Saturday, January 10, 2009

මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ !!! 5

රහතන් වහන්සේලාගේ ධර්මදේශනා, උන්වහන්සේලා නික්ම ගිය පසු ඉතාමත් ගෞරවයෙන් සෑම කරුණක්ම පිරික්සා බැලීම භූරිදත්ත හිමියන්ගේ සිරිතක් විය. රහතන් වහන්සේලා අභියස සිටීම, බුදුන් වහන්සේ අභියස සිටීම හා සමාන බැව් භූරිදත්ත හිමි පවසා ඇත. ඒ සෑම ධර්ම දේශනාවක්ම භූරිදත්ත හිමියන්ගේ දහම් ඇස තව දීප්තිමත් කලේය. ඒ මහඟු දම් දෙසුම් තව තවත් බවුන් වැඩීම උදෙසා උන්වහන්සේට පිහිට විය. අර්හත් ඵලය ලබා ගත් පසු බුදු වරු, භූරිදත්ත හිමියන්ට ආශීර්වාද කිරීමට පැමිනි නමුත් ඊට පෙර බුදු වරු පැමිණි බවක් සඳහන් නොවේ. ධර්ම දේශනාවකදී, උන්වහන්සේගේ සම්පූර්ණ අවධානය ඒ ධර්ම දේශනාවට යොමු වන අතර උන්වහන්සේට තම ශරීරය පවා නොදැනෙන බවත්, සිත ධර්මයෙන්ම නැහැවී යන බවත් සඳහන් කර ඇත. දේශනාව අවසානයේ යලිත් තම සිරුරත්, ඒ සමගම අනෙක් ස්කන්ධ හතරත් දැනෙන්නට පටන් ගත් විට මේ පංචස්කන්ධයම මහා දුක් ගොඩක් බව පැහැදිලිවම වැටහෙන බව භූරිදත්ත හිමියෝ පවසති. රහතන් වහන්සේලාගේ ධර්ම දේශනා වලින් උද්‍යෝගමත් වූ භූරිදත්ත හිමි සාරිකා ගුහාවේදීම අනාගාමී ඵලයට සැපත් වූ සේක. ආපෝ, තේජෝ, වායෝ, පථවි යන සතර මහා ධාතුන්ගෙන් සැකැසුණු සිරුරක් උන්වහන්සේට යලිත් හිමි නොවන්නේය. ලෝක ධර්මතාවයන්ට අනුව අවිහා, අතප්පා, සුදස්ස, සුදස්සි හෝ අකනිථා යන බඹලොවින් එකක උන්වහන්සේට උපතක් ලැබීමට නියමිතව ඇත. මේ පොත සම්පාදනය කල ආචාර්ය මහාබූව ඥාණසම්පන්නෝ හිමියෝ මේ අන්දමට මෙසේ ප්‍රකාශයක් කර ඇත. "භූරිදත්ත හිමියන් අනාගාමී ඵලයට සැපත් වූ බව දැන්වූයේ උන්වහන්සේගේ සමීපතම ශිෂ්‍යයින්ට පමණකි. මෙහිදී මේ පොතේ ඒ බව ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම මගේ තීරණයක් සේම එහි වගකීමද මා විසින්ම භාරගනු ලබයි." මාස ගණනක් මෙසේ භාවනා යෝගීව වැඩ හුන් පසු එක් දිනෙක්, භූරිදත්ත හිමියන්ට උන්වහන්සේගේ ශිෂ්‍යයින් ගැන ඉමහත් කරුණාවක් හටගත්තේය. ඒ කරුණාව නිසාම උන්වහන්සේගේ දෙනෙතට කඳුලු පිරුනි. සමාධිගතව ඒ ගැන විමසා බලන විට තමාගේම අවිද්‍යාව හේතු කොට ගෙන මෑත අතීතයේ සිදුව ඇති ප්‍රමාද දෝෂ, සහ උන්වහන්සේගේ ශිෂ්‍යයින් අතින් සිදුවන දෝෂද දිස් විය. කර්මයෙහි ඇති සංකීර්ණ භාවයත්, බුදු දහමේ ඇති සත්‍යතාවයත් ගැන සිහි කරණ සෑම විටකම බුදු රජානන් වහන්සේ කෙරෙහි ඇති වන භක්තියෙන් භූරිදත්ත හිමියෝ නැහැවී ගියේය. ලොව ජීවත් වන සියල්ලෝම කර්මයම දායාද කොට ගෙන ඉපිද, කර්මයකටම දායාද වී ජීවත්ව සිට කර්මානුකූලව මියගොස් කර්මානුකූලව උත්පත්තියක් කරා යන්නාහ. බුදු රජානන් වහන්සේ මේ බව අවබෝධ කොට ඉන් නොපමාව නිදහස් වන ලෙස අපට වදාලේ ඒ නිසාය. කෙසේ හෝ මේ දුක් කන්දරාවෙන් එතර වීමට තවත් දුර යායුතු බවත්, තමා හරි මග ගමන් කරන බවත් උන්වහන්සේ වටහා ගත්තේය. මේ ජීවිතය නිමාවීමට පෙර නිවණ අවබෝධ කිරීමට හැකි බව දැනුන විට උන්වහන්සේට ඇතිවූයේ මහත් සතුටකි. මේ වන විට උන්වහන්සේට වැලඳී තිබුණ ආමාශගත රෝගය සම්පූර්ණයෙන්ම සුව වී තිබුණි. දිවා රෑ නොබලා සමාධගතව ප්‍රඥාව වැඩූ උන්වහන්සේ ඉතාමත් ශක්තිමත් පදනමකට සම්ප්‍රාප්ත වී සිටියහ. විනාශ කිරීමට තවත් ක්ලේශයන් ඉතිරිව තිබූ නමුත් තමා ඇත්තේ නියම මග බව ස්ථිර වශයෙන් උන්වහන්සේ දැන සිටියේය. නිතර නිතර උන්වහන්සේගේ ශිෂ්‍යයින් කෙරෙහි මහත් වූ අනුකම්පාවක් උන්වහන්සේ තුල පහල වන්නට විය. ඒ අනුව සාරිකා ගුහාවෙන් නික්ම යාමට උන්වහන්සේ තීරණය කලේය. සාරිකා ගුහාවෙන් පිටත් වීමට කලින් දවසක, රාත්‍රී 10ට පමණ උන්වහන්සේ දන්නා චාවෝ කුන් උපාලි ගුණූපමාචාර්ය නම් වූ ස්වාමීන් වහන්සේ නමක් ( 1856 - 1932) ගැන සිත යොමු කලේය. එවිට උපාලි තෙරනුවෝ පටිච්ච සමුප්පාදය මෙනෙහි කරමින් සිටින බව උන්වහන්සේ දැන ගත්තේය. පසු දවසක උපාලි තෙරුන් හමුවූ විට උපාලි තෙරුන්ගෙන් භූරිදත්ත තෙරුන් ඒ ගැන විමසූහ. එවිට උපාලි තෙරුන් "... මම ඔබට වඩා වැඩි මහලු වෙමි, මමත් පිලිගත් ගුරුවරයෙක්මි. නමුත් ඔබවහන්සේ බුදු රජානන් වහන්සේගේ නියමම ශ්‍රාවකයෙකි. නවීන ලෝකයේ මංමුලා නොවී බුද්ධ ධර්මයේ අකාලික ස්වභාවය ඔබ ලොවට ප්‍රදර්ශනය කොට ඇත...." දිනක් සිරිත් පරිදි ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට මුලදී සාරිකා ගුහාවේදී හමුවූ අසුරයා ඇතුලු වෙනත් අසුරයින්ද, වෙනත් දේවතා සමූහයක්ද වූහ. ධර්ම දේශනාවෙන් පසු උන්වහන්සේ තමා ගුහාවෙන් නික්ම යන බව පැවසූහ. අසුරයෝද, දේවතාවන්ද ඉන් මහත් සේ කැලඹුණහ. තමා ගුහාවට පැමිණියේ යම්කිසි කරුණක් නිසාත් යන්නේ එවැනිම කරුණක් නිසාත්, සිත්මනාපයට කටයුතු නොකලයුතු බවත් උන්වහන්සේ වදාලහ. අසුරයන්ගේත් වෙනත් දෙවි දේවතාවන්ගේත් ගෞරව හරසර මධ්‍යයේ උන්වහන්සේ සාරිකා ගුහාවෙන් නික්ම ගියහ. තවත් කොටසක් ලඟදීම මෙය පලවන්නේ කොටස් වශයෙනි. ඒ අනුව මාතෘකාවද නොවෙනස්ව, පවතී. සම්බන්දත්වය සඳහා පසුගිය කොටස් බලන්න.

10 comments:

ශාකුන්තල said...

"අර්හත් ඵලය ලබා ගත් පසු බුදු වරු, භූරිදත්ත හිමියන්ට ආශීර්වාද කිරීමට පැමිනි නමුත් ඊට පෙර බුදු වරු පැමිණි බවක් සඳහන් නොවේ. "

මට මෙය පැහැදිලි නෑ. බුදුවරයෙක් ලොවට පහළ වෙන්නේ ඉතාම කලාතුරකින් නේද?
කරුණාකර මෙය පැහැදිලි කර දෙන්න.

ඔබතුමාට බොහෝම පින්.

Dasun Sameera - දසුන් සමීර said...

මටත් එකපාරටම හිතුනේ ඒක තමයි. අංකිත පොත මාසතුව ඇතත් තාම කියවීම ආරම්භ කලේ නෑ. මම හිතන්නේ පසේ බුදුවරු විය යුතුයි.

සරත් ගුණතුංග said...

මම ලිව්වෙ පොතේ තියෙන අන්දමටමයි. ඔබ දෙදෙනාම ලඟ පොතේ පිටපතක් තියෙනවා නේද? පොතේ 63 වැනි පිටුව බලන්න. අපි දන්නව බුදුන් වහන්සේ, රහතන් වහන්සේලා පිරිනිවන් පෑව කියල. ඒ කියන්නෙ උන්වහන්සේලා සතර මහා භූතයන්ගෙන් සැදුන මේ ශරීරය අත් හැරිය බව. ඉන් පස්සෙ මොකද වෙන්නෙ? මේ පොත කියවන කම් මමත් දැනගෙන හිටියෙ නැහැ. භූරිදත්ත හිමි පවසන අන්දමට, ඒ නිවන් පුරට වැඩම කල උත්තමයො, යලිත් නොඉපදී, යලිත් නොවැනසී, සදා කාලික ශරීරරයක් නොමැති තත්වයකට පත්වෙනව ඇති. පොතේ සඳහන් වෙන්නෙ මෙහෙමයි. ".. Acharya Mun said listening to a discourse delivered by one of the Lord Buddha's arahant disciples made him feel as he was in the presence of the Lord Buddha himself but he had no prior recollection meeting the Buddha..." පච්චේක බුද්ධ කියල නෙවෙයි. තවත් තැනක, භූරිදත්ත හිමි අර්හත් ඵලයට සමවැදුනු පසු බුදු වරු (පච්චේක කියලා නැහැ )උන්වහන්සේට ආශීර්වාද කරන්න පැමිනි බවත් සඳහන් වෙනව. පිට නම් මතක නැහැ. මේ පොත පරිවර්තනයේදී ඒ කොටසටත් මම ඒවි.

සරත් ගුණතුංග said...

මට දැනෙන්නෙ නිවණ ශුන්‍ය දෙයක් කියල නෙවෙයි, මාරයා පරාජය කලා කියන්නෙ මාරයාට කරන්න දෙයක් එහි නැති නිසා. තවත් උත්තමයෙක් නිවන් දකින්න මහන්සි වෙනකොට මේ රහතන් වහන්සේලා වැඩම කරනව ඇති පිහිට වෙන්න. අපි මේව දන්නෙ නැත්තෙ මේ උසස් ඵල ලබන අය ඒව ලෝකෙට ප්‍රකාශ කරන්නෙ නැති නිසා. අපි අපේම මත උඩ ජීවත් වෙනවා. කොහොම උනත් පොත කියවන කොට ඔබතුමන්ලාටම වැටහෙයි.

SweetuPooh said...

උඩින් උඩින් බැලුවෙ. හරිම ලස්‌සන බව, කුතුහලය දනවන බව පේනවා.. මේ දවස්‌ වල වෙලාව පිළිඹඳ ප්‍රශ්නයක්‌!! ඉක්‌මනින්ම මෙහි සියලු කොටස්‌ කියවන්න වෙලාවක්‌ හදා ගන්නවා සහතිකෙන්ම. දිගටම ලියන්න මහත්මයාණෙනි...

Manoj said...

කොමන්ට්ස් දාන්න බැරීවුනාට මමත් දිගටම කියවනවා
දිගටම ලියන්න.

මට පුළුවන්නම් ත්‍රිපිටකය පිළිබද විස්තර ගන්න පුළුවන් තැන් ටිකක් කියනවද

Dasun Sameera - දසුන් සමීර said...

එත් ඔය නිවන් පුර ගැන කියන කථාව මූලික බුද්ධ භාෂිතයට පටහැනියි. අර්හත් ඵලයට සම වැදීමක් අවශ්‍ය නෑ. අර්හත් ඵලය ලභාගත් අයට පමනක් යාහැකි සමාපත්තිය නිරොධි සමා පත්තිය යි. ඒ අවස්ථාවේදී කිසිම සිතක් පහල නොවන බවයි කියවෙන්නේ. සදා කාලික ශරීරරයක් නොමැති තත්වයකට පවතිනව කියන එක ඇත්තනම් චතුරාර්ය සත්‍ය බොරු වෙන්න ඕනා. අනික එහෙමනම් එතනෙ තියෙන්නේ ආත්ම වාදයක්. බුදුන් පරිණිර්වාණය වීම ශරීරය අත් හැරීමක් බව සිතන්න බෑ. එනම් රහතන්වහන්සේ නමකට(හෝ බුදු වරයෙකුට හෝ පසේ බුදුවරයෙකු) නැවත උපතකට හේතු සකස් කරීමක් නැති කරීම නිසා කිසිම ආකාරයකින් පැවැත්මක් නෑ.

ත්‍රිපිටකය ගැන කලින් අවස්ථා වක සරත් මහතාම සටහනක් තැබුවා. මේන්න ආයිමත්
http://tipitaka.mahamevna.org/
http://www.mettanet.org/tipitaka/

Dasun Sameera - දසුන් සමීර said...

තවත් දෙයක් කියන්න අමතක වුනා. මම පසේ බුදුවරු වෙන්න පුළුවන් කියලා පළමු ප්‍රතිචාරයේ දැක්වුවාට. පසේ බුදු වරු පහළ වනුයේ තවත් බුදුකෙනකුගේ ධර්මය ලොව නැති කාලයකයි. ගෟතම බුදුන් පහලවූ බව සැලවූ පසු එකල විසූ සියළු පසේ බුදුවරුන් පරිණිවන්පා ඇති බව කියවෙනවා. ගෟතම බුදුන්ට මුලින් පිලිගැන්වූ අටපරිකරද පසේ බුදුවරයෙකු බවයි කියවෙන්නේ. නමුත් මේ කාරනා නම් බද්ධ භාෂිතයට අයත්ද නොවේද යන වග හරියටම දන්නේ නෑ.

Aaloka said...

වටිනා පරිවර්තන පෙලක්!
ධර්ම දේශනා කිරීමට රහතන් වහන්සේල වඩම කල බව සිදුවිය හැක්කක්. මොකද තවමත් රහතන් වහන්සේල වැඩසිටින නිසා. නමුත් බුදුවරු හෝ පසේ බුදුවරු වැඩම කල බව, ධර්මානුකූලව සිදුවිය නොහැක්කක්.

බුදුවරුන්ගේ වැඩම කිරීම කියවද්දී වෙච්ච දෝශයක් වෙන්ඩ බැරි නැහැ. යලිත් කියවා බලන්න.

කොහොම නමුත් මේය පලකිරීමට ගැන පින්.

Anonymous said...

Ajahn Mun's doctrine is a well disguised form of eternalism - almost like some Mahayana doctrines; orthodox Theravada buddhists disagree on this account that ancient Buddhas can 'visit' living people.

I believe that Ajahn Maha Boowa, Ajahn Mun's student, follows this misunderstood doctrine. I'm not sure about Ajahn Chah, but Ajahn Brahmavamso, the famous student of Ajahn Chah does not agree with this account about Ajahn Mun and as far as I know Ajahn Brahmavamso's Buddhism espouses the correct teachings of Theravada.