Tuesday, November 18, 2008

පෙනිසිලින්, ඇම්පිසිලින් සහ කටුවැල්බටු

වෛද්‍ය විද්‍යාලයේ පලමු වසර එකහමාර ඇතුලත අපට රෝගීන් මුන ගැසෙන්නේ නැත. ඉන් පසුව සායනික පුහුනුව ආරම්භ වෙයි. රෝගීන් හමුවන්නේ ඉන් පසුවය. එක දවසක් අපට ස්නායු පද්ධතිය ගැන දේශනයකින් පසු ඒ මාතෘකාව පිලිබඳව වැඩිපුර කරුණු පහදා දීම පිණිස ස්නායු පද්ධතියේ වෙනසක් ඇති රෝගියෙක් රෝද පුටුවක තබා සාත්තු සේවකයෙක් දේශනාගාරයට තල්ලු කරගෙන ආවේය. මේ වෛද්‍ය විද්‍යාලයේ සාමාන්‍ය සිරිතය. රෝගියා ජාතික රෝහලේ වාට්ටුවක ප්‍රතිකාර ලබන කෙනෙකි. වෛද්‍ය ශිෂ්‍යයින් අමතමින් සිටි මහාචාර්යතුමා රෝගියා ගැන කිසි තැතීමක් නොකෙලේය. ඔහුගේ අවධානය යොමුවී තිබුනේ දේශනය කෙරෙහිය. සාත්තු සේවකයාද ගොලුවෙකු සේ කරබාගෙන රෝගියා රෝදපුටුවේ තල්ලුකර ගෙන ආවේ පන නැති භාණ්ඩයක් තල්ලු කරන්නා සේය. මේ සිද්ධිය මට කවදාවත් අමතක කල නොහැක. අද පවා එය සිහිවන විට ඇතිවන්නේ වේදනාවකි. අහිංසක රෝගියාද දුක සැප දැනෙන, වේදනාව දැනෙන හඳුනන, ආත්මගෞරවයක් තිබෙන මනුෂ්‍යයෙකි. අවාසනාවකට මහාචාර්යතුමා රෝගියාට කථා කලේ වත් යටත් පිරිසෙයින් සිනාවකින් සංග්‍රහ කලේවත් නැත. ශිෂ්‍ය පිරිසට හඳුන්වා දුන්නේද නැත. ප්‍රදර්ශනයට ගෙන යන සතෙකු සේ මේ රෝගියා පැමිණ ඇත. ශිෂ්‍යයන්ට කථාකරමින් හුන් මහාචාර්යතුමා එක වරම තම දකුනු අතේ දබරැඟිල්ලත් මැදඇඟිල්ලත් ඇඟිලි මැද්දෙන් නමා, රෝගියාගේ ආමාශය පෙදෙසට තද කොට කරකැවීය. අසරණ රෝගියා වේදනාවෙන් කෑගසීය. ඒ සමගම ඔහුගේ මුහුනේ මාශ පේශීන් ක්‍රියා කරන අන්දම අධ්‍යනය කරන ලෙසට නියෝග කලේය. මගේ සිත දෙගිඩියාවෙන් පෙලෙන්නට පටන් ගත්තේය. මා මෙහි පැමිනියේ රෝගීන්ට සාත්තු කරණ අන්දම ඉගෙන ගැනීමටය. ඔවුන්ට හිරිහැර කරණ අන්දම දකින්නට නොවේ. මහාචාර්යතුමාට ඔයිට වඩා හොඳට මිනිස් කම පෙරදැරිව රෝගියාට කථාකොට ඔහුව මනුස්සයෙක් හැටියට නමින් හඳුන්වා දී අපට උගන්වන්නට ඕනෑතරම් ඉඩ තිබුනි. නමුත් එසේ වූයේ නැත. ප්‍රශ්න කිහිපයක් පැන නැගී ඇත. මේ දොස්තර වරුන්ගේ දඩබ්බර සාවද්‍ය භාවයක්ද? අසරණ රෝගීන්ට මෙසේ සලකන්නේ අධිරාජ්‍යභාවයේ අඳුරු සෙවනැලි තවමත් පවතින නිසාද? රෝගීන් නිසාම ජීවත්වන දොස්තරවරු උසස් යයි ඔවුන් සිතන නිසාද? මගේ පසුබිම ගැමි පසුබිමය. උසස් සමාජයට පිවිසීමට මට කිසිසේත් ආසාවක් නැත. මා පැමිණියේ මිනිස්කම පෙරදැරි කොටගත් ශාස්ත්‍රයක් ඉගෙනීමටය. මා සමග වෛද්‍ය විද්‍යලයට ඇතුල් වූ සිසුන් අතරින් බොහෝ දෙනෙක් සමාජයේ මධ්‍යම පන්තියේ අය වූහ. නමුත් වැඩිතරයක් දඟලන්නේ උසස් යයි සම්මත සමාජයට පිවිසීමටය. මීට විරුද්ධව නැගී සිටීමටද අපහසුය. එවිට මා කොන්වනු ඇත. මමද දෙලොවක් අතර අතර මං වූවා සේය....

10 comments:

අමල් ඉෂාන්ත said...

ඕක තමයි කේස් එක ලංකාවේ මිනිස්සුන්ට ඉගෙන ගත්තම ඔළුව ඉදිමෙනවා. දොස්තරලා ගොඩක් දෙනෙක් එහෙමයි හැබැයි දෙවිවරු වගේ අයත් ඉන්නවා. ඒකනේ තාම ලංකාවේ වෛද්‍යවරු කියන පිරිසට සලකන්නේ. හැබැයි නීතිඥවරුන්ට එහෙම නෑ. මොකද මිනිස්සු තෙරුම් අරන් ඉන්නේ ඔවුන් සල්ලි මත පමණක් ක්‍රියාත්මක වන පිරිසක් බවයි.

Charith Weerakkody said...

ගොඩක් දොස්තරලට මනුස්සකමක් නැහැයි කියලයි මට නම් හිතෙන්නෙ.හැම තිස්සෙම ඒ ගොල්ලො බලන්නෙ තමන්ගෙ ගාන වැඩි කර ගන්න.ලෙඩ්ඩු මැරුණත් කමක් නැහැ තමන්ගෙ ගාන ගැන විතරයි හිතන්නෙ.මනුස්සකම් අඩු වේගෙන යන මේ වගේ කාලෙක මේක දොස්තරලට විතරක් අදාල වෙන්නෙත් නැහැ.හැමෝම මේ තත්වෙට පත් වේ ගෙනයි යන්නෙ.නමුත් ඉදල හිටල හොද දොස්තරලත් ඉන්නව.

මගේ පලමු බ්ලොග් සටහනට එක් කරපු අදහසටත් ස්තූතියි.

Bo said...

ඔබ ලියනාකාරයේ පිරිස්ද සිටිනවා. නමුත් හැම දොස්තරම එහෙම නෙමෙයි.අපේ පුහුණු වැඩසටහන් වලදී මේ කියන දෙපිරිසම දකින්න ලැබුනා. එක් විශේසඥ වෛද්‍යවරියක් සිටියා, ඇය ඉතාම කරුණාවන්තයි , ඇය ward rounds කරද්දී, රෝගියා සමග කතාකරන ගමන්, රෝගියාගේ ඇඳ කොට්ට පවා පිළිවෙලට හදනවා. ඇඳ ළඟ පිහිටි කුඩා කබඩ් එක මත තිබෙන බඩු බාහිරාදිය පිළිවෙලට හදමින් තමයි කතා කරන්නේ, ඇය එහෙම කරද්දී, සුළු සේවකයනුත් උත්සුක වෙනවා ඒවා පිළිවෙලක් කරන්න. හැබැයි ඔය අතරෙම සමහර වෛද්‍යවරු ඉන්නවා, රෝගීන්ට බොහොම නරක විදිහට කතාකරන. oh that crazy man, අර පිස්සා, අර බේබද්දා, ඔහොම කතාකරන අවස්ථාත් තිබෙනවා.මිනිස්සු හැමෝම එක වගේ නෑනේ.තවත් දෙයක් palpate කරද්දී රිදෙනවානම්, වෛද්‍ය ශිෂ්‍යයින් කණ්ඩායමක්ම ශරීරයේ එකම තැන ඔබ ඔබා, රිදෙනවද බලන්න යන එකනම් මම කැමතිම නැති වැඩක්, අන්තිමේදී රෝගියා, රිදීම නිසා දැඩිව පීඩා විඳිනවා.

ආගන්තුකයා said...

අපිට වැරදුනේ ඔතන තමා... එක අතකට බලනකොට අද සමාජ්යේ දොස්තර කෙනෙක් වෙන එක සෑහෙන අමාරුයි..ඒ සඳහා නොයෙක් කැපකිරීම් කරන්න වෙලා දොස්තරවරුන් බහුතරයකගෙ අද්භූත හැසිරීමට හේතුව ඔය අපහසුතාවය... ඔතන දුක් විඳින වෛද්‍ය ශිෂ්‍යා සමාජයට යන්නෙ අධික සැපතක් පතාගෙන... ඉතින් ඕකට කාටද වැරැද්ද පටවන්නේ.. ඕක මේ ක්‍රමයේ වැරැද්ද...

ආගන්තුකයා said...

cn you please remove this Word Verification...

beyond frame said...

ඔබේ බ්ලොග් සටහන බොහොම ආශාවෙන් කියවූවෙමි. එයට පිළිතුරු ලෙස බෝ විසින් ලියා ඇති ප‍්‍රතිචාරය ද ආශාවෙන් කියවූවෙමි. මිනිසුන් නොමිනිසුන් වන්නේ ඔවුන් ලබන අධ්‍යාපනය හා විශේෂයෙන් කුඩා කල ලබන මග පෙන්වීම හේතුවෙනි. එහෙත් වඩාත් හොඳ මිනිසුන් අගය කරමින් ද අශිෂ්ඨ ලෙස හැසිරෙන්නන් එසේ හැසිරෙන බව පෙන්වා දෙමින් ද මිනිසුන් වෙනස් කළ හැකි ය. ඔබේ බ්ලොග් සටහනත් ඊට පිළිතුරු ලෙස බො විසින් දක්වන ප‍්‍රතිචාරයත් මා අගයන්නේ එබැවිනි.

සරත් ගුණතුංග said...

@ බෝ

දුව කියන එක ඇත්ත. මම කථා කරන්නෙ "යට ගිය දවස" ගැන. 60 දශකය ගැන. එතකොට එහෙමයි. දැන් උනත් මම අහල තියෙන විදියට බොහොම දෙනා එහෙමයි- ගමන් කරන්නෙ අඩි 20ක් උඩින්. 'රන්මැනික්' වගේ දේවතාවියන් ඔය අතරේ ඉන්නවා. ඔවුන් මිනිස් කම හඳුනනවා. තවමත් අපි රෝගී තැනැත්තා තේරුම් අරගෙන නැහැ. ඒ කියන්නෙ රෝගී තැනැත්තාගෙ ගැටලුව ඔහුට/ඇයට ඔවුන්ගේ භාශාවෙන් කියන්නට නොදී අපිම කතා කරනවා, කතා කරල වෛද්‍යකරණය (medicalize) කරනවා. ඒකට බොහෝවිට ලස්සන නමකුත් දීල අගට'itis' නමකුත් දීල වැඩේ සවුත්තු කරනවා. මේ ගැන වැඩිපුර සටහන් මම තව පල කරන්නයි ඉන්නෙ. මේ මානව සන්නිවේදනය පිලිබඳව සායනික පුහුනුව ගැන මම ම ලියාපු මත වාද.
මේ පිටුව මතක තියාගෙන පසුව බලන්න.

Derick Widanalage said...

මම අත්දැකපු සිදුවීමක් කියන්නම්... මග පියා මීට දස වසරකට පමණ පෙර ඔහුගෙ ජීවිතයේ අවසන් දින කීපය ගත කලෙ පේරාදණිය ශික්ෂණ රොහලේ... ඔහු මිය යාමට දින කීපයකට කලින් පැවසු දයක් මට තාමත් අද වගේ මතකයි... "පුතෙ ආය නම් මාව මෙහාට අරන් එන්න එපා... මෙහ ලොකු දොස්තර මහත්තයා බලල ගියට පස්සෙ පොඩි දොස්තර මහත්තුරු එනවා... ඒ අය මාව එහාට මෙහාට පෙරල පෙරල ආයෙ මගන් ප්‍රශ්න සීයක් විතර අහනවා... පුතෙ මට මෙක දැන් එපා වෙලා තියෙන්නේ..." මගේ පිය මෙස පැවසුව වෛද්‍ය සිසුන් ගෙනයි... හැමොම මෙහෙම නැතුව එති... ඒත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියනවා....

SweetuPooh said...

gosh, how cruel! මට හිතෙන්නෙ එහෙම පිරිස අල්ප ඇති! (එය එසේම වේවා!) අනික මේ "මහාචාර්යතුමා" තම ශිෂ්‍යයන්ටවත් ආදර්ශ්‍යමත් විදියට හැසිරිලා නෑනේ..
මිනිස්‌කම නොහඳුනන අය සමාජේ මොන මොන තානාන්තර දැරුවත් තමන්ගෙ නපුරු ගති හැමවිටම හංගාගන්න ලැබෙන්නෙ නෑ! කොහොම නමුත් අපිට නම් අපේ ගුරුවරු කියලා තියෙනවා ජීවත්ව ඉන්න රෝගියෙකුට කෙසේ වෙතත්, කපන cadaver එකටත් ගරු කළ යුතුයි කියලා...
ඔබේ මෙ ලිපිය මටත් හැමදාටම මතක හිටීවි! ඒ තරමට එය සන්වේදියි!... අහෝ මිනිසුනි! අපි කවුරුත් අවසානෙදී මැරෙනවානේ...

Hiranya Punchihewa said...

මා ලියන ලද "උගතුන් බුද්ධිමතුන් වේ ද?" (http://dreamsofhiranya.blogspot.com/2010/02/blog-post_20.html) ලිපියට මෙය මනා උදාහරණයකි. අප සමාජයේ කෙතරම් උගත් පිරිස් සිටියද, උගත්කමට සරිලන තරම් බුද්ධිමත් බවත්, මනුශ්‍යත්වයත් ඔවුන් බොහෝමයකට නැත..... ඒ තරමටම අප සමාජය පිරිහී ගොසිනි.