Thursday, November 13, 2008

අවාසනාවන්ත පර්යේෂණය - අපි අතර මං වීමු !!!

ලංකාවේ ප්‍රථම වරට විද්‍යා විශයයන් සිංහලෙන් ඉගෙන, සාමාන්‍ය පෙල විභාගයට සිංහලෙන් හිඳගත් ප්‍රථම ශිෂ්‍යයින් හැටියට අපිට විශාල ප්‍රසිද්ධියක් ලැබුණි. පුවත්පත් ඉතා ගාම්භීර අන්දමට අපිට සැලකූහ. විභාග ප්‍රතිඵල ලැබුනේ සිංහල අවුරුදු සමයේදීය. සිය මවුබසින් ඉගෙන ගත් බැවින් විශයයන් පිලිබඳ මනා දැනුමක් අප සතු විය. ඒ නිසා විභාග සාමර්ථ ප්‍රතිශතය ඉතා ඉහල මට්ටමක පැවතුනේය. ඒ හොඳ පැත්තය. අනෙක් පැත්තෙන් අපේ ඉංග්‍රිසි දැනුම බිංදුවට අඩුවෙන් පහලට බැස්සේය. අපේම අවාසනාවට, ගුරුවරු හෝ ශිෂ්‍යයින් හෝ මේ කරුණ සලකා බලා නැත. ශිෂ්‍යයින්ට අධ්‍යාපන ක්‍රම ගැන කිසිම දැනුමක් නැත. ඔවුන්ට කිසිම දෝශයක් නැංවිය නොහැකිය. ඔවුන් මේ අවාසනාවන්ත පර්යේෂණයේ අහිංසක බැටලුවන් පමනකි! විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අංශයට සුදුසුකම් ලැබීමට, එවකට තිබුණු නීතිය වූයේ සා. පෙ. විභාගයෙන් -
  1. විභාගය විශයයන් අටක් සහිත සාමර්ථය.
  2. සම්මාන පහක් එකවර ලබා ගැනීම
  3. ඉංග්‍රිසි වලට අනිවාර්යයෙන්ම සම්මානයක් තිබීම

බොහෝ දෙනෙක් ඉංග්‍රිසි වලින් සම්මානයක් තබා සාමාන්‍ය සාමර්ථයක් වත් ලබා ගැනීමට අපොහොසත් වූහ. යථාර්තය අපිට වැටහෙන්නට පටන් ගත්තේ එවිටය. ඒ අතර අපේ අධ්‍යාපනයේ අමිහිරි ජවනිකාවක් රඟදෙන්නට පටන් ගත්තේ අකුණු පහරක් ලෙසටය. ඉංග්‍රිසි සම්මානය සඳහා පසුව විභාගය ගත හැකි බවට විභාග දෙපාර්තමේන්තුව අපට ඉක්මනටම දන්වා එවීමෙන් යන්තම් සැනසීමක් ලද්දෙමු. ගුරුවරුන් හා පොත්පත් ආදී අත්‍යාවශ්‍ය දෑ නොමැති නිසා අපේ අධ්‍යාපන මාධ්‍යය මින්පසු ඉංග්‍රිසියෙන් කෙරෙන බවට දැන්වීමෙන් පසු අපි බිරාන්ත වීමු. අපි අන්තිමටම අසරණ වීමු. අපිට උදව්වට කිසිවෙක් ඉදිරිපත් නොවූහ. මෙත්තානන්ද මහත්මයා විශ්‍රාම ගොස්ය. වැඩි පුර ඉංග්‍රිසි පන්තියක් ආරම්භ කිරීමටවත් කවුරුවත් ඉදිරිපත් වූයේ නැත. උසස් පෙල පන්තිවල ඉගැන්වූ ගුරුවරු ඉතා දක්ෂ ගුරුවරුය. නමුත් ඔවුන්ට සිංහල බැරිය. අපි ඉගෙන ගත්තේ අංඩර දෙමලය. අපිට ප්‍රශ්න දෙකකි. එකක් ඉංග්‍රිසි ඉගෙනීමය. අනෙක විශයය ඉගෙනීමය. පාසැලෙන් අපට ලැබුණ කුඩම්මාගේ සැලකිල්ල නිසා අපේ උද්‍යෝගය හීන විය. සමහර සිසුහු ගුරුවරයා ඉංග්‍රිසියෙන් කියන දෑ, ඉංග්‍රිසි වචන සිංහලෙන් ලියා ගැනීමට තරම් අසරණ වූහ. ඒ සිසුන්ගේ තත්වය අතිශයින්ම කනගාටුදායක විය. ඔවුන් සා.පෙ. සමත් වූයේ ඉතා ඉහලින්ය, උසස් පෙල පන්තියේ ඔවුන්ම බඩ ගාති. බොහෝ සිසුහු උසස් අධ්‍යාපනය කර ගත නොහැකිව රැකියාවල් සොයා ගියහ. පාසැලෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය ගත හැක්කේ දෙවරකි. මේ නීතිය පවා වෙනස් කිරීමට පාසැල අපොහොසත් විය.

එක අතකින් මෙය අපරාධයකි. මේ පර්යේශනයට කිසිම ගුරුවරයෙකුගේ දරුවෙක් ගොදුරු නොවීය. හසු වූයේ ඉතා දක්ෂ දිවයිනේ නොයෙක් දෙසින් පැමිනි සාමාන්‍ය ශිෂ්‍යයන්ය. එකල ආධාර ලබන පාසැල් රජය සතු නොවීය. මේ පර්යේශනයෙන් අනාගතය අඳුරු කරගත් සිසුහු බොහෝ වෙති. ඒ ශිෂ්‍යයෝ තවමත් යටිතොල සපාගෙන නිශ්ශබ්දව හිඳිති !!! ඔවුන්ගේ ජීවිත සමග සෙල්ලම් නොකෙලේ නම් ඔවුන්ටද උසස් අධ්‍යාපනයේ රස විඳීමට හැකියාව ලැබීමට ඉඩ තිබිනි.

6 comments:

malee_msg said...

අද කියලත් වැඩි වෙනසක් තියනවාද? කොළඹ නුවර ගාල්ල හා ප්‍රධාන නගර වල පාසැල් වල ඇරුණහම ‍ගම්වල පුංචි පාසැල් වල දරුවොත් මේ අකරතැබ්බියට මුණ දෙනවා නේද?

Manoj colambage said...

එදා පටන්ගත්ත කවදාවත් නිමනොවෙන පර්යේෂනයේම කොටසක් වෙන්නඇති අදත් තියෙන්නේ.
අපේ අධ්‍යාපන ක්‍රමයේ කොච්චර ප්‍රශ්න තියෙනවද?
ඒවට විසදුම් හොයන්නත් අධ්‍යාපන ඇමතිවරුත්
දුසිම් භාගයක් විතර ඉන්නවනේ.

Anonymous said...

අධ්‍යාපනය නොමිළෙ ල‍බා දෙන නිසා ර‍ට කරවන උත්තමයො අවුරුදු 6 න් 6 ට පොඩි පොඩි පරීක්ෂණ කරලා බලනවා

Kasun said...

මලී කිව්වා වගේම දැන් වුනත් වැඩි වෙනසක් නැහැ. ඒත් ඒ කාලේ වගේ ගැටළුවක් තියේය කියලා පැහැදිලිව පේන්නෙත් නැහැ. :(

ච.ගු said...

පර්යේෂණ ඉවරයක් නැතුවා වගෙයි: ඊයෙ ජනතා "විමුක්ති" පෙරමුණ රජයට බල කිරීමක් ඉදිරිපත් කරලා : Government should drop instruction in English medium, says JVP .

මේ ගොන් හැත්ත හදන්නෙ අපේ පුන්චි උන් විශ්ව ගම්මානයෙන් කොන් කරල දාන්නද? "වැටත් නියරත් ගොයම් කානම්"..කියල කිව්වලු නෙ

Anonymous said...

ඇත්තටම CWWC ගේ සිංහලෙන් උගන්වන්න ගනුලැබූ තීරණය මම දකින්නේ පසුගාමී අමනෝඤ්ඤ ක්‍රියාවක් ලෙසයි. එමඟින් දක්‍ෂතා තිබෙන බොහෝමයක් ග්‍රාමීය සිසුනට බලවත් අසාධාරනයක් සිදුවුනා.. ඇතැමුන්ගේ උසස් අධ්‍යාපනය නවතාලන්න මෙය හේතු වූ අවස්තා සහ උදාහරණ ඕනෑම ග්‍රාමීය පෙදෙසකින් හොයා ගන්න පුළුවන්. දැන්වත් , අවම වශයෙන් උසස්පෙලවත් ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වන්නට පටන්ගන්වනම්, ඉතාමත්ම හොඳයි..


@චන්දිම
ජනතා විමුක්ති පෙරමුන කියලා එකක් නැහැ ලංකාවේ.. හැබැයි ටකරන් විමුක්ති පෙරමුන කියලා නම් එකක් තියෙනවා.. අර කෝකටත් කෑගහන කට්ටිය.. :D