Friday, November 21, 2008

නම, ගම - පෙනිසිලින් !!! - මානව සන්නිවේදනය

මා සාකච්ඡා කරන්නේ ඉතා ගැඹුරු වෛද්‍ය මාතෘකාවක් නොව ඉතාමත්ම සරල, නමුත් ඉතාමත්ම අවශ්‍ය සන්නිවේදන අවශ්‍යතා ගැනයි. මේ සන්නිවේදන අවශ්‍යතා ගැන වෛද්‍යවරු මනා ලෙස තේරුම් ගත යුතුය. මනුෂ්‍යයෝ සාමූහිකව ජීවත් වෙති. තනි තනිව ජීවත් වීම ඔවුන්ට පුරුදු නැත. සාමූහිකව ජීවත් වන විට, තම තමන්ගේ අදහස් හුවමාරු කර ගැනීම සන්නිවේදනය හරහා සිදුවෙයි. සාමූහික ජීවිතයකට සන්නිවේදනය අත්‍යාවශ්‍යය. මනුෂ්‍ය ජීවිතයේ සෑම අංශයකම සන්නිවේදනය නොයෙක් ආකාරයට සිදුවෙයි. වෙද හමුවේදීද (වෙද හමුව වශයෙන් මා අදහස් කරන්නේ - medical consultation යන අර්ථයයි.) සන්නිවේදනය ඉතාමත් වැදගත් ස්ථානයක් ගනී. මතභේද, සංඩුසරුවල් ඔක්කොම හැදෙන්නේ ක්‍රමානුකූල සන්නිවේදනයක් නැති නිසාය. අපි කථාකරන භාෂාවෙන්, ශ්‍රවණාධාරයෙන් බොහෝවිට සන්නිවේදනය සිදුවෙයි. ඒ එක්තරා ප්‍රතිශතයක් පමනි. අපි කථා කරන්නේ වචනයෙන් පමණක් නොවේ. අපේ අත් පා, මුහුනේ මාංශ පේෂි යනාදී සෑම අංගයක්ම කථා කිරීමේදී චලනය වේ. මෙයට body language යයි ඉංග්‍රිසියෙන් කියනු ලැබේ. අත පය නොසොල්වා කථා කිරීමට උත්සාහ කරන්න.. තේරුම් සහිත සන්නිවේදනයක් ඔබට කල හැකිද? කරණ සාකච්ඡාවට සවන් දුනහොත්, සමහර තැන් දීර්ග වශයන් උච්චාරනය කරන හැටිත්, සමහර තැන් සාමාන්‍ය අන්දමට කියවන බවත් පෙනී යනු ඇත. එසේ නම් මානව සන්නිවේදනය වූ කලී සංකීර්ණ වූ ක්‍රියාවලියකි. රෝගී තැනැත්තා ඇඳුම් ඇඳ ඇති විලාශය, මුහුණට මුහුණ දී කථාකරයිද, බිම බලාගෙන හෝ අහක බලාගෙන කථාකරයිද යන මේ සෑම ක්‍රියාවක්ම රෝගී ස්වභාවය හඳුනා ගැනීමට උපකාර වේ. රෝගී තැනැත්තා අසනීප ගතියකින් පසුවෙයි. ඔහු/ඇය තුල ඇත්තේ අසනීප ගතියකි. රෝගයක් නොවේ. රෝගය ඔලුවට දමන්නේ දොස්තර මහත්මයාය. (මොකක් හරි itis එකක්.) රෝගියා විස්තර කරන්නේ සිය අසනීප ගතියේ විස්තරයයි. එය එක්තරා කථාන්තරයකි. එහි අරමුන මෙයට කුමක් කලයුතුද යන්න විසඳා ගැනීමයි. මේ අසනීප ගතිය රෝගියාට පමණක් නොව, ඔහුගේ පවුලට, ඔහු සිටින ජනපදයට, ඔහු වැඩ කරන වැඩපලට මේ සෑම ස්ථානයකට බල පෑමට පිලිවන. ඒ අසනීප ගතිය නිසා වැඩට නොයාම නිසාය. අසනීප ගතියත් රෝගයත් අතර ඇත්තේ විශාල වෙනසකි. ඒ අසනීප භාවය යම්කිසි රෝගයක් ශරීර ගතවීමක් නිසා සෑදුන දෙයක් වීමට පුලුවන. සාමාන්‍ය වශයෙන් අසනීප භාවය විස්තර කරන රෝගියා විස්තර සහිතව එය තමන්ගේ අසනීපයේ ස්වභාවය, අසනීපයේ කථාන්තරය දොස්තර මහතාට පවසනු ඇත.... " ඔන්න මහත්තයෝ මම පෙරේදා උදේ පහල ලිඳෙන් නාලා, ගෙදරට ආපු ගමන් වෙව්ලල උන ගත්තා. " ආදී වශයෙන් කියා ගෙන යන විට බොහෝ දොස්තර වරු ඒ ඔවුනට අනවශ්‍ය විස්තර යයි සිතා රෝගියාගේ කථාන්තරයට බාධා කරති. එතැන සිට 'වෙද හමුව' අවාසනාවන්ත තත්වයකට යොමුවෙයි. ඒ දොස්තර මහතා කෙන්ද්‍ර කොටගෙනය. ඒ කියන්නේ එය මෙහෙයවන්නේ දොස්තර මහතාට අවශ්‍ය විදියටය. රෝගියාට පිලිතුරු දීමට සිදුවෙන්නේ දොස්තර මහතාගේ ප්‍රශ්න වලටය. " උගුර දනවද? උගුර රිදෙනවද? කැස්ස තියෙනවද? බඩ රිදෙනවද?..................." මෙවැනි ප්‍රශ්න රාශියක් දොස්තර මහතාගේ මුවින් පිටවෙනු ඇත. එයට ලැබෙන පිලිතුරු අනුව කිසියම් රෝගයක නමක් (සමහර වෙලාවට ලස්සන නමක් හෝ කුනුහරුප වගේ සද්ද වෙන නමක් අන්තිමට itis එක්ක ) රෝගියාට ලැබෙනු ඇත. මේ අන්දමේ වෙද හමු ලංකාවෙ පමණක් නොව ලොවේ බොහෝ රටවල සිදුවන බව නොරහසකි. මේ ක්‍රමය වැරදි බව වෛද්‍ය වරුන්ටම වැටහී ගොස් ඇත. එමනිසා වෙද හමුව සිදුවිය යුත්තේ රෝගියා කේන්ද්‍ර කොටගෙනය. ඒකියන්නෙ, රෝගියාගේ කථාන්තරයට සාවදානව සවන් දිය යුතුය. කථාකරන විලාශය, උච්චාරනය සහ ශරීර අංගචලනය මනා ලෙස අවධානය කල යුතුය. ඒ කතාන්තරයට අනුව කිසියම් රෝගයක් ඇද්ද නැද්ද යනු ඉතා පැහැදිලි වනු ඇත. බොහෝවිට කොත්තමල්ලි දෙවේලකින් අසනීපය සුව විය හැක. නැතහොත් සානුකම්පිකව රෝගියා සමග කතා කලහොත් ඉක්මනට සුවය ලැබෙනු ඇත. සායන වලදී බොහෝ විට ඇත්තේ සුලු සුලු අසනීපය. තමාගේ මඩිය තරකර ගැනීමට අවශ්‍ය නම් නොයෙක් නොයෙක් බෙහෙත් දිය හැක. නොයෙක් පරීක්ෂණ නිර්දේශ කල හැක. එලෙසම අවංක වෛද්‍යවරුන්ද මේ රටේ ඇත. කරුණාකර ඔබේ අදහස් දක්වන්න. ඔබේ අදහස් නොදැන මේ සටහන් ප්‍රයෝජනවත්දැයි කීමට පවා මට නොහැක.

12 comments:

malee_msg said...

වෛද්‍ය වරයා රෝගියා සමග කථා කරන විදිහ හා දක්වන ප්‍රතිචාර හැමදේම හරි වැදගත් කියලා මමත් පිළිගන්නවා. මම කවදාවත් වෛද්‍යවරයෙක් වෙලා නෑ..ඒත් මම රෝගියෙක් වුනු වෙලාවල් කොයිතරම් තියනවාද?
මං ගැන කියනවා නම් මට කොයි තරම් අසනීප වුනත් මම යන්නේ මට කිට්ටුවෙන්ම තියන නග‍රයේ ඉන්න දොස්තර අන්කල්ව හමුවෙන්න. Dr.Lakshman.අපේ ගෙදර ලගමත් ‍ලේඩි ඩොක්ටර් කෙනෙකුත් ඉන්නවා.තව මේල් ඩොක්ටර් කෙනෙකුත් ඉන්නවා මම ඒ දෙන්නා ලගටම යන්නේ නෑ. මම කැමති මගේ ඩොක්ටර් අන්කල් ගෙන් බෙහෙත් ගන්න මොකද එයා කවදා වත් ලෙඩ කියලා මාව බය කරන්නෙවත් ලොකු පෙති ගොඩක් දෙන්නේ වත් නෑ. දෙන ටිකෙන් මම ඉක්මනට හොද වෙනවා. අර අනිත් දෙන්නා මගේ දාහක් ප්‍රශ්ණ අහලා පෙති අහුරක් දෙනවා. මං ඒකට ආස නෑ..
මං ගැන අපේ අම්මත් දන්න නිසා මාව අනිත් අය ලගට එක්ක යන්නේත් නෑ..කොටින්ම මගේ ඩොක්ට අන්කල් එක්ක කථා කරලා ‍එලියට ‍එද්දිම මගේ ලෙඩේ බාගයක් හොදයි..
හැබැයි ඉතිං උණයි හෙම්බයි ඇරෙන්න මට ‍දරුණු ලෙඩ හැදිලත් නෑ.දෙවතාවක් චිකුන් ගුන්යාද මොකක්ද හැදුනා ඇරෙන්න හිකිස්

pls be kind enough to remove this word verification Thank you

මහසෝනා | Mahazona said...

යහපත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍යයින් වූ වෛද්‍යවරු අප අතර සිටිති. ඔවුන්ට ප්‍රණාමය පුද කරමි.

නමුත් කණගාටුවෙන් වුණත් මෙයද කීමට සිදු වේ.
1. බොහෝ වෛද්‍යවරු පොඩි දේටත් රොගීන්ව ප්‍රාණ ඇපකරුවන්ගේ තත්වයට පත් කරගනිති.
2. සමහර වෛද්‍යවරු බොරු ලෙඩ මවාපාමින් රෝගීන් වවාගෙන කති.
3. සමහර වෛද්‍යවරුන්ගේ දැනුවත් නොසැලකිලිමත්කම නිසා අසරණ රෝගීන් මියයති.

Homo Erectus said...

අම්මපා දොස්තර මහත්තයෝ සම්පූර්ණ ඇත්ත. "බොහෝවිට කොත්තමල්ලි දෙවේලකින් අසනීපය සුව විය හැක." මාගේ අදහසේ හැටියට අ‍පට හැදෙන 'ලෙඩවලින්' 80% ට වඩා කොත්තමල්ලි වේලක්වත් නැතිව හොඳවන ඒවාය. එහෙත් අද 'දොස්තරලා' 250/= - 500/= අතර ගානක් අරගෙන කියන්නේ "මේ බේත් ටික බොන්න. වේල් තුනකින් අඩුවක් නැත්නම් හරි, වෙන (පොඩි හරි) අමාරුවක් දැනුනොත් හරි ඉක්මනට ඇවිත් පෙන්නන්න" කියාය. හැබැයි "බහුතරයක් හොඳ" දොස්තර මහත්තුරු නෝනලා එදාට සල්ලි ගන්නේ නැත. කරන්නනේ ‍'බෙහෙත් අළුත් කිරීම' හා 'තව රිපෝට් දෙකක්' ගෙන්නා ගැනීමය. 'ෆිමසිය' හා 'ලැබ්බෙක' සමග ඇති ගනුදෙනුව වෙනකක්ය.
මගේ අත්දැකීම අනුව බොහෝ විට ඔය 'වෙද හමුවකදී' "ඩොක්ටර්, ලෙඩේ මොකක් කියලද හිතන්නේ" කියා ඇසුවොත් අඩුම ගානේ 'ලෙඩ' 2ක් පවසනවාමයි. ඊට අමතරව "අපි බලමු" කියාද කියනවාමයි. බෙහෙත් ලියන අතරදී "මොන මොනවටද ඔය බොහෙත් ඩොක්ටර්" කියා ඇසුවහොත් ලියල තිබෙන බෙහෙතක් දෙකක් කපා දමන අවස්ථාද ඇත.

මලී 'නගා' කියන්නේ "මම කවදාවත් වෛද්‍යවරයෙක් වෙලා නෑ..ඒත් මම රෝගියෙක් වුනු වෙලාවල් කොයිතරම් තියනවාද?" කියල.
මමත් කවදාවත් වෛද්‍යවරයෙක් වෙලත් නෑ. (ලංකාවේදී වෙන්නත් බෑ. බටහිර රටකදී නම් 'ගේමක් නෑ') ඒ වගේම මම කවදාවත් රෝගියෙක් වෙලත් නෑ. මම වැඩියම වෛද්‍යවරු මුණගැහිල තියෙන්නේ "ඉංග්‍රීසි බේත් ටිකක් බිව්වහම ඇරිල යන" ලෙඩ ගොඩක් තියෙන අපේ අම්මත් එක්ක. 'ඇන්ටිපා' ඉඳල 'ඇමොන්සිලින්' (තව නම් ගොඩක් අම්ම දන්නවා- මම නොදන්නවා වුණාට) වෙනකම් 'දොස්තර මහත්තුරු' දෙන 'බේත්' අම්මට කට පාඩම්.
පාලනය කරගන්න බැරි ශාරීරික අපහසුතාවයක් ඇති වුණොත් ඒ තත්වය පැහැදිලිව කියල සහනය ගෙන දෙන රසායනය නිර්දේශ කරගැනීම ඇර වෙන මොනවද?
ලංකාවේදී වෛද්‍යවරු (බටහිර) කියන්නේ හරියට 'මව් කුසෙන්ම බිහිවෙන' ජාතියක් කියලයි හිතාගෙන ඉන්නේ. මොන කරුමයක්ද මන්ද මානව ගුණාංග සහිත මිනිස්සු ඔතෙන්ට යනවා අඩුයි. ගියත් ලංකාවේ ඉන්නවා අඩුයි. ඉතුරුවෙන 'මහත්මයා' ළඟට 'ලෙඩ්ඩු' යනවා අඩුයි. ඉතින් එයත් 'පොල' වහල වෙන මොකක් හරි වැඩක් පටන් ගන්නවා.

(කිව්වට තරහ වෙන්න එපා දොස්සර මහත්තයෝ සිංහලෙන් ටයිප් කරල කරල ඉංග්‍රීසියෙන් 'වර්ඩ් වෙරිෆිකේෂන් දාන්න ගියාමනම් තදවෙනවා.)

Tyronne W said...

මම කියවන බ්ලොග් අතලොස්ස අතුරින් ඉතාමත්ම කැමැත්තෙන් කියවන සටහනක්.. ඔබ සඳහන් කර තිබෙන කාරනා බොහොමයක් සමඟ මම එකඟ වෙනවා..

ගොඩක් හොඳ වෛද්‍යවරුන් අප අතර සිටිනවා වගේම (කොන්)දොස්තරලාත් මට මුනගැසී තිබෙනවා.. ඇතැමුන් ගැන තිබෙන්නේ කණගාටුවක්...

ලංකාවේ වෛද්‍ය වෘත්තීයේ ගුණාත්මක බව හීන වීමට බලපා තිබෙන්නේ , ලංකාවේ උසස්පෙල අසමත්ව දේශීය වෛද්‍ය විද්‍යාල වලට යාමට සුදුසුකම් නැත්තවුන් විදෙස් රටවලට ගොස් කෙසේ හෝ මුදල් ගෙවා වෛද්‍ය විද්‍යාව හදරා ලංකාවට පැමින ලෙඩ්ඩුන්ව අමාරුවේ දැමීමයි.

මේ සම්බන්දව මා පුද්ගලිකව අත්විඳි කරුණු කාරනා පදනම් කරගෙන වෙනම සටහනක් තියන්න බලාපොරොත්තු වනවා.

TW

සරත් ගුණතුංග said...

@ මලී
"කොටින්ම මගේ ඩොක්ට අන්කල් එක්ක කථා කරලා ‍එලියට ‍එද්දිම මගේ ලෙඩේ බාගයක් හොදයි.. "
අන්න එතන තමයි නියම ක්‍රියාකාරිත්වය තියෙන්නෙ. කථාකලත් ඇති ලෙඩේ හොඳයි. එහෙම තමයි තියෙන්න ඕන. ඔබගේ දොස්තර මහතා ඉතා හොඳ කෙනෙක් වගෙයි මට දැනෙන්නෙ. මේ දොස්තර ලකී වීරසේන මහත්මයාද? එයා මගේ සමකාලීනයෙක්.

@ මහසෝනා
ඔබ කියන දේ මම සම්පූර්ණයෙන්ම පිලිගන්නවා. ඔය කරුණු තුන ඇරුණම, බැල්කනියෙන් පහලටත් තල්ලුකරනව.

@ homo erectus

අනේ මහත්මයෝ, මම දන්නව මේ දොස්තරලගෙ හැටි. ඒ ධන වාදයේ සහ අපේ ( අපේ කිව්වෙ මනුශ්‍යයන්ගේ) තණ්හාවේ ප්‍රතිඵල. මේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ, සල්ලි කොච්චර තිබුණත් කන්නෙ අනිත් මිනිස්සු කන දේවල්ම කියල, නැතුව සල්ලි තිබ්බ පලියට රත්තරන් කාසි ගිලිනවයැ? කියමු විශාල කාර් එකක් ගත්ත කියල. ඇස්දෙක බැඳල ඒ හාදය වෙන කාර් එකක පටවල අරන් ගියොත් දෙකේ වෙනස දනීද? හිතේ මුලාවක් තියෙනව බැංකුවෙ "සල්ලි තියෙනව කියල" මැරෙන කොට පරලෝ බෑන්ක් එකට සල්ලි ට්‍රානස්ෆර් කරන්නද? අඩු වශයෙන් යහපත් විදියට ජීවත් වුනොත් රැස් කර ගත් කුසල් ටික අරගෙන යන්න පුලුවන්. ඒ ටික වුනත් කරගන්න තේරෙන්නෙ නැහැ.

මම මචන් said...

මේ ලිපිය කියෙව්වහම මට මතක් වුනේ අපි පොඩි කාලෙ අපේ නගරේ රෝහලේ සේවය කල ධම්මික මහත්තයව. ඉහත සඳහන් වන සියළුම යහපත් ගුණාංග ඔහුට තිබුණා. ඒනිසාම ඔහු ඉතාමත් ජනප්‍රිය වෛද්‍යවරයෙක් වුනා. ඒ දවස්වල මට මතකයි අපි කවුරු හරි අසනීප වුනාම අපේ අම්මලා කියන්නෙ රෝහලට අරං යනවා කියලා නෙවෙයි ධම්මික මහත්තයා ලඟට අරන් යනවා කියලා. තවමත් මට ඔහු ගැන මතක තිබෙන්නෙ ඔහු ඉතාමත් සුවිශේෂ වෛද්‍යවරයෙක් නිසා වෙන්න ඇති. ඔහු වෙනත් රෝහලකට මාරු වී ගිය විට අපේ නගරෙ මිනිස්සු ගොඩක් දුක්වුනා මට මතකයි. පෝස්ටර් පවා ගැහුවා ඔහු වෙනුවෙන්.

ප.ලි. Word verication නම් ඇණයක් තමයි

malee_msg said...

නෑ නෑ...Dr.Lakshman Gunathilaka බොහෝ දුරට එයත් ඔයාගේ සමකාලීනයෙක් වෙන්න ඇති ... සුදුම සුදු වැඩි කලබලයක් නැතුව හෙමිහිට කථා කරන කෙනෙක් :)

gayankt said...

ඔබතුමා සඳහන් කරන මානුෂීය ගුණාංගයන්ගෙන් හෙබි වෛද්‍යවරුන් සෙවීම කලුනික සෙවීමටත් වැඩියෙන් අපහසු කාර්යයකි. එවැනි උතුම් ගුණාංගයන්ගෙන් හෙබි වෛද්‍යවරුන් නැත්තාම නොවෙයි. දුක්බරම තත්ව‍ය තම‍යි රෝගියාගේ නමයි වයස‍යි අසා ගැනීමටට තරම් වත්
චැනල් සූදුවේ යෙදෙන වෛද්‍යවරුන්ට ඉස්පාසුවක් නොවීමයි. රෝගියා වෛද්‍යවරයා හමු වීම‍ට පෙරම දොරටුවේ සිටින සහකාරිනිය (සාත්තු සේවිකාව යන වදන ඔවුනට යෙදිය නොහැකි බවයි මාගේ අදහස) මේ සියලුම දේ සටහන් කරගෙන අවසන්ය. ඉදිරිකාලයේදී රෝග ලක්ෂණත් ඇයටම සඳහන් කොට වෛද්‍යවරයා හමු නොවීම ප්‍රතිකාර ලබා දීමට තරම්ම චැනල් සූදුවේ යෙදෙන වෛද්‍යවරුන් කාර්යය බහුල වනු ඇත. රාගම
ශික්ෂන රෝහල ආශ්‍රිත චැනල් සූදු පලකට ගොඩ වුවහොත් ඔබටත් මෙය අත්විඳිය හැක.

සරත් ගුණතුංග said...

@ගයාන්

මගේ සටහන් වල එක පරමාර්ථයක් තමයි මේ අදහස් බාල පරම්පරාවට හෙලි කරල, මේ වගේ සමාජයක් ගොඩ නැගීමකට පියවර දමන එක. ඒක අද බැහැ, හෙටත් බැහැ, කල් යනවා. දැන්ම ඉඳල අත්තිවාරම දමාගෙන ප්ලෑනක් හැදුවොත් පුලුවන් කියල මට විශ්වාසයක් තියෙනව. 60 දශකයෙ ඉඳල වෙලා තියෙන වෙනස් කම් මට පේනව. මේ වගේ දේවල් හෙමින් තමයි ලෝකයේ වෙනස් වෙන්නෙ.

gayankt said...

90 දශකයේ අග භාගයේදී හරියටම ලෝකය දිහා බලන්න පටන් ගත්ත අපට අපේ දෙමාපියන් ඇතුලු වැඩිහිටියන් කියා දෙන උත්තරීතර මිනිස් ගුණදම් පිරුණ පිරිසක් විසූ අතීතය අරුමයක්.මේ වන විට සමාජ‍ය එතඑම්ම පිරිහිලා ජරාජීර්ණ වෙලා.එම උත්තරීතර ගුණ නැවත සමාජයට ලබා දීමට වෙර දරන ඔබ තුමාට තුති.

SweetuPooh said...

මේ සටහන කියවද්දි මට මතක්‌ උනේ ඊයෙ හවස තිබ්බ අමතර-දේශනාව! නේපාල දේශකවරයෙක්‌ගේ! ඉතා සිත්ගන්නා සුලු ඉගැන්වුම් විලාශයක්‌! වැඩිපුර ප්‍රශ්න ඇසීම!
ඔහු වරක්‌ ලෙඩක නමක්‌ කියා එයට කළයුතු ප්‍රතිකාර මොනවාදැයි ඇසුවා... සියල්ලෝම ලොකු ලොකු පර්යේශන වල නම් කියාගෙන ගියත් ඔහුට ඕනි වුනු පිළිතුර වුනේ රෝග නිධානයට පිළියම් කළයුතුයි යන්නයි! තවත් වරෙක ඔහු අසද්දි යම් රෝගයක රෝග-ලක්‌ෂණ හැමදේම පටලවන් උත්තර දුන්නු ළමුන්ට ඔහුගේ පිලිතුර වුනේ, symptoms & signs පටලවා ගන්නෙපා යන්නයි!
ඉතින් කොහොමද මෙයාලා ලෙඩ්ඩු බය නොකරයි කියලා හිතන්නේ. හිතන්න පටන් ගන්නෙම පුංචි තැනින් නෙවි තියෙන ලොකුම තැනින්නේ...

තව දෙයක්‌ තමයි, මම දැකලා තියෙනවා සමහර මහත්තුරු පොඩි ලෙඩේටත් දෙන පෙති ගොඩ! මටත් අත්දැකීම් තියෙනවා,අපේ සුපුරුදු doctor uncle නැතුව වෙන කෙනෙක්‌ගෙන් බෙහෙත් ගන්න උනොත්,කොච්චර පෙති ගිල්ලත් මම එක තැන! නමුත් අපේ doc uncleගෙන් එක පාරයි ගන්න ඕනා! ලෙඩේ සුවයි!
අත් ගුණය කියන්නේ ඒකට වෙන්නැති! :)

සරත් ගුණතුංග said...

@ ඔබ හරි. අත්ගුණය කියන්නෙ ඒක තමා... ඔතන විශාල මානසික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඔයා, ඔයාගෙ දොස්තර මහත්මය එක්ක පුද්ගලික මානසික විශ්වාසයක් ගොඩ නැගී තියෙනව. ඒ දොස්තර මහත්මයත් වෙදකම් කරන්නේ "සුවපත් වේවා" යන චේතනා සහිතව වෙන්න ඕන. එහෙම අවස්ථාවක වතුර දුන්නත් සුව වෙනව. මේ මානසිකත්වය පොත් වල සඳහන් කරල නැහැ. තිබ්බත් තියෙන්නෙ ,placebo effect කියල මිථ්‍යාවක් පමණයි. මේ මානසිකත්වය අමුතුම ලෝකයකට දොර අරිනව. අපේ උතුම් ගුණංග ඒ කියන්නෙ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන බ්‍රහ්මවිහාර අපට නොපෙනෙන බලවේග බවට පත්වෙලා සුවපත් කිරීමේ බලවේගයකට හැරෙනව. මේ ගැන තමයි මහාචාර්ය බ්‍රයන් වයිස් විස්තර කරන්නෙ. www.brianweiss.com