Thursday, January 8, 2009

මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ !!! 3

භූරිදත්ත හිමි, අමනුශ්‍යයෙක් දමණය කල අයුරුත් ඒ අමනුශ්‍යයා තිසරණ සරණ කර වූ සැටිත් පසුගිය සටහනෙන් විස්තර විය. උන්වහන්සේ මැදියම් රාත්‍රී සිට උදේ හතර දක්වා ඒ අසුරයා සමග සාකච්ඡා කල බව සඳහන් වේ. එතරම් දිග සංවාදයක් මෙවන් සටහනක ලියා දැක්වීම අපහසුය. කෙසේ හෝ භූරිදත්ත හිමි පවසන්නේ බුදුරජානන් වහන්සේගේ ධර්මය කොපමණ බලගතුද යන බවය. අසුරයෙක් බුද්ධර්මයේ බලයෙන් මෙල්ල වී තිසරණ සරණ යාමට පෙලඹීම කොපමණ ආශ්චර්යයක්දැයි උන්වහන්සේ ශිෂ්‍යයින්ගෙන් විමසා ඇත. ඒ පිලිබඳ සම්පූර්ණ විස්තරය මේ පොත සංස්කරණය කල ආචාර්ය මහා බූව ඥාණසම්පන්නෝ හිමියන් පවා තමා සම්පූර්ණයෙන්ම තේරුම් නොගත් බව පවසා ඇත. මිනිස් නොවන ශරීර තුල මිනිස් සිරුර මෙන් අපහසුතා, සිදුවන බව සාරිකා ගුහාවේදී හමුවූ අසුරයා පවසා ඇත. නමුත් අසුරයා සහ භූරිදත්ත හිමියන් අතර වූ සංවාදය තමා හරි හැටි පරවර්තනය කලාදැයි නොදන්නා බව ඥාණසම්ම්පන්නෝ හිමියෝ පවසති. ඒ සාකච්ඡා වූ සමහර කරුණු තමා හරි හැටි නොදන්නා බවත් ඒවා තේරුම් ගැනීමට ප්‍රඥාව බොහෝ දියුණු විය යුතු බවත් උන්වහන්සේ පවසයි. ඒ පොත සිංහලට පරිවර්තනය කිරීම මට කල නොහැක. කවුරුන් හෝ මෙය භාර ගන්නේ නම් එය ඉතාමත්ම හොඳ පුණ්‍ය ක්‍රියාවකි. සිය පැවිදි ජීවිතයේ මුල් අවදියේදීම භූරිදත්ත හිමි පරචිත්තවිජානන ඥාණය ලබාගෙන තිබූ බව ඉන් පැහැදිලිය. එසේම 'චිත්ත' හෙවත් සිත වන සතුන් හා වෙනත් මනුශ්‍යයින්ගේ සිත් තුලට යොමු කල අවස්ථා ගැන පවා උන්වහන්සේ සඳහන් කර ඇත. උන්වහන්සේ සාරිකා ගුහාවේ ගත කල සමය තුල ආධ්‍යාත්මික වශයෙන් විශාල දියුණුවක් ලද බව පවසා ඇත. භාවනා යෝගීව දින ගනන් වැඩ සිටීමට උන්වහන්සේට ඉඩ ලැබුණි. සාරිකා ගුහාවට යන කඳු පාමුල වයස්ගත වී පැවිදි වුනු ස්වාමීන් වහන්සේ නමක් විය. උන්වහන්සේ ගිහි ජීවිතයේ විවාහ වී සිට දරුවන් පවා සිටි බව සඳහන්ය. දිනක් භූරිදත්ත හිමි උන්වහන්සේගේ සිත මේ වයස්ගත ස්වාමීන් වහන්සේ වෙත යොමු කල සේක. මේ වයස් ගත ස්වාමීන් වහන්සේගේ සිත ඉතාමත් ව්‍යාකූල අවස්ථාවක පවතින බවත් උන්වහන්සේට දැනුනි. ඒ ගැන කල්පනා කිරීමෙන් පෙරදින නින්ද නොගිය මේ වයස් ගත හිමි, බැහැ දැකීමට භූරිදත්ත හිමි ඉටා ගත්තේය. මේ වයස් ගත හිමියන්, ආපසු ගිහි ජීවිතයට යාමට සිතන බව භූරිදත්ත හිමි පරචිත්තවිජානන ඥණය මෙහෙයවා දැන ගත්තේය. "ඔබට ඊයේ රාත්‍රී නින්ද ගියේ නැහැ නොවේදැයි" භූරිදත්ත හිමි සාකච්ඡාවට මුල පිරුවේය. වයස් ගත හිමියෝ ගල් ගැසී බලා ගත් අත බලාගෙනම සිටියේය. ටික වේලාවකට පසු "ඔබ වහන්සේ සියල්ල දන්නා සේක" යයි පැවසූවේය. භූරිදත්ත හිමි වෙන කිසිවක් ඇසුවේ නැත. අර වයස් ගත හිමි එදාම අසපුවෙන් පිට වී ගියේය. සාරිකා ගුහාවේ විවේක සුවයෙන් ගත කරන භූරිදත්ත හිමි, මරණයෙන් තම දිවි හදිසියේ කෙලවර නොවුනහොත්, මේ ජීවිතයේදීම නිවණ අවබෝධ කර හැකි බව සිතා ඉතාමත්ම ප්‍රීතිමත් වූ සේක. දිනක් උන්වහන්සේ භාවනා යෝගීව සිටින අවස්ථාවක, වනයේ සැරිසරන වඳුරු රංචුවක් උන්වහන්සේ සිටි ගුහාව අසලට පැමිණියහ. පෙර දිනක අසුර චිත්තය සමග සංවාදයක යෙදුනු උන්වහන්සේ මෙවර වඳුරු චිත්තයක් සමග සංවාදයකට එලඹුණු සේක. වඳුරු නායකයා ඉතාමත්ම සැක සහිතව උන්වහන්සේ දෙස බලන ආකාරයත්, උන්වහන්සේ වඳුරන වෙත පැතිරවූ කරුණාව උන් පිලිගත් අයුරුත් උන්වහන්සේට ඉතා සංවේගජනක දර්ශනයක් විය. වඳුරා එකම ශබ්දයකින් කෑකෝ ගැසුවත්, එහි නොයෙක් තේරුම් ගැබ්වී ඇති බවත් භූරිදත්ත හිමි වටහා ගත්තේය. ඒ ශබ්ද වල සුලු වෙනස් කම්ද ඇත. නමුත් වඳුරාට කිරීමට් පුලුවන් ශබ්දය එපමණය. උන්වහන්සේගේ කරුණාව වැටහුනු පසු ඒ වඳුරු රංචුව සාරිකා ගුහාව අබියස නිදැල්ලේ නොබියව හැසුරුණුහ. (ඊළඟ කොටස: රහතන් වහන්සේ නමකගෙන් ධර්මදේශනාවක්)

No comments: