Wednesday, December 10, 2008

විමැසීම

මම ප්‍රතිචාර දක්වන එක් වෙබ් අඩ්වියක මෙන්න මේ ප්‍රතිචාරය තිබුණා. Anonymous said... මම මේ කියන්නෙ ව්ශ්වය ගැන හොයන එක හොදයි.ඔහොම හොයද්දී නිකන් හරි බුදු‍ කොනෙකුත් ඉන්න අපේ වගේම ග්‍රහලෝකයක් හම්බවුනා.මොකද කියන්නෙ...අපිට නිවන් යන්න මාර්ගය දෙසන්න බුදුහාමුදුරැවෝ කෙනෙක් නැති නිසා එම ලෝකයෙන් හරි බැරිය උදව් ගන්න......... December 9, 2008 7:32 PM මේක මට හරිම ප්‍රහේලිකාවක් වුනා. එක්කෝ මේ ලියපු තැනැත්තා බුදුදහම ගැන අල්ප මාත්‍රයක් වත් දන්නෙ නැති කෙනෙක් නැත්නම් නිකම් විහිලු කරන කෙනෙක්. නමුත් ඒ තැනැත්තා/තැනැත්තිය බෞද්ධයෙක් නම් අපි ඉතාමත්ම දුක්ඛිත තත්වයකට මුහුණ පා සිටිනවා. ඒ කියන්නෙ බුදධාගම දන්නෙ නැති අය බෞද්ධ වේශයෙන් පෙනී සිටින නිසා. ඒ වගේම පහත සඳහන් ප්‍රතිචාරයත් එම බ්ලොග් අඩවියේ තිබුණා. Anonymous said... කලින් අදහස් දක්වපු කෙනා බුද්ධාගම දැනගෙන නෙවෙයි ඒක කියලා තියෙන්නේ. බුදු කෙනෙකුන් ගේ පහළ වීම ගැන සරත් ගුණතුංග මහතා අපිට කියලා දුන්නොත් හොඳයි December 9, 2008 11:38 PM මේ ප්‍රතිචාරය දැක්කම යුතුකමක් හැටියට අපිටත් යම්කිසි කටයුත්තක් කිරීමට අවශ්‍යතාවයක් ඇති බව වැටහුනා. අවුරුදු 45ක් මුලුල්ලේ සපත්තු සෙරෙප්පු නොමැතිව පාගමනින් දඹදිව් තලයේ දූවිලි පිරුන මංමාවත් වල අවු වැසි නොබලා ලෝ සත්වයා කෙරෙහි ඇති කරුණාවෙන් බුදුන් වහන්සේ දහම් දෙසූ හැටි මතක් වුනා. උන්වහන්සේ සමහර අවස්ථාවල දිවැසින් බලා ධර්මය තේරුම් ගැනීමට හැකි තැනැත්තා එන මග බලාගෙන හිටිය. අපේම අවාසනාවකට අපි, ඒ උත්තමයානන් වහන්සේගේ ජීවිතය ආදර්ශයක් හැටියට ගන්නෙ නැහැ. උන්වහන්සේගේ ඉගැන්වීම් රටාව ගැන විමර්ශනාත්මකව බලන්නෙ නැහැ. උන්වහන්සේ ආවට ගියාට ඉගැන්නුවෙ නැහැ. "බොහොම වෙලාවට "යකඩෙ රත් වෙන කම්" හිටිය. ඒ කියන්නෙ ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය එම පුද්ගලයා තුල පහල වෙනකම් හිටිය. බුදුන් වහන්සේ හමුවට යන්නෙ පැනයක් ඇතිනිසා. එහෙම අවස්ථාවල ඒ තැනැත්තා තුල යම්කිසි දෙයක් ඉගෙනගැනීමේ ආශාවක් පහල වෙලා තියෙනව. ඒකයි "යකඩෙ රත්වුනා" කියන්නෙ. එහෙම ආශාවක් නැත්නම් කොච්චර කිව්වත් වැඩක් නැහැ. දැන් බලන්න සිගරැට් පැකට් වල දුම් බීම පිළිබඳව නොයෙක් දේවල් ලියල තියෙනව. ඔවයින් කීයෙන් කීදෙනාද පාඩම් ඉගෙන ගන්නෙ? පටාචාරා චරිතය අපේ බෞද්ධ දොස්තරවරුන්ට ඉගෙන ගන්න හොඳ පාඩමක්, රෝගීන්ට ප්‍රතිකාර කරන අන්දම. සිහිවිකල්ව නග්නව දැන් කාලෙ රෝහලකට ගියොත් කාමරේකට දාල බැඳල නොයෙක් ඉන්ජෙක්ෂන් ගහයි නින්ද යන්න. සමහර විට "මහා මාර්ගයේ අශීලාචාරව හැසුරුණ බවට" නඩුවකුත් වැටෙයි. බුදු හාමුදුරුවො මහා කරුණාවෙන් යුක්තව පැවසුවෙ "නැගනියෙනි සිහි එලවා ගන්න" කියල. උන්වහන්සේගේ කරුණාව පටාචාරාව විනිවිද ගියාට කිසිම සැකයක් නැහැ. ඒ කරුණාවෙන්ම පටාචාරාවට සෑහෙන සුවයක් ලබන්න ඇති. මේ අවස්ථාවලදි මට 'පැච්" ඇඩම්ස්' දොස්තර මහත්මයත් මතක් වෙනව. ඒ මහත්මයා බෞද්ධයෙක් නෙවෙයි, ඒ වුනාට බොහොම කරුණාව ඇති මහත්මයෙක්. ඔබට හැකිනම් "පැච් ඇඩම්ස්" නම් වූ විඩියෝව හෝ DVD එක බලන්න.. ඒ, ඒ මහතාගේ ජීවිත කතාව. සිනහවෙන්, හාස්‍යයෙන්, කරුනාවෙන් රෝගීන්ට ප්‍රතිකාර කරන අන්දම එයින් පැවසෙන්නෙ. රසායනික ඖෂධ වලින් බැරිවුන සුවය, සිනාවෙන් කරුණාවෙන් ඒ මහත්මය කරනව. ඊළඟට බුදුහාමුදුරුවන්ට අවශ්‍ය වුනේ හැමෝම මැරෙනව කියල පහදා දෙන්නයි. උන්වන්සේ ඒක පහදා දෙන්න ක්‍රමයක් උපයෝගී කර ගත්ත. 'අබ ඇටේ'. එතකොට තමයි පටාචාරාවන්ට මිය යාම ගැන යථාර්තය අවබෝධ වුනේ. එතකොට "යකඩය හොඳටම රත් වූ පසු" බුදුහාමුදුරුවන් දෙසුව ධර්මය අවබෝධ කර ගන්න වැඩි කලක් ගතවුනේ නැහැ. අපේ දොස්තර මහත්වරුත් රෝගීන්ට සුහදව කථාකරල තේරෙන අන්දමට කරුනු පැහැදිලි කලොත් වෙද හමුව හුඟක් ඵලදායී වෙනව. මට ලැබුන දෙවැනි ප්‍රතිචාරයෙ හැටියට සමහරු ඉන්නව බුදුදහම ගැන හරියට නොදන්න අය. ඒ අය අතරින් ඒ ගැන ඉගෙන ගන්න ආස අය ඉන්නව. ඒ අයට බුදු හාමුදුරුවන්ගේ ජීවිතය උදාහරණයක් හැටියට අරගෙන අපි පුලුවන් අන්දමට උදව් කරන්න ඕන. මේ ගැන දැනටමත් නිතර නිතර බ්ලොග් ලියන හේම ජයන්ත කොළඹගේ මහත්මයාටත්, හේමරාජී ගුණසේකර මැතිණියටත් මම කෘතඥතාවය පලකරනව. එමෙන්ම කොළඹගේ මහත්මයාටත්, හේමරාජී මැතිණියටත් මම ආරාධනා කරනව තව තවත් අපව දැනුවත් කරන්න කියල.

9 comments:

හේම ජයන්ත කොළඹගේ said...

සරත් ගුණතුංග මහත්මයානනි.හේමරාජි ගැනත් මා ගැනත් කල සදහනට ඔබට බොහොමත්ම පින්. අප නිරන්තරයෙන්ම ඔබ කල උතුම් ඉල්ලීම වෙනුවෙන් පෙනී සිටිනවා.ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් මේ නිර්මල ධර්ම මාර්ගය පිලිබදව අප අත්විදින දේ සහ බුදුරජාණන්වහන්සේ දේශනා කලදෙය නිර්ලෝභිව පිරිනමන්නට සැදී පැහැදී සිටිනවා. මටත් හේමරාජිටත් ඔබටත් මේ ජීවිතය තුල යමෙකුට දිය හැකි උතුම්ම ත්‍යාගය මේ ධර්ම මාර්ගය පහදා දීම බව අවධාරණය කරන්නට කැමතියි.
"චරථ භික්ඛවෙ චාරිකා බහුජන හිතාය" මෙය බොහෝ දෙනාගේ හිතසුව පිණිස වේවා. ඔබට උතුම් චතුරාර්යය සත්‍යය අවබෝධ වීමෙන් නිර්වාණ ධාතුව ශාක්ෂාත් කරගැනීමට කුසල් පහලවේවා යැයි මමත් හේමරාජිත් ශුභාශිංසනය කරමු.

malee_msg said...

මම නම් හිතන්නේ ‍නිවැරදි බුදු දහම දන්න අයත් දැන ගත්තත් ඒ අනුව ජිවත් වෙන අයත් ඉන්නේ බොහෝම සුළු පිරිසයි

හේමරාජි ගුණසේකර said...

සරත් ගුණතුංග මහතාණන් ගේ සටහන අනුව නම් එලෙස ප්‍රතිචාර දක්වා තිබෙන තැනැත්තිය හෝ තැනැත්තා උපතින් බෞද්ධ අයෙක් විය යුතුයි. කෙසේ නමුත් ඔවුන් නිවැරදි ලෙස තෙරුවන් සරණ ගිය නියම බෞද්ධ ශ්‍රාවකයන් කරන්න අපට හැකි නම් එය තමයි නියම කළ්‍යාණ මිත්‍රත්තවය කියන්නේ.

ජයන්ත කොළඹගේ මහතා විසින් සැබෑ කළ්‍යාණ මිත්‍රයෙක් ලෙස අපගේ ධර්ම ඥාණය දියුණු කර ගැනීමට එතුමාගේ අත්දැකීම් මත ලබා ගත් අවබෝධය තුලින් මහත් සේවයක් එතුමාගේ බ්ලෝග් අඩවිය හරහා දැනටමත් සිදු කරනවා.

කොහොම නමුත් ඔබතුමා විසින් කොළඹගේ මහතා සහ මා කෙරෙහි විශ්වාසයක් තබා කර ඇති ඉල්ලීමට බොහෝමත් ම ස්තූතියි. අප අපට හැකි අයුරින් මේ ධර්ම මාර්ගය සැමට අවබෝධ කරගන්නට උදව් වෙමු. ඔබට මේ ගෞතම බුදු සසුන තුළ දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!
තෙරුවන් සරණයි.

ආගන්තුකයා said...

ඇත්තටම බුද්ධ ධර්මය කියන්නේ ජීවිතය තුල ඕනෑම ගැටළුකාරී අවස්ථාවක් තුල අපිට ප්රයෝජනවත් වෙන දහමක්... මම බුදුදහමට එච්චර නැඹුරු නම් නෑ... ඒක මගේ වැරැද්දක්... මම තාම ඒ නිර්මල දහම හරියට ඉගෙනගන්න සූදානම් නැතුව ඇති... දහම් පාසලේ නම් අවසානේ ඉවරවෙනකම් ඉගනගෙන තියෙනවා දන්න ටික පාවිච්චි කරනවා අඩුයි...

Chanaka Aruna Munasinghe said...

[quote] මම මේ කියන්නෙ ව්ශ්වය ගැන හොයන එක හොදයි.ඔහොම හොයද්දී නිකන් හරි බුදු‍ කොනෙකුත් ඉන්න අපේ වගේම ග්‍රහලෝකයක් හම්බවුනා.මොකද කියන්නෙ...අපිට නිවන් යන්න මාර්ගය දෙසන්න බුදුහාමුදුරැවෝ කෙනෙක් නැති නිසා [/quote]

මම අහල තියෙන ථේරවාදී බුදු දහමෙ විදිහට සාරාසංඛ්‍ය කල්ප ගානකට විශ්වයටම පහළ වෙන්නෙ එක බුදු වරයයි.ඒ බුදුවරයා පහළ වෙච්ච කාලය අපිට අවුරුදු 2500ක් වගේ ඉතාම පොඩි කාලයකින් ( කල්ප ලක්ෂ ගානකට සාපේක්ෂව ) ඉතාම අවාසනාවන්ත විදිහට මගඇරිල.

හැබැයි අපි ගොඩාක්ම අවාසනාවන්තත් නැහැ. මොකද බුදු හාමුදුරුවො නැති වුනාට උන් වහන්සේගේ ධර්මය සෑහෙන දුරකට තවම අපි අතර ඉතුරු වෙලා තියෙනවා.

Chanaka Aruna Munasinghe said...

ධර්ම දානය අනිත් සෑම දානයකටම වඩා උතුම්.
ඉතින් ජීවිත අත්දැකීම් තුලින් ධර්මය අවබෝධ කරගත්ත අය අපි වගේ අත්දැකීම් අඩු අයට උදවු කරන්න. ගොඩාක් පිං

හරේ...! said...

කාලාන්තරයක් තිස්සෙ විවිධ විධියට එකිනෙකා අත මාරු වෙලා දැන් බුදු දහම කියන එක නිවැරදිව දන්න කවුරුවත් නෑ. දන්නව කියල කියන ගොඩක් දෙනාට ගෙඩි පිටින් පොත්පත් නම් කටපාඩම්. ඒ වුණාට ඒ පොත්පත්වල තියෙන ඒව එයාලටවත් තේරෙනවද මන්දා.

මට නම් හිතෙන්නෙ බුදුන් කියල තියෙන සරලම දේවල් හොඳටම ප්‍රමාණවත් හැදෙනවනම්.

වැඩේ කියන්නෙ මිනිස්සු ආගම කියන සංකල්පය අතීතයට දාලයි තියෙන්නෙ. වර්තමානයේ ආයෙ ජොලියෙ ඉන්නවා. පන්සලුත් යනවා. කරන්න පුළුවන් දහජරා වැඩ සේරමත් කරනවා. සමස්ත ලාංකික ‍බෞද්ධයා ගැන නම් මට පේන දේ ඒකයි.

Aaloka said...

වටින සටහනක්. මම අදයි ඔබේ සටහන් මුලින්ම දක්කෙ. දිගටම ලියන්ඩ.

මාංශ අනුභවය ගැන පොඩි දෙයක් කියන්ඩ ඕනෙ. මේක හරියට පැහැදිලි කරගැනීම හරිම වැදගත්. හිතක් පපුවක් තියන මිහිහෙක්ට තව සතෙකුගෙ මස් කන්ඩ අකමැත්තක් වගේම, පිලිකුලක් තිබීම සාධාරණ දෙයක්. ඒ වගේම හොඳ දෙයක්.

නමුත් බුදු රජාණන්වහන්සෙගෙ ශ්‍රාවකයො හැටියට, අපි පැහැදිලිවම දැනගන්න ඕනෙ කාරණය තමා, ත්‍රිකෝටික පාරිශුද්ධ මස් කෑව කියල, 'ප්‍රාණඝාතයෙන් වැලකීම' කියන සිල් පදය බිඳෙන්නෙ නැහැ කියන එක. සමහර අය හිතන් ඉන්නව මස්, බිත්තර කෑවහම සිල් බිඳෙනව කියල.

මොකද ඒ අය එහෙම හිතන් ඉඳීම ම සීලබ්බත උපාදානයක් විදිහට ක්‍රියාත්මක වෙනව. හුඟදෙනෙක් සීලය, ආර්ය අශ්ඨාංගික මාර්ගයේ අංගයක් විදිහට නැතුව, අර්ථ විරහිත, ඔන්න ඔහේ පුරැද්දට කරන දෙයක් කරගෙන තියන නිසා තමා මේ ප්‍රශ්න. ආහාර පුරුදුයි, මාර්ගයයි පටල ගන්ඩ නරකයි.

අපේ ස්වාමින් වහන්ස්සෙල අපි ගැන කරැණාවෙන් තමා මේ ගැටලුව ලිහල දෙන්නෙ. නැතුව මස් කන්ඩ ඕනෙ වෙලා නෙමේ...

Aaloka said...

හරේ ,
[quote]
කාලාන්තරයක් තිස්සෙ විවිධ විධියට එකිනෙකා අත මාරු වෙලා දැන් බුදු දහම කියන එක නිවැරදිව දන්න කවුරුවත් නෑ.
[end quote]

එහෙම කියන්ඩ එපා!! තවම අපි ළඟ නිර්මල බුද්ධ වචනය ඒ විදිහටම සුරැකිලා තියනව. ඇමරිකානු ජාතිකයෙක්ව සිටි, බෝධි ස්වාමින්වහන්සෙ වරක් කියලතිබ්බ, "මේ ලන්කාවෙ මිනිස්සු ඉන්නෙ රත්තරං ගොඩක් උඩ. ඒත් ඒ අය ඒ ගැන දන්නෙ නැහැ" කියල

හැදෙන්න විතරක් නෙමේ, සියලු දුක් කෙලවර කරන්නම උදව් වෙන ධර්මය තවම තියනව. ඒ ධර්මයෙ ඉලක්කයක් ඇතිව හැසිරෙන පිරිසකුත් අප්‍රකටව උනත් තවම ඉන්නව. අපට මඟ පෙන්වන්න, සුතධර, විනයධර ස්වාමීන් වයන්සෙල කීප නමකුත් තවම වැඩ ඉන්නව.

ඉතින් අපි අප්‍රමාදී වෙමු. ටික කාලයයි ඉතුරැ වෙලා තියෙන්නෙ.