Wednesday, January 7, 2009

මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ !!! 1

ආධ්‍යාත්මික අතින් පිරිහුණු සමාජයක අපි ජීවත් වන්නෙමු. ලෝකයාට එකක් පවසා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් කරන නරුමයන්ගෙන් ලොව පිරී ඇත. බොරුව වංචාව ජීවිතයේ සෑම අතකින්ම අපගේ ජීවිත තුලට එබී බලයි. ලොව පාලකයින්ද එසේමය. ඔවුන් පාලන රටාවට යන්නේ තමාගේ මඩිය තර කර ගැනීමට විනා නියම පාලනයක් කිරීමට නොවේ. රැකියාවල්ද එසේමය. මෛත්‍රී කරුණා දයා පෙරදැරි කරගෙන කලයුතු වෙදකම, මුදල් ගරන ව්‍යාපාරයක් බවට පත් වී ඇත. සියල්ලටම මුල ආත්මාර්ථකාමිත්වයයි. නැතහොත් "ලෝභයයි". ලංකාවේ ඇත්තේ බහුතරයක් බෞද්ධයින්ය. බුදුන්වහන්සේ අපට නීති පනවා නැත. නමුත් යම්කිසි සීලයක් පවත්වා ගෙන යන ලෙස උපදෙස් දී ඇත. නමුත් කිසිම බලකිරීමක් නැත. ගිහියන්ට අඩු වශයෙන් පංචසීලය රැකීමට උපදෙස් දුන්නේ ඒ මගින් අපේම සුභසිද්ධිය ලඟා වෙන නිසාය. අද කීයෙන් කීදෙනෙක් පං ච සීලය රකියිද? චතුරාර්ය සත්‍යය ධර්මයන් හැර අනෙක් සියලුම සංස්කාර ධර්මයන් වෙනස් වන බව බුදු සමිඳුන් වදාල සේක. එසේම අප ජීවත්වන ලෝකයද වෙනස් වෙයි. නමුත් අපි ආධ්‍යාත්මිකව ආපස්සට යායුතුද? භාවනාව, සමාධිය, මාර්ග, ඵල, නිවණ සඳහන් වන්නේ පොත්වල පමණක්ද? අපේ ජීවිතයේ හරය මේ දුක් කන්දරාවෙන් නිදහස් වීම බව බුදු සමිඳුන් වදාලහ. ඒ සඳහා මාර්ගයද උන්වහන්සේ පහදා දුන් සේක. අපේ බෞද්ධයින් බුද්ධාගම පවා හරි හැටි නොදනිති. බොහෝ දෙනෙක් සිතා සිටින්නේ නිවණ ශුන්‍ය අවස්ථාවක් බවය. එය සත්තකින්ම එසේ නොවන්නේය. මේ ගැන මට ලියන්නට සිත් වූයේ මා කියවූ පොතක තිබූ කරුණු නිසාය. ඒ පොත පිටු 708 කින් සමන්විතය. ඒ විසි වැනි ශත වර්ශයේ ජීවත් වූ රහතන් වහන්සේ නමකගේ අත්දැකීම්ය. උන්වහන්සේ පිරිනිවී වසර විස්සක් ගියපසු උන්වහන්සේගේ ශිෂ්‍ය නමක් විසින් කරුණු එකතු කොට තායි භාෂාවෙන් ලියා ප්‍රසිද්ධ කලේ නොමිලයේ බෙදා හැරීම පිනිසය. එහි ඉංග්‍රිසි පරිවර්තනයක් මම කියවීමි. එහි සඳහන් කරුණු විශ්මය ජනකය. මේ සටහනේ මාතෘකාව වශයෙන් "මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ" වශයෙන් තෝරා ගත්තේ ඒ නිසාය. කොටස් වශයෙන් මේ පොතේ ඇති විශේෂ කරුණු ඔබට ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි. යම්කිසි කෙනෙකුට ඒ පොත කියවීමට ආශාවක් ඇත්නම් මට විද්‍යුත් ලිපියක් එකක් එවන්න. සංක්‍රමික විද්‍යුත් පොතක් වශයෙන් ගොනු කල ඇති ඒ පොත (Venerable Acariya Mun) අමුනා එවිය හැක. නොමිලයේ ධර්ම දානය පිණිස බෙදාහැරීමට ප්‍රකාශකයෝ අවසර දී ඇත. ආචාර්ය මන් භූරිදත්ත හිමිපාණෝ උපන්නේ 1870 වසරේදීය. උන්වහන්සේ පිරිනිවන් පැවේ 1949 වසරේදීය. තායිලන්තයේ දුට්ඨංග භික්ෂුවක් ලෙස වනගතව නිශ්චිත ආරණ්‍යයක් නොමැතිව උන්වහන්සේ ජීවත් වූ සේක. රුදුරු වනසතුන් මද්ධ්‍යයේ නොබියව, ඝන වන මැද අවු වැසි සුලං ආදී ස්වාභාවික පරිසරයක උන්වහන්සේ භාවනා යෝගීව වැඩහුන් සේක. බුදුසමයේ බුදුන්වහන්සේ බුද්ධත්වය දක්වා ගතකල ජීවිතයත් භූරිදත්ත හිමියන්ගේ ජීවිතයේත් සමානාත්වතාවයක් ඇති බව මේ පොත රචනය කල හිමිපානන් වහන්සේ සඳහන් කරයි. පියවි ඇසට නොපෙනෙන මනුශ්‍ය නොවන සත්වයින් සමග පවා සන්නිවේදනය කිරීමට හැකියාවක් උන්වහන්සේ සතුවිය. බොහෝ අවස්ථාවල ඒ සත්ව කොට්ඨාශ භූරිදත්ත හිමියන්ගෙන් බණ දහම් ඉගෙනීමට පැමිණි බැව් උන්වහන්සේ, උන්වහන්සේගේ ශිෂ්‍යයන්ට පෙන්වා දී ඇත.

4 comments:

ශාකුන්තල | Shaakunthala said...

අප නොදන්නා දේ ගැන අපව දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට බොහොම පින්.

කරුණාකර මට විද්‍යුත් තැපෑලෙන් පිටපතක් එවන්න පුළුවන්ද?

shaakunthala@gmail.com

Bo said...

රහතන් වහන්සේලා වර්ථමාන ලොව තුලද වැඩ වාසය කරන බව බොහෝ දෙන පවසයි. බොහෝ පිරිස් උත්සහ ගන්නේ, රහතන් වහන්සේ නමක් දැක ගැනීමට මිසක, උන්වහන්සේලා අවබෝදකරගත් නිවන දැකීමට නොවේ. ....කැලේ ආරණ්‍යයේ වැඩ වසන භික්ෂූන් වහන්සේලා ගැන මා කුඩා කල වැඩිහිටියෙක් පැවසුවේ, ගහ මුල භාවනාවෙන් පසුවන උන්වහන්සේලා අතුගාන විට එතැන අතුගාන්නට ඉඩදෙන්නේ පොළවෙන් උඩට තම ශරීරය ඉස්සීමෙන් බවයි, තවද රාත්‍රී ඔවුන් ගේ පපු ප්‍රදේශයෙන් එළියක් විහිදෙන බවද පැවසුවා. මේවායෙන් සිදුවන්නේ රහත් වීම , නිවන් අවබෝදය යනු මැජික් පෙන්වීමක් වැනි සෙසු අයට නොකල හැකි දෑ කරන්න පුලුවන් කමක් ලැබෙන දෙයක් බවට කුඩා කල අපේ මනසට ඒත්තු ගැන්වීමයි,ඒ මිසක බුද්ධ ධර්මයේ හරය වටහා ගැනීමක් එයින් නොවන්නේය.එවන් වූ කාලයක මෙවැනි ලිපි මාලාවක් ලිවීමෙන් දත් නොදත් සැමට උපකාරයකැයි මට සිතේ, ඔබට ස්තූතියි.

ශාකුන්තල | Shaakunthala said...

ඔබ තුමා එවූ පොත ලැබුණා. මම මේ දැන් එය කියවමිනුයි ඉන්නෙ. විද්‍යුත් තැපැල් මගින් මම එය මිතුරන් අතර බෙදාහරින්නම්.

ඔබතුමාට බොහෝම පින්. බොහෝම ස්තුතියි.

ආයුබෝවන්.

Chanaka Aruna Munasinghe said...

Venerable Acariya Mun Bhuridatta Thera - A Spiritual ඹිඔග්‍රඵ්ය්

සහ තවත් වටිනා පොත් මෙතනින් ලබාගත හැකියි

http://forestdhamma.org/index.php?page=Books

තෙරුවන් සරණයි