Wednesday, October 29, 2008

භවයෙන් භවයට යන මානසික රෝග....

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව පුනරුත්පත්තිය, භවයෙන් භවයට යන රෝග යනාදිය සුරංගනා කථා ගනයෙහි ලා සලකනු ලැබේ. එක අතකින් ඒ ඔවුන්ගේ ආගමික පරිසරය නිසා විය හැකිය. ඔවුන් කිතුනු භක්තිකයෝ වන්නාහුය. බටහිර වෛද්‍ය වරු 'පුණරුත්පත්තියක් නොමත' යන මතයෙහි එල්බ ගෙන සිටිති. දැනගත්තත් එම මතය වෙනස් කිරීමට මැලි වෙති. ඒ ඔවුන් වෘත්තීය වශයෙන් කොන් වේයයි යනු බියෙනි. නවීන කිතුනු ආගම පුණරුත්පත්තිය පිලිකෙව් කරයි. (මේ සටහන ආගම් විවේචනයක් නොවන බව කරුනාවෙන් සලකන්න.) නමුත් සය වැනි සිය වසේදී කොන්ස්තන්තිනෝපල් නුවරදී පුණරුත්පත්තිය පිළිබඳව වූ ලියවිලි බයිබලයෙන් ඉවත් කල බවට ඉතිහාසය සාක්ෂි දරයි. මෙවන් පරිසරයක පුණරුත්පත්තිය වැනි මාතෘකාවක් වෛද්‍ය වෘත්තීමය කරලියට පැමිණීම සිදු නොවේ. නමුත් සත්‍යය සැමදාම සැඟවිය නොහැක. එය කවදා හෝ එලියට පැමිණිය යුතුය. පුණරුත්පත්තිය පිලිබඳ සත්‍යතාවය හෙලි වූයේ අහම්බෙනි, නමුත් සැඟවිය නොහැකි අන්දමට, පිලිගත යුතුම බවට සාක්ෂි සහිතව සත්‍යතාවය පිළිබිඹු විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ මියාමි ප්‍රාන්තයේ බ්‍රයන් වයිස් නමින් මනෝ විද්‍යා වෛද්‍ය මහාචාර්යවරයෙක් ඇත. මනෝ විද්‍යා පිලිබඳව හසල දැනුමක් ඇති එතුමා රෝගීන් මෝහනය කොට ඔවුන්ගේ මනස ඈත අතීතයට යවා නිදන් ගත මානසික රෝග පිලිබඳව සොයා බැලීමට හැකියාව ඇත්තෙකි. ඔහුගේ සායනය වෙත පැමිනුන දහසක් රෝගීන් අතුරෙන් කැතරින් නම් වූ 32 හැවිරිදි තරුණියක්ද විය. මෙම තරුණිය මෝහනයට භාජනය කොට අතීතයට ඇයගේ සිත යොමු කල මහාචාර්යවරයා, ඇය දුන් තොරතුරුවලින් ගල් ගැසී ගියේය. ඇය දුන් තොරතුරු දෙකොටසකට බෙදිය හැකි විය. එකක් මහා චාර්යවරයා පිලිබඳවය. එනම් මහාචාර්යවරයාගේ මියගිය පියා සහ ඔහුගේ මිය ගිය බිලිඳු පුතා ගැනය. මේ බිලිඳාට උත්පතියෙන් විකෘති වූ හදවතක් පිහිටා ඇත. ඒ හදවත් විකෘතියෙන්ම ඔහු මිය ගියේය. මේ බිලිඳා ගැන සහ තම පියා ගැන මහාචාර්යවරයා හැර අන් කිසිවෙක් දැන සිටියේ නැත. මේ මානසික ආතතියකින් දරුනුව පෙලෙන කැතරින් හෙලි කල මේ කරුන මහාචාර්යවරයාට මහ පුදුම එලවන ප්‍රහේලිකාවක් විය. ඇය මෝහනයේ පසු වෙද්දීම ඒ බව කෙසේ දැන් ගත්තේදැයි ඇසූ විට එය දැනගත්තේ 'මාස්ටර්ස්' මගින් යයි ඇය හෙලි කලාය. මාස්ටර් වරු වශයෙන් හැඳින්වූයේ වෙනත් ජීවීන් කොටසක් බැව් මහචාර්යතුමාගේ මතයයි. (highly evolved beings) තවද ඇය ව්ශී කරනයෙන්ම අවුරුදු 4000 ක් ඈත අතීතයට පිවිසියාය. ඇය ගත කල ජීවිතයත් ඈ සිටි ප්‍රදේශය ගැනත් විස්තර නිවැරදිව ඇයට ප්‍රකාශ කිරීමට හැකිවිය. ඇය ක්‍රමයෙන් ඊට මෑත කලයකට යොමු කල මහාචාර්යවරයාට අසන්නට ලැබුනේ ඇඟ කිලිපොලා යන වදන් පෙලකි. භව ගනනාවකම ඇගේම සැමියා (එකම පුද්ගලයා) ඇයගේ ගෙල කපා ඇය මරා දමා ඇති බව ඇය හෙලි කලාය. ඉන් ඇති වූ මානසික බලපෑම ආතතියක්ව මේ භවයටත් බලපා ඇති බව තේරුම් ගැනීමට මහාචාර්යවරයාට වැඩි වේලාවක් නොගියේය. ඇයට දෙන ලද ඖෂධ වලින් සුව නොවී භව ගනන් තුබූ මේ දරුනු ආතතිය වදන් පෙලෙකින් (regression therapy) සුව කිරීමට මේ මහාචාර්යවරයාට හැකි විය. ඉන් පසු කැතරින්ට ඖෂධ අවශ්‍ය නොවූයේය. එහෙත් නිතර නිතර තමා සුව කල වෛද්‍ය වරයා හමුවට එනලෙස ඇයට පැවසුවේ නව පිටුවක් මනෝ වෛද්‍ය විද්‍යාවට එක් කරමින්ය. මනෝ වෛද්‍යවිද්‍යාවේ මහා පෙරලියක් ඇති කල මේ සිද්ධිය ග්‍රන්ථයක් වශයෙන් පසු කලෙක ප්‍රසිද්ධ කොට ඇත. ( Many Lives Many Masters - Brian L Weiss MD) ඉන් පසු දහස් ගනන් රෝගීන්ගේ පෙර භව වල සිට රැගෙන එන නිදන් ගත මානසික රෝග සුව වී ඇත. වැඩි විස්තර දැන් ගැනීමට මේ වෙබ් අඩවිය බලන්න. http://www.brianweiss.com/

Sunday, October 26, 2008

යට ගිය දවස - 2

අධිරාජ්‍යවාදීන් මේ රටට කල නස්පැත්තිය ඉතා විශාලයි. ඒකෙන් තවමත් රට ගොඩ ඇවිත් නැහැ. අපේ රටේ තිබුණු සෞභාග්‍යය සූරගෙන කාලා ඒ රට වල ඇති සංකර ගති මේ රටේ වැසියන්ට පුරුදු කරල මහා නස්පැත්තියක් කරල ගියේ. අපේ මිනිස්සුත් මේ සංකර ගති, බොහොම වෙලාවට හිස් මුදුනෙන් පිලිගත්තා. ඒ නගරාසන්නයේ පමණයි කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙවෙයි. ගම් වල අය බොහොම දුරට සිංහල කම, සිංහල සිරිත් විරිත් රැක ගෙන හිටියා. නිදහස හම්බවෙලා අවුරුදු තුනක් විතර යනකොට, එතකොට හිටපු ජාති හිතෛශීන්, අධ්‍යාපන ක්ෂෙත්‍රයෙ පතාක යෝධයො ජාතික අධ්‍යාපන ක්‍රමයක් ගැන හිත යොමු කරන්න පටන් ගත්ත. ආනන්ද විද්‍යාලය මේ අතරින් පෙරමුණේ හිටියා. මේ ප්‍රයත්නවල ප්‍රතිඵලයක් වශයෙන් 1953 අවුරුද්දෙ හයවෙනි පන්තියෙ ඉඳල විද්‍යා විශයයන් සිංහලෙන් පටන් ගත්තා. දෛවෝපගත ලෙස මමත් ඒ අවුරුද්දෙම විද්‍යාව හදාරණ ශිෂ්‍යයෙක් හැටියට ආනන්දයට ඇතුලත් වුනා. එතකොට එක්තරා මානසික පර්යේශණයකට භාජනය වීමට යන බැටලුවෙක් කියල මට හීනෙකින්වත් හිතුනෙ නැහැ. අපේ විදුහල්පතිතුමා එල්. එච්. මෙත්තානන්ද මහත්මය. ලාංකික දේවල් ඉතා අගේ කොට සලකන, ජාති හිතෛෂි, නමුත් ජාති වාදී නොවන, (ඒ බව තරයේම කිව යුතුයි - මොකද පසු කාලීනව ජාති වාදියකු ලෙස මේ රත්තරන් මහත්මයා හංවඩු ගැහුනා)ලාංකික අධ්‍යාපන ක්ශෙත්‍රයට අගනා සේවයක් කල මහත්මයෙක්. මට ඒ බව කියන්න පුලුවන් ඒ මහත්මයගෙ ගෝලයෙක් හැටියට. සිංහලෙන් විද්‍යා විශයයන් කරන්න ගුරුවරු බොහොම ටික දෙනෙක් ඒ වන කොටත් පුහුනු වෙලා හිටිය. අපට දෛනික ප්‍රශ්න බොහොම තිබුනා. ලොකුම ප්‍රශ්නය තමයි පොත් නැති එක. වැඩේ පටන් ගත්තට හරි ප්ලෑන් එකක් තිබිල නැහැ. ඉස්කෝලෙන් ලියාගන්න සටහන් වල ආධාරයෙන් පමනක් අපි වැඩ කරගන්න පුරුදු වුනා. පස්සෙ පොත් ටික ටික එන්න පටන් ගත්තා. හුඟක් පොත් ලිව්වෙ එම්. ඩබ්ලිව්. කරුණානන්ද මහත්මය. පාසැල් ශිෂ්‍යයෙකුට අද තිබෙනෙ අභියෝග එදත් තිබුණා. පාසැලක් වුනාම නොයෙක් නොයෙක් තරාතිරම් වල ලමයි ඉන්නව. ඒ ලමයින්ගෙ ගෙදර පරිසරය පාසැල් ජීවිතයටත් බලපානව. මානසිකව සමහර ලමයි බොහොම අස්ථාවරයි. සමහරු එහෙම නැහැ. ඔය අතරෙ සමහරු ඉන්නව ඒ ගොල්ල අනිත් අයට වැඩිය ලොකුයි කියල හිතාගෙන ඉන්න අය. ඒ අය වැඩි දුර යන්නෙ නැහැ. ඉතින් ඉස්කෝලෙම ඉහල පන්ති වල සමහර ලමයි අපිට හිනැහුනා, ස්වභාෂා කියල.... අපට ඉංග්‍රිසි බැහැ කියල, නොයෙක් අභියෝග. පිට පාසැල් වලින් ඊට් වඩා වැඩියි. ඒ කාලෙ බටහිරට ගැති, සමහර උසස්යයි සම්මත පාසැල් වලින් අපි ඉංග්‍රිසි උච්චාරණය කරන විදියට හිහැහුනා. අභියෝග දිගට හරහට... මොනව කරන්නද? අපිත් ඉවසුවා. ඔය වගේ හත් වෙනි, අටවෙනි පන්ති වලටත් ගියා. සාමන්‍ය පෙල ප්‍රාථමික පන්තියට එන කොට පොත් නැති හිඟය තදින් දැනෙන්නට වුනා. පොත් නැති වුනාට අපේම මවු භාෂාවෙන් ඉගැන්වෙන නිසා කියදෙන දේවල් හොඳටම පැහදිලි වුනා. රේඛීය ප්‍රසාරණ සංගුණකය වගේ දේවල් විස්තර කරන්න ගුරුවරුන්ට එපමණ අටුවා ටීකා අවශ්‍ය වුනේ නැහැ. මෙතෙක් කල් සාමාන්‍ය විද්‍යාව හදාරපු අපිට, රසායන, භෞතික, උද්භිද, සත්ව යනුවෙන් තවත් වෙනස් වෙනස් විශයයන් ඇතිවුනා. එක අතකින් සා. පෙ. විභාගය, අනෙක් අතින් නින්දා අපහාස. දියතලාවෙ යුධ හමුදා සංකීර්ණයෙ පවත්වන කැඩෙට් කඳවුරේ වුන සිද්ධියක් මට තවම මතකයි. අපේ කණ්ඩායම ඉලක්ක වෙඩි තැබීමෙන් දිනා ගෙන කොට, කොලඹ ඉහල යයි සම්මත පාසැලක ශිෂ්‍යයෙක් කිව්වා, "must be real veddhas, shooting so well.. shooting in their whole lives" කියල. කොච්චර හොඳට කරත් සෑන්ඩස්ට් කැඩෙට් ශිෂ්‍යත්ව ආනන්දෙ ලමයින්ට ලැබුනෙ නෑ. එතකොට මෙත්තානන්ද මහත්මය ගිහින් අගමැති ඩඩ්ලි සේනානායකගෙන් ඇහැවුවා ආනන්දෙ ලමයින්ට තැනක් නැද්ද යුධ හමුදාවෙ කියල.. ඩඩ්ලි විස්තර අහල ඔක්කොම ගන්නම් කියල කිව්වා. ඒ ගිය එක්කෙනෙක් තමා හැමිල්ටන් වනසිංහ. අපිට තිබුණු අයිතිවාසිකම් පවා අධිරාජ්‍යවාදී ගැත්තන් විසින් වසන් කරපු සමයක් ඒක. ඒ කාලෙ මම හිතන්නෙ අධිරාජ්‍යවාදීන්ටත් වඩා අපිට හතුරු කම් කලේ එවුන්ගෙ ගැත්තො. ඒ කියන්නෙ අධිරාජ්‍යවාදියො මේ රටේ ඉන්න කොට ඒ ගොල්ලන්ගෙ වැඩ කරන්න හෙංචයියල ටිකක් හදා ගත්ත. ඒ අධිරාජ්‍යවාදී හෙංච්චයියල ඉගෙන ගත්තු ඉස්කෝල තමයි අපිට හරහට හිටියෙ. තව කොටසක් ටික දිනකින්......

Saturday, October 25, 2008

යටගිය දවස

මම මේ කතා කරන්නෙ අඩ සිය වසක් පැරණි දේවල් ගැන. කෙනෙක් අහන්න පුලුවන් මේව දැන් කාලෙට ප්‍රයෝජනවත්ද කියලත්. ඔයගොල්ලන්ට පුලුවන් බලාගන්න ලංකාවෙ ප්‍රසිද්ධ බෞද්ධ පාසැලක අධිරාජ්‍ය වාදීන් ගියාට පස්සෙ ජාතික විධියට සංක්‍රමනය වුනේ කොහොමද කියල. එකක් කියන්න ඕන. අපේ හිටපු ගුරුවරු අධිරාජ්‍යවාදී ගැත්තෝ නොවෙයි, ඒ ගොල්ල ඉගෙන්ගත්තෙත් අධිරාජ්‍ය වාදී කාලෙ. ඒ නිසා සමහර සිරිත් විරිත් ඒ කාලෙට අයිති දේවල්. ඒවට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නෙ හිටිය සමහර ගුරුවරු නේවාසිකාගාරයෙදි, ඉඳියාප්ප ගොඩට කිරිහොදි වක් කරගෙන ඒක ගෑරුප්පුවෙ ඔතාගෙන කන අය. දැන් කොහොමද නම් දන්නෙ නැහැ. 1957 අවුරුද්දෙ මම ලංකාවෙ ප්‍රථම වරට සිංහලෙන් විද්‍යා අංශයෙන් සා.පෙ. සමත් උනා. ප්‍රථිපල ආවෙ සිංහල අවුරුද්දට ඔන්න මෙන්න කියල. මම වැඩි සංතෝසෙට බුලත් අතක් අරගෙන විදුහල්පතිතුමා බලන්න ගියා. එතකොට "අපේ ආණ්ඩුව"..... ඒ කියන්නෙ 'සුදුරෙදි ඇඳ - සුදු බැනියම් ඇඳ - කිරි බත් කා ගත්තෙ අතට - අලිය මට්ටු කරපු හෙන්ඩුව.. ( මේක බයිලා එකක කෑල්ලක් ) බන්ඩාරනායක මහත්තයගෙ ආණ්ඩුව. මහා පෙරලියක්. දේශීය කමට බුලත් අතකුත් අරගෙන මමත් ගියා සිංහල සිරිතට විදුහල්පතිතුමාට ගරු කරන්න. අනේ එතුමා ඒක අතටවත් ගත්තෙ නැහැ. මම බුලත් කන්නෙ නැහැ, හිඟන්නෙකුට දෙන්න කිව්වා!!!. මට හීන් දාඩිය දම්ම. ඒ මහත්මයා සිංහල සිරිත් විරිත් දන්නෙ නැහැ. ඒ නමුත් බොහොම යුක්ති ගරුක මත්මයෙක්. මම කවදත් ඒ මහත්මයට ගරු කරනවා. ඒ කාලෙ අපිට දෙලොවක් අතර ජීවත් වෙන්නත් සිදු වුනා. සමහර පැරණි ගුරුවරු සිරිත් විරිත් ගැන අපෙන් විමසල ඉගෙනගත්තා. රොහන් දලුවත්ත, කරු ජයසූරිය හෙම අපිත් එක්ක නේවසිකගාරයේ එකට හිටියා. තව විස්තර අනෙක් බ්ලොග් එකට ලියන්නම්.