Sunday, November 16, 2008

පොඩි එකාගේ ලියුම

ඒ හැටේ දශකයයි. සෑම ඉරිදාවකම ඉරිදා ලංකාදීප පුවත් පත්වල පල වූ කුඩා සටහනකි, පොඩි එකාගේ ලියුම. ලියන්නේ පොඩි එකාය. පොඩි එකා මනඃ කල්පිතය. ඒකාගේ වයස ඒකා ලියන සටහන් අනුව අවුරුදු පහකට දහයකට වඩා විය නොහැක. ඒ කෙසේ වෙතත් පොඩි එකාගේ ලියුම ඉතා හාස්‍යජනකය. ඒ හාස්‍යජනක භාවය නිසාම සමහර දෑ මතකයේ රැඳි පවතී. පොඩි එකා රටේ, සමාජයේ දෛනිකව සිදුවන දේවල් උපහාසාත්මක ඇසකින් බලා ලියුම ලියයි. ඒ ලියන්නේත් ඉතාමත් බොලඳ අන්දමටය. අකුරු පවා සාමාන්‍ය මුද්‍රණ අකුරු නොව පොඩි එකෙක් ලියන අන්දමේ අකුරුය. වරක් ඒකා මෙසේ ලීවේය. "අපේ තාත්තා දොස්තර කෙනෙක්ය. ඒ වුනාට අපේ අම්මා නිතරම ලෙඩ ගානේය..." පොඩි එකා තාත්තාව දකින්නේ ඒ අන්දමටය. 60 දශකයේ සුප්‍රසිද්ධ සිනමා නිලියන් දෙදෙනෙක් දොස්තර වරු දෙදෙනෙක් හා තව නිලියක් ඉංජිනේරුවෙක් හා විවාහ විය. පොඩි එකා මේ සිද්ධීන් දුටුවේ මේ අන්දමටය... "අපේ තාත්තා කරන්නේ ඉස්කෝල ගුරුකමය. අම්මා රස්සාවක් කරන්නේ නැත. ඒ වුනාට අපේ තාත්තාට දොස්තරලාට ඉංජිනේරුවන්ට තරම් මොලේ නොතිබුනාට අපේ අම්මා සිනමා නිලියක් නොවේය..." වරක් පොඩි එකා ඉතා උපහාසාත්මක සිද්ධියක් වාර්තා කලේය. එහි පසුබිම මෙසේය. පොඩි ඒකාගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නේ මානිස් නම් වූ මුදලාලි කෙනෙකි. ඔහුගේ දුවගේ නම සාමාය. ඇය සනී නම් වූ තරුණයෙක් සමග පෙම් බැඳ සිටින්නීය. පොඩි එකාගේ පියා සංගීතඥයෙකි. ඔහු 'ස රි, ග, ම, ප, ද්, නි, ' වශයෙන් සංගීතය නිතර දෙවේලේ හදාරයි. පොඩි එකා ලියුම මෙසේ ලියයි..... "අපේ තාත්තා සංගීතඥයෙක්ය. තාත්තාගේ වැඩේ උදේ ඉඳල හැන්දැ වෙන කම් සංගීතය පුරුදු වෙන එකය. තාත්තා අලුත් සිංදුවක් හදල ඒක පුරුදු වෙන කොට අල්ලපු ගෙදර මානිස් මුදලාලි තරහ වුනේය. ඒ මානිස් මුදලාලිගෙ දුව සාමා, මානිස් මුදලාලි හවස නිදා ගන්න කොට, එයාගෙ කොල්ල සනී එක්ක පැනල ගිය එකට තාත්තා හින්ට් ගහනව කියලාය. සිංදුව මෙසේය. "මානිසා ..මා....නිසා... නි....දා ගනී...// සා..මා සාරි... දා... ග...නී...// ස...නී ස..ම..ග ප..නී..." මේ පිලිබඳව මතකයේ ඇති කෙනෙක් ඇත්නම් ඉදිරිපත් කල මැනවි.

10 comments:

Supun Sudaraka said...

බිපෙසි! :-D
මේ වාගේ තව ඒවා නැත්ද?

ශාකුන්තල | Shaakunthala said...

අපූරුයි..! මටත් මාර හිනා. =D

Anonymous said...

අපූරුයි.

යහම්පත් said...

මමත් බලලා තියනවා.අනූගනන් වලත් පත්තරේ ඔක තිබ්බා.තව ලියන්න.නියමයි.

පිටස්තරයා said...

"ස...නී ස..ම..ග ප..නී..." =D

නියමයි.... තව උපුටා ගැනීම් ලියන්න පුළුවන් නම් හොඳයි

සු said...

ඕක 60 දශකයේ විතරක් නෙවෙයි මට හිතෙන හැටියට 80 දශකයේ ආසන්නයෙත් යන්න ඇති. මං කීපයක් කියවලා තියෙනවා. ඒ තරම් පරණ නම් කියවන්න ලැබෙන්නෙ නැහැනෙ.. අත් අකුරින්ම තිබුණා වගේ යාන්තම් මතකයි.
ලේඛනාගාරයේ පරණ පුවත්පත්වල නම් ඇති.
ආයෙ බලන්න තියෙනවා නම් නියමයි.මේ සටහනින් මතක් කිරීම ගැන මගේ සතුට !

නිලන්ත පියසිරි said...

මටත් මතකයි ඔය පොඩි එකා ගේ ලියුම කියැවූ හැටි. එවැනි හාස්‍යයක් මෙකල උපදන්නෝ නොවෙති.

budhajeewa said...

නියමයි !

තවත් මේවා පළ කරන්න !!

Kanch said...

Thawath apuru blog ekak....
me podi ekage liyum wala liyala thiyena ewa dakala hina yanawa nemei enawa... :D ;D
godak sthuthi....

Bo said...

මානිසා.. කථාපෙළ අපූරුයි. මටත් මතකයි කියවන්න ලැබුනාවගේ මතකයි. එකළ තිබූ සාර සඟරා කිසිත් අද නෑ. මානිගේ තීරුව, කිංබානට් වැනි ලිපි අද දිවයින් පත්තර වලින් කියවන්න ලැබෙන හොඳ irony සහිතව ලියන ලිපි පෙළක්