Wednesday, November 26, 2008

මේ මොකක්ද දන්නවද?

මේක අද ලෝකෙ හැටියට අලුත් ලෙඩක් වෙලා ඉවරයි. මේකට නම් ලස්සන නමක් තියෙනව....
SMS Teno synovitis කියල.
ඉස්සලම විස්තර කරල තියෙන්නෙ මේ රටේ NZ. දවසකට 100 කට වැඩියෙන් SMS යවනවලු මේ ලමය වයස 20යි.
එහෙම කලාම මහ පට ඇංගිල්ල උලුක්කු වෙන එක අහන්න දෙයක්ද? දැක්කද අර නම අන්තිමට තියෙන 'itis' කෑල්ල? ඔහොම නම් දාන්න ගියොත් කතා කරල කරල දිව රිදෙනවට ටංගලයිටිස් කියන්නත් වෙයි.

විමසීම 1

ලොව ජීවත් වන බොහෝ දෙනා අද වන විට වෛද්‍යවරු ගැන කලකිරී ඇත. සමහරු වෛද්‍ය වරුන්ට විරුද්ධව නීති මගින් ක්‍රියා කිරීමටද සමහරු පියවර ගෙන ඇත. සමහරු බලාපොරොත්තු නොවූ අකරතැබ්බවලට මුහුන දී ඇත. වෛද්‍යවරුද නොයෙක් නොයෙක් මාදිලියේ මාර්ගෝපාය මගින් එල්ලවන ප්‍රහාර වලට මුහුන දීමට සූදානම් වී ඇත. මෙහි කෙලවර කුමකින් කුමක් වේදැයි සිතාගත නොහැකි තරම්ය. නමුත් එකක් පැහැදිලිය. වෛද්‍ය - රෝගී අතර විශ්වාසය සී සී කඩව් ගොස් ඇත. 19 වැනිසිය වස අග භාගයේදී සහ 20 වැනි සිය වස මුල භාගයේදී සිදුවූ විද්‍යාත්මක වෙනස්කම් අනුව වෛද්‍ය විද්‍යාව ශීඝ්‍රයෙන් පෙරට පැමිනියේය. * x රේ කිරණ මඟින් ශරීර අභ්‍යන්තරය විමර්ශනය කිරීම නිසා නියත වශයෙන් රෝගය හඳුනා ගැනීම * නවීන ඖෂධ වර්ග වලින් රෝග සුව කිරීම *ශල්‍ය වෛද්‍ය ක්‍රම වල දියුනුව ආදී වශයෙන් වෛද්‍ය වරුන්ගේ බලය සමාජය තුල වර්ධනය විය මෙහි ප්‍රතිඵලය වූයේ සමාජයීය වශයෙන් වෛද්‍යවරු අනෙක් උගතුන් ගෙන් වෙන් වී "උසස්" සමාජයක් බිහි කිරීමයි. වෛද්‍යවරුන්ද ඒ සමාජයේම හිඳගෙන සිය වලිගයේ වරුන කියා පාමින් සිටිනු විනා සාමාන්‍ය ජනී ජනයා අතරට පිවිසීමට මැලිවූහ. අද පවා වෛද්‍ය සම්මේලනයකට සහභාගි වුවහොත් මෙය දැකිය හැක. සිංහයින් සමීපයෙන් හයීනාවන් කරකැවෙන්නා සේ බෙහෙත් සමාගම් කාරයෝද පන්දම් අල්ලා ගෙන 'පගා දීගෙන' ඒ කිට්ටුවම සිටිති. ඔවුන් ගෙනා වටිනා පූජා භාණ්ඩ වෛද්‍ය වරුන්ට පූජා කරති. වෛද්‍යවරුද බොහෝ විට එය පිලිකුල් නොකරති. අවසානයේ "මම ඔබේ පිට කසන්නම්, ඔබ මගේ පිට කසන්න" යන තත්වයකට පත් වෙති. අවසානයේ මේ 'වෛද්‍ය-ඖෂධ' සංයුක්තයෝගයේ බිල ගෙවන්නේ කවුද? අහිංසක රෝගීන්මය. 20 වැනි ශත් වර්ශයේ මුල් කාලයේ ඇමෙරිකාවේ එක්තරා චර්මරෝග විශේෂඥයෙක් 'වැඩියෙන්' කථාකල කාන්තාවකට කම්මුල් පහරක් දුන් බවක් ඉතිහාසයේ සඳහන් වී ඇත. ඇමෙරිකාව වැනි රටක පවා වෛද්‍යවරයෙකුට තුබූ සමාජයීය බලය ඉන් පැහැදිලිය. අපේ රට ඊට වසර පනහක් හැටක් පසු පසය. මා වෛද්‍ය ශිෂ්‍යයෙක්ව සිටියදී උත්පත්තියෙන් බෞද්ධ වෛද්‍යවරු වාට්ටු වල සිටි කුඩා සාමනේරවරුන්ට "හාමුදුරු කොල්ලා" යනුවෙන් අමතනු මා අසා ඇත. කට අරින්න නොව කට ඇරපන් කියනු මා අසා ඇත. වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනය, ඔවුන්ගේ දැනුම වෙළඳ භාණ්ඩයක් සේ අලෙවි කිරීමටද කටයුතු සැලසුණේය. මේ මගින් මුදල් ඉපැයීමට අවස්ථාවක්ද ලැබී ඇත. මුදල් බලයත්, සමාජයීය තත්වයත් බිහි කලේ අමුතුම සත්වයෙකි. මේ අතර දෙවි දේවතාවුන් වැනි මිනිස් කමේ සංකේත අසරණ රෝගීන්ගේ වාසනාවකට බිහි වෙමින් පවතී. සාමාන්‍ය මධ්‍යම පංති වල පවුල් වලින් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට යන දරුවන් පවා අවාසනාවකට මේ සමාජ රෝගයට ගොදුරු වෙති. තව කොටසක් තව කිහිප දිනකින්...................

Sunday, November 23, 2008

ඔන්න තවත් ලෙඩක්!

ඔන්න තවත් ලෙඩක්! සිරිතක් හැටියට හැමදාම උදේ පාන්දර ලංකාවෙ සිංහල පත්තර ටික අන්තර් ජාලයෙන් මම බලනව. කොහොමහරි මෙහේ වෙලාව උදේ හත අට වෙනකොට, ලක්බිම, දිවයින පත්තර දෙකම අන්තර්ජාලෙට වැටිල. රිවිර පත්තරේ සෙනසුරාද රෑටම වැටිල. අද උදේ මම රිවිර පත්තරේ කියවන කොට මම දැක්ක එක්තරා සටහනක්, රෝගයක් පිළිබඳව. ඒ සටහනේ තියෙන දේවල් සම්බන්ධව මම එකඟ වෙන්නෙ නැහැ. මට හිතුන මම මගේ අදහස් වෙබ් අඩවිය හරහා ප්‍රකාශ කරන්න ඕන කියල. මේ ලියන් දේවල් ගැන කරුණාකර අදහස් ප්‍රකාශ කරන්න. ඔබේ විවේචනාත්මක අදහස් වලින් පමණයි මම ලියන දේවල් ප්‍රයෝජනවත්ද, නැද්ද කියල දැනගන්න පුලුවන්. මේ පුවත් පත් සටහනේ osteo arthritis රෝගයක් හැටියට සඳහන් කරල ඒකට ප්‍රතිකාරත් දීල තියෙනව.

මේ මග ඔස්සේ යනවිට ඒ සටහන හමුවිය හැකිය. http://www.rivira.lk/2008/11/23/rivisara16.htm

ඔස්ටියෝ ආත්‍රයිටිස් යනු රෝගයක් වශයෙන් සැලකිය නොහැක. එය ඇත්ත වශයෙන්ම ජීවත් වීමේදී ඇතිවන ශාරීරික වෙනස් වීමකි. ඒ සඳහා යොදාගෙන ඇති නමද දෝෂ සහිතය. කුනුහරුපයක් වගේ නමක් යොදා අන්තිමට itis යනුවෙන් කෙලවර වන්නේ inflammation යන තත්වය ඇතිවිටය. නමුත් මේ අසනීපයේ එහෙම තත්වයක් නොමැත. ශරීරයේ බර උසුලා සිටින සංදි මෙම "රෝගයට" ගොදුරු වන බව එහි සඳහන් වෙයි. ශරීරයේ බර හන්දි වලින් උසුලන්නේ නැත්නම් කුමකින් බර උසුලනු හැකි වෙයිද? බුදුන් වහන්සේ ඉතා පැහැදිලිව මෙසේ දේශනා කොට ඇත. "සියලු දේ අනිත්‍යයය. ඒවායේ හට ගැනීමක් පෙනෙනු ඇත. විනාශ වන බවකුත් පෙනෙනු ඇත. මේ තත්ව දෙක අතර වෙනස් වෙමින් පවතින බවකුත් පෙනෙනු ඇත...." අපි උපදින්නෙමු, එසේම මිය යන්නෙමු. මිය යනතෙක් ක්‍රමයෙන් වයස් ගත වෙවී ජීවත් වෙන්නෙමු. මේ මිනිස් ශරීරය වෙනස් වෙමින් පවතින ස්වභාවයේ එක් අවස්ථාවක් "රෝගයක්" ලෙස හඳුන්වා දීමක් (osteo arthritis) මෙයින් සිදුවනු විනා ඇත්ත වශයෙන් රෝගයක් නැත. බටහිර වෛද්‍යවරුන් විසින් රෝගී සංකල්පය මේ තත්වයට මාට්ටු කොට මහා පරිමානයේ මුදල් කන්දරාවක් ගසා ගන්නේද? ඇත්ත වශයෙන්ම මේ තත්වය ඇතිව්න්නේ විෂ බීජයක් මගින් නොවේ. තරබාරු අයගේ හංදි ඉක්මනට ගෙවෙන බව කුඩා දරුවෙකුට උනත් වටහා ගත හැකිය. හංදි ජීවත් වන පඨකයන්ය. ඒවායේ ගෙවීමත් නැවත සෑදීමත් ස්වභාව ධර්මයේ ස්වාභාවික දේවල් අනුව සිදුවේ. මේවාට "මුක්කු ගැසීමට යාමෙන්" නැති ලෙඩ ඇති විය හැකිය. කාන්තාවන්ගේ හෝමෝන පිළිබඳ සම්බන්ධතාවයක්ද මේ සටහන මගින් පිලිබිඹු කෙරේ. කාන්තාවන් හා හෝමෝන පිළිබඳව යමක් සඳහන් කළයුතුය. මේ මාතෘකාව පිළිබඳව විශාල වශයෙන් වෛද්‍ය ලෝකයේ මතාන්තර පැනනැගී ඇත. කාන්තාවන්ගේ ජීවිතය සලකා බලන කල තාරුණ්‍යයේදී හෝමෝන උපරිම වශයෙන් ක්‍රියාකරන බව අපි දනිමු. ඒ මනුශ්‍ය සංහතියේ පැවැත්ම සඳහා ඊළඟ පරම්පරාව ලොවට බිහිකිරීමටය. ඉන් පසුව, කාන්තාවන්ගේ ශරීරවල වෙනස්කම් ඇතිවේ. මේ ස්වාභාවික වෙනස්කම්ය. මේ වෙනස්කම්ද අද "රෝග" වශයෙන් සැලකීමට පටන්ගෙන ඇත. ඒවාට පිලියම් කිරීමෙන් නැති "රෝග" ඇතිකරගෙන ඇත. කොටින්ම කිවහොත් "ලෙඩ දා ගනී" දැන් ලෝකයේ පවතින දෑ අනුව අපට කිසිවක් විචාරාත්මක නොවී පිලිගත නොහැක. සාමාන්‍යයෙන් "වාත" අමාරු යනු මේ වයස් ගත වීම නිසා උද්ගත වන ශාරීරික අපහසු තාවයයි. මේ සඳහා අපේ සාමාන්‍ය ගැමියා ගතානුගතික ලෙස සිංහල බෙහෙතක් පාවිච්චියෙන් ශාරීරික අපහසුතා සුව කර ගනියි. විශාල වශයෙන් මුදල් විය පැහැදම් කර ලබන "කෙටි තරංග ප්‍රතිකාරයත්" උණු අළු වලින් තැවීමත් අතර වෙනසක් නොමැත. මේ සඳහා නොයෙක් වර්ගයේ බටහිර බෙහෙත් වර්ගද ( ibuprofen, sulindac, diclofenac ආදී වශයෙන්) ඇත. මේ සෑම බෙහෙතකම ආමාශය කා දමන ගතියක්ද, වකුගඩු විනාශ කරන ගතියක්ද ඇත. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුය. මේ රෝගයක්ද? නැත්හොත් වයස්ගත වීමේදී ශරීරයට සිදුවන වෙනස් කමක්ද යනු ඔබ විසින්ම තෝරා ගත යුතුය. කෙසේ වුවද, ඔබේ අදහස් දැන ගැනීම මට අත්‍යාවශ්‍යය. ඒ නිසා අදහස් කරුණාකර ලියා තබන්න.

Friday, November 21, 2008

නම, ගම - පෙනිසිලින් !!! - මානව සන්නිවේදනය

මා සාකච්ඡා කරන්නේ ඉතා ගැඹුරු වෛද්‍ය මාතෘකාවක් නොව ඉතාමත්ම සරල, නමුත් ඉතාමත්ම අවශ්‍ය සන්නිවේදන අවශ්‍යතා ගැනයි. මේ සන්නිවේදන අවශ්‍යතා ගැන වෛද්‍යවරු මනා ලෙස තේරුම් ගත යුතුය. මනුෂ්‍යයෝ සාමූහිකව ජීවත් වෙති. තනි තනිව ජීවත් වීම ඔවුන්ට පුරුදු නැත. සාමූහිකව ජීවත් වන විට, තම තමන්ගේ අදහස් හුවමාරු කර ගැනීම සන්නිවේදනය හරහා සිදුවෙයි. සාමූහික ජීවිතයකට සන්නිවේදනය අත්‍යාවශ්‍යය. මනුෂ්‍ය ජීවිතයේ සෑම අංශයකම සන්නිවේදනය නොයෙක් ආකාරයට සිදුවෙයි. වෙද හමුවේදීද (වෙද හමුව වශයෙන් මා අදහස් කරන්නේ - medical consultation යන අර්ථයයි.) සන්නිවේදනය ඉතාමත් වැදගත් ස්ථානයක් ගනී. මතභේද, සංඩුසරුවල් ඔක්කොම හැදෙන්නේ ක්‍රමානුකූල සන්නිවේදනයක් නැති නිසාය. අපි කථාකරන භාෂාවෙන්, ශ්‍රවණාධාරයෙන් බොහෝවිට සන්නිවේදනය සිදුවෙයි. ඒ එක්තරා ප්‍රතිශතයක් පමනි. අපි කථා කරන්නේ වචනයෙන් පමණක් නොවේ. අපේ අත් පා, මුහුනේ මාංශ පේෂි යනාදී සෑම අංගයක්ම කථා කිරීමේදී චලනය වේ. මෙයට body language යයි ඉංග්‍රිසියෙන් කියනු ලැබේ. අත පය නොසොල්වා කථා කිරීමට උත්සාහ කරන්න.. තේරුම් සහිත සන්නිවේදනයක් ඔබට කල හැකිද? කරණ සාකච්ඡාවට සවන් දුනහොත්, සමහර තැන් දීර්ග වශයන් උච්චාරනය කරන හැටිත්, සමහර තැන් සාමාන්‍ය අන්දමට කියවන බවත් පෙනී යනු ඇත. එසේ නම් මානව සන්නිවේදනය වූ කලී සංකීර්ණ වූ ක්‍රියාවලියකි. රෝගී තැනැත්තා ඇඳුම් ඇඳ ඇති විලාශය, මුහුණට මුහුණ දී කථාකරයිද, බිම බලාගෙන හෝ අහක බලාගෙන කථාකරයිද යන මේ සෑම ක්‍රියාවක්ම රෝගී ස්වභාවය හඳුනා ගැනීමට උපකාර වේ. රෝගී තැනැත්තා අසනීප ගතියකින් පසුවෙයි. ඔහු/ඇය තුල ඇත්තේ අසනීප ගතියකි. රෝගයක් නොවේ. රෝගය ඔලුවට දමන්නේ දොස්තර මහත්මයාය. (මොකක් හරි itis එකක්.) රෝගියා විස්තර කරන්නේ සිය අසනීප ගතියේ විස්තරයයි. එය එක්තරා කථාන්තරයකි. එහි අරමුන මෙයට කුමක් කලයුතුද යන්න විසඳා ගැනීමයි. මේ අසනීප ගතිය රෝගියාට පමණක් නොව, ඔහුගේ පවුලට, ඔහු සිටින ජනපදයට, ඔහු වැඩ කරන වැඩපලට මේ සෑම ස්ථානයකට බල පෑමට පිලිවන. ඒ අසනීප ගතිය නිසා වැඩට නොයාම නිසාය. අසනීප ගතියත් රෝගයත් අතර ඇත්තේ විශාල වෙනසකි. ඒ අසනීප භාවය යම්කිසි රෝගයක් ශරීර ගතවීමක් නිසා සෑදුන දෙයක් වීමට පුලුවන. සාමාන්‍ය වශයෙන් අසනීප භාවය විස්තර කරන රෝගියා විස්තර සහිතව එය තමන්ගේ අසනීපයේ ස්වභාවය, අසනීපයේ කථාන්තරය දොස්තර මහතාට පවසනු ඇත.... " ඔන්න මහත්තයෝ මම පෙරේදා උදේ පහල ලිඳෙන් නාලා, ගෙදරට ආපු ගමන් වෙව්ලල උන ගත්තා. " ආදී වශයෙන් කියා ගෙන යන විට බොහෝ දොස්තර වරු ඒ ඔවුනට අනවශ්‍ය විස්තර යයි සිතා රෝගියාගේ කථාන්තරයට බාධා කරති. එතැන සිට 'වෙද හමුව' අවාසනාවන්ත තත්වයකට යොමුවෙයි. ඒ දොස්තර මහතා කෙන්ද්‍ර කොටගෙනය. ඒ කියන්නේ එය මෙහෙයවන්නේ දොස්තර මහතාට අවශ්‍ය විදියටය. රෝගියාට පිලිතුරු දීමට සිදුවෙන්නේ දොස්තර මහතාගේ ප්‍රශ්න වලටය. " උගුර දනවද? උගුර රිදෙනවද? කැස්ස තියෙනවද? බඩ රිදෙනවද?..................." මෙවැනි ප්‍රශ්න රාශියක් දොස්තර මහතාගේ මුවින් පිටවෙනු ඇත. එයට ලැබෙන පිලිතුරු අනුව කිසියම් රෝගයක නමක් (සමහර වෙලාවට ලස්සන නමක් හෝ කුනුහරුප වගේ සද්ද වෙන නමක් අන්තිමට itis එක්ක ) රෝගියාට ලැබෙනු ඇත. මේ අන්දමේ වෙද හමු ලංකාවෙ පමණක් නොව ලොවේ බොහෝ රටවල සිදුවන බව නොරහසකි. මේ ක්‍රමය වැරදි බව වෛද්‍ය වරුන්ටම වැටහී ගොස් ඇත. එමනිසා වෙද හමුව සිදුවිය යුත්තේ රෝගියා කේන්ද්‍ර කොටගෙනය. ඒකියන්නෙ, රෝගියාගේ කථාන්තරයට සාවදානව සවන් දිය යුතුය. කථාකරන විලාශය, උච්චාරනය සහ ශරීර අංගචලනය මනා ලෙස අවධානය කල යුතුය. ඒ කතාන්තරයට අනුව කිසියම් රෝගයක් ඇද්ද නැද්ද යනු ඉතා පැහැදිලි වනු ඇත. බොහෝවිට කොත්තමල්ලි දෙවේලකින් අසනීපය සුව විය හැක. නැතහොත් සානුකම්පිකව රෝගියා සමග කතා කලහොත් ඉක්මනට සුවය ලැබෙනු ඇත. සායන වලදී බොහෝ විට ඇත්තේ සුලු සුලු අසනීපය. තමාගේ මඩිය තරකර ගැනීමට අවශ්‍ය නම් නොයෙක් නොයෙක් බෙහෙත් දිය හැක. නොයෙක් පරීක්ෂණ නිර්දේශ කල හැක. එලෙසම අවංක වෛද්‍යවරුන්ද මේ රටේ ඇත. කරුණාකර ඔබේ අදහස් දක්වන්න. ඔබේ අදහස් නොදැන මේ සටහන් ප්‍රයෝජනවත්දැයි කීමට පවා මට නොහැක.

Tuesday, November 18, 2008

පෙනිසිලින්, ඇම්පිසිලින් සහ කටුවැල්බටු

වෛද්‍ය විද්‍යාලයේ පලමු වසර එකහමාර ඇතුලත අපට රෝගීන් මුන ගැසෙන්නේ නැත. ඉන් පසුව සායනික පුහුනුව ආරම්භ වෙයි. රෝගීන් හමුවන්නේ ඉන් පසුවය. එක දවසක් අපට ස්නායු පද්ධතිය ගැන දේශනයකින් පසු ඒ මාතෘකාව පිලිබඳව වැඩිපුර කරුණු පහදා දීම පිණිස ස්නායු පද්ධතියේ වෙනසක් ඇති රෝගියෙක් රෝද පුටුවක තබා සාත්තු සේවකයෙක් දේශනාගාරයට තල්ලු කරගෙන ආවේය. මේ වෛද්‍ය විද්‍යාලයේ සාමාන්‍ය සිරිතය. රෝගියා ජාතික රෝහලේ වාට්ටුවක ප්‍රතිකාර ලබන කෙනෙකි. වෛද්‍ය ශිෂ්‍යයින් අමතමින් සිටි මහාචාර්යතුමා රෝගියා ගැන කිසි තැතීමක් නොකෙලේය. ඔහුගේ අවධානය යොමුවී තිබුනේ දේශනය කෙරෙහිය. සාත්තු සේවකයාද ගොලුවෙකු සේ කරබාගෙන රෝගියා රෝදපුටුවේ තල්ලුකර ගෙන ආවේ පන නැති භාණ්ඩයක් තල්ලු කරන්නා සේය. මේ සිද්ධිය මට කවදාවත් අමතක කල නොහැක. අද පවා එය සිහිවන විට ඇතිවන්නේ වේදනාවකි. අහිංසක රෝගියාද දුක සැප දැනෙන, වේදනාව දැනෙන හඳුනන, ආත්මගෞරවයක් තිබෙන මනුෂ්‍යයෙකි. අවාසනාවකට මහාචාර්යතුමා රෝගියාට කථා කලේ වත් යටත් පිරිසෙයින් සිනාවකින් සංග්‍රහ කලේවත් නැත. ශිෂ්‍ය පිරිසට හඳුන්වා දුන්නේද නැත. ප්‍රදර්ශනයට ගෙන යන සතෙකු සේ මේ රෝගියා පැමිණ ඇත. ශිෂ්‍යයන්ට කථාකරමින් හුන් මහාචාර්යතුමා එක වරම තම දකුනු අතේ දබරැඟිල්ලත් මැදඇඟිල්ලත් ඇඟිලි මැද්දෙන් නමා, රෝගියාගේ ආමාශය පෙදෙසට තද කොට කරකැවීය. අසරණ රෝගියා වේදනාවෙන් කෑගසීය. ඒ සමගම ඔහුගේ මුහුනේ මාශ පේශීන් ක්‍රියා කරන අන්දම අධ්‍යනය කරන ලෙසට නියෝග කලේය. මගේ සිත දෙගිඩියාවෙන් පෙලෙන්නට පටන් ගත්තේය. මා මෙහි පැමිනියේ රෝගීන්ට සාත්තු කරණ අන්දම ඉගෙන ගැනීමටය. ඔවුන්ට හිරිහැර කරණ අන්දම දකින්නට නොවේ. මහාචාර්යතුමාට ඔයිට වඩා හොඳට මිනිස් කම පෙරදැරිව රෝගියාට කථාකොට ඔහුව මනුස්සයෙක් හැටියට නමින් හඳුන්වා දී අපට උගන්වන්නට ඕනෑතරම් ඉඩ තිබුනි. නමුත් එසේ වූයේ නැත. ප්‍රශ්න කිහිපයක් පැන නැගී ඇත. මේ දොස්තර වරුන්ගේ දඩබ්බර සාවද්‍ය භාවයක්ද? අසරණ රෝගීන්ට මෙසේ සලකන්නේ අධිරාජ්‍යභාවයේ අඳුරු සෙවනැලි තවමත් පවතින නිසාද? රෝගීන් නිසාම ජීවත්වන දොස්තරවරු උසස් යයි ඔවුන් සිතන නිසාද? මගේ පසුබිම ගැමි පසුබිමය. උසස් සමාජයට පිවිසීමට මට කිසිසේත් ආසාවක් නැත. මා පැමිණියේ මිනිස්කම පෙරදැරි කොටගත් ශාස්ත්‍රයක් ඉගෙනීමටය. මා සමග වෛද්‍ය විද්‍යලයට ඇතුල් වූ සිසුන් අතරින් බොහෝ දෙනෙක් සමාජයේ මධ්‍යම පන්තියේ අය වූහ. නමුත් වැඩිතරයක් දඟලන්නේ උසස් යයි සම්මත සමාජයට පිවිසීමටය. මීට විරුද්ධව නැගී සිටීමටද අපහසුය. එවිට මා කොන්වනු ඇත. මමද දෙලොවක් අතර අතර මං වූවා සේය....

Sunday, November 16, 2008

පොඩි එකාගේ ලියුම

ඒ හැටේ දශකයයි. සෑම ඉරිදාවකම ඉරිදා ලංකාදීප පුවත් පත්වල පල වූ කුඩා සටහනකි, පොඩි එකාගේ ලියුම. ලියන්නේ පොඩි එකාය. පොඩි එකා මනඃ කල්පිතය. ඒකාගේ වයස ඒකා ලියන සටහන් අනුව අවුරුදු පහකට දහයකට වඩා විය නොහැක. ඒ කෙසේ වෙතත් පොඩි එකාගේ ලියුම ඉතා හාස්‍යජනකය. ඒ හාස්‍යජනක භාවය නිසාම සමහර දෑ මතකයේ රැඳි පවතී. පොඩි එකා රටේ, සමාජයේ දෛනිකව සිදුවන දේවල් උපහාසාත්මක ඇසකින් බලා ලියුම ලියයි. ඒ ලියන්නේත් ඉතාමත් බොලඳ අන්දමටය. අකුරු පවා සාමාන්‍ය මුද්‍රණ අකුරු නොව පොඩි එකෙක් ලියන අන්දමේ අකුරුය. වරක් ඒකා මෙසේ ලීවේය. "අපේ තාත්තා දොස්තර කෙනෙක්ය. ඒ වුනාට අපේ අම්මා නිතරම ලෙඩ ගානේය..." පොඩි එකා තාත්තාව දකින්නේ ඒ අන්දමටය. 60 දශකයේ සුප්‍රසිද්ධ සිනමා නිලියන් දෙදෙනෙක් දොස්තර වරු දෙදෙනෙක් හා තව නිලියක් ඉංජිනේරුවෙක් හා විවාහ විය. පොඩි එකා මේ සිද්ධීන් දුටුවේ මේ අන්දමටය... "අපේ තාත්තා කරන්නේ ඉස්කෝල ගුරුකමය. අම්මා රස්සාවක් කරන්නේ නැත. ඒ වුනාට අපේ තාත්තාට දොස්තරලාට ඉංජිනේරුවන්ට තරම් මොලේ නොතිබුනාට අපේ අම්මා සිනමා නිලියක් නොවේය..." වරක් පොඩි එකා ඉතා උපහාසාත්මක සිද්ධියක් වාර්තා කලේය. එහි පසුබිම මෙසේය. පොඩි ඒකාගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නේ මානිස් නම් වූ මුදලාලි කෙනෙකි. ඔහුගේ දුවගේ නම සාමාය. ඇය සනී නම් වූ තරුණයෙක් සමග පෙම් බැඳ සිටින්නීය. පොඩි එකාගේ පියා සංගීතඥයෙකි. ඔහු 'ස රි, ග, ම, ප, ද්, නි, ' වශයෙන් සංගීතය නිතර දෙවේලේ හදාරයි. පොඩි එකා ලියුම මෙසේ ලියයි..... "අපේ තාත්තා සංගීතඥයෙක්ය. තාත්තාගේ වැඩේ උදේ ඉඳල හැන්දැ වෙන කම් සංගීතය පුරුදු වෙන එකය. තාත්තා අලුත් සිංදුවක් හදල ඒක පුරුදු වෙන කොට අල්ලපු ගෙදර මානිස් මුදලාලි තරහ වුනේය. ඒ මානිස් මුදලාලිගෙ දුව සාමා, මානිස් මුදලාලි හවස නිදා ගන්න කොට, එයාගෙ කොල්ල සනී එක්ක පැනල ගිය එකට තාත්තා හින්ට් ගහනව කියලාය. සිංදුව මෙසේය. "මානිසා ..මා....නිසා... නි....දා ගනී...// සා..මා සාරි... දා... ග...නී...// ස...නී ස..ම..ග ප..නී..." මේ පිලිබඳව මතකයේ ඇති කෙනෙක් ඇත්නම් ඉදිරිපත් කල මැනවි.

Thursday, November 13, 2008

අවාසනාවන්ත පර්යේෂණය - අපි අතර මං වීමු !!!

ලංකාවේ ප්‍රථම වරට විද්‍යා විශයයන් සිංහලෙන් ඉගෙන, සාමාන්‍ය පෙල විභාගයට සිංහලෙන් හිඳගත් ප්‍රථම ශිෂ්‍යයින් හැටියට අපිට විශාල ප්‍රසිද්ධියක් ලැබුණි. පුවත්පත් ඉතා ගාම්භීර අන්දමට අපිට සැලකූහ. විභාග ප්‍රතිඵල ලැබුනේ සිංහල අවුරුදු සමයේදීය. සිය මවුබසින් ඉගෙන ගත් බැවින් විශයයන් පිලිබඳ මනා දැනුමක් අප සතු විය. ඒ නිසා විභාග සාමර්ථ ප්‍රතිශතය ඉතා ඉහල මට්ටමක පැවතුනේය. ඒ හොඳ පැත්තය. අනෙක් පැත්තෙන් අපේ ඉංග්‍රිසි දැනුම බිංදුවට අඩුවෙන් පහලට බැස්සේය. අපේම අවාසනාවට, ගුරුවරු හෝ ශිෂ්‍යයින් හෝ මේ කරුණ සලකා බලා නැත. ශිෂ්‍යයින්ට අධ්‍යාපන ක්‍රම ගැන කිසිම දැනුමක් නැත. ඔවුන්ට කිසිම දෝශයක් නැංවිය නොහැකිය. ඔවුන් මේ අවාසනාවන්ත පර්යේෂණයේ අහිංසක බැටලුවන් පමනකි! විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අංශයට සුදුසුකම් ලැබීමට, එවකට තිබුණු නීතිය වූයේ සා. පෙ. විභාගයෙන් -
  1. විභාගය විශයයන් අටක් සහිත සාමර්ථය.
  2. සම්මාන පහක් එකවර ලබා ගැනීම
  3. ඉංග්‍රිසි වලට අනිවාර්යයෙන්ම සම්මානයක් තිබීම

බොහෝ දෙනෙක් ඉංග්‍රිසි වලින් සම්මානයක් තබා සාමාන්‍ය සාමර්ථයක් වත් ලබා ගැනීමට අපොහොසත් වූහ. යථාර්තය අපිට වැටහෙන්නට පටන් ගත්තේ එවිටය. ඒ අතර අපේ අධ්‍යාපනයේ අමිහිරි ජවනිකාවක් රඟදෙන්නට පටන් ගත්තේ අකුණු පහරක් ලෙසටය. ඉංග්‍රිසි සම්මානය සඳහා පසුව විභාගය ගත හැකි බවට විභාග දෙපාර්තමේන්තුව අපට ඉක්මනටම දන්වා එවීමෙන් යන්තම් සැනසීමක් ලද්දෙමු. ගුරුවරුන් හා පොත්පත් ආදී අත්‍යාවශ්‍ය දෑ නොමැති නිසා අපේ අධ්‍යාපන මාධ්‍යය මින්පසු ඉංග්‍රිසියෙන් කෙරෙන බවට දැන්වීමෙන් පසු අපි බිරාන්ත වීමු. අපි අන්තිමටම අසරණ වීමු. අපිට උදව්වට කිසිවෙක් ඉදිරිපත් නොවූහ. මෙත්තානන්ද මහත්මයා විශ්‍රාම ගොස්ය. වැඩි පුර ඉංග්‍රිසි පන්තියක් ආරම්භ කිරීමටවත් කවුරුවත් ඉදිරිපත් වූයේ නැත. උසස් පෙල පන්තිවල ඉගැන්වූ ගුරුවරු ඉතා දක්ෂ ගුරුවරුය. නමුත් ඔවුන්ට සිංහල බැරිය. අපි ඉගෙන ගත්තේ අංඩර දෙමලය. අපිට ප්‍රශ්න දෙකකි. එකක් ඉංග්‍රිසි ඉගෙනීමය. අනෙක විශයය ඉගෙනීමය. පාසැලෙන් අපට ලැබුණ කුඩම්මාගේ සැලකිල්ල නිසා අපේ උද්‍යෝගය හීන විය. සමහර සිසුහු ගුරුවරයා ඉංග්‍රිසියෙන් කියන දෑ, ඉංග්‍රිසි වචන සිංහලෙන් ලියා ගැනීමට තරම් අසරණ වූහ. ඒ සිසුන්ගේ තත්වය අතිශයින්ම කනගාටුදායක විය. ඔවුන් සා.පෙ. සමත් වූයේ ඉතා ඉහලින්ය, උසස් පෙල පන්තියේ ඔවුන්ම බඩ ගාති. බොහෝ සිසුහු උසස් අධ්‍යාපනය කර ගත නොහැකිව රැකියාවල් සොයා ගියහ. පාසැලෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය ගත හැක්කේ දෙවරකි. මේ නීතිය පවා වෙනස් කිරීමට පාසැල අපොහොසත් විය.

එක අතකින් මෙය අපරාධයකි. මේ පර්යේශනයට කිසිම ගුරුවරයෙකුගේ දරුවෙක් ගොදුරු නොවීය. හසු වූයේ ඉතා දක්ෂ දිවයිනේ නොයෙක් දෙසින් පැමිනි සාමාන්‍ය ශිෂ්‍යයන්ය. එකල ආධාර ලබන පාසැල් රජය සතු නොවීය. මේ පර්යේශනයෙන් අනාගතය අඳුරු කරගත් සිසුහු බොහෝ වෙති. ඒ ශිෂ්‍යයෝ තවමත් යටිතොල සපාගෙන නිශ්ශබ්දව හිඳිති !!! ඔවුන්ගේ ජීවිත සමග සෙල්ලම් නොකෙලේ නම් ඔවුන්ටද උසස් අධ්‍යාපනයේ රස විඳීමට හැකියාව ලැබීමට ඉඩ තිබිනි.

Tuesday, November 4, 2008

බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම -එය මෙසේ සිදු වූ වගයි

වාර්තා ගත වූ බ-චෙල් ගිවිසුමේ අවසානය පිලිබඳව සත්‍ය සිද්ධීන් මේ සමග අමුණා ඇත. ෆෙඩරලුන් නිසා ඉරූ බව කිවුවත්, තම පක්ෂයේම සිටි විරුද්ධ වාදීන් නිසා ගිවිසුම ඉරා දැමූ බව මෙයින් හොඳින් පැහැදිලි වේ. තවද, මේ සමගම ජේ ආර් ඇතුලු විරුද්ධවාදීන් මහනුවරට පා ගමනක් ආරම්භ කලේ, මේ ගිවිසුම උතුර හා නැගෙනහිර බෙදා වෙන්කොට ද්‍රවිඩයන්ට පාවා දෙන බවට පතුරවමිනි. ටැමිල්නේෂන් වෙබ් අඩවියේ ඒ පිලිබඳව මෙසේ සඳහන්ව ඇත "ඉතාලි ජාතික කෛරාටික මාකියවේලි සේ ජේ ආර්, නැවත වරක් ඉන්දියන් සාගරයේ මුතු ඇටය විය හැකිව තිබුණ අවස්ථාවක් මේ රටට අහිමි කලේය."
ඔන්න ඔහොමයි වුනේ. මේක හොයන්න බොහොම මහන්සි උනා.

Monday, November 3, 2008

යට ගිය දවස - කිරිබත් සහ හැඳි ගෑරුප්පු

1953 අවුරුද්දෙ ඩඩ්ලි සේනානායක මහත්මය අසනීපවෙලා අගමැති කමෙන් ඉල්ලා අස්වුනා. (මේ කාලෙ වගේ එල්ලී ගෙන හිටියෙ නැහැ - බැරි නම් අස්වෙනවා ) ඊට පස්සෙ අගමැති වුනේ සර් ජෝන් කොතලාවල. කොතලාවල මහත්මයගෙ ආණ්ඩුව කාලෙ නොයෙකුත් ප්‍රශ්න මතු වුනා. ඒ මදිවට මැතිවරණයකුත් මතු වුනා. ඒ තමයි ලංකාවෙ ඉතිහාසය වෙනස් අතකට හරවපු 1956 මහා මැතිවරණය. 1948 ලංකාවට නිදහස ලැබුණට බමුණු කුලය දිගටම පැවතුනා. අධිරාජ්‍යවාදී සිරිත් විරිත් දිගටම පැවතුණා. දේශපාලනඥයො කියනව ඒව වෙනස් වෙන්නෙ හෙමිහිට කියල. මම දේශපාලනඥයෙක් නෙවෙයි. බන්ඩාරණායක මහත්තය, පංච මහා බල වේගය කියල විශාල බලවේගයක් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව දියත් කලා, - සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියල. මේ තමයි බමුණු කුලය බිමවැටීමට හේතුව. ඒ මදිවට 1955 ඇසල පෝයදා කොලඹ එක්තරා හෝටලයක උත්සවයකදි කොතලාවල මහත්තය රෝස්ට් කරපු වහු පැටියෙකුගෙන් ඉස්සෙල්ලම කෑල්ල කපනව කියල පත්තර වල තිබුන. උත්සවයක් තිබුණ බව ඇත්ත. රෝස්ට් බීෆ් කෑල්ලක් කපපු එකත් ඇත්ත. පංච මහා කල වේගය ඔන්න ඔහොමයි බමුණු කුලය පෙරලුවෙ. මඩ ගහල පත්තර වලට දාන කොට මොනවා කරන්නද? ඒ කාලෙ ගාල්ලෙ විජයානන්ද දහනායක මහත්තය ( ගාල්ලෙ මන්ත්‍රී තුමා ) , දෙවැනි පන්තියෙ ටිකට් තියාගෙන මිනිස්සුන්ගෙ හිත ගන්න කෝච්චියෙ තුන්වැනි පන්තියෙ යනව. බීඩියක් ගහගෙන අනිත් මගියො එක්ක කාඩ් සෙල්ලම් කරනව. එතකොට මන්ත්‍රීවරු ගියේ බස් වල කෝච්චිවල. අද වගේ සිකියුරිටි නැහැ, පාරවල් වහන්නෙ නැහැ. කොහොම හරි පංච මහා බලවේගය, බමුණු කුලය පෙරලුවා. ලංකාවෙ දේශපාලන ඉතිහාසය වෙනස් අතක යන්න පටන් ගත්තා. 1956 මැතිවරණයෙන් බණ්ඩාරනායක මහත්තයගෙ මහජන එක්සත් පෙරමුණ දිනුවා. බොහොම දේවල් ජාතික ස්වරූපයක් ගන්න පටන් ගත්තා. ජාතික ඇඳුම ජනප්‍රිය වුනා. ඉස්කෝල ලමයි, ගුරුවරු පවා ජාතික ඇඳුම ඇන්දා. මට මතකයි, සුදු රෙද්දයි, සුදු දිග කමිසයයි පහසුයි. මට සුදු සරමට බඳින්න පටියක් නැතිව ගුරුවරයෙකුගෙන් පරණ ටයි එකක් ඉල්ලගෙන බැන්දා මතකයි. බණ්ඩාරනායක මහත්මයගෙ රජයේ නොයෙක් නොයෙක් තරාතිරම් වල මන්ත්‍රී වරු හිටියා. එක් කෙනෙක් තමයි මැද කොලඹ තුන් වැනි මන්ත්‍රී හැටියට තේරී පත් වුනු ඇම්. ඇස්. තේමිස් මහත්මයා. මේ මහත්මයා පිලිබඳව හාස්‍යජනක සිද්දියක් ඒ කාලෙ පාර්ලිමේන්තුවෙන් අහන්න සිදුවුනා. කොතලාවල මහත්මයා කොහොම හරි, තමන්ගෙ ආසනය - දොඩම්ගස්ලන්ද දිනුවා. ඉතින් මන්ත්‍රීවරු ඔක්කොම එක සමානයි කියන යථාර්තය මත සර් ජෝන්ට තේමිස් පාර්ලිමේන්තුවෙදි 'හලෝ ජෝන්' කියපි! කොතලාවල මහත්මයා අත දිගෑරල තේමිස් මහත්මයාගෙ කම්මුලට ගහපි! තේමිස් මහත්මයා වරක් තැපැල් බෙදන්නෙක් හැටියට රැකියාව කරල තියෙනව. කොතලාවල මහත්මය ඉතින් 'සර්' කෙනෙක් නේ. මේ නඩුව තේමිස් මහත්මය බණ්ඩාරනයක මහත්මයට් ගිහින් කිව්ව. බණ්ඩාරනායක මහත්මයට වුනත් කර කියා ගන්න දෙයක් නැතිව ගියා. ඒ කම්මුල් පහර බමුණු කුලයෙන් වෙන කුලයකට එල්ල කල පහරක්. ඒකෙ ප්‍රතිඵලය අධිරාජ්‍යවාදී නම්බුනාම අපේ රටෙන් නැති වීම. ඒ කාලෙ එහෙමයි. එංගලන්තෙ මහ රැජිනගෙ උපන් දිනේට අපේ රටෙත් 'සර්ලා' හතර පස් දෙනෙක් උපදිනව. අධිරාජ්‍ය වාදී නම්බුනාම පිලිකෙව් කරාම සමහර ජාති හිතෛෂී 'සර්' ලා 'සර්' කම ආපහු බාර දුන්න. එක්තරා නවෝදයක් රට තුල බිහිවුනා. හේතුව "අපේ ආණ්ඩුව". ඉතින් ඔය අතරෙ පුවත් පත් සාකච්ඡාවකට මාධ්‍ය වේදීන්ට අගමැති බණ්ඩාරනායක ආරාධනා කලා. ඔය මාධ්‍යවේදීන් අතරෙ බමුණු කුලයට ආවඩන වසලයෙකුත් ඉන්න ඇති. මොකද, ඊට පහුවෙනිදා, පත්තරේ තිබුණා, කැවුම්, කොකිස්, සහ කිරිබත් කන්න හැඳි ගෑරුප්පු අගමැති මැදුරෙ ලෑස්ති කරල තිබුනය කියල. පුවත් පත් සාකච්ඡාව ගැන වැඩි යමක් තිබුනෙ නැහැ, කිරි බත් හැඳි ගෑරුප්පු තමයි තීම් එක!!! බණ්ඩාරනායක මහත්මයා පංචමහා බල වේගය එකතු කර ගත්තට ඔය අතරෙ ආත්මාර්ථකාමී අයත් හිටිය. ඒ අයට අවශ්‍ය වුනේ ඒ අයගෙ අවශ්‍යතාවයන් මේ නව රජය මගින් ඉටු කරවා ගන්න. එහෙම බැරි වෙන කොට ප්‍රශ්න මතු වෙන්න පටන් ගත්තා. ඒ ප්‍රශ්නවල අවාසනාවන්ත ආරම්ඹය තමයි ඔය. නව රජයට තවම සුමාන ගනනයි වයස!