා ඇති බව පැහැදිලිය. දැන් දැන් නවසීලන්තයේ මෞරි ජනයා ඔවුන්ගේ ඉඩම් රවටා ගත් බවට චෝදනා රජයට පවරති. කලකෝලාහල නැතිවුවද, කවදා හෝ මේ චෝදනා යටපත් කිරීම ඉතා අසීරු වෙනු ඇත. [1] Scott Derek; ASK THAT MOUTAIN, 1950

1 comment:

නිලන්ත පියසිරි said...

ඔබ ගේ මේ සියළුම ලිපි මම එකල කියවා ඇත්තෙමි. ඒවා කෙතරම් වටීද කියා නොකිව යුතුය. ඔබ දැන් ලිපි නොලිවීම ගැන මම කණගාටු වෙමි. දිගටම ලියන්න. ඒවායින් කෙතරම් දෙනෙක් පලප්‍රයෝජන ගනු ඇතිද?