Sunday, December 14, 2008

බුදු සමය හා නවීන විද්‍යාව - අවුරුදු 2550 කට පසු.......................

බුදු සමිඳුන් මෙලොව පහල වූයේ මින් වසර 2552 කට පෙරදීය. අපගේ අවාසනාවකට ලංකාවේ සමහරු, උත්පත්තියෙන්ම බෞද්ධ වූ අය, බුදුදහම හරිහැටි නොදනිති. ඒ නිසා බුදු දහමේ ඇති නිර්මලත්වය කෙලෙසීමට තැත් කරති. බොහෝ විට මෙය සිදුවන්නේ නොදැනුවත් කම නිසාය. නමුත් ඒ නිසා නොමඟ යන්නවුන්ද සිටිති. මේ මෑතකදී මගේ බ්ලොග් සටහනක වෙන ග්‍රහ ලොවක බුදු කෙනෙක් සිටියොත්? වශයෙන්ද, තවත් කෙනෙක් බුදුන් වහන්සේට වෙන ග්‍රහ ලෝක සෙවීම සඳහා කුතුහලයක් ඇති වූ බවක්ද සඳහන් විනි. මේ නොදැනුවත් කම නිසා ප්‍රකාශ කරන දේවල්ය. අද බොහෝ දෙනෙක් වසර 2552 කට පෙර බිහිවුනු බුදුදහම අද දවසට, නවීන විද්‍යාවට අනුව පෞරාණික සමයයක් වශයෙන් සලකති. ඒ නිසා නවීන විද්‍යාව ගැනත් බුදුදහම ගැනත් අපි දන්නා කරුණු විචාරාත්මකව සලකා බැලීම වටී. නවීන විද්‍යාව ශීග්‍රයෙන් හොඳ අතටත් නරක අතටත් දියුණු වෙයි. දැනට වසර 40 කට පමණ පෙර මිනිසා හඳ මත පා තැබීය. නොයෙක් මාදිලියේ චන්ද්‍රිකා පෘථිවිය වටා භ්‍රමණය වෙති. බුද්ධාගමත්, නවීන විද්‍යාවත් එකිනෙකට නොගැලපෙන සංස්ථාවන් දෙකක් වශයෙන්ද සලකති. මා ආනන්ද විද්‍යාලයයේ නේවාසිකාගාරයේ සිටින සමයේ ඉරිදා උදයෙක ධර්ම දේශනාව සඳහා නාරද ස්වාමීන් වහන්සේ කැඳවා ගෙන ආවෙමි. උන්වහන්සේ වේලාවට කලින් වැඩම කලහ. සිසුන් සිටියේ උදේ ආහාරය ගනිමින්ය. නාරද ස්වාමීන් වහන්සේ කෑම ගන්නා ශාලාවට වැඩි සේක. සිසුන් උදෑසන ආහාරය ගන්නා ස්ථානයටම වැඩම කල උන්වහන්සේ ධර්ම දේශනාව එතැන සිටම ආරම්ඹ කලහ. "කවුද බිත්තර කන්නේ...? යයි ඇසූ උන්වහන්සේ, ආනන්දෙ ලමයි බුදු පැටවු... බිත්තර කෑම අපේ ආගමට අකැපයි.. .. මේ ලමයි ජීවත් වෙන්න ඕන ආගමික පරිසරයක..." යනාදී වශයෙන් ප්‍රායෝගික බෞද්ධ ජීවිතයක රටාව කෙසේ විය යුතුද යන බව දේශනා කලහ. ඇත්ත වශයෙන්ම නේවාසිකාගාරයේදී අපට බිත්තර මාංශ ආදී කෑම වර්ග ලැබුනද ඒවා බොදු ජීවිතයකට නොමනා බව නොදැනුනි. අපි ගත කරන ජීවිතයත් ආගමික නැඹුරුවත් එකසේ විය යුතු බව අපටම උන්වහන්සේ වටහා දුන්හ. බුදුන් වහන්සේගේ ධර්මය සලකා බලන විට ප්‍රධාන වශයෙන් දෙකොටසකට බෙදිය හැක. 1. චතුරාය සත්‍යය ධර්මය 2. ආර්ය අශ්ඨාංගික මාර්ගය යනුවෙනි මෙයින් චතුරාර්ය සත්‍යය ධර්මයන් වනාහි සුලුකොට සැලකිය නොහැක. බොහෝ දෙනා අතර තිබෙන මතයක් වන්නේ චතුරාර්ය සත්‍යයන් ඉතාම පහසුවෙන් තේරුම් ගත හැකි ධර්මයන් ලෙසටය. නමුත් බුද්ධ ධර්මයෙහි අරටුව රඳා ඇත්තේ චතුරාර්ය සත්‍යය ධර්මයන් මතය. දෙවැන්න ඒ සඳහා බුදු රදුන් දේශනා කරන ලද ගමන් මාර්ගයය. මේ දෙකම එකිනෙකට ඉතාමත්ම සම්බන්ධය. ඇත්ත වශයෙන්ම සතර වැනි ආර්ය සත්‍යය ආර්යාශ්ඨාංගික මාර්ගයමය. බුදුන් වහන්සේ පලමුවැනි චතුරාර්ය සත්‍යයට "දුක්ඛ" සත්‍යය යයි වදාල සේක. "දුක්ඛ" යනු පාලි වචනයකි. එය සිංහලට පෙරලූ විට 'දුක' යන අර්ථය පමනක් එහි ගැබ් වී නැත. ඉංග්‍රිසියෙන් ඊටත් වඩා අමාරුවකට කියවන්නා වැටෙයි. ඒ එහි තේරුම “Suffering” යනුවෙන් සඳහන් වී ඇති නිසාය. බුදුන් වහන්සේ "දුක්ඛ" යනුවෙන් අදහස් කලේ ඉතා පුලුල් සහගත සිද්ධාන්තයන්ය. මේ සිද්ධාන්තය වලින් ගැලවිය නොහැකි සාමාන්‍ය ජීවිතය හා ඒවා තදින් බැඳී ඇති නිසාය. දුක් සහිත දේවල් වශයෙන්, උත්පත්තියේදී සිදුවන යම්යම් දේවල්, වයෝවෘද වීම, මිය යාම සිත තුල කැලඹීමක් ඇති කරන බව අපි දනිමු. එමෙන්ම හදිසි අනතුරු, සාගින්න, පිපාසය රෝගී වීම ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වන්නට සිදුවීම, බලාපොරොත්තු කඩවීම සිතු දේ නොලැබීම ආදී සියලුම දේවල් සිතට අසහනයක් ඇතිකරයි. සිතට සතුටක් දෙන දෙයක් පවා නැති වූවිට ඇතිවන්නේ ශෝකී ස්වභාවයකි. අප ජීවත් වන්නේ සිතේ සතුට උදෙසා ඇති පිපාසයත්, එය නැතිවූ විට ඇතිවන ඇතිවන ශෝකී අප්‍රසන්න භවයත් අතරේය. අපි මිය ගියත්, අපේ පටිසංදි විඥ්ඥාණය (re-linking consciousness) කර්මානුකූලව වෙනත් ශරීරයක් කරා ඇදෙනු ඇත. කොටින්ම මේ "දුක්ඛ" නම් වූ ස්වභාවයෙන් ගැලවීමක් නොමැත. බුදුන් වහන්සේ මේ "දුක්ඛ" ස්වභාවයට හේතූන් විස්තර කල සේක. ඒ හේතූන් අපේම සිත් තුල පවතින ලෝභය ද්වේශය සහ මෝහය යන ක්ලේශයන් බව වදාල සේක. ලෝභය යනු ආත්මාර්ථකාමී ආශාවන්ය. ලොවෙහි ඇති වස්තූන් ගැන ඇති ආශාව, ලොකු ඨානාන්තර, බලය, මහන්තත්ව කම ආදී වූ සෑම ආශාවක්ම ලෝභය වශයෙන් දක්වා ලිය හැක. ද්වේශ යනු නොරුස්සන කෙනෙක් හා ඇති තරහ, කෝපය, ඊර්ෂ්‍යාව ඔහුට පහර දීම යනුවෙන් දැක්විය හැක. මෝහය යනු සත්‍යය නොපෙනීමය. ධර්මය අවබෝධ නොවීමය. අන්ධකාරයේ කඩතුරාවෙන් මනැස වැසී තිබීමය. තුන්වන ආර්ය සත්‍යය නිරෝධ වශයෙන් බුදුන් වහන්සේ වදාල සේක. මේ අප්‍රසන්න භාවයෙන් ගැලවීමට ක්‍රමයක් බුදුන් වහන්සේ වදාල සේක. ඉන් නොගැලවුවහොත්, භවයෙන් භවයට කල්ප ගනන් සසර පුරා අපි සැරිසරනු ඇත. අවිද්‍යාව දුරු කොට, අපට ප්‍රඥාව උපදවාගන්නා ලෙසට අපට වදාල සේක. ප්‍රඥාව උපදවා ගත් හැක්කේ සිත පාලනය කිරීමෙනි. ඊට මාර්ගයක් වශයෙන් ආර්යශ්ඨාංගික මාර්ගය පෙන්වා දුන් සේක. (මේ සටහන දික් වන බැවින් ආර්යාශ්ඨාංගික මාර්ගය වෙනම සටහනක විස්තර කරන්නෙමි. ) මේ සිද්ධාන්ත හතරට සත්‍යය ධර්මයන් වශයෙන් හැඳින්වූයේ කිසිදාක වෙනස් වන්නේ නැති සත්‍යයන් නිසාය. මෙලොව පහල වූ සෑම බුදුවරයෙකුගේ ධර්මය මේ චතුරාර්ය සත්‍යය ධර්මයම මිස වෙන ධර්මයක් නොවේ. විපස්සී බුදුන් දවසද, " දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග" එසේම විය. ගෞතම බුදුන් දවසද එසේමය. බුදුන් වහන්සේ මේ සත්‍යය ධර්මයන් හැර අනෙක් සියලුම ධර්මතාවයන්, සියලුම සංස්කාරයන් අනිත්‍ය බවද වදාල සේක. අනිත්‍ය කියන්නෙ වැනසිලා යනව කියන තේරුමයි. ඒකට උන්වහන්සේ සංඛතයක් කියලත් පැවසුව. සංඛතයක ලක්ෂණයන් වශයෙන් මෙහෙම කිව්ව.... උප්පාදෝ පඤ්ඤායති ( හට ගැනීමක් පෙනෙයි.) වයෝ පඤ්ඤායති ( වැනසීමක්ද පෙනෙයි.) ඨ්තස්ස අඤ්ඤතස්සං පඤ්ඤායති (වෙනස් වෙමින් පැවතීමක්ද පෙනෙයි..) දැන් අපි නවීන විද්‍යාව දෙස බලමු. අපි ඉස්කෝලෙ යන කාලෙ ඉගෙන ගත්ත එක නීතියක් ගැන සලකා බලමු. Matter can neither be created nor destroyed කියල නීතියක් ඉගෙන ගත්ත මතකද? පරමානු බෝම්බයෙන් වුනේ මූල ද්‍රව්‍යයක විනාශය බව මතකයි නේ? අද වෙන කොට ඒක සත්‍යයක් නොවෙයි නේද? අලුත් මූල ද්‍රව්‍යයන් සොයා ගන්නව නේද? නවීන විද්‍යාව හැමදාම එක වගේ තියෙන්නෙ නැතුව වෙනස් වෙනව නේද? විද්‍යාඥයො පවා ඒ වෙනස් වීම පිලි ගන්නව නේද? ජීවත් වන සියලුම සත්වයින්, ගහ කොල ඔක්කොම අනිත්‍යයි. විද්‍යාවත්, විද්‍යාවෙ සිද්ධාන්තත් ඒ වගේම අනිත්‍යයි. සියල් දේම නැසෙන සුලුය.... එතකොට බුදුන් වන්සේ දේශනා කරන ලද ඒ සුමධුර ධර්මය හැමදාටම වලංගු කියල පිලිගන්න පුලුවන්ද? (අකාලිකෝ, ඒහිපස්සිකෝ... ඕනෑම කාලයකට ඔබිනයි, ඇවිත් බලන්න). ඒක ඔබම සලකා බලන්න.

13 comments:

හේම ජයන්ත කොළඹගේ said...

සාධු සාධූ...ඉතා අගනේය ඔබේ අවබෝධය.
ඌනපූරණයක් ලෙස යමක් එකතුකරන්නට කැමතියි. විද්‍යාචරණ සම්පන්නවූ ලෝකවිදු වූ අප සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ දැනුම ඉදිරියේ අදටත් නූතන බටහිර විද්‍යාව හිරු දුටු කදෝ පැණියෙකු හා සමාණය. ඔවුන් කථාකරන්නේ තවමත් සාපේක්ෂ වූ දේ පිළිබදව එකගතා රහිත වාදයන් මතයන් ලෙසය. අද තිබෙන මතය හෙට වෙනස්වේ. එහෙත් ශ්‍රී සද්ධර්මය,ආර්යය සත්‍ය්‍ය,මාර්ගඵල අකාලිකෝ වෙයි.
ඒහි පස්සිකෝ වෙයි. ශාන්ත සුන්දර නිවන සියල්ල
අතර නිරපේක්ෂ වෙයි. නිවනින් මෙහා සියලු විද්‍යාවන් සාපේක්ෂ වෙයි. සරත් මහත්මයා....
ඔබට ධර්ම දානමය කුසල් හේතුවෙන් නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවා.

malee_msg said...

මේකට කියන්න ඕනි මොකක්ද කියලා මට හිතාගන්න බෑ.. කොහොම උනත් දැන් කාලේ ජිවත් වන අපි හා අපි අහන ධර්මය හා අහන්න දකින්න ලැබෙන ධර්මය පවා නිර්මල බුදු දහමේ ඉගැන්වීම් වලින් ඉවත්ව බෞතික හා හරසුන් පැත්තට ගමන් කරනවා කියලයි මම හිතන්නේ

Anonymous said...

මහත්මයාණනි,

මස් මාංශ අනුභවය සැබෑ ලෙසම බෞද්ධයන් හට අකැපද? කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ විසින් රචිත "නිර්මාංශ ප්‍රෂ්නය" නම් පොතෙහි මේ පිලිබද පැහැදිලි කිරීමක් ඇත.

එහි සදහන් පරිදි බුදුරජානන් වහන්සේ අනුභව නොකලයුතු මාංශ වර්ග 10ක් නම් කර ඇත. විශ්ව සාධාරන ධර්මයක් දේශනා කල බුදුරදුන් මාංශ අනුභවය පිලිබද මෙවැනි ලඝු ප්‍රකාෂයක් සිදු කරයිද යන්න මට පැන නැගුන ගැටලුවකි.

ඔබ තුමාට කාල වේලා ඇතොත් මෙම පොත පරිෂීලනය කොට ඒ පිලිබද වටිනා පැහැදිලි කිරීමක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

නිලන්ත පියසිරි said...

බුදු දහම විද්‍යාත්මකද? කියන පැණය නොවැ ඔය හැම දෙනාම අහන්නේ? දැන් දෙමව්පියොත් බුදු දහමට ළමුන් යොමු කරවන්නේ බුදු දහම විද්‍යාත්මක නිසා බවයි කියැවෙන්නේ. දැන් වැඩේ තියෙන්නේ බැරිවෙලාවත් ඔය බටහිර විද්‍යාඥයෝ කිව්වොත් මොකක් හරි බුදු දහමට අනුකූල නොවන දෙයක් ඔන්න හැමෝම පටන් ගන්නවා එය පිටු දකින්න. මා කීවේ විද්‍යාව නොවේ බුදු දහම. එහෙම නොවෙයි කියලා කාටද කියන්න පුළුවන්. අපේ සරත් ගුණතුංග මහත්තයා නිවැරදිව කීවා වගේ අද තියෙන මතය හෙට මේ විද්‍යාවේදී වෙනස් වෙනවා. ඔය අදහන විද්‍යාඥයෝ අඩුම තරමේ සෝවාන් වෙලාවත් තියෙනවාද ඒ අයගේ මත සමඟ අපේ බුදු දහම සසඳන්න. බුදු දහම ගැන විද්‍යාව ඇසුරින් බැලීම විය සිදුරෙන් අහස දෙස බැලීම වැනිය.

හරේ...! said...

බොහොම අපූරුයි...

බුදුදහම ගැන කොතනත් තියෙන මූලික අදහස ඕක තමයි. මස් මාංශ ගැන නම් මටත් සැකයක් තියෙනව. ආහාර එක්ක මතවාද පටලගත්තොත් ලොකු ප්‍රශ්ණයක් ඇති වෙනව. කෑම කියන්නෙ සත්ත්වයන්ගෙ පැවැත්ම සඳහා ගත යුත්තක්නේ. මම දන්න තරමින් බුදුන්වත් මස් මාංශ අනුභවය ගැන මායිම් පනවල නෑ. මම දන්නෙ නැද්ද දන්නෙ නෑ. එහෙනම් සමා වෙන්න.

ළඟදි බලපු චිත්‍රපටියක් ගැන කට්ටිය කතා වුණා. ඒක ඇත්ත සිදුවීමක්. ගුවන් අනතුරකින් අතරමං වෙන කීප දෙනෙක් දිවි ගැටගහගන්නෙ මියගිය තම සගයන්ගෙ මාංශ අනුභව කරලයි. ඒ වගේ කතා කීපයක් මම අහල තියෙනව. ඒ වගේ තත්ත්වයකදි එහෙම වෙන එක අසාධාරණද? කොහොම වුණත් සරත් මහත්මය චිත්‍රපටි නොබලන නිසා ඒ ගැන දැනං ඉන්න විධියක් නෑ.

මාංශ අනුභවයෙදි 'අනේ පව් මේ සතා' කියල හිතමින් කවදාවත් කන්න බෑ. ඒ සිතිවිල්ල ඇති වුණොත් කාල ඉන්නත් බෑ. නමුත් ආහාරය ගැන ආහාරය විධියට හිතුවම ඔය ප්‍රශ්න නෑ. මිනිසාගේ මනස උසස් වීම තුල එයා දේවල් අවබෝධ කරගන්නවා වුණාට සත්ත්වයන්ට අදාල පොදු ස්වභාවික නීති වලින් නම් ගැලවෙන්න බෑ.

බුදු දහම ගැන මම හැමවිටම දරන්නෙ සාපේක්ෂ මතයක්. ඒකත් අර අබා ගැන කට්ටිය ඇරගත්ත වගේ ඇරගන්න පුළුවන් විධියෙ තර්ක මතුකරගන්න පුළුවන් මාතෘකාවක්. ඒ නිසා තර්ක නෑ. බුදුන් කිව්වත්, කවුරු හරි හාමුදුරු කෙනෙක් කිව්වත්, සරත් ගුණතුංග මහත්තය කිව්වත් විශ්වාස කරන්න එපා. තමන්ට ඔළුවක් තියෙනව නම් මේ ගැන විමසල තේරුම්ගන්න එකයි ඇත්තේ.

ආර්ය අෂ්ඨාංගික මාර්ගය හැර වෙන ක්‍රමයක් නම් නෑ නිවැරදිව ජීවත් වෙන්න. නමුත් හැමවිටම විමසන්න වෙනව. මොකද එහෙම ඉන්න මේ සමාජය තුල ලොකු අරගලයක් කරන්න වෙනව.

සරත් ගුණතුංග said...

හරේ මහත්මයා, මේ ඔබටයි....
බුදු සමිඳුන්ගේ ධර්මය නිර්මල ධර්මයක්, ඒකෙ නෑ මාංශ අනුභවය එපාම කියල. බුදුන් වහන්සේ මාංශ වර්ග 10ක් තහනම් කරල නම් තියෙනව.
ඒ බෞද්ධ ධර්මය නිරවුල්ව අපේ ඇස් පනාපිට තිබියදී මාංශ අනුභවය වැනි සුලු කරුණක් උදෙසා වාද විවාද කිරීමෙන් පලක් වෙයිද?
වෛද්‍ය විද්‍යා අංශයෙන් බැලුවම මස් කෑම අතරෙත් මහ බඩ වැලේ පිලිකා අතරත් ස්ථිර සම්බන්ද කමක් තියෙනව.
ලංකාවෙ ස්වාමීන්වන්සේලා තුන් දෙනෙකුගෙ අදහස් මම මෙහි දක්වනව. අන්තිමට මම හිතන හැටිත් දක්වනව. ඒ පිලිබඳව තීරණයක් ඔබම ගත යුතුය.
1. ආචාර්ය පණ්ඩිත කොටගම වාචිස්සර හිමි: අපට ආනන්දෙදි බුදුදහම ඉගැන්වූ හාමුදුරුවො කියන අන්දමට බුදුන් වහන්සේ චුන්ඩයන් පිලිගැන්වූ 'සූකර මද්දවය' වැලඳුව කියල ස්ථිරවම කියනව. ඒකෙන් බුදුන් වහන්සේ බලවත් ලෙස රෝගාතුර වූ බවක් සමහරු කියනව. බුදුන් වහන්සේගේ අසනීපයේ රෝග විස්තර අනුව උන්වහන්සේට වැලඳුනේ mesenteric infarction කියල රෝග විස්තර අනුව අනුමාන කල හැකියි.
2. නාරද හිමි (නාරද හිමිත් වාචිස්සර හිමිත් අතර පුද්ගලික ප්‍රශ්නයක් තිබුන.) නාරද හිමියන් කියන්නෙ, ඒ ඌරුමස් නෙවෙයි, බිම්මල් ජාතියක් කියල. මොකද දඹදිව තවමත් ඒ පලාතේ ඒ නමින් බිම්මල් තියෙනවලු!
3. ධම්මවිහාරී හිමි: මේ හිමියන්ට 1997 නවසීලන්තයට වැඩම කරන්න ගුවන් ටිකට් පත වෙන් කරද්දි මට කිව්ව ආහාර වශයෙන් නිර්මාංශ ආහාර පමණක් අහස් යානයෙදි ලැබෙන්න සලස් වන්න කියල.
මෙහේ ආවට පස්සෙ ධම්මවිහාරී හාමුදුරුවන්ගෙන් මාංශ අනුභවය ගැන මම ප්‍රශ්න කලා. හාමුදුරුවො ඇහුව, කුකුල් කකුල දිහා බල බල සියල් සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා කියන එකේ තේරුමක් තියෙනවද කියල.
ඇත්ත වශයෙන්ම, මෛත්‍රී භාවනාව හරියට කරනව නම් නිර්මාංශ වෙන්න ඕන. එතකොට තමයි ඒ භාවනාවෙ අනුහස් කම ඇස්පනාපිටම දැනෙන්නෙ. අපේ දත් හැදිල තියෙන්නෙ එලවුලු, පලතුරු කන්න. ඇඟට මාංශ අවශ්‍යම නැහැ. තෙරුවන් සරණයි

Dasun Sameera - දසුන් සමීර said...

සරත් ගුණතුංග මහත්මයා.
අපේ අය මස් කන්න ඕන වුනාම බුදුන්ටත් මස් කවන්න යන එකයි වරද. මොකද කන මසක් තනියම කාගත්තනම් හරිනේ. ඕක නිවැරදි කරන්න කෙස්පැලෙන තර්ක ගෙන එන්නේ නැතුව. ධර්මය පුද්ගලික වාසියට වෙනස් කරන එක කොච්චර කැත වැඩැක්ද.
ඔබ තුමා වෛද්‍ය වරයෙක් නිසා මේ බවත් පැහැදිලි කරල කියන්න. මා අහල තියෙන විදියට අපේ බඩ වැල ගෙඩාක් දිගයි. ඒවගේ දිග ආහාර ජීර්ණ පද්ධතියක් තියෙන්නේ ශාකභක්ෂකයන්ට කියලයි අහල තියෙන්නේ.
මම නම් හිතන්නේ බුදුන් විනය නීතියක් ලෙස මස්මාංශ වලින් වැලකීමට යොමුනොවන්න ඇත්තේ ත්‍රිකෝටිපාරිශූද්ධ මාංශයක් අනුබව කළ හැකි නිසා විය යුතුයි. අනිත් අතට එහෙම නීති‍යක් තිබුනනම් මස් කෑමට ගිජු පුද්ග‍ලෙයක් නිකමටවත් බුදුන්ගේ ධර්මය අහන්න කැමති වන එකක් නෑ.
එව බලව(ඒහි පස්සිකෝ)!
බුදු සරණයි෴

සරත් ගුණතුංග said...

දසුන් සමීර මහත්මයා, ඔබ හිතන අන්දම හරි. අපේ බඩවැල නිර්මානය වී ඇත්තේ මස් මාංශ වලට නොවෙයි. ඉතා අධික ලෙස මාංශ අනුභව කරන රටක් නවසීලන්තය. මේ රටේ මහබඩවැලේ පිලිකා ඉතාමත්ම අධිකයි. තරබාරු බව, ඒකත් එහෙමයි. කොලෙස්ටෙරෝල් සම්බන්ද රෝග, ඒවත් එහෙමයි. ලංකාවෙදි ශල්‍ය කර්මවලට බඩ කැපුවොත් ඒ ඇපෙන්ඩිසයිටිස් වලට. මෙහේ පිලිකාවලට!!! ඒක ඔප්පු කරල තියෙද්දිත් මෙහේ මිනිස්සු මස්ම කනව

හරේ...! said...

මාංශ අනුභවය ගැන කතා කරලා මේක ඒ පැත්තටම ගිහින්. මම යමක් කිව්වොත් තරහ වෙන්න එපා ධර්මය අවුරුදු 2500ක් තිස්සේ විවිධ වාසි අරභයා වෙනස් වෙලා තමයි තියෙන්නේ. ඒකයි අර ඇවිත් බලන්න කියන එක අදටත් වලංගු වෙන්නේ.

Manoj said...

කන්න ඕන උනහම කබරගොයා පේන්නෙත් තලගොයා වගේලු !

තම තමන්ගේ වාසි වලට බුදුදහම වෙනස්කරන්න උත්සාහ ගැනීම වැරදියි. අපේ සමහර හාමුදුරුවරු බුද්ධ දේශනා සදහා විවිධ අර්ථකථන දීම නවතාදැමිය යුතුවෙනවා .

මෙයට ගැටළුව අපි බුදු දහම නොදන්න නිසයි.අපි ත්‍රිපිටකය කියවලා නැහැ. ඒ නිසා අනිත් අය බුදුදහම ගැන කියන ඕනම අර්ථකථනයක් අපට පිළිගන්න වෙළා තියෙනවා.

පොඩි අදහසක්

අපි හැමෝම එකතුවෙලා
නිර්මල බුද්ධ ධර්මය පිළිබදව ඉගෙන ගන්න ක්‍රමයක් හාදාගන්න උත්සාහ කරමුද?

එය අපටත් අනාගත ලොකයටත් වැඩදායී ක්‍රියාවක්
වේවි.

Dasun Sameera - දසුන් සමීර said...

@Manoj
http://www.mettanet.org/tipitaka/ ත්‍රිපිටකය සිංහලේන්. මේක සිංහල යුනිකේතයට හරවන්න සාමූහික උත්සාහයක් ගත් මුත් තවම සාර්ථක වුනේ නෑ. ‍දවසට එක් සූත්‍රයක් වත් කියවන්න. අවිද්‍යාවේ හම ගැලවෙන්නේ තමන්ටත් නොදැනීමයි.

මම BMICH එක අසල පිහිටි පොත්හලකින් දීඝ නිකාය සූත්‍ර පිටකය ලබාගත්තා. රුපියල් 450ක් පමණයි වැයවුනේ. අනෙකුත් සූත්‍ර පිටකයන්ද එහි තිබුනා. අපි නාස්තිකරන මුදල් වල හැටියට නිකන් වගේ.

කොහොම වුනත් අටුවාචාරීන් ගේ/හා බුද්ධ භාෂිතයට අඩංගු නොවන මත කියවනකොට සැලකිලිමත් වෙන්න ඕනා. මොකද පුද්ගලික මතවාද ඇතුලත් වෙලා තියෙන නිසා. ඒ නිසා සූත්‍රපිටකය හා අභිධර්ම පිටකය මූලික කරගෙන ධර්මය හැදෑරිය යුතුයි කියලයි මම හිතන්නේ. එවිට පැටලීමක් ඇති වේන‍නේ නෑ.

අවශ්‍ය නම් අපට ධර්මය සාකචඡා කිරීමට වෙනම ගූගල් සමූහයක් පිහිටවා ගත හැකියි.

සරත් ගුණතුංග said...

මම දන්නා ආකාරයට සිංහල ත්‍රිපිටකයේ දීඝ නිකායේ ප්‍රථම කොටසත්, සංයුක්ත නිකායේ කොටසකුත් මහමෙව්නා වෙබ් අඩවියෙන් බා ගත හැක.
http://www.mahamevna.org/sinhala_index.htm

තවද, ත්‍රිපිටකයේ තවත් කොටස් රාශියක් පහත සඳහන් අඩවියෙන් කියවිය හැකිය.

http://tipitaka.mahamevna.org/
සම්පූර්ණ ත්‍රිපිටකය, ඉංග්‍රිසියෙන් මේ අඩවියෙන් කියවිය හැක.
http://www.accesstoinsight.org

බෞද්ධ වෙබ් අඩවි අන්තර්ජාලයේ ඇත. මට ඊමේල් එකක් එවන්න, මම ලයිස්තුව එවන්නම්.

Aaloka said...

වටින සටහනක්. මම අදයි ඔබේ සටහන් මුලින්ම දක්කෙ. දිගටම ලියන්ඩ.

මාංශ අනුභවය ගැන පොඩි දෙයක් කියන්ඩ ඕනෙ. මේක හරියට පැහැදිලි කරගැනීම හරිම වැදගත්. හිතක් පපුවක් තියන මිහිහෙක්ට තව සතෙකුගෙ මස් කන්ඩ අකමැත්තක් වගේම, පිලිකුලක් තිබීම සාධාරණ දෙයක්. ඒ වගේම හොඳ දෙයක්.

නමුත් බුදු රජාණන්වහන්සෙගෙ ශ්‍රාවකයො හැටියට, අපි පැහැදිලිවම දැනගන්න ඕනෙ කාරණය තමා, ත්‍රිකෝටික පාරිශුද්ධ මස් කෑව කියල, 'ප්‍රාණඝාතයෙන් වැලකීම' කියන සිල් පදය බිඳෙන්නෙ නැහැ කියන එක. සමහර අය හිතන් ඉන්නව මස්, බිත්තර කෑවහම සිල් බිඳෙනව කියල.

මොකද ඒ අය එහෙම හිතන් ඉඳීම ම සීලබ්බත උපාදානයක් විදිහට ක්‍රියාත්මක වෙනව. හුඟදෙනෙක් සීලය, ආර්ය අශ්ඨාංගික මාර්ගයේ අංගයක් විදිහට නැතුව, අර්ථ විරහිත, ඔන්න ඔහේ පුරැද්දට කරන දෙයක් කරගෙන තියන නිසා තමා මේ ප්‍රශ්න. ආහාර පුරුදුයි, මාර්ගයයි පටල ගන්ඩ නරකයි.

අපේ ස්වාමින් වහන්ස්සෙල අපි ගැන කරැණාවෙන් තමා මේ ගැටලුව ලිහල දෙන්නෙ. නැතුව මස් කන්ඩ ඕනෙ වෙලා නෙමේ...