Wednesday, December 31, 2008

ඖෂධ නොවන 'ඖෂධ' හෙවත් නෞෂධ

මේකට නෞෂධ කියල නමක් දාගත්තෙ මට වෙන ආකල්පයක් නොතිබුනු නිසයි. පරිවර්තනය කරන්න අමාරු ඉංග්‍රිසි වචනයක් තිබුනොත් මම සාමාන්‍යයෙන් ඒ ගැන අහන්නෙ බෝධිනී දුවගෙන්. ඒ දුව නිවාඩු ගිහින් නිසා, මලී දුව ගෙන් ඇහුව. ශබ්ද කෝශ දෙකකින් බලල ඵ් කියන වචනය පරිවර්තනය කරන්න අපහසු අවස්ථාවක් ඇතිවුනා, ඒ නිසා නො-ඖෂධ කියන තේරුමෙන් මම නෞෂධ කියල දැම්මා. ඒකෙ වරදක් ඇත් නම් මට සමා වෙන්න. පරිවර්තනය කිරීමට අවශ්‍ය වචනය වූයේ ඉංග්‍රිසියෙන් 'PLACEBO' කියන වචනයයි. ඒක 'නෞෂධ' වශයෙන් පරිවර්තනය කිරීමට සිදුවුනා. ඒ වගේම මීට වඩා සුදුසු වචනයක් තියෙනව නම් කරුනාකර මට කියා එවන්න. සීනි බෝල වැනි ලස්සන පෙති, ජෙලටින් කැප්සුලයක බහාලූ විටමින් ආදී නොයෙක් ඖෂධ වර්ග නොයෙක් වර්ණවත් ඉන්ජෙක්ෂන් ආදී 'අනවශ්‍ය දේවල්' නොයෙක් හේතූන් නිසා මහා පරිමාණයෙන් වෛද්‍යවරු නිර්දේශ කරන බව නොරහසකි. ඉතාමත්ම හාස්‍යජනක වන්නේ එසේ කිරීම නීතිවිරෝධී නොවන නිසාය. සාමාන්‍ය වෙලෙන්දෙක් ඔබ රවටා වෙනත් දෙයක් ඔබට විකුනුව හොත් ඒ වෙලෙන්දාට විරුද්ධව නඩු පැවරිය හැක. නමුත් වෛද්‍ය වරයාට කැමති දෙයක් ඔබට නිර්දේශ කල හැක. බොහෝ වෙලාවට ඔබගේ 'රෝගය' වෛද්‍යවරයාට හඳුනාගත නොහැකිය. ඒ ඔහුගේ 'පොතේ' නැති බැවිනි. එසේ වීමට හේතු රාශියක් ඇත. ප්‍රධාන වශයෙන් ලංකාවේ වෙදහමුවකදී රෝගියාට ලැබෙන්නේ විනාඩි 5 කටත් අඩු කාලයකි. රෝගියා කාමරයට පිවිසෙන විටදීම වෛද්‍යවරයා පෑන අතට ගෙන 'තුන්ඩුව' ලිවීමට සූදානමින් සිටීම මෙයට ප්‍රධාන හේතුවකි. මා මීට කලින් ලියන ලද සටහන් වල සඳහන් පරිදි බොහෝ අවස්ථාවල ඇති 'රෝගයක්' නොමැත. ඇත්තේ අසනීප තත්වයකි. ශරීරයේ ක්‍රියා කාරිත්වය යම්කිසි හේතුවක් නිසා අඩපණ වී ඇත. බොහෝ විට කිසිම ඖෂධයක් අවශ්‍ය නැත. නමුත් ගතානුගතිකව අපි වෛද්‍යවරයෙක් බැලීමට පුරුදුව සිටිමු. වෛද්‍යවරයාටද ඔබට දීමට, නිශ්චය වශයෙන් අවශ්‍යම බෙහෙතක්ද නැත. මහා පරිමාණයෙන් විටමින් වර්ග, ටොනික්, ආදී දේවල් ඔබට ලැබෙනු ඇත. මේ ලැබෙන්නාවූ ඖෂධ වලට අපි නෞෂධ යයි කියමු. තවත් අවස්ථාවල වෛද්‍යවරයාට රෝගය ඇත්තටම හඳුනාගත නොහැකි වනු ඇත. මෙවැනි විටකදී සිදුවන්නේ, ඔබට අනවශ්‍ය ඖෂධ රාශියක් නෞෂධ වශයෙන් ලැබීමය. නෞෂධ භාවිතය පිළිබඳව ලොව පුරා දීර්ඝ ඉතිහාසයක්ද ඇත. නෞෂධ පිළිබඳව කරණ ලද සමීක්ෂන ප්‍රමාණයද අති විශාලය. කොතරම් සමීක්ෂන කරත්, අද වෙන තුරු කිසිම නිගමනයකට බැස නොමැත. ඊට හේතුව, බටහිර මනෝ විද්‍යාව තවමත් නොදියුනු තත්වයක පැවතීම නිසා විය හැක. අලුත් ඖෂධයක් ලොවට හඳුන්වා දීමේදී එක්තරා ක්‍රමයක් විදේශීය බෙහෙත් සමාගම් වලට අනුගමනය කලයුතුව ඇත. එයට ‘double blind study’ යයි කියනු ලැබේ. නෞෂධ භාවිතය නීත්යානුකූල වන්නේ මේ අවස්ථාවන්හිදීය. Double blind study කියන්නේ, වෛද්‍යවරයාවත්, රෝගියාවත් තමාට ලැබුනේ නියම බෙහෙතද, ඒ හා සමාන වෙනත් බෙහෙතක්ද යන බව නොදන්නා නිසාය. මේ සඳහා රෝගීන් තොරා ගැනීමද කරන්නේ එක්තරා පිළිවෙලකටය. රෝගීන්ගේ සුව වීම/නොවීම ඉතා ක්‍රමානුකූල ලෙසට සටහන් කරනු ලැබේ. අවසානයේදී ප්‍රථිපල සසඳා බැලීමෙන් නියම ඖෂධය ලැබුනේ කාටද, ප්‍රථිපලය කුමක් වුනිදැයි ප්‍රකාශයට පත් කෙරෙයි. ඒ අනුව ඒ ඖෂධය ක්‍රියාකාරීදැයි යනු නිගමනය වෙනු ඇත. එක වරටම පෙනෙන්නේ මෙය කොතරම් නිවැරදි ක්‍රමයක්ද යන බවයි. නමුත් ප්‍රශ්නයක් වූයේ, නියම ඖෂධය නොළැබූ රෝගීන්ටත් සුව වූයේ කෙසේදැයි යන්න කිසිවෙකුටත් හෙලිකල නොහැකි වූ විටය. දැන් මම සඳහන් කරන්නෙ, කිසිම පොතක තිබුනු දෙයක් නොවෙයි. මම මෙපමණ කලක් ලබා ගත් අත් දැකීම් වලින් මේකට පිළිතුර, මට හිතෙන විදියට. මම හිතනව අලුතෙන් බිහිවන වෛද්‍යවරුන්ට මම ලියන දේවල් සමහර විට ප්‍රයෝජනවත් වෙයි කියලත්. අද පිලිගෙන තිබෙන මනෝ විද්‍යාවෙ පියානෝ හැටියට පිලිගෙන තිබෙන්නෙ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ෆ්‍රොයිඩ්ගෙ ජීවිතයේ සිදුවූ දේවල් කියෙව්වම පේනව එයා ඉතාමත්ම නින්දිත විදියේ කාමුකයෙක් බව. තමන්ගේම මෑනියන් ඉතාමත් ලස්සන බවත්, ඇයට තමාගේ සිතේ කාමුක ආශාවන් හට ගත් බවත් එයා සඳහන් කරල තියෙනව. තවද, තමාගේ බිරියගේ නැගනියට, ෆ්‍රොයිඩ්ට දාව බබෙක් පිලිසිඳ ගත් බවකුත්, ඒ නිසා ගබ්සාවක් කල බවකුත් ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනව. ඔය ෆ්‍රොයිඩ් තමා කිව්වෙ, පවුලක වැඩිමහල් පිරිමි දරුවෙක් හා එම දරුවාගේ මෑනියන් අතරෙත් තියෙන්නෙ කාමුක ආදරයක් කියල. ඔය කරුණ, සිහියෙන් පිලිගන්න පුලුවන්ද? මනෝ විද්‍යාවෙ ඉතිහාසය ඔන්න ඔහොමයි. දැනට ඉන්න මනෝ විද්‍යාඥයින්ට කෙනෙකුගෙ මනස පරීක්ෂා කරන්න මිනුම් දන්ඩක් නැහැ. ඉතින් මොකද කරන්නෙ? එක් එක් මනුශ්‍ය සමූහයකගෙ හැසිරීම් රටා අනුව නිගමන හදා. ගන්නව. ඒ කිසිවෙක් අඩු වශයෙන් භාවනාවක් කරල නැහැ. භාවනාවක තියෙන සුවය විඳල නැහැ. ඒ අයට දිගක් පේනව. පලලක් පේනව. ගැඹුරක් පේන්නෙ නැහැ, දන්නෙත් නැහැ. දන්න ටික අල්ලගෙන වාද කරනව. කොටින්ම කියනව නම් "නිමිත්ත" කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැහැ. මමත් එක්ක එක්තරා Ph.D තියෙන මනෝ විද්‍යාඥයෙක් තර්ක කලා නිමිත්ත ගැන. ඒ විද්‍යාඥය කියන්නෙ ඒක illusion එකක් කියල. බෞද්ධ සම්ප්‍රදායයන්ට පටහැනි නිසා මට ඊට වඩා නිමිත්ත ගැන කථාකරන්න බැරි වුනා. මේක කියන්න හේතු වුනේ, මනුශ්‍ය මනස හා නෞෂධ අතර ඇති සබැඳියාව විස්තර කරන්නයි. ඔබ අහල තියෙනව නේද, සමහර වෙද මහත්වරු ගැන මිනිස්සු කියන කථා. " ඒ මහත්මය අතින් වතුර දුන්නත් සුව වෙනව කියල". අන්න එතන තමයි උත්තරේ තියෙන්නෙ. යම්කිසි කෙනෙක් හිතේ කහටක් නොමැතිව, " ඔබට සුව වේවා " කියල හිතාගෙන කෙනෙකුට වතුර දුන්නත්, එය ලබන තැනැත්තාත් සුහද සිතින් එය භාර ගත්තොත් එතැන ඇති වන්නේ සුව වීමක් යනු මගේ හැඟීමයි. අර double blind study එකේ රෝගීන් දුන්න බෙහෙත් ගන්න ඇත්තෙ මොකක් හරි "අනේ මට සනීප වෙයි" යන බලාපොරොත්තුව උඩ. ඒ නිසා සනීප වුනා . වෛද්‍ය වරයෙක් රෝගියෙකුට ඖෂධයක් හැටියට මොනවා දුන්නත්, ඒ සනීප වෙන්නෙ, රෝගියාගෙ හිතේ තියෙන විශ්වාසය නිසා. ඒ බවට සාක්ෂි වෛද්‍ය විද්‍යාවෙන්ම තියෙනව. මොලයේ Hypothlalmus කියන කොටසෙන් Endorphins කියල රසායනික ද්‍රව්‍යයක් වැගිරෙන බව දැනට සොයා ගෙන තිබෙනවා. ඒ මගින් වේදනාව නැතිවෙන බවක් විද්‍යාඥයො කියනව. වෛද්‍ය වරයෙකුට මෛත්‍රී භාවනාව වැදගත් වෙන්නෙ මෙන්න මේ වගේ අවස්ථාවලදී. හොඳට මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරල තියෙනව නම් හොඳට සාකච්ඡා කිරීමෙන් පමණක් සුවයක් ඇති කරන්න පුලුවන්. කරුනා දයා මෛත්‍රී පෙරදැරි කොට ගෙන රෝගීන්ට සලකන කොට ඒ රෝගීන්ට පෙර කල කර්ම නැත්නම් මොන දෙයක් ඖෂධයක් හැටියට ලැබුනත් සුව වෙන බව මම විශ්වාස කරනව. භාවනා මගින් නොයෙක් ආකාරයේ රෝග සුව වෙන බවට ඇමෙරිකාවේම දැනට පිලිගෙන තිබෙනවා. බොහෝ මානසික රෝග වලට නොවරදින පිලියම ලෙසට භාවනාව යොදාගෙන තිබෙනවා. Patch Adams මහත්මයාගේ ක්‍රම කරුණා, දයා මෛත්‍රී පෙරදැරි කරගෙන සිදු කරන නිසා ඒ මහත්මයාගේ රෝගීන් ඉතා සැනසිල්ලෙන් ඉන්නවා.

Sunday, December 28, 2008

යටගිය දවස ලන්ඩන් නුවර..........

මගේ පරණ පොතක පිටිපස්සෙ කවරෙ තිබුණ මේ දැන්වීම දැක්කම මට හිනා ගියා. මේක මගේ මතකයෙන් ඈත් වෙලයි තිබුනෙ. මොකක්දො හොයන්න පොත් පෙරලන කොට මේක මතුවුනා. කතාව සම්පූර්ණ වෙන්න මම පොතේ නම සඳහන් වෙන විදියට පිටපතක් ලබා ගත්තා. ඇත්ත වශයෙන්ම, මේ දැන්වීම 1866 ලන්ඩන් නුවර ලයිම් හවුස් නම් ප්‍රාන්තයේ ඇති වූ කොලරා වසංගතයේදී ප්‍රසිද්ධ කරණ ලද දැන්වීමක්. මේක හොඳට කියවන්න. කියවල තේරුම් ගන්න. අද පොලවට අඩි දහයක් උඩින් යන දොස්තරලට එදා තිබුන තත්වය කොහොමද කියල හිතා ගන්න පුලුවන් නේද? කොහොමද අද තියෙන බලය දොස්තරලට ලැබුනෙ කොහොමද? දුන්නෙ කවුද?

Tuesday, December 23, 2008

ආපෝ තේජෝ වායෝ පඨවි................

මුතුවන් දසන් පෙල පෙන්වා සිනාසෙ න සුන්දර යුවතියකි ලෝ තතු නොම පෙනෙ න රූපය සිහිනයකි, මේ මොහොතෙම නැසෙ න මේ කුනු සිරුර මුසුවෙයි පසටම දෙර න
අත් පා සිඳින ලද, බඩවැල් අදින ල ද රූපයෙ සොඳුරු බව මොහොතින් නසන ල ද මරුවා කොතැනකද නොපෙනෙන ලොවක අ ද කෙලෙසින් හෙටක් වේදැයි අද සිතෙනව ද
මිය ගොස් තුන් දිනකි, ඒ සුන්දර මුහු න ඉදිමී තැලී හැකිලී ලේ ඇද හැලෙ න පනුවන් කටින් නාහෙන් දඟලන දුව න ලෝ තතු සමග සිහිවෙයි සම්බුදු සර න
සැම හට පොදුයි මේ ඉරනම දැන ගන් න හැම සිරුරකට හිමි වන ඉරනම මෙන් න උඬගු දනා මේ ලෝ තතු නොම දන් න බුදු හිමි දෙසු දහම සිහියට අරගන් න
තෙරුවන් සරණයි

Sunday, December 14, 2008

බුදු සමය හා නවීන විද්‍යාව - අවුරුදු 2550 කට පසු.......................

බුදු සමිඳුන් මෙලොව පහල වූයේ මින් වසර 2552 කට පෙරදීය. අපගේ අවාසනාවකට ලංකාවේ සමහරු, උත්පත්තියෙන්ම බෞද්ධ වූ අය, බුදුදහම හරිහැටි නොදනිති. ඒ නිසා බුදු දහමේ ඇති නිර්මලත්වය කෙලෙසීමට තැත් කරති. බොහෝ විට මෙය සිදුවන්නේ නොදැනුවත් කම නිසාය. නමුත් ඒ නිසා නොමඟ යන්නවුන්ද සිටිති. මේ මෑතකදී මගේ බ්ලොග් සටහනක වෙන ග්‍රහ ලොවක බුදු කෙනෙක් සිටියොත්? වශයෙන්ද, තවත් කෙනෙක් බුදුන් වහන්සේට වෙන ග්‍රහ ලෝක සෙවීම සඳහා කුතුහලයක් ඇති වූ බවක්ද සඳහන් විනි. මේ නොදැනුවත් කම නිසා ප්‍රකාශ කරන දේවල්ය. අද බොහෝ දෙනෙක් වසර 2552 කට පෙර බිහිවුනු බුදුදහම අද දවසට, නවීන විද්‍යාවට අනුව පෞරාණික සමයයක් වශයෙන් සලකති. ඒ නිසා නවීන විද්‍යාව ගැනත් බුදුදහම ගැනත් අපි දන්නා කරුණු විචාරාත්මකව සලකා බැලීම වටී. නවීන විද්‍යාව ශීග්‍රයෙන් හොඳ අතටත් නරක අතටත් දියුණු වෙයි. දැනට වසර 40 කට පමණ පෙර මිනිසා හඳ මත පා තැබීය. නොයෙක් මාදිලියේ චන්ද්‍රිකා පෘථිවිය වටා භ්‍රමණය වෙති. බුද්ධාගමත්, නවීන විද්‍යාවත් එකිනෙකට නොගැලපෙන සංස්ථාවන් දෙකක් වශයෙන්ද සලකති. මා ආනන්ද විද්‍යාලයයේ නේවාසිකාගාරයේ සිටින සමයේ ඉරිදා උදයෙක ධර්ම දේශනාව සඳහා නාරද ස්වාමීන් වහන්සේ කැඳවා ගෙන ආවෙමි. උන්වහන්සේ වේලාවට කලින් වැඩම කලහ. සිසුන් සිටියේ උදේ ආහාරය ගනිමින්ය. නාරද ස්වාමීන් වහන්සේ කෑම ගන්නා ශාලාවට වැඩි සේක. සිසුන් උදෑසන ආහාරය ගන්නා ස්ථානයටම වැඩම කල උන්වහන්සේ ධර්ම දේශනාව එතැන සිටම ආරම්ඹ කලහ. "කවුද බිත්තර කන්නේ...? යයි ඇසූ උන්වහන්සේ, ආනන්දෙ ලමයි බුදු පැටවු... බිත්තර කෑම අපේ ආගමට අකැපයි.. .. මේ ලමයි ජීවත් වෙන්න ඕන ආගමික පරිසරයක..." යනාදී වශයෙන් ප්‍රායෝගික බෞද්ධ ජීවිතයක රටාව කෙසේ විය යුතුද යන බව දේශනා කලහ. ඇත්ත වශයෙන්ම නේවාසිකාගාරයේදී අපට බිත්තර මාංශ ආදී කෑම වර්ග ලැබුනද ඒවා බොදු ජීවිතයකට නොමනා බව නොදැනුනි. අපි ගත කරන ජීවිතයත් ආගමික නැඹුරුවත් එකසේ විය යුතු බව අපටම උන්වහන්සේ වටහා දුන්හ. බුදුන් වහන්සේගේ ධර්මය සලකා බලන විට ප්‍රධාන වශයෙන් දෙකොටසකට බෙදිය හැක. 1. චතුරාය සත්‍යය ධර්මය 2. ආර්ය අශ්ඨාංගික මාර්ගය යනුවෙනි මෙයින් චතුරාර්ය සත්‍යය ධර්මයන් වනාහි සුලුකොට සැලකිය නොහැක. බොහෝ දෙනා අතර තිබෙන මතයක් වන්නේ චතුරාර්ය සත්‍යයන් ඉතාම පහසුවෙන් තේරුම් ගත හැකි ධර්මයන් ලෙසටය. නමුත් බුද්ධ ධර්මයෙහි අරටුව රඳා ඇත්තේ චතුරාර්ය සත්‍යය ධර්මයන් මතය. දෙවැන්න ඒ සඳහා බුදු රදුන් දේශනා කරන ලද ගමන් මාර්ගයය. මේ දෙකම එකිනෙකට ඉතාමත්ම සම්බන්ධය. ඇත්ත වශයෙන්ම සතර වැනි ආර්ය සත්‍යය ආර්යාශ්ඨාංගික මාර්ගයමය. බුදුන් වහන්සේ පලමුවැනි චතුරාර්ය සත්‍යයට "දුක්ඛ" සත්‍යය යයි වදාල සේක. "දුක්ඛ" යනු පාලි වචනයකි. එය සිංහලට පෙරලූ විට 'දුක' යන අර්ථය පමනක් එහි ගැබ් වී නැත. ඉංග්‍රිසියෙන් ඊටත් වඩා අමාරුවකට කියවන්නා වැටෙයි. ඒ එහි තේරුම “Suffering” යනුවෙන් සඳහන් වී ඇති නිසාය. බුදුන් වහන්සේ "දුක්ඛ" යනුවෙන් අදහස් කලේ ඉතා පුලුල් සහගත සිද්ධාන්තයන්ය. මේ සිද්ධාන්තය වලින් ගැලවිය නොහැකි සාමාන්‍ය ජීවිතය හා ඒවා තදින් බැඳී ඇති නිසාය. දුක් සහිත දේවල් වශයෙන්, උත්පත්තියේදී සිදුවන යම්යම් දේවල්, වයෝවෘද වීම, මිය යාම සිත තුල කැලඹීමක් ඇති කරන බව අපි දනිමු. එමෙන්ම හදිසි අනතුරු, සාගින්න, පිපාසය රෝගී වීම ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වන්නට සිදුවීම, බලාපොරොත්තු කඩවීම සිතු දේ නොලැබීම ආදී සියලුම දේවල් සිතට අසහනයක් ඇතිකරයි. සිතට සතුටක් දෙන දෙයක් පවා නැති වූවිට ඇතිවන්නේ ශෝකී ස්වභාවයකි. අප ජීවත් වන්නේ සිතේ සතුට උදෙසා ඇති පිපාසයත්, එය නැතිවූ විට ඇතිවන ඇතිවන ශෝකී අප්‍රසන්න භවයත් අතරේය. අපි මිය ගියත්, අපේ පටිසංදි විඥ්ඥාණය (re-linking consciousness) කර්මානුකූලව වෙනත් ශරීරයක් කරා ඇදෙනු ඇත. කොටින්ම මේ "දුක්ඛ" නම් වූ ස්වභාවයෙන් ගැලවීමක් නොමැත. බුදුන් වහන්සේ මේ "දුක්ඛ" ස්වභාවයට හේතූන් විස්තර කල සේක. ඒ හේතූන් අපේම සිත් තුල පවතින ලෝභය ද්වේශය සහ මෝහය යන ක්ලේශයන් බව වදාල සේක. ලෝභය යනු ආත්මාර්ථකාමී ආශාවන්ය. ලොවෙහි ඇති වස්තූන් ගැන ඇති ආශාව, ලොකු ඨානාන්තර, බලය, මහන්තත්ව කම ආදී වූ සෑම ආශාවක්ම ලෝභය වශයෙන් දක්වා ලිය හැක. ද්වේශ යනු නොරුස්සන කෙනෙක් හා ඇති තරහ, කෝපය, ඊර්ෂ්‍යාව ඔහුට පහර දීම යනුවෙන් දැක්විය හැක. මෝහය යනු සත්‍යය නොපෙනීමය. ධර්මය අවබෝධ නොවීමය. අන්ධකාරයේ කඩතුරාවෙන් මනැස වැසී තිබීමය. තුන්වන ආර්ය සත්‍යය නිරෝධ වශයෙන් බුදුන් වහන්සේ වදාල සේක. මේ අප්‍රසන්න භාවයෙන් ගැලවීමට ක්‍රමයක් බුදුන් වහන්සේ වදාල සේක. ඉන් නොගැලවුවහොත්, භවයෙන් භවයට කල්ප ගනන් සසර පුරා අපි සැරිසරනු ඇත. අවිද්‍යාව දුරු කොට, අපට ප්‍රඥාව උපදවාගන්නා ලෙසට අපට වදාල සේක. ප්‍රඥාව උපදවා ගත් හැක්කේ සිත පාලනය කිරීමෙනි. ඊට මාර්ගයක් වශයෙන් ආර්යශ්ඨාංගික මාර්ගය පෙන්වා දුන් සේක. (මේ සටහන දික් වන බැවින් ආර්යාශ්ඨාංගික මාර්ගය වෙනම සටහනක විස්තර කරන්නෙමි. ) මේ සිද්ධාන්ත හතරට සත්‍යය ධර්මයන් වශයෙන් හැඳින්වූයේ කිසිදාක වෙනස් වන්නේ නැති සත්‍යයන් නිසාය. මෙලොව පහල වූ සෑම බුදුවරයෙකුගේ ධර්මය මේ චතුරාර්ය සත්‍යය ධර්මයම මිස වෙන ධර්මයක් නොවේ. විපස්සී බුදුන් දවසද, " දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග" එසේම විය. ගෞතම බුදුන් දවසද එසේමය. බුදුන් වහන්සේ මේ සත්‍යය ධර්මයන් හැර අනෙක් සියලුම ධර්මතාවයන්, සියලුම සංස්කාරයන් අනිත්‍ය බවද වදාල සේක. අනිත්‍ය කියන්නෙ වැනසිලා යනව කියන තේරුමයි. ඒකට උන්වහන්සේ සංඛතයක් කියලත් පැවසුව. සංඛතයක ලක්ෂණයන් වශයෙන් මෙහෙම කිව්ව.... උප්පාදෝ පඤ්ඤායති ( හට ගැනීමක් පෙනෙයි.) වයෝ පඤ්ඤායති ( වැනසීමක්ද පෙනෙයි.) ඨ්තස්ස අඤ්ඤතස්සං පඤ්ඤායති (වෙනස් වෙමින් පැවතීමක්ද පෙනෙයි..) දැන් අපි නවීන විද්‍යාව දෙස බලමු. අපි ඉස්කෝලෙ යන කාලෙ ඉගෙන ගත්ත එක නීතියක් ගැන සලකා බලමු. Matter can neither be created nor destroyed කියල නීතියක් ඉගෙන ගත්ත මතකද? පරමානු බෝම්බයෙන් වුනේ මූල ද්‍රව්‍යයක විනාශය බව මතකයි නේ? අද වෙන කොට ඒක සත්‍යයක් නොවෙයි නේද? අලුත් මූල ද්‍රව්‍යයන් සොයා ගන්නව නේද? නවීන විද්‍යාව හැමදාම එක වගේ තියෙන්නෙ නැතුව වෙනස් වෙනව නේද? විද්‍යාඥයො පවා ඒ වෙනස් වීම පිලි ගන්නව නේද? ජීවත් වන සියලුම සත්වයින්, ගහ කොල ඔක්කොම අනිත්‍යයි. විද්‍යාවත්, විද්‍යාවෙ සිද්ධාන්තත් ඒ වගේම අනිත්‍යයි. සියල් දේම නැසෙන සුලුය.... එතකොට බුදුන් වන්සේ දේශනා කරන ලද ඒ සුමධුර ධර්මය හැමදාටම වලංගු කියල පිලිගන්න පුලුවන්ද? (අකාලිකෝ, ඒහිපස්සිකෝ... ඕනෑම කාලයකට ඔබිනයි, ඇවිත් බලන්න). ඒක ඔබම සලකා බලන්න.

Wednesday, December 10, 2008

විමැසීම

මම ප්‍රතිචාර දක්වන එක් වෙබ් අඩ්වියක මෙන්න මේ ප්‍රතිචාරය තිබුණා. Anonymous said... මම මේ කියන්නෙ ව්ශ්වය ගැන හොයන එක හොදයි.ඔහොම හොයද්දී නිකන් හරි බුදු‍ කොනෙකුත් ඉන්න අපේ වගේම ග්‍රහලෝකයක් හම්බවුනා.මොකද කියන්නෙ...අපිට නිවන් යන්න මාර්ගය දෙසන්න බුදුහාමුදුරැවෝ කෙනෙක් නැති නිසා එම ලෝකයෙන් හරි බැරිය උදව් ගන්න......... December 9, 2008 7:32 PM මේක මට හරිම ප්‍රහේලිකාවක් වුනා. එක්කෝ මේ ලියපු තැනැත්තා බුදුදහම ගැන අල්ප මාත්‍රයක් වත් දන්නෙ නැති කෙනෙක් නැත්නම් නිකම් විහිලු කරන කෙනෙක්. නමුත් ඒ තැනැත්තා/තැනැත්තිය බෞද්ධයෙක් නම් අපි ඉතාමත්ම දුක්ඛිත තත්වයකට මුහුණ පා සිටිනවා. ඒ කියන්නෙ බුදධාගම දන්නෙ නැති අය බෞද්ධ වේශයෙන් පෙනී සිටින නිසා. ඒ වගේම පහත සඳහන් ප්‍රතිචාරයත් එම බ්ලොග් අඩවියේ තිබුණා. Anonymous said... කලින් අදහස් දක්වපු කෙනා බුද්ධාගම දැනගෙන නෙවෙයි ඒක කියලා තියෙන්නේ. බුදු කෙනෙකුන් ගේ පහළ වීම ගැන සරත් ගුණතුංග මහතා අපිට කියලා දුන්නොත් හොඳයි December 9, 2008 11:38 PM මේ ප්‍රතිචාරය දැක්කම යුතුකමක් හැටියට අපිටත් යම්කිසි කටයුත්තක් කිරීමට අවශ්‍යතාවයක් ඇති බව වැටහුනා. අවුරුදු 45ක් මුලුල්ලේ සපත්තු සෙරෙප්පු නොමැතිව පාගමනින් දඹදිව් තලයේ දූවිලි පිරුන මංමාවත් වල අවු වැසි නොබලා ලෝ සත්වයා කෙරෙහි ඇති කරුණාවෙන් බුදුන් වහන්සේ දහම් දෙසූ හැටි මතක් වුනා. උන්වහන්සේ සමහර අවස්ථාවල දිවැසින් බලා ධර්මය තේරුම් ගැනීමට හැකි තැනැත්තා එන මග බලාගෙන හිටිය. අපේම අවාසනාවකට අපි, ඒ උත්තමයානන් වහන්සේගේ ජීවිතය ආදර්ශයක් හැටියට ගන්නෙ නැහැ. උන්වහන්සේගේ ඉගැන්වීම් රටාව ගැන විමර්ශනාත්මකව බලන්නෙ නැහැ. උන්වහන්සේ ආවට ගියාට ඉගැන්නුවෙ නැහැ. "බොහොම වෙලාවට "යකඩෙ රත් වෙන කම්" හිටිය. ඒ කියන්නෙ ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය එම පුද්ගලයා තුල පහල වෙනකම් හිටිය. බුදුන් වහන්සේ හමුවට යන්නෙ පැනයක් ඇතිනිසා. එහෙම අවස්ථාවල ඒ තැනැත්තා තුල යම්කිසි දෙයක් ඉගෙනගැනීමේ ආශාවක් පහල වෙලා තියෙනව. ඒකයි "යකඩෙ රත්වුනා" කියන්නෙ. එහෙම ආශාවක් නැත්නම් කොච්චර කිව්වත් වැඩක් නැහැ. දැන් බලන්න සිගරැට් පැකට් වල දුම් බීම පිළිබඳව නොයෙක් දේවල් ලියල තියෙනව. ඔවයින් කීයෙන් කීදෙනාද පාඩම් ඉගෙන ගන්නෙ? පටාචාරා චරිතය අපේ බෞද්ධ දොස්තරවරුන්ට ඉගෙන ගන්න හොඳ පාඩමක්, රෝගීන්ට ප්‍රතිකාර කරන අන්දම. සිහිවිකල්ව නග්නව දැන් කාලෙ රෝහලකට ගියොත් කාමරේකට දාල බැඳල නොයෙක් ඉන්ජෙක්ෂන් ගහයි නින්ද යන්න. සමහර විට "මහා මාර්ගයේ අශීලාචාරව හැසුරුණ බවට" නඩුවකුත් වැටෙයි. බුදු හාමුදුරුවො මහා කරුණාවෙන් යුක්තව පැවසුවෙ "නැගනියෙනි සිහි එලවා ගන්න" කියල. උන්වහන්සේගේ කරුණාව පටාචාරාව විනිවිද ගියාට කිසිම සැකයක් නැහැ. ඒ කරුණාවෙන්ම පටාචාරාවට සෑහෙන සුවයක් ලබන්න ඇති. මේ අවස්ථාවලදි මට 'පැච්" ඇඩම්ස්' දොස්තර මහත්මයත් මතක් වෙනව. ඒ මහත්මයා බෞද්ධයෙක් නෙවෙයි, ඒ වුනාට බොහොම කරුණාව ඇති මහත්මයෙක්. ඔබට හැකිනම් "පැච් ඇඩම්ස්" නම් වූ විඩියෝව හෝ DVD එක බලන්න.. ඒ, ඒ මහතාගේ ජීවිත කතාව. සිනහවෙන්, හාස්‍යයෙන්, කරුනාවෙන් රෝගීන්ට ප්‍රතිකාර කරන අන්දම එයින් පැවසෙන්නෙ. රසායනික ඖෂධ වලින් බැරිවුන සුවය, සිනාවෙන් කරුණාවෙන් ඒ මහත්මය කරනව. ඊළඟට බුදුහාමුදුරුවන්ට අවශ්‍ය වුනේ හැමෝම මැරෙනව කියල පහදා දෙන්නයි. උන්වන්සේ ඒක පහදා දෙන්න ක්‍රමයක් උපයෝගී කර ගත්ත. 'අබ ඇටේ'. එතකොට තමයි පටාචාරාවන්ට මිය යාම ගැන යථාර්තය අවබෝධ වුනේ. එතකොට "යකඩය හොඳටම රත් වූ පසු" බුදුහාමුදුරුවන් දෙසුව ධර්මය අවබෝධ කර ගන්න වැඩි කලක් ගතවුනේ නැහැ. අපේ දොස්තර මහත්වරුත් රෝගීන්ට සුහදව කථාකරල තේරෙන අන්දමට කරුනු පැහැදිලි කලොත් වෙද හමුව හුඟක් ඵලදායී වෙනව. මට ලැබුන දෙවැනි ප්‍රතිචාරයෙ හැටියට සමහරු ඉන්නව බුදුදහම ගැන හරියට නොදන්න අය. ඒ අය අතරින් ඒ ගැන ඉගෙන ගන්න ආස අය ඉන්නව. ඒ අයට බුදු හාමුදුරුවන්ගේ ජීවිතය උදාහරණයක් හැටියට අරගෙන අපි පුලුවන් අන්දමට උදව් කරන්න ඕන. මේ ගැන දැනටමත් නිතර නිතර බ්ලොග් ලියන හේම ජයන්ත කොළඹගේ මහත්මයාටත්, හේමරාජී ගුණසේකර මැතිණියටත් මම කෘතඥතාවය පලකරනව. එමෙන්ම කොළඹගේ මහත්මයාටත්, හේමරාජී මැතිණියටත් මම ආරාධනා කරනව තව තවත් අපව දැනුවත් කරන්න කියල.

Friday, December 5, 2008

කවදා හැදෙයිද?

මම මේ කියන්න යන්නෙ මට වුනු අකරතැබ්බයක්. මම සිංහලෙන් බ්ලොග් ලියන්න ගත්තට පස්සෙ මගේ ලිඛිත සිංහල ගව් ගනනක් ඉදිරියට ගියා. මම ආනන්දෙ ඉන්න කොට මම සිංහලෙන් පත්තර වලට ලිපි ලිව්ව, ඉස්කෝලෙ තිබුන 'සිංහල දරුවා' කියල මාසික සඟරාවක්- ඒකට ලිව්වා. අවුරුදු 36ක් ඒ සැනසුම නැතිවුනා. මේ රටේ (NZ) සිංහල භාවිතා වුනේ ගෙදරදි විතරයි, ඒත් ලියන සිංහල නැහැ. 1999 අවුරුද්දෙ Sinhala Word 98 කියල ප්‍රෝග්‍රෑම් එකෙක් ස්ථාපනය කරගත්තත් මට ඉන් ඉස්සරහට යන්න බැරිවුනා. පස්සෙ කාලෙක සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරා පත්තර කියවන්න. දවසක් මම අහම්බෙන් සිංහල සංසදයට ආව. මමත් බ්ලොග් එකක් පටන් අරගෙන ලියන්න පටන් ගත්ත. ඊට පස්සෙ මගේ සිංහල ශීග්‍රයෙන් දියුනු වුනා. සටහන් පමනක් නෙවෙයි comments වලින් අදහස් හුවමාරු කරගෙන සිංහල ලියන්න කවි ලියන්න ආයෙත් ලැබුණ.. මම ලංකාවෙ දිනපතා වෙන දේවල් දැනගෙන හිටියට දන්නෙ නැති දේවලුත් තිබුන. අලුත් ගායන ශිල්පීන්, නලු නිළියො ගැන මම දන්නෙම නැහැ, මට ඒ ගොල්ලන් ගැන උවමනාවක් නැතිනිසා. මම දන්නෙ පරණ අය. ඊයෙ, සංසදයෙ කියවනයෙ තිබුන සටහනක් Kasun Kalhara-The Romantic Opera(New Album කියල. http://blog.wickasitha.com/index.php/kasun-kalhara-the-romantic-operanew-album/ මම කසුන් කල්හාර ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ, ඒ බ්ලොග් සටහනේ පින්තූර ගොඩක් තිබුණ. අකුරු මට කියව ගන්න බැහැ. පින්තූරෙ පිරිමි කෙනෙකුගෙ මුනක් තිබුන, බලපු බැල්මට එයා දවස් ගනනකින් මූණ හෝදල නෑ වගේ අපිරිසිදු පාටයි. රැවුල ජරාවට වැවිල . ඔයවගේ සිතිවිලි මගේ සිත පුරා ගියා. (කල්හාර මහත්තයට මම අගෞරව කරනව නෙවෙයි, මේ මගේ හිතේ ඇතිවූ හැඟීම්.) අනේ ඉතින් මම මේ ගැන දැන ගන්න Comment වල ප්‍රශ්නයක් ඇහුව බොහොම නිහතමානීව මෙහෙම... Sarath Gunatunga on December 4th, 2008 at 5:21 am # තරහ වෙන්න එපා, දන්නෙ නැති හින්දයි අහන්නෙ. කවුද කසුන් කල්හාර කියන්නෙ? මට ලැබුණ පිලිතුර ඉතාම නින්දා සහගතයි. Wickasitha on December 4th, 2008 at 5:34 am # දන්නෙ නැත්නම් දැනගන්නත් ඕන වෙන එකක් නෑ මම හිතන්නෙ…. කාට කියන්නද? දන්නෙ නැති නිසා නේ ඇහුවෙ? මම ඉතින් ඒ ලියපු මහත්තය එක්ක ආරාවුල් හදා ගන්න ගියේ නෑ, කෙටි පිලිතුරක් තිබ්බා. Sarath Gunatunga on December 4th, 2008 at 6:27 am # බොහොම ස්තුතියි ඒ ලියපු මහත්තයගෙ වයස අවුරුදු 21යි. ඉගෙන ගැනල තියෙන්නෙ ගාල්ලෙ රිච්මන්ඩ් විද්‍යාලයෙ. විද්‍යුත් මාධ්‍යයකින් ඔය වගේ පිලිතුරු දෙන මහත්වරුන්ට දියුනුවක් වෙන්න පුලුවන්ද? ඇත්තටම මම දන්නෙ නැති හින්දයි ඇහුවෙ.. ඒ මහත්තයට මානසික රෝගයක් නැහැ, "මම" කියල විශාල ප්‍රතිරූපයක් හදාගෙන ඉන්නෙ. අවාසනාවකට ඒ මහත්මය වැඩ කරන තැනට, වැඩ කරන ආයතනයට, ඔය වගේ වැඩ නිසා ගනුදෙනු අඩුවෙන්න පුලුවන්.

Wednesday, December 3, 2008

PATCH (HUNTER) ADAMS

2000 වසරේ WONCA (World Organization of Family Doctors) Christchurch - NZ ලෝක සම්මේලනයේ ආරාධනයක් පරිදි පැච් ඇඩම්ස් සම්මේලනයට සහභාගි වූයේ මෙසේය. බෙල්ලේ සිට පහලට බොත්තම් දමා ගෙන ටයි කෝට් හැඳ පැලඳ සිටි අයට ඔච්චම් කරමින් විකට ඇඳුමක් ඇඳගෙන, පාට දෙකක මේස් දෙකක් දමා ගෙන නවීන පන්නයේ කොන්ඩා මෝස්තරයකින් සැරසී සිටියේය. ප්‍රධාන අමුත්තාද ඔහුය. ශ්‍රී ලංකාව නියෝජනය කලේ මහාචාර්ය නන්දනී ද සිල්වා මැතිණියය. (ඡාය රූපය මා සතුය) පැච් ඇඩම්ස් නම් වූ මේ මානව හිතවාදී ඇමෙරිකානු වෛද්‍යවරයා උතුම් මනුශ්‍යයෙකි. ඔහු ලොවට මානව හිතවාදී, සාමාන්‍ය බටහිර වෛද්‍ය ක්‍රමයට විරුද්ධ, රෝගීන්ගේම සතුට, හාස්‍යය පදනම් කොට ගත් වෛද්‍ය ක්‍රමයක් ලොවට හඳුන්වාදීමට උත්සාහ කලේය. ඒ උත්සාහය සෑහෙන දුරකට සාර්ථක විය. සාමාන්‍ය බටහිර වෛද්‍යවරුන් මෙන් ඔහු මුදල් පසුපස හඹා නොගියේය. රෝගීන්ගේ සැපපහසුව, ඔවුන්ගේ සුබ සාදක බව ඔහු ප්‍රධාන වශයෙන් සලකා බැලීය. ඔහුගේ අවධානය යොමු වූයේ පිළිකා ආදී රෝග ශරීර ගතව, සාමාන්‍ය බටහිර වෛද්‍යවරුන් අතහැර දැමූ රෝගීන්ය, නැතහොත් ස්වාභාවික ව්‍යසනයන්ට ගොදුරු වූ අසරණයින්ය. යුගෝස්ලාවියාව බිඳ වැටුණු පසු වෛද්‍ය කණ්ඩායම්ක් සමග ඔහු බොස්නියාවේ අසරණ වූ ලමයින් බැලීමට ගියේය. සුනාමි ව්‍යසනයේදී ලංකාවටද පැමිනියේය. ගාල්ලේ රෝහලට ඔහු පිවිසියේ අතේ මාලුවෙක් ඇතිව විකට ඇඳුමක් ඇඳගෙනය. බාහිර ලොව ගැන අබමල් රේනුවක් තරම් වත් දැනුමක් නැති එක්තරා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරියක් ඔහු මානසික රෝගියෙක්යැයි සිතා ඔහුට බැන වැදුනාය. ඒ අපේ වෛද්‍යවරුන්ගේ මහන්තත්වය නිසාය. ඔහුගේ ජීවිතය අළලා චිත්‍රපටියක් පවා නිශ්පාදනය විය. ඒ එක්තරා ආයතනයක් සඳහා අරමුදල් එකතු කිරීමටය. ආයතනය රෝගීන් සඳහා වෙන්වූවකි. පැච් ඇඩම්ස්ගේ නියම නම හන්ටර් ඇඩම්ස්ය. ජීවිතයේ සිත්තැවුලක් නිසා ඔහු සිය දිවි නසා ගැනීමට තැත්කොට ඉන් ගැලවුනේය. ඊටපසු මානසික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගන්නා අතර රෝහල් වල ඇති අඩුපාඩු බටහිර වෛද්‍ය ක්‍රමයේ ඇති අඩුපාඩු ඔහු අධ්‍යයන කලේය. ඔහු වෛද්‍යවරයෙක් වීමට සිතා ගත්තේය. උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්ව ඉගෙනගනිද්දී, තමා හදාරණ වෛද්‍ය ශාස්ත්‍රය විවේචනය කල පැච් නිතර නිතර පීඨාධීපතිතුමා සමග ඝට්ඨන ඇතිකර ගත්තේය. ඒ නිසා දෙවරක් විශ්ව විද්‍යාලයෙන් ඔහු නෙරපණ ලදී. මහජන උද්ගෝෂණය නිසා නැවතත් ඔහු ඇතුලත් කර ගැනීමට සිදුවිය. බටහිර වෛද්‍යක්‍රම යල් පැනපු ක්‍රම බවත් ඉන් රෝගීන්ට සෙතක් නොවන බවත් ඔහු තදින් විශ්වාස කලේය. රෝගියාගේ අසනීප තත්වය (රෝගය නොවේ) ඔහු ජීවත් වන සමාජය හා තදින් බැඳී ඇති බව පැච් විශ්වාස කලේය. අසනීපයත්, ඒ පවුල මත පැටවෙන බරත් ඔහු ජීවත් වන සමාජයත් එකිනෙක බැඳී ඇතිබව ඔහු කියා සිටියේය. හාස්‍යය අළලා ගෙතුනු ප්‍රතිකාර ක්‍රම ඉතා ඉක්මනින් රෝගීන් අතර ජනප්‍රිය විය. ඒ නිසා ඔහු වටා රෝගීන් පමණක් නොව හෙදියන්ද රොක් වන්නට වූහ. ඔහුගේ උපාධි ප්‍රධානෝත්සවය ලෝකයේ ප්‍රසිද්ධ විය. උපාධි ප්‍රධානෝත්සවයේදී ඔහුගේ පීඨාධිපති "අවසානයේදී ඔබද පැමිණ ඇත" යනුවෙන් සාවඥ දෙයක් ප්‍රකාශ කලේය. පැච් පලමුව ඔහු දෙසට ගෞරවාන්විතව නැමී දෙවනුව කරලිය දෙසට නැමී ආචාර කලේය. ඔහු උපාධි කබාය හැරුනු විට වෙන කිසිම ඇඳුමක් ඇඳ නොසිටි බව දැනුනේ එවිටය.

Monday, December 1, 2008

ගැටලුව කොතැනද ?

අද උදේ පත්තරේ තිබුන ප්‍රවෘත්තියක් ගැන මම කල්පනා කරල බැලුව කොතනද ගැටලුව කියල.... මට හිතෙන්නෙ මෙහෙමයි වෙන්න ඇත්තෙ. ප්‍රවෘත්තිය, අවුරුදු තුනක ගෑනු ලමයෙක් කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කරල. ඒ ලමයගෙ අම්ම කියන හැටියට අමාරුව තිබිල තියෙන්නෙ වම් කනේ, හැබැයි දකුනු කනට ශල්‍ය කර්මය කරල තියෙන්නෙ. මේ වගේ දේවල් ලෝකයේ නොයෙක් දෙසින් ඇහෙන කාලයක් මේක. පත්තරේ තියෙන කරුනු හැටියට පහත සඳහන් කරුනු සිදු වූ බවයි පෙනෙන්නෙ. 1. රෝගී දැරියගේ මව හා ශල්‍ය වෛද්‍යවරයා අතර සන්නිවේදනය බිඳ වැටීම. 2. රෝගී දැරිය පිළිබඳව ඇයගේ මව හා සාකච්ඡා නොකිරීම හා කරුනු පැහැදිලි නොකිරීම 3. ඉවසිලිවන්ත නොවීම - වරදක් සිදුවී ඇත්දැයි නොසෙවීම ඇත්ත වශයෙන්ම මෙය සන්නිවේදනය බිඳ වැටීමෙන් සිදු වූ දෙයක් බව පැහැදිලියි. වැරදි ශල්‍ය කර්මයක් සිදුකල බවක් සඳහන් නොවේ. ශල්‍ය කර්මය හරිය, නමුත් දැරියගේ මව කියන විදියට පැත්ත වැරදිය. ශල්‍ය වෛද්‍ය වරයා කියන අන්දමට කන් දෙකේම ආබාධය තිබී ඇත. මවද ඉක්මන් වී ඇඟිලි දිගු කිරීම කලාවිය හැක. දරු කැක්කුම ඇය සතුය. ඒ නිසා ඇයට වරදක් කිව නොහැක. සාමාන්‍යයෙන් ප්‍රතිපත්තියක් වශයෙන් ශල්‍ය කර්මයක් එක වරකට එක පසෙකට පමණක් කරනු ලබයි. එනිසා ශල්‍ය වෛද්‍යවරයාගේද වරදක් නැත. කරුණු එසේ නම් ගැටලුව කොතැනද? ගැටලුව ඇති තැන ඇසූ විට ඔබ පුදුම විය හැක. නමුත් සත්‍යය එයය. මේ මුලු ලොවටම පොදුය. වෙනත් රටවල මේ සඳහා පිලියම්ද යොදාගෙන ඇත. අපේ රටේ තවම නැත. ගැටලුව ඇත්තේ අපේ වෛද්‍යවරුන් පුහුණු කිරීමේ ක්‍රමය තුලය. අවුරුදු දෙසීයක් පමන පැරණි ක්‍රමයක් සංශෝදනයක් නොමැතිව තවමත් ලංකාවේ අන්ධානුකරනයෙන් ඉගැන්වෙයි. වෛද්‍ය විද්‍යලයීය පීඨාදිපතීන්වත්, අධ්‍යාපන ඇමතිතුමාවත්, Sri Lanka College of General Practitioners (http://www.cgp.lk/) වත් මේ පිළිබඳව වගකියයුත්තන් වන අතර කිසිවෙක්වත් මේ තත්වය ගැන උනන්දුවක් දැක්වූ බවක්වත් නොපෙනෙයි. (මේ අදහස් ප්‍රකාශ කිරීම නිසා මා ගෙදර යවන්නට කිසිවෙක් නැත!!! ) ඇමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය කැනඩාව ආදී රටවල වෛද්‍යවරු සහ රෝගීන් ඝට්ඨනය වන විට අධ්‍යාපනඥයින්, වෛද්‍යවරුන් ඊට හේතුව සොයා බැලූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒදෙස (වෙද හමුව දෙස ) වෙනත් අන්දමකින් බලන්නට හැකිවිය. අවාසනාවකට තවමත් මේ රටේ පැරණි ක්‍රමයම දිගින්දිගටම ක්‍රයාත්මක කරනු විනා ප්‍රශ්නය විසඳෙන පාටක් නැත. වෛද්‍ය ශාස්ත්‍රය දියුනු වූයේ නව සොයාගැනීම්, නව නිපැයුම් තුලිණි. දහ හත්වැනි ශතවර්ෂය යුරෝපයේ පිබිදීම (European Enlightenment) වශයෙන් ඉතිහාසයේ සඳහන් වී ඇත. හිපොක්‍රටීස් විසින් හඳුන්වා දුන් වෛද්‍ය ශාස්ත්‍රයට බැකොන් නව පිබිදීමක් දුන්නේය. මෘතශරීරවල ග්‍රන්තීන් තුල ඇති ස්වාභාවික සහ රෝග නිසා ඇතිවන වෙනස්කම් අධ්‍යානය කල ඔහු, රෝගීන් පිලිබඳව සටහන් ලියා තැබීම ආදී ක්‍රමානුකූල වැඩසටහනක් ඉදිරිපත් කරමින් හිපෝක්‍රටීස් ලොවට හඳුන්වා දුන් වෛද්‍ය ශාස්ත්‍රයට නව ජීවනයක් දුන්නේය. මේ ගැලීලියෝ, නිව්ටන්, ඩෙකා(ර්)ටීස්ගේ ශතවර්ෂයයි. ඩෙකාර්ටීස් මේ අතර 'මනස' හා 'ශරීරය' වශයෙන් මිනිස් ව්‍යුහයේ කොටස් දෙකක් විස්තර කලේය. ඊට පසුව තෝමස් සිඩෙන්හැම් නමැත්තෙක් රෝග වර්ගීකරනයක් වෛද්‍යශාස්ත්‍රයට යෝජනා කලේය. ඔහු විස්තර කල රෝගයක් (Sydenham’s chorea )වශයෙන් අදත් පවතියි. ඊට පසු ලියැනෙක් ( දොස්තර නලාවේ නිර්මාතෘ ) රෝග ලක්ෂණ (signs and symptoms) හා රෝග සසඳා බැලීමෙන් වෛද්‍ය ශාස්ත්‍රය ලොකයේ පිලිගත හැකි තත්වයකට පත් කලේය. නව නිපැදවීම්, නව රෝග විනිශ්චය කිරීමේ උපකරණ ආදී වශයෙන් වෛද්‍ය ශාස්ත්‍රය හැම අතටම දියුණුවිය. නමුත් මේ සියල්ල මිනිස් ශරීරයත්, ඒ සිරුරට සිදුවන භෞතික වෙනස්වීම් නිසා ඇතිවන රෝගත් ඒ රෝග පිලිබඳව සොයාබලන විද්‍යාත්මක පරීක්ෂණ වලට පමණක් සීමාවිය. මිනිස් මනැස සහමුලින්ම විද්‍යාඥයින්ට අමතක විය. ගැටලුව එතැනය........... වෛද්‍ය විද්‍යාලයේ පුහුනුවේදී රෝගී තැනැත්තෙකුගෙන් ඒ රෝගය ගැන විමසන විට ඒ රෝගියාගෙන් ප්‍රශ්න අසා රෝගියාට සැලකෙන්නේ රෝගයක් සහිත ශරීරයකට මෙනි. ඔහුගේ/ඇයගේ සිතේ ඇති දෑ, (රෝගය ගැන කුමක් සිතයිද? කිසියම් බියක් ඇත්ද? සිදුවී ඇති දෑ ගැන ඇති අදහස් මොනවාද? ) ආදී දහසක් දේවල් වෛද්‍යවරයාට පවසන්නට අවස්ථාවක් රෝගියාට (අපේ ඉගැන්වීමේ ක්‍රමයේ හැටියට) නොලැබෙයි. ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් නොදුන් නිසා රෝගියා තමාට මුහුන දීමට සිදුවී ඇති රෝගී තත්වය ගැන සම්පූර්ණ විස්තර නොදැන හිස් අතින් ගෙදර යයි. සන්නිවේදනය බිඳ වැටෙන්නේ එලෙසින්ය. අපේ වෛද්‍ය පුහුනුව (doctor-centred medicine ) කිව හැක. වෛද්‍ය වරයා කියන දෙය රෝගියා සාවදානව අසා සිටිය යුතුය. ප්‍රශ්න ඇසීමට කාලයක් නොමැත. ඇසුවත් උත්තරය බොහෝවිට ලැබෙන්නේ නැත. "දුවගේ කඳුලු" blog සටහනෙන් ඒ බව මොනවට පැහැදිලි විය. http://nilantha-piyasiri.blogspot.com/2008/11/blog-post_24.html දුවගේ කඳුලු වෙද හමුවේදී වෛද්‍යවරයා කෙසේ වෙදහමුව මෙහෙයවිය යුතුද යන ආකාරය මා පෙන්වා දී ඇත. වෙද හමුව (consultation) මෙහෙයවන්නේ වෛද්‍යවරයාය. රෝගියාට තැනක් නැත. රෝගීන්ගේ අප්‍රසාද හටගන්නේ මෙතැන්හිදී බව පසුගිය වසර තිහ තුල කරණ ලද සමීක්ෂණ මගින් හෙලි වී ඇත. ඒ නිසා අනෙක් රට වල රෝගියා කේන්ද්‍ර කොට ගෙන (patient-centred medicine) වෙද හමුව (consultation) මෙහෙයවීමට ක්‍රමයක් ඇත. මේ ක්‍රමයෙහි සම්පූර්ණයෙන්ම රෝගියා දෙස වෛද්‍යවරයා බලන ආකාරය වෙනස්ය. අපේ සමහර වෛද්‍යවරු පොලවට අඩි හයක් උඩින් දොස්තර නලාව කරේ දාගෙන ගමන් කරති. එවැන්නන් බොහෝ විට උගුර රිදෙන නිසා කථා නොකර සිටීමට පවා පුලුවන. මේ අනුව බලන කල ගැටලු සහගත තැන්වලින් සෞඛ්‍ය ක්ෂේත්‍රය පිරී ඇති බවක් පෙනී යයි.