Wednesday, December 3, 2008

PATCH (HUNTER) ADAMS

2000 වසරේ WONCA (World Organization of Family Doctors) Christchurch - NZ ලෝක සම්මේලනයේ ආරාධනයක් පරිදි පැච් ඇඩම්ස් සම්මේලනයට සහභාගි වූයේ මෙසේය. බෙල්ලේ සිට පහලට බොත්තම් දමා ගෙන ටයි කෝට් හැඳ පැලඳ සිටි අයට ඔච්චම් කරමින් විකට ඇඳුමක් ඇඳගෙන, පාට දෙකක මේස් දෙකක් දමා ගෙන නවීන පන්නයේ කොන්ඩා මෝස්තරයකින් සැරසී සිටියේය. ප්‍රධාන අමුත්තාද ඔහුය. ශ්‍රී ලංකාව නියෝජනය කලේ මහාචාර්ය නන්දනී ද සිල්වා මැතිණියය. (ඡාය රූපය මා සතුය) පැච් ඇඩම්ස් නම් වූ මේ මානව හිතවාදී ඇමෙරිකානු වෛද්‍යවරයා උතුම් මනුශ්‍යයෙකි. ඔහු ලොවට මානව හිතවාදී, සාමාන්‍ය බටහිර වෛද්‍ය ක්‍රමයට විරුද්ධ, රෝගීන්ගේම සතුට, හාස්‍යය පදනම් කොට ගත් වෛද්‍ය ක්‍රමයක් ලොවට හඳුන්වාදීමට උත්සාහ කලේය. ඒ උත්සාහය සෑහෙන දුරකට සාර්ථක විය. සාමාන්‍ය බටහිර වෛද්‍යවරුන් මෙන් ඔහු මුදල් පසුපස හඹා නොගියේය. රෝගීන්ගේ සැපපහසුව, ඔවුන්ගේ සුබ සාදක බව ඔහු ප්‍රධාන වශයෙන් සලකා බැලීය. ඔහුගේ අවධානය යොමු වූයේ පිළිකා ආදී රෝග ශරීර ගතව, සාමාන්‍ය බටහිර වෛද්‍යවරුන් අතහැර දැමූ රෝගීන්ය, නැතහොත් ස්වාභාවික ව්‍යසනයන්ට ගොදුරු වූ අසරණයින්ය. යුගෝස්ලාවියාව බිඳ වැටුණු පසු වෛද්‍ය කණ්ඩායම්ක් සමග ඔහු බොස්නියාවේ අසරණ වූ ලමයින් බැලීමට ගියේය. සුනාමි ව්‍යසනයේදී ලංකාවටද පැමිනියේය. ගාල්ලේ රෝහලට ඔහු පිවිසියේ අතේ මාලුවෙක් ඇතිව විකට ඇඳුමක් ඇඳගෙනය. බාහිර ලොව ගැන අබමල් රේනුවක් තරම් වත් දැනුමක් නැති එක්තරා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරියක් ඔහු මානසික රෝගියෙක්යැයි සිතා ඔහුට බැන වැදුනාය. ඒ අපේ වෛද්‍යවරුන්ගේ මහන්තත්වය නිසාය. ඔහුගේ ජීවිතය අළලා චිත්‍රපටියක් පවා නිශ්පාදනය විය. ඒ එක්තරා ආයතනයක් සඳහා අරමුදල් එකතු කිරීමටය. ආයතනය රෝගීන් සඳහා වෙන්වූවකි. පැච් ඇඩම්ස්ගේ නියම නම හන්ටර් ඇඩම්ස්ය. ජීවිතයේ සිත්තැවුලක් නිසා ඔහු සිය දිවි නසා ගැනීමට තැත්කොට ඉන් ගැලවුනේය. ඊටපසු මානසික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගන්නා අතර රෝහල් වල ඇති අඩුපාඩු බටහිර වෛද්‍ය ක්‍රමයේ ඇති අඩුපාඩු ඔහු අධ්‍යයන කලේය. ඔහු වෛද්‍යවරයෙක් වීමට සිතා ගත්තේය. උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්ව ඉගෙනගනිද්දී, තමා හදාරණ වෛද්‍ය ශාස්ත්‍රය විවේචනය කල පැච් නිතර නිතර පීඨාධීපතිතුමා සමග ඝට්ඨන ඇතිකර ගත්තේය. ඒ නිසා දෙවරක් විශ්ව විද්‍යාලයෙන් ඔහු නෙරපණ ලදී. මහජන උද්ගෝෂණය නිසා නැවතත් ඔහු ඇතුලත් කර ගැනීමට සිදුවිය. බටහිර වෛද්‍යක්‍රම යල් පැනපු ක්‍රම බවත් ඉන් රෝගීන්ට සෙතක් නොවන බවත් ඔහු තදින් විශ්වාස කලේය. රෝගියාගේ අසනීප තත්වය (රෝගය නොවේ) ඔහු ජීවත් වන සමාජය හා තදින් බැඳී ඇති බව පැච් විශ්වාස කලේය. අසනීපයත්, ඒ පවුල මත පැටවෙන බරත් ඔහු ජීවත් වන සමාජයත් එකිනෙක බැඳී ඇතිබව ඔහු කියා සිටියේය. හාස්‍යය අළලා ගෙතුනු ප්‍රතිකාර ක්‍රම ඉතා ඉක්මනින් රෝගීන් අතර ජනප්‍රිය විය. ඒ නිසා ඔහු වටා රෝගීන් පමණක් නොව හෙදියන්ද රොක් වන්නට වූහ. ඔහුගේ උපාධි ප්‍රධානෝත්සවය ලෝකයේ ප්‍රසිද්ධ විය. උපාධි ප්‍රධානෝත්සවයේදී ඔහුගේ පීඨාධිපති "අවසානයේදී ඔබද පැමිණ ඇත" යනුවෙන් සාවඥ දෙයක් ප්‍රකාශ කලේය. පැච් පලමුව ඔහු දෙසට ගෞරවාන්විතව නැමී දෙවනුව කරලිය දෙසට නැමී ආචාර කලේය. ඔහු උපාධි කබාය හැරුනු විට වෙන කිසිම ඇඳුමක් ඇඳ නොසිටි බව දැනුනේ එවිටය.

6 comments:

malee_msg said...

මේ සටහන කියවද්දි මට "වෙ‍රෝනිකා මරෙන්න තීරණය කරයි" පොත මතක් උනා.. අනේ ඇත්තටම හරිම ශෝක් පෞද්ගලිකව මමත් කැමති ඒ වගේ සැහැල්ලු වෛද්‍යව‍රයෙක් ගෙන් බෙහෙත් ගන්න. ඒත් අපේ රටේ එහෙම අය ඇති කියලා මම නම් හිතන්නේ නෑ.. මොකද අර ගොඩනැගිල්ලෙන් එළියට එවන්නෙත් ඇතුලට ගන්නෙත් එක්තරා රාමුවකට ගැලපෙන විදියට නේ...!

Bo said...

හොඳ පාඩමක්. හිනාවකින්, කතාවකින් කෙනෙකුගේ හිත සනසවන්න පුළුවන් බව බොහෝවිට දැනුනා. මුදල් මතම සියල්ල පදනම් වූ සමාජයක වෛද්‍ය වෘත්තියත් තවත් එක් රැකියාවක් බවට පත්වෙලා. බලමු වෙනසක් කරන්න එක්කෙනෙක්ට හරි පුළුවන් කියන මතය මම තදින් පිළිගන්නවා.

said...

මේකත් විශ්ව ශක්තිය එක්ක පටලවාගෙන අපේ කට්ටිය අලුත් ව්‍යාපරයක් පටන්ගනීද දන්නේ නැහැ.

සරත් ගුණතුංග said...

මෙතැන කිසිම විශ්ව ශක්තියක්වත්, යහ මිනිස් ගුණවලින් පිට කිසිම බලවේගයක්වත්, මුදල් පිළිබඳව කිසිම සම්බන්ඳ කමක්වත් නැහැ. ඇත්තේ සත්‍යයත් මෛත්‍රී, කරුණා, දයා ආදී උතුම් ගුණාංග පමණකි. ඇමෙරිකාව වැනි රටක මුදලින් තොරව කිසිම දෙයක් නැත. එවන් රටක බිහි වී මෙවන් වැඩපිලිවෙලක් ආරම්භ කල මේ වෛද්‍යවරයා තමා ආගම් භක්තිකයෙක් නොවන බව නවසීලන්තයේදී ප්‍රකාශ කලේය. ඊට විරුද්ධව මා පැවසුවේ, "කරුණා දයා, මෛත්‍රී ගුණදම් වලින් පිරිපුන් ඔබතුමා සෑම ආගමක්ම හොඳින් අදහන්නෙක් බවත්" ඒ ගැන කිසිම සැකයක් නැති බවත්ය. රැස්ව සිටි මුලු සබය ඊට ප්‍රතිචාර දැක්විය.

said...

එතුමා මෙය යහපත් චේතනාවෙන් කරනබවට සැකයක් නැහැ. මම කිව්වෙ මෙහෙ ඉන්න කවුරු හරි හොරෙක් ඕක කොපි කරල වෙන ලේබල් එකක් ගහල මෙහෙ විකුනන්න පුළුවන් බව.

SRIshanu said...

මං හිතන්නෙ පැච් ඇඩම්ස්ගෙ මේ ක්‍රම අපේ රටවල‍ට නම් අළුත් දෙයක් නෙමෙයි. මොකද දේශීය වෙදකමෙත් තියනව නේද රෝගයට සුව කරන්න නම් රෝගියාගෙ හිත සුව කරල ඉන්න ඕනෙ කියල. (ඒක කරන නොකරන එක වෙනම දෙයක්) ;)

කොහොමත් කෙනෙක් අළුත් දෙයක් වෙනස් දෙයක් කරන්න හදනකොට කට කොනෙන් හිනාවෙන එක ලෝකෙ කොහෙත් තියනව. අද කාලෙ ලෝකපූජිතව සළකන කීදෙනෙකුට ජීවත්ව ඉන්න කාලෙ උපහාර පිදුනද? පැච් ඇඩම්ස්ගෙ උත්සාහයක් යම් දවසක පළදරාවි.

චිත්‍රපටියත් බැලුවා. හරිම සංවේදජනකයි. ඒවගේම ජීවිතයට අළුත් බලාපොරොත්තුවක් එකතු වුනා... :) මාරයි!!!